ජවිපෙ නව නාය­ක­යාගේ අව­සන් තුරු­ම්පුව | සිළුමිණ

ජවිපෙ නව නාය­ක­යාගේ අව­සන් තුරු­ම්පුව

 ජවිපෙ නායක සමන් පිය­සිරි විසින් 1989 නොවැ­ම්බර් 28 පත්කළ දිස්ත්‍රික් දේශ­පා­ලන ලේක­ම්ව­රුන් 19දෙනා ගෙන් කිහි­ප­දෙ­නෙක් මෙසේය. ඉහළ වමේ සිට: ගාල්ල - සී. ආර්. නිශ්ශංක, නුව­ර­එ­ළිය - ලය­නල් ප්‍රනාන්දු, අනු­රා­ධ­පුර - ජය ශ්‍රී ජය­සේ­කර, ගම්පහ - උපාලි ගමගේ, අනු­රා­ධ­පුර - උපුල් නානා­ය­ක්කාර. පහළ වමේ සිට: පොළො­න්න­රුව - උපාලි සමන් කුමාර, රත්න­පුර - කේ. ටී. නිම­ල්සිරි, කෑගල්ල - එස්. එම්. නිස්මි, ත්‍රිකු­ණා­ම­ලය- නන්දන ගුණ­ති­ලක සහ කළු­තර- නිහාල් ජය­වී­රය.

 

 

ජවිපෙ, ඉකුත් දශක පහක් ඇතුළත කැරලි දෙකකට නායකත්වය දුන්නේය. ප්‍රථම කැරැල්ල 1971 අප්‍රේල් ක්‍රියාත්මක වූ අතර එහිදී ඝාතනයට ලක් වූ සංඛ්‍යාව 5,000කට ආසන්නය. ජවිපෙ 2වැනි කැරැල්ල 1986න් ඇරඹී 1990 න් අවසන් වූ අතර එහිදී 60,000කට අධික පිරිසක් ඝාතනයට ලක් වූහ. සිළුමිණෙහි පළවන මෙම ලිපි මාලාව එම කැරලි දෙක ඇතුළත ජවිපෙ නායකත්වයේ දෘෂ්ටිමය මඟ පෙන්වීමකට යටත්ව, එහි ප්‍රායෝගිකත්වය ක්‍රියාවට නැඟූ කැරලි නායකයන්ගේ සත්‍ය කතාවයි.
15 කොටස

 

රෝහණ විජේවීර ඝාතනයෙන් මසක් පිරෙන 1990 දෙසැම්බර් 13 රට පුරා ප්‍රහාරයක් එල්ල කිරීමද එහි දී ගනු ලැබූ තවත් තීරණයකි. එමෙන්ම එල්.ටී.ටී.ඊ කොටි සංවිධානයට එරෙහිව ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානය සමඟ සබඳතා ඇතිකර ගැනීමටද, 1971 අප්‍රේල් කැරැල්ලට සම්බන්ධ වූ කැරලිකරුවන් ගේ ආරක්ෂාව තකා තවදුරටත් ජවිපෙ කටයුතුවලට ප්‍රසිද්ධියේ ඔවුන් මුදා නොහැරිය යුතු බව ද සෙසු තීරණයන්ය. විජේවීර ඝාතනයෙන් මසක් පිරෙන දා සංවිධානය කළ ප්‍රහාරය පිළිබඳ නිවැරදි විග්‍රහයක් නායකත්වය සතු නොවූ අතර එහි තිබුණේ රණකාමී ආශ්වාදයක් පමණි.

නායක සමන් පියසිරි විසින් සන්නද්ධ අංශය කෙරෙහි වැඩි බරක් ශිෂ්‍ය අංශයෙන් බලාපොරොත්තු විය.

ඒ අනුව ශිෂ්‍ය අංශයේ බහුතර කොටස් සන්නද්ධ අංශයට යොමු කරන ලදී. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ අවසන් රැස්වීම 1989 දෙසැම්බර් 09 නුගේගොඩ පාගොඩ පාරේ ආරිය බුලේගොඩ ගේ නිවසේ දී පැවැති අතර අන්තරේ තාවකාලිකව විසුරුවා පසුබසින ලෙස පේරාදෙණියේ එස්. එම් නිස්මි විසින් සරසවි සිසු නියෝජිතයන්ට එහි දී දැනුම් දෙන ලදී.

ජවිපෙට පත් කළ දේශපාලන ලේකම්වරුන් බොහෝ දෙනෙක් අන්තරේ ඉදිරිපෙළ නායකයින් විය.

විජේවීර ඝාතනයෙන් පසු කැරලිකරුවන් විසින් රටපුරා ප්‍රහාර කිහිපයක් දියත් කරන ලදී. කොම්පඤ්ඤවීදියේ පිහිටුවා ඇති ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ රැස්වීමට කැරලිකරුවන් විසින් 1989 නොවැම්බර් බෝම්බ ගැසූ අතර එහි දී ලංකා බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඊ. ටී. ප්‍රනාන්දු (55) මිය ගියේය.

කැරලිකරුවන් ගේ ඉලක්කය වූයේ එම රැස්වීමේ මුලසුන දැරීමට සිටි රාජ්‍ය ඇමැති සමරවීර වීරවන්නිය. තරුණ සේවා සභාවේ රැස්වීමක් මොරටුව වේල්ස් කුමාර විදුහලේ ශාලාවේ දී 1989 නොවැම්බර් 26 පැවැති අවස්ථාවේ දී එයට සහභාගි වූ ක්‍රීඩා ඇමැති නන්ද මැතිව් සහ අධිකරණ රාජ්‍ය ඇමැති ටිරෝන් ප්‍රනාන්දු ඝාතනය කිරීමට කැරලිකරුවන් එල්ල ීකළ බෝම්බ ප්‍රහාරයකින් ඇමතිවරුන් දෙදෙනා ඇතුළු 25 දෙනකු තුවාල ලබා රෝහල් ගතකෙරිණි.

කුරු­ණෑ­ගල වැහැර වධ කඳ­වු­රේදී 1989 ජුලි 9 ඝාත­න­යට ලක්වූ ජයවර්ධන සරසවියේ සිසු ප්‍රේම­ලාල් කුමා­ර­සි­රිගේ දේහය අසල හඬා වැල­පෙන ඇයගේ වැඩි­ම­හල් නැඟ­ණිය. කනිටු නැඟ­ණිය පසෙ­කින්ය. 
 

සමන් පියසිරි ගේ නායකත්වයෙන් එවැනි ප්‍රහාර කිහිපයක් අගනුවර සහ ප්‍රාදේශීය වශයෙන්ද ක්‍රියාත්මක විය. එහෙත් ඒවා මුළුමනින්ම වාගේ අසාර්ථක වූ අතර සහභාගි වූ කැරලිකරුවන්ද ප්‍රතිප්‍රහාරවලින් මිය ගොස් තිබුණි.

මාතලේ උකුවෙල විදුලි බලාගාරය 1989 නොවැම්බර් 26 කැරලිකරුවන් කළ ප්‍රහාරයෙන් විනාශයට පත්විය.

එමෙන්ම ඔහිය ඇතුළු දුම්රිය ස්ථාන කිහිපයක්ද ගිනි තබන ලදී. ගොකරැල්ලේ පිහිටි කොරියානු කියැන්නාම් මාර්ග ව්‍යාපෘතියකට කඩාවැදුණු කැරලිකරුවන් එහි තිබූ රුපියල් 80, 000ක් කොල්ලකෑමෙන් අනතුරුව වාහනවලට ගිනි තැබූ අතර ගින්නට අසුවූ එක් කොරියානු ඉංජිනේරුවරයෙක් මරණයට පත්විය.

අලව්ව නගර ශාලාවේ පිහිටි පොලිස් මුරපොළට 1989 නොවැම්බර් 25 කඩාවැදී අවි පැහැරගැනීමට තැත්කළ කැරලිකරුවන් 5ක්ද, දික්වැල්ල පොලිසියට එදිනම කළ ප්‍රහාරයෙන් කැරලිකරුවන් 4ක්ද මරුමුවට පත්විය. අවි පැහැරගැනීමේ සියලු ප්‍රහාරයන්ද අසාර්ථක විය. කැරලිකරුවන්, ඔවුන්ගේ පවුලේ අය, ඥාතීන් සහ හිතවතුන් ඝාතනයට ලක්වීම්ද මෙම ප්‍රහාරයන් සමඟ වඩාත් උත්සන්න විය.

ජවිපෙ රහස් තොරතුරු, සංවිධාන රටාවන් සහ පෞද්ගලික නාමයන් ආරක්ෂක අංශ වෙත හෙළිදරව් වී තිබිණි.

එය ඔවුන් අතට පත්වූයේ පරීක්ෂණ හෝ විමර්ශනවලින් නොව අත්අඩංගුවට පත් කැරලිකරුවන් ගේ හෙළිදරව් කිරීම් තුළිනි. ඇතමුන් බිල්ලන් සහ පාවාදෙන්නන් බවට පත්විය. ඇතැමෙක් නිහඬ විය.

තවත් අය වගකීම් අතහැර පලා යන්නට විය. බොහෝ පිරිස් ස්වකැමැත්තෙන්ම රජයේ මධ්‍යස්ථානවලට භාර විය. මෙය ජවිපෙ දැවැන්ත පසුබෑමක් වුවද තවත් කැරලිකරුවන් සිය ගණනක් දුෂ්කර තත්ත්වයන්ට මුහුණදෙමින් ඉදිරියට යෑමට කැපවී කටයුතු කළහ.

මෙවැනි තත්ත්වයන් තුළ උපක්‍රමයන් කඩිනමින් වෙනස්කර යුතුව තිබුණද සංවිධාන ජාලයේ බිඳ වැටීම් හේතුකොට ගෙන එයද සිදු නොවිණි.

නව නායකත්වය විසින් ජවිපෙ මධ්‍යගත කරමින් උපක්‍රම ඔස්සේ ක්‍රියාත්මක වීමේ උත්සාහය වෙනුවට ප්‍රමුඛත්වය දෙනු ලැබුවේ රාජ්‍ය යාන්ත්‍රණයට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කිරීමය.

එවිට රාජ්‍ය මර්දනය වඩ වඩාත් උත්සන්න විය. එහි ප්‍රතිඵලය ලෙස නායකත්වයේ අරමුණ කෙරෙහි කැපවීම සඳහා දහස් ගණනකට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය.

පොලිස් සහ ආරක්ෂක අංශ රැඳවුම් කඳවුරුවල අත්අඩංගුවට පත්ව සිය දහස් ගණනකට අත්වූයේ ඛේදජනක ඉරණමකි. සමන් පියසිරිට අරමුණු අතර නොසිටීමේ හැකියාව නිසා ජවිපෙ මුළු යාන්ත්‍රණයම සති 7ක් ඇතුළත ආරක්ෂක අංශයේ ග්‍රහණයට ලක්ව විනාශ විය.

විජේවීර ඝාතනයෙන් සති 6කට පමණ පසු නායක සමන් පියසිරිද 1989 දෙසැම්බර් 27 නාවල දී අත්අඩංගුවට පත්ව 1989 දෙසැම්බර් 29 මත්තේගොඩ කඳවුරේ දී ඝාතනයට පත්විය.

සමන් පියසිරි අත්අඩංගුවට ගැනීමෙන් පසු ජවිපෙ ඉහළ පෙළේ නායක කණ්ඩායමක් 1989 දොසැම්බර් 29 නුවරඑළිය නානුඔය දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් නිලධාරියකු ගේ නිවසක රැස්විණි. ශාන්ත බණ්ඩාර ගේ ප්‍රධානත්වයෙන් පැවැති එම රැස්වීමට ලලිත් විජේරත්න, උපාලි ජයවීර, ගාමිණී ගුණසේකර, පී. තංගරාජා ඇතුළු 5 දෙනෙක් එක්විය. ස්ථානය සොයා දෙනු ලැබුවේ නුවරඑළිය දිසා ලේකම් ලයනල් ප්‍රනාන්දු විසිනි.

එහි දී ගත් තීරණයක් අනුව ජවිපෙ ඊළඟ නායකයා ලෙස ලලිත් විජේරත්න පත් කෙරිණි. ජවිපෙ සිවුවන නායකයා වශයෙන් සිටිය දී ලලිත් විජේරත්න 1989 දෙසැම්බර් 31 පෙරවරු 11ට රත්නපුරයේ දී ආරක්ෂක හමුදා අත්අඩංගුවට පත්ව 1990 ජනවාරි 4 මත්තේගොඩ දී ඝාතනයට ලක්විය. විජේවීර ඝාතනයට ලක්ව සති 7ක් ඇතුළත පළමු දේශපාලන මණ්ඩලයේ 13 දෙනා ගෙන් 12 දෙනකු ඝාතනය විය. ඉතිරි වූයේ සෝමවංශ අමරසිංහ පමණි.

සමන් පියසිරි ගේ නායකත්වයෙන් යුත් දෙවන දේශපාලන මණ්ඩලයේ 11 දෙනාගෙන් 9ක්ද ඝාතනයට ලක්විය.

ඉන් ඉතිරි වූයේ සෝමවංශ අමරසිංහ සහ ගාමිණී ගුණසේකර පමණි.

හබරාදූවේ දී 1990 ජනවාරි 01 අලුයම 5.30ට අත්අඩංගුවට ගත් ගාමිණී ගුණසේකරද බෙලිඅත්තේ දී 1990 මැයි ඝාතනයට පත්විය. මේ අනුව ප්‍රථමයෙන් සමන් පියසිරි ගේද, දෙවනුව ලලිත් විජේරත්න ගේද නායකත්වයෙන් ජවිපෙ ගොඩනැගීමේ ප්‍රථම සහ දෙවන උත්සාහයන්ද බිඳ වැටිණි. සෝමවංශ අමරසිංහ යටිබිම් ගතවූ අතර කිහිපදෙනකු සමඟ සබඳතා පැවැත්වීය. ඔහුද 1990 මාර්තු 17 බෝට්ටුවකින් පලාගොස් ඉන්දියාවට පසු බැස්සේය.

 

 

ධර්මන් වික්‍රමරත්න

Comments