මෙන්න කීර්ති විජේබාහු! | සිළුමිණ

මෙන්න කීර්ති විජේබාහු!

ඉකුත් දශක පහක් ඇතුළත ජවිපෙ කැරලි දෙකකට නායකත්වය දුන්නේය. ප්‍රථම කැරැල්ල 1971 අප්‍රේල් දියත් වූ අතර එහිදී ඝාතනයට ලක් වූ සංඛ්‍යාව 5,000කට ආසන්නය. ජවිපෙ 2වැනි කැරැල්ල 1986න් ඇරඹී 1990 න් අවසන් වූ අතර එහිදී 60,000කට අධික පිරිසක් ඝාතනයට ලක් විය. සිළුමිණෙහි පළවන මෙම ලිපි මාලාව එම කැරලි දෙක ඇතුළත ජවිපෙ නායකත්වයේ දෘෂ්ටිමය මඟ පෙන්වීමකට යටත්ව, එහි ප්‍රායෝගිකත්වය ක්‍රියාවට නැඟූ කැරලි නායකයන්ගේ සත්‍ය කතාවයි.

05 කොටස

මොරටුව ලුනාවේදී 1958 මාර්තු 23 උපන් සෙල්ලප්පෙරුමගේ සමන් පියසිරි ප්‍රනාන්දු ජවිපෙ 2වැනි කැරැල්ල මෙහෙය වූ ජවිපෙ සන්නද්ධ අංශය වූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ නායකයාය. කීර්ති විජේබාහු, කබ්රාල්, මෙන්ඩිස්, බාප්පා, මුදියන්සේ, මහින්ද, ධම්මික සහ ජනක යනුවෙන්ද සමන් පියසිරි ප්‍රනාන්දු හැඳින්විණි. ඔහු ක්‍රිස්තියානි මෙතෝදිස්තය.

සමන්ට සොයුරු සොහොයුරියන් තිදෙනෙක් වූ අතර ගුරුවරියක් වූ මව ටී. ජොසී එන්ගල්ටිනා පීරිස්ය. පියා ඊබට් වරාය කොමිසන් සභාවේ වැඩ පරික්ෂකවරයෙකි. එම දෙපළගේ තෙවන දරුවා සමන් පියසිරිය. ගනේමුල්ලේ පදිංචි වැඩිමහල් සොහොයුරිය කලක් රජයේ රෝහලක හෙදියක් ලෙස සේවය කළ අතර වසර 1981දී විවාහ වූ ඇය පසුව දෙදරු මවකි. කණිටු නැඟණිය වූ රංජනීද පසුකලෙක ජවිපෙ පූර්ණකාලිනියක් විය. වැඩිමහල් සොහොයුරා රෝගී දරුවකු වූ අතර 1970දී අංගොඩ රෝහලේදී මිය ගියේය. පවුලේ ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ඔහුගේ දේහය පවා භූමදානය කළේ රෝහල් සුසාන භූමියේ රජයේ වියදමිනි.

සමසමාජ පක්ෂයට හිතවත් වූ සමන් පියසිරිගේ පියා සැමට පිහිටවූවද මත්පැනට අධික ලෙස ඇබ්බැහිවීම නිසා සමන් පියසිරි ඇතුළු දරුවන් ගේ ළමා කාලය බෙහෙවින් දුක්බර විය. පියා ඊබට් අවට වැසියන් සහ නෑහිතමිතුරන් සමඟ ඇතිකරගත් ආරවුල් නිසා මොරටුව එගොඩඋයන අතහැර මවගේ ඥාතියෙකුට අයත් ගනේමුල්ලේ පදිංචියට යෑමට සමන් ගේ දෙමාපියන්ට සිදුවිය.

එතෙක් එගොඩඋයන කනිෂ්ඨ විදුහලේ 5වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලැබූ සමන් 6 වැනි ශ්‍රේණියට ඇතුල් වන්නේ කුඩා බොල්ලත ප්‍රාථමික විදුහලටය. ගලහිටියාව හේමමාලි විද්‍යාලයට 8 වැනි ශ්‍රේණියටද පසුව ගලහිටියාව මධ්‍ය මහ විද්‍යාලයටද ඇතුළත් වන හෙතෙම අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් සම්මාන 6ක් සමඟින් සමත් විය. වාණිජ අංශයෙන් උසස් පෙළ හදාරා 1977දී විශිෂ්ට සමාර්ථ 1, සම්මාන සමාර්ථ 1, සහ සමාර්ථ 2ක් ලබා කැලණි සරසවියට 1978දී ඇතුළු විය.

සමන් පියසිරි ප්‍රනාන්දු ජවිපෙට එක්වූයේ 1978 වේයන්ගොඩ ජවිපෙ රැලියකදී ගමනායක ගේ දේශනයකට සවන්දීමෙන් පසු රාගම සෝමේ හරහාය. මීරීගම ආසනයේ පල්ලෙවෙල මුද්දරගම පැවති අධ්‍යාපන කඳවුරට ඔහු සහභාගි විය. එම අධ්‍යාපන කඳවුර මෙහෙයවන ලද්දේ වික්‍රමරාලලාගේ ජයතිලකය. (2වැනි කැරැල්ලේද ක්‍රියාකාරිකයෙකු වූ ජයතිලක කටුනායක ගුවන් හමුදා කඳවුරේ ආයුධ පැහැරගැනීමේ ප්‍රහාරයට එක්ව පසුව අත්අඩංගුවට පත්විය. අනතුරුව ජවිපෙ කැරලිකරුවන් 221ක් සමඟ 1988 දෙසැම්බර් 13 බොරැල්ල මැගසින් බන්ධනාගාරයෙන් පළා ගොස් යළි කැරැල්ලට එක්විය. හොරණ ලයනල් රණසිංහ ගේ නිවසේ මැලේරියා උණ සෑදී සිටියදී 1989 අවසාන භාගයේ පොලිස් අත්අඩංගුවට පත්ව ඝාතනය විය.)

ජවිපෙ සමාජවාදි ශිෂ්‍ය සංගමය කැලණි සරසවිය තුළ පොදු ශිෂ්‍යයන් ගේද සහාය ඇතුව එජාපයේ සමවාදී ශිෂ්‍ය සංගමයට එරෙහිව බලවේගයක් සේ ගොඩනැගෙන්නේ 70 දශකයේ අග භාගයේදී සුදර්ශන පොන්නවීර, සමන් පියසිරි ප්‍රනාන්දු, සිරිමෙවන් ඇතුළු කිහිපදෙනෙකු ගේ නායකත්වයෙනි. වාණිජ උපාධිධාරියෙකු වශයෙන් සමත්වීමෙන් පසු රැකියාවක් වෙනුවට සමන් පියසිරි තෝරාගත්තේ ජවිපෙ පූර්ණකාලීන දේශපාලනයයි. පසුව කොලොන්නාව සහ රත්නපුර ආසනයන්හි ජවිපෙ සංවිධායකවරයකු විය.

ජවිපෙ 1983 ජූලි තහනමෙන් පසු සමන් පියසිරි 1984 පෙබරවාරි මධ්‍යම කාරක සභිකයකු විය. ජවිපෙ යළි ගොඩනැඟීම සඳහා ඔහු කළ කැපවීම ඇගයුමට ලක්වූ අතර 1985 ඔක්තෝබර් ජවිපෙ දේශපාලන මණ්ඩලයටද පත්කරන ලදී. ජවිපෙ සන්නද්ධ අංශය වූ දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය බිහිකිරීමේ ප්‍රථම විධිමත් සාකච්ඡාව 1986 මාර්තු 4 සහ 5 රත්තපුර ඇලපාතදී දෙදිනක් පුරා පැවති අතර එහිදී පැවති දේශපාලන මණ්ඩල රැස්වීමේදී යුධ අංශයේ නායකයා ලෙස සමන් පියසිරි පත්කර ගන්නා ලදී. විජේවීර අසනීපව සිටි බැවින් එහි මුලසුන දැරුවේ පියදාස රණසිංහය. රැස්වීම පැවතියේ රත්නපුර කුඩුගල්වත්තේ ව්‍යාපාරිකයකු වන පොඩි මහත්තයා ගේ නිවසේදීය.

සන්නද්ධ අංශයක් පිහිටුවීමේ යෝජනාව ජවිපෙ දේශපාලන මණ්ඩලයට ඉදිරිපත් වූයේ 1984 අගදීය. දෙමළ බෙදුම්වාදීන්ට සහාය දුන් දකුණේ වාම කණ්ඩායම්වල සන්නද්ධ පුහුණුවීම්වලට එරෙහිවද ජවිපෙ මර්දනය කිරීමේ රජයේ වැඩපිළිවෙළට මුහුණදීම සඳහාද සන්නද්ධ අංශයක් බිහිකිරීමට එහිදී යෝජනා විය. සන්නද්ධ අංශයේ කටයුතු වේගවත් කිරීම පිළිබඳ සාකච්ඡාවක් 1985 දෙසැම්බර් මස පැවති අතර විධිමත් ලෙස සන්නද්ධ අංශය ආරම්භ වූයේ ඉහත රත්නපුර ඇලපාතේදී 1986 මාර්තු පැවති එම රැස්විමේදීය. මුල් කාලයේ ජවිපෙ සන්නද්ධ අංශය දේශප්‍රේමිත්වය තේමා කරගත් රණශූරත්වය තරමටම උපායශීලිත්වය මුල්කරගත් යුද්ධයක නිරත විය යුතු බවට තීරණය කෙරිණි.

ඒ වනවිට හොරණ මූණගම ප්‍රදේශයේ නැවතී සිටි සමන් ගේ දෙමාපියන් සහ පවුලේ සාමාජිකයන් පසුව පෝරුවදණ්ඩට ගියේය. පසුව පානදුරේටද, නුගේගොඩ එක්වත්තටද උඩහමුල්ල ඇතුළු ස්ථාන කිහිපයකට ගියේය. සමන් අත්අඩංගුවට පත්වූ නාවල නිවසට පැමිණියේ 1989 දෙසැම්බර් 25වැනිදාය. විජේවීර 1987 හල්දුම්මුල්ලේ හාල්අටුතැන්නේ සහ 1987 ජුලි මස සිට බණ්ඩාරවෙල නෙළුව ලෙව්ගොඩවත්තේ නිවෙස්වල සිටින විට විජේවීර ගේ බිරිඳ සහ දරුවන් සමඟ එහි නිවසේ සහායට කෙටි කලක් සිටි අය අතර සමන්ගේ නැඟණිය රංජනීද විය.

හමුදා කඳවුරු සහ පොලිස් ස්ථානවලට එල්ල කරන ලද ප්‍රධාන ප්‍රහාර 5කදී සමන් පියසිරි විසින් ජවිපෙ කණ්ඩායම මෙහෙයවූ අතර තවත් අවස්ථා 12කදි එම ප්‍රහාර සැලසුම් කර තිබිණි.

සමන් පියසිරි ගේ යුධ සැලැසුම්වල ආරම්භයේ මූලික තැනක් දුන්නේ ගරිල්ලා සටන් කෙරෙහිය. ආරක්ෂක අංශ බලවත් අවස්ථාවන්හිදී සටන් වැදීමෙන් තොරව පසු බැසීමද ඔවුන් දුබලවූ අවස්ථාවන්හිදී අවධානයෙන් සිට ප්‍රහාරයන් එල්ලකිරීමද උපාය මාර්ගය විය. එහෙත් 2වැනි කැරැල්ලේ මැද භාගය වනවිට සියල්ල උඩු යටිකුරු වී බහුතරයක්ම වාගේ පුද්ගල ඝාතන සහ කඩාකප්පල්කාරි ක්‍රියාමාර්ග වලට මුල්තැන දුන්නේය.

විජේවීර ඝාතනයෙන් පසු ජවිපෙ නායකත්වයට සමන් පියසිරි පත්වූයේ 1989 නොවැම්බර් 28 රත්නපුර පණුකෑරපිටියේදී පැවති දේශපාලන මණ්ඩල රැස්වීමේදීය. සංවිධානාත්මක වැඩ සම්බන්ධයෙන් ඉතිරිව සිටි දක්ෂම පුද්ගලයා සමන් බැවින් ඒ වනවිට ජීවත්ව සිටි ඔහුට වඩා දේශපාලන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨයන් වූ ශාන්ත බණ්ඩාර සහ සෝමවංශ අමරසිංහ ලිඛිතවද දේශපාලන මණ්ඩල සභික ලලිත් විජේරත්නගේද සහාය එම යෝජනාවට හිමිවිය. රජය 1989 නොවැම්බර් 28 නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සෝමවංශ අමරසිංහ, ශාන්ත බණ්ඩාර, සමන් පියසිරි ප්‍රනාන්දු, ගාමිණී ගුණසේකර සහ උපාලි ජයවීර යන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය බවත් ඔවුන් පිළිබඳව තොරතුරු සපයන අයට වටිනා ත්‍යාග පිරිනමන බවත්ය.

සමන් පියසිරි ජවිපෙ නායකයා වූ බව ප්‍රථමවරට හෙළි කළේ පිලිපීනයෙන් විකාශනය වූ වෙරිටාස් කතෝලික ගුවන් විදුලියේ සිංහල සේවය මගිනි. ඒ 1989 දෙසැම්බර් 01වැනිදාය. වෙරිටාස් මැනිලා වාර්තාකරු ප්‍රවීණ මාධ්‍යවේදී එල්මෝ ප්‍රනාන්දුට ඒ පිළිබඳව දැනුම් දෙනු ලැබුවේ ලලිත් විජේරත්න ලියුම්කරුගෙන් කරන ලද ඉල්ලීමක් අනුවය. (ජවිපෙ දෙවැනි කැරලි සමයේ ලංකාවේ සත්‍ය තොරතුරු දැනගැනීමේ ප්‍රධාන මාර්ගයක් බවට එකල වෙරිටාස් ගුවන්විදුලිය ජනප්‍රියව තිබිණි. )

ග්‍රෙගරි පාරේ අපරාධ විමර්ශන මූලස්ථානයේ(සී.ඩී.බී) පොලිස් අධිකාරි ලයනල් ගුණතිලක ගේ ප්‍රධානත්වයෙන් සහ පොලිස් පරික්ෂක දන්තිල ශ්‍රී ජයසිංහ ගේ සහභාගිත්වයෙන් යුත් සැරයන් සෝමපාල ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් නාවල කොස්වත්තේ නිවසක සිටියදී 1989 දෙසැම්බර් 27 සමන් පියසිරි අත්අඩංගුවට ගන්නා ලදී. මෙම නිවස ගුවන් විදුලියේ මාර්ක් ඇන්තනි ප්‍රනාන්දුට අයත් වූ අතර එය ලබාදීමට මැදිහත් වූයේ මාධ්‍යවේදී රිචඩ් ද සොයිසාය. සමන් පියසිරි අඩි 5 අගල් 2ක් උසය. තරමක් මහතය. වම් අතේ කළු ලපයකි. දකුණු කනේ පසුපස එලෙසම ලපයකි. ඔහුට කීලොයිඩ් රෝගය වැලදී තිබිණි. එවැනි රෝගියකුට හමේ කුඩා තුවාලයක් සිදුවූවද අසාමාන්‍ය ලෙස කැළලක් ඉතිරි වේ. ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් සමන් පියසිරි ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයට ගෙන ආ පසු ඔහු සමන් පියසිරි බවට නිශ්චිත වශයෙන් හඳුනාගත්තේ එම ශරීර ලක්ෂණ අනුවය. එයට කලින් 1988 මාර්තු 12 බොරලැස්ගමුව ඇඹිල්ලවත්ත පාරේ නිවසක සිටියදී සමන් පියසිරි ආරක්ෂක හමුදා මෙහෙයුමකදී උපක්‍රමශීලිව නිවස ඉදිරිපිට කපා දැමූ කොස් කොළ සහිත අතු ගොඩක සැඟවී පසුව පලා යෑමට සමත් විය.

අත්අඩංගුවට ගත් සමන් පියසිරිව බොරැල්ල ග්‍රෙගරි පාරේ පොලිස් අපරාධ විමර්ශන මූලස්ථානයට(සී.ඩී.බී) ගෙන ගොස් ප්‍රශ්න කරන ලදී. එහි පොලිස් අධිකාරිවරුන් වූයේ ලයනල් ගුණතිලක, ගාමිණී පෙරේරා, ආරියසිංහ සහ ජයසිංහය. පසුව ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයට(ඔප්ස් කම්බයින්) ගෙනවිත් දීර්ඝ ලෙස ප්‍රශ්න කළද හෙතෙම කිසිවකට උත්තර නොදුන්නේය. වධ බන්ධන වලට ලක්වූවද කිසිදු තොරතුරක් අනාවරණය නොකළේය. පසුව සමන් පියසිරි 1989 දෙසැම්බර් 29 මත්තේගොඩදී ඝාතනයට පත්වූ අතර සිරුර පොල්අතු ගොඩක් උඩට දමන ලදී. එහිදී ඔහු සමඟම 1989 දෙසැම්බර් 28 නුගේගොඩ දෙල්කඳදී ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්වූ ජවිපෙ මධ්‍යම කාරක සභික සමරප්පුලිගේ සෝමසිරි හෙවත් රාගම සෝමේද, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් සන්නද්ධ ලේකම්වරයෙකු වශයෙන් සිටි වැලිසර පදිංචි යුස්ටස් දිලීප් චන්ද්‍ර ප්‍රනාන්දු හෙවත් පතී හෙවත් සොයිසාද, දකුණු පළාත් සන්නද්ධ නායකයෙකු වූ රත්නායකද ඝාතනය විය. ඔවුන්ගේ සිරුරු පන්නිපිටියේදී විනාශ කෙරිණි. රාගම සෝමේ සහ පතී දෙසැම්බර් 28 ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගන්නා ලද්දේ සමන් පියසිරි ගේ රියදුරකු වු රාගම ඇල්පිටි‍වෙල පදිංචි කොන්ගනිගේ ඩග්ලස් ඇන්තනි හෙවත් බන්දුලගේ මඟ පෙන්වීම ඔස්සේ බව කියති.

රාගම ඩග්ලස් ඇන්තනි හෙවත් බන්දු හෙවත් බන්දුල අත්අඩංගුවට ගනු ලැබුවේ පිළියන්දල හැඩිගම පිහිටි කුකුළු ගොවිපොළට පැමිණීමේදී ආරක්ෂක හමුදාවේ ‘ඇම්බුස් උගුලක්’(සැඟවී සිට එම ස්ථානයට පැමිණෙන අය අත්අඩංගුවට ගැනීම) හසුවීමෙනි. සමන් පියසිරි ගේ පෞද්ගලික සම්බන්ධීකාරකවරයෙක් වශයෙන් කටයුතු කළ මාතරගේ දොන් ආරියදාස(39) අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු සතුව තිබූ බදු ඔප්පුවක ලිපිනයක් අනුව හැඩිගම ගොවිපොළද පොලිසිය වැටලෑවේය. එහි බාරකරු වශයෙන් සිටි ආනන්ද, ඔහුගේ බිරිඳ සහ දරුවා සමඟින් අත්අඩංගුවට පත්වූ අතර පසුව ආනන්ද ඝාතනයට ලක්විය. සමන් පියසිරි ගේ නැඟණිය වන රංජිනී විවාහ ගිවිස ගැනීමට සිටි ජවිපෙ ක්‍රියාකාරිකයකු වූ රාජාද එදිනම උදෑසන 8ට නුගේගොඩ නාවල පාරේ බස් නැවතුම්පොළ අසලදී අත්අඩංගුවට පත්ව පසුව බොරැල්ල පොලිස් අපරාධ විමර්ශන මූලස්ථානයේදී (සී.ඩී.බී) වධ බන්ධනවලට ලක්වී ඝාතනය විය.

සමන් පියසිරි අත්අඩංගුවට ගත් අවස්ථාවේදී එම නිවසේ සිටි සමන් පියසිරි ගේ මවද ඔහුගේ කණිටු නැගණිය වන රංජනීද සමන් පියසිරි විවාහ ගිවිස ගැනීමට යෝජිතව සිටි ජවිපෙ හිටපු ලේකම් වීරකැටිය හීන්බුන්නේ උපන් දයා වන්නිආරච්චි ගේ නැඟණිය වන ඉන්ද්‍රානිද, ඇයගේ කනිටු සොහොයුරා වූ 1971 උපන් සමන් බන්දුලද (18) ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගන්නා ලදී. සමන් ගේ මව මාස කිහිපයකින් නිදහස් කරන ලදී. සමන් ගේ නැඟණිය සහ පෙම්වතිය අපරාධ විමර්ශන මූලස්ථානයේ 6වැනි තට්ටුව ඇතුළු ස්ථාන ගණනාවක විවිධ ප්‍රශ්න කිරීම් වලට ලක්ව අවසානයේ රන්මුතුගල නිවාසයේ වසර 2ක් පුනරුත්ථාපනයට ලක්ව නිදහස් විය. සමන් බන්දුල වන්නිආරච්චි අත්අඩංගුවට පත්වී දෙදිනකට පසු ඝාතනයට ලක්විය.

පිළියන්දල හැඩිගම පිහිටි කුකුළු ගොවිපළට ගොස් එහි සිටි ක්‍රියාකාරිකයන් අත්අඩංගුවට ගැනීමේදී එක් අයකු තබන ලද වෙඩි ප්‍රහාරයකින් සමන් පියසිරි මියගිය බව රජය ප්‍රකාශ කළේය. එහිදී ආරක්ෂක අංශ එසේ එල්ල කළ ප්‍රතිප්‍රහාර වලින් සමන් පියසිරි සහ රාගම සෝමේ ඇතුළු කොළඹ දිසා කමිටුවේ කැරලිකරුවන් 6ක් මියගිය බවද හදිසි නීතියේ 55වැනි වගන්තිය යටතේ ඒ සඳහා ක්‍රියාකර ඇති බවද එදින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ආරක්ෂක රාජ්‍ය ඇමති රන්ජන් විජේරත්න පැවසීය.

මාතරගේ දොන් ආරියදාස(39) අත්අඩංගුවට ගනු ලබන්නේ 1989 දෙසැම්බර් 26 අලුයමදීය. ඒ 1989 දෙසැම්බර් 12 අත්අඩංගුවට ගත් ජවිපෙ ක්‍රියාකාරිකයෙකු වූ ග්ලැඩ්ස්ටන් කොඩිකාර හෙවත් ටෝනි ගෙන් ප්‍රශ්න කිරීම්වල ප්‍රතිඵලයක් වශයෙනි. පොලිස් අධිකාරි රොනී ගුණසිංහ විසින් ටෝනි අත්අඩංගුවට ගන්නා විට ඔහු සිටි නිවසේ බාල්කයක් තුළ තැනූ කුහරයක සඟවා තිබී රුපියල් දශලක්ෂයකට අධික වටිනාකමකින් යුත් දේශීය සහ විදේශීය මුදල් තොගයක්ද සොයාගන්නා ලදී.

එම්. ඩී. ආරියදාස සිය බිරිඳ සහ දියණිය සමඟින් උඩහමුල්ල නිවසේ පදිංචියට ගියේ දේශපාලන මණ්ඩල සභික ලලිත් විජේරත්න ගේ දැනුම්දීමක් අනුවය. වසර 1989 දෙසැම්බර් 10 එසේ පදිංචිය වෙනස් කිරීමට පෙර 1989 ඔක්තෝබර් සිට දෙසැම්බර් 10 දක්වා ආරියදාස සිටියේ මහරගම බටදොඹගහවත්තේ නිවසකය. එහි සිටියේ සමන් පියසිරි ගේ නැඟණිය සහ මව ඇතුළු පවුලේ දෙදෙනෙකි. උඩහමුල්ල නිවසේ සිටින විට 1989 දෙසැම්බර් 25 උදෑසන සමන්ගේ නැඟණිය විසින් ආරියදාසට කියා සිටියේ අනතුරුදායක තත්ත්වයක් උද්ගතවී ඇති බැවින් වහාම එම ස්ථානයෙන් පිටව යන බවය. කලින් ඇය ආරියදාසට කියා සිටියේ දෙසැම්බර් 27 යන බවකි. ඔවුහු ආරියදාස සහ දරු පවුල එහි ගෙන යෑමට මනාපයක් නොදැක්වූහ. එහෙත් සමන් පියසිරි ගේ නාවල නිවසට උඩහමුල්ල නිවසේ සිට පදිංචියට යෑමේදී බඩු රැගෙන යෑමට දෙදෙනෙකු ගේ සහාය ලබාගත්හ.

උඩහමුල්ල නිවසින් දෙසැම්බර් 25 සවස ඉවත්වන ආරියදාස සිය බිරිඳ සහ දරුවා සමඟින් තම වැඩිමහල් සහෝදරිය පදිංචිව සිටි දෙහිවල කවුඩාන පාරේ නිවසේ තාවකාලික වාසයට ගියේය. එදින රාත්‍රී 9.30ට පමණ සහෝදරිය ගේ නිවසට ගොස් නිදාගෙන සිටියදී ත්‍රීවිල් රථ රියදුරකු වන මාතර පතිරණ ගේ මඟ පෙන්වීම මත අලුයම එම ස්ථානය වටකළ ආරක්ෂක අංශ ආරියදාස සහ ඔහුගේ බිරිඳ ද අත්අඩංගුවට ගන්නා ලදී. සමන් පියසිරි ගේ නාවල නිවස ආරක්ෂක අංශ වෙත පසුව හෙළිදරව් විය. ජවිපෙ සාමාජිකයකු වූ ආරියදාස සිය මිතුරකු වු ලලිත් විජේරත්න ගේ ඉල්ලීම මත 1986 සිට ජවිපෙ 2වැනි කැරැල්ලට ක්‍රියාකාරිව එක්වූවෙකි.

එම්. ඩී. ආරියදාස සාමාන්‍ය පෙළ සමත්වූයේ දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයෙනි. උසස් පෙළ පෞද්ගලික විද්‍යාලයකය. වරලත් ගණකාරි ආයතනයේ ප්‍රථමික පරික්ෂණයෙන් සමත්ව එහි අවසාන පරීක්ෂණයට ඔහු සූදානම්ව සිටියේය. ආරියදාස රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විගණන පරික්ෂක වශයෙන් කම්කරු දෙපාර්තමේන්තුවේ මුදල් අංශයට අනුයුක්ත සේවය කළේය. මහරගම බටදොඹගහවත්ත පටුමගේ අංක 59 පදිංචිව සිටි ඔහු 1983 නොවැම්බර් 01 විවාහ වූයේ දෙහිවල සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවේ සීතා එම්. පී. අබේවර්ධන සමඟය.

වසර 1970 ඇලඩින් සුබසිංහ මගින් දෙහිවලදී ජවිපෙට එක්වූ ආරියදාස අවසානයේ 1986 සිට සමන් පියසිරි ප්‍රනාන්දු ගේ පෞද්ගලික ලේකම්වරයකුද විය. ජවිපෙ විසින් ආරියදාස ගේ නමට වසර එකහමාරකට බදුගත් බොරලැස්ගමුව සමූපකාර මාවතේ 29/4 දරන නිවස ජවිපෙ ඉහළ පෙළේ නායකයන් ගේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් වූ අතර බැංකුවලින් පැහැරගත් රත්තරන් කිලෝ 60ක් සහ මුදලින් රුපියල් ලක්ෂ 23ක්ද එහි සඟවා තිබී ආරක්ෂක අංශ මගින් සොයාගනු ලැබීය. ඒවා සටහන් පොත්වල ඇතුළත් කරමින් දේශපාලන සභිකයන්ට ඔවුන් ගේ ඉල්ලීම පරිදි ලබා දුන්නේ ආරියදාසය.

වසර 1992 පෙබරවාරි 22 පෙරවරු 10.10ට යුද්ධාධිකරණය හමුවේ යුද හමුදා පොලිසියේ ලාන්ස් කෝප්‍රල් ආර්. කේ. අයි. සිල්වාට එරෙහි නඩුවේදී මාතරගේ දොන් ආරියදාස විසින් දෙන ලද සාක්කියේ සමන් පියසිරි අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාළ යුද්ධාධිකරණ වාර්තාවේ අදාළ කොටස පහත දැක්වේ.

බ්‍රිගේඩියර් සිරි පිරිස් ගේ සහභාගිත්වයෙන් යුත් යුද්ධාධිකරණයේ සෙසු සාමාජිකයන් වූයේ කර්නල් ජේ. පී. ඒ. ජයවර්ධන සහ ලුතිනන් කර්නල් වී. ආර්. සිල්වාය. නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ඩී. පී. කුමාරසිංහ යුද්ධාධිකරණයේ විනිශ්චකාර අධිනිතිඥයෙකු ලෙස ක්‍රියා කළේය. පැමිණිල්ල මෙහෙය වූ නිලධාරිනිය වූයේ මේජර් අයි. විජේරත්නය. (මෙහි පහත ජනක ලෙස නම්කර ඇත්තේ සමන් පියසිරි ප්‍රනාන්දුය.)

පැමිණිල්ලේ නිලධාරිනි: තමුන් අල්ල ගත්තේ කවදාද?

ආරියදාස: 1989 දෙසැම්බර් 25.

පැමිණිල්ලේ නිලධාරිනි: ලලිත් විජේරත්නයි තමනුයි විතරද ඒ ගෙදර පදිංචිවී සිටියේ?

ආරියදාස: මමයි, ලලිත් විජේරත්නයි, මගේ බිරිඳයි. දරුවයි.

පැමිණිල්ලේ නිලධාරිනි: කොහේද ඒ ගෙදර?

ආරියදාස: බොරලැස්ගමුව සමූපකාර මාවතේ පාසැල් පෙදෙස.

සභාපති: බොරලැස්ගමුවේ හිටියේ කවදාද?

ආරියදාස: 1988 අප්‍රේල් මාසයේ සිට 1989 ඔක්තෝබර් 4 තෙක්. බදු කාලය ඉවරවෙනකම්.

පැමිණිල්ලේ නිලධාරිනි: ඊට පස්සේ?

ආරියදාස: මහරගම වජිරාඥාණ පටුමගේ 59/1 වගේ තැනක.

විනිශ්චකාර අධිනීතිඥ: තමන් සමන් පියසිරි ප්‍රනාන්දු සහ තවත් හුඟක් අය අාශ්‍රය කළානේ?

ආරියදාස: ඔව්

විනිශ්චකාර අධිනීතිඥ: ලලිත් විජේරත්න කියන කෙනා කෝ දැන්?

ආරියදාස: එයා මැරුණා කියලා තමයි දන්නේ.

විනිශ්චකාර අධිනීතිඥ: සමන් පියසිලි ප්‍රනාන්දු හෙවත් ජනක කියන කෙනා කෝ දැන්?

ආරියදාස: එයත් පොලිස් අත්අඩංගුවට ගත්තා. එයත් මැරුණා කියලා තමා දැනගන්න තියෙන්නේ?

විනිශ්චකාර අධිනීතිඥ: කොහෙදිද පොලිස් අත්අඩංගුවට ගත්තේ?

ආරියදාස: එයා ගත්තේ නාවල කොස්වත්තේදී.

පැමිණිල්ලේ නිලධාරිනී: ජනක ගේ සහෝදරිය ගේ නිවසේදී ඇතිවූ ප්‍රශ්නය මොකද්ද?

ආරියදාස: ඒ ගොල්ලන් ඒ නිවස හැරයෑමට සූදානමින් සිටියේ. අපිට ගෙයක් ලැබෙන්න තිබුණේ 1986 දෙසැම්බර් 26. ජනකගේ නංගිලා ඒ ගොල්ලොන්ගේ අලුත් ගෙදරට යන්න හිටියේ දෙසැම්බර් 27වැනිදා. නමුත් ආරක්ෂක අංශවලින් කොයි මොහොතේ හරි එතෙන්ට එන්න පුළුවන් කියලා ඒ ගොල්ලෝ සැක කළා. ඒ නිසා දෙසැම්බර් 25 හදිස්සියේම එයාලා තීරණයකට ආවා.

පැමිණිල්ලේ නිලධාරිනි: ජනකගේ නංගීත් ගියාද?

ආරියදාස: ඔව්.

පැමිණිල්ලේ නිලධාරිනි: ගෙයි ඇඩ්‍රස් එක කීවද ජනකගේ නංගී?

ආරියදාස: ඇඩ්‍රස් එක දුන්නේ නැහැ. ඒ ගොල්ලෝ ඉන්න තැන දැනගන්නවා කියන ප්‍රශ්නේ උඩ. ඒ ගොල්ලෝ යන තැනකට අපිව එක්ක යන්න සූදානමක් නෑ.

පැමිණිල්ලේ නිලධාරිනි: තමුන්ට දැනගන්නට ලැබුනාද ජනක කියන පුද්ගලයා අත්අඩංගුවට ගත්තා කියලා?

ආරියදාස: ඔව්. මගේ ඉස්සරහ පිටදී තමා අත්අඩංගුවට ගත්තේ.

පැමිණිල්ලේ නිලධාරිනි: තමන්ගේ ඔත්තුවක් මත ද ජනකව අත්අඩංගුවට ගත්තේ?

ආරියදාස: මට කියන්න පුළුවන්, ඒ කියන්නේ මාව පදනම් කරගෙන තමයි එයා අත්අඩංගුවට ගත්තේ කියලා.

පැමිණිල්ලේ නිලධාරිනි: කොහාටද ගියේ?

ආරියදාස: නාවල පැත්තට. තැන් තැන්වලින් එක එක්කෙනා ගෙන් තොරතුරු විමසමින් ඒ ගොල්ලෝ වෑන් එකකින් හුඟක් එහාට මෙහාට ගියා. ඒ ගිහිල්ලා එක ගෙයක් වට කළා. නමුත් ඒ ගෙය නොවෙයි කියලා ඒ ගොල්ලොන්ට තේරුණා. වෑන් එක ඒ එක්කම පල්ලෙහාට ගිහින් නැවතුවා. ඒ ගොල්ලෝ ඇතුළට ගියා. මාව ඇතුළට එක්ක ගියේ නැහැ. මම වෑන් එකේ හිටියා. ඇතුළට ගියාට පස්සේ එයාව ගෙනාවා.

පැමිණිල්ලේ නිලධාරිනි: ජනක කොහේද වාඩි වුණේ?

ආරියදාස: එයා මගේ ගාවින් තමා වාඩි වුණේ.

පැමිණිල්ලේ නිලධාරිනි: ජනක කතා කළාද?

ආරියදාස: කතා කළේ නෑ. දෑත් බැඳලා. ඉතාම ද්වේශකාරි තත්ත්වයකින් ඉන්නවා මම දැක්කේ.

මාතරගේ දොන් ආරියදාසට එරෙහි නඩුවේදී මහාධිකරණ විනිසුරු එෆ්.ඩී.එන් ජයසූරිය විසින් 1992දී ආරියදාසට බරපතළ වැඩ ඇතිව වසර 2ක සිරදඬුවමක් පනවා එය වසර 10කට අත්හිටුවන ලදී. එයට පෙර තෙලවල, බූස්ස සහ පැලවත්ත කඳවුරුවල රැඳවියකු ලෙස සිටි ආරියදාස නිදහස ලැබීමෙන් පසු රජයේ රැකියාව යළි හිමිවිය. සමන් පියසිරි ගේ සමීපතමයකු වූ වානේ සංස්ථාවේ සේවය කළ ඉංජිනේරුවෙකු වන පිළියන්දල පදිංචි දෙදරු පියකු වූ ප්‍රේමරත්න ප්‍රනාන්දුද 1990 ජූලි හෝමාගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පසුව ඝාතනය විය.

පැමිණිල්ලේ නිලධාරිනී: ඊට පස්සේ?

ආරියදාස: ඊට පස්සේ ජනක ගෙන් ඇහැව්වා මාව අඳුරනවද කියලා. එයා දන්නේ නැහැ කීවා.

විජේවීර ඝාතනයෙන් පසු මසක් පිරෙන 1989 දෙසැම්බර් 13 රට පුරා විවිධ ස්ථානවලට පහරදීමට ජවිපෙ තීරණය කළ අතර, එය ඉතිරිව සිටි කැරලිකරුවන් බහුතරයකට සහ ආරක්ෂක අංශ විසින් රඳවාගෙන සිටි දහස් ගණනකට මරණය කැඳවාගැනීම ඉක්මන් කරන්නක් විය.

එම තීරණය ගැනීමට නිවැරදි විග්‍රහයක් සහ ඒ වනවිට කණ්ඩායම සතු වු සන්නද්ධ හැකියාව පිළිබඳව පූර්ණ තක්සේරුවක්ද නව දේශපාලන මණ්ඩලය සතු නොවූහ. කැරැල්ලේ අවසන් භාගය වන 1989 ජුලි සිට සන්නද්ධ අංශය මධ්‍යගත නොවූ අතර බොහෝ කලාප නායකයන්ට අවැසි ලෙස හුදකලාවේ සන්නද්ධ අංශය ක්‍රියාත්මක විය.

ජවිපෙ 2වැනි නායකයා වශයෙන් 1989 නොවැම්බර් 28 තෝරා පත්කරගත් සමන් පියසිරි ප්‍රනාන්දු 1989 දෙසැම්බර් 29 ඝාතනයට පත්වන විට දින 32ක් ජවිපෙ නායකයා වශයෙන් කටයුතු කළේය.

Comments