බැසිල් පාර්ලිමේන්තුවේ සිටිය යුතුමයි | සිළුමිණ

බැසිල් පාර්ලිමේන්තුවේ සිටිය යුතුමයි

19න් විනාශ වූ රට අපි 20න් ගොඩගන්නවා 
‘යහපාලන‘ බලවේග තාමත් හොල්මන් කරනවා

- වෙළෙඳ අමාත්‍යාංශයෙන් නව සැලසුම් රැසක් ක්‍රියාත්මක කරනවා...
- පිටරටින් බඩු ගෙන්වන එක නවත්තපු ගමන් රට ඉදිරියට යනවා...

20 වැනි සංශෝධනයට තුනෙන් දෙක ලැබුණා. රජයේ ප්‍රබල ඇමැතිවරයකු හැටියට ඔබගේ අදහස?

ආගමික නායකයින්, දේශපාලන පක්ෂ මෙන්ම රජයේ මැති ඇමැතිවරුන් ඉදිරිපත් කර තිබූ සංශෝධන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා පිළිගෙන ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකර්ම යෙදීමට කටයුතු කරන බැවින් මෙය විජයග්‍රහණයක් ලෙස සැලකිය හැකියි.

සියලුම ජාතීන්ට, ආගම්වලට මෙන්ම සෑම පුද්ගලයකුටම මේ රට තුළ සහයෝගයෙන් සිටීම සඳහා ජීවත්වීම සඳහා ඉදිරියේදී 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ රට තුළ ක්‍රියාත්මක කිරීමට රජය බලාපොරොත්තු වෙනවා.

විශේෂයෙන්ම රටේ ආරක්ෂාව, ඒකීය භාවය මෙන්ම සංවර්ධන ක්‍රියාදාමය සඳහා ඍජු තීන්දු තීරණ ගැනීමට මේමගින් හැකියාව ලැබෙනවා.

ජනතාව දැනට මාස 11කට ඉහතදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ලක්ෂ 69ක ඡන්ද ලබා දෙමින් ඔහු ජනාධිපති බවට පත් කරන්නෙ මෙම අවශ්‍යතාවන් මතයි. එලෙසම වර්තමාන රජය තුනෙන් දෙකක පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන ජයග්‍රහණය කරන්නේද ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කිරීම සඳහායි. දැන් අපි කළ යුත්තේ ජනතාව වෙනුවෙන් වැඩ කිරීමයි.

මැතිවරණයට පෙර අපි ප්‍රසිද්ධ වේදිකාවේ ජනතාව සමඟ සංවාදයක් ගොඩනැගුවා; 19 ඉවත් කරලා අලුත් ව්‍යවස්ථාවක් ගේන්න අපිට තුනෙන් දෙකක බලයක් ලබා දෙන්න කියලා. ජනතාව ඒ සඳහා අපිට අවස්ථාව ලබා දුන්නා.

එක රටක් උඩ එක නීතියක් ක්‍රියාත්මක වන සියලුම ජාතීන්ට, සියලුම ආගමිකයන්ට එකට සිටිය හැකි මේ රට සංවර්ධනය කරා ගෙන යාමට අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට හැකියාවක් තිබෙන ව්‍යවස්ථාවක් අපිට අවශ්‍යව තිබෙනවා. මෙය කාලයක් තිස්සේ රටට දැනුණු අවශ්‍යතාවක්. හුදෙක් දේශපාලනඥයන්ගේ අරමුණක් නොවෙයි. මේ රටේ අතිමහත් බෞද්ධයන්, ආගමික නායකයන්, කිතුණු ආගමික නායකයන්, විවිධ ජනවර්ගවල ඉන්න නායකයන් ඇතුළු සියලු දෙනාගේ පොදු අදහස වුණේ රටට ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කළ යුතුයි කියන එක.

ඒ සඳහා තමයි ලංකා ඉතිහාසයේ කිසි දිනක සිදු නොවුණු ජනවරමක් අපිට ලබා දුන්නේ. විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂයන් ජනාධිපති ලෙස බලයට ගෙන ඒමට ජනතාව කටයුතු කළේ ඔහු පිළිබඳව දැඩි විශ්වාසයක් ඇතිවයි. අන්න ඒ ජනතාව වෙනුවෙන් රටට යහපත් තීන්දු තීරණ ගැනීම අපගේ වගකීමයි. එතුමා රට බාර ගන්න අවස්ථාවේ අපේ රටේ ඉතිහාසයේ ගමන් මග වෙනස් කිරීම සඳහා ඔහුට අවස්ථාව ලැබුණා. ජනාධිපතිවරයා ලෙස රුවන්වැලි මහා සෑ චෛත්‍ය රජාණන් අබියස සිට දිවුරුම් දුන්නේ රට, ජාතිය, ආගම ආරක්ෂා කරන බවටත් සියලු සංස්කෘතීන්ට ගෞරව කරන බවටත් ප්‍රතිඥාව ලබා දෙමින්.

ඉකුත් යහපාලන රජය වසර හතරකට වඩා කාලයක් කරගෙන ගියේ 19 මගින්. ඇයි ඔබ 19 එපා කියන්නේ?

19 මගින් තමයි ලංකාවේ දරුණුම බිහිසුණුම කාලය ගෙවන්නේ. 19 නිසා මේ රටේ ජාතික ආරක්ෂාව බිංදුවට වැටෙනවා. අන්තවාදී ප්‍රහාරයක් එල්ල වෙනවා. මිනිස් ජීවිත 257 අහිමි වෙනවා. තවත් පිරිසක් ආබාධිතයන් බවට පත්වෙනවා. 19 වැනි ව්‍යවස්ථාව මෙම ප්‍රහාරයට හේතුවක් වනවා. අගමැති සහ ජනාධිපති අතර තිබෙන ගැටුම නිසාවෙන්ම මේ රටේ ආරක්ෂාව පහත වැටෙනවා.

ඔබ කියන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර ගැටුමට හේතුව 19 කියලද?

පැහැදිලිවම ඔව්. රටේ තීන්දු තීරණ ගැනීම තුළ මේ දෙදෙනාගේ බලතල අතර ගැටුමක් තිබුණා. කෙනෙක් ගන්න යහපත් තීරණ අනෙක් කෙනා නතර කරනවා. මේ නිසා රටට විශාල හානියක් සිදු වුණා.

මේ අය විසින් කරන ලද ස්වාධීන යැයි කියන කොමිෂන් වල කිසිදු ස්වාධීන බවක් තිබුණේ නැහැ. විශේෂයෙන්ම මැතිවරණ කොමිසමේ ක්‍රියාකාරීත්වය අප සියලු දෙනා දන්නවා.

ද්විත්ව පුරවැසිභාව නැවත ගෙන එමින් බැසිල් රාජපක්ෂයන් පාර්ලිමේන්තුවට ගෙන එන්න 20 ගෙන එන බව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කරනවා. මේ කියන්නේ ඇත්තක්ද?

අපි ඒ සම්බන්ධව පැහැදිලි උත්තරයක් දෙනවා. මේ සම්බන්ධව අපි ජනාධිපතිවරයා, අගමැතිවරයා දැනුම්වත් කර තිබෙනවා; විපක්ෂය මෙවැනි චෝදනාවක් ගෙන එනවා නම් ඔය කාරණය ඉවත් කරන්න කියන කාරණය. මේ පිළිබඳව විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර ඇතුළු අපි කණ්ඩායමක්ම පවසා තිබෙනවා.

නමුත් බැසිල් රාජපකෂ මහතා අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි. ඔහුට අනිවාර්යයෙන්ම කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා දිය යුතුයි. ඔහු මේ රටට වැඩ කර ඇති වැඩ කළ හැකි අයෙක්. අනිවාර්යෙන්ම ඔහු ඉදිරි කාලයේදිත් එසේ වැඩ කරාවි.

ඔහුට දක්ෂතා කුසලතා නිර්මාණ හැකියා රැසක් තිබෙනවා. බැසිල් රාජපක්ෂයන්ට පුළුවන් ගෝඨාභය රාජපක්ෂයන් අනුගමනය කළ ක්‍රමය අනුගමනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණෙන්න. අපි මේ පිළිබඳව යෝජනා කර තිබෙනවා.

ඔහුට පාර්ලිමේන්තුවට පැමිණීමේ සහ ඉදිරියට මේ රටට වැඩ කිරීමේ අවස්ථාව ලබා ගත හැකියි. 

පාර්ලිමේන්තුව තුළ ජනමත විචාරණයක් පිළිබඳව කතාබහ කරනවා නේද?

ඇත්තටම එහෙම අවශ්‍යතාවක් නැහැ. මොකද අපිට එහෙම යන්න වුවමනාවක් නැහැ. අපිට තුනෙන් දෙකක බලයක් තිබෙනවා.

ආණ්ඩුව ඇතුළේ අර්බුදයක් තිබෙනවාද?

සජිත් ප්‍රේමදාස මහත්තයලා තමයි ඔය කතා කියන්නේ. මොකද ඔහු කැබිනට් ඇමතිවරයකුව සිටියදී යහපාලන රජය රටට අයහපත් තීන්දු තීරණ ගනිද්දි නිහඬව සිටියා. ගන්න හැම තීරණයක්ම නිහඬව සිටිමින් අනුමත කළා. වන්දි භට්ටයන් ආවතේවකරුවන් ලෙස කැබිනට් එක තුළ ඔහු සිටියා. මහ බැංකු අධිපති පත්කරනකොට නිහඬව සිටියා. කොමිෂන් වලට, රාජ්‍ය ආයතනවල තනතුරු වලට නුසුදුසු පුද්ගලයන් පත්කරන කොට නිහඬව සිටියා.

මුස්ලිම් අන්තවාදය හොඳටම දන්නවා; එතකොට නිහඬව ඉන්නවා. හොඳටම දන්නවා පාස්කු ප්‍රහාරය එල්ල වෙනවා කියලා; එතකොට නිහඬව ඉන්නවා. අපේ ආණ්ඩුව තුළ අපි එහෙම ඉන්නේ නැහැ. අපි සංවාද කරනවා. අදහස් හුවමාරු කර ගන්නවා.

20 සම්බන්ධව විමල්, ගම්මන්පිල, වාසුදේව නානායක්කාර යන ඇමැතිවරුන් ප්‍රසිද්ධියේ යම් යම් කරුණු සම්බන්ධව නොබියව විවේචන සිදු කරනවා. ඒ ඔවුන්ගේ මතය. හොඳ දේශපාලන ගමනක් යන්න නම් නිතර නිතර මත ගැටුම්, දේශපාලන සාකච්ඡා, සංවාද ගොඩනැගිය යුතුයි. සාමූහිකව හොඳ තීරණ ගන්න පුළුවන් එවිටයි.

අපගේ රජය ඇතුළේ අපිට කතා කිරීමේ, අදහස් ඉදිරිපත් කිරීමේ සහ ක්‍රියාවට නැංවීමේ හැකියාව තිබෙනවා. එය තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. ජනතාවගේ බලාපොරොත්තුවත් ඒක තමයි.

මෙවැනි සංවාද, ගැටුම් හැටියට දැකීම අර්බුද ලෙස දැකීම විහිළුවක්.

පාස්කු ප්‍රහාරය සම්බන්ධව සැකපිට අත්අඩංගුවේ සිටි බදුර්දීන් මන්ත්‍රීවරයාගේ සොහොයුරා වන රිෂාඩ් බදුර්දීන් එකවර නිදහස් කිරීම සම්බන්ධව නොයෙක් පාර්ශ්වයන් රජයට චෝදනා කරනවා. ඔබ මේ පිළිබඳ මොකද කියන්නේ?

මේ සම්බන්ධව රජයට චෝදනා කිරීම කිසිම සාධාරණ හේතුවක් උඩ සිදු කරන්නේ නැහැ. දේශපාලන වාසි වෙනුවෙන් තමයි මෙම චෝදනාව සිදු කරන්නේ. රාජ්‍ය යාන්ත්‍රණය තුළ පොලිසිය, රහස් පොලිසිය, අපරාධ අංශ පිළිබඳ ගැටලු තිබෙනවා. තවමත් ඉකුත් රජයේ තිබූ බලවේග මේ ආයතන තුළ හොල්මන් කරනවා.

ඉකුත් වසර හතර තුළ හදලා තිබුණේ අපිරිසුදු රාජ්‍ය තන්ත්‍රයක්. ගෝඨාභය රාජපක්ෂයන් බලයට පැමිණි විගස රජය සුද්ද කරන්න අමාරුයි. ඇත්තටම සුද්ද කරන්න බැහැ මේ තියෙන විවිධ කොමිෂන් හරහා.

හොඳම උදාහරණය තමයි පොලිස්පති මොනතරම් වැරදි කළත් ජනාධිපතිවරයාට ඔහුව එම ධුරයෙන් ඉවත් කරන්න බැහැ. ඉතින් කොහොමද ඔය කියන ආයතන අපිට ඕන විදියට මෙහෙය වන්නේ. මේ නිසා අපි ටිකෙන් ටික මේවා නිවැරැදි කළ යුතුයි.

අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එය සිදු කරමින් පවතිනවා.

ආහාරපාන ඇතුළු භාණ්ඩ මිල ඉහළ ගිහිල්ලා. සාමාන්‍ය ජනතාව දුෂ්කරව ජීවත් වෙන්නේ. කවදාද මේ තත්ත්වයෙන් ගොඩ එන්න පුළුවන්?

මම කවදාකවත් කියලා නැහැ බඩු මිල අඩු කරනවා කියලා. අපි කියලා තියෙන්නේ උද්ධමනය වැඩිවීමේ වේගය පාලනය කරනවා කියන එක පමණයි.

ලෝකයේ ඕනෑම රටක බඩු මිල අඩු කිරීමට තිබෙන්නේ එක ක්‍රියාමාර්ගයයි. රටේ නිෂ්පාදනය වැඩි වෙන්න ඕන. නිෂ්පාදනය වැඩි කරන්නේ නැතිව කිසිම භාණ්ඩයක මිල අඩු වෙන්නේ නැහැ. ඒක තමයි මහපොළවේ තිබෙන යථාර්ථය.

දේශපාලනඥයන් විසින් විද්‍යාත්මක චින්තනයක් නොමැති හුදී ජනයාගේ පහන් සංවේදීතාව සඳහා පමණයි බඩු මිල පහත දමනවා කියන එක යොදා ගන්නේ.

ලෝකයේ ඕනෑම කෙනෙක් දන්නවා; නිෂ්පාදනය වැඩි කරමින් සහල් නිෂ්පාදනය වැඩි කළහොත් සහල් අතිරික්තයක් කරා ගෙන ආවොත් වෙළෙඳ සහල් මිල ගණනත් පහත දැමිය හැකි බව. මිල පාලනයක් සිදු කළත් නොකළත් එය ඉබේම සිදු වෙනවා.

බී ළූණු, කහ වැනි ආහාර ද්‍රව්‍ය අද වෙළෙඳ පොළේ නැහැ. එලෙසම මිල අධිකයි. කොහොමද මෙහෙම වෙන්නේ?

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති වගේ නොවෙයි අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති. එක්සත් ජාතික පක්ෂය වක්කඩ කැඩුවා වාගේ සැමදේම පිටරටින් ගෙන ආවා. මේ හේතුවෙන් මේ රටේ නිෂ්පාදනය අඩු වුණා. එතකොට ජනතාවට ආදායම අඩු වුණා. ජීවත් වෙන්න අමාරු වුණා. ගන්න ණය වාරිකය ගෙවා ගන්නට ජනතාවට නොහැකි වුණා. ගොවියෝ සියදිවි නසා ගත්තා.

මේ නිසා අපේ ප්‍රතිපත්තියට අනුව මේ රටේ වගා කළ හැකි සියලුම දේවල් රට තුළ වැවීම හා නිපදවීම කිරීම තමයි ගෝඨාභය රාජපක්ෂයන්ගේ ප්‍රතිපත්තිය.

ඔබ එසේ කීවත් ජනතාව කහ ලැබෙනතුරු බලාගෙන සිටිනවා. කවදාද රජය මැදිහත්වී ඔවුනට කහ ලබා දෙන්නේ?

ජාවාරම්කරුවන් විසින් මේ කහ කන්ටේනර් ටික නිදහස් කළහොත් පුළුවන් කහ ලාබෙට ගන්න. ඔබට පුළුවන් මෙය නිදහස් කර මිලියන 400 ක පගාවක් ගන්න. කහ කන්ටේනර් පෙට්ටි 05 මෙලෙස තිබෙනවා.

අද ළූණු කිලෝවකට පාලන මිලක් නැහැ. රුපියල් 200, 230. මේ මුදලටවත් ජනතාවට ගන්න විදියක් නැහැ. කොහොමද මෙහෙම වෙන්නේ?

මේක තුලනය කරන්න ඕන. ඒ කියන්නේ අනවශ්‍ය ලෙස ගොවීන් අධික ලෙස ලාභ ලබන කොට ඒ භාණ්ඩයේ තීරුබද්ධ අඩු කරලා ගෙන්වගන්න ඉඩ දෙන්න ඕන. මේක තමයි අපි ළූණු වලට කළේ.

ළූණු වලට රජය ඉතා හොඳ පාලන මිලක් පැනෙව්වා. රුපියල් 150 ට කිලෝ එක තිබුණු ළූණුවලට ගොවියෝ කරපු වැඩේ තමයි මේ. ළූණු වලට විශාල බද්දක් තිබුණු නිසා රුපියල් 150 ට තිබූ එක රුපියල් 160 කළා;170 කළා; 200 වුණා; 230 දක්වා මිල ඉහළ යනකම් අපි බලාගෙන සිටියා.

මේ නිසා ජනාධිපතිවරයා තීරණය කළා, තීරු බද්ද ඉවත් කරලා ළූණු රටින් ගෙන්වන්න. තව සති දෙකකින් විතර ළූණු මිල පහත වැටෙයි.

හැබැයි මේ දිනවල ලෝකයේ පවතින ආර්ථික සමාජීය තත්ත්වය අපි තේරුම් ගත යුතුයි. මුළු ලෝකයම කොවිඩ් 19 වසංගතයෙන් වැහිලා ගිහිල්ලා. නිෂ්පාදනය අඩුවෙලා. ශ්‍රී ලංකා ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මුහුණ නොදුන් තත්ත්වයකට අද අප රජය මුහුණ දී සිටිනවා.

කොවිඩ් නිසා අද කර්මාන්ත ශාලා එකිනෙක වසා දැමෙනවා. රැකියා අඩු වෙනවා. ගුවන් තොටුපොළ වහලා. භාණ්ඩ ප්‍රවාහනය කරන්න විදියක් නැහැ.

කොවිඩ් 19 පාලනය කිරීමට අපිට ඉක්මණින් නොහැකි නම් බඩු මිල පාලනය සම්බන්ධව විසඳුම් සොයන එක අපිට තනිව කරන්න බැහැ.

වෙළෙඳ අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් කොහොමද?

සැලසුම් රාශියක් තිබෙනවා. මේ සියල්ල ක්‍රියාත්මක කිරීම සඳහා මුල්‍ය සම්පත් වෙන්කරලා දෙන්න ඕන අයවැය මගින්. අයවැයෙන් මූල්‍ය වෙන්කරලා දෙන්නේ නැත්නම් ඒවා කරන්න බැරි වෙනවා. ඉදිරි අයවැය ගැන බලාපොරොත්තුවෙන් සිටිනවා. ඉන්පසුව අපගේ අයවැය සැලසුම් පිළිබඳව දැනුම්වත් කළ හැකියි.

Comments