වරාය විකිණීම ගැන කතා අපි ගාව නැහැ! | සිළුමිණ

වරාය විකිණීම ගැන කතා අපි ගාව නැහැ!

වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ

මම මේ අමාත්‍යාංශයේ ප්‍රධානියා හැටියට කම්කරු අයිතිවාසිකම් ගැන, ඔවුන්ගේ සුබ සාධනය ගැන, සුබවාදී, යහපත් ප්‍රවේශයක් දරනවා නම්, ඔවුන්ගේ ගැටලු ගැන විනිවිද භාවයකින් කටයුතු කරනවා නම් මම ඉන්න ස්ථාවරයටම නිලධාරීන්ට එන්න වෙනවා. එතකොට ඉස්සරහට ඔය ගැටලු කිසිවක් ඇති වෙන්නේ නැහැ.

ප්‍රධාන පක්ෂ දෙක එකතුවෙලා සම්මුතිවාදී රජයක් බිහිකරලා තියෙන අවස්ථාවක් මේක. මෙහිදී කවුරුහරි වරදක් කරලා තිබෙනවා නම් ස්වාධීන පරීක්ෂණ කරලා දඬුවම් කරන්න ඕණේ. ඒක අපේ සම්මුතිවාදී රජයේ සාමුහික ප්‍රතිපත්තියක්.

පසුගියදා සිදුවූ කැබිනට් සංශෝධනය, අමාත්‍යාංශවල දැනට ඇතිවී තිබෙන ගැටලුකාරී තත්ත්ව, සහ තම නව අමාත්‍යාංශයේ ඉදිරි කාර්යභාරය ගැනත් වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා මෙසේ අදහස් දක්වයි.

පසුගියදා සිදුවුණු කැබිනට් සංශෝධනයෙන් ඔබට නව අමාත්‍යාංශයක් ලැබුණා. මේ වෙනස ගැන ඔබ දරන්නේ කෙබඳු අදහසක්ද?

මම හිතන්නේ වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය කියන්නේ අපේ ආර්ථිකයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය කියලයි. අපනයනකරුවන්, ආනයනකරුවන්, නැව් සමාගම්, ව්‍යාපාරිකයන් මේ සියල්ල මෙතැන වටා තමයි කේන්ද්‍රවෙලා තිබෙන්නේ. ඒ අතින් ගත්තම මේක රටේ තිබෙන ප්‍රධානතම අමාත්‍යාංශයක්. අද අපි කොළඹ වරාය ගත්තම ඒක ලෝක මට්ටමෙන් 23 වැනි ස්ථානයේ තිබෙන්නේ, ක්‍රමානුකූලව ඒ තත්ත්වයට එන්න අපේ වරාය පිහිටලා තියෙන භූගෝලීය සාධකත් බලපාන්න ඇති. කොහොම වුණත් මගේ අරමුණ වෙලා තියෙන්නේ, මේ තියෙන තැනටත් වඩා හොඳ තැනකට අපේ වරාය ගේන්නයි. කොළඹ විතරක් නො වේ. ලංකාවේ වරාය අටක් මගේ අමාත්‍යාංශයට අයත් වෙනවා. ඒ සියල්ල උසස් තත්ත්වයට ගෙන ඒම තමයි මගේ අරමුණ. එය රටට විශාල ආර්ථික ශක්තියකුත් වෙනවා.

පැවැති කැබිනට් මණ්ඩලය තුළ විවිධ චෝදනාවන්ට ලක්වූ පිරිස් සිටිය බව කියැවුණා. දැන් සංශෝධනය හරහාත් ඔවුන් ආරක්ෂා වුණා මිසක් වෙන යහපතක් රටට සිදුවුණේ නැහැ කියලා චෝදනාවක් නැගෙනවා?

චෝදනාවලට ලක්වුණු අය ඉන්නවා, ඒ අය තනතුරුවලින් ඉවත් කරනවා කියලා මාධ්‍ය මගින් තමයි ප්‍රචාරය වුණේ. එහෙම නැතිව ජනාධිපතිතුමාවත්, අගමැතිතුමාවත් එහෙම කතාවක් කියලා තිබුණේ නැහැ. කැබිනට් සංශෝධනය කියන එක හැම ආණ්ඩුවකම සිද්ධ වුණා. මේ වගේ සම්මුතිවාදී ආණ්ඩුවලත් වෙනවා. අනාගතයෙත් වෙනවා. ඒක සංශෝධනය කරන්න අවශ්‍ය වුණාම කාලයක් නැතිව කෙරෙනවා. මේ පාරත් ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් සාකච්ඡා ගණනාවක් කරලා තමයි සංශෝධනය කළේ.

ආණ්ඩුවේ ගිලිහෙමින් පවතින බලය ආරක්ෂා කරගැනීමට කැබිනට් සංශෝධනය භාවිත කළා කියලත් සමහරු කියනවා?

බලය තහවුරු කරගන්න කියලා දෙයක් අපිට නැහැ. මම දන්න විදිහට ඔවුන් මෙයින් බලාපොරොත්තු වුණේ කැබිනට් මණ්ඩලයට නව මුහුණුවරක් ලබාදීමෙන් ජනතා අපේක්ෂා ඉටු කිරීමයි. අනික හැම අමාත්‍යාංශයක්ම වෙනස් වුනෙත් නැහැනේ. ප්‍රධාන අමාත්‍යාංශ කිහිපයකයි වෙනස් වුණේ. එහෙම ඔබ කියන පරිදි බලය තහවුරු කරගැනීමක් කරන්න නම් සියලු අමාත්‍යාංශවල වෙනසක් කරන්න තිබුණා.

පැවැති ආණ්ඩුවට දූෂණ චෝදනා ගණනාවක් එල්ල කරමිනුයි මේ ආණ්ඩුව බලයට එන්නේ. ඒවා හරිහාමන් අයුරින් සනාථ කරලා, දූෂණයට තිත තියලා කටයුතු කිරීම පස්සට දාලා කැබිනට් සංශෝධනයකට ගිහින්ලා තියෙනවා. මෙයින් තවත් අමාත්‍යාංශ එකතු වෙලා තියෙනවා. මේ මගින් පේන්නේ ආණ්ඩුව ජනතාවට වුණු පොරොන්දු ඉෂ්ට නොකරන බව හා පැවැති චෝදනා වල පදනමක් නැති බව නේද?

ඔබ ඔය ප්‍රශ්නය අහන්නේ වැරදි කෙනෙක්ගෙන්. මොකද මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරලා පාර්ලිමේන්තුවට ආවේ. අපේ ආණ්ඩුවක් එක්ක හිටපු පිරිස් ගැන අපි කවදාවත් දූෂණ චෝදනා එල්ල කරලා නැහැ. හැබැයි ආණ්ඩුව ඇතුළේ සමහර පිරිස් ඔබ කිව්ව ආකාරයට ‍දූෂණය ගැන කතා කළා. ඒවා ගැන කතා කරලා මදි. සිද්ධ වුණා කියලා නිවැරදිව පරීක්ෂණ කරලා ඔප්පු කරන්න ඕනේ. එවැනි දේවල් හොයන්න මේ රජයෙන් පත්කරපු ඒකකයක් තිබෙනවා. ඒවාගේම පොලිසිය තිබෙනවා. ඔවුන් මේ ගැන සොයනවා. පමාවක් තියෙද්දි ජනතාවට ගැටලු මතුවෙනවා තමයි පරීක්ෂණ සිද්ධ වෙන්නේ නැහැ කියලා. නමුත් ස්වාධීන අධිකරණයක් තිබෙන අවස්ථාවක හරි හාමන් සාධක නැතිව ගියහම නඩු විසිකරලා දාවි. මොකද අධිකරණයට ඉස්සර වගේ පාලකයන්ගේ බලපෑමක් නැහැනේ. ඉතින් පරීක්ෂණ ඉදිරියට යාවි ඒගැන ගැටලුවක් ඇති කරගත යුතු නැහැ.

ප්‍රධාන පක්ෂ දෙක එකතුවෙලා සම්මුතිවාදී රජයක් බිහිකරලා තියෙන අවස්ථාවක් මේක. මෙහිදී කවුරුහරි වරදක් කරලා තිබෙනවා නම් ස්වාධීන පරීක්ෂණ කරලා දඩුවම් කරන්න ඕනේ. ඒක අපේ සම්මුතිවාදී රජයේ සාමුහික ප්‍රතිපත්තියක්

සම්මුතිවාදී රජයේ අමාත්‍යාංශවල විෂය කොටස් බෙදා ගැනීමෙදීත් ගැටලු මතුවෙලා තියෙනවා නේද? සමහරු තමන්ට මේ ආයතනය දෙන්න කියලත් ඉල්ලනවා?

මෙතැන අමාත්‍යාංශ නවයක විතරනේ වෙනස්කම් වුණේ. අනික්වා වෙනස් වුණේ නැහැ. මගේ අමාත්‍යාංශය ගත්තොත් මට ආයතන තුනයි තියෙන්නේ. ඒවා එකින් එක සම්බන්ධ ඒවා, ඒවා වෙනස් කරන්න බැහැ. කොහොම වුණත් අගමැතිතුමා ලංකාවට ආවහම අදාළ ආයතන ගැන සාකච්ඡා කරලා තීරණ ගනීවි. අනික එක එක්කෙනාට මට මේක දෙන්න කියලා ඉල්ලන්න පුළුවන්. නමුත් අන්තිම තීරණය ගන්නේ ජනාධිපතිතුමයි, අගමැතිතුමයි.

ආණ්ඩුව යහපාලනය, සංහිඳියාව ගැන කතා කලාට අද ඇමැති වරු අමාත්‍යාංශ කාමරවලටත් ගැටුම් ඇතිකරගන්න තත්ත්වයක් ඇතිවෙලා?

මම මේ දෙන්නටම කතා කරලා බැලුවේ නැහැ. නමුත් මාධ්‍යවල ගිහින්ලා තිබෙන වාර්තාවල යම් සත්‍ය බවක් තියෙනවානම් ඒක ඉතා අවාසනාවන්ත තත්ත්වයක්. කොහොම වුණත් ඒක ඉතා ඉක්මනින් විසඳේවි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ එක්සත් ජාතික පක්ෂය අතර තිබෙන ගිවිසුම ලබන අගෝස්තු වෙනකොට අවසන් වෙනවා. එතනින් එහාට මොකද වෙන්නේ?

දැනට අපි ඒ ගැන සාකච්ඡා කරලා නැහැ. එතෙන්දි අපේ පක්ෂය වෙනුවෙන් කරන්න ඕනේ දේ තීරණය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවයි. ජනාධිපතිතුමාටවත් බැහැ ඒගැන තීරණයක් ගන්න. එක්සත් ජාතික පක්ෂයටත් ‍එහෙමයි. ඒ අයත් කෘත්‍යාධිකාරී මණ්ඩලයට දාලයි තීරණය ගන්නේ. ඒ අනුව අවශ්‍ය තීරණ ගනීවි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ඒකාබද්ධ විපක්ෂයත් අතර යළි එකතු වීම පිළිබද කාලයක් තිස්සේ සාකච්ඡා තිබුණා. තවත් ඒ ගැන නිශ්චිත තත්ත්වයක් වාර්තා වෙන්නේ නැහැ. ඇත්තටම දැන් තත්ත්වය මොකක්ද?

මේ සියල්ල අපේ සහෝදර මන්ත්‍රීවරුයි. අපි ඔක්කොම පාර්ලිමේන්තුවට ආවේ බුලත් කොළයෙන් තරග කරලයි. ඕනෑම ‍කෙනෙක් දන්නවා අපි බෙදුනොත් ඒක අපිට අවාසියි කියලා.ඉතින් අපි සියලු දෙනාම එකතු කරගෙන ඉදිරියේදී තරග කරන්න පුළුවන් නම් කිසිම සැකයක් නැතිව අපිට සුවිශේෂී ජයග්‍රහණයක් ලබන්න පුළුවන්. අනික දැන් ‍අපි පක්ෂයේ ඉන්නේ. අපි කොහේවත් ගිහින්ලා නැහැ. ඒකාබද්ධ විපක්ෂයේ අයයි පක්ෂයට ආයේ එන්න ඕනේ. ඉතින් යහපත් දෙයක් වේවි කියලා අපි හිතනවා.

ඔබේ වරාය සහ නාවික කටයුතු අමාත්‍යාංශය ගත්තොත් පහුගිය කාලයේ විශේෂ කතාබහකට ලක්වූ අමාත්‍යාංශයක්. විශේෂයෙන් ම පසුගිය කාලයේ ඉදිකරන ලද හම්බන්තොට වරාය විකිණීමක් සම්බන්ධයෙන් විවිධ කතා ප්‍රචාරය වෙලා තිබෙනවා?

ඒක අමූලික බොරුවක්. මමත් මේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයට සහභාගී වෙනවනේ. ඒත් කිසිම දවසක හම්බන්තොට වරාය විකිණීම ගැන කතා කරලා නැහැ. නමුත් බදු ක්‍රමයකට ආයෝජකයන් ගෙන්න ගන්න කැබිනට් මණ්ඩලය සාකච්ඡා කරලා තිබෙනවා. නිල වශයෙන් පත්කරපු කණ්ඩායම් සාකච්ඡා කරමින් ඇවිල්ලා තිබෙනවා. දැන් ඒ සාකච්ඡා සියල්ල මගේ අතට මම අරගෙන තිබෙනවා. විකිණීමේ පදනම අපි මෙහිදී සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරලා තිබෙන්නේ. මේක කාටවත් විකුණන්නේ නැහැ. හැබැයි අපි මෙතෙන්දි මතක තියාගන්න ඕනේ, මේ වරාය සම්බන්ධයෙන් ලොකු ඉතිහාසයක් තිබෙනවා. එහිදී මේ වරාය හදන්න විශාල ණය මුදලක් පසුගිය ආණ්ඩුව ගත්තා. මේ ණය අපිට ගෙවන්න බැරි තත්ත්වයක් දැන් උදාවෙලා තියෙන්නෙ. මොකද වරාය අධිකාරියෙන් මේ වන විට චීනයට විශාල මුදලක් ගෙවලා තියෙනවා. රුපියල් බිලියන හතරක් වගේ ප්‍රමාණයක් වරාය අධිකාරියෙන් තමයි ගෙවලා තියෙන්නේ, මොකද භාණ්ඩාගාරය ඒ වගකීම අරගෙන නැහැ. එතකොට අපි උපයන මුදලින් අපිට ඒවගේ විශාල මුදලක් දරන්න බැහැ. මේ ණය බර ගත්තම ඒක දේශීය දළ ජාතික ආදායමෙන් 76%ක් තරමට මේක අද වර්ධනය වෙලා තිබෙනවා. ඉතින් අපිට මේක ලොකු බරක්. මෙහෙම මේ ණය ආපහු ගෙවන්න බැරි තත්ත්වයක් එන අවස්ථාවේ තමයි අගමැතිතුමා චීනයට ගිහින් චීන රජයේ නායකයන් හම්බවෙලා කටයුතු කරන්නේ. එහිදී චීනය ම ඉදිරිපත් වෙලා, ආයෝජකයන් හොයලා දුන්නා. එහිදී අයෝජකයන් දෙන්නෙක් ඉදිරිපත් වුණා. ඒ දෙන්නගෙන් වැඩි මුදලකින් කරන්න ඉදිරිපත් වුණේ චයිනා මර්චන්ට් කියන කොම්පැනියයි. ඒ අය තමයි දැනට කොළඹ වරායේ CITI පර්යන්තය මෙහෙය වන්නේ. ඒක මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ කාලයේ දුන්නු එකක්. මර්චන්ට් චයිනා කොම්පැනියට ඒ පර්යන්තයේ 85%ක කොටස් තිබෙනවා. අපිට 15%ක කොටස් තියෙනවා. මේ චයිනා මර්චන්ට් කොම්පැනියම තමා දැන් මේ වරාය වෙනුවෙන් ඉදිරිපත්වෙලා තියෙන්නේ. දැනට අපි ඔවුන් සමඟ සාකච්ඡා වට දෙකක් පවත්වලා තියෙනවා. ඉදිරියටත් පවත්වනවා. පැහැදිලිවම මම මෙහිදී කියනවා, කිසිම විකිණීමක් මෙතෙන්දි වෙන්නේ නැහැ. මෙහිදී මූලික වෙලා තියෙන්නේ ජාතික අවශ්‍යතාවයි. ජාතික අවශ්‍යතාව මත තමයි අපි හැම දෙයක්ම කරන්නේ. ඒ අවසානයට ආව පදනම තමයි අපි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නේ. මෙහිදී පවතින නීති කිසිසේත්ම උල්ලංඝනය වීමක් වෙන්නේ නැහැ. වරාය අධිකාරිය පණත, නීති යටතේ තමයි මේ ආයෝජනය කෙරිලා ක්‍රියාත්මක වෙන්නේ.

පසුගිය කාලය පුරා වරාය වෘත්තීය සමිති සහ හිටපු ඇමැතිවරයා අතර ගැටුම් විශාල ලෙස වර්ධනය වෙලා තිබුණා. මේ තත්ත්වය ඔබට කෙසේ බලපාවිද?

මම වැඩ බාර අරගෙන දෙවැනි දවසේ වරායේ වෘත්තිය සමිති සමඟ සාකච්ඡා කළා. මෙහිදී වෘත්තීය සමිති සියල්ලම ආවා. ඔවුන් සමඟ පැය කිහිපයක සාකච්ඡාවක් මම කළා. ඔවුන්ගේ ගැටලු ගැන කතා කළා. මෙහෙම මම බොහොම හොඳ අවබෝධයකින්, සුහදතාවකින් ඔවුන් සමඟ කටයුතු කරන්න වැඩ පටන් අරන් තියෙන්නේ. මම මේ රටේ හිටපු කම්කරු ඇමැතිවරයෙක්. දේශපාලනයට එන්නත් කලින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියෙක් හැටියට මම තමයි අන්තර්ජාතික කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් කටයුතු කළේ. ඒනිසා මට අන්තර්ජාතික නීතියයි, කම්කරු නීතියයි, දේශීය වශයෙන් කම්කරුවන්ගේ සිතුම් පැතුම් ගැනයි හොඳ අවබෝධයක් තියෙනවා. අපි කොළඹ වරාය මීට වඩා ඉදිරියට ගේන්න බලාපොරොත්තු වෙනවානම්, වෘත්තීය සමිතිවල සහයෝගය අවශ්‍යයයි. ඔවුන්ගේ අයිතිවාසිකම් පාගලා දාලා අපිට ගමනක් යන්න බැහැ. මට ඔවුන් සමඟ කළ කතාබහේදී තේරුණේ ඔවුන් හැම කෙනෙක්ම වරායට ආදරෙයි. ඔවුන්ට ඕනේ මෙය රැකගන්නයි. ඉතින් මට ඔවුන් සමඟ මේ ගමන යන්න පුළුවන් කියන විශ්වාසය තිබෙනවා. මම වෘත්තීය සමිති වලට මගේ කාර්යාලය ඕනෑම වෙලාවක විවෘත කරලා තියෙන්නේ.

අපිට මතකයි, වෘත්තීය සමිති විසින් සමහර නිලධාරීන් ඉවත් කරන්න කියලා වර්ජන පවා දියත් කළා. එතකොට ඒ නිලධාරීන්ට මොකද වෙන්නේ?

මෙහෙමයි. මම මේ අමාත්‍යාංශයේ ප්‍රධානියා හැටියට කම්කරු අයිතිවාසිකම් ගැන, ඔවුන්ගේ සුබ සාධනය ගැන, සුබවාදී, යහපත් ප්‍රවේශයක් දරනවා නම්, ඔවුන්ගේ ගැටලු ගැන විනිවිද භාවයකින් කටයුතු කරනවා නම් මම ඉන්න ස්ථාවරයටම නිලධාරීන්ට එන්න වෙනවා. එතකොට ඉස්සරහට ඔය ගැටලු කිසිවක් ඇති වෙන්නේ නැහැ.

Comments