සාහිත්‍ය සම්මාන හූනියමක්ද? | සිළුමිණ

සාහිත්‍ය සම්මාන හූනියමක්ද?

මගේ යෝජනාව වෙන්නේ ප්‍රකාශකයන්ගේ සංගමය මේ සඳහා ආයෝජනය කරමින් සංවිධානය කිරීම පමණක් සිදු කර ස්වාධීන අපක්ෂපාති සාහිත්‍ය පිළිබඳ පරිචයක් ඇති ප්‍රාමාණික කණ්ඩායමකට මේ වැඩේ භාරදිය යුතු බවයි
- ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සාමාජික ජනක ඉනිමංකඩ

පාදක මණ්ඩලය අතින් හොඳ පොතක් ගිලිහුණොත් ඒ ලේඛකයාට හෝ ලේඛිකාවට අත්වන ඉරණම කුමක්ද?
- ප්‍රවීණ ලේඛක කමල් පෙරේරා

සම්මාන ප්‍රදානයෙන් නිර්මාණය වූ එක ලේඛකයෙක් හෝ පෙන්වා දෙන්න
- ප්‍රවීණ ලේඛක සාහිත්‍ය විචාරක කේ. කේ. සමන් කුමාර

සාහිත්‍ය කෘතියක් සම්මානවලින් විනිශ්චය කරන්න බැහැ වගේම එය නොකළ යුතුයි
- ප්‍රවීණ ලේඛක, ඉතිහාස ගවේශක සුජිත් අක්කරවත්ත

මේ සාහිත්‍ය මාසයයි. සාහිත්‍ය ලෝලීන්ගේ අවධානය යොමුව ඇත්තේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් ප්‍රදානය කරන ස්වර්ණ පුස්තක සම්මානය මෙවර හිමිවන්නේ කවර කෘතියට ද යන්න ය. ඊට හේතු වී ඇත්තේ මෙරට සාහිත්‍ය කෘතියක් වෙනුවෙන් හිමිවන විශාලතම මුදල් ත්‍යාගය හිමිවන්නේ ස්වර්ණ පුස්තක සම්මානය සඳහා වීමය. ඒ රුපියල් 750,000කි. ඒ වගේම නිර්දිෂ්ට අවසන් කෘති පහ සඳහා රුපියල් ලක්ෂය බැගින් හිමි වේ. මෙවර මෙම සම්මාන උලෙළ පවත්වනු ලබන්නේ 16 වැනි වරටය.

ස්වර්ණ පුස්තක සම්මාන උලෙළ ආරම්භ වන්නේ 2007 වසරේදීය. ඒ සඳහා තෝරාගන්නේ එංගලන්තයේ මෑන් බුකර් සම්මාන සංවිධාන ආකෘතියයි. එසේ වුවත් මෑන් බුකර් සම්මානය ප්‍රදානයේදී එකී සංවිධායකයින් විසින් ස්වාධීන ආයතනයක් වෙත මෙහි කටයුතු පැවරීම සිදුකළ ද මෙහි බොහෝ කටයුතු සිදු වන්නේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ ඍජු මැදිහත්වීම යටතේය.

2007 වසරේ පැවති පළමු ස්වර්ණ පුස්තක සාහිත්‍ය සම්මානය උත්සවයේදී මහාචාර්ය තිස්ස කාරියවසම්ගේ සභාපතීත්වයෙන් යුතු විනිශ්චය මණ්ඩලයේ තීරණය වූයේ එකී වසර සඳහා ප්‍රශස්තම කෘතියක් නොමැති බවයි. එනිසා අදාළ මුදල අවසන් වටයට තේරුණු කෘති පහ රචනා කළ කතුවරුන්ට බෙදා දුන්නේ ය. 2008 පැවැති ස්වර්ණ පුස්තක සම්මාන උලළෙ දී ප්‍රශස්තම කෘතිය සඳහා සම්මානය හිමිවන්නේ සමරවීර විජයසිංහ විසින් විරචිත‘ස්වයංජාත’කෘතියටය. එතැන් සිට පිළිවෙළින් 2009 සුනේත්‍රා රාජකරුණානායක ‘පොදු පුරුෂයා’, 2010 සුමිත්‍රා රාහුබද්ධ ‘කන්දක් සේ මා’, 2011 සුනේත්‍රා රාජකරුණානායක‘කවි කඳුර’, 2012 රූපා ශ්‍රියානි ඒකනායක ‘සිටුවර පුවත’, 2013 කීර්ති වැලිසරගේ ‘කාලසර්ප’, 2014 ලියනගේ අමරකීර්ති ‘කුරුලු හදවත’, 2015 බටුවන්ගල රාහුල හිමි ‘රන් කරඬුව’, 2016 ලියනගේ අමරකීර්ති ‘අහම්බකාරක’, 2017 නිශ්ශංක විජේමාන්න ‘හඳ පළුව තනි තරුව’, 2018 සමන් වික්‍රමාරච්චි ‘අප්පච්චි ඇවිත්’, 2019 කපිල කුමාර කාලිංග ‘අදිසි නදිය’, 2020 එරික් ඉලියප්ආරච්චි ‘පේත’, 2021 රූපා ශ්‍රියානි ඒකනායක ‘භේරුණ්ඩ කැදැල්ල’, 2022 චන්ද්‍රරත්න බණ්ඩාර ‘ප්‍රේමානිශංස’මෙතෙක් ස්වර්ණ පුස්තකලාභියෝ වෙති.

ආරම්භයේදී ප්‍රශස්තම කෘතිය සඳහා රුපියල් ලක්ෂ 5ක මුදලක් පිරිනැමුණු අතර අවසන් වටයට තේරුණු කෘති සඳහා රුපියල් 50,000ක මුදලක් පිරිනැමුණි. පසුව ප්‍රශස්තම කෘතිය සඳහා රුපියල් ලක්ෂ හතහමාරක මුදලක් හා අවසන් වටයට තේරුණු කෘති සඳහා රුපියල් ලක්ෂය බැගින් පරිත්‍යාග කෙරිණි.

පාදක මණ්ඩලය 10 -12 අතර සාමාජික සංඛ්‍යාවකින් යුක්ත වන අතර ඔවුන් විසින් වසරක් තුළ ප්‍රකාශයට පත් කෙරෙන සියලු නවකතා ඇගැයීමට ලක්කරති. ඒ අතරින් කෘති 12ක් තෝරා ගන්නා අතර එම කෘති 12 මධ්‍යම මණ්ඩලය වෙත යොමු කරයි. ඔවුන් විසින් ඉන් කෘති පහක් තෝරා ගන්නා අතර උත්තර මණ්ඩලය විසින් එකී කෘති 5න් ප්‍රශස්තම කෘතිය තෝරා ගැනීම සිදු කරයි.

ස්වර්ණ පුස්තක සාහිත්‍ය සම්මානය පිළිබඳ අදහස් දැක්වීමට අප පළමුවෙන්ම සම්මුඛ වූයේ විදර්ශන පොත් ප්‍රකාශන අධිපති ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සාමාජික ජනක ඉනිමංකඩය. හේ අදහස් දක්වමින් කියා සිටියේ “ 2007දී ස්වර්ණ පුස්තක සම්මාන උත්සවය පටන් ගැනීමට පෙර පරිවර්තන කෘති සඳහා විශාල ඉල්ලුමක් පැවතුණත් නවකතා සඳහා එතරම් ඉල්ලුමක් පැවතියේ නැහැ. ඒ සඳහා තිබුණු ඉල්ලුම පහළ ගොස් තිබුණා. මේ නිසා පොත් ප්‍රකාශකයන් වැඩි අවධානයක් යොමු කර තිබුණේ පරිවර්තන කෘති සහ අධ්‍යාපනික ග්‍රන්ථ කෙරෙහි පමණයි. නමුත් ස්වර්ණ පුස්තක සම්මාන උත්සවය ආරම්භ වීමත් සමඟ ලංකාවේ පොත් ප්‍රකාශකයන් අතර නවකතා ප්‍රකාශයට පත් කිරීම සඳහා විශාල උනන්දුවක් ඇති වුණා.

සම්මාන පිරිනැමීමේදී ලබා දුන් මුදල් ත්‍යාගය හා ඊට ලැබුණු ප්‍රචාරයත් පොත් ප්‍රදර්ශනයට සමගාමීව සම්මාන කෘති ප්‍රකාශයට පත්වීමත් නිසා මේ සඳහා පාඨක ප්‍රජාව තුළ විශාල ඉල්ලුමක් ඇති වුණා. ඒ සමඟ පොත් ප්‍රකාශකයෝ අතරත් ලේඛකයෝ අතරත් තරගයක් නිර්මාණය වුණා‘

සම්මාන උත්සවය මේ තත්ත්වයට වැටෙන්නට පෙර මේ පිළිබඳ විශිෂ්ටතම පුරෝකථනය සිදු කළේ ලේඛකයකු හා සාහිත්‍ය විචාරකයකු වන කේ.කේ සමන් කුමාරයි. සාහිත්‍ය උත්සවය ආරම්භ වී ටික කාලයක් යද්දී ඔහු පවසා සිටියේ “ස්වර්ණ පුස්තක සම්මාන උලෙළ යනු සිංහල නවකතාව වෙළාගත් හූනියමක්” බවයි. මොකද මෙහි පූර්ණ බලය පැවතියේ පොත් ප්‍රකාශකයන්ගේ සංගමය තුළ නිසයි. නමුත් ස්වර්ණ පුස්තක සම්මානයත් සමඟ සිංහල නවකතාව දියුණු වුණා වගේම අලුත් නවකතා රචකයන් බිහි වුණා. අලුත් නවකතා ආකෘති රටා බිහි වුණා. ප්‍රකාශකයෝ නවකතා ප්‍රකාශයට පත් කරන්න උනන්දු වුණා. නමුත් අනෙක් අතට ඒ නවකතාවේ දියුණුවට සාපේක්ෂව සංවිධායකයන් විසින් තෝරගත් විනිශ්චය මණ්ඩලය පිළිබඳ ගැටලු මතු වුණා. ඒ ඔවුන් මේ සඳහා සුදුසුකම් ලත් පිරිසක්ද කියන ගැටලුවයි. ඒ නිසා ඔවුන් විසින් නිර්දේශ කළ සම්මාන විවේචනයට භාජන වෙන්න පටන් ගත්තා. ඕනම රටක සාහිත්‍ය උත්සවයක් පිළිබඳ සියලු කටයුතු ඇගැයීමට ලක්කිරීම අදාළ ක්ෂේත්‍රයේ දියුණුවට, අභිවෘද්ධියට සහ ඒ පිළිබඳ උනන්දුව නොබිඳී පවත්වා ගෙන යෑම සඳහා ඉතාම වැදගත්. ඒ නිසා සම්මාන උත්සවය පැවතිය යුතුයි. මේ තියෙන්නේ සම්මාන උත්සවය හෝ සිංහල නවකතාව පිළිබඳ ගැටලුවක් නෙමෙයි. ස්වර්ණ පුස්තක සාහිත්‍ය සම්මාන උත්සවය පැවැත්වීමට පෙර සිට රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ, ගොඩගේ සාහිත්‍ය සම්මාන උලෙළ, විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උලෙළ ආදී සම්මාන උත්සව පැවතුණා. ඒ නිසා එකී උත්සවවල සම්මානයට පාත්‍ර වන කෘති තෝරා ගැනීමෙන් අපේ විනිශ්චය මණ්ඩලය වැළකී ඉන්න ඕන; එතකොට අපේ සම්මානය වෙනස් එකක් විදියට සමාජ ගතවී විශාල ප්‍රචාරයක් ලැබේවි වගේ අදහසක් මේ අය අතර තිබුණා. ඒ වගේම එකම කණ්ඩායමක් විනිශ්චය මණ්ඩල දෙක තුනක කටයුතු කිරීම නිසා මුල සිටම ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබුණා.

මේ ගැටලුව සඳහා මගේ යෝජනාව වෙන්නේ ප්‍රකාශකයන්ගේ සංගමය මේ සඳහා ආයෝජනය කරමින් සංවිධානය කිරීම පමණක් සිදු කර ස්වාධීන අපක්ෂපාති සාහිත්‍ය පිළිබඳ පරිචයක් ඇති ප්‍රාමාණික කණ්ඩායමකට මේ වැඩේ භාරදිය යුතු බවයි. මේ සම්මානය සඳහා පාදක වුණ මෑන් බුකර් පදනම වුණත් කටයුතු කරන්නේ එහෙමයි. ඔවුන් ඊට පහසුකම් සැපයුවත් ඒ සඳහා අවශ්‍ය ලේඛකයින් තෝරා පත්කර ගැනීමේ කටයුත්ත වෙනම කණ්ඩායමකට භාරදී තිබෙනවා. ඒ නිසා ස්වර්ණ පුස්තක සාහිත්‍ය සම්මාන උලෙළ පිළිබඳ ගැටලුවක් ඇති නොවන්න එවැනි කණ්ඩායමක් අතට මේ කටයුත්ත භාරදීම යෝග්‍යයි.

ප්‍රකාශකයෙක් ලෙසත් මේ සංවිධානයේ කටයුතුවලට ආරම්භයේ සිට මූලිකව දායක වූ අයකු ලෙසත් මගේ අදහස නම් සාහිත්‍ය විචාරය පිළිබඳ අවබෝධය ඇති තරුණ අය වරින් වර මේ කටයුත්ත සඳහා සහභාගි කරවා ගැනීම මෙහි ඉදිරි දියුණුව සඳහා ඉතාම වැදගත් බවයි. එවගේම කිසිම සම්මාන උලෙළක් හැමදෙනාම සතුටු කරන්න පවත්වන්න බැහැ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් මතුවන විවේචන සංවාද ඉතා වැදගත්. ඒ දේවල් කෙරෙහි අවධානය යොමු කරමින් මෙය ඉදිරියටත් පවතවාගෙන යාම වඩා වැදගත් බව යි.“

මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රවිණ ලේඛක සුජිත් අක්කරවත්ත ප්‍රකාශ කර සිටියේ මෙවැන්නකි. “සාහිත්‍ය කෘතියක් සම්මානවලින් විනිශ්චය කරන්න බැහැ වගේම එය නොකළ යුතු බවයි. ඉතිහාසයේ සාහිත්‍ය සම්මාන උලෙළකින් සම්මාන දීපු සාහිත්‍ය කෘති අතරින් අද පාඨක ලෝකයේ ඉතිරි වී තිබෙන්නේ ඉතාම අතළොස්සක් පමණයි. සියයට අනූවක් පාඨකයා වැලඳ ගෙන තියෙන්නේ රාජ්‍ය අංශයෙන් හෝ පෞද්ගලික අංශයේ මැදිහත් වීමෙන් සම්මාන පිරිනැමූ සාහිත්‍ය කෘති නෙමෙයි. සයිමන් නවගත්තේගම හෝ අජිත් තිලකසේන හෝ මේ දක්වා පවතින්නේ සම්මාන හිමි වූ අය නිසා නෙමෙයි. ඒ සාහිත්‍යකරුවාගේ පරිකල්පනය තුළ පැවති සුවිශේෂි ගුණය නිසයි. එනිසා පාඨක ජනතාවගේ හදවත් තුළ ලැඟුම්ගත් පරිකල්පනීය අවදි වීමකින් මිස හුදු සම්මාන මත සාහිත්‍ය කෘතියක් විනිශ්චය කළ නොහැකියි. සාහිත්‍යයේ චිර පැවැත්ම රඳා පවතින්නේ නිර්මාණ මත මිසක් සම්මාන මත නොවන බවයි මගේ අදහස. මා ලේඛකයෙක් ලෙස සම්මාන උලෙළවල් සඳහා කෘති යොමු කරන්නේ නැහැ වගේම සම්මානයක් ප්‍රාර්ථනා කරන්නෙත් නැහැ. අපේ නිර්මාණවලට විනිශ්චය ලැබෙන්නේ අපෙන් පසු ශිෂ්ටාචාරය විසින් බවයි මගේ හැඟීම. ඔවුන් කවදා හරි අපේ නිර්මාණ අගය කරනව නම් ඒක තමයි නිර්මාණයක් කියල කියන්නේ.

මේ සම්මාන පොරය නිසා සිදුවෙමින් තිබෙන්නේ යම් නිර්මාණශිලී ක්‍රියාවලියකට දායක විය හැකි ලේඛකයන් බොහෝ දෙනෙක් අධෛර්ය වීම පමණයි. සාහිත්‍යකරුවා කියන්නේ යම් පිළිගත් වට්ටෝරුගත රාමුවක් මත පදනම්ව ලේඛනයේ නිරත වන අයෙක් නෙමෙයි. ඒ නිසා එවැනි රාමුවකට කොටු කර සම්මාන පුදන රාජ්‍ය සාහිත්‍ය සම්මානයකින් හෝ පෞද්ගලික සම්මානයකින් හෝ ඒ සඳහා ඇගැයීමක් කරන්න බැහැ. ඔහු වෙනත් ආකාරයකට පවතින අයෙක්. එනිසා ප්‍රචාරණ ව්‍යාපාර මඟින් සාහිත්‍ය කෘති තීරණය කරනවාට වඩා පාඨක සමාජය විසින් එකී නිර්මාණ තීරණය කිරීමට ඉඩ හැරීම තමයි වඩා වැදගත්. විචාර ගුරුකුලවාදයක් ඇතත් නැතත් සම්මාන පිරිනැමීම සාහිත්‍යයේ ප්‍රගමනය සඳහා අදාළ නොවන බවයි මගේ අදහස. සාහිත්‍ය පවතින්නේ මිනිස්සුන්ගේ භාව එක්ක පවත්වන්නා වූ නිර්මාණකරණය තුළයි.“

ප්‍රවීණ ලේඛක සාහිත්‍ය විචාරක කේ. කේ. සමන් කුමාර පවසා සිටියේ “මෙම සම්මාන උලෙළ හරහා නවකතාව සෝප් ඔපෙරා (ටෙලිනාට්‍ය) වැනි එක අච්චුවකට හා වට්ටෝරුවකට හැඩගැසුණු කෘති බවට උණනය කර ඇති බවයි. ඒවයේ අන්තර්ගතය, ප්‍රමාණය, ආකෘතිය ආදී වශයෙන් විවිධ නිර්ණායක ඉදිරිපත් කරමින් නිදහස් පරිකල්පනයට සීමා පැනවී ඇති බවත් අදාළ නිර්ණායක තුළ පිහිටා රචනා කරන ලද කෘතිවලට පමණක් සම්මාන ලබාදීම සිදු කරන බැවින් බුකර් සම්මානයට නොබෙල් සම්මානයට ලියන ආකාරයේ වට්ටෝරු සාහිත්‍යයක් ඒතුළින් නිර්මාණය වී ඇති බවයි.

මෑත වසර පහක කාලය තුළ බුකර් හා නොබෙල් ආදී අන්තර්ජාතික සම්මාන පවා දේශපාලනික මතවාද, සමාජ ප්‍රශ්න, යුද්ධය වැනි කාරණා පදනමේ කරගෙන සම්මාන පිරිනැමීමට පෙලඹී ඇති බවත්, ඒ ආකාරයටම මෙහිදී වලව් කතා, වමේ කතා, සුචරිතවාදී කතා, ජාතික කතා, දුක්ඛිත ජීවිතය ජයගත් කතා ආදි වට්ටෝරුවකට පමණක් ලියැවී ඇති කෘති සඳහා පමණක් සම්මාන පිරිනැමීම සිදු කරන බවයි. ස්වර්ණ පුස්තක සම්මානය මේ දක්වා වසර 16 පමණ කාලයක් සම්මාන ප්‍රදානය කර ඇතත් ඉන් නිර්මාණය වුණු එක ලේඛකයෙක් සාහිත්‍ය ක්ෂේත්‍රයේ සිටී නම් පෙන්වා දෙන ලෙසත්, සයිමන් නවගත්තේගම, අජිත් තිලකසේන වැනි අය පසෙකින් තැබුව ද එක කම්මැල්ලවීර කෙනෙක් හෝ මෙම සම්මාන ප්‍රදානය නිසා බිහිවී ඇත්නම් සොයා දෙන ලෙස හෙතෙම අභියෝග කරයි. එසේම ගෞරවනීය ලේඛකයන් පවා මින් ලැබෙන මුදලට වශී වී වසරක් පාසා කෘති පළ කිරීමට ගොස් බරපතළ ඛේදවාචකයකට ගොදුරු වී ඇති බව ද හෙතෙම පෙන්වා දෙයි.

ස්වර්ණ පුස්තක සම්මාන ප්‍රදානය පිළිබඳ ලංකා ලේඛක සංවිධානයේ ලේකම් ප්‍රවීණ ලේඛක කමල් පෙරේරා පවසා සිටියේ “ ස්වර්ණ පුස්තක සම්මානය පමණක් නොව මෙරට සියලු සම්මාන උලෙළ සඳහා කෘතියක් තෝරා ගැනීමේදී අන්තර්ජාතිකව පිළිගත් ප්‍රමිති දකින්නට ලැබෙන්නේ ඉතාම ස්වල්ප වශයෙන්. තම සංගමය විසින් මේ සම්බන්ධයෙන් කළ ගැඹුරු සමීක්ෂණය අනුව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයට ලිඛිතව යෝජනා මාලාවක් ඉදිරිපත් කළා. එමඟින් ප්‍රකාශ කර සිටියේ මෙහි පාදක මණ්ඩලය වෙත වඩා වැඩි වගකීමක් හා බලයක් පැවරිය යුතු බවයි. නමුත් අවාසනාවට මෙහි කටයුතු කරන මණ්ඩල තුන අතරින් ලිහිල්ම මණ්ඩලය පාදක මණ්ඩලයයි. “

“පාදක මණ්ඩලය අතින් හොඳ පොතක් ගිලිහුණොත් ඒ ලේඛකයාට හෝ ලේඛිකාවට අත්වන ඉරණම කුමක්ද? ඔවුන්ට සිදුවන අසාධාරණය පියවන්නේ කවරාකාරයෙන්ද? පළමු වටයෙන්ම කෘතිය ඉවත්වන නිසා එම අසාධාරණය වළක්වන්න ක්‍රමවේදයක් නැහැ. එනිසා පාදක මණ්ඩලය ශක්තිමත් මණ්ඩලයක් විය යුතුයි. මධ්‍යම මණ්ඩලයේ සාහිත්‍ය පිළිබඳ කෙතරම් ප්‍රාමාණික විද්වතුන් සිටිය ද ඔවුන්ට තෝරා ගැනීමට සිදුවන්නේ පාදක මණ්ඩලය විසින් තෝරා දෙන කෘති 12 පමණයි. එනිසා පාදක මණ්ඩලයෙන් ගිලිහුණු පොතක් ගැන ඔවුන්ට කතා කළ නොහැකියි. ඒ වගේම මධ්‍යම මණ්ඩලය විසින් තෝරා ගන්න කෘති 5 උත්තරීතර මණ්ඩලයට ගිය පසු ඊටත් වඩා ගැටලුව සංකීර්ණ වෙනවා. යොමු කරන කෘති 5න් එකක් පමණයි, ඔවුන් විසින් තෝරා ගන්නේ. ඇතැම් අවස්ථාවල වෙනත් සාහිත්‍ය සම්මානවල වසරේ හොඳම කෘතියට ලක්වන කෘති පවා මේ පාදක මණ්ඩලය විසින් ගිලිහී තිබුණා. එනිසා අප යෝජනා කළේ පාදක මණ්ඩලය අනෙකුත් මණ්ඩල සියල්ලටම වඩා ප්‍රබල විය යුතු බවයි.“

“ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මේ කටයුත්තෙන් ඈත්ව ස්වාධීන ආයතනයකට මෙහි කාර්ය පැවරිය යුතුයි. එසේ නැතිව ප්‍රකාශකයන් විසින් මෙම විනිශ්චය මණ්ඩල සඳහා පුද්ගලයන් තෝරා පත් කිරීම නිසා සිදුවන්නේ එකී පුද්ගයන් මාර්ගයෙන් අවසන් විනිශ්චය සඳහා බලපෑම් ඇති කරන බවට සැකයක් ඇති වීමයි. එමඟින් සිය ප්‍රකාශනයකට එකී සම්මානය ලබා ගැනීමේ වරම ද ඔවුන් වෙත හිමිවන බව ඔවුන් කල්පනා කරනවා. ඊට හේතුව වී ඇත්තේ ඉතාම විශිෂ්ට කෘති මෙමඟින් ගිලිහී යෑමයි. එමඟින් ලේඛකයාට විශාල අසාධාරණයක් සිදුවන බව අමුතුවෙන් පැවසිය යුතු නොවේ. මෙනිසා කළ යුතු හොඳම කාර්යය වන්නේ මෙම සම්මාන විනිශ්චය පිළිබඳ කටයුතු ස්වාධීන අපක්ෂපාත කිසියම් පිළිගත හැකි ආයතනයකට පැවරීමය. “

Comments