පුවත්පත් කලාවේ නව මඟක සලකුණ එඩ්මන්ඩ් රණසිංහ | සිළුමිණ

පුවත්පත් කලාවේ නව මඟක සලකුණ එඩ්මන්ඩ් රණසිංහ

ලේක්හවුසියේ පියගැටපෙළ බැසි ඔහුට දිවයින කාර්යාලයේ දොරටු විවර වෙන්නේ ඉරිදා දිවයින සමාරම්භක කතුවරයා ලෙස පත්වීම ලබමිනි. එඩ්මන්ඩ් රණසිංහ දිවයින කර්තෘවරයා මෙන්ම උපාලි පුවත්පත් සමාගමේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයකු ද විය. දිවයින පුවත්පතට ඔහු සමඟ ම එකල සිළුමිණ විශේෂාංග කර්තෘවරයා වූ දයාසේන ගුණසිංහ ඇතුළු පිරිසක් ද එක් විය. ඒ එඩ්මන්ඩ් රණසිංහගේ ඇරයුමෙනි. ඔහුගේ කර්තෘත්වයෙන් යුතුව 1982 පෙබරවාරි 4 වෙනිදා දිවයින දිනපතා පත්‍රය ඇරඹුණේ පුවත්පත් කලාවේ නව නැම්මක් සටහන් කරමිනි. එහෙත් ඒ නව නැම්ම පසුපස අදිසි හස්තය ලේක්හවුසියේ දිනමිණ හා සිළුමිණ පුවත්පත් විසින් ඔපමට්ටම් කරන ලද රණසිංහ නම් පුවත්පත් කතුවරයා ය. ලේක්හවුසිය පුවත්පත් මහගෙදර වන්නේ මේ වැනි ප්‍රවීණයන් බිහි කිරීමේ මාතෘත්වය දැරීම නිසා ය. 

පත්තර රස්සාව හා පත්තර කලාව යනු දෙකකි. රස්සාවට පත්තරකාරයකු විය හැකි වුවත්, පත්තරේ කලාව හඳුනා ගැනීමට හැමෝටම නොහැකි වන්නේ ඒ නිසා ය. ඒ කලාව පිහිටන්නෝ අල්ප වන්නා සේ ම ඒ අල්පත්වය විසින් ඔවුනට අනන්‍යතාවක් එක්කරති. එකී අනන්‍ය ලකුණ සමාජගත කිරීම පහසු කාරණයක් නොවේ.

රස්සාවට පත්තරකාරයකු වීමට නොසිතූ පත්තර කලාව ගැන උණක් තිබූ තරුණයෙක් මීට වසර 73 කට කලින් ලේක්හවුසියේ පඩිපෙළ නැග්ගේ සිය ජීවන විලාසිතාව ගැන අවබෝධයෙනි. ඕනෑම කෙනකු තමන්ගේ ජීවන විලාසිතාව කුමක් ද යන්න අවබෝධ කරගත යුතු වෙන්නේ තමන්ට හරියට ම ගැළපෙන හා දියුණුවේ මාවත ඒ ඔස්සේ පෙළ ගැසෙන නිසා ය. මේ තරුණයා නව දෑ ගැන දැඩි උනන්දුවෙන් යුතු සමාජයේ වෙනසක් කිරීමේ නොතිත් පිපාසාවෙන් යුතු වූවෙකි. හේ ලේක්හවුසියේ එකල කළමනාකාර අධ්‍යක්ෂවරයා වූ එස්මන්ඩ් වික්‍රමසිංහ ඉදිරියේ පෙනී සිටියේ ය. ඒ “ඩේලි නිවුස්” පත්‍රයේ පළවූ ඇබෑර්තුවක් දැක සිය ජීවන ගමන සැදී ඇත්තේ ඒ ඔස්සේ බව දැනීම නිසා ය. ඒ දැනීම හෙවත් ඉව දැනෙන්නේ තම ජීවිතයේ අරමුණ ගැන වන පැහැදිලි අවබෝධය ඇත්තකුට පමණි. ඒ බව මේ 21 වියැති මේ තරුණයා මනාව දැන සිටියේය. එදා අවුරුදු 21 දී ලේක්හවුසියට පියනැඟූ මේ තරුණයා පුවත්පත් කලාවේ නිම්වළලු පුළුල් කර, එය නව මාවතක් කරා ප්‍රවිෂ්ට කිරීමේ මාර්ගයේ පෙරගමන්කරුවකු වන බැව් එදා එස්මන්ඩ් වික්‍රමසිංහට දැනෙන්නට ඇත. හොඳ සේවකයකු තේරුම් ගැනීමේ ඉව හොඳ පරිපාලකයකුට ඇත. මේ තරුණයාගේ දෛවයේ මාවත පෙළ ගැසී තිබුණේ ඒ ආකාරයට ය. එදා 21ක් වියැති තරුණයාට අද වයස අවුරුදු 94කි. හේ ගත කරන්නේ ජීවිතයේ පරිණතම අවදිය ය. එහෙත් එය පැරණිතම කියා කියන්නට අප කැමති නැත. ඒ ඔහු 94 වියැති වුවත් තවමත් නවීන අදහස්වලින් යුතු වූවකු වන නිසා ය.

පත්තර කලාවේ වත්මනෙහි ජීවමාන ජ්‍යෙෂ්ඨයාට 2023 අගෝස්තු 14 වැනි සඳුදාට එනම් හෙට වයස අවුරුදු 94ට පා තබයි. මේ පූර්විකාව දකින ඕනෑම අයකු අප මේ කියන ජ්‍යෙෂ්ඨයා කවුරුන් දැයි දනී. ඔහු එඩ්මන්ඩ් රණසිංහ ය. රැඩිකල්වාදී පුවත්පත් කලාවක් වෙනුවෙන් හේ නම් තැබූවෙකි. එඩ්මන්ඩ් රණසිංහ නම් වනස්පතියේ සෙවණ ලැබූ අවසන් පරම්පරාවේ සාමාජිකාවක වීම ගැන මට ඇත්තේ අපමණ සතුටකි. 2016 වසරේදී දෙවන වරටත් ලේක්හවුස් පඩිපෙළ නැඟි ඔහු යටතේ 2016 ජූලි 01 සිට 2017 මාර්තු 31 දක්වා පුවත්පත් කලාවේ නිමග්න වීමට ලැබීම මා ලද භාග්‍යයක් බැව් නොකියා බැරි ය.

2016 අගෝස්තු මස දිනක් රණසිංහ කතුවරයා මා සමඟ කතාබහ කරමින් සිටියේ ය. අප කතා කරමින් සිටියේ සාහිත්‍ය කලා ආදී විෂයයන් ගැනත්, එහි නව ප්‍රවණතා පිළිබඳවත් ය. කතාව අතරමැද හේ මගෙන් එක්තරා ප්‍රශ්නයක් නැඟුවේ ය. “සුමුදු දැකලා තියෙනවද හඳුන්කූරෙ දුම යන හැටි....” ඒ ඔහු මගෙන් ඇසූ ප්‍රශ්නයයි. මම හඳුන්කූරු දුම වාතලයට මුසු වෙන ආකාරය සිතෙන් මවා ගතිමි. මගේ මනෝ ලෝකයට හරස් කපමින් ඔහු ‘මට නම් හරියට ඒක පේන්නෙ නළඟනක් මුදු සංගීත රාවයකට සෙමෙන් නටනවා වගෙයි’ කියා පැවසීය. ‘බැරිද ඔයාට ඒක ලියන්න...’

මම එකල සිළුමිණට සතිපතා ‘විනිවිඳින සිතිවිලි’ නමින් තීරු ලිපියක් ලියමින් සිටියෙමි. එදින ගෙදර ගිය මා හඳුන්කූරක් දල්වා නිසොල්මනේ එහි දුම දෙස බලා සිටියෙමි. රණසිංහයන් පැවසුවේ සත්‍යයකි. එය මුදු රටාවෙන් යුතුව නර්තනයෙහි යෙදෙන නළඟනක් වැනි ය. ඒ නිරීක්ෂණය මා කල්පනා ලොවකට ගෙන ගියේය. ඊළඟ සතියේ සිළුමිණට ලාලිත්‍ය නමින් මා විනිවිඳින සිතිවිල්ල ලියූවේ ඒ මඟ පෙන්වීම අනුව ය. ඒ එක් නිදසුනක් පමණි. හේ රසවතෙකි. දැඩි නිරීක්ෂකයෙකි. නව පරම්පරාව දෙස දයාවෙන් බැලූවෙකි. අප අතින් වන යම් වැරදි සම්බන්ධයෙන් දයාවෙන් බැලූවෙකි. අප ඒ පිළිබඳ අසීමිතව දුක් වෙන විට වැඩ කරන අය අතින් තමයි වළන් බිඳෙන්නේ කියමින් අප අස්වසා ලූවේ ය. නැවත ඒ වැරැද්ද නොවෙන්නට නම් තව තවත් අප අධ්‍යයනය කළ යුතු බැව් පහදා දුන්නේ ය. මේ සියල්ල නව පරම්පරාවක් නිර්මාණය කිරීම වෙනුවෙන් කළ ඔහුගේ කැපවීම් ය. එවකට අසූහයවැනි වියැති ව සිටියත් හේ නව දැනුමෙන් පෝෂිත වූවෙක් වූයේ තාරුණ්‍යයේ සිටියකු ලෙස ය. නිතර යාවත්කාලීන වූ දැනුමෙන් යුතු ඔහු සඟරා හා විවිධ පොත්පත් ගෙනවිත් දුන්නේ මේවා කියවා තවදුරටත් දැනුම පෝෂණය කරගන්නට කියා පවසමිනි.

පුවත්පත සාරගර්භ කලාවක් කිරීමට ඔහු නිරන්තර කැපවූයේ ය. මෙරටට ගැළපෙන චින්තනයක් හඳුන්වා දීමේ ලා පිපාසාවකින් යුතු වූ ඔහු ඒ වෙනුවෙන් කැපවූයේ ය. චින්තනයක් නැති රටක් දියුණු වන්නේ කෙසේද යන්න ඔහු නිරන්තර නැඟූ ප්‍රශ්නයකි. පුවත්පත් කලාවෙන් ඒ සඳහා පිළිතුරු සෙවූ ඔහු එතැනින් නොනැවතී සාහිත්‍ය කලාවෙන් ද ඒ සඳහා පිළියම් සෙවූයේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස වරින්වර පොත් හතරක් ලියා පළ කරන ලද මේ කතුවරයා අතින් ලියැවුණු පුවත්පත් ලිපි ගණන නම් ගිණිය නොහැකි තරම් ය. දේශයක කඳුළු, උරුමයක හිමිකරුවෝ, ශ්‍රියාලතා සහ සෝම හාමුදුරුවන්ගේ බෞද්ධ දේශපාලන දර්ශනය ඔහු විසින් සම්පාදිත ග්‍රන්ථ හතරයි. රිවිර පුවත්පතට කාලීන, දේශපාලන, ආර්ථික හා සාමාජයීය කාරණා අළලමින් ඔහු ලියූ මතයක් සහ දැක්මක් තීරු ලිපිය අසීමිත පාඨක ආකර්ෂණය දිනාගත්තකි. ඊට අමතරව සිළුමිණ හා දිවයින පුවත්පතට විවිධ ලිපි හා කතුවැකි ලියූ ප්‍රමාණය අපමණ ය.

එඩ්මන්ඩ් රණසිංහ නම මුල්වරට පුවත්පතක පළ වෙන ලද්දේ ඩඩ්ලි සේනානායක අගමැතිතුමාගේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ලෙසිනි. 1952 වසරේ ලේක්හවුසියට ආ ඔහුට විභාගයකට මුහුණ දෙන්නට සිදු වෙයි. ඔහු හා එකී පරීක්ෂණයට සහභාගි වූ සෙසු තිදෙනා ම පසුකලෙක පුවත්පත් ලොව ජයකෙහෙළි නැංවූවෝ ය. ඒ මීමන ප්‍රේමතිලක, ඇස්. සුබසිංහ හා ධර්මපාල වෙත්තසිංහ ය. මේ හතර දෙනාම පසුකලෙක සිළුමිණ මුල් පුටුව හෙබවූවෝ වෙති. පරීක්ෂණයෙන් ඉහළ ම ලකුණු ලැබූවත් මේ හතර දෙනා කර්තෘ මණ්ඩලයට එකවර අනුයුක්ත කරන්නේ නැත. මෙකල මෙන් එකල පුවත්පත් කලාවේදියකු වීම පහසු කරුණක් වූයේ නැත. ඔවුන් යොමු කරන්නේ පොලිටිකල් ඩෙස්ක් නම් තැනකට ය. ඒ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රචාරක වැඩවලට ය. මැතිවරණයෙන් අනතුරුව ඩේලිනිවුස් හා දිනමිණ පත්‍රවල පාර්ලිමේන්තු වාර්තා කිරීමට මේ අය යෙදවූහ. ඒ යොමු කිරීම රණසිංහ පුවත්පත් කලාවේදියාට අත්දැකීම් ලබාගැනීමේ තෝතැන්නක් විණි. එකල පාර්ලිමේන්තුවේ බහුතරයක් බුද්ධිමතුන්ගෙන් සුසැඳි බව ඔහු පවසයි. බොහෝවිට පාර්ලිමේන්තු කටයුතු සිදු කෙරෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙනි. බණ්ඩාරනායක, ඇන්. ඇම්, කේනමන්, රොබට්, දහනායක, ජේ. ආර්., නඩේසන්, සුන්දරලිංගම්, ඊරියගොල්ල, කන්දයියා, පොන්නම්බලම් වැනි කෘතහස්ත දේශපාලඥයන්ගේ චතුර කතා හා වාද විවාද ඇසුරෙන් සිංහල හා ඉංග්‍රීසි පාර්ලි‍මේන්තු වාර්තා සකස් කිරීම බුද්ධිය වර්ධනය කරන්නක් හා අත්දැකීම් ලබන්නක් විණි. මේ පුහුණුව නිසාම වැඩිකල් නොයා රණසිංහ පුවත්පත් කලාවේදියා දිනමිණ පුවත්පතේ ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘ බවට පත් වෙයි. පුවත්පත් කලාවේ පඩියෙන් පඩිය හේ උඩට නඟින්නේ ඒ අයුරෙනි. 

එඩ්මන්ඩ් රණසිංහගේ මුල් ම රැකියාව වන්නේ ගුරු වෘත්තිය ය. හේ වග තුම්මෝදර විද්‍යාලයේ ඉංග්‍රීසි ගුරුවරයා ලෙස කටයුතු කළේය. එහෙත් එය සිය ජීවන විලාසය සේ ඔහුට දැනුණේ නැත. එනිසාම ඔහු පුවත්පත් කලාවේදියකු වීමේ සිහිනය සැබෑ කරගත්තේ ය. ඩේලිනිවුස් හා දිනමිණ පුවත්පතෙන් පටන් ගන්නා ඔහු ධර්මපාල වෙත්තසිංහ “දිනමිණ” ප්‍රධාන කර්තෘ පදවිය දරන කාලයේ ප්‍රවෘත්ති කර්තෘවරයා ලෙස පත් විය. පසුකලෙක ඔහු ජනතා පත්‍රයේ ප්‍රවෘත්ති කර්තෘ ද දිනමිණ කර්තෘවරයා ද විය. දිනමිණ වාර්තාගත අලෙවියක් සිදු වූයේ ඔහුගේ කාලයේ ය. 1980 සිට 1981 ජූලි දක්වා සිළුමිණ කර්තෘවරයා ලෙස සේවය කළ ඔහුගේ කාලයේ කර්තෘ මණ්ඩලයේ සේවය කර ඇත්තේ දහදෙනෙකි. නියෝජ්‍ය කර්තෘ ඩබ්ලිව්. පී. කේ. ගුණවර්ධන (කීර්ති ගුණවර්ධන), විශේෂාංග කර්තෘ දයාසේන ගුණසිංහ, පී. බී. ඉලංගසිංහ, ලක්ෂ්මන් ජයවර්ධන, නන්දසේන සූරියආරච්චි, පර්සි ජයමාන්න, ශාන්ත සේනාධීර, චිත්‍ර ශිල්පී ගුණපාල හේමචන්ද්‍ර, කැමරා ශිල්පී රාජා පෙරේරා ඒ අතර විණි.

එඩ්මන්ඩ් රණසිංහ තමන් පුවත්පත් කලාවේදියකු ලෙස අබිසෙස් නැංවූ ලේක්හවුස් ආයතනයෙන් ඉවත් වෙන්නේ පාලනාධිකාරිය සමඟ ඇතිකර ගත් මතවාදී ගැටුමක් හේතුවෙනි. ඒ කොටස් වශයෙන් පළ වූ නවකතාවක් නිසා ය. එවකට සිරිමා බණ්ඩාරනායක රජයේ ප්‍රබල ඇමැතිවරයකු මෙන්ම කෘතහස්ත ලේඛකයකු වූ ටී. බී. ඉලංගරත්නගේ නවකතාවක් කොටස් වශයෙන් සිළුමිණ පුවත්පතේ පළ වෙමින් තිබිණි.

පාලනාධිකාරිය වහා ම එය නවත්වන්න යැයි කර්තෘට බල කළේය. එඩ්මන්ඩ් රණසිංහ එයට විරුද්ධ විය. ප්‍රසිද්ධ නවකතාකරුවකු වූ ඉලංගරත්නගේ මේ නවකතාව නිසා සිළුමිණේ අලෙවිය ඉහළ ගිය බව රණසිංහයන් සාක්ෂි ඇතිව ඔප්පු කළ විට පාලනාධිකාරිය කීවේ, “එසේ නම් කතාව කෙටි කොට ඉක්මනින් ඉවර කරන ලෙස” ය.

“දක්ෂ ලේඛකයකුගේ නවකතාවක් කප්පාදු කිරීම දක්ෂ ප්‍රතිමාකාරයකු විසින් නෙළන ලද ප්‍රතිමාවක අත පය කඩා දැමීම මෙන් දරුණු ක්‍රියාවක්. ඉලංගරත්නගේ දේශපාලන අදහස් මේ කතා‍වේ නෑ. මම කර්තෘ හැටියට එය අනුමත කරන්නේ නෑ.” ඒ කර්තෘවරයකු ලෙස ඔහු සතු අදීනත්වය ප්‍රකට කළ අවස්ථාවකි. එහෙත් පාලනාධිකාරිය ද සිය මතය වෙනස් කළේ නැත. සිය මතවාදය වෙනුවෙන් පෙනී සිටි එඩ්මන්ඩ් රණසිංහ ලේක්හවුස් ආයතනයෙන් ඉල්ලා අස් විය. ඔහුගේ වටිනාකම හා දක්ෂකම ගැන නිවැරදි තක්සේරුවක් තිබූ උපාලි විජයවර්ධන එඩ්මන්ඩ් රණසිංහට යෝජනාවක් කරන්නේ ය. ඒ නව පුවත්පතක් ඇරඹීම සඳහා ය. ඒ අනුව ලේක්හවුසියේ පියගැටපෙළ බැසි ඔහුට දිවයින කාර්යාලයේ දොරටු විවර වෙන්නේ ඉරිදා දිවයින ආරම්භක කතුවරයා ලෙස පත්වීම ලබමිනි. එඩ්මන්ඩ් රණසිංහ දිවයින කර්තෘවරයා මෙන්ම උපාලි පුවත්පත් සමාගමේ සමාරම්භක කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයාද විය. දිවයින පුවත්පතට ඔහු සමඟ ම එකල සිළුමිණ විශේෂාංග කර්තෘවරයා වූ දයාසේන ගුණසිංහ ඇතුළු පිරිසක් ද එක් විය. ඒ එඩ්මන්ඩ් රණසිංහගේ ඇරයුමෙනි. ඔහුගේ කර්තෘත්වයෙන් යුතුව 1982 පෙබරවාරි 4 වෙනිදා දිවයින දිනපතා පත්‍රය ඇරඹුණේ පුවත්පත් කලාවේ නව නැම්මක් සටහන් කරමිනි. එහෙත් ඒ නව නැම්ම පසුපස සිටියේ ලේක්හවුසියේ දිනමිණ හා සිළුමිණ පුවත්පත් විසින් ඔපමට්ටම් කරන ලද රණසිංහ නම් පුවත්පත් කතුවරයා ය. ලේක්හවුසිය පුවත්පත් මහගෙදර වන්නේ මේ වැනි ප්‍රවීණයන් බිහි කිරීමේ මාතෘත්වය දැරීම නිසා ය. 

ගුරු වෘත්තියෙන් සමුගෙන පුවත්පත් කලාවෙන් සිය ජීවිතය සෙවූව ද රණසිංහයන්ට සිය ජීවන සහකාරිය හමුවෙන්නේ ගුරුවරයකුව සිටින අවදියේ ය. ඒ ඔහු ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස කටයුතු කළ කළුඅග්ගල වග තුම්මෝදර විද්‍යාලයේ දී ය. රණසිංහ ගුරු වෘත්තියෙන් සමුගෙන ලේක් හවුසියේ රැකියාවට යන විට එම පුරප්පාඩුවට පැමිණියේ රජයේ ගුරු අභ්‍යාස විද්‍යාලයෙන් පුහුණුව ලැබූ ගුරුවරියකි. ඇය මිලිනා කුමාරගේය. පළමු දැක්මෙන් ම ඇය කෙරෙහි ඔහුගේ සිත ගියේ ය. ඇය එවකට හොරණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු (පසුව අමාත්‍යවරයකු වූ) එම්. ඩී. එම්. ජයවර්ධනගේ ළඟම ඥාතිවරියකි. එඩ්මන්ඩ් හා මිලිනා විවාහයෙන් දියණියන් දෙදෙ‍නකු ලැබූහ. වැඩිමහල් දියණිය නිර්මලා රණසිංහ ය. පේරාදෙණිය ලංකා විශ්වවිද්‍යාලයෙන් ඉංග්‍රීසි සාහිත්‍ය සම්බන්ධව උපාධිය ලැබූ ඇය ඉංග්‍රීසි ගුරුවරියක ලෙස විශාඛා විද්‍යාලයේ ද විදුර විද්‍යාලයේ ද සේවය කළාය. ඇය සිවිල් ඉංජිනේරුවකු වූ ලක්ප්‍රිය රත්නායක සමඟ විවාහ වී සිටී.

දෙවැනි දියණිය දර්ශනී රණසිංහ පරිගණක දත්ත නිලධාරිනියක ලෙස උපාලි පුවත්පත් සමාගමේ සේවය කළාය. ඇය විවාහ වූයේ වෙ‍ෙළඳ ව්‍යාපාරික ලක්සිරි වික්‍රමාරච්චි සමඟ ය.

සිය ජීවිතයේ සැදෑ සමය රණාලේ සිය වත්තේ ගත කරමින් අතිශය නිස්කලංක ජීවිතයක් ගෙවන එඩ්මන්ඩ් රණසිංහයන් සිය අතීතය ස්මරණය කරන්නේ අතිශය තෘප්තිමත් බවකිනි. මීට වසර තුනකට පෙර සිළුමිණ 92 වැනි සංවත්සරය වෙනුවෙන් ලේක්හවුස් පරිශ්‍රයට ආ ඔහු වත්මන් කර්තෘ මණ්ඩලය හා සිය අතීතය මතක් කරමින් තුටු සිතින් ගෙවුවේ ය. ඒ තෘප්තිමත් ඉතිහාසයක මතක ස්මරණය කරමිනි. දැනට ජීවමාන ව සිටින පරිණතම පුවත්පත් කතුවරයා වශයෙන් ඔහුගෙන් ගුරුහරුකම් ලැබූවෝ පුවත් ලොව මුල් පුටු හෙබවීම ගැන හේ අතිශයින් සතුටට පත් වෙන්නේ ය. තෘප්තිදායක ස්මරණීය සිතිවිලි සමඟින් හේ සිය වෘද්ධ සමය ගත කරන්නේ අතිශය සොම්නස් සහගත සිතැතිව ය.

ඔහු උපදින්නේ සිළුමිණ පටන් ගෙන මාස පහකට පසු ය. පුවත්පත් කලාවේ වෘද්ධතම ජ්‍යෙෂ්ඨයාට චිරං ජයතු කියා අප පතන්නේ හදපිරි ගෞරවාදරයෙන් යුතුව ය.

Comments