නිර්මාණයේ නව ආර පෙන්නා නිහඬවම නික්ම ගිය චින්තකයා මහාචාර්ය සිරි ගුනසිංහ | සිළුමිණ

නිර්මාණයේ නව ආර පෙන්නා නිහඬවම නික්ම ගිය චින්තකයා මහාචාර්ය සිරි ගුනසිංහ

පවතින සංස්කෘතිය හෝ පවතින ක්‍රමය වෙනස් කිරීම ලේසි පහසු දෙයක් නොවේ. ඔහු පටන් ගත්තේ ම රැඩිකල් ආකාරයකට ය. එහෙත් බොහෝ රැඩිකල්වාදීන් මෙන් අක්මුල් නැති ව නම් නොවේ. රැඩිකල් වෙන්නට නම් තමා රැඩිකල් විය යුත්තේ කුමක් වෙනස් කිරීම සඳහා ද, ඒ වෙනසෙන් සිදු විය හැකි අවම මෙන්ම උපරිම දෑ ගැන ද අවබෝධයක් තිබිය යුතුය. නමට රැඩිකල් වෙන්නන් පායන තරු මෙන් කලකදී නොපෙනී යන්නේ මේ පාදමක් නැති බොරු කයිවාරු නිසා ය.

එහෙත් පදනම ශක්තිමත් ව ගොඩනැඟූ පසු ටිකෙන් ටික පවතින ක්‍රමයේ වෙනස්කම් නියමාකාර ව පෙනෙද්දී ඒවායේ විවිධතා හා නව්‍යතා ගැන රැඩිකල් වීම යුක්ති යුක්ත ය. “සෑම අලුත් සංකල්පයක් ම සෑම අලුත් අත්දැකීමක් ම ප්‍රකාශ කිරීම සඳහා අලුත් යෙදුමක් අවශ්‍ය බව” කියා සිටි ඔහු සාහිත්‍යකරුවා අතීතයෙන් ලැබී ඇති සම්ප්‍රදායයන් ස්වල්පයෙන් තෘප්තිමත් වන්නේ නම් ඔහු “සිය ක්ෂේත්‍රයෙන් විශාල කොටසක් ප්‍රතික්ෂේප කරන්නෙකි” යි සඳහන් කළේ ය.

සම්ප්‍රදාය මතින් ගොඩනැඟුණු, පෙරළා සම්ප්‍රදාය නවීන කරන්නට නිර්භය ව ඉදිරිපත් වුණු මේ නිර්මාණවේදියා මහාචාර්ය සිරි ගුනසිංහ ය. ගුනසිංහ නාමය භාවිත කරද්දී අප එහි භාවිත ණ කාරය සම්මතයෙහි මූර්ධජ ලෙස ගත්තේ වී නමුදු ඔහු භාවිත කරන්නේ ඒ සම්මතයෙන් පිට පැන දන්තජ න ලෙසිනි. ලේඛනයේ දී මූර්ධජ ණ සහ ළ අක්ෂර ඉවත ලූ ඔහු සිය නම භාවිත කළේ ගුණසිංහ වශයෙන් නොව ගුනසිංහ වශයෙනි. ඔහු භාවිත කළ ආකාරයෙන් ම අප ද ඔහුගේ නමට අග ඇති ගුනසිංහ නාමය දන්තජ අකුරෙන් ම තබන්නේ අනන්‍යතාවක් ඇති කිරීමට ඔහුට තිබූ ශක්තියට ගරු කිරීමක් වශයෙනි.

ඔහුට අවශ්‍ය වූයේ නිර්මාණ භාවිතයේදී සිදු කරන ලද ‘ණ ළ’ අත්හැරීම හෝ ‘භාෂාවේ ද්වීරූපතාව’ අතහැර දැම්ම නොවේ. නූතනවාදී සාහිත්‍ය ප්‍රවේශයකදී වෙනස් කළ යුතුව තිබුණු එක් මූලික ප්‍රභේදයක් වූයේ ‘භාෂාවේ ව්‍යාකරණය’ වෙනස් කිරීම නොව, ‘සාහිත්‍යයේ ව්‍යාකරණය’ වෙනස් කිරීමයි. ඒ ඔස්සේ සමාජයේ ව්‍යාකරණය වෙනස් කිරීම ඔහුගේ අරමුණ විය. එවැනි රැඩිකල්වාදී ප්‍රවේශයකට අවතීර්ණ වීමට නම් විලංගුමය භාෂා ව්‍යාකරණය ප්‍රතික්ෂේප කිරීම අනිවාර්ය කරුණක් ව තිබිණි. ඔහු එය කරන ලද්දේ නූතනවාදී ප්‍රවේශයකින් මිස මෙකල්හි මේවා පිළිබඳ කිසිදු අධ්‍යයනයක් නොකර පහසුව තකා හෝ කියන්නන් වාලේ ඒවා කරන්නන් ලෙස නොවේ. 1942දී ලංකා විශ්වවිද්‍යාලය බවට පත් කෙරුණු යුනිවර්සිටි කොලීජියට ඇතුළත් ව සංස්කෘත භාෂාව පිළිබඳ ප්‍රථම පන්තියේ සාමර්ථ්‍යයක් සහිත ව ශාස්ත්‍රවේදී උපාධිය ලබා එහි ම සංස්කෘත පිළිබඳ කථිකාචාර්යවරයකු ලෙස සේවය කළ ඔහුගේ රැඩිකල්වාදී ප්‍රවේශයේ මුල කෙතරම් සංස්කෘතික කාරණා අධ්‍යයනය මත ගොඩනැඟුණේ ද යන්න මා ඔබට පසක් කළේ ඒ නිසා ය. වෙනස්කම්, ප්‍රතික්ෂේප කිරීම්, නවීන කිරීම් මේ සියල්ල කරන්නට පෙර පුරාණත්වය හා සාම්ප්‍රදායිකත්වය දැන සිටීම කෙතරම් වැදගත් ද යන්නට හොඳම උදාහරණය වෙන්නේ මහාචාර්ය සිරි ගුනසිංහය.

ඔහු සම්බන්ධ සියලු කියවීම් පසෙක තබමි. නිර්මාණ පමණක් අතට ගනිමි. ඒවායෙන් ඔහු කියන්නට තතැනූ දේ ගැන සිතමි. අවසන මෙසේ නිගමනයකට එමි. ඒ සිරි ගුනසිංහ නාමය අප ඉතිහාසයෙන්, සමාජයෙන්, සංස්කෘතියෙන්, කලාවෙන් හා සාහිත්‍යයෙන් වෙන් කර තබන්නට කිසිසේත්ම බැරි, එහි අනිවාර්ය අනුල්ලංඝනීය අංගයක් බවය. අද්‍යතන සංස්කෘතිය පිළිබඳ ව කතා කරන, ලියන ඕනෑම විටෙක සිරි ගුනසිංහ නාමය සැහැල්ලුවෙන්, නොතකා හැරීමෙන් හෝ මග හරිමින් කතා කරන්නට හැකියාවක් නැති බව සත්‍යයකි. සිය අනන්‍යතාව සලකුණක් කර නික්ම යෑම බොහෝ දෙ‍ෙනකුට කළ නොහැක්කකි.

සිරි ගුනසිංහ නිකම්ම පැන නැඟුණෙක් නොවේ. ඔහු ලංකා විශ්වවිද්‍යාලය බිහි කළ හොඳම ශාස්ත්‍රවන්තයෙකි. ඔහු සාහිත්‍ය කලාවේ හා සංස්කෘතික ක්‍රියාදාමයේ අග්‍රගණ්‍ය දියුණුවක් පැවැති යුගයෙක එයින් ම පෝෂණය වී ශාස්ත්‍රීය විප්ලවාදියෙක් හා අසම්මතවාදියකු ලෙස මතු වූවෙකි. ඔහුගේ මෙහෙවර සම්පිණ්ඩනය කර ගත් කල්හි සිංහල කවියට, නවකතාවට, සාහිත්‍ය විචාරයට, සිනමා කලාවට, චිත්‍ර ශිල්පයට, චිත්‍ර කලා විමර්ශනයට, ඒ සියල්ලම ඉක්මවා සිටින, සබුද්ධික විදග්ධ චින්තනයට ඔහු විසින් කරන ලද සම්ප්‍රදානය යුගකාරක ය. අප එසේ කියන්නට හේතු සාධක තිබේ. අද වන විට සිංහල කවියේ නව සම්මතයක් නිර්මාණය කිරීමේ ලා මූලිකත්වය ගැනීම සම්බන්ධයෙන් ඔහු බුහුමනට පාත්‍ර වේ. ඒ ඔහුගේ “මස් ලේ නැති ඇට” කාව්‍ය සංග්‍රහයෙන් ඇරැඹුණු, නැතහොත් උත්කර්ෂයට නඟන ලද ඔහුගේ අසම්මත කාව්‍යය සංග්‍රහය නිසා ය. මේ කාව්‍ය සංග්‍රහය නිකුත් වෙන්නේ 1956 වර්ෂයේදී ය. මේ කවි අමතන්නේ එක්තරා අන්දමක බලපෑමක් සමාජයට කරමිනි.

 

උනු වැලි ආසාවෙන් සුදු වුණු

මරු කතරෙකි මිනිස් දිවිය:

පය තිබු තිබු තැන හනිකට

කර කරවයි, පුච්චයි, හම....

දුම් දම දම පැසෙන නිතර

මහ කලුගල් පොකුරු තමයි

ඔබට ලැබෙන එකම අහර

මිනිසාය ඔබේ බලගතු නම:

මිනිහෝ, මිනිහෝ,

අසරණ මිනිහෝ....

ඉතිහාසයෙ මිනිය කපා,

එදා පටන් බී විස පෙන්නා,

නිගමනයක් කළ හපන්කමින්

නැලැවෙන්නට,

සැනසෙන්නට,

සිතනු එපා....

 

“නිසඳැස්“ යන පදය මුල් වරට පද්‍ය විශේෂයක් හැඳින්වීම සඳහා භාවිත කෙරුණේ සිරි ගුනසිංහගේ මස් ලේ නැති ඇට කෘතියේ පිට කවරයෙහි ය. මේ කවි එකල්හි නිර්දය විවේචනයට ලක් වූ බව නොරහසකි. නූතන සිංහල කවියේ නූතන උපමාවේ, රූපකයේ, සංකල්ප රූපයේ පීතෘවරයා වූ සිරි ගුනසිංහගෙන් කවිය මුවහත් කර ගන්නට නූතන පරම්පරාවට නිසි මඟ පෙන්වීමක් නොලැබුණේ යැයි කිවහොත් එය අසත්‍යයක් නොවේ. එහෙත් සිය අනම්‍ය භාවිතය හකුළා ගන්නට ඔහු කිසිවිටෙකත් සිතුවේ නැත.

සාම්ප්‍රදායික ඡන්දස් ශාස්ත්‍රයට අනුකූල ව රචනා නොකිරීම, සිංහල සාහිත්‍ය සම්ප්‍රදායෙහි සුපුරුදු උපමා රූපක ආදිය බැහැර කොට සම්ප්‍රදායෙන් "පිටස්තර" උපමා ආදිය උපයෝගී කරගැනීම, මේ රචනාවන්ගෙන් ප්‍රකට වන ජීවන දෘෂ්ටිය පාරම්පරික සිංහල සංස්කෘතියට පටහැණි වීම යන චෝදනා නඟමින් විචාරකයෝ මේ කවි විවේචනය කළහ. නිර්මාණකරුවා දඬුකඳේ ගැසූහ. ඔහු ද අතහැරියේ නැත. සිය මතය හා නිර්මාණය වෙනුවෙන් හේ නොබියව පෙනී සිටියේ ය. ඔහු එවක ස්ථාපිත ව ද ජනප්‍රිය ව ද පැවති "කොළඹ කවිය" ක්‍රමානුකූල විවේචනයට පාත්‍ර කළ අතර එම ප්‍රවණතාවේ නිශේධාත්මක පැති පෙන්වා දුන්නේ ය. එමෙන්ම පුවත්පත් සඳහා ලිපි සම්පාදනය කරමින් ඊට අවශ්‍ය කරන මතවාදය සමාජගත කිරීමේ ලා ද නිමග්න විය. සෑම අලුත් සංකල්පයක් ම සෑම අලුත් අත්දැකීමක් ම ප්‍රකාශ කිරීම සඳහා අලුත් යෙදුමක් අවශ්‍ය බව කියා සිටි ඔහු සාහිත්‍යකරුවා අතීතයෙන් ලැබී ඇති සම්ප්‍රදායේ ස්වල්පයෙන් තෘප්තිමත් වන්නේ නම් ඔහු සිය ක්ෂේත්‍රයෙන් විශාල කොටසක් ප්‍රතික්ෂේප කරන්නෙකි යැයි සිය ලිපි ඔස්සේ හේ අවධාරණය කළේය. ඔහු 1950 දී The Observer Annual සඟරාවට ලියූ

The New Note in Contemporary Sinhalese Poetry නමැති ලිපිය නූතන කාව්‍ය විචාරය සම්බන්ධයෙන් දැවැන්ත විචාරාත්මක ප්‍රවේශයක් විණි.

ඔහුගේ මුළු මහත් නිර්මාණාවලිය ම එක්තරා අන්දමක වෙනස් ප්‍රවේශයක් ගත්තකි. ඔහු සවිඥානික චින්තකයකු විය. ඒ හා සමගාමීව නූතනවාදියකු විණි. නමුත් ඒ වෙනවිට අදටත් වඩා සමාජය පැවැතියේ මේ වැනි නූතනකම් හතුරුකම් සේ සලකමිනි. සමස්ත කියැවීමේදී අක්ෂර වින්‍යාසයට විරුද්ධ වූවකු සේ ඔහු ව ලඝු කරන්නේ ඒකී දුප්පත් කියැවීම නිසා ය. එහෙත් සාහිත්‍ය නූතනවාදයට ගෙන ඒමට නම් විශාල විභවයක් හා අනම්‍ය ජවයක් තිබිය යුතු බැව් හේ දැන සිටියේ ය. මස් ලේ නැති ඇට නම් කාව්‍ය සංග්‍රහය බුද්ධිමය බෝම්බයක් වන්නේ එකී පසුබිම මත ය. කොළඹ කවීන්ගෙන් පටන් ගත් ඒ කාලයේ උත්කර්ෂයට නංවමින් සිටි නවකතා ගැන ප්‍රසිද්ධියේ විවේචනය කළේ ය. මේ බරපතළ මැදිහත්වීම් නිසා බොහෝ නොතකා හැරීම්වලට ලක් වුණු ඔහු ඒ නිසාමදෝ විදෙස්ගත වූයේ වෙනස් අවකාශවලට මේ වැනි රටවල ඇති තත්ත්වය පිළිබඳ කලකිරිමෙනි. සිරි ගුනසිංහ සිංහල විචාරක සමාජය ඇතුළත ප්‍රමාණවත් හා බරපතළ කියැවීමකට ලක් නොවන්නේ එකී පසුබිමේ සිට ය. එනිසාම ඔහුගේ නික්ම යෑම ද අතිශය කම්පනයක් ව සිංහල සාහිත්‍ය සමාජයට නොදැනුණු බව බොරුවක් නොවේ. නූතනවාදයේ පිය ලකුණ නියමාකාරව සමාජගත වීමට පරිසරය නොහැදුණු බවට ලකුණ එයය.

ඔහු දැඩි විචාරශීලි මත දැරූවෙක් වෙයි. සිය මතය වෙනුවෙන් අනම්‍ය ව පෙනී සිටියෙක් ද වෙයි. සමහර චිර ප්‍රසිද්ධ විචාරකයෝ එකල්හි ගොඩනැඟෙමින් සිටි නිර්මාණකරුවන්ගේ සමහර නිර්මාණ පමණ ඉක්මවා වර්ණනා කරන බව දුටු ඔහු ඒ සඳහා විරුද්ධ වූයේ හැංගි හොරා නොවේ. සාහිත්‍යයට සේම නැඟී එන ලේඛකයන් ද මොට වෙනවා දකින්නට අකැමැති හේ පක්ෂග්‍රාහී විචාර කලාව ගැන දැඩි කලකිරීමෙන් යුතුව කතා කළේ ය. එහි අනර්ථකාරී බව වෙනුවෙන් කරුණු දැක්වීය. මේ වැනි කරුණු නිසාම ඇතැම් අවස්ථාවල ඔහුට මෙහි පැළපදියම් වූ දේශපාලනික හා සංස්කෘතික අධිකාරීත්වය විසින් චින්තන අවකාශයක් නිර්මාණය කිරීමේ පසුබිම වළක්වන්නට ඇත. ශාස්ත්‍රීය මතවාදී ගැටුම් විනා කුඩුකේඩුකම් හෝ අනර්ථකාරී ක්‍රියා නොරිස්සූ ඔහු විතැන් වීමට තීරණය කිරීම අරුමයක් නොවන්නේ ඒ නිසා ය. තමාගේ කාර්ය නිමා වූ පසු වෙනත් අනවශ්‍ය ගැටුම් හෝ ක්‍රියා පිළිබඳ ඔහුගේ අවධානය යොමු වූයේ නැත.

ඔහු අතින් කාව්‍ය සංග්‍රහ 4ක් බිහි වෙයි. ඒ 1956දී බිහි වුණු මස් ලේ නැති ඇට, 1958දී නිකුත් වූ අබිනික්මන, 1962 වර්ෂයේදී රතු කැකුළ සහ 1998දී පාඨකයන්ට තිළිණ වූ ආලකමන්දාව කාව්‍ය සංග්‍රහයි. නවකතා මාධ්‍යයේදී ද හේ වෙනසක් බලාපොරොත්තු වූවෙකි. ඔහුගේ මුල්ම නවකතාව වෙන 1960දී නිකුත් වූ හෙවනැල්ල එකල බටහිර ප්‍රචලිතව තිබූ විඥානධාරා රීතියෙන් ආභාසය ලැබූවකි. අත්හදාබැලීම් හා චින්තනමය පරිචයක් වෙනුවෙන් සිය නිර්මාණකරණය මෙහෙය වූ ඔහු නිසා සාහිත්‍යයේ සිදු වූ ඉදිරි පිම්ම ගැන නොතකා හැරීම කුහක කමකි. ඉන්අනතුරුව ඔහුගේ මන්දාරම හා මිරිඟුව නවකතා ද්විත්වය ද පළ වූයේ ය.

හේ සිනමා මාධ්‍යයට ද අවතීර්ණ වූ බැව් ද එහි තබන ලද පියවර ඉතිහාසයේ සන්දිස්ථානයක් ව සටහන් වූ බැව් ද ඔබ දනී. ගුනසිංහ නමැති අපූර්ව සිනමාවේදියාගේ විශිෂ්ට කලා කෞශල්‍යය නොමඳව ප්‍රකාශයට පත් වූයේ සත් සමුදුර නමැති ඔහුගේ සම්මානිත සිනමා කෘතියෙහිදී ය. එතැනින් ඉනික්බිති ඔහුගේ කලා කෙතේ සුන්දරම ඉසව්ව වූයේ සිංහල චිත්‍ර කලා විමර්ශන ඉසව්වේ පෑ සුරුකම් ය. රන්වන් කරල් ඔහු විසින් නිර්මාණය කළ වාර්තා චිත්‍රපටයකි. රත්නාවලී, සඳ කිඳුරු, තුරඟා, දැන් දැන් හඬනා නාට්‍යවල අංග රචනය හා ඇඳුම් නිර්මාණය කරන ලද්දේ ද සිරි ගුනසිංහ නිර්මාණවේදියා ය. රූපවාහිනි හා ගුවන් විදුලි වැඩසටහන් රැසක් නිෂ්පාදනය කළ හේ ද්විභාෂාවෙන් ම ස්වකීය නිර්මාණකරණයේ නිරත වූවෙකි. ඔහුගේ ග්‍රන්ථ හා ශාස්ත්‍රීය ලිපි නාමාවලිය දිගු එකකි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා හා ඉතිහාස මහාචාර්යවරයකු වූ මහාචාර්ය සිරි ගුනසිංහ සාහිත්‍යයික, විචාරක හා ශාස්ත්‍රඥ ප්‍රවණතාවට අයත් ප්‍රමුඛ චරිතයකි.

තමන් සංස්කෘත භාෂාව හැදෑරීම, තර්කනය හා සංවිධිතභාවය පිළිබඳ හැඟීමක් සිය කාර්යයන්ට ලබා දුන් බව ඔහු පසු කලෙක ආවර්ජනය කළේ ය. එසේ ම ඔහුගේ ශාස්ත්‍රීය උත්සුකය පැරණි සම්භාව්‍ය චිත්‍ර කලාව වෙත හා කලා ඉතිහාසය වෙත ද යොමු විය. වියුක්ත චිත්‍ර ශිල්පියකු වූ ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පැවැත්වුණු චිත්‍ර ප්‍රදර්ශනවල දී සිය සිතුවම් ප්‍රදර්ශනය කළේය. එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යය ඇතුළු විවිධ වේදිකා නාට්‍යවලට රංග වස්ත්‍ර නිර්මාණකරුවකු වශයෙන් සම්බන්ධ විය. කංචුක නිර්මාණවේදියකු ලෙස ද සිය නාමය ග්‍රන්ථ ක්ෂේත්‍රයේ ස්ථානගත කළ ඔහු නන්විධ ඉසව් හි සුරුව සැරුවේ සිය බුද්ධි ප්‍රවාහයට එක්කර ගන්නා ලද හැදෑරීම් ද අනුසාරයෙනි. ඔහු ශාස්ත්‍රීය කෘති කිහිපයක් ම නිකුත් කෙළේ ඉංගිරිසි බසිනි. තම නිර්මාණ කෘති ගැන කතා කරන්නට හෝ විචාරක සභා පවත්වන්නට හෝ ඒවා ගැන සමාජය ඉදිරියේ වග උත්තර බඳින්නට හෝ ඔහුට අවශ්‍ය වූයේ නැත. සිරි ගුනසිංහ යනු, තමාගේ අවංක අව්‍යාජ ශාස්ත්‍රවන්ත භාවයෙන් ඉබේටම බැබළුණු නිර්මාණවේදියෙකි. එහෙත් ඒ ප්‍රභාව ලාංකේය සමාජය හඳුනා ගත්තේ ද යන්න ගැටලුවකි. එසේ නියමාකාර ඇගැයීමක් ලැබුණේ නම් ඔහු කිසි දිනෙක කැනඩාව වැනි රටක පදිංචියට ගොස් විප්‍රවාසියකු වන්නේ නැත.

නික්ම ගිය සිරි ගුනසිංහ නාමය යළිත් වෙනදාටත් වඩා කතාබහට ලක්වෙන්නේ ඔහු විසින් ඉතිරි කළ චින්තනමය වපසරියේ බර සාර බව නිසා ය. දශක ගණනාවකට පෙර නූතනය දුටු ඔහුගේ තුන්කල් දැක්ම ගැන අද ද අප පුදුම වෙන්නේ ඒ නිසා ය. භෞතික ශරීරයට වඩා බරසාර ආත්මයක සුවඳ අප වටා අද ද හමන්නේ ඒ නිසා ය.

Comments