මහ පොළොවේ ආදරේ තවරා ගම් නියම් ගම්හි ගුණ සුවඳ වපුරා නික්ම ගිය ලේඛකයා | සිළුමිණ

මහ පොළොවේ ආදරේ තවරා ගම් නියම් ගම්හි ගුණ සුවඳ වපුරා නික්ම ගිය ලේඛකයා

දවතේ ගැඹුරු ම තැන් ස්පර්ශ කරනා ක්‍රමවේද දෙකක් තිබේ. ඉන් එකක් වන්නේ හදවතේ බුර බුරා නැ‍ඟෙන වේදනාව ම සමාජ සත්තාව මත තබා එකී වේදනාවෙන් ම ජීවන සත්‍යය පසක් කරලීම ය. අරුන්දතීලා, කමලාදාස්ලා මෙන්ම ශේක්ස්පියර්ලා ද කරන්නේ එය ම ය. එහිදී අප අතර පවතින දෑම; අප අතරින් ම උපහාසයට නංවා කටුක යථාර්ථය ඉදිරියේ අප නිරුවත් කරන්නේ ය. ඒ කොනිති ගසන ප්‍රවේශය හා සේම හදවත පිරිමදිමින්, ආදරයෙන් මත් කරමින් ජීවන යථාර්ථය පසක් කරන නිර්මාණ ක්‍රමවේදයක් ද තිබේ. එය ජීවිතය නමැති වීණාවේ සියුම් ම තත් ඉසියුම් ලෙස පිරිමදිමින් යථාර්ථය පසක් කරයි. මේ ක්‍රමවේද දෙක ම ඒ ඒ නිර්මාණකරුවා ස්වීය දැක්ම හා ආඛ්‍යාන රටාව ඔස්සේ පාඨකයා, රසිකයා වෙත ප්‍රධානය කරයි‍. පාඨකයෝ හා රසිකයෝ අතර ද මේ ක්‍රමවේද දෙක ම තම තමන්ගේ රුචිකත්වය ඔස්සේ ග්‍රහණය කර ගන්නා පිරිස් සිටිති. 

මේ ක්‍රම දෙක ඔස්සේ ම පාඨක මන රංජනය කළ මම සමු නොගනිමියි කියා ස්වකීය කෘතියකට නම් තැබූ ලේඛකයෙක් වෙයි. අප පෙර කී ලෙස පාඨකයාගේ ජීවිතය නමැති වීණාවේ තත් සියුම් ව එහෙත් සමාජ යථාර්ථය පසක් වෙන සේ ලියා තැබූ හේ ඇරව්වල නන්දිමිත්‍ර ය. මම සමු නොගනිමියි කියූවා සේම හේ සමු ගත්තේ නැත. කයෙන් සමුගත්ත ද සිතෙන් සමු නොගත්තෝ වෙති. ඒ අතර ඇරැව්වල නන්දිමිත්‍ර නාමය ද ඉදිරියෙන් ම තිබේ.

ජීවත් වූ ග්‍රාමයේ නම සිය නමේ මුලට ගත් ඔහු ගම ගැන ලියූ සමහර දෑ ගැන සමහර ගම්මුන්ට තිබුණේ එතරම් කැමැත්තක් නොවේ. ඔහු ජීවත් වූ ඇරැව්වල ප්‍රදේශය අර්ධ නාගරික වූවකි. ඒ පරිසරයේ පරිසර සාධක ඇසුරේ ඔහුගේ නිර්මාණවල විවිධ චරිත ගොඩනැඟුණු අතර, ඒවා පොදු සමාජයේ ම කොටස් බඳු විය. පොදු සමාජයේ ගුණදහමක්, අණක් ගුණක් නැති චණ්ඩි සේම සාදු චරිත ද වෙති. ඒ කතා සියල්ල ඇරැව්වල නන්දිමිත්‍ර ලේඛකයාගේ කතා ඇසුරේ ද චිත්‍රණය වී තිබේ. ඔහු ඇසුරු කරන හා ඔහුට හමු වූ චරිත සේම පොදු සාමාජීය කරුණු හා පරිසරය ද ඔහු චිත්‍රණය කරන්නේ අප ද එහි කොටස්කරුවන් කරමිනි. ඇරැව්වල ග්‍රාමය නන්දිමිත්‍ර දන්නේ යම් තරමක් ද අප ද ඒ තරමට ම එහි ගැමියන් හා පරිසරය හඳුනන්නන් බවට පත් කිරීමේ ගෞරවය හිමි වෙන්නේ මේ ලේඛකයාට ය. ගැමි දරිද්‍රතාව, කුල පීඩනය, ඊනියා උපාසකකම් ඔහුගේ පෑන් තුඩට අසාත්මික වූයේ නැත. පන්සලේ ඝාණ්ටාර නාදය සේම, කමත, ගම්මඩු, දහඅට සන්නි අපට ඒ කෘති ඇතුළේ විද්‍යමාන වන්නේ අප එහි කොටස්කරුවන් කරමිනි. මහා පරිමාණයේ හොරුන් සේම කෙහෙල් කැන් කපන, පොල් හොරෙන් කඩන්නන් සේ ම රෙදි අපුල්ලන්නන්, කුරුඳු තළන්නන්, කසිප්පු පෙරන්නන් ඒවායේ ආගන්තුක වූයේ නැත. මේ සියල්ලන් අප අතර ජීවත් වුව ද අපට ඒවා මුළුමනින් ම ඇසුරු කිරීමට ලැබෙන්නේ නැත. එහෙත් ගමක මේවා සුලබ දෑ ය. ඒ සුලබ දෑ වුව ද අප අතරෙන් මඟ හැරුණු සමයෙක ඇරැව්වල නන්දිමිත්‍ර ලේඛකයා අපට චිත්‍රණය කරන්නේ ගමක පොදු ස්වභාවයේ පවතින ස්වරූපය විනා අන් යමක් නොවේ.

එවැනි ලේඛකයන් අපට ඉන්නේ අතළොස්සකි. ගමක් බබළවන්නට සමත් වීම වනාහි වෙන ම වැඩකි. තම නම නිසා ගමක් ලොවක් හඳුනා ගැනීම ඒ වෙනම වැඩේ තවත් විස්මයකි.

1950 ගණන්වල මෙරට ඉස්මතු වූ ජාතිකත්වවාදී ආකල්ප මඟින් නන්දිමිත්‍ර පෝෂණය වූ අයුරු 2007 දී රචිත ඔහුගේ ”කතන්දරකරුවකුගේ සටහන්” කෘතියෙන් විද්‍යමාන වුවත් ඔහු කිසිවිටෙක දේශපාලන පක්‍ෂයක හෝ කණ්ඩායමක සාමාජිකයෙක් නොවීය. සිය ලිපිකරු රැකියාවේ යෙදෙමින් නිහඬ හා ස්වාධීන ජීවිතයක් ගත කළ ඔහු එයින් තෘප්තිමත් වීමක් නැතැයි තමාට දැනුණු මොහොතේ ඉන් ඉවත් වූයේය. 1990 ගණන්වල රටේ ඇති වූ විනාශකාරී වාතාවරණය සියැසින් දුටු ඔහු ඒ කම්පාව පිට කළේ නිර්මාණාත්මක සාහිත්‍යයට වැඩි වැඩියෙන් නැඹුරු වීමෙන් හා ගමේ ක්‍රියාත්මක සුහද සමාජය සමඟ එක්ව වැඩි වැඩියෙන් සමාජ සේවාවන්හි නියුක්ත වීමෙනි. ඔහුගේ සාහිත්‍ය දේශපාලනයට යටවීමට ඉඩ නොදීමට තරම් හේ සිය ලේඛනයේ දී පරිස්සම් සහගත විය.

එමෙන්ම ඔහු කිසිදු සාහිත්‍ය ගුරුකුලයකට අනුගත වීමට හෝ ඒවායේ අනුගාමිකයකු වීමට කැමති වූයේ ද නැත. ඒ නිසා ඔහුගේ සාහිත්‍යය කලා ආකල්ප ප්‍රචාරකවාදී හෝ ගුරුකුලවාදී හෝ නොවීය. තමා කතන්දරකරුවකු බව පිළිගත් ඔහු මහා න්‍යායවාදවල හෝ ජනප්‍රියවාදයේ ගොදුරක් නොවීය. එබැවින් ඔහුට ඔහු ම අනුදත් මාර්ගයක් විය. කෙටිකතාවේ මූලික ලක්ෂණ කෙරෙහි ගැති නොවූ ඔහු කියැවීමේ රුචිය වර්ධනය වෙන අයුරෙන් හා කෙටිකතාව පාඨක ආකර්ෂණයට ලක් වෙන ආකාරයෙන් ජනගත කිරීම නිසා කෙටිකතා කලාව ද යම් ආකර්ෂණීය මානයක් කරා ගියේය.

පවතින සමාජයේ අනේකවිධ දෝමනස්ස මෙන්ම ඇවතුම් පැවතුම් ද තම නිර්මාණකරණයේ තේමා වීම නිසා පොදු පාඨකයා අතර නම ආදරය දිනාගත් ලේඛකයකු වීමට ඔහුට වැඩි කලක් ගත වූයේ නැත. ඔහුගේ බොහොමයක් කතාවලට පසුබිම් වන මේ චරිත හා පරිසරය ගැන ඔහුට මනා අවබෝධයක් තිබුණා මෙන් ම, ඔහු එය මනාව අධ්‍යයනය කර ද තිබේ. ඔහු සතුව ප්‍රබල අත්දැකීම් සමුදායක් මෙන් ම, එය ප්‍රකාශ කිරීමට ආවේගවත් වාග් මාලාවක් ද තිබිණි. එහෙත් ඔහු කිසිවිටෙකත් කෙටිකතාවේ ශිල්ප ධර්ම හෝ න්‍යාය මත දැඩි ව එල්බ සිටියේ නැත.

ස්වකීය නිර්මාණ ඔස්සේ සමාජ බලයක් ගොඩනංවා ගැනීමට ඔහු කෙදිනකවත් වෙහෙස වූයේ නැත. මීට වසර 13කට පෙර මා ඔහු සමඟ සම්මුඛ සාකච්ඡාවක් කිරීම සඳහා ඔහුගේ නිවෙසට ගිය අවස්ථාව මට සිහිපත් වේ. ඉතා සරල මෙන් ම, නිහතමානි ගති පැවතුම්වලින් ද යුතු ලේඛකයකු වූ ඇරැව්වල නන්දිමිත්‍ර ලේඛකයා වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ගැමියකු වූ බව ඔහුගේ ජීවන දර්ශනය මත ම ලියැවී තිබිණි. ඒ අව්‍යාජත්වය ඔහුගේ ලේඛනවලින් ද ප්‍රකට වෙන බැව් ඒවා පරිශීලනය කරන, අධ්‍යයනය කරන ඕනෑම අයකුට වැටහේ. නිර්මාණය කිරීමෙන් පසු තම කාර්ය අහවර බැව් ඔහු විශ්වාස කළේ ය. අප ඔහුගේ නිර්මාණ ගැන කරන ලද සංලාපයේදී ද ඒ බැව් හේ අවධාරණය කළේ ය. නිර්මාණකරණයේදී ස්වකීය නිර්මාණයට අවැසි දෑ විනා ඉන් අනතුරු දෑ ගැන හේ කිසිවිටෙකත් සිතුවේ නැත. ලේඛකයාගේ කාර්යභාරය ඉටුකර නිහඬ වූ ඔහු සම්මාන, විචාර හෝ ප්‍රසිද්ධිය යන කිසිවක් ගැන සිය අවධානය යොමු කළේ නැත. 

මුවග රැව් දෙන නාමයක් බවට පසුකාලීන ව පත් වුවත් ඇරැව්වල නන්දිමිත්‍රට මුල්කාලයේ නම් නිර්මාණයක් පුවත්පතක හෝ පළ කරගැනීමට පහසු වූයේ නැත. ජ්‍යෙෂ්ඨ පාඨශාලා ශිෂ්‍යයකු ලෙස උගැන්මේ නිරත වෙන කාලයේ බුද්ධිපාල නම් ගුරවරයකුගේ මඟ පෙන්වීමෙන් හේ නිරන්තර කියවන්නකු බවට නම් පත් ව සිටි බව මා අසා තිබේ. ඔහු පත්තරවල ළමා පිටුවලට දිගින් දිගට ම ලිවුවත් ඒවා කිසිවක් පළ වූයේ නැත. ඒ අතරේ පුවත්පත් කන්තෝරුවක වැඩ කරන හිතවතෙක් ඔහුට මුණ ගැහෙයි. ඒ ටයිම්ස් ආයතනයේ මුද්‍රණ යන්ත්‍රයක වැඩ කළ මාටින් අයියා ය. කෙටිකතාවක් පළ කරවා ගැනීමේ ආශාව නිසාම සිය හිතවත් ඥාතියකු වූ මාටින් අයියා හමු වීමට යන ඇරැව්වල සිය කෙටිකතාවක් ඔහු අතට දෙන්නේ හොඳ නම් හා පුළුවන් නම් එය පුවත්පතේ පළ කර දෙන මෙන් ඉල්ලා සිටිමිනි. මාටින් අයියා කෙටිකතාව රැගෙන යන්නේ ලංකාදීපයේ කීර්ති කලහේ පුවත්පත් කලාවේදියා ළඟටය. කෙටිකතාව හොඳ නම් පළ කරන්නම් කියා කලහේ මාධ්‍යවේදියා වැඩේ බාර ගත්තේ ය. ඊළඟ ඉරිදා ලංකාදීපයේ ‘ඔරුකාරයා‘ නමින් පළ වෙන්නේ එකී කෙටිකතාව ය. ඇරැව්වලගේ කෙටිකතා සිහිනය සැබෑ වෙන්නට පටන් ගන්නේ එතැනිනි. 

අනතුරුව දිගින් දිගට ම ලංකාදීප, දිවයින පුවත්පත්වලට කෙටිකතා ලියන ඔහු පළමු කෙටිකතා සංග්‍රහය වන කය මිස සිත නැති දන 1965 දී පළ කරන්නේ බැංකු ණයක් ගනිමිනි. ඒ වන විට ඇරැව්වල ලේඛකයාට වයස අවුරුදු 26කි. සිය නිර්මාණ කෘතියක් පළ කරගැනීමේ නොතිත් ආශාවකින් සිටි ඔහුට ඒ වෙනවිටත් පෙළෙමින් තිබූ වෙන කිසිදු ආර්ථික අවශ්‍යතාවක් ගැන මතක් වූයේවත් නැත. එතැනින් පටන් ගත් ඔහු ජනහද බැඳ ගත් ලේඛකයකු වූයේ පියවරෙන් පියවර ය. එහි කිසිදු හදිසියක් තිබුණේ නැත.

ඔහු ප්‍රිය කළ ලේඛක දෙපළක් ගැන අප සමඟ පවසා තිබේ. ඔහු කම්පනයට පත් කළ ලේඛකයා ලෙස හේ අප සමඟ සිහිපත් කළේ ගුණදාස අමරසේකර ය. ඔහු ගුණදාස අමරසේකරගේ කරුමක්කාරයෝ කෘතිය කියවා එයින් ලද කම්පනයෙන් මිදෙනු නොහැකිව කලක් ගත කළ බව මා සමඟ පවසා තිබේ. ඔහු ප්‍රිය කළ අනෙක් ලේඛකයා කේ. ජයතිලක ය. කේ. ජයතිලක නිරූපිත ගම තමන්ට ඇත්ත ගම සිහිපත් කළ බැව් ඔහු පැවසුවේය. කේ. ජයතිලක ලේඛකයා කන්නිමහරට බැඳුණේ යම් සේ ද තමා අරැව්වලට බැඳුණේ විණැයි ඔහුගේ අදහස විය.

මුල් කෙටිකතා සංග්‍රහයේ සිට ඔහු කෙටිකතා සංග්‍රහ දොළහක් පළ කර ඇති අතර, ඒවායේ වඩා සිත් ගත් කෙටිකතා එක්කොට ‘ඇරැව්වල නන්දිමිත්‍ර තෝරාගත් කෙටිකතා‘ ලෙස කෙටිකතා සංග්‍රහයක් ද පළ කෙරිණි. (මෙහි සංස්කරණ කටයුතු කළේ සුගත් වටගෙදර විසිනි.) ඔහු 1973 දී ලියැවුණු පියවතී සහ ඇගේ පුත්තු නවකතාවේ සිට නවකතා දහ අටක් පළ කළේය. එයින් කෘති දෙකක් හඳුන්වා ඇත්තේ විස්මය ප්‍රබන්ධ ලෙසිනි. යොවුන් සාහිත්‍ය කෘති තුනක් හා ළමා පොත් දෙකක් ද ඔහු රචනා කර තිබෙන අතර පුවත්පත්, ගුවන්විදුලි හා රූපවාහිනිය සඳහා රචනා කරන ලද නිර්මාණ ගිණිය නොහැකි තරම් ගණනෙකි.

සුදු කොඩි (1983) කෙටිකතා සංග්‍රහයේ සිට සුද්දො සහ කොයින් මැණිකේ (1988), රත්තරන් නෙළුම් මල් (1993) මා සොයා එනු මැනවි (1996) කෙටිකතා සංග්‍රහ රාජ්‍ය සම්මානයෙන් පුද ලද අතර නංගි (2000) ගොඩගේ සම්මානයෙන් ද, මම සමු නොගනිමි (2001) විද්‍යෝදය සම්මානයෙන් ද පුද ලැබීය.

ඔහුගේ නවකතා අතර මිහිසරණ (1984) රාජ්‍ය සාහිත්‍ය සම්මානය ද ගිනි ස්වාධීන සාහිත්‍ය සම්මානය ද දුෂ්කර දුර්ගය (2004) ස්වර්ණ පද්ම සම්මානය ද හිමිකර ගත්තේය. පුංචි තරුවක් පායලා යොවුන් සාහිත්‍ය සඳහා වන රාජ්‍ය සම්මානය දිනා ගත්තේය. ගංතෙර තෙරණියට ස්වර්ණ පුස්තක ප්‍රශස්ත සම සම්මානය ලැබුණි. තමා කතන්දරකරුවකු ලෙස හඳුන්වා ගන්නා ඔහු තමා ලබන අත්දැකීම් සිය නිර්මාණ සඳහා යොදා ගත්තේ අතිශය නිර්මාණශීලි ප්‍රවේශයක සිටිමිනි. බොහෝ පාඨකයෝ ඔහුගේ පොත් සොය සොයා කියවන්නට පෙලඹෙන්නට ඇත්තේ මේ අත්දැකීම් ප්‍රසාරණයේ ලා ඔහු දක්වන ප්‍රතිභාව හේතුවෙනි. ඔහු තම නිර්මාණයට වස්තු කරගත් අත්දැකීම් අමු-අමුවේ එලෙසම ඉදිරිපත් නොකළා පමණක් නොව, එම අත්දැකීම් ප්‍රතිනිර්මාණය ද කළේ ය. ඔහු ලැබූ අත්දැකීම මුල් අත්දැකීම නොවේ; එසේ නොවන්නේත් නොවේ.

මේ සඳහා හොඳම නිදසුනක් වන්නේ 1975දී රචිත මල්දෙණියේ සිමියොන් නවකතාවයි. එය පසුව සිනමාවට ද නැඟී අතිශය ජනප්‍රියත්වයට ද පත් විණි. මෙහි සිමියොන්ට සමාන චරිත ඕනෑ ම ගමක ජීවත් වෙන විදිහේ චරිත බැව් ඔබ දනී. සමහරු ඇරැව්වල ගමේ ගැමියන් නම් කරමින් මේ අසවලාදැයි ඔහුගෙන් ඇසූ අවස්ථා ඇති බැව් ඔහු යම් සංලාපයෙකදී මට පවසා තිබේ. 

මිනිසුන්ගේ හදවත වේදනාවෙන් ගැහෙන බව හේ දත්තේ ය. ඒ වේදනාව විසින් සමහර මිනිසුන් යක්ෂයන් වෙන අතර ම සමහරු දේවතාවන් ද වේ. මේ සියල්ල සිදු වෙන්නේ තමා දන්නා හා දැනෙනා පරිමාව අනුව බැව් ඔබ ද දනී. එය පිළිසිඳ දත් ඇරැව්වල නන්දිමිත්‍ර ලේඛකයා අතින් නිර්මාණය වෙන චරිත ද එකී ලක්ෂණවලින් සංගෘහිත වෙයි. පාඨක මනස කියවන පිරිමදින චරිත ඔහු අතින් බිහි වෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසය.

ඇරැව්වල නන්දිමිත්‍ර වරින් වර කවි ද ලියා තිබේ. සිය නවකතා පොත්වල පිදුම සඳහා ඔහු ලියූ කවි ඔබ කියවා ඇතිවාට සැක නැත. කවි ලිවීමට අමතර ව ඔහු ගීයක් ද ලියා ඇති බැව් මා දැන ගත්තේ සුගත් වටගෙදර සහෘදයාගෙනි. එහි එක් පද්‍යයක් මෙහිලා සටහන් කරන්නේ ඔහු ගේ චරිත ස්වභාවය පිළිබඳ අප මෙතෙක් කතා කළ දෑ ඒ පද අතරෙන් පෙනෙනා බැව් ඔබට මතක් කරන්නට මට අවැසි නිසා ය.

ගඟට කපන ඉනි ගඟ දිය රැගෙන යතී 
සැපට වැඩුණු කය පොළොවට දිරා යතී 
අපට නොවේ බඹුටත් මරු ළඟා වෙතී 
පිනට දුන්නු දේ පමණක් ඉතුරු වෙතී

මම සමු නොගනිමියි කියා ඔහු පොතකට නම් තබමින් කීවේ ඇයි දැයි අප දැන් හරියට ම දන්නා බැව් ඔබට කියන්නට මට අවැසි ය. ජීවත් ව සිටිය ද මියගියා සේ පෙනෙන, දැනෙන මිනිසුන් බහුතරයක් අතර, හේ මිය ගිය ද අප අතර ජීවත් වෙන්නා සේ දැනෙන්නේ මට පමණක් නොවන බැව් මම දනිමි.

Comments