අපි හදන්නේ පසට මිතුරු කාබනික පොහොරක් | සිළුමිණ

අපි හදන්නේ පසට මිතුරු කාබනික පොහොරක්

කාබනික පොහොර නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ආයතනයක් වන කැන්ගාරා හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම, 2016 වසරේ පටන් මෙරට කාබනික පොහොර නිෂ්පාදන ක්ෂේත්‍රයේ නියැළී සිටියි.

රට පුරා ගොවි බිම් කාබනික පොහොරින් අස්වද්දන්නට තමන්ට හැකි උපරිම අයුරින් දායක වීම සිය සමාගමේ එකම සතුට බව සභාපතිනී, තාරකා ජයතිලක මහත්මිය පවසයි. කැන්ගාරා හෝල්ඩින්ග්ස් කළමනාකාර අධ්‍යක්ෂ ධුරයේ කටයුතු කරන සිය සැමියා සමන්ත ප්‍රනාන්දු සමඟ එක්ව, දේශීය ව්‍යාපාරයක් සේ ඉදිරියට යන ගමන පිළිබඳ ඔවුහූ තෘප්තිමත් ය. 

වස විසෙන් තොර සරු පසක් යළි නිර්මාණය කිරීම උදෙසා, කැන්ගාරා හෝල්ඩින්ස් පුද්ගලික සමාගමේ කාර්යභාරය පිළිබඳ, ජ්‍යේෂ්ඨ කළමනාකරු මධූෂ ගුණවර්ධන අදහස් දැක්වූයේ මෙලෙසිනි.

" අපගේ ප්‍රධාන කාර්යාලය පිහිටා තිබෙන්නේ හෝකන්දර. එ් වගේම, පුත්තලම මදුරන්කුලිය, දඹුල්ල කටුපොතහේන සහ අනුරාධපුර තිරප්පනේ ප්‍රදේශයේ අපගේ ප්‍රධාන කර්මාන්තශාලා තුන පිහිටා තිබෙනවා.

මදුරන්කුලිය සහ කටුපොත හේන කර්මාන්තශාලාවල නිෂ්පාදනය කෙරෙන්නේ කාබනික දියර පොහොර පමණයි. තිරප්පනේ කර්මාන්තශාලාවේ කැට පොහොර හෙවත් ග්‍රැනියුලා නිෂ්පාදනය සිදු කරනවා.

අපගේ කාබනික දියර පොහොර නිෂ්පාදනාගාර දෙකෙහිම දිනකට ලීටර 15,000ක් පමණ නිෂ්පාදනය කෙරෙනවා. ඒ වගේම, ඝන පොහොර ටොන් 5-6ක් අතර ප්‍රමාණයක් සෑම දිනකම නිෂ්පාදනය වනවා.

2022 යල සහ මහ කන්න දෙක දෙකේ දී සමස්ත රජයේ පොහොර සහනාධාර ව්‍යාපෘතියෙන් 25%කට වැඩි කාබනික පොහොර ප්‍රමාණයක් සපයන්නට අපට හැකි වුණා.

ඊට අමතරව ගම්පහ, කොළඹ, කළුතර, රත්නපුර, නුවර, නුවරඑළිය, අනුරාධපුර සහ මාතලේ දිස්ත්‍රික්කවල අප විසින් බෙදා හැරීමේ කටයුතු සිදු කරනවා. ඒ පළාත්වල පොහොර අලෙවිකරුවන් වෙතින් අපගේ පොහොර මිල දී ගන්නට ඕනෑම කෙනකුට පුළුවන්.

අපගේ දියර පොහොරවලට ගන්නා ප්‍රධාන අමුද්‍රව්‍ය වන්නේ මාළුන්ගෙන් නිෂ්පාදනය කරන ෆිෂ් ටොනික් එක. අප දියර පොහොර සෑදීමට මාළු අපද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැහැ. සෑම විටම මේ සඳහා යොදා ගන්නේ අලුත් මසුන්. ඊට අමතරව, අධි නයිට්‍රජන් අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා විශේෂිත මාළු වර්ග පාවිච්චි කරනවා. දියර පොහොර පැසවීම සඳහා එක් නිෂ්පාදන කාණ්ඩයකට මාළු ටොන් 30-35ත් පමණ අපට අවශ්‍ය වනවා. අපි සෘජුවම මන්නාරම් ප්‍රදේශයේ ධීවරයන්ගෙන් තමයි මේ මාළු මිල දී ගන්නේ. ඊට අමතරව, මොලෑෂස් සහ කාබනික සහතිකය ලත් විශේෂිත ආනයනික අමුද්‍රව්‍ය කිහිපයක් මේ සඳහා අපි භාවිත කරනවා. මේ සියලු අමුද්‍රව්‍ය සමඟ අපගේ රහස් වට්ටෝරුවකට අනුවයි, මේ කාබනික දියර පොහොර නිෂ්පාදනය කරන්නේ.

ඒ වගේම, කාබනික ඝන පොහොර නිෂ්පාදනය සඳහා ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස ලෙස භාවිත කරන්නේ කුකුළු, ගොම, එළු සහ කොළ පොහොරවල එකතුවක්. අපගේ ඉල්ලුම වැඩි වූ විට මෙම කොම්පෝස්ට් නියමිත ප්‍රමිතියට අනුව සකසන නිෂ්පාදකයින්ගෙන් අප ඒවා ගිවිසුම්ගත ව ලබා ගන්නවා. එවැනි ප්‍රමිතියට අනුකූල ව නිෂ්පාදනය කරන අපගේ ලියාපදිංචි සැපයුම්කරුවන් 57 දෙනකු පමණ අපට සිටිනවා. ඒ අතර, කාබනික පොහොර නිෂ්පාදනය සඳහා අවශ්‍ය ගිණිසීරියා වැනි කොළ වර්ග සපයන සැපයුම්කරුවන් ද සිටිනවා.

2022 වසර තමයි සහනාධාර ව්‍යාපෘතිය යටතේ වැඩිම කොම්පෝස්ට් ප්‍රමාණයක් අප නිෂ්පාදනය කළේ. එය ටොන් 45,000කට අධික ප්‍රමාණයක්. ඒ වෙලාවේ සෘජුව සහ වක්‍රව මේ කාර්යය සඳහා තුන් දහසකට වැඩි පිරිසකට රැකියා අවස්ථා උදා වුණා. දැනට අපගේ කර්මාන්තශාලාවල සේවකයින් 100ක් පමණ වැඩ කරනවා. රජයේ සහනාධාර ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මක වූවා නම්, මේ ගම්මාන අවට ජනතාවට වක්‍රව හෝ අඛණ්ඩ ව යම් ආර්ථිකයක් හැදෙනවා.

අපගේ කාබනික පොහොර භාවිතයෙන් වී වගාවට යොදන රසායනික පොහොර භාවිතය 30%ක් අඩු කළ හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සහතික කර තිබෙනවා. මීට අමතරව, තේ වගාවේදී පසට සහ පත්‍රවලට යොදන පොහොර වර්ග දෙකක් නිෂ්පාදනය කරනවා. ඒ දෙකටත් තේ පර්යේෂණ ආයතනයේ අනුමැතිය ලැබී තිබෙනවා. ඒ නිසා අපගේ පොහොර භාවිත කරන ගොවි මහතුන්ට, වැඩි අස්වැන්නක් ලැබීම පිළිබඳ උපරිම විශ්වාසය සහ සහතිකය ලැබී තිබෙනවා.

ඒ වගේම අපි ජාත්‍යන්තර වෙළෙඳපොළටත් ව්‍යාප්ත වීමට කටයුතු කරමින් සිටිනවා. ඩුබායි, මාලදිවයින සහ ඔස්ට්‍රේලියාවේ අපගේ ශාඛා පිහිටුවා ඒ ඔස්සේ අපගේ කාබනික පොහොර නිෂ්පාදන ඒ රටවල ප්‍රචලිත කිරීමට වැඩ කටයුතු සූදානම් කරමින් සිටිනවා.

යුරෝපා යූනියන් සහ japanese standard කියන ප්‍රමිතීන්ට අනුකූල නම් පමණයි, කාබනික පොහොර පිටරට යැවීම සඳහා අවශ්‍ය කාබනික සහතිකය ලැබෙන්නේ. අපි ඒ සුදුසුකම් සපුරාලමින් සිටිනවා. ඒ අනුව, කාබනික පොහොර අපනයනයේ දී 100%ක් කාබනික බවට නිකුත් කරන අනිවාර්ය සහතිකය නොබෝ දිනකින් අප ආයතනය ලබා ගැනීමට ද නියමිතයි.

ඒ වගේම කියන්නට ඕනේ, අප කාබනික පොහොර නිෂ්පාදනයට පමණක් සීමා වී නැහැ. විශේෂයෙන් දේශීය එළවළු වගාව ව්‍යාප්ත කිරීමේ අරමුණු ඇතිව දේශීය බීජ නිෂ්පාදන ආයතනයක් අප පටන් ගෙන තිබෙනවා.

පුරාණයේ සිට පැවත එන ඇත් දළ බණ්ඩක්කා, හවරි මෑ, බටු, මිරිස් වැනි දේශීය බීජ වර්ග ගණනාවක් ඒ ඔස්සේ නිෂ්පාදනය කර වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කරමින් සිටිනවා. හොඳ කාබනික වගාවකට ගැළපෙන සහ වැඩි ඵලදාවක් ලබා ගත හැකි මෙවැනි දේශීය බීජ, තව තවත් ගොවීන් සහ වගාකරුවන් අතර ප්‍රචලිත කරන්නයි, අපට අවශ්‍ය..." 

සිය සමාගමේ අරමුණු පිළිබඳ සභාපතිනී, තාරකා ජයතිලක මහත්මිය අදහස් දැක්වූයේ මෙලෙසිනි.

"කැන්ගාරා හෝල්ඩින්ග්ස් කියන්නේ, වසර හතක් පුරා කාබනික පොහොර නිෂ්පාදන ක්ෂේත්‍රයේ නියැළෙන දේශීය සමාගමක්. අපේ ආරම්භක යුගයේ එක් දවසක ගොවිබිම් සොයා අප ගිය ගමනක දී අහඹු ලෙස අපිට ගොවි මහතෙක් මුණගැසුණා. ඔහු සහ නිවැසියන් අපව පිළිගත්තේ ඉතාමත් ම ළබැඳිවයි. අපට තේ පැන් සංග්‍රහයක් ලබා දී ඔවුන්ට හැකි උපරිම ලෙස සංග්‍රහ කළා. නමුත් ඒ ගෙදර ගොවි මහතාට කිසිවෙක් කිසිවක් බොන්නට වත් කන්නට වත් දුන්නේ නැහැ. ඒ පිළිබඳ විමසීමේ දී අප දැන ගත්තේ ඉතාම ඛේදනීය කතාවක්.

'මට වතුර බොන එකත් සීමා කරලයි තියෙන්නේ නෝනා. ඇඟ ඇතුළෙ තියෙන්නේ පුංචි වකුගඩු දෙකක් වුණාට ඒකෙන් ලොකු දෙයක් කරනවා. ඒ වකුගඩුවලට හානි කරගන්න අපිත් ලොකු වැරැද්දක් කරගෙන කියලා තේරුණේ පැරදුණාට පස්සේ. රටට ම බත දීපු මට අද වතුර උගුරක්වත් බොන්න බැහැ. ගොවියෝ වෙච්චි අපිත් ඒ තරමටම පසට හානි කරලා. රසායනික පොහොර, පස විතරක් නෙවෙයි මගේ වකුගඩුත් විනාශ කරලයි තියෙන්නේ. මතු පරම්පරාවට අයිති පින් බිමක් වස විස පමණට වැඩියෙන් යොදලා විනාශ කරල ද... කියලා මගේ හිත වද දෙනවා. ආසා හිතෙන දෙයක් කනවා තියා වතුර උගුරක්වත් වැඩිපුර බොන්න බැරි තැනකට අද මං පත් වෙලා...'

සිය දරුවන් රකින්නට, රටට බත සපයන්නට මහ පොළවත් එක්ක ඔට්ටු වූ ඔහු අද මහා කලකිරීමකින් පසු වන සහ ශාරීරිකව බොහෝ දුක් පීඩා උහුලන ගොවි මහතෙක්. අද අපි මේ ගමන් කරන, 'රට සුවපත් කරනා- පස සරු කරනා' ගොවි අස්වැන්නකට වෙහෙසෙන මඟ විවර වුණේ, ඒ ගොවි මහතා වැනි ගොවි රජුන් සිය ගණනකට අත්ව ඇති ඛේදනීය ඉරණම දුටු නිසයි.

අද ඔහුගේ ඉදිරි පරම්පරාවේ බහුතරය වස විස සහිත රසායන ද්‍රව්‍ය සහ කෘමිනාශකවලින් මිදී, කාබනිකකරණයට අවතීර්ණ වී ගමන් කරනු දැකීම සතුටට කරුණක්.

පසට මිතුරු- අපට මිතුරු කාබනික නිවැරැදිව සපයන කාර්ය අප විවිධ අයුරින් ඉතා වෙහෙසකාරීව පිරික්සා බලා සොයා ගත්තේ, මේ ජාතික ව්‍යසනය තව දුරටත් සිදු නොවිය යුතු නිසයි. කාබනික පොහොරින් සරු වූ එම අස්වැන්න පළමුවෙන් ම නුවරඑළිය ප්‍රදේශයෙන් මතු කර ගන්නට අපට හැකි වුණා. අද රට පුරා දිස්ත්‍රික්ක 13ක අප කාබනික පොහොර පසට මුසු කරන ගොවීන් රැක ගනිමින්, ඉතා සරු අස්වැන්නක හිමිකරුවන් ව සිටීම, ඇත්තටම විශාල ජයග්‍රහණයක්.

වසර හතක පමණ කාලයක සිට අප ආ ගමන වූයේ කැන්ගාරා සමූහයේ ගමනයි. ඒ ගමන තුළ අත්වැල් බැඳ ගත් බොහෝ පිරිසක් අද දියුණුවට පත් කාබනික පොහොර ගොවීන් බවට පත්ව තිබෙනවා. ඔවුන් සිතින් සහ ආර්ථිකයෙනුත් පොහොසත් ගොවි පරපුරක්. අපිට ඕනේ මේ රටේ කෘෂිකර්මයේ අනාගතය එවැනි දැක්මකින් ඉදිරියට යනවා දකින්නයි..."


Comments