තාත්තාගේ හීනය ඉටු කරන්න ජාතික පිලේ දොරට තට්ටු කරන ලසිත් | සිළුමිණ

තාත්තාගේ හීනය ඉටු කරන්න ජාතික පිලේ දොරට තට්ටු කරන ලසිත්

එංගලන්තයේ සංචාරයේදී ලබාගත් ශතක දෙක තමයි මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය

මට හතර වසරේදි ක්‍රිකට් ගහන්න තාත්තා ගෙදර නෙට් එකක් ගහලා දුන්නා

පුතාට උඩ යන්න ඉඩ දීලා මම නූල අතේ තියාගෙන හසුරවනවා

මගෙයි ලසිත්ගෙයි දෙන්නගෙම පැෂන් එක ක්‍රිකට්. මට ඕනේ එයා ක්‍රිකට් වගේම ජීවිතෙත් දිනනවා බලන්නයි -  පියා - ශිරාන් කෘෘස්පුල්ලේ

මුලින්ම පුතාගේ පිට්ටනිය වුණේ ගෙදර සාලේ. බෝලේ වද්දලා ගෙදර බඩු බිඳිද්දි මම හරියට එයාට බැණලා තියෙනවා-  මව - ශ්‍රීමා ප්‍රනාන්දු පුල්ලේ

 

වුපියන්ගේ සිහින තමන්ගේ සිහින බවට පෙරළා ගත් විට ඔවුන්ගේ ආශිර්වාද සමඟ ඕනෑම දරුවකුට බොහෝ දුරක් ඉදිරියට යා හැකිය. තම පියාගේ සිහිනය තමන්ගේ සිහිනය කරගත් ඔහු ලසිත් කෲස්පුල්ලේ ය. 1998 ඔක්තෝබර් මස 04 දා මීගමුවේදී ඔහු උපදින්නේ ඉංග්‍රීසි ගුරුවරයකු වූ ශිරාන් කෘස්පුල්ලේ හා ගෘහණියක වූ ශ්‍රීමා ප්‍රනාන්දු පුල්ලේ යුවළගේ දෙටු පුත් ලෙසිනි. ලසිත්ගේ වැඩිමහල් සහෝදරයා නිමේෂ් කෲස්පුල්ලේ ලසිත්ට වඩා අවුරුදු 3කින් වැඩිමහල්ය. නිමේෂ් ද පාසල් මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩා කළත් අතරමගදී එය නතර වෙන්නේ අධ්‍යාපනයට වැඩි අවධානයක් යොමු කිරීම නිසාය. සහෝදරයාගේ පන්දුවේ වේගය දුටු ලසිත්ට ද එනිසාම ක්‍රිකට් පිත්ත අතට ගන්නට සිත් විය. එහි ප්‍රතිඵලයක් ලෙස ලසිත් පියාගේ සිහිනය තම සිහිනය කරගත් ලසිත් ටෙස්ට් පිටියේත් සීමිත පන්දු වාර විස්සයි විස්ස පිටියේත් සිය දක්ෂතා මනාව පෙන්නුම් කරයි. හෙට අනිද්දාටම ඔහු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට සමත් වන බවට බොහෝදෙනාගේ විශ්වාසයයි.

ඔහු සරුංගලය නම් ඒ සරුංගලයේ නූල ඇත්තේ ඔහුගේ ආදරණීය පියා අතේය. ඒ නූල අත නොහැර හරි මාර්ගය පෙන්වමින් ලසිත්ගේ ජීවීතය දිනවන්නට ඔහුගේ පියා මහන්සි ගනියි. ඒ ගැන ලසිත් මෙසේ කීවේය.

“මං මූලික අධ්‍යාපනය හැදෑරුවේ මාරිස්ටෙලා විද්‍යාලයෙන්. ඊට පස්සේ කඳාන ද මැසනද් විද්‍යාලයට ඇතුළත් වුණා. ඒ පාසලේ ඉගෙනගෙන ආයෙමත් මම මාරිස්ටෙලා විද්‍යාලයට ඇතුළත් වෙනවා. ඔය පාසල් දෙකෙන්ම මම ක්‍රිකට් සඳහා යොමු වෙනවා. අයියා ක්‍රිකට් ගහනවා දැකලා තමයි මට ක්‍රිකට් සඳහා යොමු වෙන්න හිතුණේ. එතකොට මම ඉගෙන ගත්තේ හතර වසරේ. මට ක්‍රිකට් ගහන්න කියල මගේ තාත්තා ගෙදර නෙට් එකක් ගහලා දුන්නා. එතකොට මගේ පුහුණුකරු වුණේ වසන්ත විජේසූරිය සර්. එතුමා වගේම මගේ මුලින්ම පුහුණුකරු රොශාන් ජයසිංහ සර්, අනිල් ගුණසිංහ සර්, අමල් සර්, සංජය සර්, ෆීලික්ස් සර් , රශාන් සර්, මනෝජ් සර්, ඇන්ජලෝ මැතිව්ස්ගේ අයියා ට්‍රේවින් සර්, මෝදිත සර්, හර්ෂ සර් මේ හැමෝම මට මගේ දක්ෂතා දියුණු කරගන්න උදවු කළා. මට හොඳ පුහුණුවක් ලබා දුන්නා. මම මුලින්ම විදෙස් සංචාරයකට ගියේ නේපාලයේ පැවැත්වුණු ආසියානු කුසලාන තරඟාවලියට. ඊට පස්සේ ඕස්ට්‍රේලියාවට. එංගලන්තයටත් සංචාරය කරන්න මට අවස්ථාව ලැබුණා. ඒ වගේම පහුගිය කාලේ මගේ පුහුණුකරුවන් ලෙස කටයුතු කළ අවිශ්ක, තිළිණ, රුවන්, මලින්ද සම්පත්, රෝයි , උපුල්, චමින්ද වාස් සහ සජීව කියන සර්ලාවත් මේ වෙලාවේ මතක් කරන්න කැමතියි.”

ලසිත් සිය අතීතය ආවර්ජනය කරන අතරතුර විශේෂයෙන්ම මතක් කළේ ඔහුගේ දක්ෂතා වර්ධනය කර ගැනීම සඳහා උදවු කළ පුහුණුකරුවන් පිළිබඳවය. ඔහු නිරන්තරයෙන්ම පවසන්නේ ඔහුගේ දක්ෂතා මතු වීමට ප්‍රධාන හේතුව ඔවුන් ලබා දුන් පුහුණුව බවයි. ඊට හොඳම උදාහරණය 2017 වසරේදී ඩයලොග් ජනප්‍රියතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්වූයේ ලසිත් වීමයි. ඊට අමතරව 2018 වර්ෂයේ මොබිටෙල් වයස අවුරුදු 19න් පහළ දක්ෂතම පිතිකරු බවට පත් වූයේ ද ලසිත් ය. පසුගියදා ඔහු විසින් දැක්වූ දක්ෂතා ගැන ද ලසිත් අප සමඟ කතා කළේය.

“ඒ ටීම් එකත් එක්ක එකතු වෙලා ගිය මාසේ එංගලන්තයේ සංචාරයකට සහභාගි වුණා. එහිදී මම ශතක දෙකක් ලබා ගත්තා. මම හිතන්නේ මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ එතැනයි.”

එතැන් පටන් ක්‍රීඩා ලෝලීන් ඔහු ගැන වැඩිපුර කතා කරන්නට පටන් ගත්තේය. මේ වෙද්දී සමාජ මාධ්‍ය ඔස්සේ ඔහු ගැන වැඩිපුරම කථා කරන්නන් සිටිති. ඔහුගේ පිත්තේ වේගය එතරම් වේගවත්ය. ඔහු මුලින්ම ක්‍රිකට් පිත්ත අතට ගන්නේ පසු පෙළ ක්‍රීඩකයකු ලෙසිනි. එතැනදී ඔහු අසාර්ථක පිතිකරුවකු වන අතර, ඔහුට දිගු ඉනිම් කරා යෑමට හැකි වන්නේ නැත. එහෙත් 2016 වර්ෂය ලසිත්ගේ වාසනාවන්තම වසර විය. 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගන්නා අවස්ථාවේදී තේරීම් කමිටුව ලසිත්ට දුන් උපදෙස් ඔහු අකුරටම අනුගමනය කළේය.

“මම පිතිකරණයේදී සාර්ථක වෙන්නේ පසු පෙළ ක්‍රීඩා කරද්දි නෙමෙයි. මුල් පෙළ ක්‍රීඩාකරද්දී. එදා තේරීම් කමිටුවේ රන්ජන් පරණවිතාරණ සර් හිටියා. එතුමා ඇතුළු තේරිම් කමිටුව මට උපදෙස් දුන්නා ආරම්භ පිතිකරුවෙක් හැටියට කටයුතු කරන්න කියලා. ඒ තමයි මගේ සාර්ථකත්වයේ ආරම්භය. එදා රංජන් පරණවිතාන සර් මගේ ඒ දුර්වලකම දැක්කෙ නැත්නම් සමහර විට මගේ පිතිකරණයේ දක්ෂතා ඉස්මතු නොවෙන්න ඉඩ තිබුණා. ආරම්භක පිතිකරුවෙක් විදිහට මම යම්තාක් දුරට සාර්ථක වුණා කියලා හිතනවා. කවදා හරි ජාතික ක්‍රිකට් කණ්ඩායමට එකතු වෙනවා කියන එක තමයි මගේ ජීවිතේ තිබ්බ ලොකුම හීනය. ඒ මගේ විතරක් නෙවෙයි මගේ තාත්තාගෙත් හීනය”.

ලසිත්ගේ ඒ සිහිනය තව නොබෝ දිනෙකින් ඉටු වීමට ඉඩ ඇත. මේ වන විටත් ඔහුගේ නම ජාතික කණ්ඩායමට එකතු වී ඇති බව ආරංචි වේ. වෙනත් කුඩා පිරිමි දරුවන් යහළුවන් සමඟ සෙල්ලම් කරද්දී ලසිත් සෙල්ලම් කළේ ඔහුගේ පියා සමඟය. පියා පන්දු යවන විට දසතට පිත්ත කරකවන්නට ඔහු සමත් විය. ඒ පන්නරය අද ඔහු භුක්ති විඳිමින් සිටියි. දෙඅත් රිදෙන තුරු මහා වැස්සෙත් අව්වෙත් ලසිත්ට පන්දු විසි කළ ලසිත්ගේ වීරයා වූ ආදරණීය පියා, ශිරාන් කෘස්පුල්ලේ මෙලෙසින් අතීතය සිහි කළේය.

“මගේ සහෝදරයෙක් ඉන්නේ ඇමරිකාවේ. ඔහු වෛද්‍යවරයෙක්. පුතාව ක්‍රිකට්වලට යොමු කළා කියපු දවසේ ඉඳලා ඔහු නිතරම කතා කරලා මට බැන්නා, දරුවව ක්‍රිකට්වලට යොමු කරලා මොනවා ලබා ගන්නද කියලා. එයා එහෙම මට බැන්නේ දරුවාගේ හොඳටයි, ඔහු අධ්‍යාපනයට යොමු කරන්න කියලා. මමත් පොඩි කාලේ කළේ පවුලේ හැමෝම එකතු කරගෙන වැඩි වෙලාවක් ක්‍රිකට් ගහපු එකයි. ඒ නිසා සහෝදරයා මොනවා කිව්වත් මම මගේ සිහිනය පස්සේ දිව්වා. මගේ හීනය ලසිත්ගෙත් හීනය වුණේ හොඳ වෙලාවට. ලසිත්ට තේරුමක් තියෙන කාලෙ ඉඳලම ක්‍රිකට්වලට දක්ෂතා දක්වනවා කියලා මට තේරුණා. ඒ නිසා මම මුලින්ම ගෙදර ගරාජ් එක පුතාගේ ක්‍රිකට් නෙට් එක කර ගත්තා. පුතා ප්‍රැක්ටිස් ඉවර වුණාට පස්සේ වාහන ගරාජ් එකට දැම්මා. එහෙම ටික දවසක් ගියාට පස්සේ මම හිතුවා මේක හරියන්නෑ නෙට් එකක් ගහලා හදලා දෙන්න ඕන කියලා. ඒ විදියට එයාට ක්‍රිකට් නෙට් එක හදලා දුන්නා. අපි දෙන්නා උදේ ප්‍රැක්ටිස් පටන් ගන්නේ අටට. දෙක විතර වෙනකල් මම එයාට බෝලේ විසි කරනවා. එයාගෙ අයියත් ලසිත්ට උදවු කළා. වැස්ස දවස්වලට ක්‍රීඩකයන් ප්‍රැක්ටිස් කරන්නේ නෑ. නමුත් මම වැස්ස අව්ව නොබලා එයාව පුහුණුවීම්වලට යොමු කළා. වැස්ස කාලෙට හැමදාම මම එයාට බෝලේ දානවා, එයා ප්‍රහාර එල්ල කරනවා. එයාගේ පිතිකරණයේ පුහුණුවීම් ගෙදර කළේ එහෙමයි. ලසිත්ගේ වගේම මගෙත් ෆැෂන් එක වුණේ ක්‍රිකට්. ඒ නිසා එයා කවදාහරි ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්න ඕන කියලා මම ප්‍රාර්ථනා කරනවා. ලංකාවේ බොහෝ ක්‍රිකට් ක්‍රීඩකයන් කොච්චර දක්ෂතා දැක්වූවත් බොහෝ දෙනෙක් ජීවිතය දිනලා නැහැ. මට ඕනේ මගේ දරුවා ක්‍රිකට් වගේම ජීවිතය දිනනවා බලන්නයි. බොහෝ දරුවෝ දක්ෂතා මතු කර ගෙන එද්දීම එයාලගේ ජීවීතේ විනාශ කර ගන්නවා. නමට කැළලක් කර ගන්නවා. ලසිත් කවදා හරි ජාතික ක්‍රිකට් කණ්ඩායමට සෙල්ලම් කළත් එයා මගේ පුතා ලසිත්මයි. අපි එයාගේ ජීවිතේට නීතී දාලා හිර කරලා නැහැ. නමුත් එයාගේ අරමුණ මුලින් ඉෂ්ට කරගන්න ඕන. එයාට උඩ යන්න ඉඩ දීලා මම නූල අතේ තියාගෙන හසුරවනවා. තවම මම එයාව මොනිටර් කරනවා කිව්වොත් හරි. ඒ වගේම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ප්‍රවීණ ක්‍රීඩක Graeme Labrooy මගේ පංතියේ එක ඉස්කෝලේ හිටියේ. පුතාට අවශ්‍ය උපදෙස් මම ඔහුගෙනුත් ගන්නවා...”

අනිසි ලෙසින් නිදහස භුක්ති විඳි ඇතැමුහු ජීවීතයෙන් පරාජය වූහ. ඇතැමුන්ට ජීවීතය අහිමි විය. එහෙත් සිය පියා වන ශිරාන්ගෙන් ලසිත්ට අසීමිත නිදහසක් හිමි වන්නේ නැත. එහි අරමුණ ලසිත් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු කිරීමයි. එනිසාම ලසිත් සිටින යහළුවන් සීමිතය.

“පුතාට පොඩි කාලේ ඉඳලම යාළුවො ලොකුවට හිටියේ නැහැ. අදටත් ඉන්නෙ පුතාට ක්‍රිකට්වලින් ජය ගන්න උදවු කරන අයයි. ඒ නිසා පුතා එයාගේ ජීවිතය නාස්ති කරගනියි කියලා මටවත් ලසිත්ගේ අම්මටවත් බය වෙන්න දෙයක් නැහැ. පුතා සාමාන්‍ය පෙළ කරද්දී ඉස්කෝලේ ගිහින් තිබ්බේ දවස් විසි තුනයි. ඉතුරු හැම දවසක්ම එයා වැය කළේ ක්‍රිකට් වෙනුවෙන්. මම හිතුවා ගණිතය විෂයයට දුර්වල වෙයි කියලා. ඒ නිසා ලොකු මුදලක් වියදම් කරලා ගණිත ගුරුවරු ගෙනත් ඉගැන්නුවා. පුතා විභාගයෙන් ගණිතයට ඒ සාමාර්ථයක් ගත්තා. එදා මට ලොකු සතුටක් දැනුණා. නමුත් පුතාට උසස් පෙළ හරියට කර ගන්න බැරි වුණා. ඒත් ඔහු විභාගය සමත්. පුතාගේ අම්මා කවදාවත් පුතාටවත් මටවත් බැන්නෙ නැහැ, ක්‍රිකට් මිසක් ඉගෙන ගන්නේ නැහැ කියලා. පුතාගේ කෑම බීම, ඇඳුම් පැලඳුම් ඒ සියල්ලම බලන්නේ එයාගේ අම්මා ශ්‍රීමා.”

වෙනත් මවුපියන් තම දරුවන් ක්‍රීඩා කරන තරග නරඹන්නට යන්නේ තම දරුවාගේ දක්ෂතා මැන බලන්නටය. එහෙත් ලසිත්ගේ පියා ලසිත් සිටින තරග නරඹන්නට ගියේ ප්‍රතිවාදී පිතිකරුවන් කොතරම් දක්ෂතා දක්වනවාද යන්න බලන්නටය. ඒ සිදුවීම හා බැඳුණු අපූරු කතාවක් ගැන ද ලසිත්ගේ පියා කීවේය.

“මම මෙච්චර කල් පුතාගේ පාසල් ක්‍රිකට් තරග විතරයි නරඹන්න ගියේ. කිසිම විදෙස් තරගයක් නරඹන්න ගියේ නෑ. පුතා සෙල්ලම් කරන ප්‍රතිවාදී පිතිකරුවන්ගෙන් වැඩිපුරම ලකුණු ගන්න අති දක්ෂතා දක්වන දරුවෝ ක්‍රීඩා කරන විදිහ බලන්නයි මම ගියේ. ගිහින් ඒ දක්ෂම ළමයින්ගේ අම්මා තාත්තා ළඟට ගිහින් මම අහන්නේ පුතාට පුරුදු කරන කෝච් කවුද කියලා. මගේ ලොකුම වුවමනාව පුතාව හොඳ කෝච් කෙනෙක් ළඟට යොමු කරන එක. එහෙම අහලා ලසිත්වත් හොඳ පුහුණුකරුවන් ළඟට යොමු කරල තියෙනවා. මට මතක විදිහට එක දිගට වාඩි වෙලා මම තරග නරඹන්න නැතුව ඇති. මගේ පුතා ලකුණු ගන්නවා බලන්න නෙවෙයි මම මැච් බලන්න ගියේ. නමුත් මගේ අරමුණ ඉටු වෙලා තියෙනවා. තාත්තා කෙනෙක් හැටියට මම මගේ පුතා ගැන සතුටු වෙනවා. පුතා ජාතික කණ්ඩායමට තේරුනොත් මම සතුටු වෙනවා. ජාතික කණ්ඩායමට ඇතුළත් වෙන්න ඇත්තටම ලේසියි. ටිකක් මහන්සි වෙන්න විතරයි තියෙන්නේ. නමුත් කණ්ඩායම තුළ රැඳිලා ඉන්න උපරිම මහන්සියක් ගන්න වෙනවා. ඒක තියෙන්නෙ ක්‍රීඩකයා අතේ. පුතා ප්‍රමාණවත් දක්ෂතා දැක්වුවොත් ජාතික කණ්ඩායමට ඇතුළත් වෙයි. ඒ වගේම රැඳිලා ඉදියි. මගේ පුතා වුණත් මම කියන්නේ සාර්ථක වෙන්න නම් දක්ෂතා දක්වන ඕනේ, නිකන් ඉඳලා කිසි දෙයක් ලැබෙන්නේ නැහැ”.

ලසිත්ගේ පියා වූ ශිරාන්ට සිය වැඩිමහල් පුතු නිමේෂ්ගෙන් ඒ හීනය ඉටු කර ගත නොහැකි වූ නිසා ලසිත්ව ඔහු මනාව පුහුණු කළේය. ඔහුට අවශ්‍ය සියලුම පහසුකම් නොඅඩුව ලබා දුන්නේය. බොහෝදෙනා කියන්නා සේ නුදුරු දිනකදීම ලසිත් කෲස්පුල්ලේ යන නාමය ජාතික කණ්ඩායමේ නම් ලැයිස්තුවට එකතු වනු ඇත. ඒ ප්‍රාර්ථනාව එලෙසින්ම තබා ගෙන ඔහුගේ ජීවිතයට බොහෝ ඉඩකඩක් වෙන් කළ ආදරණීය මෑණියන් වූ ශ්‍රීමා ප්‍රනාන්දුපුල්ලේ තම ආදරණීය දෙටු පුතු පිළිබඳ මතක වචනවලට පෙරළුවේ මෙසේය.

“ලොකු පුතා ඉපදිලා අවුරුදු තුනක් ගියාට පස්සේ තමයි ලසිත් පුතා පවුලට එකතු වුණේ. ලසිත් පුතා හරි අහිංසක කීකරු දරුවෙක්. පවුලේ බාලයා විදිහට හුරතලේට හැදුණේ. හරිම ස්වාධීන දරුවෙක්. කවදාවත් අපිට කරදර කරලා නැහැ. නමුත් එයාට මොනා හරි කරන්න ඕන වුණොත් ඒ දේ කරලා නතර වෙන්නෙ. ක්‍රිකට් පටන් ගන්නෙත් ඒ විදිහට. පුංචි කාලේ ඉඳලා එයා බෝලේ බැට් එක අතේ තියාගෙන හිටියේ. ගෙදර වැඩ එක්ක මම බිසී වෙන දවස්වලට එයා තාත්තා එනකල් බෝලේ බැට් එක අතේ තියාගෙන බලාගෙන ඉන්නවා. එයාට ඕනේ හැමදාම සෙල්ලම් කරන්නමයි. ඒ නැතුව නිදා ගන්නේ නැහැ. ඒ වගේම එයාගේ මුලින්ම පිට්ටනිය වුණේ ගෙදර සාලේ. සෙල්ලම් කරද්දී ගෙදර බඩු බිඳිනවා බෝලේ වද්දලා. ඒ වගේ වෙලාවට මම හරියට එයාට බැණලා තියෙනවා. මට ඕන වුණේ එයාට හොඳින් උගන්වන්න. එයා ඉගෙන ගත්තා වගේම එයාගේ අරමුණටත් ගියා. ඉතින් දැන් කියනවා ජාතික කණ්ඩායමට එකතු වුණොත් හොඳින් සෙල්ලම් කරන්න ඕනේ කියලා. පුතාගේ ඒ හීනයත් ඉටු වුණොත් හොඳයි..එයා ලොකු කැපවීමක් කරනවා ක්‍රීඩාව වෙනුවෙන්. අපි හැමෝගෙම හීනය එයා ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන එක තමයි”.

Comments