ප්‍රේක්ෂ­ක­යාට කිසිදා අම­තක නොවන ‘පට්... පට් සූර­සේන’ | සිළුමිණ

ප්‍රේක්ෂ­ක­යාට කිසිදා අම­තක නොවන ‘පට්... පට් සූර­සේන’

ඡායාරූපය තිලක් පෙරේරා

 ඒ. ඩී. රන්ජිත් කුමාර

“පළිඟු නෝනේ, නාන තොටේදි නේ, ඔයාගේ බියුටි එක පෙනෙන්නේ“

“සූරසේන, මොකද මේ ගෑනු නාන තැන්වලට එබෙන්නේ“

“මං ආවේ පළිඟු නෝනෙට පොඩි ජිම්කානා එකක් ඇදල දෙන්න.“

“ඒ මොකක් ද?“

“ආශා නැද්ද ෆ්‍රෑන් කරකවගෙන ෆ්‍රිජ් තියාගෙන ෂපාන් එකේ ජීවිතයක් ගත කරන්න.“

“ආසයි, ඒත්....“

“මං කියන්නම් පට් පට් ගාල සම්තිං හොයා ගන්න ඕනේ ක්‍රමේ.

ඔය වෙස් මුහුණු තොගය මට දෙන්න.“

“අනේ සූරසේන ඒක නං කරන්න බැහැ, ඕව ගුරුන්නාන්සේගේ දරුවෝ.“

 

1984 ජාතික රූපවාහිනියෙන් විකාශනය වූ ධම්ම ජාගොඩ අධ්‍යක්ෂණය කළ “පළිඟු මැණිකේ“ ටෙලි නාට්‍යයේ ශ්‍රියන්ත මෙන්ඩිස් රඟ පෑ සූරසේන ගේ චරිතයත් මැණිකේ අත්තනායක රඟ පෑ පළිඟු මැණිකේ ගේ චරිතයත් රඟ පෑ මේ දර්ශනය ඔබට මතක ඇති. සූරසේන එදා චරිතය කොතරම් ජනප්‍රිය වූයේ ද යත් ඒ චරිතය හා දෙබස් අනුකරණය කරන්නෝ එදා වූහ. සූරසේන දුම්වැටි පානය විලාසිතාවක් ලෙස අනුකරණය වනු දුටු ටෙලිනාට්‍ය රචනා කළ එකල ලේක් හවුසියේ කර්තෘ මණ්ඩලයේ මා අසල මේසයේ සිටි සෝමවීර සේනානායකයෝ දුම්පානයේ ආදීනව කියා දුන්නාහ. අප දෙදෙනා පුද්ගලික බසයකට නගද්දී බස් කොන්දොස්තර ‘මහත්තයා පට් පට් ගාලා බස් එකට නඟින්න. අනිත් බස් එක එනකං සම්තිං එකක් හොයා ගන්න ඕන.“ කීවේය. සෝමවීරත් මමත් ඉක්මනට නැගී අසුන හිඳ හොඳ හැටි සිනාසුනෙමු. “සෝමෙගෙ සූරසේන නැඟලා යනවා“ යි එදා මම කීවෙමි.

 

සූරසේන ලෙස එදා පුංචි තිරයෙන් ජන ආකර්ෂණය වූ ශ්‍රියන්ත මෙන්ඩිස් අද අපට සිටින ප්‍රතිභා සම්පන්න රංගවේදියකු ලෙස වේදිකාවත්, පුංචි තිරයත්, සිනමාවත් ජය ගන්නේ සම්මාන රැසක් ලබා ගනිමිනි.

“මගේ කලා ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය 3ක් තියෙනවා. එයට මුල් වූ මුල්ම කේන්ද්‍රීය චරිතය මගේ පියා. පියා තුළ තිබූ සෞන්දර්ය ධාරාව ක්‍රමවත්වත්, අක්‍රමවත් ලෙස මට බලපෑවා. ඔහු තුළ “සංස්කෘතික මිනිසෙක්“ සැඟ වී සිටියා. දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කළ තාත්තා ඒ කාලේ ගුවන් විදුලියෙන් ප්‍රචාරය වූ “මුවන්පැලැස්ස“ ගුවන් විදුලි නාට්‍ය අහන්න පුංචි අපට පුරුදු කරලා ඒවා අනුකරණය කරන්න පුරුදු කරනවා. ඒ ඇසුරෙන් පුංචි නාට්‍යය පුහුණු කරනවා. මම ආරච්චි මහත්තයා. මගේ මල්ලී (අජිත් මෙන්ඩිස්) කදිරා. අපේ පුංචි නංගී (මැණික් මෙන්ඩිස්) මැණිකේ. තාත්තගේ ප්‍රියතම දවස ඉරිදා. අපි උදේ පූජාවට පල්ලි ගිහිල්ලා ඇවිත්, දවල් කෑමට ළං වෙන්න හෝරාවක් දෙකක් තියෙන කොට තාත්තාගේ හොඳම යාළුවෝ දෙතුන් දෙනෙක් ගෙදරට එනවා. තාත්තා අමරදේවයන්ගේ ගීත ගයනවා. යාළුවෝ මී විත තොළගාමින් ගීයට එකතු වෙනවා. මිතුරෝ පදමකට එනකොට තාත්තා අපිට කතා කරනවා.

“ශ්‍රියන්ත, අර උඹලා මොකක්ද නාට්‍යයක් කරනවා මම අහගෙන. මේ අන්කල්ලටත් ඔය නාට්‍ය කරලා පෙන්නපං කෝ“ තාත්තා මුකුත් දන්නේ නෑ වගෙ කියනවා.

අපි තුන්දෙනා “මුවන්පැලැස්ස“ නාට්‍ය තාත්තා පුහුණු කළ කොටස රඟපානවා.

“ෂා පුතාලා ලස්සනට රඟපානව. අනිත් දවසේ අපි එනකොට චොකලට් අරං එනවා. තවත් අලුත් නාට්‍යයක් අපිට බලන්න ඕනෑ එදාට.“ එක මිතුරෙක් කියනවා.

“ලාසරස්, මම අද කිව්වා කියලා ලියලා තියා ගන්න කවදා හරි ශ්‍රියන්ත පුතා හොඳ නළුවෙකු වෙනවා, වෙනවා, වෙනවාමයි“ ටිකක් වැඩි වූ මිතුරෙක් කිව්වේ මගේ මූණ ඉඹිමින්.

1957 ඔක්තෝබර් 25 වෙනිදා රාගම රම්පිටියේ උපත ලැබූ ජූඩ් නීල් ශ්‍රියන්ත මෙන්ඩිස් අධ්‍යාපනය ලැබුවේ කඳානේ ඩිමැසිනඩ් විද්‍යාලයෙනි. පාසල් වේදිකාවේ කිසිදා රඟ නොපෑ ඔහු පාසලේ කැපී පෙනුණේ ජැන්ඩියට අඳින ‘ෂෝක්කාරයකු‘ ලෙසලු. ලස්සනට, පිළිවෙළට, ඇන්ඳ ඔහු පාසලේ ‘නිල නොලත් නළුවා‘ විය. ‘ස්ටයිල් කාරයා‘ විය.

“රාගම රම්පිටිය ගමේ කඳු ගැටයක් උඩ අපේ ගෙදර තිබුණේ. මගේ පියා වූ ලාසරස් මෙන්ඩිස් ගේ ගම ඒ. මගේ අම්මාගේ නම කැරලයින් සොයිසා රාගම අනිත් ඉවුරේ පොඩි වී කුඹුර ගමේ කාන්තාවක්. අම්මා පාසල් ගුරුවරියක්. ඇය “සොයිසා ටීචර්“ නමින් මුළු රාගම, මහබාගේ, කඳාන ප්‍රදේශ ප්‍රකට දරුවන්ට ආදරය කළ දක්ෂ ගුරුවරියක්. අම්ම සංගීතයට, චිත්‍ර කලාවට දක්ෂතා දැක්වූවා. අම්මා වයලීන වාදනය කරන කොට මම ආසාවෙන් අහගෙන ඉන්නවා. චිත්‍ර අඳින කොට ළඟින් ඉන්නවා. තාත්තා විනෝදකාමියකු වුවද, ඉගෙනීමට විශේෂ නීති සංග්‍රහයක් අපට සකස් කරලා තිබුණා. ඒ අතින් තාත්තා නීති කාරයෙක්. තාත්තා අප උදේට අවදි කරලා පාඩම් කරන්න කියනවා. ‘හෝම් වර්ක්‘ කළාද බලනවා. නීති රීති ගොඩයි. මේ නිසා මම විද්‍යා විෂයන්ගෙන් උසස් පෙළ සමත් වෙලා ගුරුවරයෙක් වුණා. ඒ 1979 දී.

මගේ ජීවිතයේ දෙවැනි හැරවුම් ලක්ෂ්‍යය වුණේ නාඳුනන, තවමත් හමු නොවූ ගැහැනු ළමයෙක් නිසා. මට මුල්ම ගුරු පත්වීම ලැබුණේ කුරුණෑගලට කිට්ටු පොල්ගහවෙල ඈතින් තිබූ ගනේවත්තේ පොකුවාගොන්න මහා විද්‍යාලයට. මම කලා කටයුතුවල නියුතු නිසා ඒ ඈත පළාතකට ලැබුණු පත්වීම නිසා මම දුර්මුඛ වෙලා හිටියා. කුරුණෑගල කාර්යාලයේ පුටුවක මම කලකිරීමෙන් ඉන්න කොට ගැහැනු ළමයෙක් ඇවිත් මගෙන් විස්තර අහලා උදව් කළා. ඇයගේ ඥාතියෙකුට කියලා මට පොල්ගහවෙල ශාන්ත බර්නඩෙත් විද්‍යාලයට පත්වීම හදල දුන්නා. මට “ස්තුතියි“ කියන්න ඉඩ නොතබා ඇය අතුරුදන් වුණා. මම සතුටින් ගුරු පත්වීම බාර ගත්තා. අර අදුර්ශමාන ගැහැනු ළමයා ඊට පස්සේ හම්බ වුණේ නෑ. මම තවමත් ඇය හොයනවා. අඩු ගානේ “ස්තුතියි“ කියන්න.

මේ ලිපිය දැකලා හමු වුණොත් කියලා මම තවම හිතනවා.“ ශ්‍රියන්ත කීවේය. තම ජීවිතයේ තුන්වැනි හැරවුම් ලක්ෂ්‍යය ලෙස ශ්‍රියන්ත සඳහන් කරන්නේ රෝහණ දන්දෙනිය කියන නාට්‍ය නිෂ්පාදකවරයා හමුවීම ය. ඔහු 1979 දී නිෂ්පාදනය කළ “පාරාස්ස“ නම් නාට්‍යයේ පූර්ණක යක්ෂයා ලෙස මුල්වරට ශ්‍රියන්තව වේදිකාවට හඳුන්වා දෙයි. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු වූ සේනක පෙරේරා (පසුව රංගන ශිල්පියෙකු වූ ඔහු මිය ගියා) ශ්‍රියන්තලාගේ ගෙදර නැවතී සිටියේය. සේනක ‘ඉල්ලීස ජාතකය‘ නාට්‍යයේ රඟපාන්න ශ්‍රියන්තව උනන්දු කළ අතර නෙවිල් ඩයස් සුබසිංහගේ ‘මානවයෝ‘ නාට්‍යයේත් රඟපෑමට අවස්ථාව ලැබී ඇත. නාට්‍ය කලාව ඉගෙනීමට සිතූ ශ්‍රියන්තට ජර්මන් ජාතික නෝර්බට් ජේ. මයර් ගේ ‘අනේ අබිලික්‘ නාට්‍යයේ අවස්ථාව ලැබුණි. ඒ නාට්‍යයේ ඔහු සමඟ කමල් අද්දරආරච්චි, ජයන්ත චන්ද්‍රසිරි, ජූඩ් ශ්‍රීමාල්, චිත්‍රා කුමාරි කළුබෝවිල, නෙලුම් කළුබෝවිල, රෝහාන් සිල්වා ද රඟපෑහ.

“මේ නාට්‍යය දැකපු ‘සාරගයක් මැද‘ චිත්‍රපටයේ ආනන්ද අබේනායක කමල්ව තෝරා ගත්තා. ඒ සමඟම මාවත්, ජයන්ත චන්ද්‍රසිරි, නිහාල් රංජිත්, කීර්ති රණවීරත් චිත්‍රපටයේ රඟපෑමට තෝරා ගත්තා. චිත්‍රපටයේ මම රඟපානවා දැකල අධ්‍යක්ෂ ගාමිණී ෆොන්සේකා අනාවැකියක් කීවා. “හොඳට හිටියොත්, හුඟාක් දුර යන්න පුළුවන්.“ එයින් ඔහු අදහස් කළේ නළු වෘත්තිය ගෞරවය, වටිනාකම, ආත්ම විශ්වාසය රැකිය යුතු කියලා. ගාමිණි දැක්කාම මට මතක් වුණේ පාසල් යන කාලේ මහබාගේ කිව්ජෙම් සිනමා හලේ මා මුලින්ම දුටු “සංදේශය“ චිත්‍රපටයේ ගාමිණිගේ රඟපෑම. ‘චණ්ඩියා‘ හි ඔහුගේ රඟපෑමට ආසක්ත වුණා. රෝයි ද සිල්වා රඟ පෑ හැම චිත්‍රපටයක්ම බැලුවා.

මම ගුරුවෘත්තියයි, රඟපෑමයි පටලවා ගත්තේ නෑ. ‘පළිඟු මැණිකේ‘ ටෙලි නාට්‍යයට තෝරා ගත් ධම්ම ජාගොඩ අධ්‍යක්ෂවරයා ජැක්සන් ඇන්තනී මඟින් පණිවුඩයක් එව්වේ. සූරසේන චරිතය කොයිතරම් ජනප්‍රිය වූවාද කීවොත් සූරසේනගේ චරිතය ද හැසිරීම් ද දෙබස් ද අනුකරණය කළ අය හිටියා.“ ශ්‍රියන්ත කීය.

සිත; සරස්වතී; පණ්ඩුභය; අත්; පුත්‍ර සමාගම; නුඹ විතරක් තලඑළලුයි, ඔත්තුකාරයා; මහාසාර යක්ෂා ගමනය; දෝන කැතරිනා; මෝරා; පණ්ඩුකාභය, මඟුල් ප්‍රස්තාව, එව බලව නාට්‍යවල රඟ පෑ ශ්‍රියන්ත 1988 පැන්ස දෙකේ හංසයා, පාදඩ අසපුව, ගැබ්බර මිනිසා, සුදු සහ කළු හෙවත් වර්ණ යන නාට්‍ය නිෂ්පාදනය කළේය. 1996 යොවුන් නාට්‍ය උලෙළේ දී හොඳම නළුවා ලෙස සම්මාන ලැබුවේ ‘නුඹ විතරක් තළ එළෙලුයි‘ නාට්‍යය සඳහා ය.

“සයිමන් නවගත්තේගම නිෂ්පාදනය කළ පණ්ඩුකාභය නාට්‍යයේ මම රඟපෑවේ දීඝ ගාමිණීට. උන්මාද චිත්‍රාට රඟපෑවේ නුගේගොඩ අනුලා විද්‍යාලයේ ලස්සන ගැහැනු ළමයෙක්. මා තුළ මුල් දැකීමෙන්ම ඇය පිළිබඳ සිතක් ඇති වුණා. ඇගේ නම කුසුම් රේණුකා ලියනගේ. අපි පෙම්වතුන් වී නාට්‍යයේ මෙන් ආදරය කොට විවාහ වුණා.“ ශ්‍රියන්ත කීවේ සිනාසෙමිනි.

ශ්‍රියන්ත ටෙලිනාට්‍ය රැසක රඟ පෑ චරිතාංග නළුවෙකු විය. සුමති සම්මාන උලෙළේ ඔහු හොඳම නළුවා මෙන්ම ජනප්‍රිය නළුවා ද විය. දෑකැති මුහත, මිහිකතගේ දරුවෝ, ඉංගම්මාරුව, හිරු සඳු හමුවේ, හිරුට මුවාවෙන්, මැණික් නදිය ගලා බසී, බෝගල සවුන්දිරිස්, දඬුබස්නාමානය, චල අචල, බැද්දෙගෙදර, නෑදෑයෝ, අකාල සන්ධ්‍යා, වෙද හාමිනේ, වෙස් මුහුණු, අසල්වැසියෝ, විශ්ව භූ සංක්‍රාන්තිය ඔහු රඟ පෑ ටෙලි නාට්‍ය අතර කිහිපයකි.

“මම රඟ පෑ ටෙලිනාට්‍ය අතර දඬුබස්නාමානයේ ආරච්චිගේ චරිතයට මම අංගම්පොර සටන් ක්‍රමය සේනක විජේසිංහගෙන් ඉගෙන ගත්තා. මමත්, සේතුපාල ගුරුන්නාන්සේ ලෙස රඟ පෑ බුද්ධදාස විතාන ආරච්චි සමඟ කරන මාරාන්තික සටන මට කිසිදා අමතක වන්නේ නෑ. 1996 මේ චරිතය සඳහා හොඳම නළුවා ලෙස සිග්නීස් සම්මානය ලැබුවා. සත් ගුණාලංකාර ටෙලි නාට්‍යයටත් දෑකැති මුවහත, බව කර්ම, විශ්ව සංක්‍රාන්තියටත් හොඳම නළුවා ලෙස සම්මාන ලබා තිබෙනවා.“ ශ්‍රියන්ත කීවේය.

ශ්‍රියන්ත රඟ පෑ චිත්‍රපට අතර අයෝමා, සිහින දේශයෙන්, ගිනි සහ ගිනි අවි, ජුලියට්ගේ භූමිකාව, උමයංගනා, මහමෙර උසට ඔහු රඟපෑ විශේෂ චිත්‍රපටය.

“මංගල තෑග්ග චිත්‍රපටයේ මම රඟපෑවේ අභියෝගාත්මක චරිතයක්. විවාහයට සූදානම් වන තරුණයකුට “බැචුලස් පාටියක්‘ දීමට සැරසෙන මිතුරෝ තිදෙනෙක් අර තරුණයාව ගණිකා ඇසුරට පොලඹන සිද්ධියක් පසුබිම් කර ගත් කතාවක් සහිත මේ චිත්‍රපටයේ විවාහ අපේක්ෂිත තරුණයා ලෙස සනත් ගුණතිලකත්, ඔහුගේ මිතුරෝ ලෙස රවීන්ද්‍ර රන්දෙනියත්, ජයලත් මනෝරත්නත් මමත් රඟපෑවා. අභිසරුලිය ලෙස රඟපෑවේ සනෝජා බිබිලේ. මිතුරන් සමඟ එක්වන අතර අභිසරුලියට සිහි නැතිව යනවා.

මිතුරෝ සිතන්නේ ඇය මිය ගියා කියාය. කුතුහලයෙන් යුතු මේ චිත්‍රපටයේ මේ අභියෝගාත්මක චරිත රඟපෑම ගුරුවරයකු විවාහකයකු වූ මම බිය වුණා. මම චරිතය ගැන බිරිය කුසුම්ට කීවා. ඇය වෘත්තිමය නිළියක් ලෙස රඟපෑමේ මූලධර්ම දැන සිටිය නිසා ඉඩ දුන්නා. මා නිළියක හා විවාහ නොවී වෙන කෙනෙකු හා විවාහ වී නම් අනිවාරයෙන්ම දික්කසාදය හිමි වෙනවා. එදා විවාහ අපේක්ෂිත තරුණයා ලෙස රඟ පෑ සනත් ගුණතිලක හැර ඔහු සමඟ මිතුරන්ට රඟපෑවේ රවීන්ද්‍ර රන්දෙනිය, මම හා ජයලත් මනෝරත්නත් විවාහකයෝ. මේ චරිතය රඟපෑමට අපි පසුබට වන විට සනෝජා බිබිලේ දුන් සහාය අගේ කළ යුතුයි.“ මේක චිත්‍රපටයක චරිතයක් විතරයි. ඔයගොල්ලන්ට වඩා මමයි බය වෙන්න ඕන සමාජයට මුහුණ දෙන්න.“ කියලා අපව ධෛර්ය කළා. චිත්‍රපටයේ මංගල දර්ශනය නරඹන්න කුසුම් ආවේ නෑ. චිත්‍රපටය තිරගත වී ටික කලෙකින් මමත්, කුසුම් උත්සවයකට සහභාගි වුණා. එතැන සිටි සනත් ගුණතිලක අපි ළඟට ඇවිත් ගිනි ගෙඩියක් දුන්නා.

“කුසුම්, මම ඔයාට කියන්නේ මගේම නංගී කෙනෙකු හැටියට. මම නං බැචුලර්. මම බැඳලා හිටිය නං ශ්‍රියන්ත කරන ඔය චරිතය කරන්නේ නෑ. ඔයා කොහොමද සමාජෙට මුහුණ දෙන්නේ.“

සනත්ගේ ලණුව නිසා කුසුම් ගේ මුහුණ මැල වුණා. ටිකකින් සනත් ඇවිල්ලා “නංගී මම ඔයාට ලණුවක් දුන්නේ ශ්‍රියන්ත ගැන එහෙම හිතන්න එපා. මේව බයිස්කෝප් නේ.“ කිව්වා. අධ්‍යක්ෂ එච්. ඩී. ප්‍රේමරත්න ඇවිත්, “කුසුම් සනත් හැමෝටම ඔහොම ලණු දෙනවා. ටෝනි රණසිංහගේ බාප්ප සනත්. ලණු දෙන්න සූරයා.“ කිව්වා.

“මංගල තෑග්ග චිත්‍රපටයේ රවීන්ද්‍ර, සනත්, මනෝ හා මම ගයන අමතක නොවන ගීතයක් තියෙනවා. මේ ගීතය පසුබිමින් කිව්වේ සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, බන්දුල විජේවීර.“ ශ්‍රියන්ත ගීතයක් මතක් කළේය.

ශ්‍රියන්ත බැතිමත් කතෝලිකයෙක්. කතෝලික පියනමක ලෙස රඟ පෑ ‘ඝරසර්ප‘ චිත්‍රපටයේ චරිතය ඔහුට විශේෂිතය.

ශ්‍රියන්ත හා කුසුම් යුවළට නිපුනි ප්‍රේක්ෂා මෙන්ඩිස් හා තාරුකි අමායා මෙන්ඩිස් නම් දියණියන් දෙදෙනෙක් සිටිති. දැන් ශ්‍රියන්ත යුවළ මුත්තණුවකු මිත්තණියක් ලෙස දරු සුරතල් බලමින් ගල්කිස්සේ කලාපුර ඔහු දැන් බස්නාහිර පළාත් සෞන්දර්යය නිකේතනයේ සභාපතිවරයාය.

Comments