ලග්ගල ගැමියන් අලුත් අවු­රුද්දට කෑම සැක­සුවේ මෙහෙ­මයි | සිළුමිණ

ලග්ගල ගැමියන් අලුත් අවු­රුද්දට කෑම සැක­සුවේ මෙහෙ­මයි

ලග්ගල ලේඩි­යන් ගල කුර­ක්කන් යායක අස්වනු නෙළන පිරි­සක්

 

 

මානව ශිෂ්ටාචාර පුරාවටම මිනිසා අරගල කර ඇත්තේ ආහාර, නිවාස සහ ඇඳුම් පැලඳුම් වෙනුවෙන් යැයි සඳහන් කිරීම අතිශෝක්තියක් නොවේ. මානවයාගේ විකාශනය සිදුවීමත් සමඟ ඔහුට ජීවිතය පවත්වා ගෙන යෑමට අවශ්‍ය දෑ සෙවීම සහ ඒ වෙනුවෙන් මහන්සි වීම ආදී කරුණු මුල් කරගනිමින් ශිෂ්ටාචාර බිහිවී තිබේ. ලාංකේය ජන සමාජය වූ කලී අතීත සහ වර්තමාන සමාජ සංස්කෘතීන් හි සංකලන මත පදනම් වූවක් යැයි සඳහන් කළ හැකිය. මුලිකව සිය ආහාර රටා හඳුනාගනිමින් නිරෝගීව ජිවත්වීමට ඔවුහු කටයුතු කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස නොයෙකුත් ඇදහිලි ක්‍රම මෙන්ම විවිධ ආහාර වර්ග ඔවුන්ගේ ජීවන රටාවේ කොටසක් බවට පත්විය.

 

අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් ගැමි ජිවිතයේ අපූර්වත්වය මොනවට කියා පාන දසුන් අදටත් ඈත ගම්මාන වල ශේෂව පවතියි. මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල මැතිවරණ කොට්ඨාසය වනාහි ඉහතකී මානව ගුණාංගයන්ගෙන් පිරි මිනිසුන් වෙසෙන ප්‍රදේශයකි. වස විසෙන් තොර ආහාර රටාවකට උරුමකම් කියන ලග්ගල ගැමියා තුළින් විද්‍යාමාන වන ආහාර රටා සොයා අපි ලග්ගල ගැමියන් සොයා ගියෙමු.

මෙහි ලියැවෙන්නේ ලග්ගලට ආවේණික එහෙත් සෑම නිවසකට ඉතා පහසුවෙන් සකසා ගත හැකි පෝෂදායි ආහාර වට්ටෝරු කිහිපයක් සකසා ගන්නා ආකාරයයි. වසර පන්දහසකට වැඩි කල්පිත ඉතිහාසයකට නෑකම් කියන මේ ලග්ගල ගැමියන්ගේ ජීවන රටාව පිළිබදව බොහෝ දේ සටහන් කළ හැකිය. සිංහල අලුත් අවුරුදු සමයේ දි ඔවුන් සකසා ගන්නා ආහාර අතර ප්‍රධාන තැනක් කුරක්කන් වලට ලබාදී තිබේ.

කුරක්කන් වගාවට මුලික බිමි සැකසීමේ සිට අස්වනු නෙළීම දක්වා අපූරු කවිත්වයකින් හැඩ ගැන්වෙන් ගැමි ජීවිත බලාපොරොත්තු රැසකින් පිරී යයි. හෙනේ කිරිවදින කුරක්කන් පැසෙන තෙන් රැක ගැනීම පිරිමින්ගේ වගකීමය. ඇතැම් විට පවුලේ බිරින්දෑ ඇතුළු ළමා ළපටින් පවා රාත්‍රියේ හේනේ ගතකර වන සතුන්ගෙන් කුරක්කන් වගාව ආරක්ෂා කර ගැනීමට බොහෝ හේන් ගොවිහු උත්සුක වෙති. කපන ලද කුරක්කන් වේළා, කොටා ලබාගන්නා ඇට වලින් ගලින් අඹරා සකසා ගන්නා කුරක්කන් පිටි ආශ්‍රයෙන් ඔවුහු බොහෝ ආහාර වර්ග සකසා ගනිති.

හැලප,තලප,ඉදිආප්ප,පිට්ටු මෙන්ම රෝටි ඒ අතර ප්‍රධාන තැනක් ගනියි.

අද අපි ඔබට කියා දෙන්නට සැකසෙන්නේ කුරක්කන් වලින් තලප සකසා ගන්නා ආකාරය සහ තලප ආහාරයට ගැනීම සඳහා ලග්ගල ගැමියන් විසින් සාදන ‘හත්මාළුව‘ සාදාගන්නා ආකාරයයි.

 

මුලින්ම කුරක්කන් තලප සාදා ගන්නා අයුරු විමසා බලමු.

අවශ්‍ය ද්‍රව්‍ය

01 කුරක්කන් පිටි ග්‍රෑම් 250 ක්.

02 අවශ්‍ය ප්‍රමාණයට ලුණු සහ උණු ජලය.

 

 

සාදාගන්නා ආකාරය.

මුට්ටියක් ලිප තබා හොදින් නටන උණුවතුර වලට කුරක්කන් පිටි මුටිටිය ලිප මත තිබිය දා දමා හොඳින් කලවම් කර ගත යුතුය. නොනවත්වා කැටි නොගැසෙන ලෙස හැදිගෑ පසු සාමාන්‍ය ඝන කුරහන් තලප සැකසෙයි.

එම අවස්ථාවේ දී අවශ්‍ය ප්‍රමාණයට ලුණු එක්කර මඳ ගින්නේ ලිපෙන් මිශ්‍රණය බාගත යුතුය. පැය කාලක් පමණ මිශ්‍රණය නිවෙන්නට තබා. පසුව කුරක්කන් තලප කෑම සඳහා අවශ්‍ය හත් මාළුව සැකසීම ලග්ගල ගැමියන් විසින් සිදුකරනු ලබයි. මීට අමතරව කුරක්කන් තලප කෑම සඳහා ‘ ආනම ‘ නම් වූ තවත් වෑංජනයක් සැකසීම ද ලග්ගල ගැමියන් විසින් සිදුකරනු ලබති.

 

අද අපි ඔබට කියා දෙන්නේ ‘ හත්මාළුව ‘ සකසා ගන්නා ආකාරයයි. ගෙවත්තේ දී හමුවන විවිධ එළවළු වර්ග මේ සඳහා යොදා ගනු ලබයි. බොහෝ අවස්ථාවන් හි බාහිරින් නිවසට රැගෙන එනු ලබන විවිධ එළවළු වල ඉතිරි වන කරලක් දෙකක් මේ සඳහා ගැමියන් බහුල වශයෙන් යොදා ගනිති.

 

ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

ගෙවත්තේ ලබාගන්නා කුඩා මඤ්ඤොක්කා අලයක්. (මේ වෙනුවට රජා අල,ඉන්නල,වැල් අල හෝ අර්ථාපල් ද යොදා ගැනෙයි.) වම්බෝටු කරල් දෙකක් පමණ, මෑ කරල් කිහිපයක්, තිබ්බොටු ගෙඩි කිහිපයක් (අවශ්‍ය ප්‍රමාණයට), තක්කාලි ගෙඩි දෙකක් පමණ, කළු කම්බේරිය කොළ මිටක් පමණ ( මෙය පලා වර්ගයකි. ලග්ගල ප්‍රදේශයේ බහුලව දැකිය හැකිය.) රතු තම්පලා කොළ කිහිපයක් සහ ගැට කරවිල ගෙඩි කිහිපයක්( ඇතැම් ප්‍රදේශ වල වෙනත් නම් වලින් ද මෙම කරවිල විශේෂය හදුන්වනු ලබයි. කුඩා ගෙඩි වශයෙන් හේන් වල බහුලව වැවෙයි.) ලුණු, ලූනු, මිරිස් කුඩු, කහ කුඩු,තුනපහ කුඩු අවශ්‍ය පරිදි.

 

සාදාගන්නා ආකාරය.

පළමුව ගෙවත්තෙන් ලබාගත් අල වර්ගය සුද්ද කර කුඩා කැබලි වලට කපා තැම්බීම සඳහා කලින් ලිප තැබිය යුතුය. පසුව වම්බොටු, මෑකරල්, කළුකම්බේරිය කොළ සහ රතු තම්පලා වර්ග අල වර්ගය තැම්බුණු පසු එක්කර ගත යුතුය එළවළු වර්ග හොඳින් තැම්බු පසු ඉතිරිව ඇති තක්කාලි, මිරිස්, කරපිංචා වැනි ද්‍රව්‍ය කුඩා කැබලි වලට කපා වෙනත් භාජනයක් ගෙන ලිප තබා තෙල් ස්වල්පයක් දමා රත් කර ගත යුතුය.

පසුව එයට කපන ලද තක්කාලි, මිරිස්, කරපිංචා තෙලට දමා මඳ වේලාවකින් පසු කලින් තම්බා ගත් අල වර්ගය ඇතුළු සෙසු ද්‍රව්‍ය තෙම්පරාදු කළ යුතුය. අබ සහ සුදුලූනු ද එක් කර ගැනීමෙන් රසය තවත් වැඩිකර ගත හැකිය.

මඳ වේලාවක් මිශ්‍රණය ලිප මත තබා පසුව ඉවත් කර කලින් සැකසූ කුරක්කන් තලප අවශ්‍ය නම් ගුළි කර හෝ කෑලි වශයෙන් කපා හත් මාළුව සමඟ ආහාරයට ගත හැකිය.

ලග්ගල ගැමියාගේ ජිවන රටාවේ දී දක්නට ලැබෙන සම්පත් කළමනාකරණය, සකසුරුවම ආදී කරුණු සඳහා ඉහත කී ආහාර වට්ටෝරු කදිම උදාහරණ සපයනු ලබයි. කිසිවක් නිකරුණේ ඉවත නොදමා භාවිතයට ගැනීම ඒ අතර ප්‍රධාන තැනක් ගනියි. සරල මෙන්ම විවිධාංගීකරණය නොවූ ලග්ගල ගැමියාගේ වන්දනාමානයට පත්වී ඇත්තේ බණ්ඩාර දෙවියන්ය. බණ්ඩාර දෙවියන් යනු රාවණා යැයි ඔවුහු කියා සිටිති. ඔවුන් සිය අස්වැන්නේ මුල් කොටස බණ්ඩාර දෙවියන්ට පිදීම සිදු කරන්නේ මහත් භක්තියෙනි.

ගමේ පොදු ස්ථානයක දී වගාවල මුල් අස්වැන්න රැගෙනවිත් වංගෙඩි වලින් කොටා අවශ්‍ය පරිදි ආහාර සකසා දෙවියන් උදෙසා පිදීම ලග්ගල ගැමියා හඳුන්වනු ලබන්නේ අඩුක්කු පිදීම යනුවෙනි. වර්ග සැතපුම් විසි එක් දහසක් පුරා පැතිර ඇති නකල්ස් රක්ෂිත වනාන්තරයට මායිම් ව පවතින ලග්ගල ගම්මාන වල මෙන්ම අර්ධ ජනාකීර්ණ වී ඇති නාඋල සහ ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසශ වලද ඉහත කී චාරිත්‍ර වීදි ක්‍රියාත්මක වෙයි.

බුලත් දීලයි ගෙන් ගෙට කියන්නේ

හේනේ මගේ කුරහන් පැහි කර වෙන්නේ

නෑනෝ මමත් අත්තන් කර ගෙන යන්නේ

නෑනෝ මමත් ඇවිත් කුරහන් කපන්නේ...

 

රොටි රෝටි හැමදාටම උයන රොටී

මැටී සේම ගුලි කර කර වඩන රොටී

තැටී සේම ලිප වටකර තියන රොටී

රොටි නිසා කයි දවසක මගෙන් ගුටී...

 

කුරක්කන් ආශ්‍රිතව කියැවෙන බොහෝ කවි ලග්ගල ගැමියා සතුව පවතියි. විශේෂයෙන් කතුවරයකු නැති එහෙත් එළිසමය රැකුණු මේ කවි ලග්ගල ගැමියාගේ මුවින් නිතර පිටවීම හේතුවෙන් ඔවුහු කවිත්වයේ උපන් හපන්කම් දක්වන්නෝ වෙති.

බොහෝ ආයුෂ විඳිමින් නිදුක් නිරෝගීව තවමත් සැතපුම් ගණනාවක් උස් කඳු මුඳුනවල පවා පහසුවෙන් ගමන් කරමින් ජිවන අරගලය සමඟ පොර බදිනා ලග්ගල ගැමියා නිරෝගීව සිටින්නේ ඔවුන්ටම ආවේණික ආහාර රටාවකට හුරුවීම නිසා යැයි සඳහන් කළ යුතුය.

අලුත් අවුරුදු සමයේ වස විසෙන් තොරව සිය නිවසේ දී කාටත් රස විඳිය හැකි කුරහන් තලප සහ හත්මාළුව සාදා නිරෝගී ජිවන රටාවකට හුරුවන්න.

ලග්ගල කුර­හන් තලප සක­සන නාඋල නන්දා සම­ර­තුංග  සහ ලග්ගල හත්මා­ළුව සක­සන ප්‍රවීණ කවි­යෙකු වන අඹන වයි.එම්.එස්. බණ්ඩාර

Comments