හෙළ සිනමාවේ ප්‍රපාතවත් රංග පෞරුෂය-ගාමිණි | සිළුමිණ

හෙළ සිනමාවේ ප්‍රපාතවත් රංග පෞරුෂය-ගාමිණි

ද 2021 වසරේ මාර්තු 21 වෙනිදාය. හරියටම මීට වසර 85කට එපිට සෙම්බුගේ ගාමිණී ෂෙල්ටන් ෆොන්සේකා දෙහිවල දී උපත ලැබීය.

1960 වසරේ දහතුන් හැවිරිදි වියේ පසු වූ මා “සංදේශය“ චිත්‍රපටය නැරඹීමෙන් පසු එහි තම්මිටගේ චරිතය රඟ පෑ ගාමිණීගේ රඟපෑම මගේ සිතට ලැසි ගමනින් පැමිණ ලැගුම් ගත්තේය. ‘රන් මුතු දූව‘ චිත්‍රපටයේ ජවසම්පන්න තරුණයා අපට එදා වීරයෙක් විය. “ගම්පෙරළීය“ චිත්‍රපටයෙන් අපට ජිනදාස ස්වභාවික රංගවේදයේ අත්පොත කියා දුන්නේය. ජීවිතය පිළිබඳ සත්‍ය විවරණයක සියුම් චරිත නිරූපණයකත්, අත්භූත ත්‍රාස ජනක චිත්‍රපටයක හැඩි දැඩි රඟපෑමකත් අතර ඇති වෙනස ගාමිණී අපට කියා දුන්නේ ගම්පෙරළියෙනි.

මා මුලින්ම ගාමිණී දැක ගත් දිනය වූ 1964 ජනවාරි 12 වැනිදා කොළඹ රාජකීය විද්‍යාලයීය ශාලාවේදී පැවති එක්සත් ලංකා රසික සංගමයේ ප්‍රථම සම්මාන උලෙළ දිනදීය. එහිදී ගාමිණී 1963 වසරේ හොඳම නළුවා ලෙස සම්මානය දිනා ගත්තේ “ගම්පෙරළිය“ චිත්‍රපටයේ ජිනදාසගේ චරිතය වෙනුවෙනි. ගාමිණී මුල්වරට ලැබූ සම්මානය මෙය විය.

1969 ලේක් හවුසියේ “සරසවිය පුවත්පතට සම්බන්ධ වූ පසු ගාමිණී හමු වී විශේෂාංගයක් ලිවීමට මට සිත් විය. අපේ ප්‍රධාන උප කතුවරයා වූ ලක්ෂ්මන් වික්‍රමසිංහට මගේ සිතැඟි ප්‍රකාශ කළේය. ඒ වන විට ගාමිණී ගැන වැඩිම විශේෂාංග සරසවියට ලියා තිබුණේ පර්සි ජයමාන්න හා ලක්ෂ්මන් වික්‍රමසිංහය.

“ලකී, මම කැමතියි ගාමිණී ගැන ආටිකල් එකක් ලියන්න“. දිනක් මම ලක්ෂ්මන්ට කීවෙමි.

“බලමු, ගාමිණී ගෙදර හිටියොත්....“ කියාගෙන ඔහු ටෙලිෆෝනය වෙත ගියේය.

“ගාමිණී, අපේ අලුත් ගෝලයෙක් එවන්න හෙට උදේ ගෙදර ඉන්නවද?“

පිළිතුර පැහැදිලිව ඇසුණේ නැත.

“අන්න ගාමිණී හෙට ගෙදර ඉන්නවා. දහයට විතර ගෙදරට එන්න කිව්වා. මතක තියා ගන්න කතා කරන කොට ජෝ අබේවික්‍රම ගැන අහන්න එපා. කාගේදෝ කේලමක් අහලා ගාමිණියි, ජෝයි විරසක වෙලා.“ ලක්ෂ්මන් මට උපදෙස් දුන්නේය.

දොර විවෘත කළේ ගාමිණී බිරිය සුමිත්‍රා ය.

“ගාමිණී ගෙදර නෑ.“ ඇය දොර වැසුවාය.

දැඩි අව්වේම නැවත ගාලු පාරට ගොස් කඩයකින් තේ එකක් බී නැවත ගාමිණීගේ ගෙදර ගියෙමි. දොරට තට්ටු කළෙමි. දොර ඇරියේ සුමිත්‍රා ය. ඇයට පෙර මම කතා කළෙමි.

“මම ආවේ සරසවිය පත්‍රයෙන්....“

“ඇයි, මුලින්ම කිව්වේ නැත්තේ? ගාමිණී ඊයේ ෂූටිං කරලා පාන්දර ගෙදර ආවේ. මම හිතුවා ඔයාව දැක්කම ඉස්කෝලේ යන ළමයෙක් කියලා. මොකද ඉස්කෝලෙ ළමයි සමරු පොත් අරං එනවා. එන්න ඇතුළට.“

ආලින්දයේ හිඳගෙන සිටින මට විසිල් හඬක් ඇසේ. ඒ ගාමිණීගේය. තවත් වරෙක පියානෝවේ තත් වලට තට්ටු කරනු ඇසුණි. ඒත් ගාමිණිගේය. අහම්බෙන් මෙන් ගාමිණී ආලින්දයට ආවේය.

“මම සරසවිය පත්‍රයෙන්...“

ඔහු සිනාවක් පෑවේය. මම ප්‍රශ්න කිහිපයක් ඇසුවෙමි. ඔහු උත්තර දෙන්නේ කෙටි පිළිතුරකිනි. මට දැනුණෙ ඔහු මා තුට්ටුවකටවත් නොසලකන බවය. ඔහු දෙන පිළිතුරු වලින් සරසවිය පත්‍රයේ මැද පිටු දෙක පිරවිය හැකිද? මගේ ඉවසීමේ ශක්තිය ද, සීමාව ද ඉක්ම ගොසිනි. ඔහු කුපිත කොට හෝ පිළිතුරු ගත යුතුය. මම මෙසේ ඇසුවෙමි.

“ඔබ මේ දිනවල රඟපාන ‘වැලිකතර‘ චිත්‍රපටයේ ඔබ සමඟ ප්‍රතිවාදි චරිතය ගෝරිං මුදලාලි ලෙස රඟපාන ජෝ අබේවික්‍රම ගේ රඟපෑම ගැන හිතන්නේ කොහොමද?

ගාමිණී ප්‍රශ්නය අසා සිට අලුත් සිගරැට්ටුවක් දල්වා ගෙන හරි බරි ගැසී හම් සමකින් කළ බොකුටු පුටුවේ හාන්සි විය.

“වැලිකතර චිත්‍රපටයේ මම රඟපාන වික්‍රම රන්දෙනියගේ චරිතය මතු වන්නේ ගෝරිංගේ චරිතය නිසා. ජෝ මේ චරිතය විශිෂ්ට ලෙස රඟපානවා. මම ජෝ ගේ හොඳම රඟපෑම දැක්කේ වැලිකතරෙන්.“

මගේ යටි සිත සිනාසෙයි. මම තව ප්‍රශ්න කිහිපයක් ඇසුවෙමි. මම ආටිකල් එක ලියා ලක්ෂ්මන්ට භාර කළෙමි. ලක්ෂ්මන් සිනාසෙමින් ලිපිය සකසා ප්‍රධාන කර්තෘ විමලසිරි පෙරේරාගේ කාමරයට ගියේය. ලිපිය කියවූ කර්තෘවරයා මා ඔහුගේ කාමරයට කැඳවිය.

“ගාමිණී ජෝ ගැන කිව්ව ඒවා ඇත්ත නේ?“

“ඔව්“

ලක්ෂ්මන් මා තම අසුනට කැඳවා මෙසේ කීය.

“ආටිකල් එක නම් මරු අපි මැද පිටු දෙකට ගම්මු. ඔයා ගාව පින්තූරත් ඇති නේ.

“ජෝ ගේ විශිෂ්ටම රඟපෑම මා දුටුවේ වැලිකතරෙන්“ යයි හෙඩිමය.

පත්තරේ මුද්‍රණය කොට මුල් පිටපත කර්තෘ ආවේය. ඔහු මට කතා කළේය.

පත්‍රය පසුදා වෙළෙඳපොළට නිකුත් විය. එකල ‘සරසවිය‘ පත්‍රය එක් ලක්ෂ පහළොස්දාහක් අලෙවි විය. මගේ මේසයට වී නොසන්සුන් මනසින් යුතුව ලිපියක් ලියමින් කර්තෘට එන ටෙලිෆෝන් කෝල් ගැන විමසිලිමත් වීමි. ඇතැම් විට තිගැස්සුණෙමි.

“රන්ජිත්ට කෝල් එකක්....“ කර්තෘ සිනාසෙමින් කීවේය.

“මම ගාමිණී, අර ආටිකල් එක හොඳා. මට ෆෝන් කරල වේලාවක ගෙදර එන්න.“

“හොඳයි“

ගාමිණී හා මා අතර ඇතිවූ සම්බන්ධය මිතුරුකම ඔහු මිය යන තෙක්ම පැවතීමට ඒ ලිපිය අඩිතාලම විය.

දින කිහිපයකට පසු මයික් විල්සන් හමුවීමට ගිය මට ජෝ අබේවික්‍රම මුණගැසිණි. ඔහු මා පසෙකට කැඳවීය.

“හැබෑවට මල්ලියෝ, මහා එකා (ගාමිණී) මා ගැන අරම කිව්වද?“

“නැතිව, නොකිව්වනං මං ලියනවැයැ. ජෝ අයියා ගැන එයා තරහක් නෑ. හොඳමයි කිව්වේ.“

‘වැලිකතර‘ චිත්‍රපටයේ අධ්‍යක්ෂ ඩී. බී. නිහාල්සිංහට එදාට කල්‍යාණ මිතුරන්ව සිටි ගාමිණී හා ජෝ අතර වූ විරසක පාලනය කර ගැනීම ලොකු අභියෝගයක් විය. ඔවුන්ගේ රඟපෑම ද තරගකාරී වී තිබුණි. ඇත්තටම ගාමිණී හා ජෝ දරුණු ලෙස ගැටීම නිසා මේ දෙදෙනා සමබර කිරීමට හැමවිටම නිහාල්සිංහ උත්සාහ කළ අතර එදා දර්ශන තලයේ රූපගත කිරීම් ආවරණය කිරීමට ගිය අප බලා සිටියේ ද තරමක භීතියකිනි.

දිනක් දර්ශනයක් රූගත කරන වෙලාවේ නිහාල්සිංහට දවල් තරු පෙනුණේය. වැලිකතර චිත්‍රපටයේ ඇතැම් දර්ශනවල පිස්තෝල හා තුවක්කු පාවිච්චි කිරීමට තිබූ නිසා ඒ ගැන නිහාල්සිංහ දැඩි විමසිල්ලකින් සිටියේ කොළඹ ආනන්දයේ ඉගෙන ගන්නා කාලේ විද්‍යාලයීය කැඩෙට් කණ්ඩායමේ සාජන් මේජර් ධුරය දැරූ නිසාය. උණ්ඩ නැති, ක්‍රියාවිරහිත ගිනි අවි තමා විසින්ම පරීක්ෂා කරන විට දෙයියනේ? ඒවායේ උණ්ඩ තිබුණි. නිහාල්සිංහ ඒවා එකින් එක පරික්ෂා නොකළා නම් අද මොන වෙනසක් සිදුවේද? පසුව අපට කීය.

නිහාල්සිංහ හා ගාමිණී ඔට්ටුවක් ඇල්ලූහ. ඒ කාලයේ (හැත්තෑව දශකයේ මුල) “වැලිකතර“ චිත්‍රපටයට ඒ තරම් ලාභයක් ලැබෙන්නේ නෑ මචං“ නිහාල්සිංහ ගාමිණීට නිකමට කීවේය.

“මචං මම ඔට්ටුවක් අල්ලනවා. වැලිකතර ලක්ෂ 8ක් ඉක්මා ආදායම ලබනවා.“ ගාමිණී කීය.

“මොකක්ද? ඔට්ටුව?“ නිහාල්සිංහ ඇසීය.

“රු. ලක්ෂ අටක් ඉක්මවා ලබන ආදායමින් හැම ලක්ෂයකටම බීර බෝතල් 144ක් ඕනෑ.“

ඔට්ටුවෙන් ගාමිණී ජය ගත්තේය. චිත්‍රපටය ලක්ෂ 11ක් උපයා ඇත. ගාමිණී පසුව ඔට්ටුව අවලංගු කළේය.

කල් ගත වන විට ගාමිණී හා ජෝ සමගි කොට, දෙදෙනා එකට සිටින ඡායාරූපයක් දෙදෙනා ගැනම මැද පිටු දෙකක් ලිවීම එදා ඔවුන් හතුරන් කළ අයට හැර සිනමා ක්ෂේත්‍රයේ හැමටම සුභ ආරංචියක් විය. මට මේ සඳහා උදවු කළේ ධර්මසිරි ගමගේ සොහොයුරාය. මිත්‍ර වීමෙන් පසු මේ දෙදෙනා යළි එකට රඟපෑවේ “පූජා“ චිත්‍රපටයේය.

ගාමිණී දක්ෂ නළුවෙක් වගේම දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් මෙන්ම ගීත රචකයකු, කවියකු හා චිත්‍ර ශිල්පියකු ලෙස ප්‍රතිභාව ප්‍රකට කර තිබුණි. ඔහු අධ්‍යක්ෂණය කළ “සාගරයක් මැද“ තරම් ආන්දෝලනාත්මක චිත්‍රපටයක් නැති තරම්ය. ගාමිණී මේ චිත්‍රපටයේ විශේෂඥ වෛද්‍යවරයකු වූ මොල දණ්ඩගේ චරිතය ද, රටේ අධිකරණ ඇමති වූ ප්‍රෙඩ්රික් රාමනායක ලෙස ද රඟපෑවේය. මේ චිත්‍රපටයේ නිරූපණය වන අධිකරණ ඇමතිරවයාගේ චරිතයෙන් තම දේශපාලන ජීවිතයට හානියක් හා අපහාස කළේ යයි හිටපු අධිකරණ ඇමති ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා තිරගත වන චිත්‍රපටයේ ප්‍රදර්ශනයට තහනම් නියෝගයක් ද, රු. ලක්ෂ 50ක වන්දියක් ද ඉල්ලා නඩුවක් පැවරීය.

බණ්ඩාරනායක මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ එච්.එල්. ද සිල්වා ද “සාගරයක් මැද“ චිත්‍රපටයේ නිෂ්පාදක ආනන්ද අබේනායක වෙනුවෙන් නීතිඥ කේ.එන්. චොක්සි ද පෙනී සිටිහ. මේ සිද්ධිය එකල “ඩේලි නිවුස්“ පත්‍රයේ පළකර තිබුණේ

For exhibiting sagarayak Meda

Rs. 5 Milion damages claim by Feliex B

උසාවිය විසින් චිත්‍රපටය ප්‍රදර්ශනය තහනම් කොට පසුව තහනම නිෂ්ප්‍රභා කරන ලදි.

ගාමිණී කලකට පෙර අසනීපව කොළඹ මැකාති පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින විට මම කිහිපවරක් එහි ගියෙමි. සරත් රූපසිංහ, මානෙල් රූපසිංහ, බන්සෝ ජයා, ධර්මසිරි ගමගේ, ජිනදාස නිශ්ශංක නිතර එහි ආව ගිය නිත්‍ය සාමාජිකයන් වූහ. මා ලේක්හවුස් එකේ පඩිපෙළ නගිද්දී ඩේලිනිවුස් පත්‍රයේ මාධ්‍යවේදි සරත් මලලසේකර (ලේක්හවුස් හී වාණිජ මුද්‍රණාලයේ සේවය කරන සමන් මලලසේකරගේ පියා. සරත් වසර දෙකකට පෙරදී මිය ගියේය.) මා පසුපස ලුහුබැඳගෙන ආවේය.

“මචං උඹ ගාමිණී බලන්න මැකාති එකට යනවද? මට ආරංචියක් ලැබුණා ෆීලික්ස් ඩයසුත් මැකාති එකේ ඉන්නව කියලා. අපිට ඒ දෙන්නා කතා කරන පින්තූරයක් ගත්තොත් C. D. N එකේ මුල් පිටුවට ගන්න පුළුවන්. මේක කරන්න පුළුවන් උඹට විතරයි.

“උඹ මාව මුරුංග අත්තේ තියන්න එපා. ගාමිණීගේ හැටි උඹ දන්නවනේ...“

“පුළුවන් දෙයක් කරන්න බලපං. හරි ගියොත් මට ෆෝන් කරපන්.“

මම ගාමිණී බැලීමට ගියෙමි.

“ගාමිණී අයියා, ෆිලික්ස් ඩයස් මහත්තයත් මෙහේ ඉන්නව කියලා නිවුස් එකක් ආවා.“

“උඹ බලන්නේ මාවයි ජෝවයි තියලා පින්තූර ගත්තා වගේ අපි දෙන්නගෙත් පින්තූරයක් ගන්නද?“ ගාමිණී සිනාසෙමින් කීවේය.

මේ අතර වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ගාමිණී ස්කෑන් කාමරයට ගෙන යන අතර ෆිලික්ස් ඩයස් මුහුණට මුහුණ හමු වූහ. ගාමිණි ෆිලික්ස්ට අත දී පිළිගත්තේය.

“ගාමිණී නඩුවෙන් දිනුවනේ. ඒ සල්ලිවලින් මහ රෝහලට M. R. I. යන්ත්‍රයක් ගන්න උදවු කරන්න.“ ෆිලික්ස් කීවේ සිනාසෙමිනි.

“සත්තකින්ම මම උදවු කරන්නම්. ධර්මේ මේ ගැන ටිකක් බලන්න.“ ගාමිණී අසල සිටි ධර්මසිරි ගමගේට කීවේය.

ගාමිණීගේ හැටි ය. ඔහු දකුණු අතින් කළ දේ වම් අත නොදනී. තම මිතුරෙකුට අමාරුවක් වූ විට ඔහු පිහිට වූයේය. සමීපතම චිත්‍රපට නළු නෙල්සන් කරුණාගම පිළිකා රෝගයෙන් පීඩා විඳින විට ඔහු උදවු කළ අයුරු අපි දුටුවෙමු. ජා-ඇල තම නිවසේ එළිමහනේ තිබෙන සමන් පිච්ච මල් පැමිණෙන අයට දී තමාගෙන් වෙන්වී ගිය මිතුරන්ට පින් පෙත් දෙන්නේ නිහඬ රාත්‍රියේ අහස දෙස බලා කඳුළක් නෙතේ දරාගෙනය. හිත මිතුරු ඥාතියකු වූ ලක්ෂ්මන් ලොකුමාන වෙනුවෙන් වැඩියෙන්ම ශෝක විය.

සිංහල සිනමාවේ ප්‍රථම සුපිරි චිත්‍රපට නළුවා ඔහු ය. චිත්‍රපටය අබිබවා නැගී සිටි ප්‍රථම නළුවා ද ඔහු ය. හැට, හැත්තෑව දශකවල ජන ආකර්ෂණයක් ලැබූ එකම නළුවා ද ගාමිණීය. ඔහු වටා රසිකයෝ රොද බැඳ ගත්හ.

මුල්ම සරසවිය චිත්‍රපට උලෙළ වෙනුවෙන් පළ කළ ප්‍රථම සමරු කලාපයේ ගාමිණීගේ ජනප්‍රියත්වය ගැන මාධ්‍යවේදී එල්මෝ ගුණරත්න මෙසේ අසා තිබුණි.

“ඔබේ ජනප්‍රියත්වයේ රහස කුමක්ද?“

“ඒක සිනමාලෝලයන්ගෙන් අහන්න“ යයි ගාමිණීගේ කෙටි පිළිතුර විය.

මීට වසර 17කට පෙර 2004 සැප්තැම්බර් 30 වෙනිදා ගාමිණී ජීවිත සිනමාවෙන් සමු ගත්තේ වයස අවුරුදු 68 පසු කරමින් සිටියදීය. අදත් සිනමා රසිකයෝ ගාමිණී ආදරයෙන් මතක් කරති.

Comments