මාරක පිම්මක් පැන අත­පය කඩා ගත් නළුවා රෙක්ස් කොඩි­ප්පිලි | සිළුමිණ

මාරක පිම්මක් පැන අත­පය කඩා ගත් නළුවා රෙක්ස් කොඩි­ප්පිලි

 

 

බදුලු ඔය අසල කඳුකර ප්‍රදේශයක උපන් ඔහු සිය සමීපතම මිතුරාත්, තම නිවසට යාබද විසූ හෙදියකගේ දියණියත් සමඟ ‘ටාසන්‘ චිත්‍රපට දර්ශන අනුකරණය කරමින් වැල්වල එල්ලී ඔයට පැන්නහ. ඔවුන් තිදෙනා මෙසේ රඟ පෑවේ මීට වසර 70කට පමණ පෙරය. බදුල්ලේ කූඩාරම් සිනමාහල්වල තිරගත වූ ‘ටාසන්‘ චිත්‍රපටවල රඟ පෑ ජොනී වෙස්මුලර්ගේ (Johnny Welssmuller) චරිතය රඟපෑවේ රෙක්ස් ය. (ටාසන්ගේ සහකාරිය Maureen ලෙස සහය වූයේ දැරියකි.) මේ ආස්වාදනීය ක්‍රීඩාවෙන් බදුල්ලේ පුංචි ටාසන් වූ රෙක්ස් වැලක එල්ලී යන අතරතුර වැල කැඩී බිමට වැටී බෝතල් කටු ගොඩකට වැටී තුවාලවී අතපය තුවාල කර ගත්තේය. ඔහුගේ (ටාසන්ගේ) සහකාරිය වූ පුංචි කෙල්ල තම මව එනම් බදුලු රෝහලේ හෙදිය රෙක්ස්ට බෙහෙත් දමා ගෙදරට යැව්වාය. එතැනින් ‘ටාසන්‘ කතාව කෙළවර විය.

එදා බදුලු ‘ටාසන්‘ කතාවේ තව නළුවෙකු වූයේ රෙක්ස්ගේ ගජ මිතුරා තිමති වීරරත්නය. පසුව දක්ෂ චිත්‍රපට කැමරා ශිල්පියෙකු වූ ඔහු “සංගීතා“, “මේ දෑස් කුමටකද“ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයා විය.

රෙක්ස් ජෝසෆ් කොඩිප්පිලි 1938 ඔක්තෝබර් 6 වැනිදා බදුල්ලේ උපත ලබා, බදුල්ලේ ශාන්ත බිට්ස්, ගුරුතලාවේ ශාන්ත තෝමස් විද්‍යාල වලින් අධ්‍යාපනය ලබා බදුල්ල ශ්‍රී සිද්ධාර්ථ විද්‍යාලයෙන් අධ්‍යාපනය නිම කළේය. ගීත ගායනයට දක්ෂයෙකු වූ ඔහු බදුල්ල ප්‍රදේශයේ වඩාත් ප්‍රකටව සිටිය“බදුල්ලේ මොහිදීන් බෙග්“ නමිනි. එකදාස් නවසිය පනස් ගණන්වල අග ගුවන් විදුලියේ වෙළඳ සේවයේ “ආධුනික පැය“ වැඩසටහනේ අවසාන මහා තරගයෙන් දෙවැනි තැන දිනා ගත්තේ බෙග්ගේම ජනප්‍රිය ගීයක් ගැයූ බදුල්ලේ මොහිදීන්බෙග් නොහොත් රෙක්ස් කොඩිප්පිලිය. එදා මුල් තැන දිනුවේ කොටහේනේ නන්දා මාලිනී පෙරේරා (අද සංගීත විශාරද ආචාර්ය නන්දා මාලිනි) ය. ලක්ෂ්මන් රුද්‍රිගු තෙවැනි ස්ථානය දිනූ මේ තරගය එදා මෙහෙය වූයේ කරුණාරත්න අබේසේකර සහ ගුණතුංග කේ. ලියනගේ විසිනි. ඉන්පසු රෙක්ස් “නැවුම් මිහිරේ“ ආධුනික ගී වැඩසටහනේ ගී ගයා ඇත.

පාසල් අධ්‍යාපනය හමාර කළ රෙක්ස් යුද්ධ හමුදාවට බැඳී හමුදා පොලීසියේ සේවය කර ඉන් ඉවත්ව සලාකා ව්‍යාපාර කළමනාකරුවෙක් ලෙස සේවයට එක්වී ඇත.

“මම සිනමාවට එක් වුණේ අහම්බෙන්. මගේ මුල්ම චිත්‍රපටය තිරගත වුණේ හරියටම මීට වසර පණහකට එපිට 1971 දී. 1971 වසරේ දවසක චිත්‍රපට නළු මගේ මිත්‍ර ඔස්වල්ඩ් ජයසිංහ, චිත්‍රපට අධ්‍යක්ෂ කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා සමඟ මාව හොයාගෙන සලාකා අවන්හල වෙත ආවා.

“මෙන්න මම කිව්ව මිනිහා. මගේ හොඳම යාළුවෙක්. බිහිසුණු වැඩ, අවදානම් වැඩ කරන්න හරිම සූරයා“ මාව තිගැස්වමින් ඔස්වල්ඩ් කීවා.

“රෙක්ස් මේ මිස්ටර් පෙරේරා ෆිල්ම් ඩිරැක්ටර් කෙනෙක්“

“ඔව් මම අහල තියෙනවා මිස්ටර් කේ. ඒ. ඩබ්ලිව්. කවුද නොදන්නේ“

“හරියට හරි“ ඔස්වල්ඩ් කිව්වා.

රෙක්ස් අපේ “කතුරු මුහත්“ චිත්‍රපටයේ වැඩ භාගයක්ම ඉවරයි. ඔස්වල්ඩ්, රෙක්ස්ව රෙකමන්ඩ් කරන කොට චිත්‍රපටයේ තිබුණේ වලිගය විතරයි. ඒත්... පික්පොකට් ගහන අපූරු සුළු චරිතයක් තියෙනවා. ඒක මම ඩිවොලප් කරන්නම්. කැමතිද? ඔයාට තියෙන්නේ නීලා ලියනගෙදර කියන අලුත් නිළියගේ හෑන්ඩ් බෑග් එක අරන් දුවන්න.“

“මම කැමතියි මිස්ටර් පෙරේරා.“

රෙක්ස්ගේ කුසලතා දුටු සහාය අධ්‍යකෂ කුමාරදාස වාගීස්වගේ ඉල්ලීම නිසා අධ්‍යක්ෂවරයා පික්පොකට් චරිතය වෙනුවට අලුත් දුෂ්ට චරිතාංගයක් රඟපෑමට දුන්නේය. අලුත් තරුවක් උපන්නේ ඔය ආකාරයෙනි.

මේ අතරතුර රෙක්ස්ට චිත්‍රපටවල සටන් දර්ශනවල ප්‍රධාන නළුවන් වෙනුවෙන් ක්‍රියාදාම දර්ශන සඳහා “ඩබල්“ චරිත ද කිරීමට අවස්ථාව ලැබුණි. “හතර දෙනාම සූරයෝ“ චිත්‍රපටයේ එක සූරයකු ලෙස රඟ පෑ සේනාධීර රූපසිංහ පිටුපස පොලීසිය දුහුබඳින දර්ශනය කොටහේනේ ශන්ත ලුසියා දේවස්ථානය අසල රූගත විය. සේනාධීර වේගයෙන් දුවගෙන එන විට නවතා තිබූ මෝටර් බයිසිකලක් දැක එය පදවාගෙන යාටම යතුර තිබේදැයි බලයි. ඔහුගේ වාසනාවට යතුරත් හෙල්මට් එකක් ද විය. අවට බලනවිට බයිසිකලේ අයිතිකරු තැඹිලි ගෙඩියක් බොමින් සිටියේය. සේනාධීර මෝටර් බයිසිකලයේ නැගී දේවස්ථානයෙන් මහපාරට වැටෙන පාරට ඇති පඩි පේළි දිගේ වේගයෙන් ගමන් ගත්තේ පවනට බඳු වේගයෙනි. මේ චරිතය සේනාධීර ඇඳ සිටි කමිසය හා කලිසමට සමාන ඇඳුමින් සැරසී, වේගයෙන් මෝටර් බයිසිකලයෙන් වැඩ පෙන්වමින් පදවා ගෙන ගියේ රෙක්ස්ය. රෙක්ස් එවැනි අවදානම්, ක්‍රියාදාම ‘ඩබ්ල්‘ වැඩ කිරීමට ගජ සමතෙකි. කිසිදා අනුන් වෙනුවෙන් ඩබල් කිරීමට අකමැති ඔහුට නීල් රූපසිංහ හා ලෙනින් මොරායස්ට බැහැ කියන්න බැරි විය.

මේ පසුබිම යටතේය කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා තම ඊළඟ චිත්‍රපටය වූ “ලොකුම හිනාව“ ට බෙල්ල කැඩෙන කොන්ත්‍රාත්තුව පැවරුවේ. 1972 වසරය ඒ.

“මම උණ ලී පටවා ගෙන ඉදිරියට එන කරත්තයට උඩින් මෝටර් බයිසිකල් එක වේගයෙන් පදවා ගෙන කරත්තය උඩින් පැන්නුවා. උණ බම්බු දිගේ ගිය මගේ බයිසිකලය ලෙස්සා පාර පැත්තට වීසි වෙනවා මට දැනුණා. මම හැඩලය තද කරලා අල්ලා ගත්තා. මට එච්චර දුර යන්න ලැබුණේ නෑ. මට සිහිය ලැබුණේ පසුදා රෝහලේදී. උණ බම්බු කරත්තය දිගේ ගිහින් මගේ කකුලක් කැඩිලා තිබුණා. මේ මාරක පිම්මෙන් පසු එක කකුලක් කඩාගෙන අවුරුද්දක් විතර එකම තැන හිටියා.“

චිත්‍රපට නළුවෙක් වීමට වඩා රෙක්ස් ගායකයෙක් වෙන්න සිහින මවා ගෙන සිටියේය.

“මම ඉස්කෝලෙ යන කාලේ හොඳ ගායකයෙක් කියලා දැන් ඔබ දන්නවා. මට තව සිද්ධියක් මතක් වුණා. මගේ තාත්තා මිය ගියේ මට වයස අවුරුදු එකහමාරෙදි. මගේ අම්මා ගායිකාවක් නොවුණාට පල්ලියේ ගීතිකා ගැයීම නිසා හොඳින් ගීත ගයන්න පුළුවන්. මට ගායනය හුරු කළේ මගේ අම්මා. පසු කලෙක ඌව පළාතේ ප්‍රථම සංස්කෘතික සංදර්ශනයකදී මම ගාන්ධිතුමා වෙනුවෙන් ගැයූ ගීතයක් මුල්තැන දිනා එවකට පළාත් පාලන ඇමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකයන් අතින් තෑග්ගක් ලබා ගත්තා.“

රෙක්ස් වේදිකා නාට්‍ය කීපයක රඟපා ඇත. එදා ප්‍රකට ගායකයකු හා චිත්‍රපට නළුවකු වූ කිංස්ලි ජයසේකර විසින් රෙක්ස්ව ගුවන් විදුලි නාට්‍යවලට සම්බන්ධ කර ගත්තේය. මුල් යුගයේ ගායිකාවක් හා චිත්‍රපට නිළියක් වූ ශිලා පීරිස් හා ඇගේ සැමියා වූ ඩග්ලස් පෙරේරා සමඟ වේදිකා නාට්‍ය කිහිපයක ඔහු රඟපා ඇත.

රෙක්ස් කොතෙක් පාඩම් ඉගෙන ගත්තත් මාරක පිමි පැනීමේ කෙළවරක් නම් නොවූ බව ඔහුගේ පණස් හැවිරිදි සිනමා ජීවිතයේ මොනවට පැහැදිලිවෙයි. “අපරාධය හා දඬුවම“ චිත්‍රපටයේ දර්ශනයකදී ද ඔස්වල්ඩ් ජයසිංහ සමඟ මාරක සටනක් තිබුණේය.

“මේ දර්ශනය රූපගත කළේ මාලිගාතැන්න කන්දේ ලොකු ගලක් උඩ. ඔස්වල්ඩ්ගේ මට එල්ල කළ වේගවත් පහරකින් බිමට වැටුණා. මට වේගය පාලනය කර ගත නොහැකිව අඩි හාරසීයක් පහළට වැටී ප්‍රපාතයකට වැටෙන්න ගියා. එදා මට දෙයියෝ සිහි වුණා. රූටා යන විට මම ගසක අත්තක එල්ලී සිටියත් අත්ත කැඩී අසල ගල්වළට වැටුණේ එහි තිබූ වීදුරු ගොඩකට. සති තුනක් මම රෝහලක හිටියේ දරුණු තුවාල සමඟ. මේ මොන මාරක පිමිද? මම යුද්ධ හමුදා පොලීසියේ සිටියදී මෝටර් සයිකල් කරනම් ගහලා සූරතා පෙන්නලා කරනම් කණ්ඩායමේ නායකයා වුණේ ජීවිතයත් මරණයත් අතර ලොකු සටනක් කරලා.“

“ඉහත ආත්මය, සුනේත්‍රා, හොඳයි නරකයි, දිනුම් කණුව, සුරේඛා චිත්‍රපටවල මුල් යුගයේ රඟපෑ රෙක්ස් ක්‍රියාදාම රංගනය සමඟම චරිතාංග නළුවකු විය. “ඔන්න බබෝ බිල්ලෝ එනවා“ චිත්‍රපටයේ ඔහු ඉහළට ඉස්සෙන හෙලිකොප්ටරයකට ගොඩ වී අමාරුවෙන් එතුළට විත් ගාමිණී ෆොන්සේකා සමඟ සටන් කරන ජවනිකාව අවදානම් චරිතයකි. අහසේත්, ගොඩබිමේත්, සටන කළ ඔහු “දුප්පතාගේ හිතවතා“ චිත්‍රපටයේ එහි ප්‍රධාන නළුවා වූ බැප්ටිස්ට් ප්‍රනාන්දු පදවාගෙන ගිය මෝටර් රථය පසුපස මෝටර් බයිසිකලයකින් ලුහුබැඳ ගොස් මහ වීර්යක් ගෙන බයිසිකලය අතහැර කාරය තුළට පනින දර්ශනය ද, “කල්‍යානි ගංගා“ චිත්‍රපටයේදී දයානන්ද ජයවර්ධන නම් සටන් නළුවා පසුපස තවත් බෝට්ටුවකින් ලුහුබැඳ එම බෝට්ටුවට පැන කළ සටන් ද ඇඟ කිලිපොලා යන දර්ශනය.

‘සිහසුන‘ චිත්‍රපටයේ කාල් ගේ චරිතය ඔහු රඟපෑවේ බටහිර චිත්‍රපටයක් වූ For a Few Dollars More හි දුෂ්ට නළු Lea Van cleef මෙනි. ‘මුවන්පැලැස්ස‘ චිත්‍රපටයේ ඔහු වන මෘගයෙකු මෙන් රඟ පෑ කදිරාය. ‘රක්තා‘ චිත්‍රපටයේ අයුක්තිය වෙනුවෙන් හෝරාසිං නම් මෘග මිනිහා (මර්වින් ජයතුංග)ට එරෙහිව සටන් වැදීමට තම දියණිය (මාලිනි) පුහුණු කරන ධානු ලෙස රඟපෑවේ තට්ට හිස සහිතවය. ‘සාගරිකා‘ චිත්‍රපටයේ රත්නේ අයියා ලෙස තමා රඟපෑ වෙනස් චරිතය සිනමාවේ මැවීමේ ගෞරවය හිමි වන්නේ අධ්‍යක්ෂ ටයිටස් තොටවත්තට යයි කියාය.

රෙක්ස් චිත්‍රපට කතා රචකයකු හා නිෂ්පාදකයකු ලෙස දොරට වඩින්නේ 1982 තිරගත වූ “බයිසිකලේ“ චිත්‍රපටයෙනි. ඩැනී ඩබ්ලිව්. පතිරණ අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ විජය කුමාරතුංග, ජෙනිටා සමරවීර, රෙක්ස් ප්‍රධාන චරිත රඟපෑහ. 1994 වසරේ තිරගත වූ සුනිල් ආරියරත්න විසින් අධ්‍යක්ෂණය කළ “අහස් මාලිගා“ චිත්‍රපටයේ රෙක්ස්, අමරසිරි කලංසූරිය, ශිරාණි නුගේරා ප්‍රධාන චරිත රඟ පෑ අතර චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වූයේ රෙක්ස්ගේ පුතා වූ ප්‍රසන්න කොඩිප්පිලිය.

“බයිසිකලේ චිත්‍රපටය මම තේමා කොට ගත්තේ එතෙක් චිත්‍රපටයකින් සාකච්ඡා නොකළ බොක්සිං ක්‍රීඩාව ගැන කතාවක්. මෙහි ප්‍රධාන චරිත දෙකම බොක්සිං ක්‍රීඩාවට ළැදි සොහොයුරන් දෙදෙනෙක්. මේ දෙදෙනා බොක්සිං වලට මෙන්ම මෝටර් බයිසිකල් රේස්වලටත් දක්ෂ අය. ඒ චිත්‍රපටයේ විජය හා මම මෝටර් බයිසිකල්වලින් රජ වැඩ කළ නළුවෝ. අපි දන්න සියලු ශිල්ප දැක්වූවා. මම මගේ ක්‍රියාදාම, සටන් දර්ශනවලදී මගේ සහෝදර සටන් නළුවන්ගේ විශිෂ්ට ශූරතා දැක්කා. ඔවුන් ජාත්‍යන්තර මට්ටමේ තැබිය හැකි නළුවන්. එහෙත් ඔවුන් ගැන නිසි තක්සේරුවක් අගය කිරීමක් කරල නෑ. ඔවුන් අනතුරක් කර ගත්තත් රක්ෂණ ක්‍රමයක් නෑ. මට තියෙන ‘සටන් උණ‘ ඔවුන්ටත් තිබුණා. බෙල්ල අතපය කඩාගන්න ඔවුන්ට මගේ සහෝදර නළුවන්ට මගේ ආචාරය පිළිගන්වනවා. රොබින් ප්‍රනාන්දු, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, විල්සන් කරු, මර්වින් ජයතුංග, ටෙඩී විද්‍යාලංකාර, ටිරොන් මයිකල්, සුමිත් මුදන්නායක මට මතක් වන නම්. නමක් නොකියවුණා නම් මට කමත්වා. මට ජීවිතේට අමතක නොවන සටන් දර්ශනය “බයිසිකල් හොරා“ චිත්‍රපටයේ තට්ටු පහක් උඩ සිට ඔස්වල්ඩ් එක්ක සටන් කරලා රොබින් නිරුපද්‍රිතව බිමට වැටුණු ආකාරය හැම නළුවන්ටම ආදර්ශයක්. සිනමාවට එක්වූව කාලයේ සිටම රොබින්ගේ සටන් මම අගය කරනවා.“ රෙක්ස් කීවේය.

විල්සන් කරුගේ විස්මිත දස්කම් තමා දුටුවේ “හිතුවොත් හිතුවාමයි“ චිත්‍රපටයෙන් බව කියන රෙක්ස්, එහිදි කරු පවනට බඳු වේගයෙන් (අධ්‍යක්ෂ ලෙනින් කී) තැනට ලොරියකින් බිමට පැන්න භයානක අවස්ථා තිබූ බව පවසයි.

“මගේ චිත්‍රපට ජීවිතයේ අමතක නොවන, මා වඩාත් කැමති චරිතය රඟපෑවේ ගාමිණී ෆොන්සේකා විසින් අධ්‍යක්ෂණය කළ “කොටි වලිගය“ චිත්‍රපටයේ එන සාජන්ට් සිල්වාගේ චරිතය. සමාජය තරමක් රළු ලෙස දකින ඔහු පොලිස් නිලධාරියාගේ චරිතය තුළින් සැබෑ මිනිස් ගුණදම් වලින් පිරි චරිතයක් බව විවරණය කරන මේ චරිතයට මට ඇත්තේ අනුපමය භක්තියක්. මේ චරිතය (සාජන්ට් සිල්වා) සඳහා මට මුල්ම සම්මානය ලැබුණේ 1987 සරසවි චිත්‍රපට උලෙළේදී. එහිදි රංගන කුසලතා සම්මානය දිනූ පසු ගාමිණි ෆොන්සේකා මට අතට අත දී “තමාට මේ සම්මානය නොලැබුණා නම් තමයි ලෝක පුදුමය.“ සුබ පතමින් කිව්වා. මගේ පෞද්ගලික ජීවිතයේ මානසිකව වැටුණු අවස්ථා දෙකක් තියෙනවා. මගේ ජීවිතයට මිණි පහනක් වූ, පියා මිය ගිය පසු බහතෝරන මා ඇස් දෙක වගේ බලලා මාව මිනිහෙක් කළ මගේ අම්මා 1990 දී මිය ගියා. එදා මම හදවතින් මිය ගියා. ඉන්පසු මට ශක්තියක් දිරියක් වූයේ මගේ දෙවැනි මව. ඒ මගේ මාතෘ භාර්යාව කැරනින් එස්ටර් මීට වසර හතරකට පෙර මිය ගියා.“ රෙක්ස් ශෝකයෙන් කීවේය.

රෙක්ස්ගේ වැඩිමහල් දියණිය රොෂාන්ති ද පවුලේ බාලයා වූ සුරේඛා දියණිය ද ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින්නාහ. පවුලේ දෙවැන්නා ප්‍රසන්න පුතා ව්‍යාපාරිකයෙකි. ප්‍රසන්න තම පියා බලා ගනිමින් පන්නිපිටියේ පැලවත්තේ ග්‍රාම සංවර්ධන මාවතේ අංක 120/4 නිවසේ පදිංචිව සිටී.

Comments