‘බේරෙන්න බැරි’ නිර්මලා හෙදි සේවයෙන් විශ්‍රාම යයි | සිළුමිණ

‘බේරෙන්න බැරි’ නිර්මලා හෙදි සේවයෙන් විශ්‍රාම යයි

මාලිඳු ගමගේ ඉන්ද්‍රාණි නිර්මලා හෙවත් බී බී නිර්මලා කළුතර නාගොඩ රෝහලේ හෙදි උද්ඝෝෂණයකදී නායකත්වය ගනිමින්

විශ්‍රාම යන දිනයේ ලක්ෂ දෙකහාමාරක උපකරණයක් නිර්මලාගේ වියදමින් රෝහලට පරිත්‍යාග කෙරේ

ඇත්ත නම නිර්මලා ඉන්ද්‍රාණිය.ඇය සටන්කාමී හෙදියක් නිසා සියල්ලෝම ඇයට කීවේ බේරෙන්න බැරි (BB) නිර්මලා කියාය. එය කෙටිවී බීබී නිර්මලා යන නම ප්‍රකට විය.

 

දීර්ඝ කාලයක් තිස්සේ රාජ්‍ය සේවයේ නිරතව සිටින අයෙකු විශ්‍රාම යන දිනයේ තමා කළ සේවාව අගයමින් සේවා ස්ථානයේ කාර්ය මණ්ඩලය ලබා දෙන තිළිණයක් නිවසට ගෙන යන්නේ අතිමහත් සතුටිනි. එහෙත් වසර 39 ක රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යන දිනයේ තමා සේවය කළ කළුතර නාගොඩ මහ රෝහලට රුපියල් ලක්ෂ දෙකහාමාරක් වටිනා අත්‍යාවශ්‍යම උපකරණයක් තම පුද්ගලික ධනයෙන් පරිත්‍යාග කළ හෙදියක් පිළිබඳව සුවිශේෂී කතාවයි මේ.

ඇය නමින් මාලිඳු ගමගේ ඉන්ද්‍රානි නිර්මලා ය. කළුතර නාගොඩ මහ රෝහලේ චර්ම රෝග වාට්ටුවේ සේවය කළ ඇයට කොයි කවුරුත් දැන හඳුනාගෙන සිටියේ සටන්කාමී හෙදියක් ලෙස ය. වෘත්තීය සටන් මෙහෙයවූ සහ වෘත්තීය අයිතිවාසිකම් හා වෘත්තීය ජයග්‍රහණ රැසක් අත්පත් කර දුන් වෘත්තීය සමිති නායිකාවක් ලෙස ය.

බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රදේශයේදී 1961 පෙබරවාරි මස 04 වැනි දින උපන් ඇය තැපැල්කරුවකු වූ ජිනපාල ගමගේ සහ අත්යන්ත්‍ර පේෂකර්ම ගුරුවරියකවූ සිමෝනා‍ ගමගේ යුවළගේ වැඩිමල් දරුවාය. ඇයට බාල සොයුරන් දෙදෙනෙකු සහ සොයුරියක් ද සිටියාය.

පස්සර මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඇය පාසල් සමයේ සිටම අසාධාරණයට එරෙහිව නැඟී සිටි අයෙකි. අයිතිවාසිකම් දිනාගැනීම සඳහා සටන් කළ අයෙකි.

ඇය 10 වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටියදී එක් විෂය භාර ගුරුවරයෙකුට හදිසියේ ස්ථාන මාරුවක් ලැබුණි. මින් තම අධ්‍යාපන කටයුතුවලට බාධා වන බව වටහා ගත් ඇය මෙම ස්ථාන මාරුව කෙසේ හෝ අවලංගු කර ගත හැකි ක්‍රමයක් කල්පනා කළාය. ඒ අනුව හොර රහසේ සමාන්තර පංති හතරේම සිසු සිසුවියන් සංවිධානය කරගත් ඇය පස්සර විදුහල අසල සිට පා ගමනින් බිබිලේගම දක්වා ගමන් කළාය. ඒ එවකට ප්‍රදේශය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නිවසට ය. ළමුන් විශාල පිරිසක් පැමිණ කළ ඉල්ලීම මඟ හැරිය නොහැකිවූ මන්ත්‍රීවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ගුරුවරයාගේ ස්ථාන මාරුව අවලංගු කර දුන්නේය. තම දියණිය ඉන්ද්‍රානි මේ සටනට මූලිකත්වය ගැනීම ගැන දෙමාපියන් මහත්සේ බියට පත්වී සිටියහ.

රුපි­යල් ලක්ෂ දෙක­හා­මා­රක් වටිනා උප­ක­ර­ණය සිය පුද්ගලික මුදලින් නිර්මලා විසින්
 චර්ම රෝග විශේ­ෂඥ වෛද්‍ය පාතිමා හම්සියා වෙත විශ්‍රාම යන දිනයේදී භාර­දුන් අයුරු.

පාසලේදී ක්‍රීඩා හෝ වෙනත් බාහිර ක්‍රියාකාරකම් සඳහා නොගිය ඇය සම්පූර්ණ කාලයම කැප කළේ අධ්‍යාපනයට ය.

බලාපොරොත්තු වූවා සේ ම ඇය උසස් පෙළ විභාගයෙන් ඉහළින් සමත් වූවාය. සිසු හෙදියන් බඳවා ගැනීමට අදාළව ගැසට් පත්‍රයේ පළ කර තිබූ දැන්වීමට අනුව ඇය ද අයදුම්පතක් යොමු කළාය. ඒ ඇය රැකියාවක් සඳහා තම ජීවිත කාලය තුළ යොමු කළ ප්‍රථම හා එකම අයදුම්පතයි. වාසනාවට මෙන් ඇයට ඒ සඳහා තෝරාගෙන තිබුණි.

ඉන්ද්‍රානි කොළඹ හෙද විදුහලට ඇතුළත් වූයේ 1982 මාර්තු මස 15 වැනි දිනය. මේ කාලය වනවිට පුහුණු වන සිසු හෙදියන් සඳහා වැටුප් ගෙවීම රජය මඟින් නවතා තිබූ අතර එක් දේශකයෙකු සඳහා රුපියල් විසි පහක් බැගින් වනසේ ගෙවීම් කිරීමට ඔවුනට සිදුවී තිබුණි.

මෙම වියදම් දරා ගැනීමට සිසු හෙදියන්ට අපහසුවී තිබුණි. ඒ අනුව අපේ කතා නායිකාව වූ නිර්මලා ඇතුළු කණ්ඩායම සංවිධානය වී දේශන සඳහා රුපියල් විසි පහක් බැඟින් ගෙවීම නතර කළහ. එහෙත් මුදල් නොගෙවා බලහත්කාරයෙන් දේශන ලබාගත්හ.

මේ සඳහා ඔවුනට ශක්තිය ලැබුණේ කොළඹ අභයාරාම විහාරස්ථානයේ මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙනි.

සිසු හෙදියන් සඳහා 1980 වසර වනතුරුම වැටුප් ගෙවා තිබූ අතර එය නවතා දමන ලද්දේ 1981 වසරේ සිට ය‍. කෙසේ හෝ මෙම ඉල්ලීම දිනා ගත යුතු යැයි අදිටන් කර ගත් ඔවුහු ඊළඟට ගියේ හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන හා එතුමන්ගේ පුත් රවි ජයවර්ධන හමු වන්නටය. ඔවුන් සටන ජයග්‍රහණය කරන විට වසර තුනක පුහුණු කාලය නිමාවීමට ආසන්නව තිබුණි. සිසු හෙදියන් සඳහා වන වැටුප් ඔවුනට ලබාගත හැකි වූයේ අවසන් මාස තුනටය. එසේ වුව ද 1984 සිසු හෙදියන්ගේ කණ්ඩායමේ සිට නැවතත් පුහුණු කාලය සඳහා වැටුප් ලබාදීමට රජයට සිදු විය.‍ මෙම ඉල්ලීම දිනා ගැනීමට සටනේ බැරෑරුම් බව කොතෙක් දැයි කිවහොත් 1983 වසර සඳහා සිසු හෙදියන් කණ්ඩායමක් බඳවා ගැනීමට රජයට නොහැකි විය.

වසර තුනක පුහුණුව අවසානයේ ඇයට පළමු පත්වීම 1985 වසරේ දෙසැම්බර් මස 01 දින ලැබුණේ කොළඹ ජාතික රෝහලට ය‍. ඒ අංක 33 වාට්ටුවට ය‍. 1986 දී වැටුප් ප්‍රශ්නය ඇතුළු ඉල්ලීම් රැසක් මුල් කරගෙන මහා හෙද වර්ජනය ආරම්භ වනවිට ඇය සිටියේ පරිවාස කාලයේ ය. ඇගේ සේවා කාලය යන්තම් මාස කීපයකි. එහෙත් ඇය සේවය අතහැර එම වැඩ වර්ජනයට සහය දැක්වීම සඳහා ‍එක්වූවාය.

විශාරද නන්දා මාලිනිය ‘පවන’ ප්‍රසංගය ආරම්භ කළේ වර්ජන හෙදියන්ට සහය පළ කිරීමට ය. නිල නිවාසවලින් එළියට දැමූ ඇය ඇතුළු වර්ජකයනට පිළිසරණ වූයේ අභයාරාම විහාරස්ථානයයි. දහවලට වෘත්තීය සටනට සහය දැක්වීම සඳහා අභයාරාමයට එන ඇය රාත්‍රිය ගත කළේ ගල්පාත ප්‍රදේශයේ හිතවතියකගේ නිවසේය.

රජයට එරෙහිව වර්ජනය කරමින් ඇය කටයුතු කිරීම නිසා දෙමාපියන් තුළ ඇති වූයේ මහත්වූ බියකි.

මංගල ඡායා­රූ­පය

 

කොළඹ පැමිණ වැඩි හුරුවක් නොවූ මව ඇය සොයාගෙන මල්ලී සමඟ කොළඹ ආවාය. ඔවුන් ඇය නතර වී සිටි ගල්පාත නිවසට පැමිණියහ. ඒ වනවිට ඇය නතර වී සිටියේ දෙමටගොඩ ප්‍රදේශයේ තැනකය. යළි කොළඹට පැමිණි අම්මාත් මල්ලිත් ඇය සොයාගෙන බොරැල්ලේ සිට පයින් ම දෙමටගොඩට ගියහ.

“තාත්තාට සනීප නැහැ. ගෙදර යමු” යැයි අම්මා ඇයට කීවාය.

මේ බොරුවක් කියා තමන් ගෙදරට කැඳවාගෙන යාමට දරන උත්සාහයක් බව තේරුම් ගත් ඇය අම්මා කළ ඉල්ලීම ‘බැහැ’ යැයි කියා ප්‍රතික්ෂේප කළාය.

ඒ කාලයේ ඕනෑම රෝහලක සේවයට වාර්තා කරන ලෙස රජය වර්ජනයේ නිරත හෙදියන්ගෙන් ඉල්ලමින් නිවේදනයක් නිකුත් කර තිබූ අතර මවගේ උත්සාහය වූයේ ඇයට බදුල්ලට එක්කරගෙන ගොස් බදුල්ල රෝහලේ සේවයට වාර්තා කරවීමට ය.

වර්ජනය ජයග්‍රහණය කිරීමෙන් පසු ඇය නැවත සේවයට වාර්තා කළේ ජාතික රෝහලේ 33 වන කාමරයේ ය. රෝගී සත්කාර සේවා, දැඩි සත්කාර සේවා මෙන් ම හෙද සේවයේ සියලු ප්‍රායෝගික දැනුම ජ්‍යෙෂ්ඨ හෙද නිලධාරිනියන්ගෙන් ලබාගැනීමට ඇයට හැකි විය.

තම අනාගත සහකරු ඇයට මුණ ගැසුණේ වරෙක කොළඹ ප්‍රදේශයේ පැවැති සාදයකදී ය. මතුගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ ඔහු නමින් ලලිත් විතානයි. එවකට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අඩවි වන නිලධාරියෙකුව සිටි ඔහු විශ්‍රාම ගන්නා විට අතිරේක දිසා වන නිලධාරියෙකුව සිටියේය. ඔවුන්ගේ විවාහය සිදුවූයේ 1991 මැයි මස 23 වැනි දිනය. ඔවුන්ගේ දියණියන් දෙදෙනා මේ වනවිට උසස් අධ්‍යාපනය සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් සිටිති. විවාහයෙන් පසුව 1992 වසරේදී කළුතර නාගොඩ මහ රෝහලට ස්ථාන මාරුවක් ලබා ගැනීමට ඇයට හැකි විය. ඒ අනුව ඔවුන් පදිංචි වූයේ මතුගම ඕවිටිගල පිහිටි නිවසේ ය.

කළුතර නාගොඩ මහ රෝහලේ බාහිර රෝගී අංශය, ක්ෂය රෝග වාට්ටුව, පාචන රෝග වාට්ටුව, ගර්භනී වාට්ටුව, ළමා වාට්ටුව ඇතුළු වාට්ටු හා අංශ ගණනාවක සේවය කළ ඇය විශ්‍රාම ලබන විට සේවය කළේ චර්ම රෝග වාට්ටුවේය‍.

අතිකාල දීමනා ලබා ගැනීම වැනි වෘත්තීය සටන් මෙහෙයවූ ඇය වෘත්තීය සමිති නායිකාවක ලෙස ප්‍රවෘත්ති සාකච්ඡා ආදියට ද වරින් වර ඉදිරිපත් වූවාය.

රෝහල් කමිටුව, කසළ කළමනාකරණ ඒකකය වැනි අංශවල පෙරමුණ ගෙන කටයුතු කළ ඇය ඒ තුළින් විශාල වෙනසක් ඇති කිරීමට සමත් විය. රෝහලේ ශ්‍රමදාන, කලා උත්සව ආදී සියලු පොදු වැඩවලදී ද ඇය පෙරමුණ ගෙන කටයුතු කළාය. වෙසක් උත්සවය, බැති ගී, වෙසක් කූඩු තරග ආදිය ද ඇය සංවිධානය කළාය.

රෝහලේ සණස සමිති සභාපති ලෙස කටයුතු කළ ඇය වසර 05 ක් තිස්සේ පැවැති වංචා දූෂණ විගණන පරීක්ෂණයකින් හෙළි කර ගත්තාය. විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සාමාජික සුබසාධනය වැඩි කිරීමට ඇය කටයුතු කළාය. කලා සංගමයේ භාණ්ඩාගාරික මෙන් ම වෙසක් උත්සවයේ සංවිධායකවරිය වශයෙන් ද ඇය කටයුතු කළාය.

ඩෙංගු ආදී රෝග පිළිබඳව සෞඛ්‍ය අධ්‍යයනය ලබාදීම සඳහා වීදි නාට්‍ය රැසක් ද ඇය සංවිධානය කළාය. රෝහලේ උපස්ථායක සහ සෞඛ්‍ය සේවක කණ්ඩායම් කීපයක්ම පුහුණු කිරීමට ඇය දායකත්වය දැක්වූවාය.

චර්ම රෝග වාට්ටුවේ ලාදුරු රෝගීන්ගේ රෝග සත්කාරක සේවාවට ඇය බෙහෙවින් ඇළුම් කළා ය.

 විශ්‍රාම ගිය දිනයේ නිල ඇඳු­මට වැඳ ආචාර කර­මින්

 

විශ්‍රාම යන දිනයේ තමා සේවය කළ වාට්ටුවට යමක් කිරීමට ඇය අදිටන් කර ගත්තාය‍. ඒ සඳහා රෝහල් සණස බැංකුවේ ඉතිරි කළ මුදල් ඇය යොදා ගත්තා ය. බෝවන චර්ම රෝග හඳුනා ගැනීම සඳහා වන (Liquid N2 can) එකක මිල රුපියල් ලක්ෂ තුනහාමාරක් වූ අතර ඒවා ගෙන්වන ආයතනය රුපියල් ලක්ෂ දෙකහාමාරකට එම උපකරණය ලබාදුන්නේ ඇය කරනා කාර්යය පිළිබඳව පැහැදීමෙනි.

වසර 39 ක සේවා කාලයකින් පසු ඉකුත් 03 වැනිදා ඇය විශ්‍රාම යන දිනයේ පැවැති සමුදීමේ උත්සවයට ඇය ‍රෝහලේ සනීපාරක්ෂක කටයුතුවල නිරත සේවක සේවිකාවන්ට ද ආරාධනා කළාය.

අධිශ්‍රේණියේ හෙද ‍නිලධාරියෙකු වශයෙන් මාලිඳු ගමගේ ඉන්දානි නිර්මලා විශ්‍රාම යන දිනයේ ඇයට සුබ පැතීමට ‍හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස, නාගොඩ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා චින්තා ගුණරත්න, චර්ම ‍රෝග විශේෂඥ වෛද්‍ය ෆාතිමා හමිඩියා, හිටපු චර්ම රෝග විශේෂඥ වෛද්‍ය රන්තිලකා රණවකද එක්ව සිටියහ.

එහිදී චර්ම රෝග වාට්ටුවේ වෛද්‍ය නිලධාරි චන්ද්‍රලතා මහත්මිය විශේෂ කතාවක් කළාය. යම් ප්‍රශ්නයක් ආ විට නිර්මලා මහත්මියගෙන් වාට්ටුව භාර හෙදි නිලධාරීන්ට, වෛද්‍යවරුන්ට අධ්‍යක්ෂවරයාට හා ඇමැතිවරයා‍ටත් බේරිල්ලක් තිබුණේ නැහැ. මෙයාට හැමෝම හොඳ නමක් දාලා තිබුණා. ඒ බී.බී. නිර්මලා කියලා. ‘බී.බී’ කියන්නෙ බේරෙන්න බැරි නිර්මලා’ කියන එකයි.”

විශ්‍රාම යාමට දින තුනක් තිබියදීත් ඇය වෘත්තීය ප්‍රශ්න සාකච්ඡා කිරීමට රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා හමුවී හෙදියන්ගේ ගැටලු විසඳා ගත්තාය.

අවසන් දිනයේ තම නිල ඇඳුම ගලවා මේසයක් මත තැබූ ඇය ඊට වැඳ ආචාර කළාය. ඒ ‘බේරෙන්න බැරි’ නිර්මලාගේ හැටිය.

 

 

 

Comments