‘අර­වි­න්දට’ පණ දෙන්න නොමැරී මැරුණු සනත් ගුණ­ති­ලක | සිළුමිණ

‘අර­වි­න්දට’ පණ දෙන්න නොමැරී මැරුණු සනත් ගුණ­ති­ලක

 

මහනුවර පදිංචිව සිටි ගුරුවරියක් වූ ග්‍රේස් ගුණතිලක මාතාව පරමාදර්ශි චරිතයක් වීම නිසා තම එකොළොස් හැවිරිදි පුතා හොඳ චිත්‍රපට නැරඹීමට ගෙන ගියේ තෝරා බේරා ගෙනය. මේ නිසා ඇය මුලින්ම පෙන්වීමට තීරණය කළේ “වෙසතුරු සිරිත“ චිත්‍රපටයයි. එය වෙස්සන්තර ජාතක කතාව පාදක කර ගත් චිත්‍රපටයක් වීම තවත් විශේෂයකි. ඒ චිත්‍රපටයේ නන්දා මාලිනිය ගැයූ “රුවන් වළා දුහුල් කඩින් පෙරී සඳේ රිදී කැළුම්“ ගීතයට කොතරම් ආසක්ත වූයේ ද යත් නින්දට යන්න ප්‍රථම අම්මාගේ උකුළට හිස තබා බොරු හුරතල් පාමින් කීවේ ඒ ගීතය ගයන ලෙස ය. දෙවෙනියට මේ පුතා තම මාමා සමඟ බලන්නට ගියේ “මගේ පුතා“ චිත්‍රපටයයි. එහි ලතා ගැයූ “අශ්වයා ගෝන් ටික් ටික්“ ගීතයට ද ආසක්තව ඒ ගීතය ගයන ලෙස අම්මාට ඇවටිලි කළේය.

පසු කලෙක මේ පුතා රිදී තිරයේ ජනප්‍රිය, ප්‍රතිභාන්විත සම්මානනීය රංග ශිල්පියකු පමණක් නොව චිත්‍රපට කතා හා තිර නාටක රචකයකු, චිත්‍රපට නිෂ්පාදක අධ්‍යක්ෂවරයකු ලෙස සිංහල සිනමාවේ ජය කෙහෙළි නං වතැයි පවුලේ කිසිවෙකු නොසිතූහ.

ඔහු නමින් සනත් ගුණතිලක ය.

සනත් අන් කිසිම චිත්‍රපටයක රඟ නොපා “විරාගය“, “සිසිල ගිනි ගනී“, “එකමත් එක රටෙක“ චිත්‍රපට තුනේ පමණක් රඟපෑවත් ඔහු විශිෂ්ට රංගවේදියකු ලෙස සිනමා ඉතිහාසයේ සටහන් වෙන බව කීම අතිශයෝක්තියක් නොවේ. සනත් මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ චිත්‍රපට ලෝලියෙක් විය. “හතර දෙනාම සූරයෝ“ චිත්‍රපටයේ ගාමිණී ෆොන්සේකා ද, “සිරිපාල හා රන්මැණිකා“ චිත්‍රපටයේ රවීන්ද්‍ර රන්දෙනියගේ රංගනයන් නිසාම ඒ චිත්‍රපට කිහිප වතාවක්ම නැරඹූ ඔහුගේ ප්‍රියතම නළු නිළි ලැයිස්තුවේ මාලිනී ෆොන්සේකා ද, විජය කුමාරතුංග හා ටෝනි රණසිංහගේ ද නම් අමරණීයව තැන්පත්ව තිබුණි. එහෙත් ඔහු තුළ අනාගතයේ චිත්‍රපට නළුවකු වීමට තුන් හිතකවත් නොතිබුණේය.

සනත්ට ලස්සනට ගී ගැයීමේ හැකියාව තිබුණි. තමාගේ ප්‍රියතම ගායකයා වූ මිල්ටන් මල්ලවාරච්චිගේ ගීත විවේක අවස්ථාවල මිතුරන් සමඟ ගැයූ බව පාසලේ සංගීත ගුරුවරයා දැන සිටියේය. මීට වසර 53කට පෙර එවකට අග්‍රාමාත්‍යව සිටි ඩඩ්ලි සේනානායක මහතා පොල්ගොල්ල වේල්ල විවෘත කිරීමට එන බවත්, ඒ සඳහා පිළිගැනීමේ ගීතයක් ගයන්න මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ සිසුන් පස් දෙනෙක් තෝරා ගත් බවත් විදුහල්පතිතුමා කීය. සංගීත ගුරුවරයාට එකවරම සිහියට නැඟුණේ සනත්වය.

“සනත්, අගමැතිතමා පොල්ගොල්ලට එන උත්සවයේ පිළිගැනීමේ ගීතය කියන පස්දෙනාට ඔයාව මම තෝරගත්තා. අද ඉස්කෝලේ ඇරුණාම සංගීත පන්තියට එන්න.“

“එදා මගේ ජීවිතේ අමතක නොවන දවසක්. මට වයස අවුරුදු 13 විතර ඇති. අගමැතිතුමා උත්සවයට ආවේ කැමරාවක් කරේ දාගෙන දුම් පයිප්පයක් උරමින්. “ සනත් අතීතය ආවර්ජනය කරමින් කීවේය.

සනත් තම පළමු රැකියාව ලෙස තෝරා ගත්තේ ගුරු වෘත්තියයි. රසායන විද්‍යාවට ශූරයෙකු වූ ඔහු මහනුවර උපකාර පන්තිවල විද්‍යා ගුරුවරයකු ලෙස සේවය කොට අලුත් රැකියාවක් සොයා කොළඹට පැම­ිණියේ විවෘත ආර්ථිකය රටට හඳුන්වා දුන් මුල් අවදියේය. ඔහුගේ නවාතැන වූයේ මොරටුව සොයිසාපුර මහල්නිවාස සංකීර්ණයේ හිතවතෙකුගේ ගෙදරකය. පොත්පත්, පුවත් බලමින් කාලය ගත කළ ඔහුගේ සිත දැඩිව යොමු වුණේ නවක යොවුන් නළුවකු චිත්‍රපටයක ප්‍රධාන චරිතයට අවශ්‍ය බව කියන දැන්වීමක් වෙත ය. ඊටත් වඩා මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ඔහුගේ සිත් ගත්තේය. “දුහුළු මලක්“ චිත්‍රපටය ඔහුගේ සිත් ගත් චිත්‍රපටයකි. එහි අධ්‍යක්ෂවරයා වූ විජය ධර්ම ශ්‍රී කෙරෙහි විශ්වාසය තබා සනත් තම මුදල් පසුම්බියේ වූ කුඩා ඡායාරූපයත් අමුණා ඉල්ලුම් පතක් දැම්මේ “ආවොත් ආවදෙන්, ගියොත් ගියාදෙන්“ යන සිතුවිල්ලෙනි.

“මට කැඳවීමක් ලැබිණ. අසූවක පමණ තරුණයන් පිරිසක් සිටියා. ඔන්න මගේ වාරය ආවා. සම්මුඛ පරීක්ෂණයේ සිටි මාලිනි ෆොන්සේකා පමණයි මම දැන හිටියේ. ඒ මාලිනි ජනප්‍රියත්වයෙන් ඉහළම සිටි කාලයක්. ප්‍රශ්න කිහිපයක් ඇසීමෙන් පසු මාව තෝරා ගත් බවට ඉඟි පළ වුණා. මට ටිකක් රැඳී ඉන්න කීවා. පසුව අවසානයේ සහාය අධ්‍යක්ෂවරයා මට දෙබස් ඛණ්ඩයක් දුන්නා. මාලිනී මගේ සහායට ඇවිත් උදවු කළා. සහාය අධ්‍යක්ෂ සෝමපාල ලැනරෝල් මට අධ්‍යක්ෂ විජය ධර්මශ්‍රීත්, නිෂ්පාදක චමින්ද පෙරේරාත් හඳුන්වා දුන්නා. චිත්‍රපටය “සිටු කුමරියෝ“. මට රඟපාන්න ලැබුණේ මාලිනී හා ඇගේ සොහොයුරිය රසාදරී ෆොන්සේකා සමඟ.“

සනත් අසූව දශකයේ තම ප්‍රථම චිත්‍රපටය වූ “සිටු කුමරියෝ“ ප්‍රදර්ශනය වීමට පෙර සුමිත්‍රා පීරිස් ගේ “ගඟ අද්දර“ (1980) තිරගත විය. ඉන්පසු “සත්වැනි දවස“ තිරගත විය. “සිටු කුමරියෝ“ ට පසු වජිරා තිරගත විය.

“මගේ සිනමා ජීවිතයේ ආරම්භ වූ “ගඟ අද්දර“ චිත්‍රපටයේ මම රඟපෑවේ රන්ජිත් ගේ චරිතය. රන්ජිත් හා නිර්මලා (වසන්ති චතුරානි), මෙළොව එළිය දුටුවේ ගඟ අද්දරක. ඔවුන්ගේ ළමා කාලය ගත කළේ ගඟ අද්දර. ඔවුන්ගේ ජීවිතයේ සෑම සිද්ධියක්ම ගඟ අද්දර සාක්ෂි දරනවා.

රන්ජිත් හා නිර්මලා නෑනා මස්සිනාලා. එහෙත් නිර්මලා උසස් කුලවන්ත, ධනවතෙකුට බලෙන් විවාහ කර දීම නිසාත් නිර්මලාගේ පියා රන්ජිත් වැනි දුප්පතෙකු සමඟ තිබෙන ආදර සම්බන්ධය නවතා, ඔහු ගමට පිටත්කර යැවීමෙන් රන්ජිත් මෙන්ම නිර්මලාත් අසරණ වෙනවා. මේ චිත්‍රපටය සිහින් සෝබර ගීතයක් බඳු, ශෝකාන්තයකින් කෙළවර වෙනවා.“ සනත් තම සිනමා ජීවිතයේ කඩඉමක් අපට විස්තර කළේය.

සොමිසිරි සනත් ජූලියන් ගුණතිලක 1955 අගෝස්තු 27 වෙනිදා මහනුවර උඩුගම්පොල උපත ලැබුවේය. ඔහුගේ පියා වූ හෙක්ටර් ගුණතිලක නීතිඥයෙකි. ග්‍රේස් ගුණතිලක නම් වූ මව ගුරු ගුරුවරියකි. 80 දශකයේ සිනමාවේ සිහින කුමාරයා ලෙස අභිෂේක ලැබූ සනත් ඉතා ඉක්මණින් ජනප්‍රිය ධාරාවේ ද, මැද මාවතේ හා කලාත්මක චිත්‍රපටවල රඟපෑවේය.

කඩවසම් තරුණයකු වූ සනත් පාසල් වියේ ද, ගුරුවරයකුව සිටි කාලයේ ද යෞවනියන්ගේ සිත් දිනා සිටීම අරුමයක් ද?

“මගේ ප්‍රථම පෙම්වතිය වුණේ මගේ ම නැඟණියගේ ම පන්තියේ හොඳම මිතුරියක්. එය ළාබාල වියේ ඇති වූ ආදරයක්. ඒ නිසා දෝ ඒ ආදරයට වැඩි ආයුෂ තිබුණේ නැහැ. මගේ දීර්ඝ කාලීන ප්‍රේම වෘතාන්තයක් වූයේ පේරාදෙණියේ ලංකා විශ්වවිද්‍යාලයේ සේවය කළ තරුණියක්. විශ්වවිද්‍යාලයේම පීඨාධිපතිවරයකුගේ තරුණ ලේකම්වරියක් ලෙස සිටි ඇයගේත් මගේත් ආදරය අකාලයේ බිඳ වැටුණා.“ වරක් සනත් ‘සරසවිය‘ පත්‍රයේ සාකච්ඡාවකදි කීවේය.

සනත් නොමැරී රඟ පෑ චරිතයත්, භක්තියකින්, කැපකිරීම් රැසකින් රඟ පෑ චිත්‍රපටය ‘විරාගය‘ යි. 1984 වසරේ ජුනි මාසේ අග භාගයේ දවසක තිස්ස අබේසේකර විසින් දුන් ටෙලිෆෝන් පණිවුඩයකින් ඔහු උඩු යටිකුරු වී ගියේය.

“සනත් මල්ලී, මම කෙළින්ම කියන්නම්. අපි මාර්ටින් වික්‍රමසිංහ ගේ ‘විරාගය‘ මම අධ්‍යක්ෂණය කරන්න යනවා. මීට වැඩිය මට ඒ ගැන මුකුත් දැන්ම කියන්න බැහැ. ඒ කොහොම වුණත් අරවින්දගේ චරිතයට මම සනත්ව තෝර ගත්තා.“

තිස්ස මේ යෝජනාව කිව්ව ගමන් සනත්ට උන්න හිටි තැනත් අමතක වී ඇත.

“මගේ පුද්ගලික පුස්තකාලේ තිබුණේ මහනුවර. විරාගය නවකතාවත් එහි තිබුණා. මම දන්න විදිහට හොඳම පුස්තකාලය තිබුණේ ඩොරීන් ප්‍රනාන්දු ළඟ. ඇය චිත්‍රපට නිෂ්පාදක ඇලරික් ලයනල් ප්‍රනාන්දුගේ බිරිය. ඇගෙන් විරාගය ඉල්ලුවා. නවකතාව මසුරු කමින් දී මෙහෙම කිව්වා.

“සනත් පොත කියවල මට ආපසු ලැබෙන්න ඕනෑ.“

විරාගය මම එක හුස්මට කියෙව්වා. නැවත නැවත කියෙව්වා.

සනත් මාර්ටින් වික්‍රමසිංහයන් ගේ සියලු පොත් සොයා ගෙන කියවා ඇති අතර රුසියානු මහා ලේඛක ඩොස්ටොව්ස්කිගේ “අපරාධය හා දඬුවම“ ද මගෙන් ඉල්ලාගෙන ගියේ ඩොරින් ප්‍රනාන්දුට දුන් පොරොන්දුව පිටය. චිත්‍රපටය ප්‍රදර්ශනය වී වසර තිස් තුනක් ගතව ඇතත් විරාගය අපි දෙදෙනාටම ලැබී නැත.

“මාව අරවින්දගේ චරිතයට තිස්ස අයියා තෝරා ගැනීම ගැන විරෝධතා ඇති වුණා. බොහෝ දෙනෙකු කීවේ සනත් ලස්සන වැඩි නැද්ද? එයා අරවින්දගේ චරිතය විනාශ කරයි කියලා. මම කිසිවකින් නොසැලී චරිතය රඟපෑමට ‘හෝම්වර්ක්‘ කළා. සියලු දෙනා එවැනි සැහැසි වැඩ කරද්දී ලෙස්ටර් ජේම්ස් පීරිස්, සුමිත්‍රා පීරිස්, නිහාල්සිංහ, රවීන්ද්‍ර රන්දෙනිය යන කලාකරුවන් මට සුබ පැතුවා. 1984 වසරේ දෙසැම්බර් මාසයේ ඉඳල මම අරවින්ද සඳහා කායිකව සූදානම් වුණා. අරවින්ද ජයසේන මිය යන්නේ අවුරුදු තිස් පහේදී ලේ පිළිකාවකින්. මේ නිසා මගේ පෙනුම අවුරුදු 60ක පමණ පෙනුමක් තබා ගත යුත්තේ කෙසේද? මට ලොකු අභියෝගයක් වුණා. මේ සඳහා උපදෙස් ගැනීමට මා හමුවූයේ මහා ගත්කරු වික්‍රමසිංහ පුත් වෛද්‍ය රංග වික්‍රමසිංහ. ඔහු මාව විශේෂඥ වෛද්‍ය නානායක්කාර වෙත යොමු කළා.

“සනත් ඇත්තම කියන්න. දවසකට කී වේලාවක් කනවද? මොනවද කරන්නේ“

නානායක්කාර දොස්තර මහත්තයා මගෙන් ගොඩක් ප්‍රශ්න ඇහැව්වා. ඔහු වැඩිපුරම අඩු කරන්න කිව්වේ සීනි, තෙල් හා මේද ඇතුළත් ආහාර වර්ග. මේ කාල සීමාව තුළදී කිසිම මත්පැන් වර්ගයක් නොගන්නා ලෙස උපදෙස් දුන්නා.

“සනත්ට අධික නිදිමතක්, කෝපයට පත් වන තත්ත්වයක් ඇති වේවි. මතක ඇතිව ගෙදර අයට කියන්න නෑයින්ට, මිත්‍රයන්ට කියන්න මේ ස්වභාව සනත්ට ඇති වුණොත් අමනාප වෙන්න එපා කියලා.“ වෛද්‍යවරයාගේ තවත් උපදෙසක් ලැබුණා.“

සනත් වෛද්‍ය උපදෙස් ද, අධ්‍යක්ෂවරයා (තිස්ස) ගැන තිබූ විශ්වාසයත් නිසා ශරීරය ක්‍රම ක්‍රමයෙන් කෘෂවීමට කාමරයක් තුළ සිර ගත විය. සනත් හුදෙකලාවේ ගැලී සිටියේය. “බාධා කරන්න එපා“ යයි කුටියේ දැන්වීමක් අලවා තිබුණි. කුටිය ඉදිරියේ, ඈතට විහිදෙන, පොල් තුරු නිල්ලකි. ඉන් ඔබ්බේ තෙරක් නැති සාගරයයි. කිසිවෙකුට සනත් සමඟ කතා කිරීමට ඉඩ නොලැබිණ. මේ කාලය තුළ ඔහුගේ ආහාරය සඳහා ලැබුණේ දෙහි, ඇල්වතුර හා ගස් ලබු පමණි. චිත්‍රපටයේ අවසාන දර්ශනයේ අරවින්ද මෙන් ඔහු මරණාසන්නව ඇඳක වැතිර සිටියේ යුෂ වර්ගවලට අමතර කිසිම ආහාරයක් නැතිවය.

චිත්‍රපටයේ වැඩ අවසන් වී මහනුවර අපේ ගෙදර ගිය මා දුටු අම්මා මාව බධාගෙන අඬන්න ගත්තා.

“අනේ මගේ රත්තරං පුතාට මේ මොකද වුණේ.“

මාව බලන්න පවුලේ වෛද්‍යවරයා ගෙදරටම ආවා. ඔහු මට හොඳටම දොස් කිව්වා. “සනත් ෆිල්ම්වල ඇට් කරලා මැරෙන්නද යන්නේ“ කියලා අම්මගෙන් ඔහු ඇහැව්වා. පවුලේ වෛද්‍යවරයාගේ උපදෙස් පිට මම ආහාර ගන්න පටන් ගත්තා. දින 16ක් ආහාර නොගෙන සිටි නිසා මට ඖෂධ කිහිපයක් නියම කරලා කිසිම අභ්‍යාසයක නොයෙදී විවේක ගන්නා ලෙස ඔහු උපදෙස් දුන්නා. මම සිතුවාට වඩා ප්‍රකෘති තත්ත්වයට එන්න කලක් ගත වුණා.

තමා අරවින්දගේ චරිතය රඟපාන්න ගිහින් දහදුක් විඳි ආකාරය ඒ කාලයේ ‘සරසවිය‘ පත්‍රය සඳහා මෙම ලියුම්කරුට විස්තර කළේ “මම හිතුවේ මම මැරෙයි ම“ කියා.

“චිත්‍රපටය බලලා ලෙස්ටර්, සුමිත්‍රා, ගාමිණි, විජය, රවීන්ද්‍ර, මාලිනි, ශ්‍රියාන්, ස්වර්ණා, අනෝජා මට ප්‍රශංසා කළා. එහෙත් ටෝනි රණසිංහ මගේ රඟපෑම අගය කළේ නැහැ. ඒ පිළිබඳව ඔහුට විවේචනයක් තිබුණා. ඒකට මම උරණ වුණෙත් නැහැ. ඔහුට මේ චරිතය රඟපෑමට තිබුණා නම් මා දුන් අර්ථකථනයට වඩා වෙනස් වෙන්න තිබුණා. සමහරවිට මගේ රඟපෑමට වඩා වෙනස් වෙන්න තිබුණා. (විරාගය මුලින්ම අධ්‍යක්ෂණය කිරීමට ලෙස්ටර් සූදානම්ව සිටි අතර අරවින්දගේ චරිතයට තෝරා ගෙන තිබුණේ ටෝනි බව කියවෙන මුල්ම ප්‍රවෘත්තිය “සරසවිය“ පත්‍රයට 1970 වසරේ ලිව්වේ මෙම ලියුම්කරුය.) අපේ ජ්‍යෙෂ්ඨ නළුවකු ලෙසත් ප්‍රතිභාන්විත නළුවෙකු වූ මගේ රංගන උපදේශකයකු වූ ටෝනි අයියා මා රඟපෑ ‘පාලම යට‘ චිත්‍රපටය බලලා දැඩි ප්‍රශංසාවක් කළා. ඒ ටෝනිගේ හැටිය.“ සනත් අතීතය මතක් කළේය.

‘විරාගය‘ චිත්‍රපටයේ සනත් රඟපෑ ඒ චරිතය වෙනුවෙන් ඔහු ශ්‍රී ලංකාවේ තිබූ සෑම චිත්‍රපට උලෙළකින්ම හොඳම නළුවාට හිමි සම්මාන වලින් පිදුම් ලැබූහ. සනත් රඟපෑ උසස් චිත්‍රපට අතර කැඩපතක ඡායා (පියතිලක), පාලම යට (වලහා), දොරකඩ මාරව (ප්‍රියන්ත), රාජ්‍ය සේවය පිණිසයි (ජනක සිටු බණ්ඩාර) යන චිත්‍රපට ද වෙයි.

සනත් ගේ චිත්‍රපට ජීවිතයේ අපූර්වතම සිද්ධිය තමා විසින් මුල්වරට නිෂ්පාදනය කළ “සිසිල ගිනි ගනී“ චිත්‍රපටයයි. 1992 දී තිරගත වූ මෙය ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂවරයකු ලෙස දොරට වැඩි චිත්‍රපටය විය. තවත් විශේෂයක් වූයේ මේ චිත්‍රපටයේ තිරනාටක රචකයා සනත් ම වීමය.

“සිසිල ගිනි ගනී“ කතාවේ සැබෑ උරුමක්කාරයා මම නොවේ. ඔහු ආතර් සිල්වා යි. අවුරුදු ගණනාවකට ප්‍රථම ලංකාවේ සිදු වූ මිනීමැරුමක් සම්බන්ධව සිරගත වී සිටි ස්ත්‍රියක් පිළිබඳව චිත්‍රපටයක් කිරීමට මාලිනී ෆොන්සේකාට අදහසක් තිබුණා. ඒ අදහස අනුව එම වකවානුවේ, සත්‍ය සිද්ධිය සොයා මා කිහිපදෙනෙකු මුණගැසුණේ මේ ශ්‍රේෂ්ඨ නිළිය මගේ සිනමා ගමනේ මුල් අවදියේදී දුන් සහාය හා ආශිර්වාදය මට විශාල අත්වැලක් වූ නිසා. එයට කෘත ගුණ සැලකීම පිණිස මා ඇයගේ මේ ක්‍රියාවලියට දැඩි ලෙස දායක වුණා. පසුව ඇය තම අදහස වෙනස් කරමින් “සසර චේතනා“ චිත්‍රපටය නිෂ්පාදනය කර අධ්‍යක්ෂණය කළා.“ සනත් අතීත කතාවක් සිහිපත් කළේය.

1984 වසරේ අග භාගයේ ඇලරික් ලයනල් ප්‍රනාන්දු ගේ “රන් දම් වැල්“ චිත්‍රපටය රූපගත කිරීමට සනත් ගුණතිලක හා සිනමා නඩයට විශේෂ බස් රියකින් බණ්ඩාරවෙල යාමට සිදුවිය. ඔවුන්ගේ දවල් ආහාරය ලයනල්ගේ බිරිය ඩොරීන් විසින් ම සකස් කරගෙන ආ නිසා කුරුවිට - රත්නපුර අතරතුර පරකඩුව නමැති ස්ථානයේ නිදහස් පරිසරයක එය භුක්ති වින්දාහ. ඒ මොහොතේ පරකඩුව වත්තට සම්බන්ධ විශ්‍රාම ගිය පොලිස් නිලධාරියෙක් සනත් හමුවී කෑම කන අතරතුර තම පොලිස් සේවයේ සිටින කාලයේ සිදු වූ සත්‍ය කතාවක් කියා ඇත. සනත් විසින් “සිසිල ගිනි ගනී“ තිර නාටකයේ එන (ටෝනි රණසිංහ රඟපෑ) ආතර් සිල්වා නම් රාගික පොලිස් නිලධාරියාගේ චරිතය ගොඩ නැඟුවේ අර විශ්‍රාමික පොලිස් නිලධාරියාගේ අත්දැකීම් ඔස්සේය.

“මේ චිත්‍රපටයේ මා රඟ පෑ විවාහක හැරිස් මාකලන්ද ගේ අනියම් බිරිය ඇනට් ලෙස සබීතා පෙරේරා අභියෝගාත්මක චරිතය විශිෂ්ට ලෙස රඟපෑම විශේෂයක්. හැරිස් ගේ කුඩා පුතාගේ අතුරුදන් වීම නිසා එහි වරද පැවරෙන්නේ ඇනට්ටය. මානසික ගැටුමකින් යුතු මේ චරිතය ඇගේ හොඳම රංගනයක් වීම පුදුමයක් ද?“ සනත් කියයි.

සනත් විසින් තිර නාටකය ලියූ දෙවන චිත්‍රපටය හා නිෂ්පාදන හා අධ්‍යක්ෂණය කළ “එකමත් එක රටෙක“ චිත්‍රපටයට පසුබිම් වුණේ එමිල් සෝලාගේ කතාවකි.

“මේ චිත්‍රපටයේ මා රඟ පෑ චරිතය ජුලියන්. එය කොහෙන් පාත් වූ චරිතයක් දැයි කවුරුවත් නොදනී. ඔහු තම හුදෙකලා ජීවිතය ප්‍රීතියෙන් ගත කරමින්, තමාගේ කාමරය තුළ තම ආධිපත්‍යය වපුරා ගෙන බැල්ලියක් සමඟ එකාකාරී ජීවිතයක්, යම් කාල සටහනක් අනුව ගෙව්වා. මෙය පසු කාලයකදී වෙනස් වන්නේ යාබද මන්දිරයකට තරුණියක් පැමිණි පසුයි. මෙවැනි ජීවිතයක් ගත කළ පුද්ගලයකු පිළිබඳ මා කුඩා කාලයේදී ද දැක තිබෙනවා. මහනුවර ප්‍රදේශයේ, බොනිෆස් නම් වූ මේ පුද්ගලයා කොහේ ඉන්නවාද, කොහෙන් ආවාද? කිසිවකුත් දැන සිටියේ නැත. සමහරවිට පල්ලියේ පූජක තැන නම් ඔහු පිළිබඳව යම් විස්තරයක් දන්නවා ඇති. ඒ ඔහු වැඩිපුර ජීවත් වන්නේ පල්ලියේ බැවිනි.

Comments