නවයුගයෙන් නව පරපුරක් තැනූ එඩ්වින් ආරියදාස | සිළුමිණ

නවයුගයෙන් නව පරපුරක් තැනූ එඩ්වින් ආරියදාස

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ රාම තවුසා ලෙස රඟපාන එඩ්වින් ආරියදාස

 

මීට වසර හැත්තෑ පහකට එපිට මහනුවර ජීවත් වූ දිසානායක නම් විශ්‍රාමලත් ලිපිකරුවෙකු සිය දිවි නසා ගත්තේය. ඔහු මිය ගියේ සිය දියණිය වූ චින්තාගේ විවාහ දිනයේදී ය. විවාහ ලේකම්වරයා පැමිණ ගිය පසු පැමිණි පිරිස දිවා භෝජනයට සහභාගි වුවද දිසානායක පැමිණ නොසිටියේ ය. සියල්ලෝම කලබලයට පත්වූහ. පැමිණ සිටි කිහිප දෙනෙක් ගම්මුලාදෑනියා සෙවීමේ කාර්යයට යුහුසුළු විය. රහස් පරීක්ෂක කෝන්ගොඩ වික්‍රමපාල. ඔහු දිසානායක සෙවීමේ කාර්යයේ යෙදුණේය. ඔහු දුර දක්නා ඥානය හා තීක්ෂණ බුද්ධිය මෙහෙයවා සුල මුල සොයා ගත්තේය.

දිසානායකගේ බිරියට අවශ්‍ය වූයේ තම දියණිය ලොකු මිනිසෙකුට විවාහ කරදීමට ය. මේ නිසා දෙන්න දෙමහල්ලන් අතර නිතර අඬදබර ඇති විණි.

අවසානයේදී දිසානායක ධනවත් මිනිසෙකුට දුව විවාහ කර දීමට අවශ්‍ය දෑවැද්ද සෙවීම සඳහා ධනවත් කොන්ත්‍රාත්කරුවකු මරා දැම්මේය. දියණියට දායාදය සපයා දුන් දිසානායක පිහියෙන් ඇන ගෙන සිය පණ නසා ගත්තේය. ගම්මුලාදෑනියා මේ සියලු වගතුග සොයා ගත්තේය.

මේ කතා වස්තුව රඟ දැක්වූයේ 1946 නොවැම්බර් 26 වෙනිදා කොළඹ ලංකා විශ්වවිද්‍යාලීය සිංහල සමිතිය වෙනුවෙන් චාල්ස් අබේසේකර (පසුව සිවිල් නිලධාරි) කතාව ලියූ ‘යමයාගේ තීන්දුව“ නම් වේදිකා නාට්‍යයේය. මේ නාට්‍යය නිෂ්පාදනය කළේ ජෝතිය ධීරසේකරය. (පසුව මහාචාර්ය ධම්ම විහාරි හිමි) එහෙත් ගම්මුලාදෑනියා ගේ චරිතය රඟපෑවේ වී. කේ. එඩ්වින් ආරියදාස මෙහි ඉතා විශිෂ්ට ලෙස රඟ පෑ බව “සිලෝන් ඩේලි නිවුස්“ පත්‍රයේ පළ වී තිබූ බව මහාචාර්ය තිස්ස කාරියවසම් අප සමඟ පවසා තිබුණි.

මේ නාට්‍යයේ තවත් විශේෂය නම් එහි රඟ පෑ විනී විතාරණ (පසුව මහාචාර්ය) ආරියදාසයන් සමඟ ගාල්ලේ මහින්ද විද්‍යාලයේ එකම පන්තියේ ම සිසුවකු වීමය.

අප අතරින් පසුගිය සතියේ වෙන්ව ගිය ආචාර්ය කලාකීර්ති එඩ්වින් ආරියදාස “ඇවිදින විශ්ව කෝෂයක්“ බව ද, ‘මාධ්‍ය තක්සලාවේ දිසාපාමොක් ඇදුරු‘ ලෙස ද “විශ්වයේ සරන අපේ චන්ද්‍රිකාව“ “මාධ්‍ය ඍෂිවර“ ලෙස ද හැඳින්විය. එඩ්වින් ආරියදාස නම නෑසූ කෙනෙකු සොයා ගැනීම අපහසුය.

ආචාර්ය ආරියදාස වයස අවුරුදු 12 දී පමණ කාලයේ සිට වේදිකා නළුවකුව සිටි බව ඔබ දැන සිටියා ද? ගාල්ලේ උණවටුන බෞද්ධ මිශ්‍ර පාසලේ සිටිය දී ‘රුහුණු වීරයා‘ නාට්‍යයේ ඔහු කාන්තා චරිතයක් රඟපෑ අතර සෙනෙවියකු ලෙස සිරිමල් රණවැල්ල (පසුව මහාචාර්ය) රඟපා ඇත.

1922 වසරේ දෙසැම්බර් 03 වෙනිදා විජේතුංග කරුණාරත්න එඩ්වින් ආරියදාස ගාල්ලේ උණවටුනේ උපත ලැබීය.

“මගේ තාත්තා ගොවියෙක්. මව වැලිගම කාන්තාවක්. මට අයියලා තිදෙනෙක් ද, වැඩිමහල් සොහොයුරියන් දෙදෙනෙක් ද සිටියා. මම පවුලේ බාලයා. මම නිදා ගන්න කොට අක්කල සැළලිහිණියේ, ගුත්තිලයේ කවි කියනවා අහගෙන ඉඳලා මට ඒ කවි ඉක්මණින් කට පාඩම් වුණා. මුල ඉඳලා අගටම.

මගේ තාත්තා මට මුලින්ම දාන්න හදපු නම “එඩ්වින් අප්පුහාමි“. මට ආරියදාස නම තැබුවේ ලොකු අක්කණ්ඩි. මම මුලින්ම ඉගෙන ගත්තේ උණවටුන බෞද්ධ මිශ්‍ර පාසලට ගිය කාලේ ගුරුවරයෙක් පන්තියේ ළමයි පන්තියේ මේසය වටා රැස්කර මගෙන් ඇහැව්වා “මේ ළමයා ලොකු වෙලා කරන්න ආසම රැකියාව කුමක් ද?“ කියලා.

“ඉස්කෝලෙ මහත්තයා, මම කැමති කවදා හෝ පත්‍ර කර්තෘ කෙනෙක් වෙන්න.“

එදා පන්තියේ ළමයි මහ හඬින් සිනාසුණේය. පත්‍ර කර්තෘකම ඒ ගැමි සමාජ ස්ථරය තුළ රැකියාවක් හැටියට නොසැලකූ බව කී ආරියදාස ශිෂ්‍යයා කුඩා කාලයේ සිටම “ඔබ්සවර්“, “ඩේලි නිවුස්“ පත්‍ර කුතුහලයෙන් කියවා ඇත. ගාල්ලේ මහින්ද විද්‍යාලයට ගිය කාලේ එඩ්වින් ආරියදාස ශිෂ්‍යයා සමඟ එකම පන්තියේ සිටි මිත්‍රයන් වූයේ සිරි ගුණසිංහ, විනී විතාරණ, නන්දදාස කෝදාගොඩ, ධර්මසේන අරම්පත්ත ය. පසු කලෙක මේ සියල්ලෝම විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් වූ අතර ආරියදාසයන් තෝරා ගත්තේ පත්‍ර කලාවය.

මේ කාලයේ “ඔබ්සර්වර්“ පත්‍රයේ ආර්. එච්. නේලර් ලියූ සතිපතා පලාපල ලිපිය මා කොතරම් කුතුහලයෙන් කියෙව්වා ද යත්, ඇල්මෙන් ඉංග්‍රීසි ඉගෙනගෙන ගෙදර අයගේ ලග්න පලාපල සිංහලෙන් කියා දුන්නා. මගේ ඉංග්‍රීසි භාෂාව දියුණු වීමට තවත් රුකුලක් වූයේ “ඔබ්සර්වර්“ පත්‍රයේ පළ වූ CHEQERS PUZZLE කියන ප්‍රහේලිකාව නිසා. ඉහළම අගයක් ඇති අයුරින් වචන තෝරා ඒ හිස් කොටුවේ ගැළපෙන ලෙස වචන යොදන්න මම උත්සහ ගත්තා. මේ නිසා මගේ ඉංග්‍රීසි දැනුම දියුණු වුණා.“

තමා සමඟ ගාල්ලේ මහින්දේ ඉගෙනගත්, සිරි, විනී, ධර්මසේන මිතුරන් සමඟ 1946 විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ ආරියදාස තරුණයා සිය ගෞරව උපාධිය සඳහා තෝරා ගත්තේ සිංහල භාෂාවය. අනු විෂය ඉංග්‍රීසි භාෂාව ය. මෙසේ භාෂා දෙකක් තෝරා ගැනීමට මහාචාර්ය ලුඩොවයික්ගෙන් අවසර ලැබූ එකල සිටි ශිෂ්‍යයන් දෙදෙනාව ඇත්තේ ආරියදාසයන් හා ඒ. අමිර්ත ලිංගම් ය. (හිටපු පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක)

 

පත්‍ර කලාවට ආලය කළ ආරියදාසයන් 1949 මාර්තු 3 දින ලේක්හවුසියට බැඳී “සිළුමිණ“ හා “දිනමිණ“ පත්‍රවල කර්තෘ මණ්ඩලවල සේවය කොට ඇත. “සිළුමිණ ශාස්ත්‍රීය අතිරේකය“ ට ඔහු තම නමින් ද අන්වර්ථ නාමය වූ “ජනක“ නමින් ලියූ ලිපි එකල බුද්ධිමතුන්ගේ ප්‍රශංසාවට ලක්වී ඇත.

ඔහුගේ සමකාලීන කර්තෘ මාණ්ඩලිකයන්ව ඇත්තේ පියසේන නිශ්ශංක (සිළුමිණ මුල්ම කර්තෘ), ජී.බී. සේනානායක, ආනන්ද කුලසූරිය, කේ.එන්. ජයතිලක (මේ දෙදෙනාම පසුව මහාචාර්යවරුන් වූහ), මීමන ප්‍රේමතිලක, බෙනඩික්ට් දොඩම්පෙගම, ධර්මපාල මෙත්තසිංහ, එස්. සුබසිංහ, ඩී.එෆ්. කාරියකරවන, බී. ඒ. සිරිවර්ධන, එඩ්මන්ඩ් රණසිංහ, සිසිර කුමාර මානික්ක ආරච්චි, වෙ. වී. අභයගුණවර්ධන, ජයවිලාල් විලේගොඩ, දයාසේන ගුණසිංහ, ආනන්ද වීරවර්ධන, කේ.එස්. පෙරේරා, ජී.එස්. පෙරේරා, සිසිල් ඉලංගකෝන්, ඩී.සී. කරුණාරත්න ආදීන් ය. පසු කලෙක සිරි රණසිංහ, තිලකරත්න කුරුවිට බණ්ඩාර, අජන්තා රණසිංහ ආරියදාස මහතාගේ සමීපතම කණිෂ්ඨ මිතුරන් වූහ. පසු කලෙක ඔවුන් පත්‍ර කතුවරයන් වූ පසු ඔවුන්ගේ දස්කම් බලා අවංකව සතුටු විය.

ආරියදාසයන්ෙග් කටුක, අභාග්‍ය සම්පන්න වසර වූයේ 1977 වසර ය. ඔහු 1977 මැතිවරණයෙන් පසු ඔහු මුලින්ම ලේක් හවුස් පඩිපෙළ නගිද්දී බලකාමයෙන් උමතුව සිටි මුග්ධයෝ ඔහුට හිරි හැර කිරීමට පටන් ගත්හ. එදා ආරියදාස මහතාට රැකවරණය දුන්නේ තුරුණු වියේ සිටි ගංගාරාමවාසි රඹුකන සිද්ධාර්ථ හිමියන්ය. ඒ හිමියෝ ආරියදාස මහතාගේ අතින් අල්ලාගෙන මුග්ධයන්ගේ හිරිහැර මඟ හැර මහ පාරට කැඳවා ගෙන ආ ආකාරය මට මතකය. එක්තරා නැඩයෙක් ආරියදාස මහතාගේ බෑගය උදුරාගෙන ගිය විට සිද්ධාර්ථ හිමියෝ පොලිස් නිලධාරියකුට කියා එය ලබා ආරියදාස මහතා අත තැබූහ.

ආරියදාස මහතාගේ වෙව්ලන අතින් අල්ලාගෙන හිමියන් එවලේ පාරේ ගමන් කළ බස් රියක නංවාගෙන හැව්ලොක් ටවුමෙන් බැස, කුඩා අවන්හලකට ගෙන ගොස් උණට උණු කෝපි කෝප්පයකින් සංග්‍රහ කළහ. කෝපි බී උඩහමුල්ලේ දුම්රියපොළ පාරේ නිවසට යන තෙක් ද එහි දී ද, සිදු වූ අශෝභන ක්‍රියාව ගැන වචනයකුදු කතා නොකිරීමට සිද්ධාර්ථ හිමියෝ තීරණය කළහ. දෙවැනි දින ආරියදාස මහතා කර්තෘ මණ්ඩලයට කැඳවා ගෙන යාමට දිනමිණ තරුණ කර්තෘ මාණ්ඩලිකයෝ කාරුණික වූහ.

අනුන්ගේ දියුණුව බලා ඔවුන්ට ආශිර්වාද කළ, ඔවුන්ට අත හිත දුන් ආරියදාසයෝ ජීවිතයේ කිසිදු දිනක නුදුටු නවක ලේඛකයන්ට නිර්ලෝභීව සදූපදේශ සැපයූහ.

තනිකඩ ජීවිතයක් ගත කළ ආරියදාස මහතාගෙන් වරක් මම මෙසේ ඇසුවෙමි.

“ඇත්තටම ආරියදාස මහත්තයා විශ්වවිද්‍යාල ජීවිතයේදීවත් ප්‍රේම සම්බන්ධයක් තිබුණේ නැද්ද?“

ඔහු සිනා සී මට මෙසේ කීය.

“මට කෝච්චිය මිස් වුණා.“

ලෝකයේ සෑම විෂයයක් ගැන ලිපි දහසකටත් වඩා ලියූ ආරියදාස මහතා වරක් තිලකරත්න කුරුවිට බණ්ඩාරයන්ගේ ඇරයුමින් “කොළපාට සාරිය“ නම් කෙටිකතාව ලියා දුන්නේය. එහි ඔහු ප්‍රේම පුරාණයක නටබුන් මැනවින් නිරූපණය කර තිබුණි. “නවයුගය“ සඟරාවට කොටස් වශයෙන් ඔහු ලියූ නවකතාව නම් කර තිබුණෙ “පෙම් කතාව“ කියාය. ඔහු මිය යන තෙක්ම ප්‍රේමයට ආලය කළේය. මිනිසුන්ට ආදරය කළේය.

ආරියදාස නම් ප්‍රාඥයා ඇසුරු කිරීමේ භාග්‍යය මට ලැබෙන්නේ 1969 අග භාගයේ මා ලේක් හවුසියේ ‘සරසවිය‘ පත්‍රයට බැඳුණු පසුය. එතුමා සිළුමිණට ලියූ සිනමාව ගැන ලිපිත්, ‘සරසවිය‘ ට ලියූ ලෝකයේ ශ්‍රේෂ්ඨ චිත්‍රපට අධ්‍යක්ෂවරු හා නළු නිළියන් ගැන ලියූ ලිපි උසස් පෙළ පන්තියේ ඉගෙනීම ලබන කාලයේ සිට කපා පොතක අලවාගෙන තිබුණි. ලේක් හවුසියේ සිටියදි පුංචි මිතුරෙකු ලෙස ගෞරවයෙන් හා ආදරයෙන් ඇසුරු කළ මා එතුමාගේ ළමා කාලය ගැන තොරතුරු විමසා පුවත්පතකට ලිපියක් ලිවීමි. එහිදී ඔහු වරක් තම කුඩා කාලය ගැන මෙසේ පැවසීය.

“මම දැනුම දියුණු කර ගන්න අසීමිත කුහුලින් පසුවන්නෙකි. මගේ සමකාලීන මිතුරන් දෙදෙනෙකු වූ අනඳපිය කුඩාතිහි හා රෙජී වීරමන් (මේ දෙදෙනාම ලේක් හවුසියේ උප කතුවරු වූහ) සමඟ හවසට මූදු වෙරළට ගොස් විවිධ විෂයයන් ගැන වාද විවාද කර ගන්නවා. අප අපේ ළමා ජීවිතය නිෂ්ඵල කර ගත්තේ නැහැ. මට දැනුම එන්න කියලා අපේ අම්මා පලා වර්ග කැව්වා.

‘පුංචි මහත්තයාට දවල් තාරකා බලන්න ඕනෑ නම් පලාවර්ග හොඳට කන්න.‘ අම්මා කිව්ව.

දවල් තරු බලන්න නොතිත් ආසාවෙන් මම පලා වර්ග ගොඩක් කෑවා. ඒ අවුරුද්ද අදත් එහෙමමයි. මගේ අක්කණ්ඩිලා දෙන්න මට දැනුම එන්න කියලා එළඟි තෙල් වලින් තැනූ රොටිත්, මී පැණි හා එළඟිතෙල් කෑමට දෙනවා. මේ නිසා දෝ දවසක් දවල් තරු දැක්කා.“

ජීවිතයේ තම අවසාන කාලය වෙනතුරු ආරියදාස මහතාගේ නිවසේ දහවල් ආහාරය සඳහා පලාවර්ග කිහිපයක්ම වෙයි. වරෙක කොටුකොළ සම්බෝලයක් ද, සාරණ සමඟ පරිප්පු ව්‍යංජනයක් ද, කොස්ඇට සහිත උයන ලද මුකුණුවැන්න ව්‍යංජනයක් ද තෙල් බඳින ලද කංකුං ව්‍යංජනයක් ද, අගුණකොළ මැල්ලුම් ද සහිත කෑම වේලක් මට භුක්ති විඳීමට ලැබුණි. කෑම වේලාවට ආරියදාස මහතාගේ නිවසට පැමිණෙන හැම කෙනෙකුටම මේ සඳහා ඇරයුම් ලැබේ. ඕනෑම වේලාවක නාරාහේන්පිට මැනිං ටවුන් නිවාස සංකීර්ණයේ නිවසට එන අයෙකුට ඉස්තරම්ම කළු කෝපි කෝප්පයකින් සංග්‍රහ කිරීමට ආරියදාස මහතාගේ සහෝදරයකුගේ පුතෙකු වූ සොමීත් ඔහුගේ බිරිඳ මාලිනිත් සැදී පැහැදි සිටියෝය.

ආරියදාස මහතා හා ‘ටයිම්ස්‘ ජාත්‍යන්තර පුවත් සඟරාව අතර තිබුණේ අවියෝජනීය මිත්‍රකමකි. මේ සඟරාව ලංකාවට ඒමට පෙර ඇමරිකන් තානාපති කාර්යාලය ලැබුණු එසැණින් ආරියදාස මහතාට ලැබීම නිසා අනිත් පුවත්පත්වලට වඩා ඉක්මණින් එම ලිපි පරිවර්තනය කොට එසැණින්ම ‘දිනමිණ‘ පුවත්පතේ පළ වෙන්නේ “අපේ විශේෂ ලියුම්කරුවෙකු“ යන ආරූඪ නාමයෙනි. “ටයිම්ස්“ සඟරාව අතේ නැතිව ආරියදාස මහතා සොයා ගැනීම නිකිණි සෙවීමක් බඳුය. ඔහුගේ මහානර්ඝ පුස්තකාලයේ විරාජමානව බැබළෙන්නේ 1955 සිට මෑත දක්වාම නොකඩවා ආදරෙන් කියවූ හම් බැම්මෙන් බඳින ලද 70 වයසැති “ටයිම්ස්“ එකතුවය. එහි පළ වූ ලෝක නායකයන්ගේ ලිපි, දේශපාලන හා සාමාජික ලිපි, ලෝකයේ වැදගත් සිද්ධි ඇති ටයිම්ස් සඟරාවේ පළ වූ ලිපි ඔහුට හොඳට මතකය.

“සුමී, අර රාක්කේ දෙවැනි පේළියේ හතරවන පොත ගන්නැයි“ ආරියදාස මහතා තම බෑණාට කියයි.

“හරියට හරි“ ය. ඔහු මතකය නිවැරදිය. එපමණක් නොව, තමාට අවශ්‍ය සඟරාවේ පිටකවරය හා කවරයේ කතාවේ (cover story) කරුණු ද මතකය.

විශ්වය සමඟ වසර 95 ක් බැඳී සිටි මේ මාධ්‍ය ඍෂිවරයා දැනුමින් පෝෂණය වී උණ ගසක් සේ නිහතමානිව නම්‍යශීලි වූ ආරියදාසයෝ හාස්‍යයට, විනෝදයට කැමති රසවතෙක්.

බොහෝ කලකට ඉහත දිනමිණ කර්තෘ මණ්ඩලයේ සේවය කරන කාලයේ දහවල් ග්‍රීෂ්මය නිසා සීතල දොඩම් වීදුරුවක් බීමට අවශ්‍ය විය. කර්තෘ මණ්ඩල කාර්යාල සහයකයකු වූ බණ්ඩයියාට කතා කළේය.

“තමා කැන්ටිමට ගොස් සීතල දොඩම් වීදුරුවක් බී මටත් එකක් අරන් එන්නැයි“ කියා ආරියදාස මහතා තමා බොන වීදුරුව බණ්ඩයියාට දුන්නේය.

විනාඩි පහකට පසු බණ්ඩයියා පැමිණියේ හිස් වීදුරුව ද රැගෙනය.

“කෝ බණ්ඩයියා මේකේ දොඩම්?“

“තමා නම් දොඩම් වීදුරුවක් බිව්වා. සර් ට දොඩම් එකක් ඉල්ලුවා, කැන්ටින්කාරයා කිව්වා දොඩම් ඉවරයි කියලා.“ ඔහු වීදුරුව මේසය උඩ තැබුවේය.

ආරියදාස මහතාට හිනාව නතර කර ගන්න බැරිව ගියා. මේ සිද්ධිය අසා සිටි අයට ද හිනා නොවී සිටිය නොහැකි වූහ.

ආචාර්ය ආතර් සී. ක්ලාක් සමඟ එඩ්වින් ආරියදාස

ආරියදාස මහතා සම්මන්ත්‍රණ සඳහා සහභාගි වීමට රට රටවල් වලට ගොස් තිබුණි. ඒ ගුවන් තොටුපළට ගොස් අහස් යාත්‍රාවක් නැඟුණු විට එකවරටම ඔහුට සිහිවන තමා කැමතිම ගීතය මුමුණන බව අපට කියා ඇත. ඒ රූපා ඉන්දුමතී ගැයූ ‘දේශයෙන් දේශේ බලා ඉගිළිලා යන්නෙපා“ ගීතයයි. හින්දි චිත්‍රපට ගීතවලට ද ප්‍රිය කළ ආරියදාසයන් වඩාත් කැමති ගීතය වූයේ “ටාජ් මෙහෙල්“ චිත්‍රපටයේ එන “ජොවදාකිය වෝ නිභානා පඩේගා“ ය. එය ඔහු උච්චාරණය කළේ “නා පලේගා“ කියාය. ඇතැම් ජුරි සභාවල කටයුතු කරද්දි අපව විනෝද කරමින් ඔහු මේ ගීතයේ ඒ කොටස ගයන්නේය.

එඩ්වින් ආරියදාස මහතා තමාට අවශ්‍ය කෙනෙකු ඒ අසලින් යන විට දකුණු අතේ ඇඟිලි තුනක් නවා අනික් ඇඟිලි දෙකෙන් “ඩුස්... ඩුස්... ඩුස්“ කියා වෙඩි තබන හඬක් නිකුත් කරයි. එවිට අවශ්‍ය තැනැත්තා ඔහු අසලට එයි. 1972 වසරේ ඔහු අසලින් යන මට වෙඩි තැබුවේය. සුපුරුදු අව්‍යාජ නිහතමානි සිනාරැල්ලෙන් ඔහු මා කැඳවා අසල තිබූ අසුන පෙන්විය. එකල භද්‍ර යෞවනයේ සිටි මා දිවයිනේ ශ්‍රේෂ්ඨ ලේඛකයන් හැම දෙනාටම පාහේ පොත් කවර නිර්මාණය කොට තිබුණි. මගේ තොරතුරු අසා දිනමිණේ කැමරා ශිල්පී වොලී පෙරේරාට කියා ඡයාරූපයක් ගන්නා ලෙස කීය. ආරියදාස මහතාගේ මේසය අසලම තිබුණේ ජයවිලාල් විලේගොඩගේ මේසයය.

දින දෙකක් ගත විය. ආරියදාස මහතා විසින් ‘ඩේලි නිවුස්‘ පත්‍රයට 1972 ඔක්තෝබර් 05 මගේ ඡායාරූපයක් සමඟ කර්තෘ වාක්‍ය තිබෙන පිටුවේ ප්‍රධාන ලිපියේ යට කොටස් Portrait of a young Cover artist නම් ලිපිය පළවී තිබුණි. මා වැනි අංකුර කලාකරුවකුට මෙසේ අනුග්‍රහයක් ලැබීම ඇදහිය හැකි ද? එය ඇදහිය හැකිය. මට මෙන්ම අංකුර කලාකරුවන්ට ඒ අනුග්‍රහය නොමඳව ලැබිණ. මට නං එය මහමෙරටත් උසය.

ආරියදාස මහතා “නවයුගය“ පත්‍රයේ කර්තෘ පදවිය භාර ගත්දා හවස් වරුවක ඔහු මට කතා කළේය. ඔහු මට ආදරයට කතා කළේ “රංජිත්කාරයා“ කියාය.

“රංජිත්කාරයා කියමින් ඔහු මට වෙඩි තැබුවේය. ඔහුගේ වෙඩි පහර මට ලෙහෙසියෙන්ම වැදුණේ මගේ මේසයට ඉදිරියේ ඔහුගේ මේසය තිබූ නිසාය.

“අපි නවයුගය පත්‍රයට අලුත් විශේෂාංගයක් රංජිත්කාරයට පවරනවා. ප්‍රසිද්ධ චරිතයක් ගැන 3 වෙනි පිටුවට ලියන්න හොඳ පින්තූරයක් අරගෙන.“

“චරිත හමුව“ නම් විශේෂාංගය 300 ක් මා විසින් ලියන ලදි. මෙවැනි දීර්ඝ විශේෂාංගයක් ලියුවේ මා විසින් ද? එය ලියා ඇත්නම් මා ද ඒ අතර සිටී. කෙසේ වෙතත් මේ තරම් උදාර චරිත ගැන ලිවීමට වියතුන් සභා මැද සිටීමට උපකාර කළ ආරියදාස නම් උදාර චරිතය මට කිසිදා අමතක නොවේ. ආරියදාස මහතා ඇති හැකි අයුරින් තරම තිරම නොබලා දක්ෂයන්ට අතහිත දුන්නේය. එවැනි චරිතයකට සතුරෝ සිටිය හැකි ද? ඒ හැමට සම මෙත් දක්වා උපේක්ෂාවෙන් ඔහු දරා සිටියේය. වරක් ආරියදාස මහතාට මදිපුංචිකම් කෙණෙහිලිකම් කළ අංශ ප්‍රධානියෙක් සිටියේය. මේ පුද්ගලයා කොතරම් ජනප්‍රිය ද යත් කර්තෘ මණ්ඩලයම ඔහුට විරුද්ධව පෙත්සමක් සකස් කොට මුලින්ම ආරියදාස මහතා වෙත ගෙන ගියේය.

“මිස්ටර් ආරියදාසට මේ මිනිහා කොයිතරම් හතුරුකම් කළාද? මුලින්ම ඔබතුමා අත්සන තියන්න.“

“බොහොම කනගාටුයි. මගේ ජීවිතයේ කිසිවෙකුට විරුද්ධව පෙත්නම් ගහලත් නෑ. බැණලත් නෑ. අත්සන් කරලත් නෑ. ඒ මනුස්සයා මට හතුරුකම් කළා තමයි. ඔහුට විරුද්ධව අත්සන් කළොත් මම ඒ මනුස්සයාගේ ගණයට වැටෙනවා. මම ආරියදාස. එයා නෙවෙයි. මම මේ කන්තෝරුවේ ඇතුළේ කිසිම දිනක නපුරක්, නරකක් කරලා නැහැ.“

ඒ ආරියදාස මහතාගේ හැටිය. සතුරා වුවද අවශ්‍ය උපකාරයක් ඉල්ලුවොත් ඔහු ඉතා හොඳින් ඉටුකර දුන්නේය. තනතුරු වරප්‍රසාද සොයා නොගිය ඔහුට ඒවා නොඅඩුව ලැබුණේය.

ආරියදාස දක්ෂ පරිවර්තකයෙකි. ඔහු ලියූ පරිවර්තන පොත් රැසකි. තම හොඳම මිතුරා වූ බෙනඩික්ට් දොඩම්පෙගම සමඟ ද ඔහු පරිවර්තනය කර ඇත. වීර මූර්ති, 2001 ලෝකය, කසාතොට කැන්දන් ආ මනාලිය, පැහැදිලිව සිතීම, ජයග්‍රහණයක පිය සටහන්, ජීමී කාටර්, ඇමරිකානු විප්ලපයේ අරුත, එවරස්ට් දිනපොත, හුදකලා කලාකරු ලෙස්ටර්, මා යාළුවන්ට කියන කතා, සිනමා ලිපි, ඇමරිකා ඉතිහාසයේ ජීවන වාර්තා, සාරධර්ම අධ්‍යාපනය මේ අතර වෙයි.

‘ධම්ම පදය‘ ඉංග්‍රීසියට නැගූ ඔහු බෞද්ධ පොත් රැසක් පරිවර්නය කර ඇත. මෙය අසම්පූර්ණ නාමාවලියකි. ජගත් හා දේශීය සම්මාන රැසක් දිනා ඇති ආරියදාසයෝ තම කලා ජීවිතය ඇරඹුවේ කුඩා නළුවකු ලෙස පාසල් වේදිකාවෙනි. ඔහු සිනමා අති ප්‍රබල රංගනය ඉදිරිපත්කළේ සමන් වීරමන්ගේ “ශ්‍රී සිද්ධාර්ථ ගෞතම“ චිත්‍රපටයේ රාජ සභාවේ ප්‍රධාන බමුණා ලෙසය.

Comments