විඳවමින් විඳවන ළමා මවුවරුන් | සිළුමිණ

විඳවමින් විඳවන ළමා මවුවරුන්

කුමාරි 16 හැවිරිදි වියේ පසුවු පාසල් සිසුවියකි. මොනරාගල දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මානයක පදිංචිව සිටි ඇය සිවු දෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමහල් ගැහැනු දරුවා වුවාය. කුමාරිට බාල සහෝදරියක් හා සහෝදරයකු සිටියහ. පියාට හරිහමන් රැකියාවක් නොතිබු අතර ඔහු දරු පවුල නඩත්තු කරනු ලැබුවේ ගොවිතැන්බත් කිරීමෙන් ලැබෙන සොච්චම් මුදලනි. පවුලේ බඩවියත රැකගැනිම සඳහා එම මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නොවිය. කුමාරිගේ මවද ගොවිතැන් කටයුතුවලට උදව්වුවාය. මේ කාලයේ දි මොනරාගල දිස්ත්‍රික්කය පුරා පැවති දැඩි නියඟය නිසා කුමාරිලාගේ හේන් හා කුඹුරු වගාවන් හානියට පත්විය. පවුලේ අගහිඟකම් ඇති වන්නට විය. නියං රකුසාට සිය වගාවත් බිලිවිම නිසා කුමාරිගේ පියා මෙන්ම මවද දැඩි විස්සෝපයට පත්ව සිටියහ. ඇතැම් දිනවලදි කුමාරිගේ පවුලේ අය තුන්වේල වෙනුවට එක් කෑම වේලකින් සප්පායම් වුහ.

කුමාරි මෙන්ම ඇයගේ බාල නැඟණිය හා බාල සහෝදරයා පාසල් දරුවන් වු අතර මෙම දරුවන්ට අවශ්‍ය පාසල් උපකරණ ලබාදිමට පවා කුමාරිගේ පියාට වත්කමක් නොවීය. කුමාරි ඉගෙනිමට දක්ෂ සිසුවියකි. ඇය සෑම වාර විභාගයකදීම පන්තියේ පළමුවැනියා වුවාය. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් කුමාරිගේ මව දැඩිසේ කැපවුවාය. 'කුඹුරු ගොවිතැන් කරලා අපිට කවදාවත් දරු තුන්දෙනාගේ ඇස්පාදන්න බැරිවෙනවා. මම ඇඟලුම් කම්හලක රැකියාවට යනවා' කුමාරිගේ මව තම සැමියාට කිවාය. ඔහුගෙන්ද ඒ සඳහා විරෝධයක් නොවිය. කුමාරිගේ මව මොනරාගල ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කම්හලක ඇඟලුම් සේවිකාවක් ලෙස රැකියාවට ගියාය. ඇතැම් දිනවලදි සේවාමුරය අනුව ඇයට රාත්‍රි කාලයේ දිත් සේවය කිරිමට සිදුවිය.

කුමාරිගේ මව ඇයට ඉඩ ලැබුණු හැමවිටකදිම දරුවන් ගැන සොයා බැලිය. ඒ වනවිට කුමාරි වැඩිවියට පත්ව සිටි දැරියකි. කුමාරිගේ වයසට වඩා ඇය තුළ අමුතු පෙනුමක් දක්නට විය. ඕ රූමත් දැරියක් වුවාය. කුමාරිගේ පාසලේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි අසංක කුමාරිගේ නිවසට යාබදව පදිංචිව සිටියේය. අසංකද ඉගෙනිමට දක්ෂයෙකි. අසංකගේ පියා රජයේ කන්තෝරුවක රැකියාව කළේය. කුමාරිගේ පවුලේ අය මෙන්ම අසංකගේ පවුලේ අය අතර පැවතියේ සමීප සම්බන්ධතාවයකි. ඒ අසල්වැසියන් වු නිසාය. කුමාරි හා අසංක අතර පැවතියේ දැඩි හිතවත්කමකි.

අසංක කුමාරිගේ නිවසට පැමිණ ඇයට පාසලේ පාඩම් වැඩ කියා දුන්නේය. කාලය කෙමෙන් ගෙවියන්නට විය. අසංක අ.පො ස සාපෙළ විභාගයට පෙනී සිටි අතර ඒහි ප්‍රතිපල අනුව ඔහු විෂයන් 10 ම ඒ සමාර්ථ ලබාගෙන විශිෂ්ට අයුරින් සමත් වුයේය. මේ අතර කුමාරි එකවරම වෙනස්වන්නට විය. අසංක කුමාරිගේ නිවසට පැමිණෙනවාට කුමාරි මෙන්ම කුමාරිගේ පියාද එතරම් කැමැත්තක් දැක්වුයේ නැත. කිසිදු හේතුවක් නොමැතිව කුමාරිගේ පවුලේ අය අසංකගේ පවුලේ අය සමඟ අමනාප වුහ. ඉදහිට මෙම පවුල් දෙක අතර සණ්ඩු සරුවල්ද ඇතිවිය. මේ අතර කුමාරි එක් දිනක උදැසන එක දිගට වමනය දමන්නට වුවාය. කුමාරිගේ මව ඇයට ප්‍රතිකාර ලබාදිම සඳහා පුද්ගලික වෛද්‍යවරයකු වෙත රැගෙන ගියාය. කුමාරිගේ මුත්‍රා සාම්පලයක් පරික්ෂා කිරීමට පුද්ගලික වෛද්‍යවරයා කටයුතු කළේය. කුමාරි ගැබ්ගෙන සිටියාය. ඇය රෝහල්ගත කිරිමට පියවර ගැණුනි.

“කවුද දුවේ නුඹට මේ අපරාධය කළේ“ කුමාරිගේ මව ඇයගෙන් විමසන්නට විය. “අම්මේ අසංක අයියා“ කුමාරි කඳුළු සලමින් කිවාය. මේ කථාවෙන් කුමාරිගේ මව දැඩි කෝපයට පත්ව සිටියාය. එවකට මොනරාගල රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ලෙස රුවන් නානායක්කාර කටයුතු කරමින් සිටියේය. කුමාරි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් නානායක්කාර වෙත අධිකරණ වෛද්‍ය පරික්ෂණය සඳහා ඉදිරිපත් කරනු ලැබිය තමන් අසංක නැමති පාසල් සිසුවකු විසින් දුෂණයට ලක් කළ බව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ඉදිරියේ ද කුමාරි කඳුළු සලමින් දිගින් දිගටම කිවාය. කුමාරි සඳහන් කළ ප්‍රකාශ අනුව මේ පිළිබඳ පොලිසිය දැනුවත් කිරිමට විශේෂඥ අධිකරණ වෛද්‍ය වරයා විසින් කටයුතු කළේය. ඒ අනුව අසංක නැමති පාසල් සිසුවා පොලිසිය මඟින් අත්අඩංගුවට ගනු ලැබිය. අසංක පැහැබර අනාගතයකට උරුමකම් කී සිසුවෙකි. අසංක අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. බාලවයස්කාර දැරියක් දුෂණය කොට ගැබිනියක් බවට පත්කිරීම සම්බන්ධව අසංකට එරෙහිව නීතිමය කටයුතු අඛණ්ඩව කරගෙන ගියේය. තමන් මේ දුෂණයට සම්බන්ධ නොමැති බව අසංක දිගින් දිගටම අධිකරණය ඉදිරියේ කිවේය. ඩි.එන්.ඒ පරික්ෂණයක් මඟින් කුමාරිට ලැබීමට සිටින දරුවාගේ පිතෘත්වය නිශ්චය කරගත හැකිබව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් අධිකරණයට දැනුම් දුන්නේය. එහෙත් කුමාරිට දරුවා ලැබෙන තෙක් ඇය රෝහලේ තබා ගැනීමට අවස්ථාවක් නොවිය. මක්නිසාදයත් මෙසේ දූෂණයට ලක්වී ගැබිනියන් බවට පත්වන ළමා මවුවරු සඳහා සහන සැලසිම මෙන්ම අවශ්‍ය ප්‍රතිකාර අධිකරණ නියමයන්ට අනුව ලබාදි නැවත සමාජගත කිරිම සහ ළමා ගර්භණි නිවාසයන් රජයේ කිසිදු රෝහලක නැත.

මෙවැනි ළමා මවුවරුන් වෙනුවෙන් රාජ්‍ය නොවන සංවිධාන මඟින් පවත්වාගෙන යන නුවර තැන්නේකුඹුර සහ හාරගම හා මොරටුව මා සෙවණ ළමා ගර්භණි නිවාස 02ක් තිබුණි. එහෙත් එවායේ ඉඩකඩ නොමැති වීම නිසා කුමාරි එම ගර්භණි ළමා නිවාසවලට ඇතුළත් කිරිමට නොහැකිවිය. මාස දහයක කාලයක් රෝහල තුළ තබාගැනිමට නොහැකි නිසා කුමාරි නිවස වෙත රැගෙන යෑමට ඇයගේ මවුපියන් කටයුතු කළහ. මේ සමඟ අසංකට මෙන්ම ඔහුගේ පවුලේ අයට ගම්මුන්ගෙන් දැඩි විරෝධයක් එල්ලවන්නට වුහ. අසංකගේ පවුලේ අය ගම්මුන් කොන් කළහ. ඒ විතරක් නොව මෙම සිද්ධිය මුල්කරගෙන රණ්ඩුසරුවල් පවා ඇතිවිය. අසංකට මෙන්ම අසංකගේ පවුලේ අයට ගමේ පදිංචිව සිටිමට පවා ගම්මුන් ඉඩ ලබා නොදුන්හ. අසංකගේ අධ්‍යාපනය කඩාකප්පල් විය. නොකළ වරදකට පැටලවිම නිසා අසංක මානසිකව දැඩි පීඩනයට ලක්ව සිටියේය. කිසිදු අධිකරණ තීන්දුවක් නොමැතිව දැරියගේ ප්‍රකාශය මත පදනම්ව ගම්මුන් අසංකගේ පවුලට විරෝධය දැක්වුහ. ගම්මුන්ගෙන් සිදුවන කෙනෙහිලිකම් ඉවසාදරාගැනිමට නොහැකි තැන අසංකලා පදිංචිව සිටි නිවස විකුණා පවුල පිටින් වෙනත් පළාතකට ගියහ.

අසංකට සමාජ විරෝධතාවයක් පැවති නිසා ඔහු තමන් ඉගෙනුම ලැබු පාසලින්ද අස්කරනු ලැබිය. අසංක පුද්ගලික පාසලකින් ඉතා අපහසුවෙන් උසස්පෙළ හැදැරුවද අධ්‍යාපන කටයුකු සාර්ථක කරගැනීමට නොහැකිවිය. මාස ගණන සම්පූර්ණවීමෙන් පසු කුමාරි දරුවකු ප්‍රසුති කළාය. ඉන්පසු විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් නානායක්කාර විසින් දරුවාගේ පිතෘත්වය තහවුරු කරගැනීම සඳහා කුමාරිගේ හා අසංකගේ ඩි.එන්.ඒ පරික්ෂණයක් කරනු ලැබිය. ඩි.එන් ඒ පරික්ෂණය අනුව කුමාරිගේ හා අසංකගේ ඩි.එන්.ඒ ගැළපුනේ නැත. ඩි.එන්.ඒ පරීක්ෂණය අනුව අසංක තමන්ට එල්ලවු චෝදනාවෙන් නිදහස් වි තිබුණි. අධිකරණය මඟින්ද ඔහු නිදොස්කොට නිදහස් කරනු ලැබිය. එහෙත් ඒ වනවිට මෙකි පාසල් සිසුවාට සිදුවිය යුතු වින්නැහිය සිදුවි තිබුණි. මෙකී දැරියගේ දරුවගේ පිතෘත්වය සොයාගැනිම සඳහා විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් නානායක්කාර විසින් දිගින් දිගටම පරික්ෂණ සිදුකරනු ලැබිය. අවසානයේ කුමාරිගේ පියාගේ ඩි.එන්.ඒ සාම්පල් සමඟ සංසන්දනය කිරිමට කටයුතු කළේය. ඒවා ගැළපුණි. කුමාරි දුෂණයට ලක්කොට තිබුණේ ඇගේ පියා විසිනි. ඒ බව ඩි.එන්.ඒ පරික්ෂණයේදි අනාවරණය විය. මේ එක් කථාන්දරයකි. තවත් මෙවැනි සංවේදි සිද්ධින් ඕනෑ තරම් කිවහැකි බව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් නානායක්කාර කියන්නේය.

මෙය මොනරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වු තවත් එක් සිද්ධියකි. ඇය 16 හැවිරිදිවියේ පසුවු දැරියකි. ඕ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට සුදානමින් සිටියාය. විභාගයට පෙනී සිටීමට මාසයකට පෙර ඇය ගැබ්ගත්තාය. අධික වමනය නිසා දැරිය රෝහල්ගත කෙරිණි. ඇය ගැබ්ගෙන තිබුණේ තම සහෝදරයා අතිනි. “අනේ ඩොක්ටර් මේ කථාව ගෙදරට කියන්න එපා“ දැරිය බැගැපත්වුවාය. අවසානයේ රෝහලේ සිට සා පෙළ විභාගයට යාමට අවශ්‍ය පහසුකම් සලසා දීමට කටයුතු කෙරිණි. එහෙත් ඇයට රෝහලේ වාට්ටුවේ සිට විභාගය ලිවිමට යෑමට හැකිවුයේ දින දෙක තුනක් පමණි. “බබෙක් හමුවෙන්න ඉන්න ළමයෙක් විභාගය ලියන්න යනවා.“ මේ කථාව රෝහල තුළ ලැව්ගින්නක් සේ පැතිරියන්නට විය. මේ බව දැරියට ද දැනගන්නට ලැබුණි. ඇය මේ නිසා දැඩි කම්පනයට පත්විය. ඇය සිය නිවසට ගොස් ගෙළ වැළලාගෙන දිවිහානිකරගැනිමට උත්සාහ කළාය. මේ සිද්ධිය දැක අසල්වැසියකු විසින් ඇයගේ දිවි බේරාගැනීමට කටයුතු කළේය.

විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් නානායක්කාර සඳහන් කරන ආකාරයට ලංකාවේ වසරකට ළමා අපයෝජන 10000ක් පමණ ජාතික ළමාරක්ෂක අධිකාරියට වාර්තා වන්නේය. ඒ අතුරින් මොනරාගල, පොළොන්නරුව අනුරාධපුර වැනි දිස්ත්‍රික්කවලින් ළමා අපයෝජන සිද්ධින් විශාල වශයෙන් වාර්තාවන බව ඔහු පෙන්වා දෙයි. ළමා අපයෝජන හා හිංසන නිසාවෙන් වසරකට මොනරාගල දිස්ත්‍රික්කය තුළ ළමුන් 500 දෙනෙකු පමණ පාසල් අධ්‍යාපනය අතරමග නවතා දමන බව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් නානායක්කාර මහතා පවසයි. ඒ විතරක් නොව මොනරාගල දිස්ත්‍රික්කයේ වසරකට ළමුන් 10 දෙනෙකු පමණ ළමා මවුවරුන් බවට පත්වෙන බව ඒ මහතා පවසයි. ලංකාවෙන් වසරකට ළමුන් 50ක් පමණ ළමා මවුවරුන් බවට පත්වෙන බව හඳුනාගෙන ඇත්තේය.

ඒ කොයිහැටි වුවද ගැබ්ගන්නා ළමා මවුවරුන් සඳහා අවශ්‍ය රැකවරණය ලබාදිමට රැඳවුම් මධ්‍යස්ථානයක් කිසිදු රෝහලක දක්නට නැත. ළමා අපයෝජන හා කාන්තා හිංසනයට ලක්වුවන්ට නීතියේ පිළිසරණ ලබාදි අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට යොමුකරන අතරතුර ඔවුන් පුනරුත්ථාපනය කොට යළි සමාජගත කිරිමේ පසුබිම සකස් කළ යුතුය. මෙසේ අපයෝජනයට හා ළමා මවුවරුන් බවට පත්වුවන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදිමට රෝහල් පහසුකම් ප්‍රමාණවත් අයුරින් තිබේ. එහෙත් ගැබ්ගන්නා ළමා මවුවරුන් වෙනුවෙන් ළමා ගර්භණි නිවාසයන් නොමැතිවිම නිසා දිගුකාලින ප්‍රතිකාර හා රැකවරණය ලබාදීම මානසික තත්ත්වය යථාතත්වයට පත්වන තුරු ආරක්ෂා කිරිම ගර්භණි දැරියන්ට නේවාසික පහසුකම් සැලසිම යන කරුණුවලදි නිසි ක්‍රමවේදයක් සකස් කිරීම අපහසුව පැවතුණි.

“2017 වර්ෂයේ පැවති මොනරාගල දිස්ත්‍රික් ළමා සංවර්ධන කමිටුවේ දි සියලු දත්ත සහිතව මා මෙම තත්ත්වය ගැන පැහැදිලි කළා. එවකට ළමා සංවර්ධන ඇමතිනිය වූ චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියගේ ප්‍රධානත්වයෙන් තමයි රැස්වීම තිබුණේ. එම රැස්වීමට සහභාගි වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අශෝකා අලවත්ත මෙම ප්‍රශ්නයට මැදිහත්වුණා. ඒ අනුව ලංකාවේ පළමුවරට රජයේ මැදිහත්විමෙන් ළමා ගර්භණි නිවාසයක් මොනරාගල රෝහල් පරිශ්‍රය තුළ ඉදිකිරිමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කරලා දුන්නා. පළමු අදියර සඳහා ලක්ෂ 158ක මුදලක් වෙන් කරලා දුන්නා. 20 දෙනෙකුට නේවාසික පහසුකම් සහිතව මෙකි ළමා ගර්භණි නිවාසය ඉදිකිරිමට සැලසුම් සකස්කළා. 2018 වර්ෂයේ 07.12වැනි දින පළමු අදියරේ ඉදිකිරිම් කටයුතු අවසන් කරලා භාවිතය සඳහා මොනරාගල රෝහලට භාරදුන්නා. 2018 වර්ෂයේ 07.26 වැනි දින ආරක්ෂිත වැටක් සඳහා මායිම් සලකුණු කරගැනිමට යාමේ දි එහි භුමිය විශාල වශයෙන් සංශෝධනය කරලා තිබුණා. ඒ නිසා මායිම් වැට ගැසිමට හැකි වුණේ නැහැ. මේ සංශෝධනයට සෞඛ්‍ය අමාත්‍යංශයේ හා ඉඩම් අමාත්‍යංශයේ අනුමැතිය හිමි වුණේ නැහැ. පසුව අක්කර 22ක් වු මෙම ඉඩම 2019 10.02 දින අංක2143/22 දරන අතිවිශේෂ ගැසට් නිව්ෙදනයෙන් 38 වැනි වගන්තියේ අතුරුවිදාන යටතේ වන 2019 අංක 199 දරන ආඥාව මගින් රජයට පවරා රෝහල් සංවර්ධන කටයුතු සඳහා භාවිතා කිරීමට අනුමත කර තියෙනවා.

රජයට පවරාගත් ඉඩමේ භුක්තිය රෝහල් පරිපාලනයට භාරනොදි එහි අනවසරයෙන් පදිංචිව සිටි හා භුක්තිවිඳි 06 දෙනෙකුට අක්කර 7.5 බැගින් බෙදාදීම නිසා ළමා ආරක්ෂිත නිවහනට ආරක්ෂිත වැටක් ඉදිකිරීමට අපහසුවී තියෙනවා. මෙම ආරක්ෂිත නිවහනට පිවිසෙන මාර්ගය එම භුමියේ සිටින අනවසර පදිංචිකරුවෙකුට පැවරිම නිසා එම මාර්ගය ඉදිකිරිමද අතරමග නතර කොට දමා තියෙනවා. ලිංගික අපයෝජනයට ලක්විම නිසා මානසික ව්‍යාකූල තත්ත්වයට පත්ව චුදිතයන්ගේ බලපැමට ලක්විය හැකිදරුවන් හා යෞවන ගර්භණි දැරියන්ගේ ආරක්ෂාව සඳහා රෝහල් කාර්යමණ්ඩලය යෙදවිම ආරක්ෂිත වැටක් ඉදිකරන තෙක් ක්‍රියාත්මක කිරිමට නොහැකිවෙලා තියෙනවා. රජයට පවරාගත් ඉඩමේ භුක්තිය මොනරාගල දිස්ත්‍රික් රෝහල වෙත භාරදිලා එහි පිවිසුම් මාර්ගය අනවසර පදිංචිකරුවන්ගේ පරිහරණයෙන් ඉවත් කරලා නිදහස් කරදීම දිගින් දිගටම ප්‍රමාද වෙලා තියෙනවා. මේ නිසා වසර දෙකක් තිස්සේ ආරක්ෂිත ළමා නිවහන භාවිතයට ගැනිමට නොහැකිවෙලා තියෙනවා. ළමා ගැබිනි මවුවරුන් පමණක් නෙවෙයි. විදේශිය රටවල ගෘහ සේවිකාවන් වශයෙන් සේවයට ගොස් සිටි අතැම් වැඩිහිටි කාන්තාවන් මෙරටට පැමිණෙන විට ගැබ්ගෙන තියෙනවා. එම කාන්තාවන්ට නිවසට යන්න බැහැ. ඔවුන් සමාජයෙන් වසන් වී සිටීම සඳහා උත්සාහ කරනවා. මෙවැනි ඇතැම් කාන්තාවන් මොනරාගල ප්‍රදේශයේ අඩු මුදලට කුලියට නිවාස අරගෙන පදිංචිවෙලා ඉන්නවා. එවැනි සිද්ධින්ද අපිට වාර්තා වුණා. එවැනි කාන්තාවන්ටද මෙහි පහසුකම් සලසන්න පුළුවන් යැයි“මෙකි ළමා ගර්භණි නිවහන ඉදිකිරීම සඳහා මුල්වි සුවිශේෂ වු කාර්යභාරයක් කරනු ලැබු දැනට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වශයෙන් කටයුතු කරන රුවන් නානායක්කාර එසේ සඳහන් කළේය.

 

Comments