වක්කඩින් අත සෝදා කුඹුරේ දී නාමයෝජනා අත්සන් කළ ඩී ඒ | සිළුමිණ

වක්කඩින් අත සෝදා කුඹුරේ දී නාමයෝජනා අත්සන් කළ ඩී ඒ

1936 රාජ්‍ය මන්ත්‍රණ සභාව සඳහා හම්බන්තොටින් ඉදිරිපත්ව සිටියේ වීර කැටියේ ඩී.එම්. ය. ගිරුවා හා මාගම් පත්තුවල ගැමියන්ගේ අසරණකම් ගැන නිතර කඳුළු හෙළූ රාජපක්ෂ මහතා තම ඡන්ද පෙට්ටියේ පාට වශයෙන් තෝරා ගත්තේ කුරක්කන් කරලේ පාට වූ දුඹුරු පාට ය.

මේ ඡන්දයෙන් රාජපක්ෂ මහතාට ඡන්ද 17,046 ක් ලැබූ අතර ප්‍රතිවාදි පෝලියර්ට හා වික්‍රමනායකට ලැබුණේ ඡන්ද 8,363 කි. දෙවැන්නාට වඩා ඩී. ඇම්. ට 12,097 වැඩි ඡන්ද ප්‍රමාණයකින් රාජ්‍ය මන්ත්‍රණ සභාවට පත් විය. උග්‍ර අධිරාජ්‍ය විරෝධියෙකු වූ ඩී. එම්. රාජපක්ෂ මහතාගේ සමීපතමයන් වී ඇත්තේ ඇන්. ඇම්. පෙරේරා සහ පිලිප් ගුණවර්ධන මන්ත්‍රීන් ය. ජනතාව ඩී. ඇම්. හැඳින්වූයේ “රුහුණේ සිංහයා“ නමිනි.

සිර ගෙදරින් නිදහස්ව ගමට පැමිණි ඩී. ඇම්. ගිරුවාපත්තුවේ ගැමියන් විසින් කුරක්කන් වලින් ගෙතූ මල්මාලා රැසකින් පිළිගත් බවත් ඔහු තම ආදරණීය ගැමියන් අමතා කළ කතාව නිම කර ඇත්තේ මේ කවියෙන් බව පියසේන මහතාගේ “සිළුමිණ“ ලිපියේ (1962 ඔක්තෝබර් 21) සඳහන්ව තිබුණි.

“ගිරුවා දනන් වෙත හද බැඳි කරුණාවෙන්

මගෙ ජීවිතය උන් සේවෙට අරුණාවෙන්

ජාතික අනුරාගෙ හද තුළ පිරුණාවෙන්

ඉන්පසු මා ඕන සබයක මැරුණාවෙන්“

ඩී. ඇම්. රාජපක්ෂ මේ පැතුම ඒ අයුරින්ම සිදුවීම දෛවයේ සරදමක් වැනිය. දිනය 1945 මැයි 18 වෙනිදා ය. රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි ජෝර්ජ් රාජපක්ෂට බිබිලේ මන්ත්‍රී ඩබ්ලිව්. දහනායකගෙන් දුරකතන ඇමතුමක් ලැබිණ.

“තාත්තාට අමාරුයි ඉක්මනට රාජ්‍ය මන්ත්‍රණ සභාවට එන්න.“

රාජ්‍ය මන්ත්‍රණ සභාවේදීම අවසන් හුස්ම හෙළු ඩී. එම්. රාජපක්ෂගෙන් හිස් වූ හම්බන්තොට ආසනයට රුහුණේ ජනතාව ඉල්ලා සිටියේ ඩී. එම්. ගේ බාල සොහොයුරා වූ ඩී. ඒ. රාජපක්ෂය. ගොවිතැනට මුළු හදින්ම ආදරය කළ ඩී. ඒ. කුඹුරේ ලියැදි බඳිමින් සිටි අවස්ථාවක ගිරුවාපත්තුවේ ජනතාව එහි පැමිණියේ නාම යෝජනා ඉදිරිපත් කිරීමට අත්සන් ලබා ගැනීමට ය. අකමැත්තෙන් ඔහු තම ආදරණීය ජනතාවගේ ඉල්ලීමට පිටු නොපෑ ඩී. ඒ. එදා වක්කඩින් ගලා එන දිය දහරින් දෙඅත් සෝදා කුඹුරේදීම නාමයෝජනා පත්‍රයට අත්සන් කර ඇත.

1905 මාර්තු මස 30 වෙනිදා උපත ලැබූ දොන් එල්වින් රාජපක්ෂ මහතා ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයේ ඉගෙනගත් බවත්, විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා කළ අතර පාපන්දු කණ්ඩායමේ නායකයා ලෙස ක්‍රියා කළ බව ලේක් හවුසියෙන් ප්‍රකාශිත “ලංකා පාර්ලිමේන්තුව - 1956“ කෘතියේ සඳහන් වෙයි. ඉඩම් හිමි වැවිලිකරුවෙකු වූ ඒ මහතා සමූපකාර ව්‍යාපාරයේ නියමුවකු ලෙස වූ අතර ගිරුවාපත්තුවේ දානපතියෙකු ලෙස ද ප්‍රකටව සිටි බව එහි සඳහන් වී තිබුණි. ඒ තම වැඩිමහල් සොහොයුරාගෙන් හිස් වූ හම්බන්තොට ආසනයට 1945 නිතරගයෙන් පත්වීම විශේෂයි. ඔහුට ජනතාව අතර කොතරම් ආකර්ෂණයක්, ආදරයක් තිබුණාදැයි මැන ගැනීමට මෙය කදිම සාධකයකි. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ දී තමා ලත් අත්දැකීම් ඇසුරෙන් කාෂිකර්මය පිළිබඳ කාරක සභාවේ සාමාජිකයකු ලෙස රුහුණු ජනතාව වෙනුවෙන් ඩී. ඒ. හඬක් නැගීය.

1947 මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂයෙන් බෙලිඅත්ත ආසනය තරග කළ ඒ මහතා 14,007 ක් ලබා වැඩි ඡන්ද 8,022 කින් නීතිඥ ඩී. පී. අතපත්තු පරාජය කොට ජය ගෙන 1952 මහා මැතිවරණයෙන් ද එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කොට ඡන්ද 17,382 ලබා ප්‍රතිවාදියා වැඩි ඡන්ද 3,632 කින් පරාජය කළේය.

1951 වසරේ බණ්ඩාරනායක මහතා රජයේ පදවි තානාන්තර හැර පියා විපක්ෂයට යන විට රාජපක්ෂ ද විපක්ෂයට ගිය අතළොස්සකගෙන් එක් මන්ත්‍රීවරයෙක් විය. රාජපක්ෂ මහතා 1956 මහා මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බෙලිඅත්ත ජය ගන්නේ ඡන්ද 26,215 ක් ලබා ප්‍රතිවාදියට වඩා වැඩි ඡන්ද 15,335 ක් ලබාගෙන ඉඩම් හා ඉඩම් සංවර්ධන නියෝජ්‍ය ඇමතිවරයා වීමෙනි. 1960 ජූලි මහා මැතිවරණයෙන් ශ්‍රී. ල. නි. පක්ෂයෙන් බෙලිඅත්ත ආසනයට තරග කොට ඡන්ද 15,121 ලබා ප්‍රතිවාදියා වැඩි ඡන්ද 1,047 කින් පරාජය කොට ඇත. එතුමා නියෝජ්‍ය කථා නායක පදවිය ද හෙබ විය.

ඩී. ඇම්. රාජපක්ෂ හා ඩී. ඒ. රාජපක්ෂ ගේ පියා වූ (දොන් දාවිත් රාජපක්ෂ) විදානේ ආරච්චි මහතා ගැන තොරතුරු “සිළුමිණ“ ප්‍රධාන කතුවරයාව සිටි ඇස්. සුබසිංහ (සිරිවර්ධන සුබසිංහ) මහතා 1966 මාර්තු 13 වෙනිදා “සිළුමිණ“ පුවත්පතට ලියා තිබුණේ ‘රටට අතදුන් රුහුණු පවුල් ‍: රුහුණේ සිංහයා‘ නම් විශේෂාංගයෙනි.

“වෙල් විදානේකම් කළ ද ඔහු පිත්තල බොත්තම් පේළිය රැක ගැනීමට සෙසු ආරච්චිලා මෙන් දුප්පතුන් පෙළු අයෙක් නොවීය.

හැම සටනකදීම ඔහු ගත්තේ දුප්පතාගේ පක්ෂයයි. එපරිද්දෙන් සාධාරණව තම රාජකාරිය කළ තවත් විදානේ රාලහාමි කෙනකු එකල සොයා ගැනීම නිකිණි සෙවීම මෙන් විය.

මැරවර බලය නිසා ඉදිමී සිටි බොහෝ ගම්පතිවරු අහලකටවත් කිට්ටු වීමට නොහැකිව තිබුණු එවන් අවධියක දී තම ඕනෑ එපාකම් ඉටුකරවා ගැනීමට එදා ගම්වැස්සෝ විදානේ රාලහාමි සොයා ආහ.

විදානාරච්චි රාලහාමි සහ බිරිය දෝන ගිමාරා වීරකෝන් රත්නායක ළමාතැනී ඇරඹූ සමාජ සේවා සටනට ඔහුගේ පුතුන් දෙදෙනා ඩී. ඇම්. හා ඩී. ඒ. තුළින් බිහිවූයේ අයුක්තිය ඉදිරියේ සිංහ වෙස් ගෙන සටන් කරන අතීත සෙනවියන් බව පවසා ඇති සුබසිංහ මහතා ලක්දිව යටත් විජිතයක්ව පැවැති එකල රුහුණේ විශේෂයෙන්ම ගිරුවාපත්තුවේ වැස්සෝ වදුල් ගැහී නිවට ජීවිත සටනක යෙදුණු හැටි නේවා දී ඇත.

ඩී. ඒ. රාජපක්ෂ මහතා බණ්ඩාරනායක රජයේ ඉඩම් හා ඉඩම් සංවර්ධන නියෝජ්‍ය ඇමතිවරයා ලෙස ගොවිතැන ගැන විශේෂ අවධානය කොට රුහුණට පමණක් නොව ලංකාවේ නො දියුණු ගම්මානවල අක්කර 40,000 කට අධික ප්‍රමාණයක් පැඟිරි වතු ඇති ජනතාවගේ ආර්ථික සංවර්ධනයක් ඇති කිරිමට හැම ආධාරයක්ම කළේය. කෘෂිකර්ම හා ආහාර අමාත්‍යව සිටි පිලිප් ගුණවර්ධන මහතාට නිරතුරුව සහාය දුන් ඩී. ඒ. රාජපක්ෂ “කුඹුරු පනත“ සාර්ථක කර ගැනීමට හැම සහයක්ම ලබා දුන්නේය.

ඩී.ඒ රාජපක්ෂ කුරක්කන්වලට දැක්වූයේ අසීමිත ආදරයකි. කුරක්කන්වල පෝෂ්‍යදායක බව ද රුහුණේ ගිරුවාපත්තුවේ කුරක්කන්වල ඇති විශේෂය ගැනත් ඒ ආශ්‍රිත ජන කවි ගැනත් ඩී. ඒ. රාජපක්ෂට ඇති ඇල්ම සංකේතවත් වන අයුරු ගැන ඔහු විසින් 1961 පෙබරවාරි 19 වෙනිදා “සිළුමිණ“ පත්‍රයට “කටට රහට කුරක්කන්“ යන මැයෙන් අගනා ලිපියක් ලියා තිබුණි.

ඒ ලිපිය කියවද්දී එතුමා තුළ ඇති සාහිත්‍ය රසයත්, සෞන්දර්ය අගයත් අපට මොනවට පැහැදිලි වෙයි. එය ඇරඹෙන්නේ මෙසේ ය.

“රුහුණ කවදත් කුරක්කන් ගැන ප්‍රසිද්ධි ය. ගිරුවාපත්තුව එයිනුත් වඩා ප්‍රසිද්ධියක් උසුලයි. පෙබරවාරිය ලබනවාත් සමඟම රුහුණේ කුරක්කන් අස්වැන්න කපා ගන්නා කාලය බැවින් රන්වන් කරලින් යුතු සරුසාර කුරක්කන් හේන් වලින් නික්මෙන ගෙවිලියන්ගේ කන්කළු ගීත නාදය නවම් මස සිසිල් සුළඟ හා මුසු වී රුහුණේ ගුවන් තලයේ පාවී යයි.“

බතට වඩා පෝෂ්‍යදායි ආහාරයක් වූ කුරක්කන් තවමත් ගිරුවා වැසියන්ගේ ප්‍රධාන ආහාරය බව මීට වසර 60 කට පෙර සඳහන් කළ රාජපක්ෂ එය විටමින් පදාර්ථය බහුලව ඇති ධාන්‍ය වර්ගයක් නිසා දැන් දැන් නාගරිකයෝ ද ප්‍රයෝජනයට ගන්නා බව පවසා තිබුණි.

බහු මුත්‍ර රෝගීන්ට කුරක්කන් විශේෂයෙන්ම ගුණදායක බව පවසා ඇති ඔහු කුරක්කන්වල අගය ද ගෙවිලියන් කී පැල්කවිද,

ඩී. ඒ. රාජපක්ෂ කුරක්කන් ගැනත් කුරහන් ගොවියා විසින් කී පැල් කවි, මෙන්ම කුරහන් පිටි වලින් සාදා ගන්නා කුරහන් තලපත්. එය කැමට සාඳන ආනම ගැනත් මේ ලිපියේ වැඩිදුරත් සඳහන් කර ඇත.

ගොවිතැන මෙන්ම සූප ශාස්ත්‍රය ගැන ද දැනුමකින් ද, කාව්‍ය රසාස්වාදයකින් සහිත නිර්ව්‍යාජ ගැමියකු ඩී. ඒ. රාජපක්ෂ චරිතයෙන් මතුවෙයි. එතුමා 1967 නොවැම්බර් 07වෙනිදා ජීවිතයෙන් සමු ගත්තේය.

 

ජයාරූප පිටපත් කිරීම ලාල් සෙනරත්

 

Comments