අඳුරේ සිටි මිනි­සුන්ට ආලෝ­ක­යක් වූ දිඹුලාගල හාමුදුරුවෝ | සිළුමිණ

අඳුරේ සිටි මිනි­සුන්ට ආලෝ­ක­යක් වූ දිඹුලාගල හාමුදුරුවෝ

 

මේ අහිංසකයන්ගේ අත් කකුල් කඩල. අද තමයි දිඹුලාගල හාමුදුරුවො කවුද කියල මහ එකා දැනගන්නෙ.”

කිසිම ගරු සරුවක් නැතිව දිඹුලාගල හාමුදුරුවෝ පත්තරේ ප්‍රධාන කතුවරයා හමුවන්නට ගියහ. “මම කල්ලතෝනියෙක් නෙමෙයි. මාතර කිතලගම ඉඳල පොලොන්නරුවට පයින්ම ගිය මිනිහෙක්. මට නිකාය භේදයක් නෑ, ඔය තියෙන්නෙ ගොටු අතු නිකාය, පොල්කටු නිකාය කිය කිය එක එක නම්බු නාම. මම පොලොන්නරුවට ගිහින් දිඹුලාගල මහ කැලෑවක ගල්ගේකට ඇවිදගෙන ගියා. ගිහින් බැලින්නං පළාතෙ හිටිය එක පවුලකටවත් හරි හමන් ගෙයක් දොරක් නෑ. වරිච්චි බිත්ති ගෙවල් හතරක් පහක් විතරයි තිබුණෙ. අනික් එවුන් හිටියෙ ගල්ගෙවල්වල. පුංචි කිරි සප්පයො ගස් ගල් අස්සෙ සෙල්ලම් කරනව.”

“මම උන් හැදුවා. උන්ට ඉස්කෝල හැදුව. දෙමළ මිනිස්සු ගම්මුලාදෑනියො වෙලා හිටිය හින්ද ඉපදෙන හැම දරුවකුටම දීල තිබුණෙ දෙමළ නම් ගම්. මම සිංහල මිනිස්සු පදිංචි කළා. ඒ ගාල්ල මාතර වගේ ඕන දේකට බය නැති සිංහල මිනිස්සු. ඒක ඉවසගන්න බැරිව ආණ්ඩුවෙ මහ එකා දිඹුලාගලට පොල් අත්තක්වත් අරගෙන යන්න ඉඩ දෙන්නෙ නෑ.

මම මේ අරගෙන ආවෙ මහ එකාගෙ ගෝලයො කරපු හපන්කම්වලින් අතපය කඩාගත්ත අහිංසක මිනිස්සු. මම කවුද කියන එක රටටම පෙන්වන්න අද ආවෙ. කවුරුහරි කෙනෙක් මාත් එක්ක එවන්නකො මහත්තයො.” උන්වහන්සේ කතුවරයාට පැවැසූහ.

ඒ අනුව දිඹුලාගල නායක හිමි සමග අතපය කැඩුණු පිරිවර කැටුව මම ගමන් ගතිමි. වාහනය නතර වූයේ කොළඹ වෝර්ඩ් පෙදෙසේ පිහිටි එවකට ජනාධිපතිවරයා වූ ජේ.ආර්. ජයවර්ධනගේ නිවස ඉදිරියේය. හිමියන්ගේ ගමන ඉක්මන් විය. දොරටුව අසලට ගිය දිඹුලාගල හිමියන්ට දොරටුව විවෘත නොවීය. එහෙත් අඩි 3ක් පමණ උසට තනා තිබූ තාප්පයට දෙ අත් තබා දෙතුන් විටක් දෙපස විපරම් කර බැලූ හිමියෝ කෑ මොර දෙන්නට විය.

‘‘බලපන් මහ එකෝ මේ ගෙදර ඉස්සරහ ඉන්න පෝල් පෙරේරා කියන මිනිහා එහේට ඇවිත් මගේ මිනිස්සුන්ගෙ අත පය කැඩුව. උන් අහිංසක මිනිස්සු. ඉන්න හිටින්න තැනක් නැතිව දිඹුලාගල මගේ වැයික්කියට පොල් අතු ගෙනාව කියල.”

තමන්ගේ ගෙදර ඉදිරියට විත් කෑ ගසන දිඹුලාගල නාහිමියෝ ගැන ඒ වන විට ජනාධිපති ජයවර්ධන ද දැනගෙන සිටි හෙයින්දෝ බාධාවක් එල්ල නොවීය.

සාම්ප්‍රදායික යතිවර චරිතයට සපුරා වෙනස් මඟක් ගත් දිඹුලාගල නාහිමි පිළිබඳව තොරතුරු සොයන අටියෙන් එදිනම මම උන්වහන්සේ සමඟ දිඹුලාගලට ගමන් ගත්තෙමි. ඒ රාත්‍රි කාලයේ කොළඹින් පොලොන්නරුව කරා යන බස් රථයකිනි.

බසයට නැඟුණු මොහොතේ සිට රැයක් එළිවන තුරා දිඹුලාගල හිමියන් විසින් මෙරටට කළ මහජන සේවාව පිළිබඳ තොරතුරු පවසන ලදී.

මාතර කිතලගම උපන් උන්වහන්සේ ගමේ පාසලේ ඉගෙන ගත්තේ හතරවන පන්තිය දක්වා පමණකි. පාඩම් වැරදීම නිසා ගුරුවරුන්ගේ දඬුවම් වලට නිතරම මුහුණ දීමට වූ නිසා පාසල් ගමන නතර විය. ඔහුගේ පියා අහිංසක දුප්පතකු වූ අතර අසාධාරණයට විරුද්ධව නැගී සිටීමට ශක්තියක් නොවූයෙන් තම දරුවා වූ චාර්ලිස් පැවිදි කිරීමට තීරණය කළේය. දෙමාපියන් සහ නෑදෑයන් සමඟ අටපිරිකරක් හිස මත තබාගෙන මහණවීමේ අදහසින් ගමේ පන්සලට ගියද එතනින් පළවා හරිනු ලැබුයේ පන්සලේ අයිතිය කදා හෝ චාර්ලිස් ගේ පරම්පරාවට හිමිවේය යන අදහසිනි. එතැනින් පිටත්වූ පීරිස් විල්පිට අරණ්‍ය සේනාසනයට ගියේ එතැනින්වත් පිළිසරණක් ලැබෙනු ඇතැයි සිතාගෙනය. අරණ්‍ය සේනාසනාධිපති ලෙස වැඩ විසූ උඩුපිහිල්ලේ ගොඩ පඤ්ඤාලංකාර හිමියෝ චාර්ලිස් දරුවා පැවිදි දිවියට පත් කළහ. ඒ කිතලගම සීලාලංකාර නමිනි.

මෙසේ සිටින අතරතුර නායක හිමියන් ගැන සීලාලංකාර හිමියන්ට නරක ආරංචියක් දැනගන්නට ලැබිණ. “නායක හාමුදුරුවෝ මහ රෑ දොළහ වෙද්දී හැමදාම හොර ගමන් යනවා.”

“අපි පිටිපස්සෙන් ගිහින් බලමු යන්නෙ කොහේද මොන තැනකට ද කියල” සීලාලංකාර හිමියෝ කීහ.

“මහ රෑ දොළහට? යක්කු ගස් නගින වෙලාවෙ අපට නම් බෑ. උන්නාන්සේට ඕන නම් යන්න බැරිය. අපට මොකද කොහේ ගියත්” සිලාලංකාර හිමිට මෙය ඇදහිය ‍හැකි දෙයක් නොවීය. සීලවන්ත හිමිනමක් ලෙස නායක හිමිට මුළු පළාතම ගරු කළ හෙයිනි. එහෙත් මේ පුංචි හාමුදුරුවන්ට එය ඇදහිය නොහැකි විය. ඇසිල්ලකින් ලැගුම්ගෙයි දොර පියන්පත් ඇරෙන හඬක් ඇසිණ.

“හරියට හරි. ඔය එළියට බැස්සෙ. මාත් යනව පිටි පස්සෙන්. වෙන දෙයක් වුණාවෙ. හඳ එළියක් නැති වුවද අ‍හසේ තිබූ තරු එළිය මිනිසකු හඳුනාගත හැකි තරම් විය. නාහිමියෝ කෙළින්ම වැඩම කළේ සොහොන් පිටියටය. අලුත වැළලූ මළ මිනියක් සහිත මිනී වළක් ඉස්මත්තේ උන්වහන්සේ හෙමින් ගමන් කරති. වරෙක හිඳගෙන භාවනා කරති. පැයක් හමාරක් මේ දුෂ්කර භාවනාවේ යෙදී සිට ආපසු වඩින හිමි කෙරෙහි සීලාලංකාර පුංචි හාමුදුරුවන් තුළ දැඩි භක්තියක් ඇති විය.

සමවයසේ වූ අනෙක් හිමිවරු තම කටයුතුවල යෙදෙද්දී සීලාලංකාර හිමි නායක හිමි අනුව ගොස් සොහොන් පිටි සහ පාලු කැලෑවලට ‍ගොස් භාවනා කරන්නට පටන් ගන්න ලදී. කැලයේ ගහකොළ සතා සිව්පාවුන් කෙරෙහි ළදරු සිතක ඇති වුණ බිය සැක තුරන් විය. උපන් මේ අත්බවෙහි අනුන්ට කළ හැකි මෙහෙවරක යෙදෙන්නට තරම් හිත තුළ දැඩි උද්යෝගයක් පැන නැගිණි.

හිමියෝ දුර බැහැර පොලොන්නරු පෙදෙසේ නොදියුණු ගම්මානයක මෙ රට අවසන් මහ රහතන් වහන්සේ වන මලියදේව මහ රහතන් වහන්සේ වැඩ සිටි දිඹුලාගල වන සෙනසුනට ගමන් ගත යුතු යැයි දැඩි තීරණයකට එළඹියහ. මඟ දිගට පිඬු සිඟා යමින් මසකට ආසන්න කාලයක් පා ගමනින් ගමන්කොට දිඹුලාගල පින් බිමට සැපත් වූහ.

කසාවන් සිවුරක් නොදුටු බණ පදයක් නො ඇසූ කැලෑබද ගම්මානයකට පිවිසි මේ ධෛර්යවන්ත මිනිසා තම ආත්මය ගලවා ගන්නට පැමිණි අද්භූත ආගන්තුකයකු ලෙස අසල්වාසීහු දැක ගත්හ. පැමිණෙන පිරිස දිනෙන් දින වැඩි වූහ. ගතවූ සුළු කාලයක් පුරා එදිනෙදා තමන් ගමන් ගත් හද්දා පිටිසර වැසියන්ගේ ඕනෑ එපාකම් හොඳින් දැන සිටි සීලාලංකාර හාමුදුරුවෝ ප්‍රදේශයේ ජනතා ජීවන ගැටලු පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගත්හ.

“අපේ හාමුදුරුවො අකුරු සාස්තරේ එහෙම දන්නව ඇතිනේ. මේ පුංචි එවුන්ට අකුරු සාස්තරේ ඉගෙන ගන්න උදව්වක් කරන්න. අපි දන්නෙ මහතැන්වලට ගියාම ගහන්න කියන ඇඟිලි අස්සන විතරයි.”

“උඹල කවුරුවත් අසරණ කරන්න මම ඉඩ දෙන්නෙ නෑ. ඒක හෙමින් කෙරෙන්න ඕන. බලාපල්ල උඹලගෙ දුවා දරුවන්ට අඳින්න ඇඳුමක් නෑ. අකුරු ඉගෙන ගන්න ඉස්කෝලයක් නෑ. ඒ ඔක්කොම මං බලාගන්නම්. හෙට උදේ දෙතුන් දෙනෙක් වරෙල්ල. මම අමුතු රාජකාරියක් කරනව.”

“අවසර අපේ හාමුදුරුවනේ ඒ මොකක්ද?”

“මගේ පුරුදු රාජකාරිය පිණ්ඩපාතෙ වඩින එකනේ. ඉතින් උඹලත් පස්සෙන් වරෙල්ල.”

පසුවදා එළිය වනවාත් සමග ශක්තිමත් තරුණ කණ්ඩායමක් සීලාලංකාර හිමි සිටි ගල්ගෙයට පැමිණියහ. ඒ වන විට දිනයේ ඉදිරි කටයුතු සියල්ල හිමියෝ සැලසුම් කට තිබුණහ.

පිරිවර සේනාව හිමියන් වඩිනා හැම තැනකින්ම ලැබෙන පිණ්ඩපාතය වූ ඉරීගිය රෙදි වැරහැලි පිඟන් කෝප්ප පොදි පිටින් දෙන්නට පටන් ගති. හිමියෝ එක් නිවසකට ඇතුළු වූහ. එහි සිටියේ දෙමහල්ලන් හැරුණුවිට වයස අවුරුදු තුන, හතරක පමණ දැරියකි.

නිවසේ අටුවේ රැඳුණු වී ගෝනි කීපයක් පිරිකර ලෙස ලැබුණි. හිමියෝ අසුන‍්ගෙන සිටියහ. කිසිවක් නොදන්නා කුඩා සිඟිත්තියට එය අරුම පුදුම දෙයක් විය.

“පුංචි බබා මෙහි එන්නකො. ඔයා ළඟ සෙල්ලම් බඩු තියනවද?”

“ඇයි සාධු එහෙම අහන්නෙ. මට ඉන්නෙ බෝනික්කො තුන් දෙනෙක් විතරයි.”

“මටත් පුංචි කෙල්ලෙක් ඉන්නව. මට එයින් එක බෝනික්කෙක් දෙනවද?”

“ඒ මොකටද සාධු.”

“අපේ පුංචි දරුවට සෙල්ලම් කරන්න.”

දඟකාර පුංචි දැරිය නිවස තුළට ගියේ ඉක්මන් ගමනිනි. ඇය සතුව තිබූ බෝනික්කන් සහ පුංචි කාල‍යේ ඇඳ සිටි ඇඳුම් ටිකකුත් රැගෙන ආවාය.

හිමි දෙඇසින් ගැලුණු සතුටු කඳුළින් දැරියගේ හිස තෙත් වූයේ, මෙවන් මිනිස් ගුණ දම් රැඳි මහ සෙනඟක් අවට ගම්වලද සිටින බව සිහිපත් වීමෙනි.

ඊළඟට හිමිගේ අවධානය යොමු වූයේ ගමට අවශ්‍ය පාසල් කීපයක් ඇරැඹීමටය. පාසල්වලට අවශ්‍ය ඩෙස් - පුටු - බංකු - ගල්ලෑලි - ගල්කූරු - පොත් - පෑන් - පැන්සල් එක්තැන් කර අවශ්‍ය ගොඩනැඟිලි ඉදි කළේද උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යය තුළිනි. දෙමළ භාෂාව කථා කරමින් දෙමළ ඇදහිලි ක්‍රම අනුගමනය කරමින් චෛත්‍ය දාගැබ් මත්තෙහි තැනුණු කෝවිල් වලට වී දේව යාතිකා පවත්වමින් සතුන් බිල්ලට දෙමින් මේ මිනිසුන් කළ මිත්‍යා ඇදහිලි ඔවුන්ට පුරුදු වී ඇත්තේ කලක් තිස්සේ පැවති දෙමළ බලපෑම් නිසා බව උන්වහන්සේ අවබෝධ කර ගත්හ. තම නම ගම ඇසූවිට මුදියන්සේලාගේ, රත්නායකලාගේ, අත්තනායකලාගේ යයි පෙළපත් තිබුණත් අගට වූයේ සින්නම්මා, කරුපයියා, දොරේ අප්පා වැනි දෙමළ නම් කොටස්ය. කලක් තිස්සේ දෙමළ ජනයා විසින් තම වර්ගයා බෝ කිරීමට යෙදූ උපක්‍රමයක් බව උන්වහන්සේ තේරුම් ගත්හ.

හිඟුරක්ගොඩ දිය බෙදුම, මින්නේරිය, 305, 314, 313, 312, 400, පොලොන්නරුව ජයන්තිපුර, ගිරිතලේ, තඹාල, කවුඩුල්ල බුද්ධයාය, ඕනෑගම, සෝමාවතිය, පුදුර්, පලුගස් දමන, සේවාගම, තඹලවැව, අලුත් වැව, සත්ව ගොවිපළ, සී.එස්. කොළණිය එසේ ඇවිද ගිය ගම් අතර ප්‍රධානය. මේ ගම්මානවල ඇවිද ගම් වැසියනට කරුණු පහදා දී ඒ අය සමග එකතුව සිංහල ගම් නැවත සකස් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස තමන්කඩුව පළාත් පාලන බල ප්‍රදේශයේ මෙතෙක් සිටි ද්‍රවිඩ මහජන නියෝජිතයන් වෙනුවට සියලුම නියෝජිතයන් සිංහලයන් ලෙස වෙනස් කිරීමට උන්වහන්සේට ශක්තිය ලැබිණි.

කිසිවකුගේ සරණක් නැතිව තැන් තැන්වල වැතිර ගනිමින් රැය පහන් කළ උන්වහන්සේට පළාතේ සිටි වැදිනායකයා වූ මිල්ලානා තම ගල්ගෙය පවරා දී කළ මෙහෙවරට ප්‍රතික්‍රියාවක් ලෙස මිල්ලානාගේ එකම පුතා පැවිදි දිවියට ඇතුළත් කර ගත්හ. උන්වහන්සේගේ පළමු ගෝලයා වන දිඹුලාගල සිරියාලංකාර හිමිපාණන් වහන්සේ මේ වන විට දිඹුලාගල පුණ්‍ය භූමියේ මහනාහිමියන් ලෙස වැඩ සිටින අතර දිඹුලාගල හිමිගේ ශිෂ්‍යන් අතර විළියම් ගොපල්ලව ජනාධිපතිතුමාගේ මුණුපුරකු, ගාමිණී දිසානායක ඇමතිවරයාගේ ඥාති සහෝදරයකු මෙන්ම ද්‍රවිඩ, මුස්ලිම්, උඩරට පහතරට භේදයකින් තොරව අටසිය පණහකට ආසන්න පිරිසක් පැවිදි කර ඇත. ප්‍රදේශය අනුබද්ධිත වූ විහාරස්ථාන 40කට ආසන්න සංඛ්‍යාවක් උන්වහන්සේ ඇරඹූහ.

1977 මහ මැතිවරණය එළඹෙමින් තිබියදී පොළොන්නරුව අසුන සඳහා ඉදිරිපත් වූයේ එච්.ජී.පී. නෙල්සන් ය. මාතර වැලිගම ප්‍රදේශයෙන් පොලොන්නරුවට පැමිණ දිගුකලක් තිස්සේ එක්ව කටයුතු කළ ඔහුගේ මැතිවරණ වේදිකාවේ දිඹුලාගල හිමි ද අසුන්ගෙන සිටියේය. ජේ.ආර්. ජයවර්ධන දිඹුලාගල හිමි වෙත පැමිණ වැඳ නමස්කාර කළේය. උන්වහන්සේ අසළම හිඳගත්තේය.

“මහත්තය මං කවුද කියල අඳුරන්නෙ නෑ නේද?” යයි දිඹුලාගල හාමුදුරුවෝ කියත් ම, ජේ.ආර්. කීවේ, ‘කොළඹට වෙලා හිටියට මම නායක හාමුදුරුවො අඳුනනවා. මෙතෙක් කල් මේ පළාත භාරගෙන වැඩ කළේ නායක හාමුදුරුවෝ නේ. අපෙන් මොනවද කෙරෙන්න ඕන’ යනුවෙනි.

“කිව්වට තරහ වෙන්න එපා මහත්තයො මම මේ බඩ කඩිත්තු දේශපාලන ගැන නෙමෙයි කතා කරන්නෙ. මේ පළාතෙ ඉන්න දෙවන පරම්පරාවට ඉන්න හිටින්න ඉඩම් ටිකක් පවරල දෙන්න.”

“හරි මම දිනුව කියමුකො. මේ පළාතෙ මිනිස්සුන්ට ඉඩම් තිබුණ කියමුකො. කොහොමද මිනිස්සු වතුර නැතිව වගා කරන්නෙ.”

“මාදුරු ඔය පිටා ගලනව. කවුරුවත් ඒ පැත්ත බලන්නෙ නෑ. ලක්ෂ ගණනක මිනිස්සුන්ට වගා කරන්න වතුර තියෙනව. මේක රට පුරා කියාගෙන යන්න. ඉඩකඩම් අස්වැද්දෙයි. ජලාශ පිරිල විදුලි බලය ලැබේවි. මුළු රටම තමුන්නැහෙගෙ කථාවට ඇහුම්කන්දේවි. අසුනින් නැඟී සිටි ජේ.ආර්. යළිත් වැඳ නමස්කාර කළේය.

හැත්ත හතේ මැතිවරණයේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් වූයේ වසර 30න් වැඩ අවසන් කිරීමට නියමිත මහවැලි ව්‍යාපාරය ඉදිරි පස් වසරේදී කඩිනමින් නිමකරන බවය. මුළු රටම අවදි වන්නට පටන් ගති. ජලවිදුලිය තුළින් රට සංවර්ධනය කරන්නට තරුණ මන්ත්‍රීවරයකු වූ ගාමිණී දිසානායක “මම කිව්වොත් කියන දේ කරනව. රට විදුලිය, කෙත්වතු වගා කරන්න ජලය විතරක් නෙමෙයි, රජ රටම ‘රජ රටක්’ කරනවා. දිඹුලාගල හාමුදුරුවො මගේ දකුණු අත. බයවෙන්න එපා මේක සිංහල ජනපදයක් කරනවා” යයි ප්‍රකාශ කළේය.

සිංහල ජනපද ඇති කරන්නට දිඹුලාගල හිමි දැඩි වෙහෙසක් ගනිද්දී එවකට එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයා ලෙස කටයුතු කළ එන්.ජී.පී. පණ්ඩිතරත්න මහතා සභාපති කමින් ඉවත් කෙරිණි. ගාමිණි දිසානායක ඇමතිකම රැකගත්තේ බොහොම අමාරුවෙනි. මහවැලියේ පළමු වී අස්වැන්නෙන් භික්ෂූණ් වහන්සේ දහස්නමකට පුණ්‍ය කර්මයක් සිදුකිරීමට ගාමිණි දිසානායක තීරණය කළේය. මෙම උත්සවයේ පිළිගැනීමේ කථාව ඇරඹූ දිඹුලාගල හිමියෝ තමන් වසර හතළිහක් පමණ කාල පරාසයක සිට කළ දුෂ්කර ක්‍රියා සිහිපත් කරමින් දේශනය පටන් ගත්හ. එහිදී නිවෙස් ඉදිකිරීම, පාසල් ඉදිකිරීම සඳහා තමන් විඳි දුක්ගැහැට කන්දරාව සිහිපත් කළේය. මේ වන විට කොටි ත්‍රස්තවාදීන් නිතරම තම පුණ්‍යභූමියත් තම භික්ෂු බලකායත් වනසා යළි ප්‍රකෘතිමත් කළ නොහැකි ලෙස දිඹුලාගල සුණුවිසුණු කරන බවට හිමි හට නිතරම පණිවිඩ ලැබෙන්නට විය. ඒ බව හොඳින් දැනගත් හිමියෝ 1995 මැයි මස විසිතුන් වෙනිදා දුරකථනයෙන් මා ඇමතූහ. හිමිගේ කටහ‍ඬෙහි එදා තිබුණේ තැති ගැනුණු විලාසයකි.

“මහත්ත‍‍යෝ මම මේ හදිසියෙ කථා කරන්නෙ. දැන් පැය භාගයකට කලින් පර දෙමළෙක් අමු තිත්ත කුණු හරුපෙන් මට කථා කළා. තව දින කීයක් මට ඉන්න පුළුවන්ද දන්නෙ නෑ. මරළ පෙති ගහනව කීව. මම මේ කථා කරන්නෙ පින් අනුමෝදන් කරන්න. මගේ වැඩ රාජකාරිවලට තමුන්නාන්සෙ ලොකු උදව්වක් කළා‘‘

හිමියෝ තව තවත් බොහෝ දේ කථා කළහ. විශේෂයෙන් තමන්ටත් තම පන්සලටත් මෙතෙක් දී තිබුණු ආරක්ෂාව ඉවත් කිරීම ගැන රාජ්‍ය ප්‍රධානී ජනාධිපතිනියට දොස් පැවරීය. පිටතින් දාන මාන නොලැබෙන නිසා හිමියෝ තම පිරිවර සමග එළවළු පලතුරු උයනක් සකස් කොට තිබුණේ ජීවිත පැවැත්ම ඉදිරියට ගෙනයන්නටය. උන්වහන්සේ එහි ගමන් ගත්තේ ඵලදාව රැගෙන විත් දාන මාන කටයුතුවලට එක් කිරීමටය. ත්‍රස්තවාදී ප්‍රහාරයකින් උන්වහන්සේ ‍මඩ ගොහොරුවක අපවත් කෙරිණි.

Comments