ළෙන්ගතු මන්ත්‍රී ගෙන් මන්ත්‍රණ සභාවට උක්ගස් ලොරියක් | සිළුමිණ

ළෙන්ගතු මන්ත්‍රී ගෙන් මන්ත්‍රණ සභාවට උක්ගස් ලොරියක්

කා‍ලයේ මන්ත්‍රීවරයකු නොවූ සෝමවීර චන්ද්‍රසිරි නිතර නිතර මන්ත්‍රණ සභා ගොඩනැඟිල්ලට පැමිණෙයි හැම හවසක. මේ පුද්ගලයාට පාර්ලිමේන්තු ගැලරියට වී මන්ත්‍රීවරුන්ගේ කථා බහට සවන්දීම පුරුද්දක් විය. එවකට මොරටුවේ මන්ත්‍රීවරයා වූයේ හැඩි දැඩි උස මහත පුද්ගලයකු වූ තෝමස් අමරසූරිය මහතා ය.

එක් දිනක් සෝමවීර චන්ද්‍රසිරි තමා මුද්‍රණය කරන නිදහස නමැති පත්‍රයේ පිටපත් කිහිපයක් කිහිල්ලේ ගසාගෙන මන්ත්‍රණ සභා ගොඩනැගිල්ලට ඇතුළුවිණි. පහළ තට්ටුවේ වනවිට තෝමස් අමරසූරිය මහතා ද මිතුරන් දෙදෙනකු සමඟ කථා කරමින් සිටියේ ය. සෝමවීර දුටු තෝමස් අමරසූරිය තම මිතුරන් දෙදෙනාට ඔහු පෙන්වා,

“මේ මිනිහ තමයි ලබන පාර මාව පරද්දන්න මොරටුවට එන්නේ” යැයි කීවේය.

සෝමවීර චන්ද්‍රසිරි යන ගමන නතර කොට ආපසු හැරී අමරසූරිය ළඟට ආවේ ය.

“ඔව් මම තමයි මොරටුවට ලබන පාර තරග කරන්නෙ. මොකක්ද උඹ ඒ ගැන කියන්නෙ.”

අමරසූරිය මෙවැන්නක් ඇසීමට බලාපොරොත්තු නොවීය. ඔහුට හොඳටම කේන්ති ගියේය. ඒ බව සෝමවීර ද දුටුවේ ය.

“තමුසෙ අමරසූරිය, ඕන නැති පල් පාට් දාන්න ආවොත් දෙනවා කණට දෙකක්” යැයි සෝමවීර කෑගැසුවේ ය. සෝමවීරට ගැසීමට ආ අමරසූරිය ඔහුගේ මිතුරන් දෙදෙනා විසින් අල්ලා ගනු ලැබීය. සෝමවීර මහ හඬින් සිනා සී එතැනින් ඉවත් විය.

එක් දවසක් මන්ත්‍රණ සභා ගොඩනැගිල්ලේ අපූරු දෙයක් සිදුවිය. අද මෙන් එදා ද ගාලු මුවදොර පිටිය පෙම්වතුන්ගේ රජ දහනකි. සැදෑ කාලයේ ගාලු මුවදොර පිටියේ පෙම් බස් දොඩමින් සිටින තරුණ මහලු පෙම්වතුන් සිටීම එදා ද සුලබ දසුනකි. එදා එක් පෙම්වතුන් ජෝඩුවකට අමුතු අදහසක් පහළවී දෝ ගාලු මුවදොර පිටියට වඩා මන්ත්‍රණ සභාවේ පියගැට පෙළ අසල පෙම්බස් දොඩමින් තුරුළු වී සිටීම යෝග්‍ය යැයි සිතුණ දිනයකි.

මේ තරුණ ජෝඩුව එදා හවස් කාලයේ මන්ත්‍රණ සභා පියගැට පෙළට වී තොදොල් වෙමින් සිටියහ. වහා පැමිණි පොලිස් නිලධාරීහු මේ දෙදෙනා අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කළහ. ප්‍රසිද්ධ ස්ථානයක අනිසි ලෙස හැසිරීම චෝදනාව විය. ආසන්න දිනයකදී තමන් විවාහ වන බවත් ඒ වනවිටත් විවාහ වීම සඳහා නම් දී ඇති බවත් ඒ පිළිබඳ වූ ලියකියවිලි ඉදිරිපත් කරමින් තම නිදහසට උසාවියට ප්‍රකාශ කර සිටියහ. මන්ත්‍රණ සභාව ප්‍රසිද්ධ ස්ථානයක් වන්නේ සභා රැස්වීම් දිනවල පමණකැයි යන්න උසාවියේ නිගමනය විය. පෙම්වතුන් ජෝඩුව නිවැරදි කරුවෝ වූහ.

1936 පැවැති දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේදී අවිස්සාවේල්ල ආසනය ජයග්‍රහණය කළ පිලිප් ගුණවර්ධන මහතා කිහිප අවස්ථාවකදීම මන්ත්‍රණ සභාවේ කලබල ඇති කරගත් කෙනෙකි. එකල යාපනයේ මන්ත්‍රීව සිටි ජී.ජී. පොන්නම්බලම් සමඟ පිලිප් ගැටුමක් ඇති කර ගත්තේය. පිලිප් මැතිසබේ කරන වේගවත් කථා සමහර මැති ඇමැති වරුනට ඉවසා සිටීමට නොහැකි වූ අවස්ථා බොහෝ ය. මැති සබය තුළ නොයෙක් ඇණුම් බැණුම් අපහාස මගින් පිලිප් නිහඬ කිරීමට සමහර මැති ඇමැතිවරු උත්සාහ කළත් ඒ කිසිවකින් පිලිප් සැලුණේ නැත. අතින් පයින් ගසා හෝ පිලිප්ගේ කට වැසිය යුතුයයි ඔවුහු කල්පනා කළා විය හැකිය. පිලිප්ට පහර ගැසීමට පෙරට පැමිණි එක් ගණන්කාරයෙකි‍ පොන්නම්බලම්. දිනක් පිලිප් මැති සබයෙන් පිටතට පැමිණියේ පොන්නම්බලම් ද දැඩි ලෙස විවේචනය කළ පසුවය. පිලිප් පිටතට එනවිටම පොන්නම්බලම් ද පිටවිය. ඔහු එන්නේ තමාට ගැසීමට යයි පිලිප් සීනෙන් වත් නොසිතුවේ ය.

කෝපයෙන් වෙව්ලමින් පිලිප් වෙත පැමිණි පොන්නම්බලම් පිලිප්ගේ කණ හරහා අතුල් පහරක් දුන්නේ අකල් හෙණ පතයක් මෙනි. අන්දුන් කුන්දුන් වූ පිලිප් සිදුවූයේ කුමක් සිතත්ම පොන්නම්බලම් තවත් පහරක් එල්ල කළේ එහෙත් පිලිප්ගේ අත පය ඊට පෙර වේගයෙන් ක්‍රියාශීලී විය. පොන්නම්බලම් සිමෙන්ති පොළව මත වැටුණේ කපාලු දැවැන්ත කළුවර ගසක් මෙනි.

මේ ආරංචිය ලැව් ගින්නක් මෙන් කොළඹ නගරය පුරා පැතිරිණ. පොන්නම්බලම් පිලිප්ට ගැසුවායි කිපී ගිය කම්කරුවෝ මැති සභය වට කළහ. සමහරු පොන්නම්බලම් සොයා ඒ මේ අත කලබල කළහ. පිලිප් සහෝදරයා පොන්නම්බලම්ට හතර ගාතෙන් වැටෙන සේ පහරදුන් බව කම්කරුවනට පැහැදිලි කළ එන්.එම්. ඔවුන් සන්සුන් කොට ආපසු යැවීය. පොන්නම්බලම් එකල ලංකා මල්ලව ක්‍රීඩා සංගමයේ සභාපතිව සිටි පලපුරුදු ගුස්ති කාරයකි. එහෙත් පිලිප් සමඟ ඇල්ලූ පළමු රවුමෙන් ම බිම ඇද වැටුණු ඔහු ඉන් පසු කිසිදිනක පිලිප් සමඟ ගුස්ති ඇල්ලීමට ඉදිරිපත් නොවීය.

පිලිප් සහ කොතලාවල අතර වූ පොරය මීට වඩා රස මුසු විය. එය සිදුවූයේ මන්ත්‍රණ සභා ආපන ශාලාවේදීය‍. ඩබ්.ඒ. ද සිල්වා, ඒ. මහාදේව, කොතලාවල යන ඇමැතිවරු සහ පිලිප් ගුණවර්ධන මේසය වටා හිඳ තේ බොමින් සිටියහ. ඔවුන් ඒ අවස්ථාවේ කතා කරමින් සිටියේ කර්මය ගැනය. කෙනෙකු දුප්පත් පොහොසත් වන්නේ ඔහුගේ කර්මය නිසා යැයි කොතලාවල තර්ක කළේ ය. දුප්පත් පොහොසත් භේදයට හේතුව සමාජ ක්‍රමය බව තේරුම් කර දුන් පිලිප් ධනපති තත්ත්වයට පත්ව ඇත්තේ දුප්පතුන්ගෙන් සූරා කෑමෙන් යයි ද පළ කළේ ය. මේ කියමනෙන් තරමක් උණුසුම් වූ කොතලාවල “එහෙනම් තමුසෙ කියන්නෙ අපි ළඟ තිබෙන ධනය දුප්පතුන්ගෙන් සූරාගත් ඒවා දැයි ඇසුවේ තර්ජන ලීලාවෙනි‍. එහෙත් ඔහුගේ තර්ජනයෙන් පිලිප් ගුණවර්ධන මඳක්වත් සසල නොවීය. “ඔව් සත්තකින් ම තමුසෙගෙ පියා සූරා කෑවෙ නැත්නම් තමුසෙලට ඔය ධනය තියෙන්න බෑ”

මෙසේ පැවසූ පිලිප් තේ කෝප්පය අතට ගෙන කටට තැබුවා පමණි. කොතලාවල වහා ඉදිරියට විත් වේගවත් අතුල් පහරක් පිලිප් වෙත එල්ල කළේ ය. එම අතුල් පහරින් පිලිප්ගේ අතේ තිබූ තේ කෝප්පයට වැදී අඩි ගණනක් ඈතට විසිවී කුඩු විය. නැවත කොතලාවල පිලිප්ගේ ඇඟට කඩා පනින්නට සැරසෙන බව පිලිප්ට පෙනී ගියේය. නිමේෂයකින් පිලිප්ගේ අත පය ක්‍රියාත්මක විය. පුටුව පස්සට තල්ලු කර දමා පෙරට අඩිය තැබූ පිලිප් ඔහුගේ මුහුණ හරහා අතුල් පහරක් ගසමින් බෙල්ලේ බැඳ තිබුණු ටයි පටියේ ගැටය ළඟින් අල්ලා බෙල්ලේ නිලයක් ඇල්ලුවේය. බල පුළුවන් කාරයකු ලෙස එකල ප්‍රකට වූ කොතලාවල දිව එළියට දමා පුටුව මත වැතිර ගත්තේ ය. තත්ත්වයේ භයානකකම දැක කලබල වූ ඩී.එස්. සේනානායක යෝධයකු මෙන් පෙරට පැන දෙදෙනා දෑතින් අල්ලා දෙපසට කළේ ය.

රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේ මන්ත්‍රණ සභාවට පැමිණ සිටි මන්ත්‍රීවරුන්ට විශේෂ නිල ඇඳුමක් සම්මත කරගන නොතිබුණත් යුරෝපීය ඇඳුමින් බොහෝ දෙනෙක් සැරසී සිටියහ. ඒ අය අතරින් කැපී පෙනුණ දෙදෙනෙක් වූහ. එක් අයකු සුසන්ත ද පොන්සේකා මහතා ය. තවත් අයකු වූයේ ඒ. ඊ. නුගවෙල මහතා ය. නුගවෙල මහතා යුද්ධ හමුදා කපිතාන් වරයෙකි. පොන්සේකා මහතා නාවුක හමුදා නිලධාරියෙකි. මේ දෙදෙනාම මන්ත්‍රණ සභාවට පැමිණෙන්නේ ඔවුන් දෙදෙනා මීට ප්‍රථම ඇඳ සිටි නිල ඇඳුමිනි. හමුදා නිල ඇඳුම් ඇඳගෙන මන්ත්‍රණ සභාවේ අසුන් ගැනීම නිසා මේ දෙදෙනා අන් අයට වඩා කැපී පෙනෙන පුද්ගලයන් දෙදෙනෙක් වූහ.

වරක් සුසන්ත ද පොන්සේකා මහතා රජයේ වැඩපිළිවෙළක් දරුණු ලෙස විවේචනය කළේ ය. එහි ප්‍රතිඵලය පසු දිනම දකින්නට විය. හමුදාපතිගේ නියමයක් අනුව හමුදා නිල ඇඳුම් හමුදාකාරියෙන් පිටට ඇඳීම ඔහුට තහනම් විය. ඉන්පසු ඔහු ඉන්දීය ඇඳුමින් සැරසී මන්ත්‍රණ සභාවේ අසුන් ගත්තේය.

මුල් කාලයේ පාර්ලිමේන්තුවේ සිටි මන්ත්‍රීවරු අතර ජා-ඇල මන්ත්‍රී ඩී.පී. ජයසූරිය විශේෂ පුද්ගලයෙකි. මන්ත්‍රණ සභාවේ සේවකයන්ට ඔහු දැක්වූයේ පුදුම ළෙන්ගතු බවකි. පිට කාර්යාලයකදී වුව ද පාර්ලිමේන්තු සේවකයකු දුටු විට මේ පුද්ගලයා හරිම හොඳ කෙනෙකු” යයි ඔහු සේවකයන් ගැන හොඳ කීම සිරිතක් කොට ගෙන තිබිණ. එහෙත් මේ මන්ත්‍රීවරයා කිසිම දිනක මන්ත්‍රණ සභාව තුළදී කතා කරන්නේ නැත. නොවැරදීම කල් තබා මන්ත්‍රණ සභාවට එන ඔහු ආපසු ගියේ ද සියල්ලන්ම ආපසු ගිය පසුව ය.

ඔහු ක්‍රිස්තු ලබ්ධිකයෙකි. නත්තල් කාලයට මන්ත්‍රණ සභාවේ සියලුම සේවකයන් මේ මන්ත්‍රීවරයා හමුවීම පුරුද්දක් විය. ගිය සෑම අවස්ථාවකම මේ මන්ත්‍රීතුමා මන්ත්‍රණ සභා සේවක පිරිස තම කාමරයට කැඳවා ගෙන යයි. ඔවුනට කෑම හොඳින් දී සංග්‍රහ කරයි. කිසි දිනක සේවකයකු ලවා සංග්‍රහ නොකරන ඔහු ඇතැම් විට සංග්‍රහ සඳහා තම පුත්‍රයකු පමණක් සහාය කර ගනී. හැම වාරයකම මඩු පල්ලි යාම ද මේ මන්ත්‍රී තුමාගේ පුරුද්දකි. මඩු පල්ලියට යන හැම විටම මන්ත්‍රණ සභාවේ සෑම කෙනෙකුටම සරිලන සේ කොට්ට කෙලෙංගු සහ තල් හකුරු ගෙනවිත් බෙදාගෙන යයි. වරකා කාලයට කැන්ටිමට, ලිපිකරු අංශයට සහ සුළු සේවකයනට පැණි වරකා ගෙඩි තුනක් ගෙනත් දීමට මේ මන්ත්‍රීතුමාගේ සිරිතකි. එක් දවසක් මේ මන්ත්‍රීතුමා මන්ත්‍රී සභාවට පැමිණියේ උක්ගස් ලොරියක් ද රැගෙනය. ඇමැතිවරයකුට උක්ගස් තුනක් ද, සේවකයන්ට උක්ගස බැගින් ද අර උක්ගස් ලොරිය බෙදා දුනි. එහෙත් මේ මන්ත්‍රීතුමා කේන්ති ගිය විට නපුරු ය.

හොරණ මන්ත්‍රීවරයා ‍වූයේ, ඒ.පී. ජයසූරියය. ජාඇල මන්ත්‍රීවරයා වූ ඩී.පී. ජයසූරියයි. මේ යුද්ධ කාලය වූයෙන් මන්ත්‍රණ සභාවේ කැන්ටිමේ වුවද කෑම ලැබෙන්නේ කලින් ඇණවුම් කළ පුද්ගලයන්ට පමණි. ඩී.පී. ජයසූරිය මහතා මන්ත්‍රණ සභාවට පැමිණි විගස තමාට දහවලට කෑම අවශ්‍ය බව දැන්වීය. මේ අතර ඔහු එන්නට කලින් කැන්ටිමට පැමිණි ඒ.පී. ජයසූරිය මහතාට සේවක පිරිස කෑම සපයන ලදහ. පසුව ඩී.පී. ජයසූරිය මහතා පැමිණ කෑමට හිඳ ගත්තත් ඔහුට කෑම නොලැබිණ. ජයසූරිය මහතා කෑම කා ගියේ යැයි කැන්ටිමේ සේවකයකු වූ ජුවානිස් අප්පු ඊ.පී. ජයසූරිය මහතාට දැන්වීය.

ඉනේ තිබූ පිස්තෝලයක් දික්කරගෙන ඩී.පී. ජයසූරිය මහතා ජුවානිස් අප්පු පිටිපස එළවාගෙන ගියත් ජුවානිස් අප්පුට දිවීමෙන් ජයගත හැකි විය.

Comments