පෝට්සිටි වෙතින් අත්‍යවශ්‍ය සේවා වල යෙදෙනන්ට පරිත්‍යාග රැසක් | සිළුමිණ

පෝට්සිටි වෙතින් අත්‍යවශ්‍ය සේවා වල යෙදෙනන්ට පරිත්‍යාග රැසක්

පැතිරී යාමේ දැඩි අවධානමක් සහිත කොරෝනා (කොවිඩ්19) වසංගත තත්ත්වය මධ්‍යයේ වුවද මුළු රටටම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ නිරත කොළඹ මැනිං තොග වෙළඳපොළේ දෛනික කටයුතු වල යෙදෙන්නන්ගේ සුරක්ෂිතතාව වෙනුවෙන් මුඛ හා අත් ආවරණ තොගයක් පරිත්‍යාග කිරීමට කොළඹ වරාය නගර (පෝට්සිටි) ව්‍යාපෘතිය අද කටයුතු කළේ ය.

 

මේ සමගම කොළඹ මැනිං වෙළඳපොළේ දෛනික කටයුතු අධීක්ෂණයට ලක් කරන ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන්ගේ ප්‍රයෝජනය පිණිස ද විශේෂ මුඛ හා අත් ආවරණ තොගයක් පරිත්‍යාග කිරීමට කොළඹ වරාය නගර ව්‍යාපෘතිය කටයුතු යොදා තිබුණි. මීට අමතරව තවත් මුඛ හා අත් ආවරණ ද ඇතුළත්ව විශේෂ පෞද්ගලික ආරක්ෂණ උපාංග විශාල තොගයක් ඉදිරි සතියේදී රෝහල් සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා රාජකාරි වල නිරතවන්නන් වෙත ලබා දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ වාණිජ කටයුතු අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කිරීමට කොළඹ වරාය නගර ව්‍යාපෘතිය කටයුතු යොදා ඇත. මෙම පරිත්‍යාගයන්හි මුළු වටිනාකම රු. ලක්ෂ 60 ඉක්මවයි. ඉදිරියේදී ත්‍රිවිධ හමුදාවන් සහ අනෙකුත් ඉදිරිපෙළ සේවාවන් ඉටුකරන පුද්ගලයන් වෙනුවෙන් විවිධ පරිත්‍යාගයන් සිදුකිරීමට කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සැලසුම් කර ඇත.

මැනිං වෙළඳපොළේ දෛනික සේවා කටයුතු වල යෙදෙන්නන් වෙත පුද්ගලික ආරක්ෂණ උපාංග ප්‍රදානය කිරීමේ අවස්ථාවට කොළඹ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සහ CHEC Port City Colombo සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ Jiang Houliang මහතා නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

කොවිඩ්19 තත්ත්වය හමුවේ මුඛ ආවරණ සහ අනෙකුත් ආරක්ෂක පැළඳුම් වලට විශාල ඉල්ලු‍මක් ඇතිවීම නිසා වෙළඳපොළ තුළ එම උපකරණ වල දැඩි හිඟයක් ඇති විය.

මෙම දුෂ්කර අවස්ථාවේදීත් සමස්ත රටටම ප්‍රමාදයකින් තොරව නැවුම් කෘෂි නිෂ්පාදන බෙදාහැරීමෙහි ලා කොළඹ මැනිං තොග වෙළඳපොළ සහ එහි සේවකයන් ඉටුකරන කාර්යභාරය සැලකිල්ලට ගනිමින්,

ඔවුන්ගේ ආරක්ෂාව උදෙසා මෙම ප්‍රදානයන් සිදුකිරීමට කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පියවර ගත්තේ ය.

මෙම වසංගතයෙන් මිදීමට රජය ගන්නා උත්සාහයට අත්වැලක් වෙමින්, මෙම අවස්ථාවේදී වගකීම් සහගත ලෙස කටයුතු කරමින් නිවෙස් වලම රැඳෙන ලෙසත්, යහපත් සනීපාරක්ෂක පුරුදු පවත්වාගන්නා ලෙසත්, පවතින තත්ත්වය පිළිබඳව නිරතුරුවම අවධානයෙන් පසුවන ලෙසත් කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සමස්ත ශ්‍රී ලංකාවාසීන්ගෙන් ඉල්ලා සිටී.

Comments