ලෙන තුළ නොවෙති පෙරලා නොඑති | සිළුමිණ

ලෙන තුළ නොවෙති පෙරලා නොඑති

“ලෙන තුළ නොවෙති

පෙරළා නොඑති

මම දැනගතිමි

මම සැක කළෙමි.” (සිංහබාහු)

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඇතුළත බිමක පිහිටි, ඔහුගේම සැලසුමක් මත ඉදි කළා යැයි පැවසෙන එළිමහන් රංග පීඨයේ පහළ වේදිකාවේ සිට උස් කඳු මුදුන් කරා පා වී ගිය ඒ හඬ කෙමෙන් නෑසී ගියේය. අදටත් බොහෝ ශිෂ්‍යයෝ ද ශිෂ්‍යාවන් ද එහි එති. පිට වී යති. එහෙත් මහැදුරු සරච්චන්ද්‍රයෝ නම් අද ඒ “ලෙන තුළ නොවෙති. පෙරලා නොඑති.”

1956 දී මෙරට සිදු වුයේ හුදෙක් දේශපාලන පෙරළියක්ම නොවේ. එය සංස්කෘතික විප්ලවයක් ද වේ. “අපි පනස්හයේ දරුවා් වෙමු.” ගුණදාස අමරසේකරයන් එසේ කීවේ මෙරට සමාජ ඉතිහාසයේ එක්තරා යුගයක් හඳුන්වා දීමටය. මහැදුරු සරච්චන්ද්‍රයෝ ද ඒ යුගයටම අයත් වෙති. පැවැති පිරිවෙන් අධ්‍යාපනයේ ඇසුර ද ලබමින් උසස් අධ්‍යාපනයට පිවිස පසුව විශ්වවිද්‍යාල අධ්‍යාපනය හරහා ද්වී භාෂා උගතුන් බවට පත්වූ මොවුහු බොහෝ දුරට උගත් ගැමි මැද පාංතිකයන්ගේ දරුවන් වූහ. මේ නව පරපුර මෙරට සමාජ ඉතිහාසයට අනුව ගත් කළ සමාජීය වශයෙන් සංක්‍රාන්ති සමයකට අයත් වූ බවක් ද පෙනේ.

ඒ කියන ලද සමාජ සංක්‍රාන්තියේ අධ්‍යාපන මූලස්ථානය වූයේ පේරාදෙනිය විශ්වවිද්‍යාලය යැයි සිතමි. එහි නිර්මාතෘවරයා යැයි කියන සර් අයිවර් ජෙනිංස් මෙම අධ්‍යාපන නිකේතනය නිර්මාණය කළේ අපුර්ව ආකාරයකටය. ඒ අනුව ඔහු මෙරට සාම්ප්‍රදායික ගෘහ, පොදුවේ ගත් කළ කැටයම් මූර්ති කලා නිර්මාණයන්හි ලාලිත්‍යය මතින් එය ඉදි කළේ යළිත් ඒ අතීත සම්ප්‍රදායන්ට සම වැදෙමින් භාවනා කිරීමට නම් නොවේ. එය එසේ ගොඩ නගන ඔහු සිතින් සිටියේ කේම්බ්‍රිජ්, ඔක්ස්ෆර්ඞ් වැනි යුරෝපයේ මහා විශ්ව විද්‍යාල සම්ප්‍රදායන් තුළ බවට සැක නැත. අප හොඳින් දන්නා පරිදි යටත් විජිත අධ්‍යාපනයේ පාදක අරමුණ වුයේ හමින් කළු වුණත්, චින්තනයෙන් සුදු නව පරම්පරාවක් ඇති කර ගැනීමය. පේරාදෙනිය විශ්ව විද්‍යාලය එහිලා තෝතැන්නක් ලෙසින් සලකා ඉදි නොකළේ යැයි සැක කරනවාට වඩා එය ඒ අරමුණ මත පිහිටියේ යැයි පිලිගැනීම වඩා තර්කානුකූලය.

මහැදුරු සරච්චන්ද්‍ර බිහිවූයේ එවැනි කාල වකවානුවකය. ඉහතදීත් කී ආකාරයට ඒ සංක්‍රාන්ති සමයේ දී මේ කියන විශ්වවිද්‍යාලයට පැමිණියවුන් මෙරට පිරිවෙන් අධ්‍යාපනයෙන් සිය උගත්කම වඩාගත් උගත් ගැමි මැද පාංතිකයන්ගේ දරුවෝ වූහ. ඒ අනුව ඔවුන්ගේ පියවරු අනගාරික ධර්මපාලයන් මුල් කොටගත් මහා ජාතික ප්‍රබෝධයේ උරුමය ලද්දවුන් වූහ. ජාතක කතා මතු නොව සද්ධර්මලංකාරය වැනි සම්භාව්‍ය සිංහල සාහිත්‍යයෙන් ශාස්ත්‍රඥානය ලද ඔවුන් නූතන සාහිත්‍යය වශයෙන් පියදාස සිරිස්නයන්ගේ ප්‍රබන්ධ කතාවන්හි ජාතික හැගීමෙන් ආස්වාදය ලද අය ද වූහ.

නමුත් ඒ ඇසුරේ හැදී වැඩී අර කියන ලද විශ්ව විද්‍යාල අධ්‍යාපනයට පිවිසුණු ඔවුන්ගේ දරුවන් සිය සාම්ප්‍රදායික ශීක්ෂණය එක සිතින් ඉවසනවාට වඩා තමන් උගත් විශේෂයෙන්ම බටහිරවාදී විචාර සැතින් පිරික්සීමට වඩාත් කැමති විය. පියදාස සිරිසේනයන්ගේ ප්‍රබන්ධ කතා ඔවුන් හමුවේ ප්‍රචාරකවාදී කතා බවට පත් වන්නේ ඒ අනුවය. ඒවා නූතන නවකතා අතරට වැද්ද ගැනීමට ඔවුන් අකමැති විය. මතයක් වශයෙන් එය ඉස්මතු කොට පෙන්වමින් “සිංහල නවකතා ඉතිහාසය හා විචාරය” ලියුවේද මහැදුරු සරච්චන්ද්‍රයන්මය.

මේ වනාහි සංක්‍රමණික සමයකි. ඒ බව මොනවට තහවුරු කරමින් සරච්චන්ද්‍රයන් මෙසේ පවසති.

“මා මනමේ නාටකය නිෂ්පඊට අනුව මනමේහි ාදනය කලේ බොහෝ සෙයින්ම දේශීය යැයි කිවහැකි රීතියක් ඇසුරින් නාට්‍යයක් බිහි කිරීමේ අධ්‍යාශයෙනි. පළමු කොටම ආකෘතිය පිළිබඳ පර්යේෂණයක් ලෙස මා සැලකුවේ ජපනුන්ට නෝ, කබුකි මෙන් ද, චීනුන්ට බෙයිජිං ඔපරා, කැන්ටොන් ඔපරා ආදිය මෙන් ද, භාරතීයන්ට සංස්කෘත නාට්‍යයන්, තෙරුක්කුත්තු, හවායි, තමාෂා, ජාත්‍රා ආදිය මෙන් අපටත් ආවේණික වූ නාට්‍ය රීතියක් ගොඩ නංවාගත හැකි නම් ඒ රීතියේ නාට්‍ය ගණනාවක් බිහි කොට අපේ වින්දනයටත්, සංස්කාතික දායාදයක් වශයෙන් තබාගත හැකි නොවේදැයි මම සිතුවෙමි. එහෙත් මගේ ඒ ප්‍රාර්ථනා සිද්ද වූයේ නැත.”

සරච්චන්ද්‍රයන්ට අනුව එසේ එය සිද්ද නොවුයේ ඉන් පසුව බිහිවූ ඒ ආකෘතිය අනුව ගිය අනුකාරක නාට්‍ය රැල්ල හේතු කොටගෙනය. නමුත් ඔහු ඊට පෙර අවස්ථාවක දී පෙන්වා දී ඇති අන්දමට මනමේ නාට්‍යයේ අන්තර්ගතය ඔහු අතින් සකස් වන්නේ ජපන් පුරාවෘත්තමය කතාවක් වූ “රෂොමාන්” අනුව යමිනි. ඊට අනුව මනමේහි අවසානය ද රෂොමාන්හි මෙන් අවිනිශ්චිත අවසානයක් ලෙසින් දැකීමට ඔහු කැමති වී ඇත. මේ කියන අවිනිශ්චිත බව ඒ යුගයේ ද අනන්‍ය ලක්ෂනයක් ද වේ. එක් අතකින් ජාතික සංස්කෘතික අනන්‍යතාවක් වෙනුනේ පෙනී සිටින තරමටම අනිත් අතින් තම සමාජ සංස්කෘතික අනන්‍යතාව අබිබවා හෝ ඊට වෙනස් මානයන්හි දිවෙන ආගන්තුක මත හෝ ප්‍රවාද මත නිර්මාණකරණයට යොමු වීමෙන් උපන් ජාතික සංස්කෘතික අවිනිශ්චිත බව ඒ යුගයේ ප්‍රධාන පෙලේ හැසිරීමක්ම විය. කෙසේ වුව මහැදුරු සරච්චන්ද්‍රයන් ඒ අවිනිහ්චිත හෙවත් සංක්‍රාන්ති සමාජ ව්‍යුහයේ නියෝජනයක් බවට පත් වන්නේ සිංහල ගැමි නාටකය පිළිබඳ ප්‍රාමාණික හැදෑරිමක් ඇතුවය කියන කරුණ ද මෙහිදී අමතක නොකළ යුතු වේ.

තමන්ගේ මනමේ නාට්‍යය සම්බන්ධයෙන් සමහර විචාරකයන් කීවේ යැයි ඔහු පවසන මේ කියුම ද කල්පනාවෙන් සලකා බැලීම වටී.

“සමහර සිංහල පුවත්පත්කරුවන් කීවේ එය, ගැමි නාඩගමක් ඔප මට්ටන් කොට, කොළඹ හතේ උදවියට පෙන්වීම සඳහා ලයනල් වෙන්ඩ්ට් ශාලාවට ගෙනෙන ලද්දක් බවය.”

මේ පෙන්වා දීම මහැදුරු සරච්චන්ද්‍රයන්ගේ ප්‍රසාදයට හේතු නොවුණත්, අප සිතන අන්දමට නම් ඔහු එය පිලිගත යුතුව තිබුණේ හුදෙක් එය තමන්ට එල්ල කළ පෞද්ගලික ප්‍රහාරයක ට වඩා තමන් විසු ඒ යුගය සම්බන්ධයෙන් කළ විමසීමක් හැටියට යැයි සිතේ.

මේ සියලු කාරණා අවසන් වශයෙන් පෙන්වා දෙන්නේ ඔහු විසුවේ සංක්‍රාන්ති සමයක බවය. විශේෂයෙන්ම ඔහුගේ මනමේ, සිංහබාහු වැනි ප්‍රධාන පෙලේ නිර්මාණයන්හි ඒ සංක්‍රාන්ති ස්වරූපය හොඳින්ම දැක ගැනීමට පුළුවන. ඔහු ප්‍රාර්ථනා කළේ ජාතික අනන්‍යතාවක් සහිත සමාජ සංස්කෘතියකි. නමුත් ඔහු විසු විශේෂයෙන්ම ඒ විශ්ව විද්‍යාලයීය සමාජ දේශපාලනය විසින්ම මෙරට පැවැති ඒ මහා ජාතික සංවාදය ප්‍රතික්ෂේප කොට තිබුණි. මේ බව හොඳින්ම පෙන්වා දුන්නේ ද ඔහුගේ සමකාලීන ගුණදාස අමරසේකරයන්ය.

Comments