බස්තම දාලා ආව එඩින්බරෝට නාඋල ගම්මුලාදෑනි ගෙන් බස්තමක් | සිළුමිණ

බස්තම දාලා ආව එඩින්බරෝට නාඋල ගම්මුලාදෑනි ගෙන් බස්තමක්

එඩින්බරෝ ආදිපාදවරයාට බස්තම තිළිණ කරන බී.එම්. පුංචි බණ්ඩා

- බස්තම හදවාගත්තේ වල්මොරුව ගමේ කෙනෙකුට කියලා 
- ජලාශය විවෘත කරන තැනට ආදිපාදවරයා ගියේ තෑග්ගට ලැබුණු බස්තමත් අරන්

මෙරට ඉදිවූ විශිෂ්ටතම වාරි නිර්මාණ අතර මුල්ම කොන්ක්‍රීට් වාරි වෙල්ල පිහිටි නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ නාලන්දා ජලාශය හා බැඳුණු සත්‍ය සිදුවීම් රැසකි.

1947 – 57 කාලයේ ඒ සුවිශේෂි නිර්මාණය ඉදි කර ඇති බවට 2019. 03. 10 වන දින සිළුමිණ පුවත්පතට ලිපියක් සපයමින් ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා සහ මානව ශ්‍රස්ත්‍ර පීඨයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යානාංශ පිඨාධිපති මහාචාර්ය චන්දන රෝහන විතානච්චි මහතා සදහන් කර තිබේ.

එවකට පැවති සමාජ පසුබිම ඔස්සේ ගොඩනැඟුණු සමාජ තත්ත්වය හමුවේ පන්සීයකට අධික පිරිසක් එම ව්‍යාපෘතියේ වැඩකටයුතු සඳහා එක් වී තිබේ.

මෙහි ඇති විශේෂත්වය වන්නේ බ්‍රිතාන්‍ය කිරුළ හිමි එලිසබෙත් රැජිනගේ සැමියා වන එඩින්බරෝ ආදිපාදවරයා නාලන්දා ජලාශ නිරීක්ෂණයට පැමිණීමය.

එවකට නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ වල්මොරුව, හෝමාපොළ, දෙමදඔය ප්‍රදේශ ආවරණය කරමින් ග්‍රාම නිලධාරිවරයෙකු ලෙස සේවය කර ඇත්තේ බස්නායක මුදියන්සේලාගේ පුංචි බණ්ඩා නම් ග්‍රාමනිලධාරි මහතෙකි.

ඔහු එඩින්බරෝ ආදිපාදවරයට බස්තමක් තිළිණ කිරීම මෙහිදි සිදු වන සුවිශේෂි සිදුවීමකි. එවකට පැවති රජයේ ඉඩම්, වාරිමාර්ග හා විදුලිබල ඇමැතිවරයා වූයේ සී. පී. ද සිල්වා මහතායි. සී.පි. ද සිල්වා මහතා සමඟ කුලුපග ඇසුරක් පැවැත්වූ පුංචි බණ්ඩාට එඩින්බරෝ ආදිපාදවරයා වෙත බස්තමක් තිළිණ කිරීමේ අවස්ථාවට මඟ පෑදෙන්නේ ඒ සම්බන්ධය නිසාය.

සිදු වූයේ කුමක්දැයි කියා දැනගැනීමට තොරතුරු අසන්නට පුංචි බණ්ඩා අද ජීවතුන් අතර නැත. එහෙත් පුංචි බණ්ඩාගේ දියණියක වන මාතලේ, පල්ලේපොළ වෙසෙන බී.එම්.ඉන්ද්‍රා විජේකෝන් අපට මේ තොරතුරු කීවාය. ඇය දැන් හැත්තෑ හැවිරිදි වියේ පසු වෙයි.

“ එඩින්බරෝ ආදීපාදවරයාට බස්තමක් දෙන්න කියලා වල්මොරුවෙන් තමයි අප්පච්චි ඒක හැදෙව්වේ.

ලංකාවට එන ගමනේදී එඩින්බරෝ ආදිපාදවරයා බස්තමක් අරන් ඇවිත් තිබුණේ නැහැ. අප්පචිචි බස්තම දුන්නම එතුමා ගොඩාක් සන්තෝෂ වුණා. එතුමා බස්තමත් අරන් තමයි නාලන්ද ජලාශය විවෘත කරන තැනට ගියේ. ඒ කාලේ ඉස්කෝලේ යනවා. මමත් ගියා අප්පච්චි එක්ක ඒ ගමනට. මට ඒ සිද්ධිය හොඳට මතක ඒ නිසයි. මගේ අප්පච්චිත් ඩී. එස්. සේනානායක මහත්තයා එක්ක ළඟ දැන හැඳුනුම්කමක් තිබුණා. අප්පච්චි එතුමාට කෑම උයාගෙන යනවා මතකයි ඒ දවස්වල. වල්මෝරුව, හෝමාපොළ, දෙමදඔය කියන්නේ ගොඩක් දුර පළාත්. ඒ හැම වසමකම අප්පච්චි ගියේ පයින්.

ඒ කාලේ රාජකාරි කළේ ඒ විදිහට. මිනිසුන්ගෙත් පුදුම ගෞරවයක් තිබ්බා අප්පච්චි ගැන. අප්පච්චි ආදිපාදතුමාට බස්තම දීලා ඇවිත් ගොඩක් සතුටින් ඒ ගැන කතා කළේ. ඒ අවස්ථාව කෙනෙකුට හිමි වන ඉතාම දුර්ලභ අවස්ථාවක්”

අතීතය තුළ කළ කී දෑ ඈ දිග හැරියේ එක හුස්මටය. අතීතයේ ඇගේ පියාණන් කළ කටයතු අතර මේ බස්තමේ කතාව තවත් එක් කටයුත්තක් පමණක් යැයි අපට සිතේ. දුරකතන පහසුකමක් හෝ නැති සමයක ගම්මාන කිහිපයක් පාලනය කිරීම අද වගේ නම් කෙතරම් දුෂ්කර කටයුත්තක් ද? එදා ඒ බාධක පසෙක ලා සිය රාජකාරිය අකුරටම ඉටු කරන්නට මේ රටේ බොහෝ රාජ්‍ය නිලධාරීන් කටයුතු කර ඇති බවට අපට ඕනෑ තරම් සාක්ෂි හමුවෙයි. මෙය තවත් එක් කතාවක් පමණි.

මාතලේට වයඹින් පිහිටි බිලගල, අස්ගිරිකන්ද සහ මකුළුස්ස ආදී කඳු ශිකර අතරින් උපදින නාලන්දා ඔය සැතපුම් 20ක් පමණ දිගය. එහි උඩුගං කොටස්වලට දෙවිල්ල ඔය, හෙල්වත්ත ඔය සහ අකුරම්පොත යන නම් යෙදෙයි. බටහිරින් පිහිටි අඩි එක්දහස් හතලිස් හතරක් උසැති අම්බොක්කෙන් නැඟී උතුරින්, ඉනික්බිතිව නැඟෙනහිරත් බලා ගලන අම්බොක් ඔය අඩි 780ක් පමණ උසේදී එහි වම් ඉවුරෙන් එකතු වෙයි.

සැතපුමක් ඇතුළත දී අඩි 1500ක් බස්නා ඇළයෙන් නික්මුණු නාලන්දා ඔයේ ගමන් වේගය යටිගං පියසේ දී බෙහෙවින් අඩු වේ. සැතපුම් 19ක් පමණ ගමනක් ඇතුළත දී එහි බැස්ම අඩි 720ක් පමණ හෙයින් එහි අනුක්‍රමණය 1: 140 ක් පමණ වෙයි. (මහැවැලි වංශය - 1 කාණ්ඩය- 1984 මුද්‍රණය)

මෙරට වාපි ශිෂ්ටාචාරය උඩු යටිකුරු කරමින් වේලී ඉදිකිරිමේ දී කොන්ක්‍රීට් භාවිතය මෙන්ම ඒ ආශ්‍රීත තාක්ෂණික ක්‍රමවේදය සම්බන්ධයෙන් ද එවක මෙරට ඉංජිනේරුවන් සතු දක්ෂතා නාලන්දා ජලාශය අදටත් කියාපායි.

එවකට නාලන්ද ජලාශය අවට පදිංචිව සිටි ජනතාව සීගිරිය ප්‍රදේශයේ පදිංචි කිරීමත් ඇළහැර ව්‍යාපාරය ඉදි වීමත් සුවිශේෂි සිදුවීම්ය. බ්‍රිතාන්‍ය රජයේ මැදිහත් වීම මේ ජලාශයේ ඉදි වීම කෙරෙහි බලපා ඇති අයුරු මෙන්ම එවකට පැවති පරිපාලන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ද කතා කළ හැකි කරුණු බොහෝය. නව ජනපද බිහි වීම මෙන්ම වාපි ශිෂ්ටාචාරයේ හැරවුම් ලක්ෂ්‍යක් බවට පත් වූ මාතලේ දිස්ත්‍රික්කයේ නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ නාලන්ද ජලාශය නිසා සිදුවී ඇති වාරි සංවර්ධනය ද සුළුපටු නොවේ. යල මහ දෙකන්නයේ කුඹුරු අක්කර දහස් ගණනක් අස්වද්දන්නට සමත් වී ඇති නාලන්දා ජලාශයෙන් නාඋලට පමණක් නොව රජරටට ජලය බෙදා හැරේ. රජයේ යෝජනාවන් අතර වයඹ ප්‍රදේශයේ වැව් අමුණු පිරවීමට ද නාලන්දා ජලය භාවිතයට ගැනීමට කටයතු කරමින් සිටී. වසර ගණනාවක් තිස්සේ නිහඬව ඉදි වන මේ වාරි වික්‍රමය දෙස එදා ජනතාව විස්මයෙන් බලා සිටින්නට ඇත.

ඒ අතර පුංචි බණ්ඩලා වැනි මුලාදෑනීන් ද බ්‍රිතාන්‍ය රජ කුමරුට ත්‍යාග ලබාදෙන්නේ මේ සුවිශේෂි වාරි වික්‍රමයේ කොටස්කරුවන් වශයෙනි. අතීතයේ බොහෝ දෑ අතීතය තුළම වැලළි යෑම පසෙක ලා අදටත් විරාජමානව බලා සිටින එහෙත් භාවිතයට නොගන්නා නාඋල පිහිටි නාලන්දා තානායම මෙන්ම නාලන්ද ජලාශය ආසන්නයේ පිහිටි බංගලාව ද මේ අතීත සිදුවීම්වලට අදටත් සාක්ෂි සපයයි.

සුදු අධිරාජ්‍ය සමයේ දී භාවිතයට ගන්නා ලද එම ගොඩනැගිලි අද වන විවිධ අපචාරයන්ට තෝතැන්නක් බවට පත් වී ඇතැයි පවසන්නේ ඒ අවට පදිංචිකරුවෝය.

කෙසේ නමුත් නාලන්දා ජලාශය මෙන්ම ඒ අවට පිහිටි බෝවතැන්න ජලාශය ඇතුළු ලංකාවේ වැඩිම වැව්වලින් පිරි නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය පිළිබඳ සැඟව පවතින සත්‍ය සිදු වීම් රැසකි.

ඒ අතර එඩින්බරෝ ආදිපාදවරයාගේ නාඋල සම්ප්‍රප්තිය ද සුවිශේෂි වන්‍නේ එවැනි කාරණා රැසක් හේතුවෙනි.

ඉන්දික අරුණ කුමාර 
ඡායාරූප - ඉන්දික අරුණ කුමාර

Comments