වහල දස ලක්ෂයක් විදුලි බලාගාර කරන ‘එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සහන පොලී ණය වැඩසටහන’ | සිළුමිණ

වහල දස ලක්ෂයක් විදුලි බලාගාර කරන ‘එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සහන පොලී ණය වැඩසටහන’

  • විදුලි සුරක්ෂිතතාව
  • සමතුලිතතාව රැකගැනීම

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යවසායකත්ව පාරාදීසය ණය යෝජනා ක්‍රමය” බිහිවන්නේ 2018 අය-වැය යෝජනාවක් අනුවය. ශ්‍රී ලංකාව ව්‍යාවසායකයන්ගේ පාරාදීයක් බවට පත් කිරීමේ අරමුණින් මෙම ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව 2018/06/05 වන දින මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලදි. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍යාංශය මෙම “එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා” වැඩසටහන සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීම සදහා සෘජුවම දායකත්වය සපයන අතර රාජ්‍ය හා පෞද්ගලික බැංකු මෙන්ම විදේශීය මූල්‍ය සහයෝගිතා ආයතන සහ අනෙකුත් සහභාගිත්ව ආයතන රැසක් එහි ප්‍රතිලාභ ජනතාව වෙත ලබා දීම සදහා ක්‍රියාකාරීවම දායක වේ.

“එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ හදුන්වා දුන් සුවිශේෂම ණය යෝජනා ක්‍රමයක් ලෙස නිවාස දස ලක්ෂයක වහල මත සූර්ය බල පද්ධති සවි කිරීමේ “සූර්ය බල සංග්‍රාමය” ජාතික වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක කරන රිවි බල සවි ණය යෝජනා ක්‍රමය හැදින්විය හැකිය. සෑම නිවාස ඒකකයක්ම සූර්ය බල ශක්ති උත්පාදන ඒකකයක් බවට පත් කිරීමේ අරමුණින් මෙම ණය යෝජනා ක්‍රමය දියත් වන අතර ලබා දෙන ණය මුදලට අදාළව අය කරනු ලබන පොලියෙන් 50% ක්ම ගෙවීමට අවශ්‍ය කටයුතු යොදා ඇත්තේ රජය විසිනි. ඒ අනුව සූර්ය බල පද්ධති මිලදී ගන්නා පාරිභෝගික ජනතාවට 6.75% ඉතාම සහනදායී පොලී අනුපාතයක් යටතේ රුපියල් 350,000ක උපරිම ණය මුදලක් තමන් මිලදී ගැනීමට බලාපොරොත්තු වන සූර්ය බල පද්ධතිය මිලදී ගැනීම සදහා ලබා ගත හැකි වේ.

මේ වන විට මෙරට තුළ බලශක්ති අර්බුදයක්ද මෝදු වෙමින් පවතින අතර ආර්ථික විශේෂඥයින්ගේ අදහස නම් දිනෙන් දින අර්බුද මවන ජල විදුලිය හා ඉන්ධන වැනි ප්‍රභවයන් මත තවදුරටත් යැපෙන්නේ නැතිව සූර්ය බල ශක්තිය වෙනි විකල්ප බලශක්ති ප්‍රභවයන් පිළිබදව දැන්වත් අප අවධානය යොමු කළ යුතු බවයි. ඕස්ට්‍රේලියාව වැනි සූර්ය තාපය එතරම් නොලැබෙන රටවල් පවා ඒ පිළිබඳ අවධානය යොමුකර ඇති අතර එවැනි ඉදිරිගාමී තැනක සිටිය යුතු අප තවමත් පසු වන්නේ පසුගාමී තැනක වීම කනගාටුවට කරුණකි.

“රිවි බල සවි” ණය යෝජනා ක්‍රමය යටතේ එම ණය අපේක්ෂා කරන ජනතාව සදහා අවශ්‍ය ණය මුදල් ලබා දීමේදී ලබා දෙන සහනදායී පොලී අනුපාතයට අමතරව ණය ආපසු ගෙවීම සදහා වසර පහක කාලයක්ද ලබා දී තිබීම විශේෂයෙන් සදහන් කළ යුත්තකි. මෙම ණය මුදල් ලංකා බැංකුව,මහජන බැංකුව හා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව වැනි රාජ්‍ය බැංකු හරහා ලබා ගත හැකි අතර සූර්ය පැනල මිලදී ගැනීමට ඔබ ණය මුදලක් ලබාගත්තේ නම් ඔබ තෝරාගන්නා සූර්ය බල පද්ධතිය අනුව විදුලි බිල සඳහා වැය වන මුදල සම්පුර්ණයෙන් උපයා ගත හැකි වීම සුවිශේෂම කාරණයක් ලෙස සදහන් කළ හැකි වේ.

මේ වන විට “රිවි බල සවි” ණය ලබා දී ඉතාම සාර්ථක ලෙස මේ වන විට ක්‍රියාවට නැගෙන “සූර්ය බල සංග්‍රාමය” වැඩසටහන යටතේ 2025 වන විට ජාතික විදුලි බල පද්ධතියට මෙ.වො. 1000ක් එක්කර ගත හැකි වෙතැයි ගණන් බලා තිබේ. මෙම වැඩසටහන තුළින් නිවාස 1,000,000ක සූර්ය බලාගාර පිහිටුවමින් රට බල ශක්තියෙන් ස්වයංපෝෂිත කිරීම අරමුණු කොට ඇති අතර මෙම සූර්ය බලාගාර 1,000,000 අතරින් 20%ක් වත් අඩු අදායම් ලාභී පවුල්වලට ලබා දීම තුළින් අඩු ආදායම් ලාභී පවුල් ලක්ෂ 02ක් නව ක්‍රමය යටතේ විදුලි නිෂ්පාදකයන් බවට පත් කිරීමට ද සැලසුම් සකස් කර තිබේ.

මෙරට බලශක්ති අර්බුධයට ඉතාම සුවිශේෂී හා නිර්මාණශීලී පිළිතුරක් ලබා දෙමින් ක්‍රියාවට නගා ඇති මෙකී “සූර්ය බල සංග්‍රාමය” වැඩසටහන යටතේ දැනට මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට පමණක් සීමා වී ඇති විදුලි නිෂ්පාදනය සඳහා සමස්ත ජනතාවට සම්බන්ධ වීමට හැකි වෙතැයි තහවුරු කර තිබේ. පාරිභෝගිකයින් විශාල ප්‍රමාණයක් විදුලි නිෂ්පාදිකයින් වන බැවින් විදුලි ජනනයෙන් ලැබෙන ආදායම තුළ රටේ ආදායම් බෙදීයාමේ විෂමතාවය අඩු වනු ඇතැයිද පුරෝකථනය වී ඇති අතර රට පුරා විසිරුණු කුඩා පරිමාණ විදුලි නිෂ්පාදනාගාර පද්ධතියක් තිබෙන බැවින් එය ජාතික විදුලි සුරක්ෂිතතාවයටද ධනාත්මකව බලපානු ඇතැයි නිර්වචනය කර තිබේ. මීට අමතරව සූර්ය බල විදුලිය නිසා පරිසර හානිය අවම කරගත හැකි අතර සහ තාප බලාගාරවලින් විදුලි ජනනය හේතුවෙන් වායු ගෝලයට මුදා හැරෙන කාබන්ඩයොක්සයිඩ් (CO2) ප්‍රමාණය වසරකට මෙ.ටො. 150,000ක් පමණ අඩු කර ගත හැකි වෙතැයි ගණන් බලා ඇත. එසේම සූර්ය බලය නොමිලේ ලැබෙන බලශක්ති ප්‍රභවයක් බැවින්, බලශක්තිය සඳහා (ඉන්ධන සහ ගල් අඟුරු) දැනට වැය කරන විදේශ විනිමය ප්‍රමාණය අඩු කර ගත හැක.

එපමණක් නොව පරිසර හානිය අවම කරගත හැකිවීම සහ තාප බලාගාරවලින් විදුලි ජනනය හේතුවෙන් වායු ගෝලයට මුදා හැරෙන කාබන්ඩයොක්සයිඩ් (CO2) ප්‍රමාණය වසරකට මෙ.ටො. 150,000ක් පමණ අඩු කර ගත හැකි වෙතැයිද සදහන් වන අතර වැඩි වැඩියෙන් සූර්ය බල ශක්තියට අවධානය යොමු කිරීමට හැකි වුව හොත් විදුලි බලය සම්ප්‍රේෂණ හා බෙදා හැරීමේ හානිය අවම වී විදුලි පද්ධතියේ සමතුලිතතාවය රැකගැනීමට පහසු වන බවද පෙන්වා දී ඇත.

මේ අතර “එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ “රිවි බල සවි” ණය ලබා දෙනු ලබන රාජ්‍ය බැංකු වෙතින් ලැබෙන අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරනු ලබන අන්දමට මේ වන විටත් බොහෝ පිරිසක් තම නිවසේ වහලය කුඩා විදුලි බලාගාරයක් බවට පත් කිරීම සදහා මෙම ණය ලබා ගැනීමට ඉල්ලුම් කර තිබේ. ඒ අය අතරින් සැලකිය යුතු පිරිසකට මේ වන විටත් අවශ්‍ය ණය මුදල් ලබා දී ඇති අතර ඉදිරියේදීද තවත් විශාල පිරිසකට මෙම ණය මුදල් ලබා දීමට හැකි වෙතැයි විශ්වාසය පළ වී තිබේ.

Comments