පරිප්පු ගම්මා­නයේ කොටි කර­දර | Page 2 | සිළුමිණ

පරිප්පු ගම්මා­නයේ කොටි කර­දර

භාර­තයේ තෙළ­ඟනා ප්‍රාන්තයේ ගම්මාන කිහි­ප­යක ජනතාව කොටි තර්ජ­නය නිසා පීඩා විදිති. කපු සහ පරිප්පු වගා කර­මින් දිවි­ගෙ­වන මේ ජන­තා­වගේ ජීවිතවලට උදා වී ඇති කල­ද­සාව ගැන සට­හ­නකි මේ.

තෙළ­ඟනා ප්‍රාන්තයේ මාරක කොටි කටක ජීවත් වන ගම්මාන කිහි­ප­යක ජනයා ඉන්දීය රජ­යෙන් පදිං­චි­යට ආරක්ෂිත ස්ථාන යදිති. මේ අවා­ස­නා­වන්ත තත්ත්ව­යට මුහුණ දී සිටින්නේ තෙළ­ඟනා ප්‍රාන්තයේ මන්චේ­රි­යල් දිස්ත්‍රි­ක්කයේ ගම්මාන පහක වෙසෙන පවුල් සිය ගණ­න­කට අයත් පිරි­සකි. ගම්මාන පහේම වාසය කරන්නේ ගොවි­තැන් බතක් කර­ගෙන සරල දිවි පෙවෙ­තක් ගත කරන ගම්මුන්ය. ඔවුන් කොටින්ගේ දත් විළි­ස්සී­මට හසු­ව­න්නට පටන් ගත්තේ කවාල් අභය භූමිය කොටින් සඳ­හා ම වෙන් කළ රක්ෂි­ත­යක් බවට පත් කිරී­මත් සම­ඟයි. මේ පරි­ව­ර්ත­නය කෙරුණේ 2012 වස­රේදී ය.

කවාල් අභය භූමිය, තෙළ­ඟ­නාහි උතු­රු­දි­ගට වන්නට පිහිටි පැර­ණි­තම අභය භූමි­යකි. කවාල් වන බද පෙදෙස වෘක්ෂ­ල­තා­දි­යෙ­නුත් සත්ත්ව ගහ­නය අති­නුත් පෙහො­සත් පෙදෙ­සකි. ගෝදා­වරී සහ කදම් ගංඟා ද්වයෙහි ජල­ධා­රක ප්‍රදේ­ශය වන්නේ ද යට කී වනා­න්ත­ර­යයි. අභය භූමි­යට යටත් පෙදෙස වර්ග කිලෝ­මී­ටර 893කට අධික ය. වන බිම පැතිර ඇති ප්‍රදේ­ශයේ විශා­ල­ත්ව­යත්, එහි ජීව­ත්වන වන සතුන් ප්‍රමා­ණ­යත් සැල­කි­ල්ලට ගත් ඉන්දීය වන­ජීවී බල­ධා­රීහු එය කොටින් සඳහා වෙන් කළ සංර­ක්ෂි­ත­යක් ලෙස නම් කළහ. ඉන්දීය බල­ධා­රීන් මේ තීර­ණ­යට එළැ­ඹියේ වනා­න්ත­රය අවට ඒ වන­විට ස්ථාපි­තව තිබූ ගම්මාන සහ ඒවායේ ජීව­ත්වන ජන­යාගේ ජන ජීවි­තය ගැන කිසිඳු තැකී­ම­කින් තොර­වය. එය කෙත­රම් භයා­නක තත්ත්ව­යක්ද යත්, රක්ෂි­තය මධ්‍ය­යෙ­හිම හුෙද­කලා බවට පත් ගම්මාන දෙක තුනක ජන­යාට මේ තීර­ණ­යෙන් කිසිදු හවුහ­ර­ණක් නැති විණ. මයි­ස­ම්පෙට් යනු එවැනි එක් ගම්මා­න­යකි. හතර වටින්ම රක්ෂි­ත­යෙන් වට­වුණු එහි වැසි­යන්ගේ ජීවිත, ඉන්දීය වන­ජීවී බල­ධා­රීන්ගේ තීර­ණය නිසා හදි­සි­යේම අවුල් වන්නට පටන් ගත්තේය.

පවුල් 79කට අයත් පිරි­සක් මයි­ස­ම්පෙට් ගම්මා­නයේ ජීවත් වෙති. ගොවි­තැ­නින් ජීවත් වන ඔවුන් අක්කර සිය­ය­කට ආසන්න භූමි ප්‍රමා­ණ­යක විවිධ බෝග වගා කර අස්වද්දා ඇත. ඔවුන් එහි වැඩි­පු­රම වගා කර තිබෙන්නේ කපු සහ මයි­සූරි පරිප්පු වැනි දෑ ය. මේ බෝග අස්ව­ද්දන්ට හැකි වන්නේ වසරේ එක් කන්න­ය­කදී පමණි. වගා කට­යුතු එක් කන්න­ය­කට පම­ණක් සීමා වී තිබෙන්නේ ප්‍රදේ­ශ­යට ලැබෙන වර්ෂා­ප­තන රටාව පද­නම් කර­ගෙන ය. වර්ෂා­ප­ත­නය අඩු වුවත් රක්ෂි­තය ඇසුරු කර­ගත් මයි­ස­ම්පෙට් ගම්මා­නය සුන්ද­රය; නිස්ක­ලං­කය. බැලූ බැලූ අත පෙනෙන්නේ තද කොළ පැහැ­යෙන් බරව සැලෙන අතු ඉති ය. ඒ තුරු ලතා­දිය අත­රින් ඈතට දිස්වන නිවාස පෙළත් හරිම අපූරු ය. ගම්මුන්ගේ නිවාස තනා තිබෙන්නේ උණ පතු­රු­ව­ලින් කළ පැදුරු, වේවැල් ආදි­යෙනි. නිවාස සෙවිලි කිරී­මට යොදා ගැනෙන්නේ උණ කොළ ය. ගඩො­ළින් කළ තැනින් තැන ඇති නිවාස දෙක තුනක් හැරුණු විට අනෙක් බහු­ත­ර­යක් නිවාස යට කී ලෙස උණ පතුරු සහ උණ කොළ ආදි­යෙන් තනනු ලැබූ ඒවා ය.

මයි­ස­ම්පෙට් මෙන්ම රාම්පූර් ගම්මා­න­යත් පිහිටා තිබෙන්නේ කොටි රක්ෂි­තය මධ්‍යයේ ය. මේ ගම්මා­න­වල වැසි­යෝ තමන්ගේ ආහාර පාන අව­ශ්‍යතා සපුරා ගැනී­මේදී වන සතුන්ගේ මාංස­ව­ලට වැඩි තැනක් දෙති. ඒ නිසා ඔවුන් වන සතුන්ට උගුල් අටවා තිබෙනු, දින­ප­තාම වාගේ දකි­න්නට පුළු­වන. ඔවුන් උගුල් අට­වන්නේ වල් ඌරන්, ගෝනුන්, මුවන් වැනි සතුන්ව මරා ගැනීම සඳ­හාය. ඒ උගු­ල්ව­ලට කොටින් හසු­වීම ද දුලබ නැත. එසේ මිය­ගිය කොටින්ගේ දේහ වනය තුළ තිබී හමු­වුණු අව­ස්ථාත් ඇතැයි කියා කවාල් කොටි රක්ෂි­තය භාර වන­ජීවී නිල­ධා­රීහු පව­සති. 2017 සිට මේ දක්වා කාලය තුළ වන­ජීවී අප­රාධ 78ක් එහි සිදුව ඇත. 2015 – 16 කාල­යෙදී එහි සිදු වූ වන ජීවි අප­රාධ ගණන 84ක් පමණ වේ. කවාල් රක්ෂි­තය භාර වන ජීවී නිල­ධා­රීන් පව­සන්නේ රක්ෂි­තය ආශ්‍රිත ගම්මා­න­වල ජන­යා­ගෙන් වන­ජී­වීන්ට එල්ල වන අය­හ­පත් බල­පෑම වැඩි­වීමේ ප්‍රව­ණ­තාවක් ඇති බවකි. තත්ත්වය කෙත­රම් දරු­ණු­දැයි කියා කිව­හොත් වඳ වී යෑමේ තර්ජ­න­යට මුහුණ පා සිටින වන ජීවීහු ද ගම්මුන් අතින් මරා දැමෙති. කවාල් කොටි රක්ෂි­තයේ අධ්‍යක්ෂ සී.සර­ව­නන් ඒ ගැන කියන්නේ මෙහෙම කතා­වකි.

“... කවාල්හි සිදු­වුණු සෑම දඩ­ය­මක්ම සිදු­වෙලා තිබෙන්නේ ගම්මුන්ගේ මස් පරි­භෝ­ජ­නය මුල් කර­ගෙන. හුඟක් වෙලා­වට ඔවුන් එළා ගන්නේ වල් ඌරකු, එහෙ­මත් නැත්නම් මුවකු වගේ සතෙක්. ක්‍රීඩා­වට, විනෝ­ද­යට වන සතුන් මරා දමන වගක් මෙහි කොහො­ම­ට­වත් දක්නට ලැබෙන්නේ නැහැ. මස් පිණිස වන සතුන් එළා ගැනීම ගැන ගම්මුන් දැනු­ම්වත් කිරීමේ වැඩ­ස­ට­හන් අපි පව­ත්ව­නවා. ඒ වුණත් තව­මත් ඉන්නවා; දඩ­යම නිසා වැර­දි­ක­රු­වන් බවට පත්වන පිරි­සක්. කවාල් රක්ෂි­තය ආශ්‍රි­තව ඇති වී තිබෙන තත්ත්වය පාල­නය පිණිස අපි තව­දු­ර­ටත් පිය­වර ගනි­මින් ඉන්නවා. ...” යනු­වෙනි.

කවාල් කොටි රක්ෂි­තයේ ජෛව විවි­ධ­ත්වය ආරක්ෂා කිරීම බෙහෙ­වින්ම වැද­ගත් ය. එහි ජෛව විවි­ධ­ත්වය බිඳ වැටු­ණ­හොත් එම පරි­සර පද්ධ­තිය ආශ්‍රිත ආහාර දාම සහ ආහාර ජාල­වල මාංශ භක්ෂක ජීවීන්ට සාග­තයේ හිඳි­න්නට සිදු­වනු ඇත. එවිට එම මට්ට­ම්වල ජීවින්ගේ - විශේ­ෂ­යෙන්ම මාංශ­මය ආහාර මත පම­ණක් යැපෙන කොටින් වැනි ජීවීන්ගේ ගහ­නය අඩු­ව­න්නට ඉඩ තිබේ. මේ තත්ත්වය වළක්වා ගැනී­මට ඇති එකම පිය­වර රක්ෂි­තය තුළ හා ඒ අවට ඇති ගම්මාන ඉවත් කිරී­මයි.

තමන්ගේ ජීව­නෝ­පාය අත්හැර දමා වෙනත් ප්‍රදේ­ශ­වල පදිං­චි­වී­මට ඒ ගැමි­යන් කැමති වේ ද? යන්න මිළඟ ගැට­ලු­වයි. එය පැහැ­දිලි උත්ත­ර­යක් නැති ප්‍රශ්කි.

පෙන්දෘම් අසු­බායි, ජයි­නූර්හි සිට මයි­ස­ම්පෙට් වෙත පැමි­ණියේ විවා­හ­යෙන් වසර කිහි­ප­ය­කට පසු 2012 දී පමණ ය. මයි­ස­ම්පෙට්, ඇගේ සැමි­යාගේ ගම් පළා­තයි. ඈ එහි ළඟා වුණේ දිය­ණි­යන් තිදෙ­නෙ­කුත්, පුතුන් දෙදෙ­නෙ­කුත් සම­ඟිනි. ඔවුන් එහි පදිං­චිය ඇරඹු 2012 වස­රේ­දීම කවාල් අභය භූමිය, කොටි රක්ෂි­ත­යක් බවට පත් කෙරිණ. අසු­බා­යි­ලාගේ පවුල සහ තවත් පවුල් රාශි­යක් මයි­ස­ම්පෙට් ගම්මා­න­යෙන් ඉවත් කළ යුතුයි යැයි කියා එව­කම වාගේ තීර­ණය කරන ලදී. එතැන් පටන් විටින් විට එහි පැමිණි නිල­ධා­රීහු අසු­බා­යි­ලා­ගෙන් ලිය­කි­ය­වි­ලි­ව­ලට අත්සන් ලබා­ගෙන ගියහ. පසු­ගිය හය වස­ර­කට ආසන්න කාලය මුළු­ල්ලේම රජයේ නිල­ධා­රීහු ගම්මා­න­වල ජනයා වෙනත් ස්ථාන­වල පදිංචි කර­විය යුතු බැව් කතා කළෝය. එහෙත් සිදු වූ දෙයක් නැත.

කොටි කටේ ජීවි­තය ද පහසු නැත. කොයි වෙලා­වක හෝ කොටි­යකු දෙන්නකු ගම්මාන වෙත කඩා වදි­න්නට පුළු­වන. එය කොටි - මිනිස් ගැටු­මක් ඇති­වී­මට නිමි­ත්තක් වනු ඇත. ඒ නැතත්, ගම්මුන් අතින් කොටින්ට සහ අනෙක් වන සතුන්ට වන හානිය නිසා නීතිය ගැන මෙලොව හස­රක් නොදන්නා ගැමියෝ නික­රුණේ අත­රමං වෙති. මේ ගැට­ලු­වට ඇති සුදු­සුම උත්ත­රය යට කීවාක් මෙන්ම රක්ෂි­තය තුළ ඇති ගම්මාන ඉන් ඉවත් කිරී­මයි. ඒත් ඒ විස­ඳුම ප්‍රමාද ය. එනිසා මිනිස්සු ද කොටිහු ද තම තමන්ගේ නිව­හන් අහිමි වීමේ විය­රු­වෙන් දෙප­ස­කට වී දැනට කල් මරති.

Comments