සතුන්ට පත්තු වූ ගින්දර මැද තෙත් වූ මිනිස් සිත් | සිළුමිණ

සතුන්ට පත්තු වූ ගින්දර මැද තෙත් වූ මිනිස් සිත්

ගිනිකොන දිග ඔස්ට්‍රේලියාව වෙළාගත් ළැව්ගින්න මඳක් සමනය වෙමින් දැන් වැසි ඇදහැලීමට පටන්ගෙන තිබේ. එහෙත්, සති අන්තය වෙද්දී උෂ්ණ සහ සුළං මුසු කාලගුණයක් ඇති වීමට ඉඩ ඇතැයි බලධාරීහු පසුගිය සඳුදා යළි අනතුරු ඇඟවීම් කළහ. ළැව්ගිනි රකුසා වනාන්තර ගිනිතබමින් ගම් නගර කරා කඩා වදිද්දී දෙපා සතුන් පණ බේරාගෙන දුව ගියත් වනාන්තරය නිජබිම කරගෙන ජීවත්වූ සතුන් ගිනි රකුසාට බිලි වන අන්දම දුටු කවුරුත් කම්පා වූහ. මේ වෙද්දී බිලියන ගණනකට ආසන්න වනසතුන් මිය ගොස් ඇතැයි පරිසරවේදීහු මත පළ කරති. එහෙත්, ළැව්ගිනි බුරබුරා නැඟ එද්දී තමන් කෙතරම් විපතකට පත් වුවද ඔස්ට්‍රේලියානුවන් වන සතුන්ගේ දිවි ගලවාගැනීමට දිවි පරදුවට තබමින් පෙරට ආ අන්දම ලොව පුරා මාධ්‍ය වාර්තා කළේ මිනිසත්කමේ මහිමය ලොවට හෙළි කරමිනි.

ස්ටීව් අර්වින් සතුන් පිළිබඳ විශේෂඥයෙකි. ඒ සියල්ලටමත් වඩා වන සතුන්ට දැඩිව ආදරය කළ අයෙකි. Crocodile Hunter නමින් ලොව ප්‍රචලිත ඔහු දැන් ජීවතුන් අතර නොසිටී. ඔස්ට්‍රේලියාවේ පමණක් නොව ලොවේම වනසතුන් සුරැකීම වෙනුවෙන් ඔහු ආරම්භ කළ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යෑමට ඔහුගේ බිරිය ටෙරී, පුතා රොබට් සහ දියණිය බින්ඩි දැඩි ප්‍රයත්නයක් දරති. වන සත්ත්ව ලෝලීන් දැන් එම පවුල හඳුන්වන්නේ Wild life Worriers නමිනි. ස්ටීව් සිය මවගේ නමින් ඔස්ට්‍රේලියා සත්ත්ව උද්‍යානයේ ආරම්භ කළ සත්ත්ව රෝහල ළැව්ගිනි අතරේ ඉතා කාර්යබහුල ස්ථානයක් බවට පත් විය. එම රෝහලේදී නිල වශයෙන් සතුන් 90000කට පමණ ප්‍රතිකාර කළ බව බින්ඩි පසුගියදා සිය ඉන්ස්ට ග්රෑම් ගිණුමේ සඳහන් කළාය.

ජැකී සහ තොම්සන් යුවළ පදිංචි වික්ටෝරියා ප්‍රාන්තයේ නැඟෙනහිර ගිප්ස්ලන්ඩ් පළාත ළැව්ගිනිවලින් වට වෙද්දී වනගහන ආශ්‍රිත පදිංචිකරුවෝ බොහෝ දෙනෙක් සිය දේපළ අත්හැර පලා ගියහ. එහෙත් තොම්සන් යුවළට පලා යා නොහැකි වූයේ ඔවුන් සන්තකයේ ඒ වෙද්දීත් සතුන් 13 දෙනකු සිටි බැවිනි. ඒ ග්‍රේට් ඩේන් වර්ගයේ විශාල සුනඛයෝ සහ පූසෝය. ඒ අතරින් ඇතැම් සතුන් අසල්වාසින් කරකියාගත දෙයක් නැතිව තොම්සන් යුවළ බාරයේ තබා ගිය සත්තුය. සිය වත්ත ළැව්ගින්නෙන් වසා ගනිද්දී ඔවුන් වත්තේ වූ බහලුමකට රිංගා ගත්තේ සුනඛයෝ සහ පූසෝද සමඟිනි.

“අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ටිකක් රැගෙන අප බහලුමට රිංගා දොර වසාගත්තා. ළැව්ගින්න එන හඬ අපට ඇසුණේ අධි වේගයෙන් දුම්රියක් එන්නාක් මෙන්. ගස් ගිනිගත්තේ පරමාණු බෝම්බයක් පුපුරා ගිනිගන්නවා වගෙයි. එවන් දෙයක් මුළු ජීවිත කාලකටම දකින්න නොලැබේවා!” ඔවුහු ප්‍රකාශ කළහ.

බහලුමට රිංගා දෙපැයකට පසු පිටතට විත් බැලූ ඔවුන් දුටුවේ දැවී අළු වී ගිය පරිසරයයි.

ඔස්ට්‍රේලියාවේ කැන්ගරු දූපතේ තුනෙන් එකක්ම ස්වාභාවික රක්ෂිත වනාන්තරය. එසේම දූපත මුහුදු සිංහයන්. කෝලා සතුන්, කැන්ගරුවන්, පක්ෂීන්, පෙන්ගුවින් යන සතුන්ගේ රක්ෂිත බිමකි. මේ දූපතට වසරකට ලක්ෂ දෙකකට ආසන්න සංචාරක පිරිසක් ඇදී එති. ළැව්ගිනි නිසා කැන්ගරු දූපතේ වනාන්තර තුනෙන් එකක්ම විනාශ වී ඇති අතර දහස් ගණනක් කෝලා සහ කැන්ගරුවෝ පිලිස්සී මිය ගියහ. කැන්ගරු දූපතේ පමණක් කෝලා සතුන් 5000කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇතැයි පරිසරවේදීහු අනුමාන කරති.

“කෝලාගේ ගමන හෙමින්. කිසියම් අනතුරකදී කරන්නේ ගහක් උඩට නැඟලා අත්ත බදාගෙන ඉන්න එකයි. ඒත් මෙදා එය ඒ සතාගේ විනාශයට හේතු වුණා.”

කාන්තාවක සිය උඩුකය නිරාවරණය කරගනිමින් කෝලා සතකු ළයේ හොවාගෙන ගිනිගන්නා ගහකොළ අතරින් දිවයන වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍යජාලා ඔස්සේ ප්‍රචාරය විය. නිව් සවුත්වේල්සයේ ලෝංග් ෆ්ලැට් හි පදිංචි ටෝනි මෙගාන් සිය මෝටර් රියේ නැඟී සැමියාද සමඟින් යමින් සිටියදී දුටුවේ ගිනි ගන්නා ගහකොළ අතරේ වැටි වැටී දිව යන කෝලා සතෙකි. රියෙන් බට ටෝනි දිවගොස් කෝලා සතා වඩා ගත්තද සතාගේ පිලිස්සුම් තුවාල දරුණුය. ඇය කළේ සිය බ්ලවුසය ගලවා ඉන් සතා ඔතා ගැනීමය. මෝටර් රිය කරා රැගෙන ආ සතා වතුරෙන් තෙමමින් ඇය ඌ වහාම කෝලා සතුන්ට වෙන්වූ රෝහලට රැගෙන ගියාය.

ඇය කෝලා සතා සිය මිනිපිරියගේ නම වන ‘ලෙවිස්’ නමින් නම් කළාය. එහෙත් දින කීපයක් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ලෙවිස්ට අවසානයේ සමුදෙන්න ඌට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් තීරණය කළේ දරුණු ලෙස පිලිස්සුම් තුවාල ලබා සුව කළ නොහැකි තත්ත්වයේ පසු වූ බැවිනි.

ළැව්ගිනි නිසා කැන්ගරු දූපත්හි වසර ගණනක් තිස්සේ ඉතා සැලකිලිමත්ව සිදු කළ පරිසර සංරක්ෂණ වැඩපිළිවෙළ කඩාවැටී ඇති අතර දූපත යළි ගොඩ නැංවිමට එක් වන්නැයි දූපතේ නගරාධිපතිවරයා සැමට ආයාචනා කරයි.

මිහිපිට වෙන කොතැනකවත් නැති එක්තරා කුඩා මීයන් විශේෂයක නිජබිමක් වන්නේ කැන්ගරු දූපතේ වෙස්ටර්න් රිවර්ස් නමැති ප්‍රදේශයයි. පැට් හොගන්ස් නම් වූ සත්ත්ව විද්‍යාඥයා මේ මීයන් විශේෂය ගැන වසර ගණනාවක සිට පර්යේෂණවල නිරත වෙයි. මීයන් ගැන පර්යේෂණ සඳහා වෙස්ටර්න් රිවර්ස්හි වනාන්තරවල ඔහු අටවා තිබූ විශේෂිත කැමරා හතරක්ම දැවී අළුවී ගොසිනි.

“මේ ප්‍රදේශයේ ඇති වූ ළැව්ගිනි දෙකකට පස්සේ මගේ කැමරා විතරක් නොවෙයි ඉතා දුර්ලභ සහ මෙහි පමණක් සිටින මීයන් විශේෂයත් දැවි අඟුරු වෙලා. මොවුන් ජීවත් වෙන්නේ ගුල්වල. මෙවැනි සතුන් ලක්ෂ ගණනකට ළැව්ගිනි නිසා නිහඬ මරණයක් අත් වුණා.”

ඔස්ට්‍රේලියා ජනතාව ළැව්ගිනි නිසා කෙතෙක් විපතට පත් වුවද සතුන්ට පිහිට වීමට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වෙමින් මහ මාර්ග දිගට පිලිස්සුම් තුවාල සහිතව වැටී සිටින සතුන්ට ප්‍රතිකාර කරමින් සත්ත්ව සායන පැවැත්වූයේ සිය දිවි පරදුවට තබමිනි. වනාන්තරවල සිටි සතුන් ගිනි රස්නය නිසා මිනිස් වාසස්ථාන සහිත ප්‍රදේශවලට ඇදී ආවේ “අනේ! අපට පිහිට වන්නැයි” අයාචනා කරන්නාක් මෙන්යැයි විශ්වවිද්‍යාල සිසුවියක වන හොයි සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කළාය.

“සත්ත්ව වාසස්ථාන දැවී අළු වෙලා. බේරුණු සතුන් ගිනි රස්නය නිසා පීඩාවට පත් වෙලා. කුසගින්නෙන් මෙන්ම වතුර නැතිකමෙන් දුර්වල වෙලා හිටියා. මං ආයාචනා කරනවා මේ සතුන්ට උදව් කරන්න එකතු වෙන්න.”

හොයිගේ ආයාචනයට ප්‍රතිචාර ලැබුණේ දහස් ගණනිනි. ඇගේ නිවහන ඉදිරිපිටට බෙහෙත් ද්‍රව්‍ය, සත්ත්ව ආහාර සහ සතුන්ට කෑම දෙන භාජන රැගත් උදවිය එක්වූහ. ඇතැම් අය සිය වාහනවල කුඩා කූඩ තබාගෙන පිලිස්සුම් තුවාල ලද කෝලා සතුන්ට ප්‍රතිකාර කරද්දි තවත් කෙනෙක් බෙහෙත් ද්‍රව්‍ය, වෙළුම් පටි, ජලය සහ වේදනා නාශක ගෙනැවිත් දෙමින් ඒ සද්කාර්යට එක් වූහ.

තමන් විපතට පත් වුවද බොහෝ දෙනකු මඳ පමණකින් හෝ සැනසීමක් ලද මොහොතේ ළැව්ගින්නෙන් තමන්ට වඩා විපතට පත් අයට පිහිටවීමට ඉදිරිපත් වූ ආකාරය දැකගත හැකි විය.

බොහෝ තරුණ තරුණියන් සිය ෆේස්බුක්, ට්විටර්, ඉන්ස්ටර්ග්‍රෑම් මාධ්‍ය ජාල වෙබ්අඩවි හරහා අනුන්ට පිහිට විමට එක් වන්නැයි ආයාචනා කර තිබුණේ යහපත් මාධ්‍ය ජාල භාවිතය ඔස්සේ පෙන්නුම් කරමිනි.

නිව් සවුත්වේල්සයේ පමණක් දළ වශයෙන් හෙක්ටයාර් මිලියන තුනක පමණ වනාන්තර විනාශ වී ඇතැයි විශ්වාස කෙරේ. ඒ වනාන්තර වාසස්ථාන කර සිටි කැන්ගරු සහ එමූ වැනි විශාල ප්‍රමාණයේ සතුන් ළැව්ගිනි පැතිරෙද්දී වෙනත් තැන්වලට සංක්‍රමණය වුවද එලෙස පැමිණි සතුන් ද ගින්නට හසු වී තිබේ.

නිව් සවුත්වේල්සයේ ජෙනිෆර් ක්ලාක් පදිංචි ප්‍රදේශයට ළැව්ගිනි පැමිණියේ නත්තල ආසන්නයේය. ළැව්ගිනි නිවී ගිය සැණින් නත්තල් දා පවුලේ අය සමඟ කෑමට එක් නොවූ ඇය සිය වාහනයෙන් පිටත් වූයේ විපතට පත් සතුන් සොයාය.

“අප වනසතුන්ට ආහාර දීම නොකළ යුතු දෙයක් කියායි මා හිතන්නේ. ඒත් මෙවැනි ව්‍යසනයකදී අප සතුන් ගැන බැලිය යුතුයි. ඇතැම් සතුන් අළු ගොඩවල සිටිනවා මා දුටුවා.” ඇය සිය වත්තේ මෙන්ම අසල කැලයේ තැනින් තැන සතුන් සඳහා ආහාර සහ ජලය තැබුවාය. කුරුල්ලන්ට බීමට ගෙවත්තක තැබූ ජල බඳුනකින් කැන්ගරුවකු ජලය පානය කරන අන්දම ඇය සිය ෆේස්බුක් ගිණුමට එක් කර තිබිණි.

තවත් ඔස්ට්‍රේලියා සිසුවකු සමාජ මාධ්‍යජාල ඔස්සේ ‘findAbed’ යනුවෙන් සටහනක් යොදා තිබුණේ ඉන්න හිටින්න තැනක් නැති ජනතාවට නිවහන් සොයමිනි. ඒ සඳහා ලද ප්‍රතිචාර 3000කට වැඩිය. නිදන්නට හෝ තැනක් නැතිව අසරණවූ වැඩි දෙනෙකු පැමිණියේ සතුන්ද සමඟිනි.

ළැව්ගිනි හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ පක්ෂි, ඇතැම් මී විශේෂ සහ කෘමි විශේෂ ගණනාවක් විනාශ වී ඇතැයි වාර්තා වේ. පරාගනයෙන් බෝවන ශාක අළු වීම නිසා වනාන්තර නැවත බිහි වීමට කාලයක් ගතවෙතැයි ද පරිසරවේදිහු බිය පළ කරති. ඇතැම් පක්ෂි විශේෂවලට අවශ්‍ය පලතුරු ගස් විනාශ වී ඇත. පඳුරු වැනි වෘක්ෂලතා විනාශ වීම නිසා සැඟව ජීවත් වන බොහෝ සතුන් විලෝපිතයන්ට ගොදුරු වීමේ අවදානමද වැඩි වී ඇත.

ඔස්ට්‍රේලියා රජය එරට වනාන්තරවල සිටින අළු හිසැති වවුලන් වඳවීමේ තර්ජනයට ලක් වූ සතකු ලෙස නම් කර තිබේ. ස්ටෝම් ස්ටැන්ෆර්ඩ්, වික්ටෝරියා ප්‍රාන්තයේ ඉහත කී වවුල් ගහනයේ සම්බන්ධීකාරක ලෙසින් කටයුතු කරයි. ඔහු පවසන අන්දමට එම වවුල් විශේෂයේ පැටවුන්ගෙන් සියයට 50ක්ම විනාශ වී ගොසිනි.

“වවුලන් විශාල වශයෙන් විනාශ වෙලා. අතරමංවූ අළු හිසැති වවුල් පැටවුන් සිය ගණනක් මා දුටුවා. ඔවුන්ට මොනවාවේදැයි කිව නොහැකියි. ලොකු සතුන් පැටවුන් අතහැර ගිහින්. ඒ වගේම උන්ට රැඳෙන්න පරිසරයක් නැහැ. ගස් විනාශ වෙලා. මේ සතුන්ගෙන් අපේ ස්වභාව ධර්මය ලද දායකත්වය බිඳ වැටිලා.”

ලින් අර්වින් සත්ත්ව රෝහල තැන තැන වැටී සිටියදී අහුලා ගෙනැවිත් බාරදෙන ලද වවුලන් සිය ගණනකට ප්‍රතිකාර කර ඇත.

නිව් සවුත්වේල්සයේ මොගෝ සත්ත්ව උද්‍යානය සතුන් 200කගෙන් පමණ යුක්තය. ළැව්ගිනි වට වෙද්දී උද්‍යානයේ සතුන් බේරාගැනීමට එහි අධ්‍යක්ෂකවරයා ඇතුළු කාර්ය මණ්ඩලයට දැඩි ප්‍රයත්නයක් දරන්නට සිදු විය. ඔවුන් කළේ රතු පැන්ඩා සහ වඳුරන් වැනි සතුන් කුඩා පෙට්ටිවල බහා සිය නිවෙස්වලට ගෙන යෑමය. උද්‍යාන අධ්‍යක්ෂක චැඩ් ස්ටෙප්ලර්ගේ නිවෙසේ කාමරද දින කීපයක් පුරා සැම වර්ගයකම සතුන්ගෙන් පිරී පැවතිණි.

“ඇතැම් සතුන් අපි උද්‍යානයේම ආරක්ෂිත තැන්වල රැඳවූවා. සිංහ, කොටි, ගෝරිල්ලන් සහ ඔරන්ඔටන් වැනි විශාල සතුන් ඔවුන් රාත්‍රියේ රඳවන ගුහාවලට යැව්වා. ජිරාෆ්ලා සහ සීබ්‍රා සතුන් කෙටි තණකොළ සහිත එළිමහන් ඉස්තාලවල රඳවා ඒ තණකොළ නිතර ජලයෙන් තෙත් කළා. මේ සියල්ල සතුන් කලබල නොවන සේ ඉතා සීරුවෙන් කිරීම නිසා කිසිම සතකුට හෝ හානියක් වූයේ නෑ”

මිනිසුන්, කැන්ගරුවන් කෝලා සතුන් සහ පොසොන් වර්ගයේ සතුන් ගිනිවලින් බේරාගනිමින් ඔසවාගෙන දුව යන අන්දම මාධ්‍ය වාර්තා කළේ කාගේත් සිත් කම්පා කරවමිනි. සතුන් බේරාගනිද්දී ගින්නෙන් පිලිස්සුම් තුවාල ලැබුවද ඔවුහු ඒ නොතකා සතුන්ට පිහිට වූහ. ක්වීන්ස්ලන්තයේ මිනිසුන් විසින් එලෙස බේරාගනු ලැබූ පොසොම් හා කෝලා වර්ගයේ සතුන් බොහෝ දෙනකු පසුව මියගියේ දැඩි තුවාල නිසාත් දින ගණනක් නිරාහාරව සිටීමත් හේතුවෙනි. ක්ෂීරපායි සත්තු මෙන්ම කුරුලු සහ සර්පයෝද එලෙස මියගියවුන් අතර වූහ.

විකී ලෙට් වසර 32ක් තිස්සේ වනජීවි ස්වෙච්ඡා ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කරන්නියකි. ඇය අළු අවුස්සමින් ගිනිගෙන දැවෙන වනාන්තරවල ඇවිද්දේ සතුන් සොයමිනි. සතුන්ගේ හැඩය පමණක් ඉතිරි කරමින් රැකී තිබූ අළුගොඩවල් දුටු ඇගේ සිත කම්පා වූවාය.

“ළැව්ගින්නෙන් අප රටේ හෙක්ටයාර් මිලියන ගණනක වනාන්තර සහ ගොවිබිම් විනාශ වෙලා. රටේ වනජීවි ප්‍රජාවත් පෙර නොදුටුවිරූ මට්ටමෙන් අතුගෑවිලා ගිහින්. අප මීට පෙර මෙවන් දෙයකට මුහුණදී නැහැ. බේරාගත් සතුන් ද පුනරුත්ථාපනයට කාලයක් ගත විය හැකියි. ඒ සතුන් යළි මුදා හැරීමට වාසභූමි නැහැ.”

සාමාන්‍ය ජනතාව මෙන්ම ස්වෙච්ඡා ගිනි නිවන භටයෝද සත්ත්ව ක්‍රියාකාරීහුද වනසතුන් බේරාගැනීමේ සටනට උරදී සිටියහ. ඩේල් ඇඩම්ස් ස්වෙච්ඡා ගිනි නිවන භටයෙකි. ලොබෙතාල් නම්වූ නගරයේ ගිනි නිවමින් සිටියදී කෝලා සතුන් දෙදෙනකු ඔහු වෙත දිව ආ අයුරු ඩේල් සිය ට්විටර් ගිණුමෙහි විස්තර තිබිණි. ඔහු ඒ සතුන්ට ජලය පොවා ආරක්ෂිත ස්ථානයකට යොමු කළේය.

ගිනි නිවන භටයකු වන ඩීන් බැල්මොලර් නගරය වෙත යමින් සිටියේ නිවෙසක් ගින්නෙන් බේරාගැනීමටය. ඒ යද්දී පාර මැද පොසොම් සතකු දුටු ඔහු වාහනය නවතා බසිද්දී පොසොන් ඔහුගේ දෙපාමුලට දිව ආවේ කුඩා දරුවකු තමා වඩාගන්නා ලෙස ඉල්ලමින් දිව එන්නාක් මෙනි.

කල්නුරා ප්‍රදේශයේ පදිංචි නෙරේල් සහ ජිල් ගිල්බට් යුවළගේ නිවෙස ළැව්ගිනිවලින් බේරුණත් ඔවුන් අවට වනාන්තරය දැවී ගියේය. දිනක් මේ දෙදෙනා රාත්‍රී ආහාරයට සොසේජස් බදිමින් සිටියදී ගෙමිදුලෙන් කිසියම් ශබ්දයක් ඇසී බලද්දි මිදුලේ වූයේ කැන්ගරු පැටියෙකි. යන්තම් පිලිස්සුම් තුවාල ලබා සිටි පැටියා දුටුවනම ගිල්බට් යුවළ සතා හඳුනාගත්හ. ඒ ‘නිම්’. මේ සතා ළදරු අවදියේ මවගෙන් වෙන්ව සිටියදී හදාවඩා ගත්තේ මේ යුවළය. ‘නිම්’ ලෙසින් නම් කළ කැන්ගරුවා මඳක් වැඩෙද්දී වනයට මුදාහැරියත් ඒ සතා නිතර ඔවුන්ගේ නිවෙසට ඒම පුරුද්දක් විය.

විපතට පත් වනසතුන් බේරාගැනීමට සුනඛයන් යොදාගත් අවස්ථා ළැව්ගිනි අතරින් මාධ්‍ය වාර්තා කළේය. පෝට් මැකාරේ ප්‍රදේශයේ ‘බෙයාර්’ ඉන් අයෙකි. ‘ටේලර්’ නමැති ෆැනියර් වර්ගයේ සුනඛ ධේනුව කෝලා සතුන් බේරාගැනීම සඳහා පුරුදු පුහුණු කළ සතෙකි.

තම ආසන්න රටේ ළැව්ගිනි ඇවිළෙද්දී වනසතුන් කෙරෙහි හිත උණු වූවෝ නවසීලන්තයේද වූහ. සතුන්ට ආදරය කරන කාන්තාවක් සතුන් උණුසුම්ව තැබීමට කුඩා පසුම්බි සහ සතුන් එතීමට ෆ්ලැනල් රෙදිවලින් පොරොවනා මැසුවාය. ඇය ෆේස්බුක් ඔස්සේ කළ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ ‘කිවි’ ජනතාව ඇය හා එක්වෙමින් සතුන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය කළමනා කන්ටේරයක් පුරවා නැව්ගත කිරීමට සමත් වූහ.

Comments