නල්ලතන්නියේ සිට බුදුපිළිමයක් වඩමවාගෙන සිරිපා මළුවට ගිය ගමන | සිළුමිණ

නල්ලතන්නියේ සිට බුදුපිළිමයක් වඩමවාගෙන සිරිපා මළුවට ගිය ගමන

බෞද්ධ ජනයාගේ මුදුන් මල්කඩක් වන් බුදු රජාණන් වහන්සේගේ වාම සිරි පතුල සලකුණු කොට ඇති ශ්‍රීපාදය වන්දනාමාන කිරීම සෑම වසරකම උඳුවප් පොහෝ දිනෙන් ආරම්භ වී වෙසක් පොහෝ දිනෙන් අවසන් වේ. වසර දහස් ගණනක සිට සමස්ත රටවැසියන් වන්දනාමාන කරන ශ්‍රීපාදස්ථානය හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බෞද්ධ උරුමයක් ලෙස නම් කරමින් ඊට අදාළ ගැසට් පත්‍රය පසුගියදා ශ්‍රීපාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න ස්වාමින් වහන්සේට පිරිනැමූහ.

මෙතෙක් ශ්‍රීපාදස්ථාන උඩ මළුවට අඩුවක්ව පැවැති බුදු රජාණන් වහන්සේගේ අලංකාරවත් පිළිම වහන්සේ නමක් උඩමළුවට වැඩම්ම වීමට බෙන්ගමුවේ ධම්මදින්න ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පසුගිය දිනක සිදුවිය. එම අලංකාරවත් කිලෝග්රෑම් 247ක් බරැති උතුම් බුදු පිළිම වහන්සේ උඩ මළුවට රැගෙන යෑමේ මහත් භාරදූර කර්තව්‍යය සිදු කළේ ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයන් විසිනි.

මීටර් 2243ක් උසින් යුත් ශ්‍රීපාදස්ථාන උඩ මළුවට ගමන් කිරීමට පියගැටපෙළ දහස් ගණනක් නැඟිය යුතුය. අඩි හයකට වඩා උසින් යුත් කිලෝග්රෑම් 247ක් බරැති ටිබෙට් රටේ ලාමා වැසියකු විසින් පරිත්‍යාග කළ එම පිළිමය ඉහළට ගෙන යාමේ කාර්ය ලක්ෂපාන පිහිටි 19 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සෙබළුන් විසින් සිදු කළහ. එම කර්තව්‍යයට නායකත්වය දුන් එහි අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් නිලන්ත ගුණවර්ධන මහතා සිය හමුදා සාමාජිකයන් කළ භාරදූර වගකීම ගැන මෙසේ පැවැසීය.

“සාමාන්‍යයෙන් පසුගිය වසර කීහිපයේම ශ්‍රීපාදස්ථාන උඩමළුවට සමන් දෙවි ප්‍රතිමාව, කරඬුව සහ දේවාභරණ වැඩම්ම වීම සහ පහළට ගෙන ඒම කරන්නෙ මගේ බල ඇණියේ සෙබළුන්. ඔවුන් ඒ සඳහා මස්, මාළු කෑමෙන් වැළකී දවස් හතක් පේවෙනවා.

ශ්‍රීපාද උඩමළුවට අලංකාරවත් බුදු පිළිමයක් වැඩමවීමේ කාර්යයත් ධම්මදින්න ස්වාමින් වහන්සේ අපට ලබා දුන්නා. මං හිතන්නෙ ස්වාමින් වහන්සෙ අපට එවැනි භාරදූර කර්තව්‍යයක් පැවැරීම විශාල භාග්‍යයක්. ලක්ෂ සංඛ්‍යාත ජනකායක් වැඳුම් පිදුම් කරන පිළිමයක් එවන් උතුම් පුණ්‍ය භූමියකට වැඩම්ම වීමේ කාර්යභාරයට දායක වීම අපේ සෙබළු ලැබූ ලොකු පිනක්. ඒ වගේම අපට ලැබුණේ ලොකු අභියෝගයක්. මොකද මේ පිළිමයට කිසිදු හානියක් නොවන ආකාරයෙන් උඩ මළුවට ගෙන යා යුතුයි. යම් විදිහකින් කුමක් හෝ සිදු වුණොත් එය ශ්‍රී ලංකා යුද හමුදාවට සිදුවන විශාල අවමානයක්. අන්තිමට අපි ඒ සියලු බාධක ඉතාම හොඳින් ජයගත්තා.”

අනතුරුව ලුතිනන් කර්නල් ගුණවර්ධන මහතා විසින් බළ සේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රසාද් එදිරිසිංහ මහතාගේද අනුමැතිය මත මස්, මාළු කෑමෙන් දින හතක් පේවි සිටි සෙබළුන් හැට දෙනෙකු යෙදවූවේ එම උතුම් පින්කම වෙනුවෙනි.

පිටරටින් වැඩම්මවූ පැල්මඩුල්ල ගල්පොත්තාවල පන්සලේ තිබූ පිළිමය මම ගිහින් බැලුවා. එහෙම ගිහින් බලලා ඒ සඳහා සැලැස්මක් හැදුවා. මුලින්ම පිළිමය උඩට ගෙනයාම සඳහා යකඩ බටවලින් ශක්තිමත් ඇඳක් වැනි දෙයක් නිර්මාණය කළා. ඒ දේ කළේ අපේ සෙබළු විසින්මයි. ඊට මෙට්ටයක්ද යොදාගත්තා. මට ඕනෑ වුණා මේ පිළිම වහන්සේ කිලෝමීටර් හතහමාරක දුරක් තියෙන උඩ මළුවට යනකල්ම බිම නොතියා රැගෙන යාමට. මොකද මේ පිළිම වහන්සෙ බිම තියනවා කියන එක මං හිතුවේ අගෞරවයක් කියලා. එහෙම බිම නොතියා රැගෙන යාම සඳහා යොදාගත් සෙබළුන් හැට දෙනා, දොළොස් දෙනා බැගින් කණ්ඩායම් පහකට බෙදුවා. පස්සෙ එක් කණ්ඩායමක් රැගෙන යන විට අනෙත් පිරිස විවේකීව උඩට ගියා.” ලුතිනන් කර්නල් ගුණවර්ධන කීවේය. එම දුෂ්කර ක්‍රියාදාමයේදී පැමිණි බාධක ගැනත් කර්නල් ගුණවර්ධන පැවැසීය.

“අපේ සෙබළු පිළිමය රැගෙන යාම ආරම්භ කළේ නල්ලතන්නියේ සිට. එතැන් සිට තිබෙන දුෂ්කර ගමන් මාර්ගයේ උඩට යද්දි පිළිමයේ කිලෝ 247ම බර එන්නෙ පහළ සිටින පිරිසට. එය දැඩි අවදානමක් වුණා. ඒ වගේම නල්ලතන්නිය පාරේ තියනවා රතු පාලම කියලා පටු පාලමක්. ආරුක්කු වගේ උඩිනුත් යකඩින් ආවරණය කරලා ඒ පාලම තියෙන්නෙ. එතැනදි පිළිමය ගෙනියන්න වුණේ ඒ ආරුක්කුවට උඩින්. මොකද අපි පිළිමය රැගෙන ගිය යකඩ ඇඳ පාලමට වඩා දිග වැඩි වුණා. කොහොමහරි අපේ උදේ හතහමාරට පිළිමය රැගෙන යාමට ආරම්භ කළා. දවල් එක විතර වෙනකොට උඩ මළුවට ගියා. ඒ කියන්නෙ අපේ සෙබළු සියලු බාධක ජයගෙන පැය හතරහමාරකින් වගේ උඩට ගියා.

කර්නල්වරයා සිය කණ්ඩායමට මේ අභියෝගය ජය ගැනීමට තුන්වැනි සිංහ රෙජිමේන්තුවේ සහ 112 බළසේනා මූලස්ථාන සාමාජිකයන්ගේද ලැබුණු නොමඳ සහාය ගැනද සිහිපත් කළහ. ඉන්දියාව, තායිලන්තය සහ අමෙරිකාවේදී නිර්මාණය කෙරුණු රන්වන් පැහැයෙන් දිදුලන ඉතාම වටිනාකමකින් යුත් මේ හිටි පිළිම වහන්සේ ඕනෑම දේශගුණික තත්ත්වයකට ඔරොත්තු දෙන ආකාරයෙන් නිර්මාණය කර ඇත. එම පිළිම වහන්සේ උඳුවප් පොහෝ දින ආරම්භ වූ ශ්‍රීපාද වන්දනාව පෙර ශ්‍රීපාද උඩමළුවට වැඩම කරවීමට දායක වූ හමුදා සෙබළුන් සැවොම පවසන්නෙ තමන් ඉතාම භාරදූර වගකීමක් ජයගත් බවයි. එසේම එවන් උතුම් පිළිමයක් ලක්ෂ සංඛ්‍යාත ජනකායක් වැඳුම් පිදුම් කරන පින් බිමකට වැඩම කරවීමට දායක වීමට ලැබීම ජීවිතයේ ලබාගත් උතුම්ම පිනක් මෙන්ම භාග්‍යයක් කොටද ඔවුහු සලකති. මෙවර උඳුවප් පොහෝ දින ආරම්භ වූ ශ්‍රීපාද වන්දනාවේදී රටේ සියලු ජනයාට එම උතුම් බුදු පිළිම වහන්සේ වන්දනාමාන කිරීමට දැන් අවස්ථාව සැලැසි තිබේ. එය සකල ලෝකවාසී බෞද්ධයාගේ පැසසුමට ලක්වන උතුම් පින්කමකි.

Comments