ආයෙමත් හීන දකින්න මං බයයි | සිළුමිණ

ආයෙමත් හීන දකින්න මං බයයි

“අංකල්... මම තාමත් අමාලි ගැන තීරණයක් අරන් නෑ. මම එයාට පොරොන්දුවක් දුන්නා... ඒක ඉෂ්ට කරන්න විතරයි මම හිතන්නෙ.. ඒ ඇරෙන්න එයා එක්ක ගත කරන ජීවිතයක් ගැන මම තාමත් හිතලා නෑ..”

සිරිමාන්න සිත ප්‍රසාදය වියැකෙයි.

“මොකක්ද ඒ පොරොන්දුව?” යි ඔහු ප්‍රශ්න කළේ නොමනාපයෙනි.

“අමාලි හිතනවා එයාගෙ අම්මා කොහේ හරි ඉන්නවා කියලා.”

සිරිමාන්න නැඟී සිටියේ යම් ආයාසයක් දරමිනි. ඔහු රමේෂ් ගේ සුරත ප්‍රතික්ෂේප කළේය.

“රමේෂ් පොරොන්දු වුණා එයාට අම්මාව හොයලා දෙනවා කියලා...?”

තරුණයා පහසුවෙන් නැඟී සිටිය ද සිරිමාන්න දෙස බලන්නට පැකිළුණේය.

“කව්රු හරි චම්පව කිඩ්නැප් කළා කියලා හිතමු. එහෙම නම් ඇයි කප්පමක් ඉල්ලුවේ නැත්තේ? එයාට අපෙන් හැංගිලා ඉන්නත් කිසිම උවමනාවක් නෑ. එයාට වෙන වෙන ලෝක තිබ්බෙ නෑ... එයාගෙ එකම ලෝකෙ මායි අමාලියි...”

නැවතත් ප්‍රාදුර්භූත වූ විදුහල්පතිවරයා අබියස රමේෂ් නොදරුවෙකු ‍තරමට අසරණ විය.

“ඔයා අපේ අමා ගැන තීරණයක් අරං නැත්තං අමාව ආශ්‍රය කරන එකේ තේරුම මොකක්ද..?”

“මට සමාවෙන්න අංකල්... මං කාටවත් ම වරදක් කරන්න හිතුවෙ නෑ..”

“ඇයි නැත්තෙ? ගෑනු දරුවෙක් එක්ක එහෙ මෙහෙ යන එක ඒ දරුවට කරන වරදක්... කසාද බඳින්නත් අදහසක් නැත්තං ඊට වඩා වැරැද්දක් තව තියෙනවද?”

රමේෂ්ගේ හිස පහතට නැඹුරු විය.

“අමාලි හුඟාක් හොඳ ළමයෙක් අංකල්... එයාගෙ කිසිම වරදක් නෑ... ඒත් තාමත් මම තීරණය කරලා නෑ කසාද බඳින්න ඕන කියන එකවත්...”

සිරිමාන්න කොතරම් තදින් කුපිත වී ද කිවහොත් ඔහුගේ සුරත රමේෂ්ගේ කම්මුලක් මත පතිත විය.

වේදනාවට වඩා රම්ෂ් වෙළා ගත්තේ විමතියයි.

“මීට පස්සෙ කවදාවත් මගෙ ඇස් දෙකට පේන්න එන්න එපා...” යි ගුගුළේ විදුහල්පතිවරයකු නොව පියෙකි. එකම දියණියට සරිලන සහකරුවෙකු හමු වී යැයි ප්‍රීතියෙන් ඉපිළ ගිය හදවත සැණින් පාළු කාන්තාරයක් විය.

“මං කියන දේ ‍තේරුම් ගන්න අංකල්.. ප්ලීස්... මං කියන දේ අහන්න...”

“තවත් මොනවා අහන්නද මිනිහෝ... තාත්තා කෙනෙකුට අහන්න පුළුවන් කතාවක් නෙමේ මං දැං ඇහුවෙ... මට ඕන වුණේ මගේ දුවට ගුණ යහපත් මනමාලයෙක් මිසක රහස් පරීක්ෂකයෙක් නෙමේ...”

තවත් වරක් ඔහුගේ මුහුණ බලන්නට කැමති නොවූ මිනිසා කන්තෝරු කාමරය වෙත ගියේය. රමේෂ් ඔහු පසුපස ගියද පලක් නොවීය. මහ හඬින් දොර වැසිණ.

“‍දොර අරින්න අංකල්... ප්ලීස්...” යි රමේෂ් බැගෑපත් විය. දොරට ගැසුවේය. එහෙත් වචනයක් හෝ නොලද්දේය.

තවදුරටත් වෙහෙසීමෙන් පලක් නොවන බව වටහාගත් රමේෂ් ආපසු හැරුණේය.

“මේ රටේ ඇත්ත කියන එක හරි භයානකයි රමේෂ්... බොරුව ලස්සනයි මිහිරියි. අඩු තරමින් ඔයා මේ රටෙන් යනකම්වත් ඒ ලස්සන මිහිරි බොරුව එක්කම ඉන්න බලන්න...”

අමාලි ගේ සෝපහාස වදන් ඔහුගේ දෙකනේ රැව් දෙයි.

“ඔයා හරි අමාලි” යි කොඳුරන්නට ඉඩක් නොලැබිණ. ගේට්ටුව වෙත යාමට පෙර ඔහු වෙනුවෙන් පැමිණි පොලිස් භටයන් දෙදෙනාට මැදි විය.

“රමේෂ් නේද?”

හිස සැලීමක් හෝ බලාපොරොත්තු නොවූ ඔවුන් ඔහු වෙත කඩා පැන්නේය.

“මේ... මේ මොකද?” යි තරුණයා පුදුමයෙන් කෑගැසුවේය.

* * * * *

යළි යළි ආවර්ජනය කරමින් දනවන්නට ඔහු සූදානම් නොවීය. අනෙක් අතට මේ අනපේක්ෂිත සිදුවීම විසින් ඔහුගේ මනස හිරිවට්ටවා තිබිණ.

පොලිස් ස්ථානයේ ගත කළ දෙපැයක කාලය මුළුල්ලේ ම ඔහුගේ සිත සිතිවිල්ලෙන් තොර විය. තමා රිමාන්ඩ් සිර මැදිරියට නොදමන්නැයි සිරිමාන්න මහත් උවමනාවෙන් ඉල්ලා සිටි බව පමණක් නොව ඔහු කාංචනාට කතා කළ බවද නොදත්තේය. ඒ නිසාම සොයුරිය දුටු සැණින් තිගැස්සුණේය. ඇය පොලිස් ස්ථානාධිපතිවරයා සමඟ කතා කරන අයුරු ඔහු හිස් බැල්මෙන් බලා සිටියේය.

“මූණ දැක්කම නම් කියන්න බෑ එහෙම කලබල කරන කෙනෙක් කියලා..” යි සිනාමුසුව කී ස්ථානාධිපතිවරයා “ආයෙත් නම් මේ පැත්තෙ එන්න හිතන්න එපා” යි අවවාදයක්ද කළේය.

ඔහුට බෙහෙවින් ස්තූති කළ කාංචනා සොහොයුරා වෙත හැරුණාය.

“යමු”

ඒ එක වචනයෙහි ගැබ් වූ නොමනාපයද කලකිරීමද වැටහුණෙන් ඔහු නිහඬවම අවනත විය.

“අක්කා කොහොමද දැන ගත්තෙ මං පොලීසියේ කියලා”

ඔහු ඇය වාහනය පණගන්වන තුරුම ඉවසා සිටියේය.

“මට දිවැස් තියෙනවනෙ” යි කීවද ඇය සිනාසුණේ නැත.

“පොලීසියට අල්ලලා දීපු කෙනාම තමා කියන්න ඇත්තෙ..”

“මට සිරිමාන්න අංකල් කතා කළා..”

ඔහු කුමක් කීවේදැයි අසා දැනගන්නට රමේෂ්ට උවමනා වූයේ නැත.

“මොනවද මල්ලි මේ කරන වැඩ? ඔයා මොනවද සිරිමාන්න අංකල් එක්ක කීවෙ..?”

ඇය සිය අප්‍රසාදය සඟවාගන්නට වෑයම් නොකළාය.

“එයා කියන්න ඇතිනෙ..” යි ඔහු නොසැලකිල්ලෙන් කීවේය.

“මොන තාත්තට ද මල්ලි කේන්ති නොයන්නෙ තමන්ගෙ දුව ආශ්‍රය කරන්නෙ යාළුවෙක් වගේ මිසක මැරි කරන්න නෙමෙයි කියලා කීවම...”

“ඒක තමා ඇත්ත. ඇත්ත කීවම කේන්ති අරන්.. දුක් වෙලා බය වෙලා වැඩක් නෑනේ. ඒ ඇත්තට මූණ දෙනවා මිසක..”

ඇය පාරේ පසෙකට කොට වාහනය නතර කළාය. අනතුරුව ඔහු දෙස එක එල්ලේ බැලුවාය.

“මේ රටේ ඇත්ත කියන විදියක් තියෙනවා මල්ලි... මිනිස්සු පුරුදුවෙලා ඉන්නෙම ‍බොරු කියන්න බොරු අහන්න... ඇත්ත කියලා බොරුවට රැවටෙන්න...”

ඔහු මුව කොන ඇද කළේය.

“ඡන්ද කාලෙට දේශපාලනඥයෝ දෙන බොරු පොරොන්දු දැක්කාම මේ රටේ මිනිස්සුන්ගෙ ජීවිතවල බොරුවට මිසක ඇත්තට ඉඩක් ඇත්තෙ ම නෑ කියලා තේරෙනවා තමා....”

ඇය නොඉවසිල්ලෙන් උතුරා යමින් “රටේ දේශපාලනයෙන් මට වැඩක් නෑ මල්ලි... මට ඕන ඔයාගෙ ජීවිතේ ගැන කතා කරන්න..” යි පැවසුවාය.

“සොරි අක්කා... අමාලිට මම කැමතියි. එයාගෙ කිසිම වරදක් නෑ.. ඒත් මට තාම හිතන්න බෑ එයත් එක්ක ගෙවන ජීවිතයක් ගැන.”

ඇගේ මුහුණට නැඟි ශෝකාන්ධකාරය දැකිය නොහැකිව මෙන් ඔහු ඉවත බැලුවේය.

“මමී හරි ම කැමැත්තෙන් ඉන්නෙ අමාලිට.. මාත් හීන මැව්වා ඔයයි අමාලියි ගැන..”

“ඊට කලින් ඇයි අක්කා ඔයාගෙ ජීවිතේ ගැන හීන දකින්නැත්තෙ...?”

“හීනයක් තිබ්බා මල්ලි... ඒ හීනෙ කුඩුපට්ටම් වෙලා ගියාට පස්සෙ ආයෙමත් හීන දකින්න මං බයයි. ඒ වේදනාව ඇති ජීවිත කාලෙටම.. මේ ජීවිතේ තවත් වේදනාවක් විඳින්න මට හයියක් නෑ.. තාත්තා හදිසියේ අපිව දාලා ගියාම... ඔයා රට ම දාලා ගියා ම... මමීගෙ හොඳ සිහිය නැති වුණාම... ඒ හැම වේදනාවක්ම තනියම වින්දා.... මට දැං මහන්සියි...”

ඇගේ සෝබර හඬ ඔහු කළඹාලූ තරම කියා පෑවේ ඔහුගේම දෙඇසයි. ඒ සිහින් දෙනයනට කඳුළු නැඟිණ.

“ඔයා මා එක්ක යමු අක්කා... සමහරවිට ඒ සීතල රටේදී ඔයාට අලුත් හීනයක් දකින්න පුළුවන් වෙයි...”

ඇය පෑ දුක්බර මදහස ඇගේ මුහුණේ අඳුර මකාලන්නට සමත් නොවීය.

“මට මමීව දාලා යන්න බෑ මල්ලි..”

“අපි තුන්දෙනාම යමු..”

“මමී කවදාවත් කැමති වෙන්නෙ නෑ. එයාට ඕන තාත්තගෙ සොහොන ළඟම වැළලෙන්න...”

ඔහු අතකින් නළල මිරිකා ගත්තේය.

“මේ රටේ මිනිස්සු කොයි වෙලාවෙත් හිතන්නෙ මැරෙන්නෙ කොහොමද කියලා මිසක් ජීවත් වෙන්නෙ කොහොමද කියලා නෙමේ. වැළලෙන හැටි තමා ප්ලෑන් කරන්නෙ.. සතුටින් ජීවත් වෙන්නෙ කොහොමද කියලා හිතන්න කිසි ම උවමනාවක් නෑ.”

ඇය වාහනය පණ ගන්වා ගත්තේ සුසුමක් හෙළමිනි.

“අමාලිව මැරි කරන්න කියලා මට ඔයාට බල කරන්න බෑ මල්ලි... ඒත් ආපහු ගියාට පස්සෙ හරි ඒ ගැන තව ටිකක් හිතන්න... මෙහෙ ඉද්දි ඔයාට එයාගෙ වටිනාකමක් නොපෙනුණත් ඒ රටේදී වැඩි වැඩියෙන් මතක් වෙයි...”

ඔහු කිසිවක් නොපැවසුවේය. ඔහුගේ අඳුරු දෙනයන අබියස එකිනෙකා වැළඳගත් යුවළකගේ රූ සලිත විය.

“කොහොම හරි අන්තිමේදී මට හොඳ යාළුවෙක් නැති වුණා. ආයෙත් ඉතිං මමී ජල්ලි අල්ලන්න පටන් ගනී...”

ඔහු විමතියෙන් දෑස අයා ගත්තේය.

 

ලබන සතියට‍...

Comments