67 වසරක මහ බැංකුවේ ගමන් මඟ | සිළුමිණ

67 වසරක මහ බැංකුවේ ගමන් මඟ

ශ්‍රී ලංකා මහ බැංකුව සිය 67 වැනි උපන් දිනය හෙට (28) දින සමරයි. වසර 1950 සිට මේ දක්වා මහ බැංකුව පිහිටුවීමේදී හඳුන්වා දුන් අරමුණු හා මහ බැංකුවේ විවිධ දෙපාර්තමේන්තු හරහා සිදුකරන කාර්යභාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා එහි අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ දැනට මහ බැංකුවේ බැංකුකරුවන් පුහුණු කිරීමේ ආයතනයේ දේශකයකු හා ප්‍රවීණ ආර්ථික විශ්ලේෂකයකු වන වින්සන් මර්වින් ප්‍රනාන්දු මහතා සමඟ කළ සාකච්ඡාවක් ඇසුරින් මේ ලිපිය සැකසෙයි.

 මහ බැංකුවට වසර 67 ක් සපිරෙන්නේ එය 1950 පිහිටුවූ නිසයි. එතකොට 1950 ට පෙර මහ බැංකුවක කාර්යභාරය ඉටුකළේ කවුද?

එය ඉටුකළේ යටත් විජිත අවදියේ සිට පැවැති ව්‍යවහාර මුදල් මණ්ඩල ක්‍රමය (Currency Board) මඟින්.

ඔබ සඳහන් කළ ව්‍යවහාර මුදල් මණ්ඩල ක්‍රමය ටිකක් පැහැදිලි කළොත්?

යටත් විජිත ලේකම්, භාණ්ඩාගාරික හා විගණකාධිපති යන අයගෙන් සමන්විත වූ කොමසාරිස් මණ්ඩලයකින් තමයි මෙම ව්‍යවහාර මුදල් මණ්ඩල ක්‍රමය පාලනය කළේ. ඒ කාලයේ ශ්‍රී ලංකා රුපියල, ඉන්දියානු රුපියලට සම්බන්ධ කරලයි තිබුණේ. ඉන්දියානු සංචිත ස්ටර්ලින් පවුම්වලින් පවත්වාගෙන ගිය නිසා ශ්‍රී ලංකා රුපියල ද ඉන්දියානු රුපියල මාර්ගයෙන් වක්‍රව ස්ටර්ලින් පවුමට සම්බන්ධ වුණා. ශ්‍රී ලංකා රුපියල් නිකුත් කිරීම වැඩි අඩුවුණේ ඉන්දියාවේ රුපියල්වලින් තිබෙන ලංකාවේ සංචිත ප්‍රමාණය අඩු වැඩිවීම මතයි.

එහෙම ක්‍රමයක් තියෙද්දි ඇයි මහ බැංකුවක් අවශ්‍ය වුණේ?

නිදහසින් පසු පුළුල්වෙමින් පැවති ආර්ථිකයේ වැඩිවන අවශ්‍යතා සපුරාලීමට අපේම මහ බැංකුවක් පිහිටුවීම අවශ්‍ය වුණා. ඒ සඳහා අමෙරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුවේ අර්ථශාස්ත්‍රඥයකු වූ ජෝන් එක්ස්ටර් මහතාට ආරාධනය කරලා, ඔහුගේ උපදෙස් ගත්තා. ඔහු විසින් සැකසුණු වාර්තාව (මෙය එක්ස්ටර් වාර්තාව ලෙස ප්‍රසිද්ධ විය) පදනම් කරගෙන 1949 අංක 58 දරන මුදල් පනත සම්මත කරගන අපේම මහ බැංකුවක් ශ්‍රී ලංකා මහ බැංකුව නමින් 1950-08-28 දා ආරම්භ කළා. ඒ සමඟම ව්‍යවහාර මුදල් මණ්ඩල ක්‍රමය අහෝසි වුණා.

මහ බැංකුව ආරම්භ කළේ කවර අරමුණු ඉටුකරගන්නද?

මූල්‍ය නීති පනතේ දැක්වෙන හැටියට ප්‍රධාන අරමුණු 4 ක් ඉටුකර ගන්න තමයි මහ බැංකුව පිහිටුවා තිබෙන්නේ.

* රුපියලේ දේශීය අගය ආරක්ෂා කිරීම.

* රුපියලේ බාහිර අගය (විනිමය අනුපාතිකය) ආරක්ෂා කිරීම.

* මූර්ත ජාතික ආදායම, පූර්ණ සේවා නියුක්තිය හා ආර්ථික වර්ධනය වැඩිකර ගැනීම.

* ඵලදායි සම්පත් සංවර්ධනයට යොමුකිරීම.

පසුකාලීනව මේ අරමුණු වර්ගීකරණය කළාද?

ඔව්! මේ අරමුණු 4 පුළුල් වශයෙන් අරමුණු දෙකකට වර්ග කළා. මම මුලින් කී අරමුණු දෙක ස්ථායිකරණ (Stability) අරමුණයි. අන්තිම අරමුණු දෙක සංවර්ධන (Development) අරමුණයි. මේ අරමුණු දෙක අතර ගැටුමක් ඇතිවුණා. ඒ කියන්නේ ස්ථායිකරණය සඳහා මුදල් සැපයුම අඩු කරන්න ඕනෑ. සංවර්ධනය සඳහා මුදල් සැපයුම වැඩි කරන්න ඕනෑ. ඒ නිසා පසුකාලයේ (එනම් 2002) මහ බැංකුව ස්ථායිතාවයට යොමුවූ අරමුණු දෙකක් හඳුන්වා දුන්නා. ඒවා මහ බැංකුවේ නූතන අරමුණු ලෙස වසර 15 ක් එක දිගට ක්‍රියාත්මක වෙනවා.

ඒ අලුත් අරමුණු දෙක මොකක්ද?

එකක් තමයි මිල හා ආර්ථික ස්ථායිතාව. අනෙක තමයි මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව.

මොකක්ද මේ මිල හා ආර්ථික ස්ථායිතාව කියන්නේ?

දේශීය මුදල් ඒකකවලින් මෙන්ම වෙනත් මුදල් ඒකකවලින් ද මිලදී ගැනීම් සිදුකිරීම සම්බන්ධයෙන් ව්‍යවහාර මුදල්වල අගය සුරක්ෂිත කරදීම මිල ස්ථායීතාව මඟින් සිදු වෙනවා. මිල ස්ථායීතාව නැතහොත් ස්ථායී මිල ගණන් යන්නෙන් අදහස් වනුයේ අඩු උද්ධමනයක් පවතින බවයි. අඩු උද්ධමනයක් පවතින විට සහ එය අඩු මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කළ හැකි අවස්ථාවලදී ආර්ථිකය හොඳින් ක්‍රියාත්මක වන බව අත්දැකීම්වලින් තහවුරු වී ඇත. මෙවැනි අවස්ථාවලදී පොලී අනුපාතික දා පහළ මට්ටමක පවතිනු ඇත. එබඳු වාතාවරණයක් යටතේ ආර්ථිකයට සිය උපරිම වර්ධන ධාරිතාව අත්පත් කරගැනීමටත්, ඉහළ සේවා නියුක්තියක් අත්පත් කරගැනීමටත් ඉඩකඩ සැලසේ. ඉහළ සහ නිතර වෙනස්වනසුළු උද්ධමන තත්ත්වයක් තුළින් ඇතිවිය හැකි අහිතකර බලපෑම්වලින් තොරව මෙවැනි අවස්ථාවලදී පාරිභෝගිකයන් මෙන්ම නිෂ්පාදකයන් ද විශ්වාසයකින් යුතුව ආර්ථික තීරණ ගනු ලබයි. අඩු හා ස්ථාවර උද්ධමනය නැතහොත් මිල ස්ථායීතාව, දිගු කාලීන තිරසාර ආර්ථික වර්ධනයක් සහ ඉහළ සේවා නියුක්තියක් ඇතිකිරීමට ඉවහල් වෙනවා. මහ බැංකුව විසින් උද්ධමනය පාලනය කිරීම සඳහා මුදල් ප්‍රතිපත්තිය උපයෝගී කරගන්නවා.

මොකක්ද මේ මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාව කියන්නේ?

මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාව තුළින් තැන්පත්කරුවන්ට මෙන්ම ආයෝජකයන්ට හිතකර වාතාවරණයක් උදාකර දෙනවා. කාර්යක්ෂම මූල්‍ය අතරමැදිකරණයකට සහ ඵලදායී වෙළඳපොළ ක්‍රියාකාරීත්වයකට උනන්දු කරවනු ලබනවා. එය ආයෝජනය හා ආර්ථික වර්ධනය පුළුල් කිරීමට ඉවහල් වෙනවා.

එය තවදුරටත් පැහැදිලි කළොත්?

ස්ථායී මූල්‍ය ක්‍රමයක් යනුවෙන් අදහස් වනුයේ, මූල්‍ය පද්ධතිය (මූල්‍ය ආයතන සහ මූල්‍ය වෙළඳපොළ) සාර්ථක ලෙස ක්‍රියාත්මක වන බව සහ බැංකු කටයුතු, ව්‍යවහාර මුදල් සහ ගෙවුම් ශේෂ අර්බුදවලින් තොරව ක්‍රියාත්මක වන බවයි. බැංකු කටයුතු අසාර්ථකවීම, වත්කම් මිල ගණන්වල විශාල උච්චාවචනයක් ඇතිවීම, වෙළඳපොළ දුර්වලතාව බිඳ වැටීම හෝ ගෙවීම් සහ පියවීම් පද්ධතියට බාධා පැමිණවීම් හේතුවෙන් මූල්‍ය ක්‍රමයේ අස්ථායීතාවක් ඇතිවෙනවා.

ස්ථායී සාර්ව ආර්ථික වාතාවරණයක් පැවතීම, ඵලදායී නියාමන රාමුවක් පැවතීම, මනා ලෙස සංවිධානය වූ මූල්‍ය වෙළඳපොළවල් සහ ශක්තිමත් මූල්‍ය ආයතන පැවතීම මෙන්ම ගෙවීම් සහ පියවීම් කටයුතු සඳහා ආරක්ෂාකාරී සහ ශක්තිමත් යටිතල පහසුකම් පැවතීම මූල්‍ය ස්ථායීතාව සඳහා අත්‍යවශ්‍ය වෙනවා. මූල්‍ය වෙළඳපොළ සහ මූල්‍ය ආයතන සම්බන්ධයෙන් සුපරීක්ෂාකාරී වීම, ගෙවීම් සහ පියවීම් පද්ධතියේ සිදුවන ප්‍රමාද දෝෂ සහ අර්බුද නිරාකරණය කිරීම ආදිය තුළින් සමස්ත මූල්‍ය ක්‍රමයට එල්ල වන තර්ජන වළකාගැනීම, ඒවා හඳුනාගැනීම සහ අඩු කරගැනීම මූල්‍ය ස්ථායීතාව පවත්වා ගැනීම යන්නට ඇතුළත් වෙනවා.

පසුගිය වර්ෂ 15 තුළ මිල හා ආර්ථික ස්ථායීතා අරමුණ ළඟාකර ගන්න පුළුවන් වුණාද?

එක්තරා දුරකට හැකි වුණා. 2002 සිට 2016 දක්වා රටේ සාමාන්‍ය උද්ධමන වේගය 6% - 7% අතර මට්ටමකින් පවත්වාගෙන යෑමට මහ බැංකුව සමත්වෙලා තිබෙනවා. 2002 - 2016 ඇතැම් වර්ෂයක එනම් 2008 දී උද්ධමන වේගය 22.6% කට වැඩිවුණා. තවත් වර්ෂයක එනම් 2015 දී 0.9% කට අඩුවුණා. 2017 පෙරදැක්ම ඉදිරිපත් කරමින් මහ බැංකුව ප්‍රකාශ කළේ 2017 උද්ධමන වේගය 4% - 6% අතර මට්ටමක පවත්වාගෙන යන බවයි. මහ බැංකුවේ වර්තමාන මුදල් ප්‍රතිපත්තිය උද්ධමන ඉලක්ක (Inflation Targeting) වෙත ළඟාවීම බව දැනටමත් ප්‍රකාශයට පත්කරලා තිබෙනවා.

ආර්ථික ස්ථායීතාව පැත්තෙන් ගත් විටත් 2002 - 2016 දක්වා කාලය තුළ සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගය 6% ක මට්ටමක පවත්වාගෙන යෑමට හැකි වී තිබෙනවා. එම කාලය තුළ ඇතැම් වර්ෂයක 2012 දී 9.1% ක් තරම් නිදහසින් පසු ඉහළම වර්ධන වේගය වාර්තා කළා. 2013 දී 3.4% ක අඩු ම වර්ධන වේගය වාර්තා කළා.

මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවක් ඇතිකර ගන්න හැකි වුණාද?

මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාව (Financial System Stability) ද මැනවින් ක්‍රියාත්මක කිරීමට මහ බැංකුව සමත්වෙලා තිබෙනවා. අද වන විට මහ බැංකුව රුපියල් ට්‍රිලියන 15 ක මූල්‍ය වත්කම් හිමි මූල්‍ය ආයතන වර්ග 16 ක් (බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු, බලපත්‍රලාභී මුදල් සමාගම්, විශේෂිත කල්බදු සමාගම්, ප්‍රාථමික අලෙවිකරුවන්, සේවක අර්ථසාධක හා සේවා භාරකාර අරමුදල් ආදිය) මැනවින් හසුරුවනවා. බලපත්‍රලාභී බැංකු 32 ක අද වන විට වාර්තාවන තත්ත්වය යහපත්.

* මෙම බැංකුවල වත්කම් හා වගකීම් ට්‍රිලියන 9 ක් තිබෙනවා.

* තැන්පතු ට්‍රිලියන 6 ක් තිබෙනවා.

* ප්‍රාග්ධනයේ ප්‍රමාණාත්මක භාවය (Capital Adequacy) මූලික ප්‍රාග්ධන අනුපාතිකය 11.4% ක් (අවශ්‍ය අනුපාතිකය 5%) මුළු ප්‍රාග්ධන අනුපාතිකය 14.3% (අවශ්‍ය අනුපාතිකය 10%) ලෙස පවත්වාගෙන යනවා.

* බැංකුවල වත්කම්වල ගුණාත්මකභාවය (Assets Quality) මනින ශුද්ධ අක්‍රීය ණය අනුපාතිකය 2.6% ක අඩු මට්ටමක තබාගෙන යනවා.

* ව්‍යවස්ථායික ද්‍රවශීල වත්කම් අනුපාතිකය (බැංකුවල ද්‍රවශීලතා මට්ටම මනින මිනුමක්) 30% ක් (අවම අනුපාතිකය 20%) තබාගෙන යනවා. බැංකුවල බදු පෙර ලාභය 2016 දී රුපියල් බිලියන 164 ක්. රජයට බදු ගෙව්වාට පසු ලාභය රුපියල් බිලියන 116 ක්. ඒ කියන්නේ බැංකු රජයට රුපියල් බිලියන 48 ක් බදු ගෙවනවා.

බැංකු නොවන මූල්‍ය ආයතනත් හොඳින් පවත්වාගෙන යනවද?

බැංකු නොවන මූල්‍ය ආයතනවලත් වාර්තා වන්නේ සතුටුදායක තත්ත්වයක්. 2016 දී වත්කම් මත ප්‍රතිලාභය 4%ක්. හිමිකම් මත ප්‍රතිලාභය 7.9%ක්. බදුවලට පෙර ලාභය රුපියල් බිලියන 47ක්. බදුවලට පසු ලාභය රුපියල් බිලියන 32ක්.

මහ බැංකුවේ කාර්යයන් වශයෙන් සලකන්නේ මොනවාද?

මහ බැංකුවේ කාර්යයන් සත්වැදෑරුම් වෙනවා. එය අපට පෙළගස්වන්න පුළුවන් මෙහෙම.

1. මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම.

2. මූල්‍ය ආයතනවලට බලපත්‍ර ලබාදීම.

3. මූල්‍ය ආයතන අධීක්ෂණය කිරීම.

4. විනිමය අනුපාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම.

5. ව්‍යවහාර මුදල් නිකුත් කිරීම හා බෙදාහැරීම.

6. ගෙවීම් හා පියවීම් කටයුතු පවත්වාගෙන යාම.

7. රජයේ බැංකුව ලෙස රජයේ ආර්ථික උපදේශකයා ඇතුළු නියෝජිත කාර්යයන් රැසක් ඉටුකිරීම. එනම් රාජ්‍ය ණය කළමනාකරණය, විදේශ සංචිතය භාරව ක්‍රියාකිරීම හා එය කළමනාකරණය කිරීම, සේවක අර්ථසාධක අරමුදල පවත්වාගෙන යාම හා ප්‍රාදේශීය සංවර්ධනයට අතදීම.

මහ බැංකුවේ පාලනය, සංවිධාන ව්‍යුහය සහ දෙපාර්තමේන්තු ගැන යමක් ප්‍රකාශ කළොත්?

මහ බැංකුව සංස්ථාපිත ඒකකයක් නොවන නිසා, එයටම ආවේණික වූ නීතිමය ව්‍යුහයක් තිබෙනවා. මුදල් නීති පනත අනුව සියලුම බලතල, කාර්යයන් සහ රාජකාරි කටයුතු පැවරී ඇති මුදල් මණ්ඩලයට එහි සංස්ථාපිත වගකීම පැවරී තිබෙනවා. පාලන අධිකාරිය ලෙස, මහ බැංකුවේ සියලුම ප්‍රතිපත්ති තීරණ ගැනීම මෙන්ම එය කළමනාකරණය කිරීම, ක්‍රියාත්මක කිරීම සහ පරිපාලනය කිරීම ආදී වගකීම් ද මුදල් මණ්ඩලය වෙත පැවරී තිබෙනවා. මහ බැංකුවේ මුදල් මණ්ඩලය සාමාජිකයන් පස්දෙනෙකුගෙන් (5) සමන්විත වේ.

* මහ බැංකු අධිපති

* මුදල් අමාත්‍යාංශයේ ලේකම් (නිල බලයෙන්)

* පත්කළ සාමාජිකයන් තිදෙනෙක් (3)

මහ බැංකු අධිපති මුදල් මණ්ඩලයේ සභාපති වන අතර, මහ බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් ද කටයුතු කරයි. 1950 සිට අධිපතිවරුන් 13 දෙනෙකු යටතේ පාලනය වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ 14 වන හෙවත් වත්මන් අධිපතිවරයා වන්නේ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාය.

මුදල් මණ්ඩලයේ සාමාජිකයින් පත් කරන්නේ කවුද?

මහ බැංකු අධිපති සහ විධායක නොවන මුදල් මණ්ඩල සාමාජිකයන් මුදල් ඇමැතිවරයාගේ නිර්දේශ මත ජනාධිපති විසින් පත්කරනු ලැබේ. මුදල් මණ්ඩල සාමාජිකයන් පත්කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ද අවශ්‍ය වේ. මහ බැංකු අධිපතිගේ සහ විධායක නොවන මුදල් මණ්ඩල සාමාජිකයන්ගේ නිල කාලය අවුරුදු හය (6) කි. මුදල් මණ්ඩල රැස්වීම් ගණපූරණය සඳහා සාමාජිකයන් තිදෙනෙක් සිටිය යුතු වේ. මුදල් මණ්ඩලයේ තීරණ වලංගු වීම සඳහා සාමාජිකයන් තිදෙනෙකුගේ අනුමැතිය අවශ්‍ය වේ. කෙසේ වෙතත් ඒකමතික තීරණයක් ගැනීම අවශ්‍ය අවස්ථාවන්හිදී සාමාජිකයන් පස්දෙනාගේම අනුමැතිය ඒ සඳහා ලැබිය යුතු වේ. මහ බැංකුවේ අරමුණු සහ කාර්යයන් සඵල කරගැනීමට උපකාරී වන පරිදි එහි සංවිධානාත්මක ව්‍යුහය, කාර්යය මූලික පදනමක් මත යළි සකස් කරන ලදී. ආර්ථික ප්‍රතිපත්ති උපදේශක පර්ෂදය, මූල්‍ය අංශ නියාමන හා අධීක්ෂණ පර්ෂදය, ශක්‍යතා ගොඩනැඟීමේ සහ සහය සේවා පර්ෂදය අවදානම් කළමනාකරණ පර්ෂදය නමින් පර්ෂද 4ක් ඇත.

පසුගිය වසර 67 ක කාලය තුළ මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්තිය (monetary Policy) ක්‍රියාත්මක ව‍ුණේ කොහොමද?

මුදල් තත්ත්වයන් හා මිල ගණන්වල වර්ධනයන් පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරන ලද මුදල් ප්‍රතිපත්තිය පසුගිය වසර හැට හතක කාලය පුරා ක්‍රමිකව විකාශනය වී තියෙනවා. 1977 දක්වා ක්‍රියාත්මක වූ ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමය යටතේ මෙන්ම 2001 දී පාවෙන විනිමය අනුපාතික ක්‍රමයට අනුගත වනතුරු පැවති පාලිත නම්‍ය විනිමය අනුපාතික ක්‍රමය තුළද උද්ධමන අපේක්ෂා පාලනය කරගැනීම සඳහා විනිමය අනුපාතික ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළේය. 1980 දර්ශකයේ මුල් භාගයේදී මහ බැංකුව විසින් සිය මුදල් ප්‍රතිපත්ති රාමුව ලෙස මුදල් ඉලක්කකරණය (Monetary Targeting) තෝරාගත් අතර, ශ්‍රී ලංකාවේ මුදල් ප්‍රතිපත්තිය හැසිරවීමේ ප්‍රධාන විචල්‍ය බවට මුදල් සමස්ත පත් විය. ඒ අනුව, මුදල් ගුණකය හරහා සංචිත මුදල් යන මෙහෙයුම් ඉලක්කය සමඟ බැඳී ඇති, අතරමැදි ඉලක්කය වන පුළුල් මුදල් සමස්ත පාලනය කිරීම තුළින් අවසාන ඉලක්කය වන මිල ස්ථායීතාව ළඟාකර ගැනීම සිදුවිය. මුදල් ඉලක්කකරණය රාමුව ක්‍රියාත්මක කිරීමේදී අපේක්ෂිත රාජ්‍ය මූල්‍ය හා ගෙවුම් තුලනය වර්ධනයන්, අපේක්ෂිත වර්ධනය හා ණය වර්ධනය මෙන්ම අපේක්ෂිත උද්ධමන මට්ටම යනාදී විවිධ සාධක සලකා බලමින් සෑම වසරක් සඳහා ම මහ බැංකුව විසින් සකසනු ලබන වාර්ෂික මුදල් වැඩසටහන පත පදනම් වූ සංචිත මුදල් හා පුළුල් මුදල් සඳහා ඉලක්ක ප්‍රකාශට පත්කිරීමත්, ඉන්පසු එම මුදල් සමස්තවල වර්ධනයන් නිරීක්ෂණය කිරීමත් අවශ්‍ය ‍විය.

මෑතක ඉඳලා මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තිය නවීකරණය වුණා කියලා සඳහන් වෙනවා. මේ ගැන පැහැදිලි කිරීමක් කළොත්?

ලොව පුරා මහ බැංකු මුදල් ඉලක්කකරණ රාමුවලින් ඉවත්වීමේ ප්‍රවණතාව අනුව යමින්, ශ්‍රී ලංකා මහ බැංකුව ද සිය මුදල් ප්‍රතිපත්ති රාමුව වැඩිදියුණු කරමින් එය නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවක් (Flexible Inflation Targeting) බවට පරිවර්තනය කිරීමට කටයුතු කරමින් සිටියි. නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවකට මැදිකාලීනව අනුගතවීමේ අරමුණින් ඒ සඳහා අවශ්‍ය පූර්ව අවශ්‍යතා සම්පූර්ණ කිරීමට පසුගිය වසර කිහිපය මුළුල්ලේම ශ්‍රී ලංකා මහ බැංකුව හා රජය කටයුතු කර ඇත. මුදල් සැපයුම හා උද්ධමනය අතර දුර්වල වෙමින් පවතින සම්බන්ධතාව ද ඇතුළුව මුදල් සමස්ත ඉලක්කකරණ රාමුවෙහි දැකිය හැකි අනෙකුත් දුර්වලතා හේතුවෙන් මෙම ක්‍රියාවලිය තවත් කඩිනම් වී ඇත. මුදල් ගුණකයේ විචල්‍ය ලෙස පුළුල් මුදල් සමස්ත තවදුරටත් යොදා ගැනේ. තවද මේ වන විට මහ බැංකුව විසින් සිය මෙහෙයුම් ඉලක්කය ලෙස සංචිත මුදල් වෙනුවට බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය (Average Weighted Call Money Rate) භාවිත කරනු ලබන අතර ප්‍රතිපත්ති පොලී අනුපාතික සහ විවට වෙළඳපොළ කටයුතු වැනි වෙළඳපොළ මත පදනම් වූ ප්‍රතිපත්ති උපකරණ වැඩි වශයෙන් උපයෝගී කරගනී. මේ වන විට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කෙටිකාලීන පුරෝකථන ආකෘති සහ මැදිකාලීන ගතික ආනුමානික පොදු සමතුලිතතා (Dynamic Stochastic General Equilibrium) ආකෘති මත පදනම් වූ පුරෝකථන හා ප්‍රතිපත්ති විශ්ලේෂණ පද්ධති (Forecasting and Policy Analysis System, FPAS) යනාදිය භාවිත කරමින් උද්ධමන පුරෝකථන ද ඇතුළුව සාර්ව ආර්ථික පුරෝකථන වැඩිදියුණු කිරීමට අවශ්‍ය කටයුතු කරමින් සිටී.

මිල සහ මූර්ත අංශයේ ස්ථායීතාව තිරසාර පදනමකින් පවත්වාගැනීම සඳහා ආර්ථිකයේ ඉහළ යන අවශ්‍යතා සහ ගතික ගෝලීය පරිසරය අනුව යමින්, මුදල් ප්‍රතිපත්ති රාමුව තවදුරටත් නවීකරණය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරියේදී කටයුතු කරනු ඇත. කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය මුදල් ප්‍රතිපත්ති රාමුව ලෙස නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණය විධිමත් ලෙස හඳුන්වාදීමේ ක්‍රියාවලියේදී රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව සඳහා රජයේ කැපවීම ද අත්‍යවශ්‍ය වේ.

Comments