පොල් වගා කිරීමේ මණ්ඩලයෙන් පොල් තෙල් නිෂ්පාදනයට පියවරක් | සිළුමිණ

පොල් වගා කිරීමේ මණ්ඩලයෙන් පොල් තෙල් නිෂ්පාදනයට පියවරක්

සාමා­න්‍යා­ධි­කාරී කේ. ඩී. එල්.ධර්ම­සිරි

පොල් තෙල් සඳහා නිසි අයිතිකරුවෙකු එසේ නැතිනම් නිසි නිෂ්පාදකයෙකු නොමැතිවීම ප්‍රශ්නයකි.මේ නිසා පොල් තෙල්වල ගුණත්වය පිළිබඳ වග කියන්නෙකු නොමැත. පොල් තෙල්වල අපිසුදු බවක් හෝ කවලම් වීමක් පිළිබඳව සැකයක් මතු වුවහොත් එය ඉදිරිපත් කරන්නට කිසිවකු නොමැත. ඍජුව පවසතොත් වගකීම දරන්නෙකු නොමැතිවීම ගැටලුවකි. අතීතයේ පොල් තෙල් නිෂ්පාදනය ගම් මට්ටමින් සිදු කෙරුණ අතර ග්‍රාමීයව බෙදා හැරීමක් ද සිදු විය.

අතීතයේ පොල් නිෂ්පාදනය සිදු වූයේ විශ්වාසය අරමුණු කරගෙනය. මේ නිසා පටු පරමාර්ථවලින් පොල් තෙල් සඳහා විවිධ ද්‍රව්‍ය කවලම් වීමක් සිදු නොවුණි. ග්‍රාමීයව පැවැති පොල් තෙල් මෝල්වලින් ගමට අවශ්‍ය පොල් නිෂ්පාදන සිදු වුණා විනා පෞද්ගලික වාසි අත්පත් කරගැනීමක් සිදු නොවුණි. එහෙත් වෙළෙඳපොළ පුළුල් වීමත් සමඟ මේ ක්‍රමවේදය තරමක් වෙනස් විය. මේ අනුව සෑම භාණ්ඩයක් උදෙසාම වෙළෙඳපොළක් ඇති විය.

හුදෙක් ලාභයම පරමාර්ථ කරගනිමින් නිෂ්පාදකයෝ භාණ්ඩ නිෂ්පාදනය කළහ. පොල් තෙල් නිෂ්පාදනයට උරුම වූයේ එවැනි වෙළෙඳ පරමාර්ථයකි. එහෙත් සංකීර්ණ වෙළෙඳපොළ තත්ත්වය නිසා නිෂ්පාදකයා කවුදැයි හඳුනා ගැනීමට පාරිභෝගිකයාට නොහැකි විය. අසල පවතින සිල්ලර වෙළෙඳසැලකින් තම අවශ්‍යතාව පරිදි මිලදී ගන්නා පොල් තෙල් පාරිභෝගික අවශ්‍යතා පිරිමසා ගැනීම සඳහා යොදා ගැණිනි. මේවායේ රසය ගුණය පිළිබඳ පාරිභෝගිකයා නොසෙවූයේය. මේ සඳහා කුමන ද්‍රව්‍ය කවලම් වී ඇත්දැයි යන්න විමසා බැලීමක් ද නොකළේය.

හොඳ පොල්තෙල් සුවඳින් හඳුනාගත හැකියැයි අතීතයේ කියමනක් තිබුණි. එහෙත් එයද සාවද්‍ය වුණි. එයට හේතුව වූයේ සුවඳ කැවූ පොල් තෙල් වෙළෙඳපොළට පැමිණීමයි. පා‍රිභෝගිකයාගේ සිත ඇඳ බැඳ ගන්නා සුවඳ කැවූ පොල් සඳහා නව ප්‍රචාරණ සිදු කිරීමත් සමඟ පාරිභෝගිකයා නිතැතින්ම ඒ කෙරෙහි යොමු විය. මේ නිසා පොල් තෙල්වල ගුණත්වය අමතක කිරීමට වෙළෙඳ ප්‍රචාරණයට හැකි විය. සුවඳ කැවූ පොල් තෙල් හිසේ ආලේප කිරීම සඳහා යොදා ගැනීම නිසා බොහෝ කාන්තාවන් අතර ජනප්‍රිය විය. එහෙත් මේ පොල් තෙල් ආහාර පිසීම සඳහා යොදා නොගත්හ. මේ අනුව ප්‍රථම වතාවට පොල් තෙල් වෙළෙන්දාට අවශ්‍ය ආකාරයට හැඩ ගැසුණි. ඒ අනුව පොල්තෙල් සුවඳින් හඳුනාගැනීමට පාරිභෝගිකයාගේ තිබුණ පෙළඹවීම අඩු විය. මේ නිසාම පොල් තෙල් සඳහා කුමක් කවලම් වූයේද යන්න අත්දැකීමෙන් හෝ හඳුනාගැනීමට පාරිභෝගිකයාට තිබුණි දැනීම ඔහුගෙන් ඉවත් විය.

වෙළෙඳපොළ අවශ්‍යතාව මත නොයෙක් පොල් නිෂ්පාදකයෝ වෙළෙඳපොළට පිවිසුණහ. විවෘත තරග නිසා අබාධ පිවිසුම හා පිටවුම නිරන්තරයෙන්ම පොල්තෙල් වෙළෙඳපොළ තුළ දක්නට ලැබුණි. එහෙත් මේ මඟින් ජාවාරම්කරුවෝ තම අභිප්‍රාය ඉෂ්ට කරගත්තහ. එමඟින් ශරීරයට නුසුදුසු පොල්තෙල් වෙළෙඳපොළට පිවිසියේය. මේවායේ ගුණත්වය පිළිබඳ දැන ගැනීමට තරම් දැනීමක් පාරිභෝගිකයාට නොවීය. සෑම භාණ්ඩයක්ම පිළිබඳව එහි කල් ඉකුත්වීම් පිළිබඳ ප්‍රශ්න කරන පාරිභෝගිකයාට පොල් තෙල් පිළිබඳ ප්‍රශ්න කිරීමට නිශ්චිත නිර්ණායක නොතිබුණි. මේ නිසා වෙළෙඳසැලෙන් ලැ‍බෙනා ඕනෑම වර්ගයේ පොල් තෙල් වර්ගයකට මිලක් ගෙවීමට පාරිභෝගියා හුරු විය. ප්‍රමිතිය ගුණත්වය ගැන කතා කරන බොහෝදෙනා පොල් තෙල්වල ප්‍රමිතිය ගුණත්වය පිළිබඳව කතා නොකරති. ඒ පිළිබඳව දැන ගැනීමට උනන්දු නොවෙති. මේ වකවානුවේ පොල් තෙල් ශරීරයට අහිතකර බව නොයෙක් ආකා‍රයේ ආරංචි නොයෙක් විට පැතිර ගියේය. මේ නිසාම පොල් තෙල් පිළිබඳ ජනතා උනන්දුව වැඩි විය.කවලම් පොල් තෙල්වලින් නොයෙක් ලෙඩ රෝග සෑදෙන බවත් ,පොල්තෙල් ෆාම් තෙල්වලට කවලම් කරන යන ආරංචිය ජනතාව අතර කාන්දුවීමෙන් පසු පිරිසුදු පොල් තෙල් පිළිබඳ අවශ්‍යතාව දැඩි විය.

පිරිසුදු පොල් තෙල්වල භාවිතයේ ඇති දැඩි අවශ්‍යතාව මත පොල් වගා කිරීමේ මණ්ඩලය පොල් තෙල් නිෂ්පාදනය පියවර තැබුවේය.

අනෙකුත් භාණ්ඩ මෙන්ම ගුණත්වයෙන් ඉහළ නිෂ්පාදනයක් පාරිභෝගිකයාට ලබාදීම අරමුණු කරගෙන පොල් වගා කිරීමේ මණ්ඩලය මේ සඳහා පිවිසුණේය. මේ පිළිබඳ අදහස් දැක්වූ එහි සාමාන්‍යාධිකාරී කේ. ඩී. එල්.ධර්මසිරි මහතා ‍පිරිසුදු පොල් තෙල් නිෂ්පාදනය සඳහා පොල් වගාකිරීමේ මණ්ඩලය යොමු වූයේ කුමන අරමුණකින් ද යන්න පැහැදිලි කෙළේය.'' වර්තමානයේ බොහෝ ව්‍යාපාරිකයන් කතා වන්නේ එකතු කළ අගය පිළිබඳ. බොහෝ නිෂ්පාදන ප්‍රාථමික මට්ටමින් වෙ‍ළෙඳපොළට යැවීමෙන් පලක් වෙන්නේ නැහැ. ප්‍රාථමික නිෂ්පාදන අලෙවි කිරීමෙන් නිෂ්පාදකයාට වාසියක් අත්වෙන්නේ නැහැ. මේ නිසා තමයි අපි පොල් තෙල් නිෂ්පාදනය කරන්න තීරණය කළේ. පොල් වගා කිරීමේ මණ්ඩලයටම ආවේණික පොල් වතු තියෙනවා. ඒවායේ නිෂ්පාදනය වන පොල් අපි විකුණනවා. එතකොට පොල් කටුවලින් අපට ආදායමක් ලැබෙන්නේ නැහැ. පොල් කටු ටික පිට යනවා. එහෙත් අපි පොල් තෙල් නිෂ්පාදනය කරන කොට අපට පොල් කටු ටිකෙනුත් ඇක්ටිවේට් කාබන් අදලා තවත් ආදායමක් ගන්න පුළුවන්.

අපි මුලින්ම පොල් තෙල් නිෂ්පාදනය පටන් ගත්තේ යාපනේ පලාලිවලිනි. යාපනේ පලාලිවලට අපට අයිති පොල් වත්තක් තියෙනවා. ඒ වගේ පොල් වතු දහතුනක් පොල් වගාකිරීමේ මණ්ඩලය සතුව තියෙනවා. මේ හැම පොල් වත්තකම පොල් තෙල් නිෂ්පාදනය කරන්න අපට අරමුණක් තියෙනවා. නිසි ප්‍රමිතියක්, ගුණත්වයක් තියෙන පොල් තෙල් නිෂ්පාදනය කළාම ජනතාවගේ සෞඛ්‍යයටත් හොඳයි. අනිත් එක ජනතාවට විශ්වාසයෙන් මිලදී ගන්නත් පුළුවන්. අනිත් හැම භාණ්ඩයකටම නිෂ්පාදකයෙක් ඉන්නවා වගේ පොල් තෙල්වලටත් නිශ්චිත නිෂ්පාදකයෙක් අවශ්‍යයි. අද වෙළෙඳපොළේ තියෙන පොල් තෙල්වල නිෂ්පාදකයා කවුද කියලා කවුරුත් දන්නේ නැහැ. පොල් තෙල් පාටින් සුවඳින් හඳුනන්න බැහැ. මේ නිසා පාරිභෝගිකයා සිද්ධ වෙනවා තියෙන දෙයක් මිලට ගන්න.

අපි පොල් තෙල් නිෂ්පාදනය කරන්න මුලින්ම පටන් ගත්තේ යාපනයෙන්. ඒ ප්‍රදේශයේ හොඳට අව්ව තියෙනවා. මේ නිසා ස්වාභාවිකව පොල් තෙල් වේලාගන්න පුළුවන්. දුම් මැසිවල දාලා කොප්පරා වේලන්න ගියහම කොප්පරාවලට දුම වැදිලා කළු වෙනවා. එතකොට පොල් තෙල්වල පාට වෙනස් වෙනවා. ඒ වගේම පොල් සාදා ගැනීම සඳහා අධික රස්නය සුදුසු නැහැ. මෙවැනි දුර්වලතා මඟ හැරලා පොල් තෙල් නිෂ්පාදනය කරන්න ඕනේ. අප තැබූ මූලික පියවර ව්‍යාප්ත කරන්න අපි බලාපොරොත්තු වෙනවා‍. දැනට අපි නිෂ්පාදනය කරන පොල් තෙල් පොල් වගා කිරීමේ මණ්ඩලයේ වෙළෙඳ සැල්වලින් මිලදී ගැනීමට හැකියාව තියෙනවා. ඉදිරියේදී සෑම පාරිභෝගිකයෙකුට මිලදී ගත හැකි පරිදි වෙළෙඳ පොළට සපයන්න අපි බලාපොරොත්තු වෙනවා. අද බොහෝ පෞද්ගලික වෙළෙඳුන් පොල් තෙල්වලට ෆාම් තෙල් කවලම් කරනවා කියලා අපට ආරංචි ලැබිලා තියෙනවා. එහෙම කවලම් කරලා පාරිභෝජනය කරන්න හොඳ නැහැ. හැබැයි පොල් තෙල් සහ ෆාම් තෙල් වෙනව වෙනව පරිභෝජනය කිරීම කිසිම අහිතකර බවක් නැහැ.''

පොල් වගා කිරීමේ මණ්ඩලය පොල් තෙල් නිෂ්පාදනය ගත් පියවර කාලෝචිත පියවරකි. මින් පාරිභෝගිකයාට සාධාරණයක් ඉටු වන අතර ඔවුන්ගේ සෞඛ්‍ය ද සුරැකේ. 


Comments