Home » නැකත් කෙළිය

නැකත් කෙළිය

by Mahesh Lakehouse
March 23, 2024 12:30 am 0 comment

පැරණි ගම්තුලානේ ආරවුල් විසඳන සිවිල් නිලධාරී ව්‍යුහයක් විය. ගමේ පන්සලට හැම ප්‍රශ්නයක්ම ගෙන යා නොහේ බැවින් සංඝයා විෂයෙහි අකැප මාතෘකා මේ සිවිල් ව්‍යුහය ඇතුළේ විසඳා ගැනීම ගැමි සිරිත විය. හැම ගමකම පාහේ නොසන්ඩාලකම් සඳහා නම ගිය කල්ලි සිටියෝය. ළඟින් ගියොත් සර්වාංගයම කුදලා ගෙන යන ජාතියේ ඔය වන් අවනීතික පිරිස් මෙල්ල කිරීම සඳහා ‘පස් රාල කමිටුව’ වෙත බලය තිබුණි.

වෙදරාල, කපුරාල, යද්දෙහිරාල, නැකත්රාල සහ ඇනමිතිරාල යන පස් රාළලා වනාහි ගමේ එදිනෙදා අවශ්‍යතා සඳහා නායකත්වය දුන් පිරිසය. මේ රාලලාගේ නම් තුළම කාර්යය පැහැදිලි වන්නේ නමුදු ඇනමිතිරාලගේ නම මතුපිටින් බලා ඒ ගැන කීම අසීරුය. තනතුර පටන් ගන්නේ ‘ඇණ’ යන වචනයෙන් නිසා මේ හාදයා, වඩු වැඩ කළාදැයි අනුමාන කිරීමට යා හැක්කේය. ඇණමිතිරාල, ගේ කාර්යය වූයේ, දෙවියන්ගේ ප්‍රකාශක තනතුරය. හෙතෙම දේව ආරූඪය සහිත හෙයින් යම් පැනයක් සඳහා දේව අදහස ගෙනහැර දක්වනුයේ ඔහුය. නැකත්රාල අද මේ තීරුවේ කතාව සඳහා ඉදිරියට ගෙන ආ යුත්තේ බැවින් ඔහුගේ කාර්යය මෙතැනදී මතු කර දැක්විය යුත්තේය. ගමේ හැම වැඩක්ම සඳහාම මුල පුරන ලද්දේ සුබ නැකතකිනි.

නැකත්රාල ඒ සඳහා වෙලාව ලබා දෙන්නේ ජ්‍යොතිෂය ගුරුකොට ගෙනය. සිංහල අවුරුද්ද සඳහා මේ කාලයේ මෙන් මුළු රටම එකම ලිතකින් නැකත් දැනගන්නා මෙන් ක්‍රමයක් ඒ කාලයේ නොවීය. ගමටම නැකත් හදා දුන්නේ නැකත්රාලය. නැකත්රාල වෙලාවක් ලබාදුන් විට ඒ ගැන වචන දෙකක් තිබුණේ නැත. හැමදෙනාම එය සුබ යැයි සලකා වැඩේ කළේය.

මේ රටේ ගෙයක් දොරක් හදන්නට ගිය තැන පටන් කලින් බාස්ගේ වැඩ පස්සේ එන බාස් විවේචනය කරන්නේය. නඩුවක නීතිඥයා මාරු කළ විට “අරයා වැඩේ කාලනේ…” කියා අලුත් මහත්තයා වැඩේට බසින්නේය. මේ ආකාරයට තමන්ගේ ක්ෂේත්‍රයටම ගරහා වැඩේ පටන් ගන්නේ හෙයින්, මිනිස්සු බාල්දු කරන්නේ ඒ ඒ වෘත්තියේ, විචක්ෂණභාවයය. මෙවර අවුරුදු නැකත් සම්බන්ධයෙන් සිදුවී ඇත්තේ ද ඒ වැඩේය.

සිංහල අවුරුද්ද වනාහි සිංහලයාගේ අනගි නිපැයුමකි. පේටන්ට් බලපත්‍රයක් හිමිවන්නේ භෞතික නිපැයුම් සඳහා හෙයින් අපටම අනන්‍ය වූ සංස්කෘතික අංගයක් නිෂ්පාදනය කර ගැනීම බොහෝදෙනා නිපැයුමක් ලෙස දකින්නේ නැත. එහෙම සංස්කෘතික ගතිකයක් නිපදවා ගැනීම කතා කරගෙන කළ හැකි දෙයක් නොවේ. එය සපුරා සමාජ නිෂ්පාදනයකි. සිංහල අවුරුද්ද තනිකරම සිංහලයාගේ නිර්මාණයකි. ආචාර්ය නලින් ද සිල්වා රචනා කරන ලද සිංහල අවුරුද්ද පොතේ මේ සිංහල නිර්මාණයේ කතාවේ ඇතුළාන්තය ඇත්තේය. සිංහල අවුරුද්දේ සියලු නැකත් ඇත්තේ නොනගතය කාලය ඇතුළේය.

මෙයට කාලයට පෙර නොනගතය හඳුන්වන ලද්දේ නැකත් නැති වේලාව ලෙසය. සිංහල අවුරුද්දේ හොඳම ටික ඇත්තේ නොනගතය තුළය. නොනගතය යන වචනය සඳහා ආචාර්ය නලින් ද සිල්වා දුන් අර්ථය අනුව එය සිංහලයාගේ චින්තනය පොළොවේ පැළ කිරීමකි.

මීනයේ සිට මේෂ රාශිය දක්වා, රාශි මාරුව සඳහා ගතවන කාලය ‘නොනගතය’ නම් වන්නේය. මේ වනාහි සංක්‍රාන්ති සමයකි. පැය 12ක් සහ මිනිත්තු 48ක් වන මෙම කාලසීමාව තුළ සූර්යයා රාශියකින් නික්ම අනෙක් රාශියට යන කාලය හෙයින් සූර්යයා සිටින්නේ ගමනේ අතරමගය. එහි අර්ථය වන්නේ සූර්යයා මේෂ රාශියට පැමිණියේ ද නැත, නොපැමිණියේ ද නැත යන අර්ථය යැයි ආචාර්ය නලින් අර්ථ දක්වන්නේය. මේ සඳහා අගත, අනගත යන වචන ඇසුරෙන්, නොනගත යන්න තැනී ඇති බව පැහැදිලි කරමින්, සිංහල තර්කනය අනුව මේ සංකල්පය බිහිව ඇත්තේ යැයි ආචාර්ය නලින්ගේ සාධනය වේ.

ඒ සා සංකල්පීය නිර්මාණයක් අද බාල්දු කරගෙන යන්නේ ජ්‍යොතිෂ ඇදුරන්මය. රාජ්‍ය නැකත් කමිටුව වෙලාවක් දුන්නා කියන්නේ එය අවසාන නැකත් වෙලාව බවය. ඕනෑම දෙයකට විවේචනයක් තිබිය හැක්කේ මුත්, මේ ආකාරයේ සංස්කෘතික අංගයක් සඳහා වෙන වෙන කතා කීමට යෑමෙන් බාල්දු වන්නේ අපගේ මහා නිර්මාණයය. සිංහල අවුරුද්ද දෙගිඩියාවකට හිර කිරීමෙන් සිද්ධ වන්නේ ජනයාට ඒ ගැන තමන්ගේ මනසේ ඇති චිත්‍රය වෙනස් කර ගැනීම සඳහා දෙන තල්ලුවක් බවය. මෙහෙම වාදයක් ඇත්තේ නම් ඒ රෙදිපිළි හන්දිය මැද්දේ තබාගෙන සේදිය යුතු නැත්තේය. දැන් විකල්ප නැකත් වේලාවන් පවා ප්‍රකාශයට පත් කර, රටම එකට ළිපි ගිනි මෙළවීම, එකට වැඩ ඇල්ලීම ආදිය දෙකඩ කිරීමේ ක්‍රියාන්විතය සූදානම්ය. මෙලෙස දිගටම වසර දෙක තුනක් ගත වේ නම් ඒ සිංහල අවුරුද්දේ අවසානය වන්නේය.

ඒ මතු නොව එක එක කතා, එකම දෙයක් සම්බන්ධයෙන් තෙපලන බැවින්, ජ්‍යොතිෂය පිළිබඳව ඇති මහජන විශ්වාසය ද එතැනින්ම නාය යන්නේය.

අවුරුදු නැකතට රණ්ඩුවී වරිගේ නසා ගැනීම ජ්‍යෝතිෂ්‍යවේදියාට භාර කටයුත්තකි. මේ මොහොතේ අපට ඇත්තේ, අතීත සිංහලයාගේ අනභිභවනීය නිර්මාණය බාල්දු නොකර ඉදිරියට ගෙන යෑමය. මාධ්‍යය අතට පත්වෙන හැම දෙයම උඩ දම දමා හැඩ බැලීමට යෑමෙන් වන්නේ සමාජය කැලතී යෑමය. එම කලල් දියේ සමාජයේ වටිනාකම් දියව යන බව නොතකා මාධ්‍යය ද මේ ආකාරයේ ගැටුම් සඳහා පබ්ලිසිටි දෙන්නේය. අවුරුද්ද සඳහා නැකත් සාදන්නේ දෙතුන් දෙනෙක් නොවේ. අද විකල්ප නැකත් කියනා කණ්ඩායම ද රාජ්‍ය නැකත් කමිටුවේ සිට මධ්‍යම රාත්‍රී නැකත සඳහා අත්සන් තබා අනුමැතිය ලබා දුන්නේය. දැන් විකල්ප ගෙන කණා මුට්ටි ගසන්නේය. මේ රටේ දැන් ඇති භයානකම වැඩේ විකල්පය ප්‍රශ්නයට වඩා අර්බුදයක් වීමය. නැකත් කතාව ද දැන් සංක්‍රමණය වී ඇත්තේ එතැනටය.

රටක් ලෙස එකම නැකතකට හෙවත් රාජ්‍ය නැකත් කමිටුව කියූ වෙලාවට වැඩ අල්ලා මේ වැඩේ ඉවර කර දමමු යන්න මේ තීරුවේ යෝජනාවය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division