Home » ‘ඖෂධ මිල දී ගැනීමට’ සැර වැඩි බෙහෙතක් සුදානමින්…

‘ඖෂධ මිල දී ගැනීමට’ සැර වැඩි බෙහෙතක් සුදානමින්…

by Mahesh Lakehouse
March 16, 2024 12:30 am 0 comment

ස්ව ශක්තියෙන් හුස්ම ගැනීමට නොහැකි වී, වසර ගණනක් ලෝහ සිලින්ඩරයක් තුළ ජීවත් වූ අමෙරිකන් ජාතික පෝල් ඇලෙක්සැන්ඩර් පෙරේදා අවසන් හුස්ම හෙළුවේය. අවුරුදු 78 ක් වූ හෙතෙම, මේ තත්ත්වයට පත්වූයේ පෝලියෝ රෝගය නිසාය. පෝලියෝ කියූ ගමන් අපට සිහිවන්නේ දෙකකුල් අසාමාන්‍ය ලෙස සිහින්, මඟ යෑමට පණ නැති මිනිස් රූපයකි. මේ චිත්‍රය නිසා සිංහලෙන් ඔය ලෙඩේට කියන්නේ බාල පක්ෂගාත රෝගය කියාය.

මලපහ මාර්ගයෙන් ව්‍යාප්ත වන වයිරසයක් හේතුවෙන් පෝලියෝ පැතිර යන්නේය. මෙම වයිරසය සමහරුන්ගේ මධ්‍ය ස්නායු පද්ධතියට ඇතුළු වී, එහි වූ චාලක ස්නායු විනාශ කරන්නේය. මාංශපේශී දුර්වල වීමෙන් අංශභාගය තෙක් වැඩේ දරුණු වන්නේය. හානියට පත්වන ස්නායු වර්ගයට අනුව ‘ඒ ඒ තැන්හි’ අංශ පණ නැති කිරීම පෝලියෝ සිරිතය. මේ ආකාරයට පෙණහලු සඳහා බලපෑම් ඇති කරන තැනකට පෝලියෝ වයිරසය කඩා වැදීමක් පෝල්ට සිදුවන්නට ඇත. 1952 ඔහුට, ලෙඩේ වැලඳෙන විට, පෝලියෝ සඳහා එන්නතක් සොයා ගත්තා පමණය. එතකොට ‘වැඩේ කෙරී ඇති බැවින්’ වෛද්‍යවරු, ලෝහ සිලින්ඩර කුටියකට පෝල් යොමු කළහ. වසර හැටකට පමණ ආසන්න කාලයක් පෝල් ජීවත් වූයේ ලෝහ කුටියකය. එය බැරලයකට බෙල්ල තෙක් බස්සා, උඩුබැලි අතට තිබ්බා වගේ වැඩකි. මුහුණ පමණක් එළියේය. අනික් සියල්ල බැරල් එක ඇතුළේය. මේ සඳහා පාඨකයාට ගෝනි රේස් තරගයකදී, උඩුකයේ, ගාණට ගෝණියක් තුළ රේස් දුවන කෙනා මතක් කරගත හැක්කේය. අංග චලනයක් නොමැතිව පෝල්, දිවි ගෙවන හෙයින් ඔහුට පටබැඳි නම වූයේ, ‘ද මෑන් ඉන් ද අයන් ලංග්’ ය. එහෙව් ජීවිත ලක්ෂ ගාණක් අද වන විට අප ඉදිරියේ ශේෂ නොවූයේ. ශ්‍රේෂ්ඨ මිනිසුන් දෙදෙනෙක් නිසාය.

ජොනාස් සෝල්ක් (1952) සහ ඇල්බට් සැබින් (1962) පෝලියෝ එන්නත නිපදවීම නිසා, අපි කවුරුත් එහෙම ලෙඩක් නැතිව වායු ගෝලය ඇතුළේ ජීවත් වන්නෙමු.

එන්නත් කියන්නේ එහෙම දෙයකටය. ඖෂධයක් බේරා දෙන්නේ ලෙඩා පමණක් නොවේය. හතර වරිගයමය. ආදරණීයයෙක් අසනීපයකට ගොදුරු වූවා කියන්නේ සියලු දෙනාටම ‘හොඳටෝම සනීප’ බවය. වියහියදම් පාර්ශ්වයෙන් ගත්විට මාසය ජීවත්වීම සඳහා අමාරුවෙන් ගේම ගහගෙන, බිල් සහ ලෝන් ආදිය ද ගෙවා ගෙන සිටිනා විට, අසනීපයක් වුණා කියන්නේ පවුලම මාස දෙක තුනකට හාන්සිය. අනික කරදරයය. ලෙඩා බලා ගැනීමේ සිටම අවුල්ය. කිසි වැඩක් හරියට කෙරෙන්නේ නැත. ලෙඩාටම වෙන්වී සිටිය යුත්තේය.

එහෙම මිනිසුන්ගේ වේදනා සඳහා, දයාබර වදනක් හෝ වී, මඳ සහනයක් වීම මිනිස්කමය. ඒ මිනිසුන්ගේ ලෙඩ දුක සඳහා සපයන බෙහෙත් පෙත්තෙන්, එන්නතෙන් ගසා කෑම වනාහි ‘පණ පිටින්’ අපායේ පැසවෙන කර්මයකි. මාළිගාකන්ද අධිකරණයේ මේ දවස්වල දිවා රෑ ඇසෙන ඉමියුනොග්ලොබියුලින් එන්නත් වංචාව පිළිබඳ නඩුවේදී කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම කියා සිටියේ, මේ සිද්ධියේ රිමාන්ඩ් සැකකරුවන් සඳහා මනුෂ්‍ය ඝාතන චෝදනා ගොනු කරන බවය. මේ වැරදිකර ඇති යමෙක් වේ නම් හේ, පාස්කු බෝම්බය සේ දරුණුය. පාතාලයේ මිනීමරුවෝ හා සමය.

ජීවිත වැනසීම සඳහා බාල බෙහෙත් නිපදවීම සඳහා හිත දෙනවා කියන්නේම සහ ඒවා පටිපාට සිඳ, අතයට ගනුදෙනු වෙනුවෙන් මිල දී ගන්නවා කියන්නේම, මනුෂ්‍ය සංහතියට එරෙහිව අපරාධ සිදු කරනවා යන්නය. මාළිගාකන්දේ විභාග වන්නේ ඒ ගණයේ නඩුවකි.

ඖෂධ මිල දී ගැනීම සම්බන්ධයෙන් විනිවිදභාවය අවශ්‍ය වන්නේ මේ ආදී කාරණා බොහොමයක් මුලින් සිඳ ඉවත දැමීම සඳහාය. වැඩේ වටේට පෙනෙනා විට, හංගන්නට යමක් නැත. එවන් ප්‍රතිපත්තිමය තීරණයක් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය දැන් අත තබා තිබේ. බාල එන්නත් සිද්ධිය මතු වූ මුල් කාලයේම ජනාධිපතිවරයා සෞඛ්‍ය බලධාරීන් කැඳවා අණ දුන්නේ බෙහෙත් මාෆියාව ක්‍රම හතරකින් පරාජය කිරීම සඳහාය.

ජනතාවට ඖෂධ ලබා ගැනීමේදී ප්‍රමාදයක් සිදු නොවීම එහි පළමුවැන්නය. මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පවත්වාගෙන යනු ලබන විශේෂ වෙබ් අඩවියක් මඟින් සෑම රෝහලක්ම සතු ඖෂධ ප්‍රමාණය සහ දිනකට ලබා ගත හැකි මුළු ඖෂධ ප්‍රමාණය පිළිබඳ දත්ත ලබා දිය යුතුවේ.

මතුව ඇති ඖෂධ හිඟය වහාම පියවීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත සංශෝධනයට අදාළ යෝජනා කඩිනමින් ඉදිරිපත් කිරීම. එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය සහ එක්සත් රාජධානිය අනුමත කර ඇති ඖෂධ තවදුරටත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ක්‍රියාවලිය හරහා ඇණවුම් කිරීම වෙනුවට ඍජුවම ඇණවුම් කිරීම. මූල්‍ය විනිවිදභාවය සහ ඖෂධයන්හි ගුණාත්මකභාවය තහවුරු කිරීමේ ස්ථිර සහ විනිවිද පෙනෙන යන්ත්‍රණයක් සකස් කිරීම. මේ සිව්වැදෑරුම් වැඩපිළිවෙළ දැන් සෑහෙන දුරකට ඉටුව තිබේ. විනිවිදභාවය සම්බන්ධයෙන් වූ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය තාක්ෂණික පියවර දැන් ඇත්තේ ‘අන්තිම තැනය’. ඒ නිසා මාළිගාකන්දේ ඇසෙන පන්නයේ නඩු, තව ටික කලකින් අලුත් කේස් ෆයිල් වී නෑසෙනවා ඇත.

පවන කැසට් පටය සඳහා මහාචාර්ය සුනිල් ආරියරත්නගේ පද බැඳ, නන්දා මාලනියගේ සුගයන ගීයක “මල් සුවඳ රටක් වී මා නුවන් සයුරේ – ඒ රටට අඬ ගසයි – අනේ අපි කවදාක හිනැහෙමුද ඒ රටේ” යැයි කියවෙන්නේය. දූෂණයේ දුගඳින් තොර එහෙව් ආකාරයෙන් විනිවිදභාවයේ මල් සුවඳ හමන රටක අපට ළඟ ළඟමැ හිනැහීමට ලැබේවා යන්න මේ තීරුවේ පතන්නේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division