Home » 29 වසර සපුරන AIA උසස් අධ්‍යාපන ශිෂ්‍යත්වය

29 වසර සපුරන AIA උසස් අධ්‍යාපන ශිෂ්‍යත්වය

AIA ශිෂ්‍යත්වයෙන් අධ්‍යාපන සිහින සපුරා ගත් පිරිස 725 කට වැඩියි

by Mahesh Lakehouse
March 16, 2024 12:30 am 0 comment

AIA ශිෂ්‍යත්වය තමයි මට ආර්ථික වශයෙන් විශාල හයියක් වුණේ
– මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ලසේන් නිම්සිළු කොඩිතුවක්කු


මං වගේම තව ළමයෙකුට උඩට එන්න මේ ශිෂ්‍යත්වය ලොකු උදව්වක්
– මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පී. සනූජන්


උසස් පෙළ පන්ති ගාස්තු සඳහා මට ලැබුණු මේ AIA ශිෂ්‍යත්වය බොහෝ ප්‍රයෝජනවත් වුණා
– ව්‍යාපාර විශ්ලේෂක අංජනා සේනාධීර 


අද මම දිනා තිබෙන ජීවිතයේ සාර්ථකත්වයට AIA ශිෂ්‍යත්වය විශාල උත්තේජනයක් ඇති කළා
– ඕස්ට්‍රේලියාවේ පදිංචි සන්නිවේදන තාක්ෂණය පිළිබඳ රිසර්ච් ඉංජිනේරුවකු වන ආචාර්ය විදුරංග බණ්ඩාර විජේකෝන්

1994 වසරේ පහේ ශිෂ්‍යත්වය සමත්ව පළමු AIA ශිෂ්‍යත්වය ලැබූ දරුවන් අද මේ සමාජයට වැඩදායි මෙහෙවරක යෙදෙන වැඩිහිටියන් බවට පත්ව තිබේ.

එසේ ආ ගමනට දැන් 29 වසරකි.

අඛන්ඩව ආ මේ ගමන AIA සමාගමට සතුටක් මෙන්ම, රටට යුතුකමක් ඉටු කළ තෘප්තිමත් හැඟුමකි.

අද රට පුරා සහ ඇතැම් විට ජාත්‍යන්තරයේ ද විසිරී සිටින මේ AIA ශිෂ්‍යත්ව ලාභීන් පහේ ශිෂ්‍යත්වයට මුහුණ දෙන දරුවන්ට ද පූර්වාදර්ශයකි.

මේ, පහේ ශිෂ්‍යත්වය සහ AIA ශිෂ්‍යත්වය ඔවුන්ගේ ජීවිතයට එක් කළ සාධනීය බලපෑම පිළිබඳ එකල පහේ හපනුන් කිහිප දෙනකු දැක්වූ අදහස් ය.

මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ඉගෙනුම ලබන ලසේන් නිම්සිළු කොඩිතුවක්කු ද එවැනි පහේ සමතෙකි.

මේ ඔහුගේ සාර්ථකත්වයේ කතාවයි.

“මම ශිෂ්‍යත්වය සමත් වෙන්නේ හොරණ කුළුපණ තක්ෂිලා ප්‍රාථමික විදුහලෙන්. ලකුණු 194ක් ලබාගෙන කළුතර දිස්ත්‍රික්කයේ පළමු වැනියා වෙලා කොළඹ රාජකීයට ඇතුළත් වෙන්නේ 2014 අවුරුද්දේ. ඒ තමයි මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය. මට ඉතා හොඳ ඉගෙනුම් පරිසරයක් කොළඹ රාජකීය විදුහලේදී උදා වුණා. මම A-9 ක් අරගෙන සාමාන්‍ය පෙළ හොඳින් සමත් වුණා. ඊළඟට උසස් පෙළ ගණිත අංශයෙන් A-3ක් අරගෙන මොරටුව විශ්වවිද්‍යාලයට තේරුණා.

මගේ අම්මා ගෘහනියක්. තාත්තා සුපවයිසර් කෙනෙක්. මම ඉගෙන ගන්න ආසාවක් සහ උනන්දුවක් දැක්වූවා වගේම, අම්මා තාත්තත් මට විශාල ශක්තියක් වුණා. ඇත්තටම පහේ පන්තියේදී මම අමතර පන්ති ගියා. හුඟක් මහන්සි වෙලා වැඩ කළා. රාජකීය විදුහලට ගියාට පස්සේ ඒ සංස්කෘතියට හුරු වෙන්න ටිකක් අමාරු වුණත් හතේ පන්තිය වන විට මම ඒ පාසලට හොඳින් හුරු වුණා. උසස් පෙළටත් පන්ති ගියා.

මම උසස් පෙළ කළේ කොරෝනා සමයේ. ඒ කාලේ මට ලැබුණු AIA ශිෂ්‍යත්ව මුදල මට විශාල හයියක් වුණා. අද මම මොරටුව විශ්ව විද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික් සහ ටෙලි කොමියුනිකේෂන් ඉංජිනේරු උපාධිය හදාරන, අනාගතය ස්ථාවරව දකින තරුණයෙක්. පහේ ශිෂ්‍යත්වය නොතිබුණා නම් මට කොළඹ රාජකීයට එන්න ලැබෙන්නේ නැහැ. අපි වගේ දරුවන්ට එවැනි පාසලකට එන්න තියෙන එකම ක්‍රමය ශිෂ්‍යත්ව විභාගය පමණයි. ඒ අතරට ලැබුණු AIA ශිෂ්‍යත්වය ආර්ථික වශයෙන් විශාල හයියක් වුණා. ඒ වගේම දරුවෙක් ලෙස, ඒ වෙච්ච මහන්සියට ලැබුණු අගය කිරීමක් ලෙස දැනුණා. ඒ උත්තේජනය තමයි මෙතෙක් දුර එන්න හයියක් වුණේ. වැදගත්ම දේ AIA සමාගම අපේ පවුලට AIA රක්ෂණයක් තිබුණාද නැද්ද කියලා බැලුවේ නැහැ. සෑම දරුවකුටම ලකුණු මත පදනම්ව මේ අවස්ථාව ඔවුන්ට ලබා දීමයි ඔවුන් ගේ ක්‍රමවේදය. AIA සමාගමට මේ සමාජ සද්කාර්යය දිගටම කරගෙන යන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මොකද, අමාරුකම් තිබුණත් පෙන්වන්න බැරි බොහෝ දරුවන්ට, උසස් පෙළ පන්තිවලදී සහ විශ්වවිද්‍යාල ජීවිතයේදී මේ මුදලින් ලොකු අත්වැලක් සැපයෙන නිසා…”

The Cake Factory Pvt. Limited ආයතනයේ Business Analyst හෙවත් ව්‍යාපාර විශ්ලේෂක තනතුර හොබවන අංජනා සේනාධීර ද එවැනිම පහ වසර සමත් තවත් AIA ශිෂ්‍යත්ව ලාභිනියකි.

“මං ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ ලින්ඩ්සේ බාලිකා විද්‍යාලයේ. 2008 වසරේ ලකුණු 183 ක් ලබා ගත් පළමුවැනි ස්ථාන තුනක් තිබුණා. එයින් කොළඹ දිස්ත්‍රික්කයට පළමු ස්ථාන දෙකක් තිබුණා. එයින් එක්කෙනෙක් මම.

ශිෂ්‍යත්වයෙන් පස්සේ මට කොළඹ විශාඛා විද්‍යාලයට යන්න අවස්ථාව ලැබුණා. A-9 ක් අරගෙන සාමාන්‍ය පෙළ හොඳින් සමත් වුණා. උසස් පෙළට මම තෝරාගත්තේ සංයුක්ත ගණිතය. උසස් පෙළත් හොඳින් සමත් වෙලා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයට ඇතුළත් වෙලා සංඛ්‍යාන විද්‍යාව පිළිබඳ විශේෂ උපාධියක් ලබා ගත්තා. මම විශ්වවිද්‍යාලයෙන් පිට වුණේ 2023 වසරේ.

අද වන විට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නිෂ්පාදන කාර්යයට අවශ්‍ය දත්ත මත පදනම් වූ තීන්දු තීරණ ගැනීම සහ මෙහෙයුම් කළමනාකරණය යි, මගේ රාජකාරී ස්වභාවය.

ඇත්තටම අද මේ තැනට එන්න පොඩි කාලේ ලැබුණු පදනම හුඟක් ප්‍රයෝජනවත් වුණා. මගේ තාත්තා රජයේ රැකියාවක් කළ කෙනෙක්. තාත්තා විතරයි අපේ ගෙදර රස්සාව කළේ. උසස් පෙළ කරද්දී ටියුෂන් පන්ති ගාස්තු සඳහා මට ලැබුණු මේ AIA ශිෂ්‍යත්වය බොහොම ප්‍රයෝජනවත් වුණා. මම තෝරා ගත් විෂයන් තරමක් සංකීර්ණ නිසා ඒවාට අනිවාර්යයෙන් පන්ති යා යුතු වුණා. විෂය සම්බන්ධ වගේම බාහිර කටයුතුත් හොඳින් කළා. මම පාසල් දැනුම මිනුම සංගමයේ සභාපති සහ කණ්ඩායම් නායිකාව.

ලින්ඩ්සේ බාලිකාවේ හිටපු නිසා විශාඛාවට යද්දී මට විශාල සංස්කෘතිමය වෙනසක් දැනුණේ නැහැ. තරගකාරීත්වය තිබුණත් අධ්‍යාපනයේ දී ක්‍රීඩාවේ දී එකිනෙකාට උදව් කරන සංස්කෘතියක් විශාඛාව තුළ තිබුණා.

පාසල් අධ්‍යාපනයේ අවසන් අදියරේ ඉන්න දරුවන්ට වියදම වැඩියි. මොකද අමතර පන්ති යන්නට සිදුවන නිසා ඇත්තටම එහෙම උදව්වක් අවශ්‍ය කෙනකුට AIA ශිෂ්‍යත්වය විශාල හයියක්. මං වගේම තවත් දරු පරපුරකට මේ AIA ශිෂ්‍යත්වය ලැබිය යුතුයි කියලයි, මම ප්‍රාර්ථනා කරන්නේ.

උදව් ඉල්ලන්න බැරි, නමුත් ඉගෙන ගන්න කැමැති සහ දක්ෂතාව තිබෙන දරුවකුට ඒ AIA සමාගම කරන මේ සද්කාර්යය හොඳ පූර්වාදර්ශයක්. මේ හොඳ කටයුත්ත දිගටම කරන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා…”

අද වන විට ඕස්ට්‍රේලියාවේ පදිංචි සන්නිවේදන තාක්ෂණ්‍ය පිළිබඳ රිසර්ච් ඉංජිනේරුවකු වන ආචාර්ය විදුරංග බණ්ඩාර විජේකෝන් ද, පහේ ශිෂ්‍යත්වය ඉහළින්ම සමත්ව AIA ශිෂ්‍යත්වය දිනා ගත් තවත් එවැනි ජයග්‍රාහකයෙකි.

“මගේ පදිංචිය මහරගම. මම ගියේ නුගේගොඩ හයිලන්ඩ්ස් ජාත්‍යන්තර පාසලට. 2001 වසරේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ලකුණු 189ක් ලබා ගත් නිසා කොළඹ රාජකීය විදුහලට ඇතුළත් වෙන්න ලැබුණා. ඇත්තටම ඉංග්‍රීසි සහ ගණිතය කියන විෂයන්ට මට ගෙදරින්ම හොඳ අත්වැලක් ලැබුණා. මොකද, මගේ අම්මා ඉංග්‍රිසි ගුරුවරියක්. තාත්තා විභාග දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙක්. ඊට කලින් ඔහු ගණිත ගුරුවරයෙක්.

ශිෂ්‍යත්වය සමත් වෙන්න කලින් පටන්ම මට රාජකීය විදුහල පිළිබඳ විශේෂ ආසාවක් තිබුණා. මොකද, නුගේගොඩ හයිලන්ඩ්ස් ජාත්‍යන්තර පාසලේ ඉගෙන ගන්නා සමයේ අපේ තෑගි

ප්‍රදානෝත්සවය තිබුණේ කොළඹ රාජකීය විදුහලේ. තෑගි ප්‍රදානෝත්සව දෙකකට ම රාජකීයට ගිය වෙලාවේ මට ඇත්තටම හිතුණා, මේ ඉස්කෝලෙට එන්න තිබුණා නම් කියලා. ශිෂ්‍යත්වය නිසා මට ඒ අවස්ථාව උදා වුණා. මම 2001 වසරේ ශිෂ්‍යත්වය සමත් වුණේ මුළු දිවයිනෙන් ම තුන් වැනියා විදියට.

ඊළඟට, 2007 වසරේ සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනේ 6 වැනියා වුණා. උසස් පෙළ වෙනකල් ම අම්මා තාත්තා අධ්‍යාපනයේ බොහෝ තැන්වලදී මැදිහත් වුණාට එතැනින් එහාට මට කැමැති දේ කරන්න ඔවුන් ඉඩ දුන්නා. 2010 වසරේ මම උසස් පෙළ ගණිත අංශයෙන් ලංකාවෙන්ම පළමුවැනියා විදියට මොරටුව ඉංජිනේරු පීඨයට තේරුණා. මං තෝරා ගත්තේ ඉලෙක්ට්‍රොනික සහ විදුලි සංදේශ ඉංජිනේරු විද්‍යාව.

ඇත්තටම සාමාන්‍ය පෙළ සමත් වෙලා, උසස් පෙළත් සමත් වෙලා විශ්වවිද්‍යාලයට යනකල් ම ලැබුණු AIA ශිෂ්‍යත්ව අරමුදල අමතර පොත්පත් ගන්න මට විශාල උදව්වක් වුණා.

අද මම දිනා තිබෙන ජීවිතයේ සාර්ථකත්වයට ඒ ලැබුණු AIA ශිෂ්‍යත්වයත් විශාල උත්තේජනයක් ඇති කළ බව කිව යුතුයි.

මගේ ආචාර්ය උපාධිය අතරතුර, මට විදුලි සංදේශ ක්ෂේත්‍රයේ පේටන්ට් බලපත්‍ර දෙකක් ලැබුණා.

අද මං වැඩ කරන්නේ ඕස්ට්‍රේලියානු රජයේ ආරක්ෂක අංශයට. Aus Defence සමඟ කරන මගේ භූමිකාවට අමතරව, නියාමන අවශ්‍යතා සඳහා (බැංකුවල ඇමතුම් අධීක්ෂණය වැනි) යන්ත්‍ර ඉගෙනුම් ආකෘති සංවර්ධනය කරන ආරම්භයකට ද මම සම්බන්ධ වී සිටිනවා.

ඇමරිකා එක්සත් ජනපදය, දකුණු කොරියාව, ප්‍රංශය, ස්වීඩනය සහ ඉතාලියේ ජාත්‍යන්තර ස්ථානවල මගේ පර්යේෂණ ප්‍රතිඵල පුද්ගලිකව ඉදිරිපත් කිරීමට මොනෑෂ් විශ්වවිද්‍යාලය හරහා මට අනුග්‍රහය ලැබී තිබෙනවා. මේ තරම් ගමනක් එන්න දරපු උත්සාහයේ දී එදා ලැබුණු AIA ශිෂ්‍යත්වයත් ලොකු හේතුවක්. ඒ වගේම මගේ යාළුවොත් හිටියා මේ ශිෂ්‍යත්වය ලබපු. ඒ හැමෝමත් කිව්වේ, ඒ අයගේ ගමනට මේ ශිෂ්‍යත්වය විශාල හයියක් වුණා කියලා. ඒ වෙනුවෙන් මම AIA සමාගමට ස්තුතිවන්ත වනවා…”

21 හැවිරිදි පී. සනූජන් ද, පහේ ශිෂ්‍යත්වය සමත් වූ තවත් එවැනි AIA ශිෂ්‍යත්ව ලාභියෙකි.

“මගේ ගම හැටන් දික්ඔය. මම ඉගෙන ගත්තේ හැටන් හයිලන්ඩ්ස් කොලේජ් එකේ. 2013 ලකුණු 193ක් අරගෙන නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ඉහළින්ම සමත් වුණත් අම්මයි තාත්තයි මාව කොළඹ එව්වේ නැහැ. ඒත් මම ආස වුණා කොළඹ රෝයල් එකට යන්න. මට හිටියේ අක්කයි නංගියි. මාව බෝඩිං කරන්න අම්මලා කැමති වුණේ නැහැ. යනවා නම් මුළු පවුලම කොළඹ යා යුතු වුණා. ඉතින් මුළු පවුලටම කොළඹ යන්න බැරි නිසා, මම එකේ පන්තියේ ඉඳන් උසස් පෙළ ඉවර වෙනකල් ම හයිලන්ඩ්ස් කොලේජ් එකේ ඉගෙන ගත්තා.

මගේ අම්මා ගණිත ගුරුවරියක්. තාත්තා හෝටල් කළමනාකාර වරයෙක්. 2013 අවුරුද්දේ අපේ පැත්තට මහා ගංවතුරක් ආවා. දවසක් ශිෂ්‍යත්ව පන්ති ඉවර වෙලා එද්දී ගෙදරට වතුර දාලා. ඒ ගංවතුරට මගේ පොත් යට වුණා. තෙමුණු පොත් ආපහු ගන්න බැරි වුණා. මගේ ඉස්කෝලේ ශෂිකලා ටීචර් මට හුඟක් උදව් කළා. මම උනන්දුවෙන් ඉගෙන ගත්තා.

පාඩම් වැඩවල දී අම්මාට වැඩිය තාත්තා හිටියේ හුඟක් තදින්. කොහොම හරි සාමාන්‍ය පෙළ A-8යි, B-1යි අරගෙන මම හොඳින් සමත් වුණා. උසස් පෙළට මම ජීව විද්‍යාව තෝරා ගත්තා. ප්‍රතිඵල A-1යි, B-2යි. මට මොරටුව විශ්ව විද්‍යාලයේ මෙඩිකල් ෆැකල්ටි එකට එන්න අවස්ථාව ලැබුණා. මගේ බලාපොරොත්තුව Neurosurgeon කෙනෙක් වෙන එක.

AIA ශිෂ්‍යත්වය මට උසස් අධ්‍යාපනයේදී බොහෝ උදව් වුණා. විශාල හයියක් වුණා. මගේ පන්ති ගාස්තු ගෙවන්න, පොත්පත් ගන්න දෙමව්පියන්ට කරදර නොකර මං ඒකෙන් පිරිමහ ගත්තා. මම හිතන්නේ ඒ ශිෂ්‍යත්වය ලබන්න මං හුඟක් වාසනාවන්ත වුණා කියලයි. මං වගේම තව ළමයෙකුට උඩට එන්න මේ ශිෂ්‍යත්වය ලොකු උදව්වක්. ඒ නිසා මේ වටිනා සමාජ සද්කාර්යය දිගටම කරගෙන යන්න ලැබෙන්න කියලා AIA සමාගමට මම සුබ පතනවා…”


චතුරි මුනවීර 
ප්‍රධාන විධායක නිලධාරිනී 
AIA ශ්‍රී ලංකා සමාගම

“අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් මේ වන විට 29 වැනි වසරට පිවිස සිටින AIA උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහන මඟින් සෑම දිස්ත්‍රික්කයකින් ම 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ටතම ප්‍රතිඵල ලබා ගන්නා සිසු දරුදැරියන් ඇගයීමට ලක් කරමින් ඔවුන්ට උසස් පෙළ පන්තියේ සිට විශ්වවිද්‍යාල උපාධිය සම්පූර්ණ කරන තුරුම මාසික ආධාර මුදලක් පිරිනමනු ලබනවා.

1994 දී ආරම්භ කරන ලද මෙම වැඩසටහන දියත් කරනු ලැබුවේ ශ්‍රී ලංකාවේ දීප්තිමත් ම සහ වඩාත් ම කැපීපෙනෙන සිසු දරු දැරියන්ට අත්වැලක් සැපයීම සඳහායි.

AIA ශ්‍රී ලංකා සමාගම ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක් වූ, මෙරට තුළ ඉතා ශක්තිමත්ව මුල් බැසගත් දේශීය සන්නාමයක්. සමෘද්ධිමත් අනාගතයක් වෙනුවෙන් අපගේ දේශය ගොඩනැගීමට ශ්‍රී ලාංකික ජනතාවට සැමවිට නොමද සහය ලබා දීමට කැපවෙලා විවිධ සමාජ මෙහෙවර සිදුකරන සමාගමක් වන අපගේ මෙම මෙහෙවර ඒ සඳහා තවත් එක උදාහරණයක් වන අතර, AIA උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහන ශ්‍රී ලංකාව තුළ වැඩිම කාලයක් අඛණ්ඩව ක්‍රියාත්මක වන සමාජ සද්කාර්යමය වැඩසටහනක් වීමත් විශේෂ කරුණක්.

දශක 3නකට අධික කාලයක් පුරාවට AIA ශ්‍රී ලංකා සමාගම, සිය සේවාලාභීන් වෙත දක්වන ලද විශ්වාසය, කැපවීම, අවංක බව, වගකිවයුතු බව, විනිවිදභාවය මෙන්ම නිවැරැදි දේ, යහපත් ආකාරයෙන්, වඩාත් කැපවීමෙන් යුතුව ඉටු කරමින් මෙරට ප්‍රජාව වෙනුවෙන් මෙවන් වූ ආයතනික සමාජ මෙහෙවරයන්ද සිදුකරමින් ආ ගමන් මගෙහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ ගෞරවාන්විතම රක්ෂණ සමාගම ලෙස AIA ශ්‍රී ලංකා සමාගම අගයනු ලැබුවා.

AIA ශිෂ්‍යත්ව දිනාගැනීමට ශිෂ්‍යත්වලාභීන්ගේ මවුපියන් AIA සේවාලාභීන් වීම අවශ්‍ය නොවන අතර, මේ ශිෂ්‍යත්ව පිරිනැමෙන්නේ අධ්‍යාපන කටයුතුවල දී දක්වන දක්ෂතා මත පමණක් පදනම්ව වීම විශේෂ කරුණක්. මෙම ශිෂ්‍යත්ව ප්‍රතිලාභ ඔස්සේ ශිෂ්‍යත්ව ලාභීන්ට උසස් අධ්‍යාපන කටයුතුවලට අවශ්‍ය මූල්‍යමය ශක්තිය ලබා දීමටත් ඒ වගේම මවුපියන් හට යම් කිසි සහනයක් ලබා දීමටත් අපි බලාපොරොත්තු වනවා. මේ ඔස්සේ අප රටේ අනාගතය බාර ගැනීමට සිටින දීප්තිමත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්හට ගැටලුවකින් තොරව අධ්‍යාපන කටයුතු කරගෙන යාමට යම් අත්වැලක් ලැබෙනු ඇති බව අපි විශ්වාස කරනවා.

මේ වන විට 725 කට අධික සිසුන් මෙම AIA උසස් අධ්‍යාපන ශිෂ්‍යත්වය සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. ඔවුන් අතරින් විශාල පිරිසක් ඔවුන්ගේ අධ්‍යාපන සිහින මල්ඵල ගන්වාගෙන, – වෛද්‍ය, නීති, ඉංජිනේරු සහ කළමනාකරණ වැනි විවිධ ක්ෂේත්‍ර තුළ වෘත්තීකයින් ලෙස දැනටත් නියැළෙනවා.

1994 දී රුපියල් මිලියන 10 ක් යොදවමින් පිහිටුවන ලද මෙම ශිෂ්‍යත්ව අරමුදල මනා ආයෝජනයන් හේතුවෙන් 2024 පෙබරවාරි මස 29 වනදා වන විට රුපියල් මිලියන 88ක් දක්වා වර්ධනය වී තිබෙනවා. ලංකා බැංකුව මෙම අරමුදල සඳහා භාරකරු ලෙස ක්‍රියා කරනවා. අනාගතයේ දී අපගේ සමාජයට අනිවාර්යයෙන්ම සේවය කිරීමට සිටින තරුණ ප්‍රජාව වන මෙම සිසු සිසුවියන්ට, අපගේ සන්නාම ප්‍රතිඥාවට අනුව සුවපත්, සැපවත්, දිගුකල් ජීවිතයක් ලබා ගැනීම සඳහා සහාය වීම යන අරමුණට සැබෑ අරුතක් මේ ඔස්සේ ලබා දීමට හැකි වීම අපට සතුටක්…”

ඉනෝකා පෙරේරා බණ්ඩාර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division