Home » මේක අයාලේ යන ආණ්ඩුවක්

මේක අයාලේ යන ආණ්ඩුවක්

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල

by Mahesh Lakehouse
March 16, 2024 12:30 am 0 comment

– අපි ජනාධිපතිවරණයෙන් 51%-52% ක් ලබා ගන්නවා
– දැන් රටට අවශ්‍ය අලුත් ආණ්ඩුවක්
– අපිට මාලිමාව තර්ජනයක් නෙමෙයි
– මහ බැංකුවේ සංඛ්‍යා ලේඛන පට්ටපල් බොරු

හුස්ම ගන්න පුළුවන් රටක් බවට පත් කළේ වත්මන් ජනාධිපතිතුමා බව පවසනවා. නමුත් විපක්ෂය පවසන්නේ රට ආර්ථික බංකොලොත්භාවයෙන් මිදී නැති බවයි?

තවමත් ණය නොගෙවන රටක් කොහොමද ආර්ථික බංකොලොත්භාවයෙන් මිදෙන්නේ. 2022 මැයි, ජුනි මාසයෙන් පසුව ශත පහක්වත් අපි ණය ගෙවා නැහැ. 2022 වසරට වන විට ඩොලර් බිලියන 6 ක් ණය ගෙවිය යුතුයි. මේ ආණ්ඩුව පැමිණි පසු ණය කොපමණ ලබා ගත්තද කියා අපි දන්නේ නැහැ. අපිට ඩොලර් බිලියන 6 ක ණය ගෙවන්න සල්ලි තියෙනවද? අපේ සංචිතවල ඇත්තේ ඩොලර් බිලියන 4යි. ඒවාත් අපේ මුදල් නෙමෙයි. ඒ භාණ්ඩාගාර බිල්පත් විකුණලා, විදේශ රටවල සිටින ශ්‍රී ලංකික කම්කරුවන්ගේ ලැබෙන මුදල්. නමුත් ඒවා සංචිතවලට දමා පෙන්නුවට අපේ සංචිතවල ඇත්තේ ඩොලර් බිලියන 1.5 ක් පමණයි. ඒ නිසා ශතයක් හෝ අපි ලබාගත් ණය නෙගෙවා කොහොමද අපි බංකොලොත්භාවයෙන් මිදුණා කියලා කියන්නේ.

ඔබ පවසන්නේ ණය ගෙවීම ආරම්භ වූ පසුව මේ අර්බුදය තවත් දරුණු වන බවද?

පැහැදිලිවම ඔව්. 2022 වසරේ පැවැති තත්ත්වයට අනුව වසරකට ඩොලර් බිලියන 6 ක් ණය ගෙවිය යුතුයි. පසුව ගත් ප්‍රමාණය හරියට දැන ගැනීමට බැහැ.

විපක්ෂය ආණ්ඩු පිහිටෙව්වොත් මේ ණය ගෙවීමේ අර්බුදයට මුහුණ දෙන්නේ කෙසේද?

දැන් රටට අවශ්‍ය අලුත් ආණ්ඩුවක්. මේ ප්‍රශ්නය දෙස අලුත් ආකාරයෙන් බලන ආණ්ඩුවක් අවශ්‍යයි. රට බංකොලොත් කළ ආණ්ඩුවක් ගැන ජාත්‍යන්තරය බලන්නේ නැහැ. තවත් දුන්නත් ඔච්චරයි. මේ නිසා කවුරුත් උදවු කරන්නේ නැහැ. වත්මන් ජනාධිපතිතුමා එනවිට රට බංකොලොත් වෙලා තිබුණේ. ඒ නිසා එතුමාට කරන්න දෙයක් නැහැ. එතුමාමම කියනවානේ භාර ගත්තේ අපායක් කියලා. අපාය කිව්වේ ආණ්ඩුවටනේ. මේ අපායත් එක්ක වැඩ කරන්නේ කොහොමද? මේ අපාය බලයේ ඉන්නකම් කිසිම ආයෝජකයකු ලංකාවට එන්නේ නැහැ.

විපක්ෂය බලයට පත්වුණොත් මේ තත්ත්වයේ වෙනසක් ඇති කරන්න හැකියාවක් තියෙනවද?

අනිවාර්යෙන්ම. අපි ගැන ජාත්‍යන්තරයට විශ්වාසයක් තියෙනවා. මම හැමදාම කියනවා වගේ පාර්ලිමේන්තු නීතියේ උත්තරීතර බව නැති රටකට ආයෝජකයෝ එන්නේ නැහැ. අපේ රටේ මැතිවරණ කල් දැම්මා. ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා මැතිවරණය පවත්වන්න කියලා. ආණ්ඩුව මුදල් නැහැ කිව්වා. සාමකාමි පෙළපාළිවලට පහර දෙනවා. අධිකරණයේ වැරදි කළ පොලිස්පතිවරයෙක් පත් කළා. පාර්ලිමේන්තුව තුළ ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශ කරන සංශෝධන එනම් ඔන්ලයින් බිල් ආදියට සංශෝධන ඇතුළත් කළේ නැහැ. එක්සත් ජාතීන්ගේ කවුන්සලයේ අපේ රටට යෝජනාවක් සම්මත වුණා ආණ්ඩුව ආර්ථික අපරාධ සිදු කළ බවට. චෝදනා ගණනාවක් තියෙන රටකට ආයෝජකයෝ එයිද? මෙය මිරිඟුවක්. අරයා වෙනස් කරලා මෙයා පත් කළා කියලා මේ තත්ත්වය වෙනස් කරන්න බැහැ.

විපක්ෂය බලයට පත් වුවහොත් මේ ආර්ථික අර්බුදයෙන් ජයගත හැකි බව පවසනවා. ආර්ථික අර්බුදයෙන් ජය ගන්නා මෙහෙයුම කුමක්ද?

රටේ නීතියේ උත්තරීතර බව අපි සනාථ කළ යුතුයි. මැතිවරණ කල් දැමීමෙන් වන්නේ කුමක්ද? පැරදීමට ඇති බයයි පෙනෙන්නේ. මේ වගේ බලයෙන් සිටින පිරිසකට ජාත්‍යන්තරය කතා කරයිද? කොරෝනා උච්ඡ අවස්ථාවේ තිබූ ප්‍රාන්ත මැතිවරණ පහෙන්ම මෝදි අගමැති පැරදුණා. පසුව කොරෝනා පාලනය කර වසර දෙකකට පසුව තිබූ ප්‍රාන්ත මැතිවරණවලින් දිනුවා. මැතිවරණවලට ඔහු බය නැති බව පෙන්වා දී තියෙනවා. මේ අය මැතිවරණයවලට භය වීම නිසා කිසිදු විශ්වාසයක් ජාත්‍යන්තරයට නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පවා පිළිගත්තේ නැහැ. ජාත්‍යන්තර වුවත් උදවු කරන්නේ ජනතා සහයෝගය පවතින ආණ්ඩුවකටයි. මුදල් අමාත්‍යාංශයේ ලේකම් මුදල් නැති බව පැවැසුවා. නමුත් දැන් මේ අය වැටුප් වැඩි කරගෙන තියෙනවා. මිලියන 2800 ක වැටුප් වැඩි කරගෙන තියෙනවා. ආණ්ඩුව අහක බලාගෙන සිටියා. මම පාර්ලිමේන්තුවේ මේ ගැන පෙන්වනකම් අහක බලාගෙන හිටියා. ආණ්ඩුව යන්නේ අයාලේ. මේ අය වෙන්නේ මොනවද කියලවත් දැන්නේ නැහැ. මම පෙන්වනකම් ආණ්ඩුවේ අයවත් දන්නේ නැහැ. මේ අය දන්නවා ඊළඟ මැතිවරණයෙන් මේ අයට දිනන්න බැහැ කියලා. පළාත් පාලන ඡන්දය සල්ලි නැහැ කියලා කල් දැම්මත්, මහ බැංකුවේ වැටුප් වැඩි කිරීමෙන් පෙන්වා දී තියෙනවා ආණ්ඩුවට මුදල් ඇති බව. ඊළඟ වතාවේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්ට මුදල් නැහැ කියන්න බැහැ. ඒ නිසා පළාත් පාලන මැතිවරණය වහාම තියන්න.

ආණ්ඩුව ගෙනයන මේ මාර්ගයට අමතරව රට ගොඩදැමීමට විපක්ෂයට වෙනත් මාර්ග තියෙනවද?

අපේ රටේ මූල්‍ය නීතිය අනුව සංචිත ආරක්ෂා කළ යුත්තේ මහ බැංකුවයි. මේ අය සංචිත ආරක්ෂා කළේ නැහැ. යහපාලන රජය යන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 7800 දීලයි ගියේ. මහ බැංකුව එය බිංදුවට බැස්සුවා. සංචිතවලින් මේ අය ණය ගෙව්වා. කවදාවත් සිදු නොවිය යුතු දෙයක්. රට බංකොලොත් වෙනකම් පාර්ලිමේන්තුව දන්නේ නැහැ. මේ අයගේ වැටුප් වැඩි කරන්න නෙමේ තිබුණේ වැටුප් අඩු කරන්නයි.

එක්සත් ජාතික පක්ෂය පසුගියදා සිය මැතිවරණ සටන ආරම්භ කළා. කොහොමද සමගි ජන බලවේගයේ මැතිවරණ සටන?

අපි මේ වන විට මැතිවරණ සටන ආරම්භ කර තියෙනවා. මහනුවර අති සාර්ථකව කාන්තා සමුළුවක් පැවැත්වූවා. ඉදිරියේදී විශාල සමුළු කැඳවීමක් සිදු කෙරෙනවා. අවුරුදු තුනක් තිස්සේ අපි මැතිවරණයකට සූදානමිනුයි සිටියේ. මේ මැතිවරණය අපිට අලුත් දෙයක් නෙමෙයි. අපි සූදානමින් සිටියේ පළාත් පාලන මැතිවරණයකටයි. නමුත් ආණ්ඩුව එයට බයේ කල්දැම්මා.

මැතිවරණ සටන ජය ගැනීමට සමගි ජන බලවේගයට හැකි වෙයිද? මාලිමාවත් දැඩි සටනක නියැළිලා?

අපි අනිවාර්යයෙන්ම ජය ගන්නවා. අනිවාර්යෙන්ම අපි ජනාධිපතිවරණයෙන් 51%-52% ක් ලබා ගන්නවා.

මාලිමාව සමගි ජන බලවේගයට මැතිවරණ සටනට තර්ජනයක්ද?

ඔවුන් අපිට තර්ජනයක් නෙමෙයි. අපි අපේ මැතිවරණ සටන කරගෙන යනවා. අපි මාලිමාව හෝ එක්සත් ජාතික පක්ෂය ගැන සිතන්නේ නැහැ. අපි හිතන්නේ අපි ගැනයි.

මේ වන විට උද්ධමනය විශාල ලෙස අඩු වෙලා. පොත්, පාසල් උපකරණ, සෞඛ්‍ය උපකරණ හා ඖෂධ වැට් බද්දෙන් නිදහස්. ඉදිරියේදි විදුලි බිල, කිරිපිටි මිල පවා අඩු කිරීමට රජය සූදානම්?

උද්ධමනය අඩු වූවා යැයි පැවැසීම මහ බැංකුවේ තවත් බොරුවක්. මොකද උද්ධමනය අඩු වුණා නම් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු විය යුතුයි. බඩ සුද්ද වීමට දී රෝගියා මරුණා වගේ දෙයක් තමයි මේ අය කියන්නේ. මහ බැංකුවේ සංඛ්‍යා ලේඛන පට්ටපල් බොරු.

රාජ්‍ය ආදායම 50% කින් වැඩි වෙලා. යම් බදු කපා හැරීම් කිරීමටත් ආණ්ඩුව සූදානම්. දැන් විපක්ෂයට සටන් පාඨ අඩුයි ද?

ආදායම වැඩිකර ගත්තේ සාමාන්‍ය ජනතාවට බරක් දීලනේ. අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කරලා, සාධාරණ ලෙස බදු අය කරගෙන විදුලි බිල සාධාරණය ලෙස වැඩි කර ආදායම රැස්කර ගත යුතුයි. නමුත් වුණේ අසාධාරණ ලෙස රැස්කර ගැනීමයි. රටක් ඉදිරියට යාමට නම් අපනයන වැඩි කළ යුතුයි. අපේ අපනයන පසුගිය වසරේ අඩු වෙලා. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තශාලා ලක්ෂ දෙකහමාරක් වැහිලා. අපනයන දිරි ගැන්වීමට ආණ්ඩුව කිසිදු දෙයක් සිදු කර නැහැ.

සජබ ආණ්ඩුවක් යටතේ අපනයන වැඩි කර මීට වඩා සහන දීමට හැකි වේවි ද?

අපේ පළමු ඉලක්කය වන්නේ අපනයනයි. පැහැදිලිවම අපිට සහන දිය හැකියි. පරාටේ නීතිය ඉවත් කිරීමට විපක්ෂ නායකතුමා පාර්ලිමේන්තුවේ විශාල සටනක් කළා. මේ ව්‍යාපාරිකයන්ට අප අත දිය යුතුයි.

ආණ්ඩුව පවසන්නේ මෙය සාම්ප්‍රදායික විපක්ෂයක් බව. විපක්ෂයේ වගකීම නේද මේ අවස්ථාවේ ආණ්ඩුවට යම් හෝ සහයෝගයක් ලබාදීම?

යමක් කරන්න පෙර අපිට කිව්වොත් අපි සහයෝගය ලබා දෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම අත්සන් කරන විට අපිට කිසිදු දෙයක් කිව්වේ නැහැ. අපි ඒකේ තිබෙන කරුණු දන්නේ නැහැ. නමුත් අත්සන් කළාට පස්සේ ගිහින් වැඩක් නැහැ. මේ අය අපිට අඩ ගැසුවේ අත්සන් කළාට පසුවයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ කෘතියේ පැහැදිලිවම සඳහන් කර තියෙනවා, අමාරු අවස්ථාවේ රට භාර ගැනීමට විපක්ෂ නායකවරයාට පැවැසූ බවත් ඔහු එය ප්‍රතික්ෂේප කළ බවත්?

මම නම් ඒ පොත කියෙව්වේ නැහැ. එම පොතෙන් ඉගෙන ගන්න තියෙන එකම දේ වසරකින් රට බංකොලොත් කළේ කොහොමද කියන එක පමණයි. එය ඔහුට ඉගැන්විය හැකියි. පොතක් කියවන්න නම් එයින් දෙයක් ඉගෙන ගැනීමට පුළුවන් විය යුතුයි.

ඉදිරි මැතිවරණය ඉලක්ක කරගෙන බොහෝ පිරිසක් ආණ්ඩුවට එක්වීමේ සූදානමක් පවතින බවට වාර්තා වෙනවා?

අපේ පැත්තකේ කිසිවකුත් යන්නේ නැහැ. පොහොට්ටුවෙන් 40 ක් විතර අපේ පැත්තේ ඇවිත් වාඩි වුණා. සජබයෙන් කිසිවකුත් යන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂය මේ කරන්නේ ප්‍රචාරයක්. එහෙම ප්‍රචාරයක් නැතිනම් එක්සත් ජාතික පක්ෂයේ ඉන්න පිරිසත් අපිට එකතු වෙනවා. අපෙන් නම් කිසිවකුත් යන්නේ නැහැ. එනවා පමණයි.

සුභාෂිණී ජයරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division