Home » අර්ශස් සුව කරන පාරම්පරික බෙහෙත් වට්ටෝරුවක් මෙන්න

අර්ශස් සුව කරන පාරම්පරික බෙහෙත් වට්ටෝරුවක් මෙන්න

by Mahesh Lakehouse
May 4, 2024 12:30 am 0 comment

අර්ශස් යනු බොහෝ දෙනෙක් නිහඬව විඳවන, තවකෙකුට පැවසීමට මැළි වන, වෛද්‍ය ප්‍රතිකර්ම ගැනීමට පවා අකමැති වන රෝගයකි. ආයුර්වේදයට අනුව අර්ශස් යනු ගුද කීලය ලෙස ද හැඳන්වෙන අතර ශුෂ්ක අර්ශස් සහ රක්ත අර්ශස් ලෙස එහි ප්‍රධාන ප්‍රභේද දෙකකි.

අර්ශස් රෝගය ජානවලින් මෙන්ම පාරම්පරිකව පැමිණේ. එවැනි ජානමය අර්ශස් ස්වභාවය ප්‍රතිකාරයෙන් සුව කළ නොහැකි මුත් අනෙක් අර්ශස් රෝග ප්‍රභේද නිට්ටාවටම සුව කළ හැකිය.

දවසේ වැඩි කාලයක් කුෂන් පුටුවල වාඩි වී සිටින පුද්ගලයන්ට අර්ශස් රෝගය වැලඳීමේ වැඩි අවදානමක් ඇත. ඔවුන් වාතාශ්‍රය සහිත දැල් පුටුවකට මාරු වීම යහපත්ය. අර්ශස් රෝගයේ කුමන ප්‍රභේදයකට වුවද ප්‍රතිකාර කළ හැකි අප අනුදත් පාරම්පරික ප්‍රතිකාර ක්‍රමයක් පිළිබඳ මෙහිදී දැනුම්වත් කිරීම වැදගත්ය. මෙම ප්‍රතිකාරය පියවර තුනකින් කළ යුතුය.

පළමු පියවර කසායකි. එය දින 14ක් එක දිගට උදේ සවස පානය කළ යුතුය.

බෙලිගැට මද, සාරණ මුල්, රත්නිතුල් පොතු, අරළු, තිප්පිලි, වියළි ඉඟුරු කලං දෙක බැගින් ගෙන මැටි මුට්ටියකට දමා පත අට (මිලිලීටර් 750 බෝතලයක්) එකට සිඳුවා හරි දෙකට බෙදා උදේ හවස හිස් බඩ පානය කළ යුතුය. කළුදුරු කුඩු තේ හැඳි බාගයක් ඊට එක් කළ යුතුය. සවස ඉතිරි අඩ පානය කළ යුත්තේ කිසිවක් මුහුන් නොකරය. මේ ආකාරයෙන් දින 14ක් උදේ සවස කසාය පානය කළ යුතුය.

දෙවැනි අදියර ද කසායකි. සෙනෙහෙකොළ කලං හයක් ද, කොත්තමල්ලි වළඳසාල් කලං එක බැගින් ද වියළි මිදි සහ සූකිරි කලං දෙක බැගින් ද ගෙන වතුර පත අට, එකට සිඳුවා දෙකට බෙදා එක් අඩක් බැගින් දිනපතා රාත්‍රියට රාත්‍රී ආහාරයෙන් පසු නින්දට යනවිට දින 11ක් පානය කළ යුතුය.

පාරම්පරික දේශීය වෛද්‍ය එන්.බී. වීර­ප්පෙ­රුම

පාරම්පරික දේශීය වෛද්‍ය
එන්.බී. වීර­ප්පෙ­රුම

ඉන් පසු දින දෙකක විවේකයකි. එයට අප වහරන්නේ “පත්තියමට ඉන්නවා ” ලෙසය. තුන්වැනි පියවර එළ තල, රණවරා ගසේ පස් පංගුව, අමුක්කරා අල, සාරණ මුල්, කුඹුක් පොතු, සූදුරු, අසමෝදගම්, කරාබුනැටි, වසාවාසී, සාදික්කා, සුවඳ කොට්ටං, කුරුඳුපොතු කළං පහ බැගින් වෙනම කිරා ගෙන ඒ සියල්ල තුනී රෙදි කඩකින් වසා අව්වේ වියලා (තද අව්වේ නොවේ) ගත යුතුය. එය ආයුර්වේදයේ හඳුන්වන්නේ සූර්ය පුට දීම කියාය.

අනතුරුව ඖෂධ වංගෙඩියේ කොටා එය හීන් පෙනේරයකින් හලාගෙන ඊට පරණ උක් හකුරු, තල් හකුරු, පිරිසිදු කිතුල් හකුරු කළං 36 බැගින් දමා ගලේ අඹරාගත යුතුය. අඹරා ගත් ඖෂධීය මිශ්‍රණය වැසිය හැකි පොඩි මැටි හට්ටියකට දමා එක් වරකට කුඹුරු ඇටයක් පමණ ප්‍රමාණයක් දිනපතා රාත්‍රියට කෑමෙන් පසු ගත යුතුය. බෙහෙත කෑමෙන් පසු එළකිරි පොඩි වීදුරුවක් හෝ කැකුළු හාල් කැඳ වතුර කෝප්පයක් බීම සුදුසුය. මේ බෙහෙත පානය කරන කාලය පුරාවටම උදේට පානය කිරීම සඳහා රාත්‍රියට සකසා ගත යුතු පානයක් තිබේ. පෙති ගැසූ ඉදුණු ඇඹුල් කෙසෙල් ගෙඩියක් කෝප්පයකට දමා එයට නටන උණු වතුර එකතු කර වසා තබන්න. උදෑසන කිරි කෝප්පය හෝ තේ කෝප්පය වෙනුවට මේ කෙසෙල් වතුර පානය කර කෙසෙල් කැබලි ද ආහාරයට යුතුය. මේ ප්‍රතිකර්මයේ පියවර තුන සම්පූර්ණ කිරීමට මාස දෙකක් ගතවේ. නිසි විනයකින් මෙම ප්‍රතිකර්මය කළහොත් අර්ශස් නිට්ටාවට සුව කළ හැකිය.

කෑමට අගුණ ආහාර

අන්නාසි, අච්චාරු, දෙල්, මුරුංගා, බල කරවල, ඉස්සො, දැල්ලො, කකුළුවෝ ඉතාම අගුණය. මත්පැන් පානය කරන අය මේ කාලය තුළ ඉන් වැළකී සිටීම අනිවාර්යය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division