Home » නොබැඳි පිළිවෙතේ ඉරාන මිතුදම

නොබැඳි පිළිවෙතේ ඉරාන මිතුදම

by Mahesh Lakehouse
April 27, 2024 12:30 am 0 comment

නුවණින් ලෝකය ජය ගන්නේ කෙසේදැයි තේරුම් කරදීමට ඉරානයේ කුඩා දරුවන් වෙත කියා දෙන සුරංගනා කතාවක් තිබේ. එහි නම වන්නේ ‘සෙරන්ඩිබයේ කුමාරවරු තිදෙනා’ යන්නය. ආදී පර්සියානුවෝ, රත්නදීපය උදෙසා භාවිත කළ නම වූයේ, සෙරන්ඩිබය යන්නය. එහි සිට ආ කුමාරවරු, නැතිවූ ඔටුවෙක් සම්බන්ධව අනාවැකි පළ කරන ලද්දේ ඔටුවා ගිය මාවත නිරීක්ෂණය කිරීමෙනි. මෙම නිරීක්ෂණය කෙතරම් නිවැරදි වූයේ ද යත්, එය අසා සිටි ජනයා සිතන ලද්දේ, ඔටුවා පැහැර ගෙන යන ලද්දේ, මේ තිදෙනා බවය. එහෙයින් තිදෙනා සැකකරුවන් ලෙස නම් කර, රජ වාසලට කුදලා ගෙන ගියහ. රාජාධිකරණයේදී සිද්ධිය විමසන විට රජු ද මෙම අනාවැකිය සැබෑවක් ද යන්න සැකයෙන් සිටින විට, නැතිවූ ඔටුවා ඇති තැන දත් පිරිසක් එතැනට පැමිණ ඔටුවා සිටින බව පැවසූ විට එම කුමාරවරු තිදෙනාගේ ප්‍රඥාව පිළිබඳව පුදුමයට පත් පර්සියානු රජ තෙමේ, ඔවුන් තිදෙනාට තම රාජ්‍යයේ උපදේශක තනතුරු පිරිනැමීය.

අද ඉරානය වන්නේ එදා පර්සියාවය. සෙරෙන්ඩිපිටි (serendipity) යන ඉංග්‍රීසි වචනයේ තේරුම් වනුයේ ‘අහඹු ලෙස හමුවන වාසනාව’, ‘වාසනාලාභය’, ‘ආකස්මික වාසනාව’ ආදියය. මේ වචනය ඉංග්‍රීසියට ගොස් ඇත්තේ අතීත සිංහලදීපය සඳහා පර්සියානුවෝ අපට පටබඳින ලද ‘සෙරෙන්ඩිබ්’ නාමයෙනි. එදා අපට එවන් ගෞරවයක් ලබා දුන්, ආදී පර්සියානුවෝ අද ද අප සමඟ එම කුලුපග මිතුදම පවත්වා ගෙන යන්නාහ.

ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි සිය ශ්‍රී ලංකා නිල සංචාරය නිමවා දැන් නික්ම ගොස් ඇත්තේය. ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි ආගමනය යළි යළිත් ආවර්ජනය කරන ලද්දේ එදා පැවති එම ගෞරවයයි. ඉරානය මේ මොහොතේ ලෝකයේ උණුසුම් මාතෘකාවකි. ඊශ්‍රායලය සහ ඉරානය අතර ආරවුල දෙරටක ප්‍රශ්නයක් පමණක් නොවේ. එය ලෝක යුද්ධයකට මඟ කියනා තරමේ අර්බුදයකි. ඉරාන නායකයා ශ්‍රී ලංකාවට සංචාරය කරන වග කල්තියා පැතිරීමත් සමඟ, ලෝක බලවත්තුහු ශ්‍රී ලංකාවට අනියමින් කියා සිටියේ, ඔහුගේ සංචාරය අවලංගු කරන ලෙසය. ශ්‍රී ලංකා රජය සිය ශක්තිමත් නොබැඳි පිළිවෙත අනුව ඒවා පසෙක තබා, සිය ආදීකාලින මිත්‍රයා සාදරයෙන් පිළිගත්තේය. ඔහුට කිසිදු අඩුවක් නොමැතිව සත්කාර, පිළිගැනීම් ආදිය සිදු කළේය. ආර්ථික අතින් අප පසුබා සිටිය ද, එසේ ගෞරවනීය ලෙස තවමත් දෙපයින් සිටගෙන සිටින බව ලෝකයාට කියාපෑම සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා රජයට ස්තුති කළ යුතුය.

අනෙක විධ අර්බුද මත්තේ සිටියදී වුව බිතු සිතුවම් රූ මෙන් මිතුදම් සනාථ කරමින් මෙහි පැමිණි ඉරාන ජනාධිපතිවරයා සිය රාජ්‍යයේ ආධාර ඇතිව ඉදි කළ උමා ඔය ශ්‍රී ලංකා ජනතාව වෙත තිළිණ කළා පමණක් නොව, තව දුරටත් දෙරටේ ආර්ථික, සංස්කෘතික ආදී ක්ෂේත්‍ර සඳහා දෙරට අතර ගිවිසුම් ගණනාවක් ද අත්සන් කළේය.

ලෝක සිනමාවේ ඉරානය යනු මහඟු ලක්ෂ්‍යයකි. එම සිනමා භාවිතාව සමඟ අපිදු එක්වීම සඳහා එක් ගිවිසුමක් අත්සන් තබනු ලැබීය. මෙසේ සංස්කෘතික හුවමාරු ගණනාවක් සඳහා දෙරට අතර ගිවිසුම් අත්සන් තබනු ලැබීය.

ඉරානය අපට මුලින්ම දුන් අමතක නොවන තෑග්ග සපුගස්කන්ද තෙල් පිරිපහදුවය. 1969 වසරේදී සපුගස්කන්ද ඉදිකරන ලදි. මෙමඟින්, දිනකට තෙල් බැරල් 38,000ක් පිරිපහදු කළ හැකිය. ආසියානු නිෂ්කාශන සංගමයේ ක්‍රියාකාරිත්වය අනුව සපුගස්කන්ද පිරිපහදුව අප ප්‍රයෝජනයට ගනු ලැබුවේ ඉරානයෙන් ගෙන්වන ලද බොර තෙල් පිරිපහදු කිරීම සඳහාය. ආසියානු නිෂ්කාශන සංගමය යනු සමඟි පෙරමුණු රජය සමයේ ලංකාව ඇතුළු කලාපයේ බොහෝ රටවල් මුහුණ පෑ ගෙවුම් ශේෂ ප්‍රශ්නය සඳහා විසඳුමක් වූ යන්ත්‍රණයකි. එම සංගමයේ සාමාජික රටවල් ඔවුනොවුන් අතර වෙ‍ෙළඳ හුවමාරු සඳහා වහාම මුදල් ගෙවිය යුතු නැත. මාස දෙකකට වරක් ශුද්ධ ශේෂය පමණක් ගෙවිය යුතුය. අප ඉරානයෙන් තෙල් ගන්නා විට අපනයනය කරන්නේ තේ ය. දෙමාසයක කාලයක් සඳහා මෙසේ හිඟය ගෙවීමේ වාසිය මේ නිසා ඉරානයෙන් අපට ලැබුණේය.

2016 වසරේදී ඉරානයේ තේ පරිභෝජනයෙන් 47% ක් වූ සිලෝන් ටී, 2020 වසර වන විට දී 25% දක්වා පහත වැටුණේ එක්සත් ජනපදය ඉරානයට දමන ලද සම්බාධක හේතුවෙනි. ඉරානයෙන් අප නොනවත්වා තෙල් ලබාගෙන ඒ සඳහා ගෙවීමට ඇති මුදල ලෙස ඩොලර් මිලියන 250ක හිඟයක් ඇතිව තිබුණි. ඒ සඳහා තේ අපනයනය කර හිඟය පියවීමට යෝජනා වී තිබුණ ද ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් මේ සඳහා විධිමත් යන්ත්‍රණයක් නිර්මාණය වී තිබුණේ නැත. වර්තමාන රජය එම යන්ත්‍රණය නිර්මාණය කළේය. ඒ අනුව මසකට ඩොලර් මිලියන පහක වටිනාකමින් යුතු තේ තොගයක් දැන් ඉරානය බලා යන්නේය.

පළමු තේ තොගය ඉරානයට යන විට, තේ දලු කිලෝවක මිල රුපියල් 200 දක්වා මිල ඉහළ ගොස් ශ්‍රී ලංකා ආර්ථිකයේ පිබිදීමේ ලක්ෂ්‍යයක් නිර්මාණය විය.

අප ළඟ ළඟ දුටුවේ උමා ඔය පමණය. ඉරාන – ශ්‍රී ලංකා අතීතය ඊට වඩා ගැඹුරුය. ජාත්‍යන්තරය සමඟ සිය සංවර්ධන දිශානතිය උදෙසා, පුළුල් සැලසුම් ප්‍රකාරව රටක් යා යුත්තේ කෙසේද යන්න සඳහා ඉරාන නායකයා සමඟ අප ගත කළ දෙදින අගනා පාඩමකි. ඉතිහාසයේ සිට අප සමඟ පැමිණි මිත්‍රයාණනි, අපගේ උණුසුම් තේ සංග්‍රහය දිගටම රස විඳින්න.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division