Home » බංකොලොත් රාශියේ සිට ගොඩ යන රාශියට

බංකොලොත් රාශියේ සිට ගොඩ යන රාශියට

by Mahesh Lakehouse
April 13, 2024 12:30 am 0 comment

මකයේ සිට ඉහළ බලන්නෙක්ට පෙනෙන්නේ ද අප එළිමහනට බැස උඩ බැලූ විට පෙනෙන අහසමය. නැකත් සාස්තරේදී මේ අහස පෙනෙන්නේ දෙයාකාරයටය. සමකයට ඉහළින් ඇති අහස කොටස් දොළහකට බෙදා එයින් එකක් ගත් කල, එය රාශියකි. අංශක 360 ඇති ආකාශය, අංශක තිහ බැගින් දොළහකට බෙදූ විට ලැබෙන්නේ ද රාශියයි. මේ රාශි දොළහ නම් අප කවුරුත් දන්නා ලග්න දොළහය. මේ රාශි දොළහේ ගමන් ගන්නා සූර්යයා, මීනයෙන් මේෂයට යෑම අලුත් අවුරුද්දක උදාවකි.

අවුරුද්ද හැරුණු කල ග්‍රහ මාරු ගැන අප සැලකිලිමත් වන්නේ තම තමන්ගේ කේන්ද්‍රය බලන විටය. ඒ හැරුණු කල ‘ග්‍රහයා මාරු වෙලා’ යැයි, වහරක් අපේ සමාජයේ ඇත්තේය. අලුත් අවුරුද්දක් ලබන මොහොතේ ග්‍රහයා මාරුවීම අද මාතෘකාව පිණිස ගන්නේ, රටේ ග්‍රහයා මාරුවූ ආකාරය පිළිබඳ ව ‘මෙතෙක් කතාව’ සිහි කැඳවා ගනු වස්ය.

අදට වසර දෙකකට පෙර අප්‍රේල් 11 දා මේ රට අත්කර ගත් ඉරණම පිළිබඳව සිහි කැඳවීමක් පළමුව කළ යුත්තේය. රජ කාලේ සිට මේ රටේ තිබූ ‘ජීවනයට’ ග්‍රහයා මාරු වූයේ එදාය. රටක් ලෙස බංකොලොත්භාවය ප්‍රකාශ කළ හෙයින් ඉතිහාසයේ පළමුවරට ස්වාධීනත්වය යන පදය අපට අහිමි විය. රටේ ආර්ථිකය පමණක් නොව දේශපාලනය ද හොඳටම අබලන්ව ගොස් තිබුණි. රටේ නායකයාගේ ජනවරම සහ ඔහුගේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය ‘දෙකේ කොළයට’ වැටිණි. එහෙම අවතැන් ව තිබූ දේශපාලන ස්ථාවරභාවය ගැට ගැසී, වැල් පෝලිමක් ඇතිව තිබුණි.

දත්ත සහ පරණ චිත්‍ර සමඟ ඒ ගැන කතා කිරීම පරණ අවුරුද්දට හොඳ වුවත් අලුත් අවුරුද්ද සඳහා අඩිය තබන්නට සැරසෙන මේ මොහොතේ, අලුත් කතාවක් පැවසිය යුත්තේය.

බංකොලොත් වූ රටක සිට අප මේ වන විට පැමිණ ඇති ගමන ගැන සකලාංගයෙන්ම සතුටු විය හැක්කේය. ආර්ථිකය සිටියේ කුම්භකරණ යෝගයට සම වැදී වුව ද එය දැන් කුම්භඝෝෂක මෙන්ය. එහෙව් වෙනසක් කරා රට ඉබේ ඇදී ගියේ නැත. චුම්බක ක්ෂේත්‍රයක මෙන්, හැමවිටම කටුව උතුරට සිටිනවා සේ ‘රටක් වැටුණු පසු’ දිශාගත වන්නේම, පහළ බලා මිස එගොඩ බලා නොවේ. ආර්ථිකය සඳහා සැලසුම් මෙන්ම එය ක්‍රියාත්මක කරන යන්ත්‍රණයක් ද අවශ්‍යය. හැම දෙයම අවම කරගෙන හෙවත් ඉණේ පටිය, වුවමනාවට වඩා තද කරගෙන රටකට ගමනක් නැත. සමාජ සුබසාධනය ද ඉහළින්ම සිදු කරමින් දැන් රටේ ගමන ‘හරි පාරට’ වැටී තිබේ. සංචාරක ව්‍යාපාරය පණ ගසා ආවේ ‘ඉබේ නොවේ’. ඒ වෙනුවෙන් කල සැලසුම් සහ කැපවීම අපමණ හෙයින් දැන් රටේ බැලූ බැලූ අත සංචාරකයෝය.

මේ වසරේ පළමු තුන් මාසයේදී, සංචාරක ව්‍යාපාරයෙන් උපයා ඇති ආදායම රුපියල් කෝටි 30,750කි. ඒ මාස තුනට සංචාරකයෝ හය ලක්ෂ තිස් පන්දහසකට වැඩි ප්‍රමාණයක් මෙරටට පා තබා තිබේ. ගිය වසරේ මුල් මාස තුන සමඟ බලන විට වර්ධනය 89%කි. කුම්භකරණයා සේ නින්දට වැටී සිටි රට, හිස ඔසවන බවට සංකේත ඕවාය. අපනයන ආදායමද දැන් ඇත්තේ සරු තැනකය. 2023 පෙබරවාරියට සාපේක්ෂව වෙළෙඳ භාණ්ඩ අපනයනය 12%කින් ඉහළ ගොස් ඇත්තේය.

මේ දත්ත දෙකක් පමණය. 1948 වසරේදී මානව සංවර්ධන දර්ශකයන්ගෙන් ආසියාවේදී අප දෙවැනි වූයේ ජපානයට පමණය. ඒක පුද්ගල ආදායමෙන් අප සිටියේ දකුණු කොරියාවට වඩා ඉහළ තැනකය. 2022 අප්‍රේල් 12 වන විට අප රටක් ලෙස බංකොලොත්ය. ඒ පව් කන්ද කඩාගෙන වැටුණේ පවතින ආණ්ඩුව මතටය. ඇති පදමට බඩු පුරවා ගෙන හපුතලේ යනවා වගේ ගමනක් ගිය ආණ්ඩුව දැන් කන්දේ මැද හරියට ළඟා වී තිබේ. ඇත්තේ අමාරුම කොටස බැවින් පෙරට වඩා ඒ සඳහා වෙර අවශ්‍යය.

මේ අලුත් අවුරුදු කතිකාව ඒ ගැනය.

ග්‍රහයා මාරුවූ රටක හොඳ අතට ග්‍රහචාරේ කරකවා ගනිමින් සිටින හෙයින්, දැන් රට හමුවේ හදිස්සි අවශ්‍යතා කිහිපයක් තිබේ. ප්‍රථමයෙන් අරමුණ පොදු කරගත යුතුය. වැඩේ සඳහා අප පොදුවේ මුහුණ දිය යුතුය. රටක් ලෙස සටනක යෙදෙන කල්හි එහෙන් මෙහෙන් ‘බර බර’ බැරිය. දේශපාලන න්‍යාය පත්‍රය අතට ගෙන ආණ්ඩු මට්ටු කිරීමට සිතා රටේ කකුලෙන් ඇද්ද විට වැටෙන්නේ සමස්තයම මිස ආණ්ඩුව පමණක් නොවේ.

අනික මාධ්‍යයේ භූමිකාවය. සමාජ මාධ්‍ය මවන්නේම, ඔළුව කරකැවෙන කතාය. එක්කෝ දුප්පත්කම වැඩී යැයි කියා ප්‍රසිද්ධිය දෙන්නේය. පාරට බැස බැලූ විට, එහෙම පේන අහේනියක් නැත්තේය. ‘ පුංචි පැලත් මේ කාලේ මාලිගා…’ යැයි කියමින් මිනිස්සු සරුවට අවුරුද්දට බඩු ගන්නාහ.

අගහිඟ ප්‍රශ්න අතරේ යළි සුපුරුදු රිද්මය කරා රට ඇදී යමින් ඇත්තේය. එහෙම වූවාට තවම ආපදාව සපුරා පහව ගොස් නැත. ණය ගෙවීම සම්බන්ධ සැලසුමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අපි නිර්මාණය කරගෙන ඇත්තෙමු. එම සැලසුම ප්‍රකාරව රුචියට වඩා සැලසුමට තැන දිය යුතු හෙයින් රාජ්‍ය ආයතන රාශියක් පෞද්ගලික අංශයට විකුණා දැමීමට සිදු වනු ඇත. මෙතෙක් සහනාධාරයට ලබා දුන් සේවා, සහන අඩු කර ලබා දීමට සිදුවනවා ඇත. ඡන්දය ළඟ බැවින් එවන් පියවර ආණ්ඩුව සඳහා වන විරෝධයක් ලෙස සමහරු ඉහළට ගෙන එනවා ඇත.

එවන් විරෝධ වනාහි ප්‍රශ්නය පැත්තක දමා දේශපාලන පොර ඇල්ලීම පිණිස පිටියට බැසීමය. එහෙව් ක්‍රීඩා මේ අවුරුදු කාලයේ හොඳ නැත. අවුරුදු කාලයේ පංච දැමීම, කණා මුට්ටි බිඳීම වැනි ජන ක්‍රීඩා රාශියක් ඇත්තේ බැවින් ළඟම බක් මහ උලෙළට ගොස් ඒවායේ නිරත වී විනෝද වීම හොඳය. දේශපාලන විනෝදය සඳහා රටක් සමඟ මේ මොහොතේ සෙල්ලම් කිරීම වැසියාට රුචි නැත.

රටේ ග්‍රහයා දැන් මාරු වෙමින් පවතින නිසා අලුත් අවුරුද්දේ අප පැතුම විය යුත්තේ බංකොලොත් රාශියේ සිට ගොඩ යන රාශිය වෙත රට මාරු කර ගැනීමය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division