Home » කොස්වත්ත මැල්වත්ත ගමට මහ පාන්දර ආ අමුත්තෝ

කොස්වත්ත මැල්වත්ත ගමට මහ පාන්දර ආ අමුත්තෝ

by thanushika
April 13, 2024 12:30 am 0 comment

“අපි ගමනක් බිමනක් ගියේ සැකයෙන්, බියෙන්, කොයි වෙලාවෙ ගෙදර බඩුමුට්ටු ටික හොරකම් කරයිද කියලා. දැන් හිතට ටිකක් හෝ නිදහසක් තියෙනවා, වෙනදාට දැනෙන බිය සැක අඩුයි. අඩුගානේ කුස්සියේ මුට්ටියක් වළඳක් තියන්න බැරි තත්ත්වෙකුත් තිබුණා මේ කුඩ්ඩො හින්දා. ඒ විතරක්යැ. මේ කුඩු ගහන අයගෙ දෙමව්පියන්ට ඒ අය දෙන්නෙ මොන ගින්දරක්ද… මොන පීඩාවකින්ද දෙමාපියන් ඉන්නේ. දැන් ඒ තත්ත්වෙ මඟ හැරෙමින් පවතිනවා. අපිට සතුටුයි.” ඒ ගම්වැසියන්ගෙන් නගර වැසියන්ගෙන් යුක්තිය මෙහෙයුමට ලැබෙන ප්‍රශංසාය.

“ගම්වල නගරවල කඩ කඩලා ඒවායේ තියෙන භාණ්ඩ හොරකම් කරලා කියලා ලැබෙන පැමිණිලි පසුගිය කාලයේ විශාල ප්‍රමාණයක් ලැබුණා. ගොඩක් දුරට පැමිණිලි ලැබෙන්නේ කුඩා ප්‍රමාණයේ වෙළෙඳසල්වලින්. ඒකට හේතුව වහලෙන් හෝ එහෙම නැත්නම් දොරගුළු කඩලා ලේසියෙන් ඇතුළුවෙන්න ඇති හැකියාව නිසා. වෙනදා උදෙන්ම අපි පොලිසියට යන්නේ කුඩ්ඩො කඩ කීයක් කඩලද යන මානසිකත්වයෙන්. අද ඒ වගේ පැමිණිලි ගොඩක් අඩුයි”.

යුක්තිය මෙහෙයුම ගැන කියන පොලිසියේ කතා එසේය.

යුක්තිය බල බිඳීමට විවිධ පාර්ශ්වයන්ගේ උත්සාහයන් පලක් නොවන බව කොයි කාටත් ඒත්තු ගිහින්ය. පොලිස්පතිතුමාගේ සෘජු තීන්දු තීරණ යුක්තිය මෙහෙයුම අඛණ්ඩව පවත්වා ගැනීමට ශක්තියකි. පුත්තලම දිස්ත්‍රික්කයේ කුඩු සංසරණය වන ප්‍රදේශ හඳුනාගෙන පොලිස් අධිකාරිවරු, කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරිවරු, ස්ථානාධිපතිවරු නිරන්තරයෙන් සාකච්ඡා කරමින් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරයි. ඒ පුත්තලම දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ උපදෙස් හා මඟපෙන්වීම මතය.

ඒ අනුව හලාවත පොලිස් කොට්ඨාසයේ කොස්වත්ත පොලිසිය විසින් ඉකුත් 30 වැනි දින මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්නේ ඒ අනුවය. ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. පී. අමරතුංග සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ජේ. එම්. සී. ජයනාත් මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට පෙර දිනයේ කොස්වත්ත පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් 34න් වැඩිම දූෂණ, අපරාධ සහ නීති විරෝධී ක්‍රියාවන් සිදු කෙරෙන ග්‍රාම සේවා වසම තෝරගෙන එම ග්‍රාම සේවා වසමේ මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළේය. කෙසේ වෙතත් මෙහෙයුමට පෙර වෙනත් ග්‍රාම සේවා වසමක් වන ‘මහයායවත්ත‘ ප්‍රදේශයේ මෙහෙයුම සිදු කරන බවට සියලු නිලධාරීන්ට පවසා පසු දින මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට සුළු මොහොතකට පෙර මැල්වත්ත ග්‍රාමයේ මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට කටයුතු කළේය.

එය උපාය මාර්ගයක් ලෙස ගත් තීරණයක් බව ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.

එම ගම්මානය අසූව දශකයේ රජයෙන් බෙදා දුන් ඉඩම් කොටසකි. එහි වෙසෙන පවුල් සංඛාව 365කි. ගම්මානයේ වැඩි කොටසක් විවිධ නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් වෙසෙන බව පොලිසිය පවසයි.

මෙහෙයුම සඳහා නිලධාරීන් 30ක එකතුවකි. සහකාර පොලිස් අධිකාරිවරයෙක්, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 4ක්, පොලිස් පරීක්ෂකවරු 4ක්, උප පොලිස් පරීක්ෂකවරුන් 9ක්, සැරයන්වරු, කොස්තාපල්වරුන්, කාන්තා පොලිස් නිලධාරීන් මෙන්ම යුද හමුදා නිලධාරීන්ද ඒ අතරය.

එදින පාන්දර 2ට පමණ බළඇණිය ගම්මානයේ පැති කිහිපයකින් ඇතුළුවීමට සැලසුම් කළේය. ඒ සඳහා පොලිස් නිල වාහන කිසිත් භාවිත කිරීමට කටයුතු නොකළ අතර මෝටර් රථ, ලොරි රථ, යතුරුපැදි, පාපැදිවලින් හා පා ගමනින් ගොස් මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට තීරණය කළේය. පොලිස් නිල වාහන දැකීමෙන් මෙහෙයුම සාර්ථකව කර ගැනීමට නොහැකි නිසා පා ගමනින් යෑමේ තීරණයට එළඹ තිබිණි.

මුලින්ම විවිධ වෙසින් සිවිල් ඇඳුමෙන් සැරසී නිලධාරීන් පා ගමනින්, පාපැදිවලින් හා යතුරුපැදිවලින් එම ගම්මානයට ඇතුළු වීමට කටයුතු කරන ලදි. ඔවුන් එසේ ගම්මානයේ සැරිසරමින් තොරතුරු ග්‍රහණය කරමින් සෙසු නිලධාරින් ඒ සම්බන්ධව දැනුම්වත් කරමින් මෙහෙයුම් කටයුතු සිදු කළේය. ඒ අනුව ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට නිලධාරීන්ට පහසු විය. බූරු ගැසූ, ගංජා සහ කුඩු බෙදාහරින්නන්, මත්කුඩුවලට ඇබ්බැහි වූවන්, වැලි ජාවාරම්කරුවන්, නීති විරෝධී මත්පැන් අලෙවි කරන්නන්, විවිධ චෝදනා යටතේ අධිකරණය මඟහැර සිටි වරෙන්තුකරුවන් ඇතුළු සැකකරුවන් තිස් අටක් මෙහිදී අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය.

ත්‍රිරෝද රථ තුනක් හා යතුරුපැදි අටක් මේ අතර විය. හෙරොයින් මිලි ග්‍රෑම් 500ක්, ගංජා ග්‍රෑම් 16ක්, ජංගම දුරකතන හතරක් සහ රුපියල් 57,500 ක් සැකකරුවන් සතුව තිබී පොලිස් භාරයට ගෙන ඇත.

පුත්තලම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ හලාවත කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලූෂන් සූරියබණ්ඩාරගේ උපදෙස් මත නාත්තන්ඩිය සහකාර පොලිස් අධිකාරී එස්. ඩී. ආර්. ප්‍රියන්තගේ අධීක්ෂණයෙන් කොස්වත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. පී. අමරතුංග, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ජේ. එම්. සී. ජයනාත්, උප පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් ප්‍රනාන්දු ඇතුළු නිලධාරීන් මෙම මෙහෙයුම සඳහා සහභාගී වූහ.

මිහිර විජේසේකර - මාරවිල සමූහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division