Home » පාස්කුව සහ අනුන් පිට සහරාන් පැටවීම

පාස්කුව සහ අනුන් පිට සහරාන් පැටවීම

by sachintha
April 20, 2024 12:59 am 0 comment

“ඔවුහු දේව මාළිගාව සාදා නිමකර පාස්කු මංගල්‍යය පැවැත්වූහ.“ යැයි එස්රාගේ පොතේ පාඨයක් එන්නේය. පාස්කුව දැන් අපට සිහිපත් කරවන්නේ රටක සිහින මාළිගා කඩා ඉහිරූ ආකාරයය. එහෙව් ප්‍රහාරයක මතක අපට තවම මකා දැමිය නොහැක්කේය.

2019 අප්‍රේල් 21, මීගමුව කටුවාපිටිය, කොළඹ කොච්චිකඩේ සහ මඩකලපුව සියොන් යන දේවස්ථානවලට යක්ෂයා කඩා වැදුණේය. ෂැන්ග්‍රිලා, සිනමන් ග්‍රෑන්ඩ්, කින්ග්ස්බරි යන හෝටල් ද යක්ෂයාගේ ගිනි පිඹීමට හසු විය. සංචාරකයෝ 45ක්, පොලිස් නිලධාරීහු තිදෙනෙක්, බෝම්බකරුවෝ අට දෙනෙක් ද ඇතුළුව පුද්ගලයෝ 277 දෙනෙක් යක්ෂාගමනයට හසුවී මරු කරා ගියහ. පන්සියයකට අධික පිරිසක් තුවාල ලැබූහ. සිය ආදරණීයන්ගේ වියෝව තුරුලු කරගත් තව දස දහසක් අද ද මැරී මැරී ජීවත් වන්නාහ.

අදට පස් වසරක් සපිරෙන ඒ අමිහිරි මතකය යළි ගොඩ දැමීමේ වුවමනාවක් මේ තීරුවට නොමැත්තේය. යක්ෂයා අවදි වූ ඒ පැය සිහි කළ යුතු නොවේ.

“ගරු කටයුතු මහත්මයාණෙනි, සුබ උදෑසනක්. ඔවුන් අද දින පැය 0600 සිට 1000 අතර ක්‍රියාත්මක වීමට ඉඩ ඇත. ඔබගේ කාරුණික දැනුවත්වීම පිණිසයි.

කොළඹ මෙතෝදිස්ත දේවස්ථානයක් ඔවුන්ගේ එක් ඉලක්කයක්.”

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරය පිළිබඳව රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන වෙත අප්‍රේල් 21 වන දින උදෑසන 8.27ට ඔහුගේ මූලාශ්‍රයකින් ලැබී තිබුණ අවසන් ඔත්තුව එය විය. වේලාව තවත් විනාඩි විසි පහකට වඩා ගතනොවීය. කොච්චිකඩේ සහ කටුවාපිටිය දේවස්ථානයෙන් ආරම්භ වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව අවසන් වූයේ දෙමටගොඩ නිවාස සංකීර්ණයේ පස්වරු 2.25ට සිදු වූ පිපිරීමත් සමඟය.

එහෙම අතට ආ ඔත්තුව ද භාවිතයට ගත හැකි වාතාවරණයක් මේ රටේ එදා තිබුණේ නැත. දේශපාලන පිටියේ ඕපාදූප සොයනුවස් රටේ ජනාධිපතිවරයා, රාජ්‍ය බුද්ධි අංශය කෑලෑ පාරේ ධාවනය කළා මිස, ජාතික ආරක්ෂාව පිළිබඳව, ඔහුගේ ග්‍රාම්‍ය මනසට චිත්‍රයක් තිබුණේ නැත. වේලාසනින් දැනගත් ඔත්තුව තිබියදී සිය පවුල සමඟ සිංගප්පුරුව බලා ගියා මිස, හෙතෙම ඊට වැඩි දෙයක් සඳහා උනන්දු වූයේ නැත. හෙතෙම ඒ වන විට ආරක්ෂක මණ්ඩලය කැඳවූයේ, අග්‍රාමාත්‍යවරයා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ආදී ප්‍රධාන චරිත නොමැතිවය. එහෙව් තත්ත්වයක් තිබියදී රටට වූ වින්නැහිය, සහරාන්ට පමණක් තනියෙන් භාර දිය නොහැකිය. මෙම ප්‍රහාරයට හරි හරියට නොවුණ ද කොටස් වශයෙන් පංගුකාරයෝ බොහොමය. ඒ සියලු පංගුකාරයෝ ලෝකයාට හෙළිව තිබියදී තවමත් දේශපාලනයේ නාමයෙන් මේ ප්‍රහාරයෙන් වසන් වී සිටිනා පිරිසක් ද සිටිති.

ෂැංග්‍රිලා හෝටලයට ප්‍රහාර එල්ල කරන ලද්දේ, සහරාන් හෂීම් සහ ඉල්හාම් අහමර්ඩ් මොහොමඩ් ඉබ්‍රාහිම් ය. සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට බෝම්බ ප්‍රහාරය එල්ල කළේ, ඉල්හාම් ගේ වැඩිමහල් සහෝදර ඉන්ෂාෆ් අහමඩ් ඉබ්‍රාහිම්ය.

අනෙක් ත්‍රස්තයෝ වෙත අන්තවාදය සම්බන්ධ වූ කතාවක් ඇත්තාහ. මේ අයියා මලෝ දෙදෙනා වෙත දේශපාලන කතාවක් ද තිබේ. මෙම දෙදෙනාගේ පියා මොහොමඩ් ඉබ්‍රාහිම්ය. කුළුබඩු වෙළෙන්දෙක් ලෙස හෙතෙම ව්‍යාපාර කරගෙන ගියේය. අමතර වශයෙන් තඹ උණු කර රට යැවීමේ කටයුත්තක ද නියැළී සිටියේය. 2015 වසරේ මහ මැතිවරණය සඳහා ඔහු ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකි.

ජාතික ලැයිස්තුව සදහා යම් පක්ෂයක්, අපේක්ෂකයෙක් නම් කරන ආකාර ගණනාවකි. ඒ සඳහා නම් කරන විසි නවය සැහැල්ලුවට නිම වන්නක් නොවේ. සමානුපාතික ඡන්ද ක්‍රමයේ ජාතික ලැයිස්තුවක් සඳහා අවස්ථාව ලබා දෙන්නේ, උගත් බුද්ධිමත්, ජාතික චරිත සඳහා අවස්ථාවක් ලබා දෙන්නටය. දේශපාලන සන්ධාන, ඒ ඒ පක්ෂයට ජාතික ලැයිස්තුවේ කෝටා ලබා දීම සිදු කරයි. අනික් අතට සමහර පක්ෂ සිය ‘ඩමි අපේක්ෂකයෝ’ ද ජාතික ලැයිස්තුවේ රඳවා තබන්නේය. ඒ සමහර පුද්ගලයන් වෙත එළියේ සිට ඇතුළට ඒම සඳහා, ඉල්ලා අස්වීමටය. මේ ගැන ගරහමින් දේශපාලනය කරන ජවිපෙ, ඉතිහාසය පුරාම කියන ලද්දේ, තමන්ගේ දේශපාලනයේදී, ජාතික ලැයිස්තුව තරයේම, මුඛ්‍ය අරමුණ වූ ජාතික චරිත සදහා ලබාදෙන බවය. එම තර්කනය අනුව ඉල්හාම් අහමර්ඩ් මොහොමඩ් ඉබ්‍රාහිම් සහ ඉන්ෂාෆ් අහමඩ් ඉබ්‍රාහිම්ගේ පියාට ජවිපෙ ජාතික ලැයිස්තුවේ ඉඩක් ලැබුණේ කෙසේද? පාස්කු ප්‍රහාරයෙන් පසුව මේ ගැන කතිකාව එළියට එද්දී ජවිපෙ සඳහන් කළේ, විවිධ වෘත්තීන්ට හා විවිධ ජාතිකත්වයන්ට අයත් පුද්ගලයන්ට අවස්ථාව ලබාදීමේ පදනමින් ඉබ්‍රාහිම් ජාතික ලැයිස්තුවට එක් කළ බවය.

කතාව ඒ තරම් සරල නම්, කියන දෙයක් අසාගෙන අපට ද සිටිය හැක්කේය. ඉබ්‍රාහිම්ගේ පුත්තු දෙදෙනා මරාගෙන මැරුණු කල, ඔහු සම්බන්ධයෙන් ඒ තරම් සරල කරුණු දැක්වීමකින් නිහඬ විය හැකිද ඉබ්‍රාහිම් තෙමේ වෙන අන් කවර පක්ෂයක ජාතික ලැයිස්තුවක සිටියේ නම්, මේ වන විට ජවිපෙ හැසිරීම කෙසේ වනු ඇද්ද? ඒ වෙනුවෙන් ෆයිල් සැණකෙළියක් පවත්වනු ඇත්තේය. වෙනකක් තබා ඉබ්‍රාහිම් නිතර යන එන තැනක අන් දේශපාලන ප්‍රවාහයකට ගෑවුණු අයෙක් සිටියේ නම් ජවිපෙ, මේ දක්වා නොනවත්වා එම පක්ෂයට දේශපාලන බෝම්බ ගසනු ඇත්තේය.

ඊයේ පෙරේදා මාලිමාව ප්‍රකාශයක් නිකුත් කරන ලද්දේ ‘පාස්කු ප්‍රහාරය දේශපාලන කුමන්ත්‍රණයක්’යැයි සඳහන් කරමිනි. මේ යටතේ පාස්කු වින්දිතයන්ට සාධාරණය ඉටු කරනු පිණිස යැයි කියමින් කරුණු හතකින් යුත් ප්‍රතිඥාවක් ද ඔවුහු එළි දැක්වූහ. මෙම කාරණා ගොනුව අගරදගුරුතුමන් වෙත ද මාලිමාවේ පිරිස පිළිගැන්වූහ. මේ අතරේ වගකිව යුත්තන් සඳහා දඩුවම් දෙන කතාව මිස, මේ සඳහා ගෑවී ඇති තමන්ගේ නම ගැන කතාවක් ඇත්තේම නැත. වහ වහා මේ එළිදකින්නේ, තමන්ගේ වගකීම සඟවා ගැනීම සඳහා අනුන්ගේ කරට ගෝනි නැතිව නැඟීමය. මැරී මැරී ඉපදෙන වින්දිත පිරිසගේ කරට කකුල තබා, දේශපාලන වශයෙන් ගොඩ යෑමට කටයුතු කිරීමය. මේ තීරුව දෙවියන්ගේ නාමයෙන් ඉල්ලා සිටිනුයේ තවදුරටත්, මේ අසරණයන් අපහරණය කිරීම නවතන ලෙසය. වසර පහක් පුරා, මේ වින්දිතයන් වෙනුවෙන් කිසිවක් නොකළ පිරිස් ඡන්දය මුව විට බැවින්, දැන් තමන්ගේ දැලි කුණු සෝදා ගැනීමට සහ අනුන් පිට ‘සහරාන් පැටවීම’ සඳහා නොදරන තැතක් නැත්තේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division