Home » කටුනායක දී කෝටි විස්සක රන් ඇල්ලු රේගු නුවණ

කටුනායක දී කෝටි විස්සක රන් ඇල්ලු රේගු නුවණ

by thanushika
March 16, 2024 12:30 am 0 comment

කටුනායක ගුවන් තොටුපොළ මෙරටට පිවිසෙන ‘රන් දොරටුව’ ලෙස විරුදාවලි ලබා තිබුණත්, ඒ තුළින් නීති විරෝධී ලෙස රත්රන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම ද ගුවන් තොටුපොළ ඇතැම් නිලධාරීන්ගේ සහ සේවකයින්ගේ ආශීර්වාදයෙන් සිදු කෙරෙමින් පැවතීම නම් කනගාටුදායකය. සමස්තයක් සේවකයන් මීට සම්බන්ධ නැතත් ඇතැම් දූෂිත සේවකයන් නිසා එහි හොඳ නමට කැළැලක් ඇති වූ අවස්ථා විරල නැත.

රත්රන් තොගයක් නීති විරෝධී ලෙස කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කිරීමට තැත් කිරීමේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගන්නේ පසුගියදාය.

කලක් තිස්සේ කටුනායක ගුවන් තොටුපොළ ඇතැම් සේවකයන් සහ නිලධාරීන් විසින් සිදු කරගෙන යමින් තිබූ රත්රන් ජාවාරමක් පිළිබඳව තමන් වෙත ලැබී තිබූ තොරතුරු මත පදනම් වෙමින් සැලසුමක් සකස්කර ගෙන යන්නේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසිනි.

එම නිලධාරීන්ට එම ඉලක්කය සපුරා ගැනීමට හැකි වූයේ රුපියල් කෝටි 20ක් වටිනා කිලෝ ග්‍රෑම් 09 ක් බරැති රත්රන් සහ ස්වර්ණාභරණ තොගයක් කටුනායක ගුවන් තොටුපොළ පිටවීමේ පර්යන්තයේ වාහන නැවතුම් පොළ වෙත, පිට කිරීම සඳහා ගුවන් තොටුපොළ සේවකයෙකු විසින් රැගෙන යමින් සිටියදීය.

සැකකරු කටුනායක ගුවන් තොටුපොළ පර්යන්ත සුපරීක්ෂකවරයාගේ කාර්යාලයේ සේවයේ නිරත 33 හැවිරිදි සුළු සේවකයෙකි.

සැකකරු සන්තකයේ තිබූ මෙම ස්වර්ණාභරණ සහ රත්රන් පාර්සලය තුළ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සඳහා භාවිත කරන ප්ලාස්ටික් කාඩ්පත් ලෙස බැලූ බැල්මට පෙනෙන ආකාරයට, රත්රන්වලින් සකස් කළ කාඩ් පත් 20 ක් තිබිණි . ඒවායේ රන් පැහැති ස්වභාවය පිටතට පෙනීම වළක්වා ගැනීම සඳහා මෙම කාඩ්පත් මත විවිධ වාණිජ බැංකු විසින් නිකුත් කළ බව හැඟී යන ආකාරයට, බැංකුවල නම, ගිණුම්වල නම්, ගිණුම් අංක සඳහන් කර තිබුණි. මෙම කාඩ්පතක බර ග්‍රෑම් 100 කට වඩා වැඩි බරකින් යුතු විය.

මීට අමතරව කැරට් 24 රත්රන් අඩංගු ජෙල් කරල් (Capsules) 12ක් සහ තවත් රත්රන් ජෙල් කුඩා පාර්සල් ලෙස සකස් කළ රත්රන් ජෙල් පෑඩ් 02 ක් ද තිබිණි.

ඊට අමතරව ද මාල, වළලු, කරාබු, මුදු, විශාල කර මාල, බැංගලර් වර්ගයේ වළලු විශාල තොගයක් ද සොයා ගත් භාණ්ඩ අතර ඇත.

මෙම රන් සහ ස්වර්ණාභරණ තොගය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඉන්දීය ජාතික සංක්‍රමණික ගුවන් මගියෙකු විසින් ගුවන් තොටුපොළ අධි ආරක්ෂිත කලාපය සහ මහජනයා ගැවසෙන පොදු ප්‍රදේශය ( Public Area) වෙන් කෙරෙන වානේ දොරටුව යට ඇති ඇලුමිනියම් ලූවර් පටි ඈත්කර සැකකරුට ලබා දී ඇති බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අනාවරණය කරගෙන තිබේ.

ඉන්පසු මෙම ගුවන් තොටුපොළ සුළු සේවකයා විසින් ඒවා ගුවන් තොටුපොළෙන් පිට කිරීම සඳහා පිටත්වීමේ පර්යන්තය වෙත රැගෙන යමින් සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණි.

මෙම ජාවාරම සඳහා කටුනායක ගුවන් තොටුපොළ සුළු සේවකයෙකු අත්අඩංගුවට පත් වී තිබුණ ද ඔහු පිටුපස ගුවන් තොටුපොළ ඇතැම් නිලධාරීන් සිටින බවට සැක කරන බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන්ගේ විශ්වාසයයි.

මෙම සිදුවීම අධීක්ෂණය කිරීම සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ද එම අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් සමඟ කටුනායක ගුවන් තොටුපොළ රේගු පරිශ්‍රය වෙත පැමිණ සිටියහ.

කටුනායක ටී.කේ.ජී. කපිල

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division