Home » කැනඩා රැකියා පෙන්වා ලක්ෂ ගණනකට විද්ද ගණකාධිකාරිනිය

කැනඩා රැකියා පෙන්වා ලක්ෂ ගණනකට විද්ද ගණකාධිකාරිනිය

by thanushika
March 16, 2024 12:30 am 0 comment

පාණදුර නගරයේ ගාලු පාරේ විදේශ රැකියා ආයතනයක් කලකට පෙර ආරම්භ කර තිබිණි. එහි සඳහන් කර තිබුණේ කැනඩාවේ රැකියා ලබා දෙන බවටයි. එහි හිමිකාරිය වූයේ ‘අමන්දායි’. ඇයගේ සහායට තවත් මිතුරෙකුද සිටියේය. ඔහු ‘අරවින්ද’ නමැති ප්‍රසිද්ධ පාසලක සහකාර විදුහල්පතිවරයකු ලෙස කටයුතු කළ අයෙකි.

අධ්‍යාපනයෙන් ඉහළම තැනකට ගොස් සිටි ‘අමන්දා’ කැනඩාවට යන්නේ මීට වසර විසි තුනකට පමණ පෙරය. ඒ වැඩිදුරටත් අධ්‍යාපන කටයුතු සිදු කර ගැනීම සඳහාය. උසස් රැකියාවක ද නියැළෙන ඇය සැමියා හා දරු දෙදෙනා සමඟ කැනඩාවේ පදිංචි වී සැපවත් ජීවිතයක් ගත කිරීමටද උරුමකම් ලැබූ වාසනාවන්තියක වූවාය. ගණකාධිකාරිනියක ලෙස එරට රැකියාව කළ ඇයට මිතුරු සමාගමෙන්ද අඩුවක් නොවීය. මෙසේ කාලය ගෙවී යද්දී 2014 සහ 2016 වසරවල ඇය ලංකාවට පැමිණියාය. අරවින්ද ඇයට මුණගැසෙන්නේ මේ අතරතුරය. ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස අමතර පන්ති පවත්වාගෙන තම ආදායම් තත්ත්වය ඉහළ නංවා ගැනීමට ඔහු වෙහෙසුණේය.

“ඔයත් මගේ ටියුෂන්වලට සපෝට් එකක් දෙන්නකෝ…”

‘අමන්දාත්’ අරවින්දත් ඉංග්‍රීසි පන්තියේ ඉගැන්වීම් කටයුතු කරගෙන ගියේ ඒ අයුරිනි. කැනඩාවේ රැකියා සපයන ආයතනයක් පාණදුර ප්‍රදේශයේ පවත්වාගෙන යාමට ද ඇය කටයුතු කළේ මෙම මිතුරු සමාගම තවදුරටත් වර්ධනය වීමේ ප්‍රතිඵලයක් වශයෙනි. ඒ ටියුෂන් පන්තියට පැමිණෙන වැඩිහිටි සිසුන් තුළ කැනඩා රැකියා ලබා ගැනීමේ සිහිනයක් මෝදු වෙමින් පවතින බව වැටහුණු බැවිනි.

මාලිම්බඩ ප්‍රදේශයේ තරුණයෙකුට ද රට රැකියාවක් සොයාගැනීමේ උවමනාව ඇති වී තිබුණේ අද ඊයේ සිට නොවේ. ඔහු පෞද්ගලික විශ්වවිද්‍යාලයක කළමනාකරුවෙකු ලෙස කටයුතු කළ අයෙකි. විසිනව හැවිරිදි වියේ පසුවූ මෙම තරුණයා ඒ ගැන තම මිතුරෙකුට පවසා සිටියේ පිළිසරණක් බලාපොරොත්තු වන අරමුණෙනි.

“මචං පාණදුරේ නං තියෙනවා කැනඩාවේ රස්සාවලට යවන තැනක්. අපි එතැනටවත් ගිහින් බලමුද. හැබැයි ලක්ෂ ගාණක් බඳින්න වෙයි…”

“වැඩේ හරි යනවා නං කීයක් ගියත් මොකද? අපි හෙටම යං…”

ඔහු ‘අමන්දා’ සොයා පැමිණියේ ඒ අයුරිනි. ඒ 2016 වසරේ දිනකදීය. ‘කැනඩා සිහිනය’ වෙනුවෙන් රුපියල් 11,31,376 ශත 63 ක් අමන්දාට ‘පිදූ’ ඔහු ආපසු ගියේ සතුටින් ඉපිළෙමිනි.

“අනේ බලන්නකෝ අපේ පුතාට දැන් අවුරුදු විසිනමයක් වෙනවා. තාමත් නැහැනේ රස්සාවක්…” අලපලාදෙණිය ප්‍රදේශයේ කාන්තාවක් විදේශගතව සිටින තම මිතුරියකට පැවසුවේ ආගිය තොරතුරු කතාබහ කරන අතරතුරය. ඩුබායිවල සිටින මෙම මිතුරිය සමඟ අමන්දා ස්කයිප් තාක්ෂණය ඔස්සේ හඳුනාගෙන සිටි බැවින් ඇය මෙම කාන්තාවගේ පුතුට කැනඩා සිහිනයට පාර කියා දීමට අමන්දාව සම්බන්ධ කර දෙන්නේ දෙවරක් නොසිතමිනි. ලක්ෂ දහතුනක මුදලක් ඒ සඳහා වියදම් කළ මේ මව බලා සිටියේ පුතුට කැනඩාවේ රැකියාව ලැබෙන තුරුය.

දිවුලපිටිය ප්‍රදේශයේ කාන්තාවකටද රැකියාව කරන අතරම රට රැකියාවක් කිරීමට ආසාව ඇති වී තිබුණේ කාලයක සිටය. ඇය සිතුවේ නිවාඩු පිට සිට විදේශ රැකියාවක් කිරීම සුදුසු බවය. ඇගේ මවගේ මිතුරියක් කැනඩාවේ පදිංචිව සිටි අතර, ඇය මඟින් අමන්දා සම්බන්ධ වන්නේ බලාපොරොත්තුව මල්ඵල ගන්වමිනි. ඇයට ඒ සඳහා රුපියල් 11,89,531.38 ක් වියදම් කිරීමට සිදු විය.

ව්‍යපාරිකයෙකු වන ඔහු පදිංචිව සිටියේ වත්තල ප්‍රදේශයේය. කැනඩාවේ පදිංචි ඔහුගේ මිතුරකු මාර්ගයෙන් අමන්දා හඳුනා ගත් 48 හැවිරිදි මෙම ව්‍යාපාරිකයා කැනඩා ගමනට සූදානම් වූයේ 11,58,208 යි සත 38ක මුදලක් ඒ සඳහා වැය කරමිනි.

දින සති මාස ඉගිළ යන්නට වූයේ හිතුවාටත් වඩා වේගයෙනි. එහෙත් ඔවුන්ගේ ‘කැනඩා සිහිනය’ දිනෙන් දිනම ඈතට යන ලකුණු පහළ වන්නට වූයේ නොසිතූ අයුරිනි. මෙම පිරිස ඒ ගැන සොයා බැලීමට පාණදුරේ පිහිටි එම ආයතනයට පැමිණියද එහි කිසි‍ෙවකුත් නොසිටියේය. එය පාළුවට ගොස් තිබුණේ කාලයකට පෙර සිටය. පාණදුර ප්‍රදේශයේ බැංකු නොම්මරවලට මුදල් බැර කර බලා සිටි මෙම පිරිස අමන්දාගේ අතුරුදන් වීමත් සමඟ කලබලයට පත්ව පාණදුර පොලිස් අධිකාරි කාර්යාලට පැමිණෙන්නේ මේ පිළිබඳ පැමිණිලි කිරීමටය. ඒ 2016 වසරේදීය.

පාණදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් මෙහි විමර්ශන කටයුතු ආරම්භ කරන්නේ ඉන් පසුවය. අමන්දා සොයා ගැනීමට නොමැති තැන 2017 වසරේදී ඇගේ සහායකයා වන අරවින්දව අත්අඩංගුවට ගන්නා අතර, ඒ වන විටත් අමන්දා සිටියේ විදේශගතවය. මේ නිසා පොලිසිය කටයුතු කළේ ඇගේ ජාතික හැඳුනුම්පත, විදේශ ගමන් බලපත්‍රය හා ඇගේ නමට විදේශ ගමන් තහනම් කිරීමටය. එහෙත් කැනඩාවේ මෙන්ම මෙරටද ද්විත්ව පුරවැසි භාවය ලබා සිටි අමන්දා වරින්වර ලංකාවට පැමිණියද ඒ බවක් කිසිවකුත් දැන සිටියේ නැත. එසේ පැමිණියේ ඇගේ විදේශ ගමන් බලපත්‍රයේ ඇති නමේ අගට සැමියාගේ නමේ කොටසක් එකතු කර ගැනීමෙන් පසුවය. මේ නිසා ඇය කොටුකර ගැනීමට කිසිම අයුරකින් නොහැකි වී තිබිණි.

එහෙත් මෙම නඩුව දිගටම පවත්වාගෙන යන අතර 2023 වසරේ ජනවාරි 4 වන දින අරවින්ද මිය යන්නේ පනස් හතර හැවිරිදි වියේ සිටියදීය.

කාලය තවත් වසරකට ඉගිළ යද්දී පාණදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අයි. එන්. එස්. කස්තුරිආරච්චිට තොරතුරක් ලැබෙන්නේ අමන්දා පසුගිය දහතුන්වැනිදා මෙරටට පැමිණ ඇති බවටය. ඉතා විශ්වාස කටයුතු ආකාරයෙන් ලැබුණු මෙම තොරතුර පිළිබඳව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ආවේක්ෂණ රාජකාරියේ නිරත වී සත්‍ය බව තහවුරු කරගැනීමට කටයුතු කළේය. ඇය මාලබේ නගරයට පැමිණෙන බවද මෙහිදී අනාවරණය කරගැනීමට ඔහු සමත් විය. මේ පිළිබඳ පාණදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ සහ සහකාර පොලිස් අධිකාරී ජී. ඒ. ජේ. එන්. සේනාරත්නගේ උපදෙස් හා අධීක්ෂණය යටතේ අමන්දා කොටුකර ගැනීමේ කටයුතු ලහි ලහියේ සූදානම් කිරීමට ස්ථානාධිපතිවරයා කටයුතු කළේ ඇය නැවත විදේශගත වීමට පෙරය.

ඒ සඳහා (55351) ජයනන්ද, (40354) සමන්, (21725) චාමින්ද යන පොලිස් සැරයන්වරුන්ද (7300) තනුජා, (11884) දුලංගා යන කොස්තාපල්වරියන්ද සූදානම් කර ගැනීමට අමතක කළේ නැත.

මාලබේ ප්‍රදේශයේ පදිංචි පනස් තුන් හැවිරිදි වියේ පසු වූ මෙම සැකකාරිය ඇය වෙනත් කටයුත්තක් සඳහා මාලබේ පොලිසියට පැමිණෙන අවස්ථාවේදී අවට රැකවල්ලා සිටි පොලිස් නිලධාරීන් කණ්ඩායම විසින් අත්අඩංගුවට ගන්නා විට වසර අටක පමණ කාලයක් ඇය පොලිසියට කට්ටි පනිමින් සිදු කළ සෙල්ලම අමතක වන්නට ඇත.

ඇය පැමිණිලිකරුවන්ට ගෙවිය යුතු සම්පූර්ණ මුදලම ගෙවීමට පාණදුර අතිරේක මහේස්ත්‍රාත් ළහිරු එන්. සිල්වා ඉදිරියේ කටයුතු කළාය. එසේම ඇගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණය භාරයට ගන්නා ලෙස ද මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.

(අමන්දා හා අරවින්ද යනු මනකල්පිත නම් වේ)

විනීතා මානෙල් ගමගේ - හල්තොට සමූහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division