පුවත්පත් කලාවේ සංස්කෘතික සලකුණක් | සිළුමිණ

පුවත්පත් කලාවේ සංස්කෘතික සලකුණක්

පැරැණි අලංකාරිකයන් කීවේ ලේඛකයා පූර්ණත්වයට පත්වන්නේ ප්‍රතිභා, ව්‍යුත්පත්ති, සතතාභ්‍යාසය යන ත්‍රිවිධ අංගයන්ගේ සුසංයෝගයෙන් බව ය. මේ තුනම පදමට තිලකරත්න කුරුවිටබණ්ඩාර ලේඛකයාට පිහිටා ඇතැයි සිතෙන්නේ ඔහුගේ ලේඛන පරිශීලනය කරන විට ය. ඒවා සරල ය; ඒ සරල බව යට ඇති ගැඹුර මිනිය නොහැකි තරම් ය. පාරිභාෂික වදන් බහුලව යොදා ගැඹුරින් ලිවීම අපහසු නොවන බවත්, ගැඹුරු දේ සරලව ලිවීම අපහසු බවත් ලේඛකයෝ දනිති. ගැඹුරෙහි පැණි රස ගල්වන්නට හැම ලේඛකයකුටම නොහැකිය. කුරුවිටබණ්ඩාර ලේඛකයා ඊට මනා සුරුවකු ම වෙයි. 

නන්විධ භූමිකා රැසක නිමග්න ඔහු පුවත්පත් කලාවේදියකු ලෙස සමාජයට කරන බලපෑම වඩාත් සාර්ථක, ජනහිතකාමී එකක් යැයි කීමට මැළි නොවෙමි. පුවත්පත් කලාවේදී ඔහු සංස්කෘතිකවාදියෙකි. ඔහුගේ ගද්‍ය රීතිය අනම්‍ය ය, ව්‍යක්ත ය, සරු ය. කිව යුතු දේ සාහිත්‍යයේ දවටා වඩාත් හොඳින් කියන්නට ඔහුට තිබුණේ විශේෂ හැකියාවකි. වරෙක පුරාතන සාහිත කෙතේ සැරිසරන ඔහු ඒ සැණින් රටේ තොටේ එදිනෙදා සිදුවන සාමාන්‍ය සංසිද්ධි ගැන අවධානය යොමු කරන්නේ සිතා ගත නොහැකි තරම් අවබෝධයකිනි. ඒ සියලු ධාරා ඔහු අත වඩාත් සුඛනම්‍ය වන්නේ සිතාගත නොහැකි තරම් වේගයකිනි.

පෙර’පර දෙදිග සම්භාව්‍ය හා නූතන සාහිත්‍ය පිළිබඳ පැතුරුණු දැනුමත්, බල ඇත්තන්ට වඩා ඒ බලය නිසා පීඩාවට පත්වන හුදී ජනයාගේ හදවතත් සමඟ ගැටී සැනහුණු සිතත් ඔහුගේ ලේඛන දිවිය ගුණවත්, නැණවත් හා පොහොසත් කරන්නට බලපෑ මූලික ගුණාංග බැව් නියත ය.

ඔහු විසින් රචිත ග්‍රන්ථ රැසකි. පුවත්පත්වලට වරින්වර ලියන ලද විචාර එක්තැන් කොට කෘති කිහිපයක් ම ඔහු සංග්‍රහ කර ඇත්තේ ය. සාරගර්භ වූ, සර්වකාලීන වූ ඒ කෘති ලිපි සරණි ලෙසින් සංරක්ෂණය කිරීමේ වැදගත්කම තේරුම් ගැනීම ද ඔහුගේ විචාර බුද්ධියේ ම ප්‍රභාවක් යැයි සිතීම යුක්ති යුක්ත ය. අර්ථවත් ලිපි ලේඛන කෙසේ වෙතත් ලේඛකයන්ට පවා ගරු බුහුමන් නොකරන රටක ඒ කාර්යයත් ලේඛකයාට ම කරන්නට සිදුවීම එක්තරා අන්දමකට අභාග්‍යයකි.

හෙතෙම සිළුමිණ පුවත්පතේ කර්තෘ ලෙස දෙවරක් පත් වෙයි. ඒ 1993 වසරේ සිට 1994 වසර දක්වාත් 2002 පෙබරවාරි 6 වැනිදා සිට 2004 මැයි 11 දක්වාත් ය. එවර ඔහු සිළුමිණ කර්තෘ වශයෙන් වසර තුනකුත් මාස තුනක් කටයුතු කළේය.ඊට පසුකාලීනව සිළුමිණ උපදේශක කර්තෘවරයෙක් වශයෙන් ද ඔහු කටයුතු කර තිබේ. මුල්කාලීන ලේඛනවල ඔහුගේ නම සඳහන් වෙන්නේ තිලකරත්න සිල්වා නමිනි. ලස්සන නම් ටැබ්ලොයිඩ් පත්‍රයේ සිට ලේක්හවුසියට එන තිලකරත්න සිල්වා පසු කාලයේදී තිලකරත්න කුරුවිටබණ්ඩාර ලෙස සිය නාමකරණයේ වෙනසක් ඇති කරගන්නේ ය. සිළුමිණ කතු ධුරයට අමතරව සරසවිය පුවත්පතේ ද කර්තෘ වශයෙන් කලක් ගත කළ තිලකරත්න කුරුවිටබණ්ඩාර කිසිදිනෙක පුවත්පත් කලාවෙන් විශ්‍රාම ගියේ නැත. ලේක්හවුසියෙන් ඉවත් ව ගිය ද පත්තර කන්තෝරුවල මුල්පුටුවට හේ නිරන්තරයෙන් ආරාධනා ලද්දේ ය. මව්බිම, ඉරුදින හා සියත පුවත්පත්හි ප්‍රධාන කතුවරයා වූ ඔහුට ගුවන්විදුලි මාධ්‍යය ද ආගන්තුක වූයේ නැත. සඟරා ඉතිහාසයේ නමක් තැබූ හඬ ත්‍රෛමාසිකය නිකුත් වූයේ ඔහුගේ සංස්කාරකත්වයෙනි. විවිධ චරිත හා විෂයයන් අරඹයා නිකුත් කළ හඬ සඟරා ඔහුගේ බහුවිධ දැනුම් පරාසය පිළිබඳ කැඩපතක් බඳු විය.

කවියකු ලෙස සිය නිර්මාණ ජීවිතය අරඹන හේ කවි පොත් පහක් නිකුත් කර ඇත. ජීවිතය බෙහෙවින් ඛේදජනකයි, අසිරිමත් වූ දේකි මෙලොව ප්‍රේමය නමිනා, දෙවියෝ තැති ගෙන මහ පොළොවට එති, ඉකුත් වත හා එක් සමයෙක්හි ඒ කාව්‍ය සංග්‍රහ පහ වෙති. ඊට පෙර ඔහු ගුවන් විදුලියට ඈ නුවන් ලැබුවා නමින් ගීත නාටකයක් ලියා තිබේ. සුභා ථෙරණියගේ නෙත්හි කාන්තියට වශීකෘත වූ තරුණයා පිළිබඳ ථේරි ගාථාව ඇසුරෙන් 'ඈ නුවන් ලැබුවා' රචනා වී ඇති බව කියැවේ. ඒ 1969 දී ය. සරච්චන්ද්‍රයන් සතු ධ්වනිපූර්ණ රංගෝචිත භාෂාව සනිදර්ශන මඟින් වර්ණනා කරන කතුවරයා ඒ සඳහා මනමේ, සිංහබාහු, පෙමතො ජායති සොකො, වෙස්සන්තර හා ලෝමහංස ආදී නාට්‍ය ගීත ඇසුරු කරමින් එහි රස වින්දනය කර තිබේ. එහෙත් පසුකාලීනව කවියෙක් ලෙස ඔහුගේ මැදහත්වීමේ අවම බවක් දක්නට ලැබේ. පුවත්පත් කලාවේ අසීරුතා හා කාර්යබහුලත්වය විසින් එකී නිර්මාණාත්මක ප්‍රවේශය යටපත් වූයේ ද යන්නට හේ දුන්නේ මෙවන් පිළිතුරකි.

‘කවි ලියන එක පෙරුම් පුරලා කරන වැඩක්. ඒ කාලෙ මම ගොඩක් කියෙව්වා, අධ්‍යයනය කළා. ඒ ආභාසය හා හැදෑරීම කවියකුට වැදගත්. පත්තරේ වගකීම ආවම නිදහස නැති වෙනවා. ආයාසයෙන් කවි ලියන්න බෑ. මට මතකයි මහගමසේකර කොළඹ කලාගාරයේදී පැවැති දේශනයකදී කවි පොත් තුනක් පෙන්නලා කිව්වා, නූතන කවියේ අනාගතය පැහැබරයි කියලා කියන්න පුළුවන් මේ කවියෝ තුන්දෙනා ලියපු මේ කවි පොත් තුන නිසා කියලා. එකක් මොනිකා රුවන්පතිරණගේ ‘අපි දෙන්නා සහ තවත් කිහිප දෙනෙක්‘, අනික පරාක්‍රම කොඩිතුවක්කුගෙ ‘පොඩි මල්ලී‘. තුන්වැනි කවි පොත තමයි ‘දෙවියෝ තැතිගෙන මහපොළවට එති‘ කියන මගේ කාව්‍ය සංග්‍රහය. පත්තරේ වැඩ වැඩි වෙන කොට කවි ලියන එකට නිදහස නැති වුණා. ඒක ඇත්තක්. පත්තරේක කර්තෘ කෙනෙක් කියන්නෙ අතිශය කාර්යබහුල පුද්ගලයෙක්. ඒ වගේම වගකීම් සහගත කාර්යයක්. ඕනෑම කර්තෘ කෙනකුගේ අනන්‍යතාව ඒ පුවත්පතෙන් පේනවා. ඒක හරියට පොතේ කර්තෘ පොතත් එක්ක අනාවරණය වෙනවා වගේ. ඒ කාලවල පුවත්පත්වල ස්වරූප අධ්‍යයනය කරන්න. ඒක පැහැදිලි වේවි. එතකොට චින්තනයක් සමාජගත කිරීමේ වගකීම කර්තෘ ඉදිරියේ තියෙනවා. මම කර්තෘ වශයෙන් සිටිය කාලය පුරාම කළේ යම්කිසි සමාජ චින්තනයක් සමාජගතකරන්න උත්සාහ කළ එක‘ 

ඊට අමතරව හේ විචාරකයෝ, අපි ඔක්කොම, නිල්ල දකින්නයි, සිරිත් මල්දම ඇතුළු නිර්මාණ කෘති රැසක් ලියා ඇති අතර චාල්ස් ද සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේ, දිනමිණ වෙසක් කලාපය සහ හඬ සඟරාව සංස්කරණය කර තිබේ.

කීර්තිශේෂ යනු කීර්තිය ශේෂ කිරීම හෙවත් ඉතිරි කිරීම යන්න ය. බොහෝ නිර්මාණකරුවෝ කීර්තිය ඉතිරි කර නාමශේෂභාවෝපගත වෙති. කීර්තිය යනු අමරණීයත්වයයි. ජීවිත කාලයේදී බොහෝ අය විවිධ ලෙස අමරණීයත්වයට පත් වෙති. එය කීර්තිමත් අමරණීයත්වයක් සේම අපකීර්තිමත් අමරණීයත්වයක් ද විය හැකිය. පුද්ගලයකුට කීර්තිමත් අමරණීයත්වයක් ලබා ගැන්ම පහසු නැත. ඒ කීර්තිමත් අමරණීයත්වයට පත් වූවන් ගැන කීර්තිශේෂ නමින් තිලකරත්න කුරුවිටබණ්ඩාර යුගයක් වටිනා කෘතියක් ලියා තබන්නේ ය. එහි ප්‍රස්ථාවනාවේ ඔහු සඳහන් කරන්නේ මෙවැන්නකි.

‘ශික්ෂිත, සංවේදී, යුක්තිගරුක, කාරුණික මිනිසුන්ගෙන් සමන්විත සාධු සමාජයක් බිහි වන්නේ ප්‍රබල සංස්කෘතික මිනිසුන් සිටින්නේ නම් පමණකි.‘

අප මේ ගත කරමින් සිටින්නේ සංස්කෘතික මිනිසුන් හිඟ යුගයක ය. සංස්කෘතික මිනිසුන්ගේ හිඟය ගැන තැවෙමින් සිටිනවාට වඩා එකී හිඟයට යම් පිළියමක් යොදන්නට හැකි නිර්මාණ ප්‍රවේශයකට යමකු පිළිපන් වීම වටින්නේ ඒ නිසා ය.

විවිධ සද් පුද්ගල චරිත ඇසුරේ වත්මන් පරම්පරාවට ගත හැකි ආදර්ශ බොහෝ ය. එවන් චරිත 55ක් ගැන කරන ලද අපදානමය විමර්ශනයක් එහි අන්තර්ගත ය.

‘කීර්තිශේෂභාවෝපගත කියලා ලස්සන වචනයක් තියෙනවානේ. කීර්තිය ශේෂ කොට නික්ම ගිය යන්න තමයි එහි අරුත. ඒ ඔස්සේ තමයි මම මේ නම තෝරා ගත්තේ. මේ ලියැවුණු චරිත 55ත් එවන් වූ චරිත. අපේ රටේ කලාවට, සංස්කෘතියට ඉතා විශිෂ්ට සේවයක් කළ කලාකරුවන් මෙහි අන්තර්ගතයි. මේ කෘතිය ලියන්න මම හිතුවෙ සමාජය දෙස බැලීමෙන් ඇතිවුණු හැඟීම නිසයි. අද සමාජය සංවේදී, ගුණවත්, පාරිශුද්ධ හෝ පරාර්ථකාමී නැහැ. දරිද්‍රතාව හා සම්පත් විෂම ලෙස බෙදී යෑම මෙයට හේතුවක්. උදාහරණයක් ලෙස මෙය සිතන්න. අපි බස් රථයක ඉඳගෙන යෑම සඳහා බොහෝ වේලාවක් පෝලිමේ ඉඳලා ආසනයක ඉඳ ගත්තම අපහසුකම් තියෙන පුද්ගලයෙක් බස් එකට නැග්ගට අපේ ආසනය දෙන්න අපි හිතන්නෙ නෑ. මොකද අපි විශාල පරිශ්‍රමයක් දරලා තියෙනවා මේ ආසනය ලබා ගන්න. ආත්මාර්ථකාමී බව එන්නෙ හැමෝටම සුවසේ යන්න පුළුවන් විදියේ පහසුකම් නැති නිසා. හැම තැනම එහෙමයි. මෙයට හේතු සාධක තියෙනවා. මිනිසුන් සංස්කෘතික මිනිසුන් නොවීමත් එයට හේතුවක්. මිනිස්සු දැඩි ආත්මාර්ථකාමියි. එසේ වීමට මේ පුද්ගල චරිත ගැන නොදැනීමත් හේතු වෙනවා. සංස්කෘතියට බෙහෙවින් ගරු කළ චරිත ගැන පාඨකයන්ට දැන ගැනීමට මංපෙත් විවර කිරීමටයි මම මේ ඔස්සේ උත්සාහ කළේ.

මම එහෙම ලිව්වෙ ඔවුන් තමයි මිනිසුන්ට සැඟවුණු මනුෂ්‍යත්වය ප්‍රදානය කරන්නේ. ඒ අය තව කෙනකුගේ දුකේදී උණුවෙන හදවතක් සහිත වූවන් විය යුතුයි. මේ දේවල් සමාජයට දුන් සාධු චරිත ගැන සමාජය දැනුම්වත් කරන්නයි මට අවශ්‍ය වුණේ‘.

අපට ජීවිතයේ හමුවන අනේකවිධ අත්දැකීම් වරෙක අපට නොවටින්නේ ය. තවත් විටෙක ඒවා වටිනවා යැයි දැනුණ ද එකතු කර ගැන්මට නොසිතේ. තවත් ‍විටෙක අපි ඒවා එකතු කොට පසු ප්‍රයෝජනය තකා පැත්තකින් තබන්නෙමු. තවත් විටෙක ඒවා නොදැක ම, නොදැනීම අප ජීවන ගමන යන අවස්ථා ද නැත්තේ නොවේ. අතිශයින් දුර්ලභ අවස්ථාවක මේ අත්දැකීම් නෙත ගැටී පන්හිඳෙහි රැඳී, එකී පන්හිඳෙන් වඩාත් ඔපමට්ටම් වී හෘදයාංගම වෙමින් තවත් බොහෝ දෙනකුට ජීවිතාවබෝධය ලබා දෙන්නේ ය. මේ ජ්‍යෙෂ්ඨ නිර්මාණකරුවා අතින් බිහි වූ එවන් වූ අත්දැකීම් හා දැනුම් සම්භාරයක් එක් කළ කෘතිවල ගුණරුව වටින්නේ ඒ නිසාය.

ඊට අමතරව ඔහු අතින් තවත් නිර්මාණ කෘතියක් බිහිවෙන්නේ රසදෝත නමිනි. සාහිත්‍ය සේවනයේ හා නිර්මාණකරණයේ යම් ආභාසයක්, හැදෑරීමක් සහිත ඕනෑම අයකුට ඒ කෘතිය අත්පොතකි. ඔහු පවසන්නේ ද තම නිර්මාණ ජීවිතය ඇතුළත් රසදෝත කෘතිය සුවිසෙස් ස්ථානයක් ගන්නා බව ය. දශක හතක් පමණ තිස්සේ විටින් විට කියැවූ දෑ හි වන රන්සුනු වන් තැන් හේ තවත් එවන් දෑ එකතු කරන්නන් වෙනුවෙන් ලියා තබන්නේ රසදෝත හි ය. රසදෝත රසවිතක් වෙන්නේ එ් නිසා ය.

ලේඛනය හෝ නිර්මාණ කාර්යය තවත් එක් ශිල්ප ක්‍රමයක් පමණක් ද? නැතහොත් ජීවන මාර්ගයක් පමණක් ද? නිර්මාණයක ජීවය රඳා පවතින්නේ නිර්මාණකරුවා තම නිර්මාණයට අවංක වනතාක් පමණී. හෘදය සාක්ෂියේ ආමන්ත්‍රණය ආත්ම කථනයක් ව නිර්මාණය පුරා ජීව ගුණය විහිදුවන්නට නම්, නිර්මාණකරුවා නිර්මාණය හා ආත්මගතව බැඳිය යුත්තේ ය. සිය ළමා විය එකලු කළ දෑ විසින් බබළවන ලදුව ඒ බැබළීම තවකකුගේ සවිඥානිකත්වය වෙනුවෙන් ලියා තැබීමේ කෘතගුණය කුරුවිටබණ්ඩාරයන් ඉටු කරන්නේ අප ඇතුළු අනාගත පරපුර වෙනුවෙන් උපන් දයාවෙන් යුතු ව ය.

නිර්මාණකරුවන්ට සිය නිර්මාණ වස්තු බීජය පහළ වෙන්නේ කවර වේලාවක කුමන හේතුවක් නිසාදැයි කිසිවකුත් නොදනී. එය ඕනෑම දෙයක් නිසා ඇති විය හැක්කකි. ලොව මුළුමනින්ම අලුත් දේවල් නැත. ඒවා වරින්වර විවිධ ලෙසින් සිදු වෙයි; සිදු කරයි. මේවා වරින්වර විවිධ වේශයෙන්, විවිධ ක්‍රමවලින් නිර්මාණ සඳහා උපස්ථම්භක වන්නේ ය.

චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේ: මනමේ මුල්ගුරු නම් කෘතිය කුරුවිටබණ්ඩාරයන් ලියන්නේ සරච්චන්ද්‍රයන්ගේ මනමේ ඇතුළු නිර්මාණ සඳහා නිර්මාණකරණයෙන් දායක වූ නිර්මාණකරුවකුට සමාජීය සාධාරණය ඉටු කරනු වස් ය. සරච්චන්ද්‍රයන් පසුපස යෝධ සෙවණැල්ලක් ව චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේ සිටි බැව් නව පරපුර තියා පෙර පරපුරවත් හරියට දන්නේ නැත.

නිර්මාණකරුවකුට පාරම්පරික ඥානය ප්‍රතික්ෂේප කළ නොහැකි යැයි හේ විශ්වාස කරන්නේය. කොතෙක් නූතන සම්ප්‍රදා ඇති වුව ද පැරණි සම්ප්‍රදායේ ඇසුර හා ආලෝකය එයට එක්කරන ප්‍රභාව මහත් ය.

රසය හැම දෙනාට ම හඳුනාගත හැක්කක් නොවෙයි. එය විඳිනට හැක්කේ සහෘදයනයට පමණී. එනම් සමාන හදවත් ඇත්තන්ට පමණී. රසය දැනෙන්නකි; එය ස්වකීය ආලෝකයෙන් ම බැබළෙන්නකි. චමත්කාරය පැනෙන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. තිලකරත්න කුරුවිටබණ්ඩාර නිර්මාණකරුවා මේ සොයන්නේ සහෘදය හදවත් ය. ඒවා සුවපත් කිරීම තරම් අන් යමක් නොවටිනා බැව් ඔහු හොඳින් ම දනී. නව පරම්පරාවක අරුණලු විහිදෙනු බලා හැමෝට ම සතුටු විය නොහැකි ය. හේ නව පරම්පරාවකට පෙර පරම්පරාවේ සංස්කෘතික වටිනාකම් පිළිබඳ ලියා තබා සතුටක් විඳින්නේ ඒ නිසාය. තිලකරත්න කුරුවිටබණ්ඩාර නම් විසල් වෘක්ෂය ඇසුරේ මාධ්‍ය දිවියේ අතපොත් තැබූ මා ඇතුළු පරම්පරාවකගේ ආදරය හා ගෞරවය ද තිලකරත්න කුරුවිටබණ්ඩාර අභිසම්භාවනා උලෙළේ දී එතුමාට හිමි වෙනු නිසැකය. මේ වැනි උලෙළක් පැවැත්වීම ගැන ඔහුට ඇත්තේ උපේක්ෂාවකි. තමන් ගැන ගුණ වයමින් මමත්වයෙන් යුතු උලෙළක් ගැන අපේක්ෂාවක් ඔහුට නැත. ඒ ගැන කැමැත්තක් ද නැති බව මා හා පැවසූ කුරුවිටබණ්ඩාරයන් තමන් කළ කාර්යයන් ඒකරාශී කිරීමක් පමණක් මෙහි සිදුවෙන බැව් සංවිධායක මණ්ඩලය පැවසූ බැවින් මේ කාර්යයට අතහිත දීමට තීරණය කළ බව පැවසීය.

බොහෝ සාහිත්‍ය පොතපත කියැවීමෙන් පසුව ද, බොහෝ දේවල් ගැන ලිවීමෙන් පසුව ද දැනෙන්නේ, පසක් වන්නේ අපගේ ම අල්ප බව ය. කියවා ගන්නට කොතරම් නම් දේවල් ඉතිරි ව තිබේ ද? ලියා ඇති දේ මොනතරම් අල්ප ද? හරියට සංසාරය වගේ ම ය. සංසාරයේ අපි මේ ගෙවන මොහොත, මොනතරම් ස්වල්ප ද? එහි මුලත්, අගත් දෙක ම තිබේ නම් මොනතරම් අනන්ත ද? මේ සියල්ල දැනෙන්නේ බහුශ්‍රැත ඇසුර ලබන විට ය. සිය ජන්ම දිනය දා බුහුමන් ලබන කුරුවිටබණ්ඩාරයන් සමඟ කරන ලද සංලාපයෙන් පසු නික්ම එද්දී මට දැනුණේ එපමණකි.

Comments