හෙළ බස රැස වෙනුවෙන් දිවියම කැප කළ සුලවතාපී. ද ඇස්. කුලරත්න | සිළුමිණ

හෙළ බස රැස වෙනුවෙන් දිවියම කැප කළ සුලවතාපී. ද ඇස්. කුලරත්න

ත අහසේ ග්‍රහ ලෝකයක එළිය පෘථිවිය කරා ඒමට ඇතැම් විට ගණන් බැලිය නොහැකි තරම් කාලයක් ගත වන බව සත්‍යයකි. සමහර පුද්ගල ගුණ කදම්බ ද ජනයා අතර පතළ වීමට ඒ සා විසාල කාලයක් ගත වන බැව් අපි අත්දැකීමෙන් දනිමු. එහෙත් ඒ ගුණ සුවඳ විහිදෙන්නට පටන් ගත් පසු ඒ සුවඳින් සුවඳවත් වෙන්නේ සමස්ත පරිසරයම ය. ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ ස්වකීය ගුණ කදම්බය මනුෂ්‍ය වර්ගයාගේ යහපත වෙනුවෙන් ප්‍රදානය කරන්නේ මමත්වයේ සෑම බැම්මක්ම මුදා හරිමිනි. එවන් පුද්ගලයෝ සමස්ත මානව වර්ගයාගේම යහපත වෙනුවෙන් සිය මානසික කායික ශ්‍රමය කැප කරති. පී. ද. ඇස්. කුලරත්න චරිතය ද එවන් වූ ගුණ සුවඳ විහිදූ බොහෝදෙනකුට වනස්පතියක් වන් ව සෙවණ දුන් විරල ගණයේ බුද්ධිමතෙකි. ලෙහෙසියෙන් රජයේ පරිපාලන සේවයට හෝ නීතිඥ වෘත්තියට එකතු වීමට ඔහුට සිය අධ්‍යාපන සුදුසුකම් අනුව හැකි වුව ද අප පෙර කී ගුණ කදම්බය නිසාම ඔහුට හිත් දෙන්නේ අනාගත පරපුරක් හැදීමේ වගකීමට උර දිය යුතු බවෙකි. සුවපහසු හා සැපවත් ජීවිතයක් ගත කිරීමේ මාර්ගය පෙනි පෙනී ඔහු ජාතියේ ජීවනාලිය මනාව සමාජගත කිරීමේ වැදගත්කම වෙනුවෙන් කැප වෙන්නේ ඒ නිසා ය.

කොළඹ ආනන්දය ගැන සිහිපත් කරන කවරකුගේ හෝ මුවෙන් පී. ද. ඇස්. කුලරත්න නාමය නොකියවෙන්නේ නම් ඒ පුදුමයෙකි. හේ ආනන්දය හා ඒතරම්ම බැඳියාවකින් යුතු වූවෙකි. හේ ආනන්දයේ මුල් පුටුව හොබවන්නේ සිය දිවියට වයස අවුරුදු 25 පිරෙද්දී ය. 1918 ජනවාරී මාසයේ වැඩ භාරගන්නා ඔහුට ඒ වන විට ලැබුණු වැටුප රුපියල් 350කි. 1918 සිට 1943 දක්වා වූ කාලය මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ දිශානතිය වෙනස් කිරීමට උපස්ථම්භක වූයේ කුලරත්න සමයේ ආනන්දීය මඟ පෙන්වීම හේතුවෙනි. බෞද්ධ අධ්‍යාපනයේ වගකීම සිය ජීවිත වගකීමක් සේ ගත් ඔහු ආනන්දය දවසෙන් දවස වර්ධනය කළේ එවකට පැතිර තිබූ මිෂනාරී පාසල් ආධිපත්‍යයට අභියෝග කරමිනි. දස දෙසින් මිෂනාරී පාසල් වෙත ආධාර ගලා ආව ද ආනන්දය වැනි බෞද්ධ පාසලක් ගොඩනැංවීමට එසේ පහසුවෙන් ආධාර ලබා ගැනීමේ ක්‍රමවේදයක් එකල තිබුණේ නැත. යම්කිසි ආධිපත්‍යයම වටපිටාවක් වෙනස් කිරීමේදී ඇතිවන ගැටලුවල ස්වභාවය ගැන ඔබට මට අත්දැකීම් තිබේ. කුලරත්න විදුහල්පතිවරයාට දැනටත් වඩා සිය දහස් ගුණයකින් එවැනි කෙණහිලිකම් සේම නොතකා හැරීම්වලට ද ලක් වෙන්නට සිදු විය. එහෙත් ඉදිරියට තැබූ පය පසුපසට තබන්නට හේ කිසිවිටෙකත් සිතුවේ නැත. තාවකාලික පොල් අතු මඩුවල එකල පැවැත්වුණු ආනන්දයේ පන්ති කාමර වෙනුවෙන් ගොඩනැගිලි ඉදිකරන්නට හේ පෙරමුණ ගත්තේ දුටුගැමුණු අරමුදල නමින් අරමුදලක් හඳුන්වා දෙමිනි.

ආනන්දය පිහිටා තිබුණු පරිසරයට එකල කළු සුද්දෝ ආමන්ත්‍රණය කළේ මරිය කඩේ කියා ය. එහෙත් ඒ කිසිවකුට සැලුණේ කුලරත්න විදුහල්පතිවරයා නොවේ. සිංහල බෞද්ධ පාසලක් ඇරඹීමේ වැදගත්කම ගැන ධනවතුන්ට සේ ම කඩල විකුණන වෙළෙන්දන්ට ද, පදික වේදිකාවේ විවිධ දෑ විකුණා ජීවිත සරි කරගන්නා නිර්ධන පාන්තික හා මධ්‍යම පාන්තිකයන්ට ද හේ පැහැදිලි කළේය. මිෂනාරී පාසල් ආධිපත්‍ය එතෙර ආධාරවලින් ගොඩනැඟුණේ යම් සේ ද ඊට නොදෙවැනි ව ගමේ ගොඩේ බෞද්ධ ජනතාවගේ ආධාරයෙන් ආනන්දයේ ගොඩනැගිලි එකින් එක ඉදි වෙන්නට පටන් ගත්තේ ය. එතැනින් නොනැවතුණු කුලරත්න තරුණ විදුහල්පතිවරයා සිය සංකල්ප එකින් එක දියත් කළේ තම අරමුණ පොදු ජයග්‍රහණයක් බවට පත් කිරීමේ නොතිත් පෙලඹවීමෙනි. හේ ඉතිහාසයේ පළමු වරට සැණකෙලි පවත්වමින් මුදල් එකතු කළේ, සිය බෞද්ධ සිතිවිලි හා ගමන් මාර්ගයට කිසිදු අවැඩක මාත්‍රයක් හෝ නොවෙන පරිද්දෙන් සුරා සූදුවෙන් මිදෙමිනි. පාසලේ දරුවන් වෙස්සන්තර, දුටුගැමුණු වැනි නාට්‍යවල රඟපෑවේ අතිශය ආසාවෙනි. මෙකී සියලු කටයුතු සිදු කරන ලද්දේ ද විදුහලේ ම ගුරුවරුන්ගේ මූලිකත්වයෙනි. ජෝන් ද සිල්වා සූරීන්ගේ නාගානන්ද, දුටුගැමුණු, වෙස්සන්තර ආදි වේදිකා නාට්‍ය ප්‍රදර්ශනය කළේ ඔහුගේ කලාව ගැන තිබූ සෞන්දර්යවාදී ආදරය නිසා ය. “නාගානන්ද” නාට්‍යය ජෝන්ද සිල්වා සූරීන් ආනන්දය වෙනුවෙන්ම රචනා කළ බව පැ‍වසේ. කුලරත්න විදුහල්පතිවරයා ආනන්දයේ පුස්තකාලයේ දෙමළ අංශයට ආධාර ලබා ගැනීමේ අරමුණින් සර් පොන්නම්බලම් රාමනාදන් සහ එම මැතිනියගේ අනුග්‍රහයෙන් විද්‍යාලයේ දෙමළ ශිෂ්‍යයන් වෙනුවෙන් ලීලාවතී හා සුලෝචනා නාට්‍ය 1922 වර්ෂයේ වේදිකා ගත කළේය. ජී. පී. මලලසේකර, ජේ. එන්. ජිනේන්ද්‍රදාස, වී. පී. එස්. සිවගුරුනාදන්, එල්. එච්. මෙත්තානන්ද, ටී. බී. ජයා වැනි වියත් ගුරු මණ්ඩලයක් ඒ වකවානුවේ ආනන්දයේ සිටීම ම කුලරත්න විදුහල්පතිවරයාට මහඟු ශක්තියක් සම්පාදනය කළේ ය.

සිය කාර්යය සාධනය ගැන අදහස් දැක්වූ සටහනක් මා ඔබට උපුටා දක්වන්නේ ඔහු ගෙන ගිය කාර්යයේ චින්තනමය දැක්ම පෙන්නුම් කරනු වස් ය. ආනන්ද 75 වැනි සංවත්සරය නිමිත්තෙන් 1961 පළ කරන ලද ජයන්ති සඟරාවට “ආනන්දය ජාතික වස්තුවකි” යන මැයෙන් හේ ලියූ ලිපියක සඳහන් වන්නේ මෙවැන්නකි.

‘මා එදා ආනන්දයේ ප්‍රධාන ධූරය භාර ගත්තේ ආනන්දය උසස් තත්ත්වයකට ගෙන ඒමට පමණක් නොව අධ්‍යාපන වහල් භාවයෙන් බෞද්ධ දරුවා මුදා ගැනීමේ එකම පරමාර්ථයෙනි‘

එ් ලිපියෙන් ඔහු තවදුරටත් කියා සිටියේ තමාට පළමු කොට සිහි වන්නේ කර්නල් ඕල්කට් මැතිතුමාත්, එතුමා සමඟ එකට අත්වැල් බැඳ‍ගත් අප රටේ බෞද්ධ නායක ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා, ඩබ්ලිව්. ඒ. ද සිල්වා මැතිතුමා ආදි උතුමන් ද අප ගෞරවයෙන් සිහිපත් නොකර බැරි බවකි. 1922 ඔක්තෝබර් 10 වැනි දා පැවැත්වුණු ත්‍යාග ප්‍රදානෝත්සවය දිනය ද ආනන්ද ඉතිහාසයේ වැදගත් දිනයක් බවට පත්වෙන්නේ එහි මුලසුන හෙබ වූ විද්වතා නිසා ය. සිය චින්තනමය පුළුල් භාවයේ වන නිසර්ග පෙන්නුම් කිරීමට එය මනා නිදර්ශනයකි. ආසියාවේ නිර්මාණාත්මක හා මානවවාදී ලකුණ වෙන මහා කවි රබීන්ද්‍රනාත් තාගෝර්තුමාගේ පැමිණීම ආනන්දයට නොව මුළු මහත් ලංකාවේ ම ආඩම්බරයට හේතු කාරණයක් යැයි මා කිවහොත් ඔබ එකඟ වනු නිසැක ය. එපමණක් නොව ඉන්දීය ජාතික සටනේ නායකයන් වූ මහත්මා ගාන්ධි, රබීන්ද්‍රනාත් තාගෝර්, ජවහල්ලාල් නේරු සහ සරෝජිනි නායිදු, සී. රාජගෝපාල් ආදීන් ආනන්දයට පැමිණ දේශන පැවැත්වීම ද නොමැකෙන ලකුණු ය.

ගොඩනැගිලි ඉදිකරමින් ආනන්දයේ භෞතික චිරස්ථිතිය වෙනුවෙන් සිය ශ්‍රමය හා කාලය කැප කළ කුලරත්න විදුහල්පතිවරයා අනතුරුව සිය අවධානය යොමු කරන්නේ එහි සිය මුඛ්‍ය පරමාර්ථ්‍යය වන බෞද්ධ අධ්‍යාපන රටාව ස්ථාපිත කිරීම වෙනුවෙනි. ඒ වෙනුවෙන් කැප වෙන ඔහුට මහාචාර්ය ගුණපාල මලලසේකරගෙන් ලැබෙන්නේ මනා සහයෝගයකි. පාලි භාෂාව ආනන්දයේ ඉගැන්විය යුතුය යන කුලරත්න විදුහල්පතිගේ යෝජනාවට මහාචාර්ය ගුණපාල මලලසේකරයන්ගේ සහාය ලැබෙන්නේ එනිසා ය. එපමණක් නොව 1919 ඇරඹු භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් ඉංග්‍රීසි පන්ති ආරම්භ කිරීමට ඔහු පියවර ගත්තේය. පොල්වත්තේ බුද්ධදත්ත බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය, කිරුළපනේවිම, විල්දැමුණේ ධර්මකීර්ති, ගිංතොට භාරද්වාජ, දොඩන්දූවේ කල්‍යාණවංශ, කෙසෙල්වත්තේ ධම්මරතන ආදී භික්ෂුන් වහන්සේලා මේ පන්තිවලට සහභාගී වූ බව වාර්තා වේ.

ලංකාවේ පිරුවෙන් අධ්‍යාපනයෙන් බිහි වූ පාණ්ඩිත්‍යයෙන් අගතැන්පත් බෞද්ධ භික්ෂුන්වහන්සේට විධිමත් ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබා දීමෙන් බුදු දහම ජාත්‍යන්තරව ප්‍රචලිත කිරීමේ අවශ්‍යතාව වටහා ගත් ඔහු තෝරා ගත් භික්ෂුන් වහන්සේ පිරිසකට ආනන්ද විද්‍යාලයේ ඉංග්‍රීසි ඉගැන්වීමට වැඩපිළිවෙළක් ආරම්භ කෙළේය. එසේ තෝරා ගත් භික්ෂූන් වහන්සේ ආනන්ද විද්‍යාලයේ සිසුන්ට සිංහල, පාලි, සංස්කෘත යන විෂයන් ඉගැන්වීමට යොමු කෙරුණු බැවින් එමඟින් සිදු වුණු ශාස්ත්‍රාභිවෘද්ධිය අප්‍රමාණය. මේ අතරම සිංහල සිසුන්ට දෙමළ භාෂාව ඉගෙන ගැනීමට සැලැස්වීමෙන් සහ දෙමළ, මුස්ලිම් සිසුන්ට සිංහල භාෂාව ඉගෙන ගැනීමට සැලැස්වීමෙන් ජාතීන් අතර අවබෝධය සහ සුහදත්වය වර්ධනය වීමට අවශ්‍ය ප්‍රායෝගික පසුබිම නිර්මාණය කිරීම කුලරත්න විදුහල්පතිවරයාගේ දූරදර්ශී චින්තනය මූර්තිමත් කරන්නකි.

කුලරත්න විදුහල්පති සමයේ බිහි වූ දක්ෂතම සිසුන් අතර පසුකාලීන ව දේශපාලන ක්ෂේත්‍රයේ නොමැකෙන ලකුණක් තැබූ කිහිපදෙනෙක් වෙයි. ඒ අතර ඇන්. ඇම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන, රොබට් ගුණවර්ධන, ටී.බී. සුබසිංහ, අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල ආදී නම් සඳහන් කළ යුතුම ඒවා ය.

ආනන්දයෙන් බිහිවූවෝ දිගින් දිගට ම තම දස්කම් පෙන්වමින් රජය මඟින් පිරිනැමුණු ශිෂ්‍යත්ව දිනා ගැනීමට ද සමත් වූහ. පෙරදිග භාෂා පිළිබඳ රජයේ ශිෂ්‍යත්වය 1929 ඊ. ඩබ්ලිව්. අදිකාරම් විසින් ද 1933 ඇන්. ඩී. ඒ. ද. ඒ. විජේසේකර විසින් ද ඉංජිනේරු විද්‍යාව පිළිබඳ රජයේ ශිෂ්‍යත්වය පී.බී. එෆ්. විජේරත්නට සහ ඩී.ජී. දයාරත්නට හිමි වන්නේ ඒ අනුව ය.

ආනන්දය ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් ද ජයකෙහෙළි නංවන්නට පාර කැපෙන්නේ ද කුලරත්න සමයේ ය. 1925 කුලරත්න සමයේ ආනන්ද ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වූයේ ඇන්. ඇම්. පෙරේරා ය. මේ කාලයේ ආනන්දය ක්‍රිකට් තරග රැසකින්ම ජය ලබා ඇත. ආනන්ද ක්‍රිකට් කණ්ඩායම පළමුවන පන්තියේ ක්‍රිකට් කණ්ඩයමක් බවට දියුණු වූයේ මේ අවුරුද්දෙන් පසුව ය. විශිෂ්ටතම කැඩෙට් කණ්ඩායම හිමි වන ‘හර්මන් ලුස්’ කුසලානය පළමුවරට ආනන්දය දිනා ගන්නේ ද මේ සමයෙහි ය. බොක්සිං ශූරතාව සඳහා පිරිනැමෙන අභියෝග පලිහ පළමුවරට දිනා ගැනීම හා ආනන්දයේ ශිෂ්‍යයකු වර්ෂයේ හොඳම රයිෆල් ඉලක්කකරු වීම ද මතක ඉතිහාස සංධිස්ථාන ය. මේ සියල්ල පිටුපස සිටි යෝද සෙවණැල්ල පී. ද. ඇස්. කුලරත්න නාමයයි. සිය අරමුණ වූ මිෂනාරී ආධිපත්‍යයෙන් මිදුණු බෞද්ධ පාසල් සංස්කෘතියක් ඇති කිරීමේ අරමුණු සාධනයට එහා ගිය ප්‍රතිඵල සාධනයක් ඔහු උදාකර ගන්නේ ඒ අයුරෙනි.

බෞද්ධ අධ්‍යාපන කේන්ද්‍රයක් බවට පත් වීමේ ලා ප්‍රමුඛ කාර්යභාරයේදී හේ ජාතීන් අතර සංහිඳියාවේ මාවත ද විවෘත කළ බවට වන ප්‍රසිද්ධ කතාවක් තිබේ. එවකට සිළුමිණ ප්‍රධාන කතු පදවිය දැරූ කොළඹ යුගයේ ප්‍රකට කවියකු වූ මීමන ප්‍රේමතිලක 1956 මාර්තු 25 වැනිදා සිළුමිණ පුවත්පතට ඔහු මුහුණදුන් මේ කතාව ලියා තිබේ. දරුවන් සිය මිත්‍ර සගයන් හා සබඳතා පැවැත්වීමේදී එහි වටිනාම පාඩම කුලරත්න විදුහල්පතිවරයා දරුවන්ට කියා දෙන්නේ ප්‍රායෝගිකව ය. මීමන තමන් සමඟ ආරවුල ඇති කර ගත් මිතුරාට කතා කර ඇත්තේ දෙමළා කියා ය. දෙමළ සිසුවා මේ ගැන කුලරත්න විදුහල්පතිවරයාට පැමිණිලි කර තිබේ. කුලරත්න විදුහල්පතිවරයා දෙදෙනාම තම කාර්යාලයට ගෙන්වූයේ ය.

“යුෂ්මතා මේ ළමයාට නරක වචනයෙන් බැන්නලු. ඒක සත්‍යයක්ද” කුලරත්න විදුහල්පතිවරයා මීමනගෙන් ඇසීය.

මීමන ගත් කටටම නැහැ යැයි කියා තිබේ.

එහෙනම්, මේ කියන්නේ තමා නරක වචනයෙන් බැන්නා කියලා කුලරත්න විදුහල්පතිතුමා නැවත අනෙක් දරුවාගෙන් අසා තිබේ.

මම නරක වචනයෙන් බැන වැදුණේ නැහැ. මා ඔහුට ‘දෙමළා’ කිව්වා... ඒ මීමනගේ හඬයි.

“දෙමළා කියල ද බැන්නේ” කුලරත්න මහතා දෙමළ ශිෂ්‍යයාගෙන් ඇසුවේය.

ශිෂ්‍යයා පවසා ඇත්තේ එසේය කියාය.

ඒක සුළු වැඩක්. යුෂ්මතාට කේන්ති ආවාම ඔහුට සිංහලයා කියන්න. දැන් දෙන්නම පන්තියට යන්න... ඒ කුලරත්න විදුහල්පතිවරයාගේ ප්‍රති වචනයයි.

සංහිඳියාව සේම සමානාත්මතාව පිළිබඳ මහා දැනුමක් ප්‍රායෝගිකව එකී සිසුන් දෙදෙනාට ම විදුහල්පති කුලරත්න ලබා දෙන්නේ එලෙසිනි. මානව සම්පත දූරදර්ශී චින්තනමය අරමුණක් වෙනුවෙන් ඒකරාශී කිරීම කෙතරම් ආයෝජනයක් ද යන්නට පී. ද. ඇස්. කුලරත්න නාමය සනිදර්ශනයකි.

පැට්‍රික් ද සිල්වා කුලරත්න උපත සිදුවූයේ 1893 මාර්තු මස 31 වෙනි දින අම්බලන්ගොඩට නුදුරු විලේගොඩදීය. පවුලේ බාල දරුවා වන්නේ ඔහු ය. පියා සෙල්ලකපු දොන් අයිසෙක් ද සිල්වා ය. මව පින්නදූව හේව ඇලොංචිහාමි ය. පුංචි පැට්‍රික්ට සිය මව අහිමි වෙන්නේ අවුරුදු දෙක පිරෙද්දී ය. මවගේ බාල සහෝදරියකගේ සෙවණේ හැදී වැඩෙන ඔහු මූලික අධ්‍යාපනය ලබන්නේ පටබැඳිමුල්ලේ පාඨශාලාවෙනි. අනතුරුව ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීම සඳහා අම්බලන්ගොඩ ‌බෞද්ධ ඉංග්‍රීසි පාඨශාලාවට ඇතුළත් කෙරුණු අතර, 1906 වර්ෂයේ ජනවාරි මස ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට ඇතුළත් වීමට අවකාශ විවර වීම ඔහුගේ ජීවිතයේ සංධිස්ථානයකි. එකල කුඩා පැට්‍රික් ගණිතය උගත්තේ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර ගුරුවරයා ගෙනි. හෙතෙම 1907 වර්ෂයේ කේම්බ්‍රිජ් ජූනියර් විභාගයෙන් අංක ගණිතය සහ ගණිතය යන විෂයයන් සඳහා විශිෂ්ට සාමර්ථ්‍යය ලබා ගත්තේ ය. 1909 වර්ෂයේදී කේම්බ්‍රිජ් සීනියර් විභාගයට පෙනී සිට 1910 වර්ෂයේදී ගණිතය විෂය සඳහා දිවයිනේ දක්ෂතම ශිෂ්‍යයාට පිරිනැමෙන ලංකා ගණිත ත්‍යාගය දිනා ගැනීමට පැට්‍රික් සමත් විය. 1912 වර්ෂයේ කොළඹ වෙස්ලි විද්‍යාලයට ඇතුළත්ව කලා විෂයයන්ගෙන් උසස් සාමර්ථ්‍යය සඳහා පිරිනැමෙන රජයේ ශිෂ්‍යත්වයක් ලැබූ පැට්‍රික්ට, 1913 වර්ෂයේ එංගලන්තයේ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය සඳහා අවස්ථාව උදා විණි. 1915 වර්ෂයේදී ශාස්තුවේදී (B.A.) උපාධියද 1916 වර්ෂයේදී විද්‍යාවේදී (B.Sc) උපාධියද ප්‍රථම පන්ති සාමාර්ථ්‍යය සහිතව සමත්ව 1916 වර්ෂයේදී ලන්ඩනයේ මිඩ්ල් ටෙම්පල් විද්‍යායතනයෙන් නීතිවේදී (LLB) උපාධියද ලැබ ගැනීමට තරම් හේ අධ්‍යාපනයේ ජයකෙහෙළි නැංවූවකු විය. 1918 දී ලංකාවට ආ හේ ඩබ්ලිව්. ආතර් ද සිල්වාගේ ඇරැයුමෙන් කොළඹ ආනන්දයේ විදුහල්පති ධූරය භාර ගනිමින් ලංකාවේ අධ්‍යාපනයේ දිශානතිය වෙනස් කිරීමට මූලිකත්වය ගන්නේ ය.

1943 වර්ෂයේ ආනන්ද විද්‍යාලයාධිපති තනතුරෙන් විශ්‍රාම ගත් කුලරත්න නාමය ආනන්දයේ පමණක් නොව තව බොහෝ පාසල්හි අභිවෘද්ධිය ඉදිරියේ ලියැවෙන්නකි. මෙරට අධ්‍යාපනයේ දේශීයත්වය ආරක්ෂා කර ගනිමින් ජාතික හා අන්තර්ජාතික මට්ටමේ අධ්‍යාපන ගමන් මඟකට පෙරමං සැකසූ ඔහුගේ නාමය අමරණීය වෙන්නේ ඒ නිසා ය.

සිය රට ජාතිය රැක ගැනීම හා එහි චිරස්ථිතිය වෙනුවෙන් දේශපාලන ක්ෂේත්‍රයට අවතීර්ණ වීම සප්‍රයෝජනවත් වනු ඇතැයි හේ සිතුවේය ය. ඔහු 1942 වසරේ ජුනි 13 වෙනි දින රාජ්‍ය මන්ත්‍රණ සභාවේ බළපිටිය අසුන සඳහා අතුරු මැතිවරණයක් පවත්වන ලද්දේ බලපිටිය රාජ්‍ය මන්ත්‍රීවරයා වූ රාජනීතිඥ ශ්‍රීමත් ප්‍රැන්සිස් ද සොයිසාගේ අභාවයෙන් හිස්වූ මන්ත්‍රී පදවිය සඳහාය.මෙම මැතිවරණයට ඉදිරිපත් වූ කුලරත්න ඡන්ද 17260ක් ලබාගෙන බලපිටියේ රාජ්‍ය මන්ත්‍රීවරයා බවට පත් වුණේය. 1946 වසරේදී එක්සත් ජාතික පක්ෂය පිහිටුවන විටදී එහි ආරම්භක සාමාජිකයකු වූ ඔහු, 1960 මාර්තු මහා මැතිවරණයේදී අම්බලන්ගොඩ ආසනය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදී පරාජයට පත්විණි. ඒ වසරේම ජූලි මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් අම්බලන්ගොඩට තරග කළ හෙතෙම ඇමතිවරයකු වශයෙන් කලක් කටයුතු කළේය. පී. එච්. විලියම් ද සිල්වා පරදවා ඡන්ද 10034ක් ලබා ගනිමින් අම්බලන්ගොඩ මන්ත්‍රීවරයා වශයෙන් මැති සබයට පිවිසීමට ඔහුට හැකියාව ලැබිණි. 1965 වන විට එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අම්බලන්ගොඩට තරග වැදුණු ඔහු පරාජයට පත්විණි. එයින් පසු දේශපාලනයෙන් සමුගත් පී. ද ඇස්. කුලරත්න ග්‍රන්ථකරණයට යොමු විණි. පාසල් ළමුන්ට ගණිතය උගෙනුම සඳහා ඔහු ලියූ රත්න ගණිතය පොත් පෙළ එකල වැදගත් අධ්‍යාපනික ග්‍රන්ථ සමුච්ඡයක් විය. ඔහු සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ ද සභාපති පදවිය දැරූ අතර, ඊට පෙර කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සංගමයේ පාඨශාලා සමාන්‍යධිකාරි පදවිය හෙබවූයේය.

ජීවිතයේ පරමාර්ථය කුමක් දැයි යමෙක් ප්‍රශ්න කරන්නේ නම් ඒ සඳහා දිය යුතු හොඳම පිළිතුර දී ඇත්තේ ක්‍රිෂ්ණමූර්තිතුමන් ය. ක්‍රිෂ්ණමූර්ති කියන්නේ ජීවත්වීමේ එකම අරමුණ මරණින් මතු ද ජීවත්වීම කියා ය. එහෙත් මරණින් මතු නම ලියැවෙන පුද්ගලයෝ අල්පය. බොහෝ දෙනෙක් බලෙන් නම ලියවා ගන්නට උත්සාහ ගත්ත ද එය තීරණය කරන්නේ ඉතිහාසය විසිනි. එනයින් බලන කල පී. ද ඇස්. කුලරත්න නාමය කෙතරම් අමරණීය ද යන්න ගැන අටුවා ටීකා ලිවිය යුතු නැත.

Comments