සියලු ප්‍රාර්ථනා ඉටුවන රතන සූත්‍ර | Page 2 | සිළුමිණ

සියලු ප්‍රාර්ථනා ඉටුවන රතන සූත්‍ර

ආරක්ෂා බන්ධනය

21ක් හෝ 108 වාරයක් පිරිත් කර ගැනීම ඉතා සුදුසුයි

පාඨක ඔබ වෙත අප අද ඉදිරිපත් කරනු ලබන්නෙ ආරක්ෂක පිරිත් සූත්‍ර දේශනා අතර මෙලොව ඇති උතුම්ම ආරක්ෂක පිරිත වන රතනසූත්‍ර දේශනාවට ඇතුළත් අති උතුම් රතන සූත්‍ර ආරක්ෂක බන්ධනයයි. තෙරුවන් ගුණ ඇතුළත් මිහිපිට ඇති උතුම්ම ආරක්ෂක පිරිත රතන සූත්‍ර දේශනාව බව නොරහසකි.

එනමුත් මෙම ආරක්ෂක බන්ධනය පරම දුර්ලභ දෙයකි. මේ තුළින් ලැබෙන අසීමිත ප්‍රතිඵල ලබා ගැනීමට නම් මෙය භාවිත කරන ඔබ මුලින්ම කායික හා මානසික පාරිශුද්ධ භාවය ඇතිකර ගත යුතුය. කායික පාරිශුද්ධ භාවය යනු සීලාචාර පැවතුම්ය. එනම් ප්‍රාණඝාතය, සොරකම වැරදි කාම සේවනය යන කායික දුශ්චරිතයෙන් වැළකිය යුතුය. වාග් දුශ්චරිතය යනු බොරු කීම, කේළම් කීම, පරුෂ වචන හා හිස් වචන කීමයි. මෙයින්ද වැළකී යහපත් වචන කතා කිරීමෙන් සුචරිතවත් අයකු වන්න. මෙය උතුම් ශීලයයි. මෙම උතුම් රතන සූත්‍ර බන්ධනය සඳහා නිවසේ හෝ ආයතනයේ එදිනෙදා තෙරුවන් වඳින ස්ථානය ඉතාමත් සුදුසු වේ. නැවුම් මැටි බඳුනකට (අලුත් මැටි මුට්ටියක් හෝ කුඩා කළගෙඩියක්) හත් වතාවක් පෙරා ගත් පිරිසිදු පැන් දමා සමන් පිච්ච හෝ වෙනත් සුදුසු මල් කීපයක් එයට දමා බුද්ධ වන්දනාව කරන ස්ථානයේ සුදුසු තැනක එය තැන්පත් කරන්න.

ඔබ පන්සිල් සමාදන් වී තෙරුවන් වන්දනා කර වෙනත් දිනවල පවත්වන පූජාවන් එලෙසම පවත්වා සුපුරුදු වන්දනාව නිමවා ශ්‍රී විෂ්ණු දේව රාජයාණන් ප්‍රධාන දෙවි දේවතාවුන්ට පින් දෙන්න. ඉන් අනතුරුව එකඟ වූ සිතින් යුතුව මෙම උතුම් රතන සූත්‍ර දේශනාව එක් වතාවක් සජ්ඣායනා කර මෙහි පහත සඳහන් උතුම් රතන සූත්‍ර බන්ධනයද එක් වතාවක් කියවා හැකි දින ගණනාවක් එලෙස පැන් පිරිත් කරගන්න. 21 වාරයක් හෝ 108 වාරයක් පිරිත් කරගත හොත් ඉතා බලවත් වේ.

මෙසේ පිරිත් කළ පැන් හිමිදිරි පාන්දරක උදෑසන 6.00ට පෙර තම නිවසේ මැද සාලය සහ සියලු කාමරවලද නිවස පිහිටි භූමියේ ද පැන් ස්වල්පය බැගින් ඉසින්න. තමන්ගේ ව්‍යාපාරික ස්ථානය, ව්‍යාපාරික වාහන කිසිම කලඑළියක් නොමැති පාළු වූ ගෙවල් සහ ඉඩම්, විකුණාගත නොහැකි ගෙවල් ආදී සෑම තැනකම මෙම පැන් ඉස දමන්න. ජන ශූන්‍ය හා කිසිදු සංවර්ධනයක් හෝ කලඑළියක් නොමැති දායක පින්වතුන් හා ස්වාමින් වහන්සේ අතර නිතර ගැටුම් ඇතිවන විහාරස්ථාන හා ආරාම සෞභාග්‍යවත් භාවයට පත්කර ගැනීම සඳහා මෙම උතුම් රතන සූත්‍ර බන්ධනයෙන් ප්‍රබල ආශිර්වාදයක් සහ ශාන්තියක් සිදුකර ගත හැකි බැවින් එය වෙනම කටයුත්තක් නිසා ලිඛිතව වෙනම පුවත්පත මඟින් විමසන්න.

ඔබට දිනකට හැකි වාර ගණනක් මෙය පිරිත් කර ගත හැකි අතර රතන සූත්‍රය අවසන් කරන හැම අවස්ථාවකම මෙම රතන සූත්‍ර බන්ධනය කියවිය යුතුය. තමන්ට හෝ තමා සතු දෙයකට සෙත් පතන්නේ නම් ‘තෙ‘ යනුවෙන් යොදන තැනට ‘මෙ‘ යනුවෙන් යෙදිය යුතුය. වෙනත් අයෙකුට හෝ දෙයකට සෙත් පතන්නේනම් ‘තෙ‘ යනුවෙන් යොදන්න. සුව නොවන බරපතළ රෝගීන් සදහා පිරිත් කරන ලද පැන් වරින්වර බීමට දෙන්න.

මෙම කටයුතු සිදු කිරීමෙදී නිර්මාංශ වීමට හැකි නම් ඉතා උතුම්ය. තම දෑස් ඉදිරිපිට මෙහි සත්‍ය බලය දකිමින් මෙම උතුම් රතන සූත්‍ර බන්ධනය අප වෙත ලබා දුන් බෝධිසත්ව ගුණෝපේත නා උයනේ අරියධම්ම ස්වාමින් වහන්සේට පැතූ ලොවු තුරා බුදු බව ලැබේවා. තෙරුවන් සරණයි!

ආරක්ෂා බන්ධනය

එතෙන සච්ච වජ්ජෙන දුක්ඛා වූපසමෙන්තු මෙ (තෙ)

එතෙන සච්ච වජ්ජෙන භයා වූපසමෙන්තු මෙ (තෙ)

එතෙන සච්ච වජ්ජෙන රොගා වූපසමෙන්තු මෙ (තෙ)

එතෙන සච්ච වජ්ජෙන ආයු තෙ අභිවඩ්ඪතු

එතෙන සච්ච වජ්ජෙන වණ්ණො තෙ අභිවඩ්ඪතු

එතෙන සච්ච වජ්ජෙන සුඛං තෙ අභිවඩ්ඪතු

එතෙන සච්ච වජ්ජෙන බලං තෙ අභිවඩ්ඪතු

එතෙන සච්ච වජ්ජෙන පඤ්ඤා තෙ අභිවඩ්ඪතු

එතෙන සච්ච වජ්ජෙන ආරොග්‍යං තෙ අභිවඩ්ඪතු

 

එතෙන සච්ච වජ්ජෙන ඉමස්මිඤ්ච ඝරස්මිං ඉමස්මිං ඝර වත්ථුස්මිං භික්ඛුණං භික්ඛුණිං උපාසකානං උපාසිකානං නේවාසිකානං අප්පියා අමනාපා අනත්ථකාමා අභිතකාමා අයොගක්ඛෙම කාමා අඵාසුක කාමා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාපටිපන්නා පිළිබොධ කාරකා යෙ තෙ භූතා පිසාචා කුම්භාණ්ඩා යක්ඛා පෙතා භෙරවා අමනුසා චොරා ආගුචරිනො පාප මිත්තා දීඝ ජාතිනො සිරිංසපා ඩංසා මකසා මංකුණා මූසිකා ඝරගොලිකා කුන්ථකි පිල්ලාකා කුක්කුර සුනඛා බිළාර මූසිකා සතපදී උණ්ණිනහි අපාද දිපාද චතුප්පාද බහුප්පාදා. තෙපි සබ්බෙජි ආරෝගා හොත්තු, අබ්‍යාපජ්ඣා අනීසා චිරං දීඝමද්ධානං සුඛී අත්තානං පරිපරන්තු.

තථාපි තෙ ඉම්මහා ච ඝරම්හා ඉමම්හාච ඝාරචත්ථුම්හා පටික්කමන්තු දූරේ වසන්තු මා පුනරාගමිංසු එතෙන සච්ච වජ්ජේන රක්ඛං බන්ධාම සබ්බසො.

 

වාරියපොළ කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජ මහා විහාරාධිකාරී,නේපාලයේ ලුම්බිණි නුවර නේපාල ශ්‍රී ලංකා මහා විහාරයේ භාරකාර විහාරාධිපති, සම්මානිත ආචාර්ය පූජ්‍යපාද

ගල්ලැහැපිටියේ පේමරතන ස්වාමීන් වහන්සේ

(කොළඹගම පොඩි හාමුදුරුවෝ )

Comments