ඩියර් කස්ටමර්...! | සිළුමිණ

ඩියර් කස්ටමර්...!

මගේ නේවාසික කුටියේ ජනෙල් වීදුරුවට පතිත වුණු නෑඹුල් හිරු කිරණ තවත් දවසක් උදා වූ බව කියා පෑවේය.

"ටක්...ටක්...ටක්..."

සුවිසල් තානායම් ඉඩමේම කෙළවරකට වන්නට පිහිටි තානායම් කළමනාකරු නිල නිවෙසේ දොරට තට්ටු කරනා එම නාදයෙන් සංකේතවත් වන්නේ වේටර් අමල් මාගේ උදෑසන තේ කෝප්පය රැගෙන විත් ඇති බවයි.

"ඔව්.. ඔව්.. ගුඩ් මෝනින් අමල්.. ඉතින් මොනවද අලුත්ම ආරංචි"

තේ කෝප්පය අතට ගත් සැණින් මා විමසන පැනය අමල්ට සුපුරුදුය.

"අවුලක් නෑ සර්... ඊයෙ රෑ වේටර් නිශාන්තගේ බර්ත්ඩේ පාටිය රෑ දෙක විතර වෙනතුරු නැඟල ගියා... කට්ටිය කන් කෙඳිරි ගානකොට බාර් කීපර් ඩිල්ෂාන් අයියා ගබඩාව ඇරලා අද උදේම ගෙනැත් දෙන පොරොන්දුව පිට ණයට තවත් බෝතලයක් කට්ටියට දුන්නා... දන්න බවක් අඟවන්න එපා සර්.. බලමු ඩිල්ෂාන් අයියා සර්ට ඒ බව කියනවද කියලා.."

ආයතනවල විවිධ මාදිලියේ පුද්ගලයෝ සේවය කරති. මේ එයින් එක් මාදිලියකි.

"ඒ වගේම සර්... තානායමේ රෙදි හෝදන ලොන්ඩරිය මේ සැරේ කන්ට්‍රෑක්ට් එක අරගනිපු විමලෙ අයියා එක්ක නම් ඉස්සරහට සර්ට වැඩ කරන්න ටිකක් අමාරු වෙයි වගේ... මොකද මිනිහා මුලදි අපි ඇහුවම කීවෙ බැංකුවෙ වැඩ කරන මහත්තුරු දෙතුන් දෙනෙක්ගෙ ගෙදර රෙදිත් තානායමට ගෙනැත් හෝදලා දීලා කීයක් හරි අමතර සොයාගන්නවය කියලයි. ඉතින් පහුගිය දවස්වල පොඩි පොඩි ඇඳුම් කෑලි හත අටක් සෝදලා අපේ රෙදි වැලේම වනලා වේළා ගත්තා. ඒත් දැන් රෙදි හෝදන ළිඳ පැත්තට ගිහින් බලන්න එපායැ සර් වැඩේ... ප්‍රයිවට් ලොන්ඩ්‍රි සර්විස් එකක වගේ ළිඳ ගාව පොඩියට වෙනම තැනක් කොටු කරගෙන.. අලුතින් රෙදි වැලවල් බැඳලා, නානාප්‍රකාර සාය හැට්ටයි, පෑන්ටි, බ්‍රෙසියර්, ඩෙනිම්, ටීෂර්ට් යි තොග පිටින් සෝදලා වනලා තියෙන අපූරුව.."

වේටර් අමල් මා දෙස බලා සිටින්නේ ඔහු පවසන තොරතුරු ඔහු මට පිළිගැන්වූ උදෑසන තේ කෝප්පය තරමටම රසවත් යැයි මගෙන් පිළිබිඹු වන තුරුය.

"හැබැයි සර් වඳින්නම්.. මම කිව්වය කියන්න එපා.. විමලෙයා..ඒ යකා ගමේ මිනිහා, මගේ ඇට කුඩු කරයි..."

අමල්ගේ ප්‍රකාශවල සත්‍ය අසත්‍යතාව වහා විමසිය යුතුය. එහෙත් මා මෙලෙස කේලම් අසා සිත දූෂ්‍ය කර ගන්නේ එක වචනයකින් අමල් නිහඬ කළ නොහැකිව නොවේ.

ආයතන කළමනාකරණයේදී සේවකයන්ට "අහු නොවුණත්" අහුවුණු බවක් පෙන්විය යුතු අවස්ථා තිබේ. කේලම් නෑසුවත් අසනා බවක් පෙන්විය යුතු අවස්ථා ද එලෙසින්ම ඇත.

සේවකයන්ගේ ඇතුළාන්තය ඔවුනොවුන් තුළින්ම පිටතට ශ්‍රාවය වන්නේ නම් කිසිදු පාලකයකු පමණ ඉක්මවා සම්ප්‍රදායික විය යුතු නැත.

"ඒ වගේමයි සර්... අපිට අන්නාසි ගේන අර ගම්පහ පැත්තෙ ලොරිය ආවාමත් සිකුරිටිට පොඩ්ඩක් ඒ පැත්ත රවුමක් කැරකිලා බලන්න කියන්න...ස්ටෝ කීපර් මහත්තයට වැඩිය කිචන් පැන්ට්‍රියේ වැඩ කරන සමරෙයා තමයි අන්නාසි කාරයා එක්ක කදේ දාගෙන ඉන්නේ...පෙරේදා අන්නාසි ලොරිය ආව වෙලාවෙත් මම දැක්කා සමරෙයා ලොරි කාරයාටයි ගෝලයාටයි කෑම පාර්සල් දෙකකුත් පැක් කරලා දුන්නා. අනවශ්‍ය වැඩ නේ සර්... ඉතිරි කෑම ඩස්බින් දානවට වඩා කවුරු හරි කන එක හොඳයි තමයි.. නමුත් සර්.. කවුද දන්නේ සමරෙයා ඒ පැක් කරලා දෙන්නේ මොනවද කියලා.. ඒකට හිලව්වට අන්නාසි කාරයා මොන වගේ සම්තින් එකක් සමරෙයට දෙනවද කියලා..?"

මගේ මුවින් සුසුමක් ගිලිහුණි.

කෑම බීම සමඟ රාජකාරිය කන්තෝරුවක රාජකාරිය මෙන් සරල නැත.

දැන් මා මෙම කතිකාවෙන් අදට ගැලවිය යුතුය. අද තානායමෙන් දිවා ආහාර පාර්සල් අසූවක ඇණවුමක් දීමට ඇත.

අමල්ගෙන් නිදහස් වූ මා නාන කාමරයට යාමට සූදානම් වෙද්දී නැවතත් දොරට තට්ටු කරනා හඬ ඇසුණි.

එවර දොර ඉදිරියේ සිටගෙන සිටින්නේ වේටර් රුවන් ය.

"සර් මම බලාගෙන හිටියේ අපේ අමල් සර් එක්ක ගොඩක් වෙලා කතා කර කර ඉන්නවා."

රුවන්ගේ මුහුණේ පිළිබිඹුව තිබෙන්නේ කිසියම් කනස්සල්ලක ශේෂයකි.

"නෑ සර්.. ගිය මාසෙත් මම නිවාඩු අරගන්න පෙරුම් පුරාගෙන ඉන්නකොට අමල් මේ වගේම සර්ට කුටු කුටු ගාලා නිවාඩු අරන් පැන්නා. ඒක නෙමෙයි සර්.. මම ලොකු උදවුවක් ඉල්ලන්නයි සර් ආවේ."

රුවන්ගේ මුහුණේ අඳුර පලා ගොස් කටහඬ මුදු මොළොක් රිද්මයට අනුගත විය.

" මේ සැරේ ආරංචියක් ඇවිත් තියෙනවා සර් පොළොන්නරුව පැත්තෙන්.. පොඩි ඉස්පිරිතාලෙක රහසෙම දරුවා හම්බවෙන්න... කසාද තාත්තෙක් නැති අම්මා කෙනෙක් ක්ලිනික් එනවය කියලා. ඉතින් හෙට අනිද්දම මමයි වයිෆුයි ඒ බඩදරු අම්මගේ පුංචි අම්මාව හමුවෙන්න ගිහින් ගනුදෙනුව කථා කරගන්නයි සර් ඉන්නේ.."

"පුංචි අම්මා..?"

"..ඔව් සර්.. ඒ පුංචි අම්මා සවුදිවල වැඩ කරද්දි එයාගෙ මහත්තයගෙ බාල මල්ලිගෙන්ලු දරුවා බඩට ඇවිත් තියෙන්නේ..කසාදත් නොබැඳපු කෙල්ලක් නිසා දරුවා ලැබුණාම ෂේප් එකේ කාට හරි දීලා දාලා කෙල්ල සවුදි පැන ගන්නලු ඉන්නේ.. ෆුල් ට්‍රයි එකක් දෙනවා සර්.. කලින් පාරවල් වගේ නැතිව වැඩේ ගොඩ දාගන්නයි බලන්නේ.."

වේටර් රුවන් දිගු සුසුමක් හෙළුවේය.

විවාහ වී වසර පහළොවක් ගත වුවද තවමත් දරු සම්පතක් නොමැති රුවන්ගේ දාරක ප්‍රේමය වෙනුවෙන් මගේ හදවත සලිත වූ පළමු අවස්ථාව මෙය නොවේ.

දරුවකු දරුකමට හදාගෙන පිය පදවිය සපුරා ගන්නට කාලයක් තිස්සේ විවිධ පළාත්වලින් ලැබෙනා දරු පණිවුඩ සොයා ගිය අපේ රුවන් හට බොහෝ අනුවේදනීය අත් දැකීම් රැසක් අත් විඳින්නට සිදුවී තිබුණි.

"ඉතින් සර්.. අපේ තානායමට අර නිතර ආව ගිය මෙහේ ග්‍රාමීය රෝහලේ ඩී.ඇම්.ඕ මහත්තයා.. දැන් පොළොන්නරුව දිස්ත්‍රික්කෙ රෝහලකටනේ මාරු වෙලා ගිහින් ඉන්නේ..

අන්න ඒ දොස්තර මහත්තයා සර්ගේ හොඳම යාළුවෙක් නිසා අපි පොඩි කෝල් එකක් ගහලා බලමුද සර්.. අපිට පොඩි ගැම්මක් ගන්න පුළුවන් වෙයිද කියලා... එතකොට අපිට පුළුවනි ඒ සර්ගෙ සපෝට් එක තියෙන ඉස්පිරිතාලෙකට ඇඩ්මිට් වෙලා ඩිලිවරිය කරගන්න.."

මා වහා දුරකතනය අතට ගතිමි.

"..හිතවත් පාරිභෝගිකය.."

"..ෂ්..ෂ්.. ෂිහ්.."

බිල්පත නොගෙවීමෙන් දෝ මාගේ ජංගම දුරකතනය විසන්ධි කොට තිබේ.

දැන් මා කළ යුත්තේ කුමක්ද?

වේටර් රුවන් හට ඒ බව පැවසුවහොත් දරුවකු අරන් හදා ගැනීමට යන මෙවර ගමන ද පළමු පියවරේදීම බාධා වූවා නොවේ දැයි ඔහු සිත පාරවා ගනීවිද?

එකවර කිසිවක් සිතාගත නොහැකි වූ මා නැවත නැවතත් රීඩයල් බොත්තම තෙරපුවෙමි.

රන්ජන් ගාමිණී ජයවර්ධන

Comments