සැනසීම සොයා ආමීර් ඛාන් භාවනාවට යොමු වෙයි | සිළුමිණ

සැනසීම සොයා ආමීර් ඛාන් භාවනාවට යොමු වෙයි

බොලිවුඩ් සිනමාවේ සුපිරි නළු ආමීර් ඛාන් භාවනා කිරීම සඳහා නේපාලයේ විපස්සනා භාවනා මධ්‍යස්ථානයකට ගොස් ඇති බව පසුගිය දා මාධ්‍ය වාර්තා කර තිබුණා. මෙම විපස්සනා භාවනා මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ නේපාලයේ බුධනිල්කාන්ත නම් ප්‍රදේශයේ යි. එය නේපාලයේ අගනුවර වන කත්මන්ඩු නුවර සිට කි. මී. 12 ක් පමණ දුරින් පිහිටා ඇති ඉතා මනරම් කඳුකර ප්‍රදේශයක් බවයි සඳහන් වන්නේ. ඉහත කී භාවනා මධ්‍යස්ථානය නේපාලයේ පිහිටි ප්‍රධානම භාවනා මධ්‍යස්ථානයක් ලෙසත් සැලකෙනවා. 

ආමීර් මෙම විපස්සනා භාවනා මධ්‍යස්ථානයට ගොස් තිබුණේ දින 11ක භාවනා වැඩසටහනකට සහභාගි වීම සඳහායි. මෙම වැඩසටහනට සහභාගි වීම සඳහා ආමීර් එහි පැමිණි බව එම මධ්‍යස්ථානයේ නිලධාරියකු ද මාධ්‍ය වෙත තහවුරු කර තිබුණා. ‘ඔව්, දින 11ක භාවනා වැඩසටහනකට සහභාගි වීම සඳහා ඔහු මෙහි පැමිණියා. ගුවන්තොටුපළේ සිට කෙළින්ම බුධනිල්කාන්ත වෙත පැමිණි ආමීර් අනතුරුව භාවනා වැඩසටහනේ කටයුතු ආරම්භ කළා’ යයි ඔහු සඳහන් කර තිබුණා.

පසුගිය කාලයේ ආමීර්ට ජීවිතයේ යම් යම් අනපේක්‍ෂිත සිදුවීම්වලට මුහුණ දෙන්නට සිදු වූ බව රහසක් නොවෙයි. ඔහු බොහෝ බලාපොරොත්තු තබාගෙන නිෂ්පාදනය කළ ‘ලාල් සිං චද්දා’ නමැති චිත්‍රපටය සිතූ තරම් සාර්ථකත්වයක් අත් කර ගැනීමට අසමත් වීම ආමීර් තුළ විශාල අපේක්‍ෂා භංගත්වයක් ඇති කළ බවක් දැකිය හැකි වුණා. එය ආදායම් අතින් ද අසාර්ථක වූ අතර විචාරකයන්ගෙන් ද එතරම් යහපත් ප්‍රතිචාරයක් ඊට ලැබුණේ නැහැ. පසුගිය දා අවසන් වූ ඉන්දියාවේ ජනප්‍රියම සිනමා සම්මාන උලෙළ වන ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙළේ දීත් එයට අවධානයක් හිමි වුණේ නැහැ. එහි ප්‍රධාන කාන්තා චරිතය නිරූපණය කළ කරීනා කපූර් පමණක් සම්මානයකට නිර්දේශ වී තිබුණා. ඒ හොඳම නිළිය සම්මානය සඳහායි. නමුත් එම සම්මානය හිමි වූයේ ජනප්‍රිය නිළි ආලියා භාත්ටයි. ඒ ‘ගංගුබායි කාතියාවාදි’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්. ‘ලාල් සිං චද්දා’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ ආමීර් ඛාන් හොඳම නළුවා සම්මානයට නිර්දේශ වූයේවත් නැහැ.

‘ලාල් සිං චද්දා’ චිත්‍රපටය කලකට පෙර නිර්මාණය වූ ත්‍දරරුිඑ ඨමපච නමැති හොලිවුඩ් සිනමාපටය ඇසුරෙන් නිර්මාණය වූවක්. සුප්‍රකට නළු ටොම් හෑන්ක්ස් ප්‍රධාන චරිතය රඟපෑ එය අතිශයින් ජනප්‍රිය වූ අතර ඔස්කාර් සම්මාන ද දිනාගත්තා. හෑන්ක්ස් ද හොඳම නළුවා ලෙස ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබුවා.

‘ලාල් සිං චද්දා’ චිත්‍රපටයට කලින් ආමීර් රඟ පෑ ‘ඔයමටි දf ්‍යසබාදිඒබ ’ චිත්‍රපටයත් සාර්ථක වුණේ නැහැ. 2018 වසරේ තිරගත වූ මෙම සිනමාපටය සිනමා විචාරකයන්ගේ දැඩි විවේචනවලට ලක් වුණා.

තම චිත්‍රපට මේ ආකාරයෙන් අසාර්ථක වීම ආමීර් තුළ යම් කම්පනයක් ඇති කළ බවක් දැකිය හැකි වුණා. ‘ලාල් සිං චද්දා’ චිත්‍රපටයෙන් පසු ඔහු පැවසුවේ තමා ටික කලකට රංගනයෙන් ඉවත්වන බවයි. ඔහු එයින් පසු කිසිදු අලුත් චිත්‍රපටයක් භාර ගත්තේ නැහැ. රංගනයෙන් විරාමයක් ගැනීම ගැන සඳහන් කරමින් ඔහු මෙසේ පැවසුවා. ‘චිත්‍රපටයක රඟපාන්න ගත්තම මම සම්පූර්ණයෙන්ම ඒකට කැප වෙනවා. අන් සියල්ල අමතක කරනවා. එතකොට මගේ ජීවිතයේ වෙන කිසිවක් සිදු වන්නේ නැහැ. ලාල් සිං චද්දාගෙන් පසුවත් මා චිත්‍රපටයක රඟපෑමට නියමිතව සිටියා. එය ඉතා අපූරු කතා පුවතක් රැගත්, හැඟීම්බර, සුන්දර සිනමාපටයක්. නමුත් මම මේ වෙලාවේ පොඩි විවේකයක් ගත යුතු යැයි මට හිතෙනවා. මගේ පවුලේ අය, මගේ දරුවන්, මගේ මව සමඟ කාලය ගත කළ යුතු යැයි මට හිතුණා.

‘යම් විවේකයක් අරගෙන ඔවුන් සමඟ කල් ගෙවීමටත්, ජීවිතය වෙනස් ආකාරයකින් අත්විඳීමටත් සුදුසු කාලය මෙය යැයි මා සිතනවා. තව අවුරුද්දක්, එකහමාරක් විතර යන තෙක් මම නළුවකු ලෙස වැඩ කරන එකක් නැහැ’ ආමීර් පවසා තිබුණා.

පසුගිය කාලයේ ආමීර්ට එරෙහිව ඉන්දියාවේ ඇතැම් අන්තවාදී හින්දු ආගමික කණ්ඩායම්වලින් ද විරෝධතා එල්ල වුණා. මුස්ලිම් ජනතාවට එරෙහිව මෙම අන්තවාදීන් දියත් කළ ඇතැම් ප්‍රචණ්ඩ ක්‍රියාවලට එරෙහිව ආමීර් අදහස් දැක්වීම ඊට හේතු වූ බවයි පෙනුණේ. මෙම ප්‍රචණ්ඩ ක්‍රියා හෙළා දැකීමට නරේන්‍ද්‍ර මෝදිගේ රජය ප්‍රමාද වීම ගැනත් ඔහු විවේචනාත්මකව අදහස් දැක්වූවා. පවුල පිටින් ඉන්දියාව අතහැර යමු යැයි එවකට ඔහුගේ බිරිඳ වූ කිරන් රාඕ යෝජනා කළ බවකුත් ආමීර් වරක් සඳහන් කළා. මෙම තත්ත්වය තුළ ඉන්දියාවේ ඇතැම් හින්දුවාදීන් ඔහු හැඳින්වූයේ ඉන්දියානු විරෝධී පුද්ගලයකු ලෙස යි. ඔහුගේ ‘ලාල් සිං චද්දා’ චිත්‍රපටය තිරගත වූ කාලයේ ඊට එරෙහිව ද සමාජ මාධ්‍ය තුළ විවිධ ප්‍රහාර එල්ල වූ අතර චිත්‍රපටය වර්ජනය කරන ලෙසත් ඇතැමුන් ඉල්ලා සිටියා.

මේ සියල්ල ආමීර් තුළ යම් කනස්සල්ලක්, මානසික පීඩනයක් ඇති කරන්නට ඇතැයි සිතිය හැකියි. එය එසේ නම් භාවනාව තුළින් යම් සහනයක් ලබා ගන්නට ඔහු අදහස් කළා වන්නටත් පිළිවන්.

Comments