චේගේ ඉරණම තීන්දු කළ ජෙනරාල් ගැරීගේ අන්තිම ගමන | සිළුමිණ

චේගේ ඉරණම තීන්දු කළ ජෙනරාල් ගැරීගේ අන්තිම ගමන

මරිකාවට අවශ්‍ය ආකාරයේ පාලනයක් ගෙන ගිය කියුබාව නිදහස් රටක් බවට පත් කිරීමට ෆිදෙල් කස්ත්‍රෝ සමඟ එක්ව ඓතිහාසික විප්ලවයට උර දුන් කොමියුනිස්ට් විප්ලවවාදී ‘චේ’ ගේ ඉරණම තීන්දු කරමින් ඔහු අත්අඩංගුවට ගත් එවකට බොලීවියානු හමුදාවේ කපිතාන්වරයකුව සිටි ගැරී ප්‍රාදෝ සල්මොන් ජීවිතක්ෂයට පත්වූයේ ඊයේ පෙරේදාය. 

චේ ගුවේරා අත්අඩංගුවට ගැනීමෙන් පසු බොලිීවියාවේ රජයට වීරයකු වූ ගැරී ප්‍රාදෝ පසුකාලීනව ජෙනරාල් නිලයට පවා උසස් වීමක් ලැබූ අතර, රජයේ තානාපති තනතුරු රැසක් ද අත්කර ගත්තේය. එහෙත් ඔහුගේ අවසන් කාලය අතිශය දුක්බර එකකි. මිය යන විට 84 හැවිරිදි වියෙහි පසු වූ ජෙනරාල් ගැරී සිය ජීවිතයෙන් හරි අඩක්ම ගත කළේ රෝද පුටුවකය. 1988දී හමුදා ජීවිතයෙන් සමුගැනීමට වසර 7කට පෙර ඔහු රෝද පුටුවට වැටුණේ අත්වැරදීමකින් ඔහුගේ කශේරුකාවට වෙඩි පහරක් වැදීම නිසාය. වසර 42ක් වැනි තරුණ වියේදීම ආබාධිතයකු බවට පත්වූ ‍ෙජනරාල් ගැරීගේ ජීවිතයේ සැඳෑ සමය ගෙවී ගියේ එහෙම පිටින්ම චේ ගුවේරාගේ මතක සටහන් සමඟිනි. චේ ගුවේරා අත්අඩංගුවට ගැනීමෙන් එවකට බොලීවියානු රජයට වීරයකු වූවද, ජෙනරාල් ගැරී ජනතාව අතර නම් ද්‍රෝහියකු බවට පත්වී සිටියේය. තම රට වෙනුවෙන් දිවිපිදූ ආජන්ටිනා ජාතික විප්ලවවාදියාගේ ඝාතනය පිළිබඳ ලක්ෂ සංඛ්‍යාත බොලීවියානු ජනතාව සිටියේ ඇමරිකානු හිතවාදී රජයටත්, ඔහු අත්අඩංගුවට ගත් ගැරී ප්‍රාදෝටත් දෙස් දෙවොල් තබමිනි. සෑම වසරකදීම චේ ගේ උපන්දින දවසේ ආජන්ටිනාවේ, කියුබාවේ පමණක් නොව බොලීවියාවේ ද අනුස්මරණ උත්සව ගණනාවක් පැවැති අතර, ඒ සෑම අවස්ථාවක්ම ගැරී ප්‍රාදෝට අතිශය වේදනාත්මක අත්දැකීමක් වූ බවට සහතිකය.

පසුකාලීනව දක්ෂිණාංශික රජය බිඳ වැටී කොමියුනිස්ට් හිතවාදී රජයක් බිහිවීමෙන් පසු. ‍ෙජනරාල් ගැරී ප්‍රාදෝ රජයටත් ද්‍රෝහියකු බවට පත්ව සිටි අතර, ඔහු 2009දී එවකට සිටි ජනාධිපති ඉවෝ මොරාලස්ට එරෙහිව හමුදා කුමන්ත්‍රණයක් සිදු කළ බවටත් චෝදනා එල්ල වී තිබිණි.

පසුගියදා ලා පාස් නුවර පැවැති ඔහුගේ අවසන් කටයුතු සඳහා රජයේ කිසිදු නියෝජිතයකු හෝ හමුදා නිලධාරියකු හෝ සහභාගි නොවූ බවත් වාර්තා විය. 1967 වසරේදී ජාතික වීරයකු ලෙස රජය මඟින් ප්‍රකාශයට පත් කළ ගැරී ප්‍රාදෝගේ අභාවය සම්බන්ධයෙන් එරට වත්මන් රජය කිසිදු නිවේදනයක් පවා නිකුත් නොකළ අතර, ඔහු මිහිදන් වූයේ සාමාන්‍ය මිනිසකු ලෙසිනි.

හදිසි අනතුරට ලක්වී රෝද පුටුවට වැටීමෙන් පසු ජෙනරාල් ගැරී ජීවත් වූයේ චේ ගුවේරාගේ මතකය සමඟය. අසහාය විප්ලවවාදියා අත්අඩංගුවට ගත් ආකාරය පිළිබඳ මෙන්ම තම හමුදා ජීවිතය පිළිබඳ ඔහු පොත් කිහිපයක් ද ලියා පළ කර තිබිණි. එහෙත් ඒ කිසිදු කෘතියකට හෝ චේ ගුවේරාගේ අනුස්මරණ උත්සව තරම් වැදගත්කමක් බොලිීවියානු ජනතාවගෙන් නම් නොලැබිණි.

චේ ගුවේරා අත්අඩංගුවට පත් වූයේ 1959 කියුබානු විප්ලවයෙන් අමෙරිකාවේ රූකඩයක් වූ ජනාධිපති ෆුල්ගෙන්සියෝ බැටිස්ටාගේ රජය පෙරළා දැමීමෙන් පසු සිය විප්ලව සගයා වූ කස්ත්‍රෝගේ සෙවණ යට රජයේ වරප්‍රසාද භුක්ති විඳිමින් සුවපහසු ජීවිතයක් ගත් කිරීමට තිබුණු අවස්ථාව පසෙක ලා බොලීවියාවේ ජනතාවට නිදහස ලබා දීමේ අරගලයක නිරතව සිටියදීය. එම සිදුවීම යළි අලුත් වූයේ පසුගියදා ගැරී ප්‍රාදෝගේ අභාවයත් සමඟය. අතීතයේ වැළලී ගිය විප්ලවකාරි මතක සටහන් රැසක් ඉස්මතු වූයේ ඉගෙන ගත හැකි පාඩම් ගණනාවක් ඉතිහාසයේ ඇති බව ලොව හමුවේ කියා පාමිනි.

චේ අත්අඩංගුවට පත්වීම සහ ඝාතනයට ලක් වීම එහෙම පිටින්ම අමෙරිකාවේ සීඅයිඒ මෙහෙයුමක් බව ප්‍රසිද්ධ රහසකි. එය සිදු වූයේ ඇමරිකාව සහ එවකට සෝවියට් රුසියාව අතර පැවැති සීතල යුද්ධයේ තවත් එක් ප්‍රතිඵලයක් හැටියටය. සෝවියට් රුසියාවේ දේශපාලන බලපෑම් මත ඒ වන විට ලතින් ඇමරිකානු රටවල් පුරා හමා ගිය කොමියුනිස්ට් විප්ලව රැල්ල ඇමරිකාවට දැඩි හිසරදයක්ව තිබූ අතර, කියුබානු විප්ලවය සිදුවීම සහ චේ ගුවේරාගේ නැඟී සිටීම එය දෙගුණ තෙගුණ කර තිබිණි. සීඅයිඒ සංවිධානය චේ පසුපස හඹා යමින් ඔහු කොටු කරගැනීමට හෝ ඝාතනය කිරීමට දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කරනු ලැබුවේ ඒ අනුවය. එය 1959 කියුබානු විප්ලවයේ සිට 1967 අසාර්ථක බොලීවියානු විප්ලවය දක්වා ඇදී ගිය දීර්ඝ කාලීන හඹා යෑමකි.

එවකට ඇමරිකානු හිතවාදී දක්ෂිණාංශික හමුදා රජයක් යටතේ පාලනය වූ බොලීවියාවේ ජනාධිපතිවරයා වූයේ ජෙනරාල් රෙනේ බැරින්ටොස්ය. ඔහු ජනපති ධුරයට පත්වූයේ 1964දී සිදුවූ හමුදා කුමන්ත්‍රණයකිනි. එබැවින් චේ අත්අඩංගුවට ගත් ගැරී ප්‍රාදෝ සල්මොන් ද රජයේ රූකඩයක් බවට පත්වී සිටියේය. එබැවින් චේ බොලීවියානු විප්ලවයකට මුල පිරීම සීඅයිඒ සංවිධානයට සිය ඉලක්කය කරා යෑමට වාසිදායක තත්ත්වයක් නිර්මාණය වී තිබිණි. 

බොලීවියාවේ විප්ලවයට නායකත්වය දීමට චේ බොලීවියාවට පැමිණියේ බ්‍රසීලයේ සිටය. ඔහු බොලිවියාවට පා තැබූ මොහොතේදිම සීඅයිඒ සංවිධානයට එය වාර්තා වී තිබූ අතර, කියුබානු විප්ලවය සාර්ථක කර ගැනීම නිසා ඇ‍ෙමරිකාවට ඉතා ඉක්මනින් චේ ඝාතනය කිරීමේ අවශ්‍යතාව තදින්ම දැනී තිබිණි. උරුගුවේ ජාතික ව්‍යාපාරිකයකු මෙන් වෙස්වලා ගෙන ව්‍යාජ නමකට සකස් කළ ගමන් බලපත්‍රයකින් බොලීවීයාවට පැමිණි චේ අනතුරුව ලා පාස් නගරයේ සිට කිලෝමීටර් 800කට වඩා දුරින් පිහිටි ඝන වනාන්තරයකදී සිය විප්ලවවාදී කණ්ඩායම පුහුණු කිරීම ආරම්භ කර තිබිණි. එහෙත් ඊට මාස 11කට පසු චේ පිළිබඳ ලොවට අසන්නට ලැබුණේ කිසිවකු අපේක්ෂා නොකළ ඉතා කනගාටුදායක කතා පුවත ය.

අවුරුදු 39ක් වැනි කෙටි ආයු කාලයකින් පසු ජීවිතයෙන් සමුගත් චේ අත්අඩංගුවට පත් වූයේ 1967 ඔක්තෝබර් මස 8 වැනිදාය. එවකට බොලීවියානු හමුදා රජයට වීරයකු වූද, ජනතාවට ද්‍රෝහියකු වූ ද ජෙනරාල් ගැරී ප්‍රාදෝ එම සිදුවීම ලියා තැබුවේ මෙලෙසිනි.

“ඔක්තෝබර් 8 වැනිදා මගේ සෙබළුන් යුරෝ පළාතේ මෙහෙයුම් කටයුතුවල නිරතව සිටියා. එදා දවල් පුද්ගලයන් දෙදෙනකු අල්ලා ගත්තා කියලා ඔවුන් කෑගැසුවා. මම ඔවුන් වෙත දිව ගියා. එක් පුද්ගලයකුගේ නම විලී. අනිකා චේ ගුවේරා කියලයි කිව්වේ. ඒ වෙද්දී රජයට එරෙහි අරගලයට චේ ගුවේරා නමින් පුද්ගලයන් සිවුදෙනකු පමණ එක්වී සිටි බවයි අපිට වාර්තා වෙලා තිබුණේ. ඒ නිසා මට ඔහු හරියටම හඳුනා ගැනීමට සිදුවී තිබුණා. ඔබේ දකුණත පෙන්වන්න කියා මා ඔහුට කිව්වා. මොකද මට වාර්තා වූ තොරතුරුවලට අනුව චේ ගේ දකුණතේ තුවාල කැළලක් තිබෙනවා. සැබැවින්ම ඒ තුවාල කැළල ඔහුගේ දකුණතේ තිබුණා. නමුත් ඡායාරූපවල අපි දැකලා තිබුණු ආකාරයේ රූපයක් නෙවෙයි ඔහුට තිබුණේ. ඔහුගේ මුහුණ ඉතා දුක්ඛිත පෙනුමක් ගත්තා. කිලිටි, දුර්ගන්ධය හමන ඇඳුමින් සැරැසී සිටියා. ඔහු මාස ගණනාවක් තිස්සේ වනාන්තරයේ සැරිසැරූ බවක් පෙනෙන්නට තිබුණා. දිගට වැවුණු හිසකේ ඉතා අපිරිසුදුයි. ඒ වගේම ඒවා ගැට ගැසී තිබුණා. ඔහුගේ දිගට වැවුණු රැවුල පෙනුණේ පඳුරක් වගෙයි. ඔහු බොත්තම් නැති නිල් පැහැති කබායක් හැඳ සිටියා. ඔහුගේ හිස්වැස්ම අපවිත්‍රවී තිබුණා. ඔහු සපත්තු පැලඳ සිටියේ නෑ. ඔහුගේ දෙපා සතුන් සමඟ පොරබැඳීමෙන් තුවාලවී තිබුණා. ඔහු පැලඳ සිටි මේස් අපිළිවෙළයි. එකක් නිල්පාටයි. අනික රතු පාටයි. මහපාරේ සිඟමන් යදින්නකුගේ පෙනුමක් සැබැවින්ම ඔහුට තිබුණේ. ඔහු අත ඇලුමිනියම් භාජනයක් තිබුණා. එහි බිත්තර 6ක්. ඒ කියන්නේ ඔහු ගම්වැසියන් සමඟ ගැවැසී ඇති බවයි.

චේ ගේ දකුණු පාදයේ කලවා පෙදෙස තුවාල වී තිබුණා. එය මගේ සෙබළුන් තැබූ වෙඩි පහරකින් ඇතිවූ තුවාලයක්. ඔහු සම්පූර්ණයෙන්ම අධෛර්යට පත්වී සිටි බවක් පෙනුණා. ඔහුගේ සගයන් සියලු දෙනාම වගේ ඒ වෙද්දි මිය ගොස් තිබූ නිසා චේ සිටියේ නොසතුටකිනුයි. මේ තමාගේ අවසානය බව ඔහුට දැනෙන්නට ඇති.”

“මේක තමයි අවසානය කැප්ටන්.” මම ඔහුට එසේ කිව්වා.

“දැන් ඔබ අපේ සිරකරුවෙක්..”

ඔහු මගෙන් වතුර ඉල්ලා සිටියා. ඔහු අත ප්ලාස්ටික් වතුර බෝතලයක් තිබුණත් එය පාවිච්චි කිරීමට මම ඉඩ දුන්නේ නෑ. මේ මිනිසා වස පානය කොට ජීවිතය නැති කරගනීවි කියා මට බයක් දැනුණා. ඒ නිසා මා මගේ වතුර බෝතලයෙන් ඔහුට බීමට දුන්නා. මා සතු සිගරට් කිහිපයකුත් දුන්නා. ඔහු සතුව තිබූ සියලු දේ මා සන්තකයට ගත්තා. එහි ඔහුගේ දිනපොත් කිහිපයක් සමඟ මුදලුත් තිබුණා. ඔහු අත පිස්තෝලයක් තිබුණත් එහි උණ්ඩ තිබුණේ නෑ. ඒ කියන්නේ ඔහු ඒ මොහොතේ නිරායුධවයි සිටියේ.

චේ සතුව රොලැක්ස් වර්ගයේ අත් ඔරලෝසු දෙකක් තිබුණා. ඉන් එකක් ඔහු පැලඳ සිටි අතර, අනික තිබුණේ ඔහුගේ සාක්කුවේ. එය ඊට දින කිහිපයකට පෙර මියගිය ඔහුගේ ගරිල්ලා සගයකුගේ බව ඔහු මට කිව්වා. ඒවා පිදෙල් කැස්ත්‍රෝ තමාට හා තම සගයන්ට සමුගැනීමේ තෑගි හැටියට දුන් ඒවා බවයි කිව්වේ. 

එදින පස්වරුවේ 5ට පමණ මා මගේ හමුදා ප්‍රධානින්ට චේ අල්ලා ගත් බව වාර්තා කළා. තුවාල ලැබූ චේ ඇතුළු සිරකරුවන් ලා හිගුවේරා වෙත ගෙන ගියා. එය වනාන්තරයට කිලෝමීටර් 2ක් ඈතින් පිහිටා තිබූ ස්ථානයක්. අපි රාත්‍රිය ගත කළේ එහිදියි. එය නිවාස 20ක් පමණ ඇති කුඩා ගම්මානයක්. චේට ඇවිදීමට නොහැකි නිසා මගේ සෙබළුන් ඔහු වාරුකරගෙන රැගෙන ගියා. සිරකරුවන් රැගෙන යාමට අප අසලට පැමිණ සිටි ගැමියන් අපට උදවු කළා. ගරිල්ලා සටන්කාමීන් සමඟ යුද වැදුණු අපිට නිරන්තරයෙන්ම ගැමියන්ගේ උදව් උපකාර ලැබුණා. ඔවුන් විශ්වාස කළා අපි අපේ රට සටන්කාමීන්ගෙන් බේරා ගැනීමට යුද්ධ කළ බවට.

එදා රාත්‍රීයේ ඒ ගම්මානයේ කුඩා පාසලක චේ ඇතුළු සිරකරුවන් අප රඳවා තැබුවා. එක් පන්ති කාමරයක විලී සහ මියගිය අනිත් සටන්කාමීන්ගේ සිරුරු තැබුවා. චේ වෙනත් කාමරයකයි තැබුවේ. සිරකරුවන් දෙදෙනාටම අපි ආහාරපාන ලබාදුන්නා. අල සහ බත්. කෝපි සහ සිගරට් පවා දුන්නා. එදා රාත්‍රියේ මා නිදි වර්ජිතවයි සිටියේ. රාත්‍රියේදී අවස්ථා අටකදී පමණ මා චේ සමඟ කතා කරන්නට උත්සාහ කළා. ඔහුට වුවමනා වුණේ මීළඟට සිදු වන්නේ කුමක් දැයි දැන ගැනීමටයි. ඔහු සියලු තොරතුරු අපෙන් සඟවන්න උත්සාහ කළා. කිසිවකු පාවා නොදීමට තරම් ඔහු පරෙස්සම් වුණා.

අපි දෙදෙනාම ඒ මොහොතේ උදාවී ඇති තත්ත්වය අවබෝධ කර ගැනීමටයි උත්සාහ කළේ.

“ඇයි ඔබ බොලීවියාවට ආවේ..?” මා ඔහුගෙන් විමසා සිටියා. ඔහු පිළිතුරු දුන්නේ නෑ.

“ඔබ ඇයි මෙහේ ආවේ..?” මා නැවතත් අසා සිටියා.

“මේක මගේ තීරණයක් විතරක් නෙවෙයි. ඉහළින් ගත්තු තීරණයක් නිසයි මං මෙහේ ආවේ.” ඔහු කියා සිටියා.

“ඉහළින්..ඒ කියන්නේ ෆිදෙල් ද..?” මා අසා සිටියා. අපි දෙන්නා කියුබානු විප්ලවය ගැන කතා කළා. 

“ඔබ අමෙරිකානුවන්ගෙන් පුහුණුව ලැබූ කෙනෙක්” ඔහු කිව්වා.

“ඔව්...ඔබ රුසියාවෙන් පුහුණුව ලැබූ කෙනෙක්” මා කිව්වා.

“අපි දෙන්නම ලොව බලවතුන්ගේ රූකඩ..” එසේ මා කී දෙයට ඔහු එකඟ වුණා.

පසුදින අංක අටේ සේනාංකයේ අණදෙන නිලධාරී කර්නල් සෙන්ටිනෝ හෙලිකොප්ටරයක් මඟින් පැමිණ සිටියා. මා ඔහුට වාර්තාවක් සමඟ චේ ඇතුළු සිරකරුවන් දෙදෙනා භාර දුන්නා. සෙන්ටිනෝ සමඟ සී.අයි.ඒ. නියෝජිත ෆීලික්ස් රොඩ්රිගස් පැමිණ සිටියා. එදින මා ලා හිගුවේරා ගම්මානයෙන් පිටත්ව ගියේ තවත් ගරිල්ලා සටන්කාමීන් පිරිසක් සොයන මෙහෙයුමකටයි. චේ මියගොස් ඇති බව දැන ගත්තේ සටන්කාමීන් පිරිසක් අල්ලාගෙන නැවත පැමිණීමෙන් පසුවයි. ඔහු මරා දැමූ බව මගේ සේනාංකයේ අණදෙන නිලධාරී මේජර් අයෝරෝවා මට දන්වා සිටියා. එදින පස්වරු 1.30ට පමණ චේ ගේ සිරුර හෙලිකොප්ටරයක් මඟින් රැගෙන ගියා. එය තමා අවසන් වතාවට මා ඔහු දුටුවේ. චේට වෙඩි තබා තිබුණේ මරියෝ ටෙරාන් විසිනුයි. ඒ සිදුවීම පසුව ඔහු මට විස්තර කළා.

එවකට බොලීවියානු ජනාධිපතිවරයා චේ මරා දමන ලෙස නියෝග කිරීමෙන් පසුව ඒ සඳහා සෙබළුකු තෝරා ගැනීමට සිදුවී තිබු බවයි ටෙරාන් කීවේ. කර්නල් සෙන්ටිනෝගේ නියෝගයකට අනුව ටෙරාන් සහ තවත් සෙබළුකු තෝරාගෙන තිබුණා. සෙබළුන් දෙදෙනා පාසල් කාමර දෙකට යවා තිබුණා. ටෙරාන් ගියේ චේ සිටි කාමරයටයි. අනිකා ගියේ විලී සිටි කාමරයටයි. ඔවුන්ගේ වෙඩි තැබීම ඉතා වේගයෙන් සිදු වූවක්. ටෙරාන් මට කීවේ එක් වෙඩි පහරකින්ම චේගේ ප්‍රාණය නිරුද්ධ වූ බවයි. චේ එලෙස මෙලොව හැර ගියේ කිසිම කතාවකින් තොරවයි. කිසිම සමුගැනීමකින් තොරවයි.” ජෙනරාල් ගැරී ප්‍රාදෝ අතීත සිදුවීම එසේ සඳහන් කර තිබිණි. 

සන්නිවේදන ජාලය එතරම් ව්‍යාප්ත වී නොතිබූ බැවින් චේ ගේ මරණය ලෝකය පුරා පැතිර ගියේ ඉතා මන්දගාමීවය. ඇතැමුන්ට එය ආරංචි වුණේ සෑහෙන කාලයකට පසුවය. කොටින්ම 1997දී චේ ගේ මළ සිරුරේ කොටස් හමුවනතුරු ඔහු වළ දැම්මේ කොතැනද කියා කවුරුවත් දැන සිටියේ නැත. සැබැවින්ම මරණය ඔහුට නැවත ජිවිතයක් ගෙන දී තිබිණි. චේ ජීවමාන චරිතයක් බවට පත්විය. ජීවත්ව සිටියදී ඔහු ගැන නොදැන සිටි අය පවා මරණයෙන් පසුව චේ ගැන කතා කිරීමට පටන් ගත්තේය.

හමුදාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ජෙනරාල් ගැරී ප්‍රාදෝ විසින් ලියන ලද ‘How I Captured Che’ කෘතියෙන් මෙන්ම වරින් වර මාධ්‍ය සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවලින් ද චේ ගුවේරා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නිදහසට කරුණු දක්වා තිබුණේ තවදුරටත් අවලාද අසා සිටීමට නොහැකි බැවිනි. ඔහු පුන පුනා සඳහන් කර ඇත්තේ විප්ලවවාදී සුන්දර මිනිසාගේ ඝාතනයට තමා වගකිව යුතු නැති බවය.

“ඒක සිද්ධ වුණේ රජයේ ඉහළ මට්ටමේ නියෝග මතයි. මට ඒ ගැන කරන්න කිසිම දෙයක් තිබුණේ නෑ. චේ අදාළ නිලධාරින්ට භාර දුන්නට පස්සේ මම ඉතිරි කැරැලිකරුවන් සොයා නැවත මෙහෙයුම් ආරම්භ කළා. මම ආපහු කෑම්ප් එකට එද්දී හැමදේම සිද්ධ වෙලා ඉවරයි” ජෙනරාල් ගැරී එසේ කීවද චේ ගේ විප්ලවයට එක්වී සිටි 120ක කණ්ඩායමෙන් 98 දෙනකුම ඝාතනය කිරීමට මූලිකත්වය ගත් බව කියන ඇ‍ෙමරිකාවේ හමුදා පුහුණුව ලැබූ මේ අසංවේදී මිනිසාට බොලීවියානු ජනතාවගෙන් මිය යනතුරුම සමාවක් ලැබුණේ නැත.

ෆවුස් මොහොමඩ්

Comments