ලංකාවේ ක්‍රිකට් වනසන්න ඔස්ට්‍රේලියාවෙන් ආ ටයිපිස්ට් සුද්දා | සිළුමිණ

ලංකාවේ ක්‍රිකට් වනසන්න ඔස්ට්‍රේලියාවෙන් ආ ටයිපිස්ට් සුද්දා

‘අපි හිනාවෙන කොට සුද්දා අපිත් එක්ක හිනාවුණොත් අපිට ඒ හිනාව දැනෙන්නේ සුද්දා සාක්කුවෙන් ඇදලා අපිට රුපියල් දහයක් දුන්නා වගේ. ඒත් අපිත් එක්ක අපේ කෙනෙක් හිනාවුණොත් අපිට දැනෙන්නේ අපේ රුපියල් දහය කොටා ගන්න දාන හිනාවක් වගෙයි.‘ ‘සුද්දෙක් ඔබ අමතයි‘ වේදිකා නාට්‍යයේ එක්තරා ජවනිකාවක ප්‍රවීණ නළු නලීන් ප්‍රදීප් උඩුවෙලගේ එම වදන් පෙළ ලියුම්කරුට සිහිපත් කරන්නෙ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රයයි. මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රයේ සිදුවන්නේ ද ‘සුද්දෙක් ඔබ අමතයි‘ වේදිකා නාට්‍යයේ නලින් ප්‍රදීප් උඩුවෙල නොකියා කියන කතාවමය. සුද්දා විශ්වාස ය. ‘රටේ එකා‘ විශ්වාස නැත. සුද්දන්ට වඩා දැනුමක් සහිත පුහුණුකරුවන් මෙරට කොපමණ සිටිය ද ක්‍රීඩකයන් පුහුණු කිරීමට කියා පිටරටින් ගෙන්වන්නේම සුද්දන්ය. දූපත් මානසිකත්වයෙන් තවමත් පෙළෙන බොහෝ ශ්‍රී ලාංකිකයන්ට සුද්දා යනු වැඩකාරයෙකි.

ක්‍රිකට් ක්‍රීඩාව ලොවට හඳුන්වා දුන්නේ සුද්දා බව සැබෑය. එහෙත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දුවන්නේ සුද්දාගේ සංකල්පයට නොවන බව අවබෝධ කර ගැනීමට තරම් දැනුමක් නැති ක්‍රිකට් ලොක්කන්ට සුද්දාට වඩා දක්ෂ මෙරට සිටින පුහුණුකරුවන් පෙනෙන්නේම නැත. එසේ නොපෙනෙන්නේ දේශීය පුහුණුකරුවන් යොදා ගැනීමෙන් කිසිවකුට ‘කොමිස්‘ මුදලක් ලබා ගත නොහැකි වීම නිසාදැයි නොදනී.

මේ සියල්ලටම හොඳම නිදසුන ආර්.ප්‍රේමදාස ක්‍රීඩා සංකීර්ණයේ ස්ථාපිත කර ඇති ඉහළ දස්කම් ප්‍රවර්ධන මධ්‍යස්ථානයයි. මීට දශක දෙකකට පෙර එය ආරම්භ කළේ පසුකාලීනව ඔස්ට්‍රේලියාවේ පදිංචියට ගිය ඕවන් මතව්ගේ ප්‍රධාන පුහුණුකාරීත්වය යටතේය. හෙතෙම මහනුවර කිංග්ස්වුඩ් විදුහලෙන් බිහි වූ විශිෂ්ට ක්‍රීඩකයෙකි. ඔහු 1962 වසරේදී එම විදුහල් පිලේ නායකත්වය ද දැරුවේය. පසුකාලීනව ඔහු අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද කටයුතු කළේය. එවකට එය ශ්‍රී ලංකා ක්‍රිකට් ඇකඩමිය විය.

මෙරට පාසල් හා වෘත්තීය ක්‍රිකට් අතර පුළුල් වූ පරතරය අවම කිරිමේ අවශ්‍යතාව වෙනුවෙනි. මෙරට දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් තෝරාගත් පිරිසක් එම ඇකඩමියේ පළමු කණ්ඩායම බවට පත් වූ අතර, එම කණ්ඩායමට ඇතුළත් වූ පසුකාලීනව ජාතික පිල නියෝජනය කරමින් ජාත්‍යන්තරය ජයගත් ලසිත් මාලිංග, නුවන් කුලසේකර ඇතුළු ක්‍රීඩකයන් රැසකට සිය දස්කම් මුවහත් කරගැනීමට කදිම තෝතැන්නක් බවට පත් විය. පළමු කණ්ඩායමට මාස හතක පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබුවේ මතව්ගේ පුහුණුකාරීත්වය යටතේය. එම පුහුණු කාර්ය මණ්ඩලයේ කිසිදු ‘සුද්දෙක්‘ සිටියේ නැත. මතව්ගේ පුහුණු සහායකයන් වූයේ රුවන් කල්පගේ ( පන්දු රැකීමේ පුහුණුකරු), චම්පක රාමනායක (වේගපන්දු පුහුණුකරු), හේමන්ත දේවප්‍රිය (පිතිහරඹ සහ කඩුලු රැකීමේ පුහුණුකරු) සහ ඕෂධී වීරසිංහ (දඟපන්දු පුහුණුකරු) ය. සම්භාහක සහ අභ්‍යාසවේදියා ලෙස කටයුතු කරනු ලැබුවේ තවත් ශ්‍රී ලාංකිකයකු වන ලාල් තමේල් විසිනි.

ඒ වනවිට මෙරට ක්‍රියාත්මක වූයේ ක්‍රිකට් පාලක මණ්ඩලයක් වූ අතර, එහි සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ ප්‍රකට පරිපාලකයකු වූ හේමක අමරසූරිය විසිනි. ක්‍රිකට් ඇකඩමිය ආරම්භ වූයේ දශක දෙකක් පුරා පැවැති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙසිනි. විවිධ හේතුන් මත කල් දැමීමට සිදු වූවද, ජාතික කණ්ඩායමට ප්‍රමාණවත් ආදේශක නැති අවස්ථාවක ඊට විසඳුමක් ලෙස එවැනි පුහුණු ඇකඩමියක අවශ්‍යතාව තදින් දැනී තිබූ බව එහි සමාරම්භක උත්සවයේදී සභාපතිවරයාම සඳහන් කර තිබිණි.

ඊට වසර දෙකකට පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ඇකඩමියේ ප්‍රධානියා ලෙස පත්වූයේ එංගලන්තයේ සහ ඔස්ට්‍රේලියාවේ තුන්වැනි මට්ටමේ ක්‍රිකට් පුහුණුකරුවකුගේ සුදුසුකම් සහිත ජෙරොම් ජයරත්නය. ඒ වෙද්දී ඕවන් මතව් ඉන් ඉවත් වී විදේශගත වී සිටියේය. එවකට ජාතික ක්‍රිකට් ඇකඩමිය ලෙස හඳුන්වනු ලැබූ එම මධ්‍යස්ථානය පසුකාලීනව ඉහළ දස්කම් ප්‍රවර්ධන මධ්‍යස්ථානය බවට පත් වූයේ ජෙරොම් ජයරත්නගේ මූලිකත්වයෙනි. ජාතික තලයට ක්‍රීඩකයන් මුදා හැරීමට අවශ්‍ය පසුබිම සකස් කරමින් ද, පුහුණුකරුවන්ගේ කාර්ය සාධනය ඉහළ දමමින්ද, නවීන තාක්ෂණය භාවිත කරමින් ද මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ඔසවා තැබීමට අවශ්‍ය අඩිතාලම දමමින් සිටි ජෙරොම්ට පසුකාලීනව ඉහළ දස්කම් ප්‍රවර්ධන මධ්‍යස්ථානයෙන් ඉවත් වීමට සිදු වූයේ ‘සුද්දන්‘ කෙරෙහි ක්‍රිකට් ලොක්කන් තැබූ විශ්වාසය නිසාම නොව විදෙස් පුහුණුකරුවන් ආනයනය කිරීමෙන් සැලකිය යුතු කොමිස් මුදලක් උපයා ගැනීමට හැකි බව තේරුම් ගෙන සිටි හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකුගේ සහ හිටපු ක්‍රිකට් පරිපාලකයකුගේ ක්‍රියාකලාපය නිසා බව බොහෝ පාර්ශ්ව කියති. අද වනවිට ජෙරොම් සිටින්නේ ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා හැටියට බව නොකියාම බැරිය.

‘සුද්දන්‘ ඉහළ දස්කම් ප්‍රවර්ධන මධ්‍යස්ථානය ආක්‍රමණය කිරීම ආරම්භ වූයේ ඉන් අනතුරුවය. ආක්‍රමණය කළා නොව ඇතැම් පුද්ගලයෝ විසින් සුද්දන් ආනයනය කරනු ලැබූහ. එංගලන්තයේ දේශීය තරග සම්බන්ධව කටයුතු කරමින් කෙන්ට් ප්‍රාන්ත පිලේ හිටපු සයිමන් විලිස් ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලැබුවේ ක්‍රිකට් පිටියේ ‘ටෙන් පර්සන්ට්‘ නමින් ප්‍රකට ක්‍රීඩකයාගේ මැදිහත්වීමෙනි. ඊට එවකට ක්‍රිකට් ආයතනයේ හිටපු ප්‍රධානියකු ද සහාය දුන් බවට තොරතුරු වාර්තා විය.

සයිමන් විලිස්ගේ ක්‍රිකට් දැනුම ගැන එවකට සිටි ක්‍රීඩකයන් හා පුහුණුකරුවන් අදටත් සිහිපත් කරන්නේ හාස්‍යයෙන් යුතුවය. එමෙන්ම අතිශය කනගාටුවකින් යුතුවය. ඔවුන් අදටත් කියන්නේ මෙවැනි පුද්ගලයන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට ගෙනැවිත් දැමීමෙන් සිදු වූයේ එවකට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉහළ දස්කම් ප්‍රවර්ධන මධ්‍යස්ථානයක් බවට පත්වෙමින් තිබූ ස්ථානය එහෙම පිටින්ම සෝදා පාළුවට ලක් වූ බවය. සයිමන් විලිස් ඉහළ දස්කම් ප්‍රවර්ධන මධ්‍යස්ථානයට එද්දී එම ස්ථානය තිබුණේ ‘කම්හලක්‘ පරිද්දෙන් බව ජාතික පිලේ හිටපු ක්‍රීඩකයකු පසුගියදා ලියුම්කරු සමඟ කීවේ අතිශය කනගාටුවෙනි.

‘පුදුම විදිහේ කලබලකාරී වාතාවරණයක් තිබුණු තැනක්. උදේ ඉඳන් හවස් වෙනකල් එක එක වයස් මට්ටමේ පුහුණුවීම් සිදු කළා. හරිම කාර්යබහුල තැනක් වෙලයි තිබුණේ.‘

එහෙත් විලිස්ගේ කාලයේදී සියල්ල වෙනස් වීමට පටන් ගෙන තිබිණි. අද එම ‘හයි පර්ෆෝමන්ස් සෙන්ටර්‘ එක ඇත්තේ ඉතා පහළ මට්ටමක බව හිටපු ක්‍රීඩකයෝ පවසති.

‘සාමාන්‍යයෙන් එවැනි මධ්‍යස්ථානයකින් කෙරෙන්නේ උසස් තාක්ෂණික දැනුම භාවිත කරලා ක්‍රීඩකයන්ගේ හැකියාව දියුණු කිරීම වුණත් අදටත් වෙන්නේ ‘නෙට් ප්‍රැක්ටිස්‘ විතරයි. බැට්ස්මන්ලා බැට් කරනවා. බෝලර්ස්ලා බෝල් කරනවා. කෝචස්ලා සයිඩ් ආම් එකෙන් ගහනවා. ඔය ටික විතරයි. ක්ලබ්ස්වල කරන්නෙත් ඔය ටිකනේ. ඒකට නෙවෙයි ඕක පටන් ගත්තේ.‘ හිටපු ක්‍රීඩකයකු හා පුහුණුකරුවකු පසුගියදා ලියුම්කරු සමඟ එසේ කියා සිටියේය.

‘වීඩියෝ ඇනලයිස් හරියට කරන සිස්ටම් එකක් නෑ. වන් ටූ වන් ප්ලේයර්ස්ලාගේ වීඩියෝ ඇනලයිස් හරියට බලන්න එකක් නෑ. ඉන්න දඟපන්දු යැවීමේ පුහුණුකරුවන් නෙට් එකේ උපදෙස් දෙනවා මිසක් වීඩියෝ කරලා සැරින් සැරේ කාලෙන් කාලෙට දත්ත ගබඩා කරලා මොකක් හරි වෙනසක් තියෙනවා නම් එයාලාව දැනුම්වත් කිරීමක් නෑ.‘ ඔහු වැඩිදුරටත් එසේ කීවේය.

ඔහු කියන ආකාරයට සයිමන් විලිස්ගේ පැමිණීමෙන් පසු එතෙක් වේගපන්දුවට සහ දඟ පන්දුවට තිබූ පහසුකම් ද නතර කිරීමට කටයුතු කර තිබේ.

‘එයා කරපු එකම දේ තමයි බෝලිං මැෂින් එකක් ගෙන්නපු එක. ස්පින් කරන්න පුළුවන් විදිහේ මර්ලින් කියන මැෂින් එක ගෙන්නුවා. එච්චරයි හොඳ දේකට කළේ. එයා කළේ එතැන ඉඳලා එයාගේ සී.වී. එක ප්‍රමෝට් කරගත්තු එකයි. ඊළඟට ආපහු කෙන්ට් ගිහින් දස්කම් ඉහළ දැමීමේ පුහුණුකරු හැටියට පත් වුණා. අද නම් ඉන්නේ හොංකොං ජාතික පිලේ ප්‍රධාන පුහුණුකරු හැටියටයි.‘

ඔහු කියන ආකාරයට පමණක් නොව මීට පෙර බොහෝ අවස්ථාවල හිටපු ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් ලියුම්කරු සමඟ කියා ඇති පරිදි විදෙස් පුහුණුකරුවන් කියා ආනයනය කරනු ලබන බොහෝ සුද්දන්ට ප්‍රමාණවත් දැනුමක් නැත. ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ඔවුන්ගේ ජීවදත්ත වාර්තාව පුරවා ගැනීමටය. පසුව එය ඉදිරිපත් කරමින් ලොව විවිධ රටවල ඒ හා සමාන තනතුරු ලබා ගැනීමට කටයුතු කර තිබේ.

මෙරට හිටපු එක්තරා පිතිකරුවකු පසුකාලීනව ඉහළ දස්කම් ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස පත් වූ අතර, විලිස් යන්නම ගියේය. කනගාටුව වන්නේ වසර 16ක්ම ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් ක්‍රීඩාවට පරිබාහිර රැකියාවක නිරතව සිටි එම ක්‍රීඩකයාට ඉහළ දස්කම් ප්‍රවර්ධනය කිරීමේ කිසිදු දැනුමක් නොතිබීම බවත්, ඔහුගේ කාලය වනවිට එම මධ්‍යස්ථානය තවදුරටත් පිරිහීමට ලක් වූ බවත් තතු දත්තෝ පවසති.

‘එයා මෙතැනට ඇවිත් හිටපු පුහුණුකරුවන් ඔක්කොම තරහ කරගත්තා. පුහුණුකරුවන් එක එක තැන්වලට මාරු කළා. එකෙන් වුණේ හයි පර්ෆෝමන්ස් සෙන්ටර් එක තව තවත් පිරිහුණු එක විතරයි.‘ හිටපු පුහුණුකරුවකු එසේ කීවේය.

ඉහළ දස්කම් ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ වර්තමානයේ සිටින ප්‍රධානියා පත් වූයේ ඉන් අනතුරුවය. හෙතෙම ඔස්ට්‍රේලියානු ජාතිකයෙකි. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ උපායමාර්ගික සැලසුම්කරු ලෙස තමා ම හඳුන්වා ගන්නා එක්තරා හිටපු ක්‍රීඩකයකු විසින් ඔහු ආනයනය කරනු ලැබුවේ විශාල වැටුපකටය. ඉහළ දස්කම් ප්‍රවර්ධනය මධ්‍යස්ථානයට විදෙස් පුහුණුකරුවන් යැයි කියා සුද්දන් විශාල වැටුපකට ගෙන්වීමට කටයුතු කරනු ලැබුවද, එහි මූලික පහසුකම් සැපැයීමට පවා බලධාරීන් සමත්වී නැත. එම මධ්‍යස්ථානයට පිහිනුම් තටාඟයක්, ගෘහස්ත පුහුණු මධ්‍යස්ථානයක් ඉදි කර නැත. අද වන විට බහුතර ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නිවාසවල ද පිහිනුම් තටාඟ ඉදිකර තිබේ. එහෙත් ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ මර්මස්ථානය ලෙස නමින් පමණක් හඳුන්වන ඉහළ දස්කම් ප්‍රවර්ධන මධ්‍යස්ථානයට අවශ්‍ය මූලික පහසුකම් ද්විත්වය අදටත් නැත. එය ඉදි කිරීමට මුල්ගල තැබුවේ 2015 වසරේදී එවකට හිටපු ක්‍රිකට් අතුරු කමිටුව විසිනි. එය සිදු වූයේ හිටපු ටෙස්ට් පිතිකරු සිදත් වෙත්තිමුණි සහ හිටපු ක්‍රීඩා ඇමැති නවීන් දිසානායකගේ මූලිකත්වයෙනි. මේ වනවිට මුල්ගල වල් වැදී ඇත. එසේ වූයේ අතුරු කමිටුව විසුරුවා හැරීමෙන් පසු පැවැති නිලවරණයෙන් පත් වූ පාර්ශ්වය එය ඉදි කිරීම අවලංගු කිරීමය.

ඉහළ දස්කම් ප්‍රවර්ධන මධ්‍යස්ථානය එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් ඇකඩමිය ලෙස පැවැති කාලයේ සිට ක්‍රීඩකයන් වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වූ බවත්, අද වනවිට එම මධ්‍යස්ථානය ‘සහරා කාන්තාරයක්‘ බවට පත් වී ඇති බවත් ලියුම්කරු සමඟ කීවේ ජාතික කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරුවෙකි. ඔහු කියන ආකාරයට එම මධ්‍යස්ථානය ක්‍රිකට් පුහුණුවෙන් ඔබ්බට ගොස් නායකත්ව පුහුණුව, ක්ෂේත්‍ර උපාය මාර්ග, තණතීරු අවබෝධ කරගැනීමේ හැකියාව වර්ධනය කිරීම, සන්නිවේදනය, මාධ්‍ය හමුවකදී කතා කළ යුතු ආකාරය, ශාරිරීක යෝග්‍යතාව, ආචාර විධි, මූල්‍ය කළමනාකරණය.වැනි විවිධ ක්ෂේත්‍ර රැසක් ආවරණය වන පරිදි වැඩසටහන් මාලාවක්ම ක්‍රියාත්මක කර ඇත. අද ඒ කිසිවක් නැත. 

‘දැනට ඉන්න කෙනා ඔස්ට්‍රේලියා සිස්ටම් එක මෙහේ කරනවා කියලා ලංකාවට කොහෙත්ම ගැළපෙන්නේ නැති දේවල් ටිකක් කළා. අන්තිමේදී ස්පින් සංචිතයයි, වේගපන්දු සංචිතයයි මොකුත්ම නෑ. මෙයා වැඩිපුර කරන්නේ මෙයාව ගෙනත් දාපු උපායමාර්ගික සැලසුම්කරුගේ ලිපි ටයිප් කරන එකයි. හැමෝම මෙයාට නමක් පට බැඳලයි තියෙන්නේ ‘ටයිපිස්ට් සුද්දා‘ කියලා. ඉන්න කාමරයෙන් ලෙහෙසියෙන් එළියට එන්නේ නෑලු දාඩිය දානවා කියලා. එහෙමයි එයා ප්‍රධානියා හැටියට එතැන වැඩ කරන්නේ. එයාට මුලින්ම බාර දුන්නේ ජූනියර් ටීම් එක. පස්සේ කාන්තා ටීම් එක දුන්නා. දැන් නැෂනල් ටීම් එකත් දීලයි තියෙන්නේ. ඒ ඒ ටීම්වලට අවශ්‍ය පුහුණුකරුවන් නම් කරන්නෙත් එයාම තමයි. ඒක කරන්නේ උපායමාර්ගික සැලසුම්කරුගේ උපදෙස් මතයි. හොඳට කරගෙන හිටපු පුහුණුකරු වෙනුවට කාන්තා කණ්ඩායමේ පුහුණුකරු හැටියට හිටපු වේගපන්දු යවන්නෙක් දැම්මා. එයාගෙන් නිසි සේවයක් වෙනවද කියලා දන්නෝ දනියි. ඒ අතරතුර ගෙන්නුවා නෙදර්ලන්තයෙන් පන්දු රැකීමේ පුහුණුකරුවෙක්. සුද්දෙක්. එයා දන්න පන්දු රැකීමක් නෑ. ලංකාවේ පන්දු රැකීමේ පුහුණුකරුවන්ගෙන් තමයි එයත් ඉගෙන ගන්නේ. ඒ වුණාට ලොකු වැටුපක් නම් ගන්නවා.‘ එසේ කියන්නේ ඉහළ දස්කම් ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ ඉතිහාසය ගැන හොඳින්ම දන්නා හිටපු පුහුණුකරුවෙකි. මේවා හුදෙක් චෝදනා නොව ඇති තත්ත්වය පැහැදිලි කිරීමක් බව ඉඳුරාම කිව හැකිය.

මේ අනුව බැලීමේදී ඉහළ දස්කම් ප්‍රවර්ධන මධ්‍යස්ථානයට හෝ ක්‍රීඩාවට අදාළ වෙනත් සේවයකට හෝ සුද්දන් පත් කිරීමට ඇති ක්‍රමවේදය කුමක්දැයි සොයා බැලීම සැබැවින්ම වටී. ඔවුන් සපුරාලිය යුතු සුදුසුකම් කවරේදැයි සොයා බැලිය යුතුව ඇත. ඒ සඳහා මූලිකත්වය ගත යුතු වන්නේ ක්‍රීඩා අමාත්‍යාංශය හරහා ජාතික ක්‍රීඩා සභාව ද? නොඑසේ නම් වෙනත් කමිටුවක්ද? එසේත් නැතිනම් එම කාර්යභාරය ඉටු කිරීමේ වගකීම ඇත්තේ ක්‍රිකට් ආයතනයටද?

කනගාටුවට කරුණ වන්නේ ක්‍රිකට් බලධාරින් සුද්දන් කෙරෙහි තබන විශ්වාසය මෙරට පුහුණුකරුවන් කෙරෙහි නොතැබීමය. කිව යුතුව ඇත්තේ සුද්දන් පැමිණ මෙරට ක්‍රිකට් ක්‍රීඩාව අඩපණ වන තත්ත්වයට වැඩ කරද්දී මෙරට බොහෝ ක්‍රිකට් පුහුණුකරුවන් ලොව විවිධ රටවල කණ්ඩායම් පුහුණු කිරීමේ කාර්යයෙහි සාර්ථකව නිරතව සිටින බවය.

Comments