දෘශ්‍ය කලාවේ නෙක සුරුකම් පා බෙල්ලන්විල ජීවමාන කළ සිත්තරා සෝමබන්දු විද්‍යාපති | සිළුමිණ

දෘශ්‍ය කලාවේ නෙක සුරුකම් පා බෙල්ලන්විල ජීවමාන කළ සිත්තරා සෝමබන්දු විද්‍යාපති

සිය ජීවිත කාලය පුරා කලාව වෙනුවෙන් අප්‍රමාණ ලෙස කැප වූ නිර්මාණකරුවන් නික්ම යන්නේ සහෘද හදවත්හි අනල්ප ඉඩක් මෙන්ම ආදරයක් ද ඉතිරි කරමිනි. ඩොලර් හතළිස් තුන්කෝටි අනූනව ලක්ෂයකට අලෙවි වූ ‘අයිරිස් මල් පඳුර‘ චිත්‍රයේ නිර්මාණකරුවාගේ ජීවන අන්දරය මා විස්මපත් කෙරූවකි. විසිවන සියවසේ බිහි වූ ශ්‍රේෂ්ඨතම සිතුවම් ශිල්පියකු සේ බුහුමනට ලක්වූ වින්සන්ට් වැන්ගෝ ගේ ජීවිත කතාව ඔහුගේ සිතුවම් සේ සොඳුරු වූයේ නැත. සිය එක ම සොහොයුරා වූ තියෝ ගේ විශ්වාසය මත පමණක් ම විශ්වාසය තැබූ හේ, මිය යන්නට පෙර කිසිදු වෙසෙස් අබිමනක් බලාපොරොත්තු නොවී ජීවත් වී; මිය ගිය පසු අමරණීය වූ නිර්මාණකරුවෙකි. සිය සොහොයුරාට ලියූ ලිපි එකතු ඔස්සේ ඔහුගේ ජීවිත කතාව කියවා ගත් මට සිතුවම් යට සැඟවුණු අනුවේදනීය කතාවක සහකම්පනීය ඉසව්ව හසු වූ බව නොකියා බැරි ය. 

ජීවිතය ඇත්තේ අන් තැනක බවත්, මරණය ඇත්තේ අමරණීය වීමේ කලාව ඉගැන්වීමට බවත් කියා දුන්නේ මේ අපූරු සිතුවම් ශිල්පියා ය. සිතුවම් අස්සේ කියැවෙන ජීවිත ගැන අප හෙවත් රසික සහෘදයනට ඇත්තේ දුරස්ථ සබඳතාවක් ද යන්න ගැන සිතිවිලි විවර වන්නට පටන් ගත්තේ ඉනික්බිතිවය. බොහෝ සිතුවම් ශිල්පීන් ජීවමාන කතන්දර අපට ඉතිරි කර නික්ම යන්නේ ඇගයුමේ මාවත ගැන නොදැන ම ය. එය සහකම්පනීය සහෘද පිරිසකගේ අඩුව නිසා ඇති වූවකි. සියල්ලෝ එසේ නොවේ.

සෝමබන්දු විද්‍යාපති නාමය ලාංකේය රසික සහෘදයනට නුහුරු නාමයක් නොවේ. සිය නම අමරණීය කරගන්නට සමත් කලා නිර්මාණ රැසක් ඔහුගේ තෙලිතුඬෙන් බිහි වූ බව දන්නා පිරිස වැඩි ය.

සිය දිවිසැරියෙන් දශක හයකට වැඩි ප්‍රමාණයක් දෘශ්‍ය කලාව මෙන්ම ප්‍රාසංගික කලාවේ දෘශ්‍යරූපී මාන සොයා හඳුනාගන්නට හේ කාලය වැය කළේය. ඒවා කලා මාධ්‍ය කීපයක් ඔස්සේ ලාංකේය රසික ප්‍රජාව වෙත ගෙන ආ හේ මෙරට සිටි ප්‍රභාවත් දෘශ්‍ය කලා ශිල්පියෙකි.

පසු කලෙක විහාර බිතු සිතුවම් කලාවේ හා නන්විධ නිර්මාණ රැසක සුරු වූ සෝමබන්දු කුඩා කල සිට ම සිතුවම් කලාවේ නියැළීමට ප්‍රියතාවක් දැක්වූවෙකි. පන්නිපිටියේ ගමේ පන්සලේ බුදු මැදුරේ සිතුවම් නිර්මාණයටත්, මූර්ති නෙළීමටත් සිත්තර ගුරුන්නාන්සේ කෙනකු පැමිණ ඇති බව හේ දැන ගන්නේ ය. කෝට්ටේ ශාන්ත තෝමස් විදුහලේ ඉගෙනුම ලබා පාසල් ඇරුණු විගස කුඩා සෝමබන්දු පොත් මිටියත් තුරුලු කරගෙන හැල්මේ දිව එන්නේ ගමේ පන්සලට ය. සිත්තර ගුරුන්නාන්සේ තම ගෝලබාලයන් ද පිරිවරා ගෙන භාවනාවක යෙදෙන්නාක් මෙන් සිතුවම්කරණයේ නිරත වනු දකින ඔහුට විස්මයත් සතුටත් ඉහිලුම් දෙන්නේ නැත. ගෝලයෙක් ළඟට හිමින් හිමින් කිට්ටු වෙන ඔහු මේ සිත්තර ගුරුන්නාන්සේ කවුදැයි විමසන්නේ ඒ ප්‍රහර්ශවත් සිත පාලනය කර ගැනීමට නොහැකි වූ කල්හි ය. කුඩා සෝමබන්දු ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය සටහන් වෙන්නේ මේ ප්‍රශ්න කිරීම හා හමු වීම ය. ඒ අපූර්ව නිමැවුම්කරුවා සාර්ලිස් මාස්ටර් බව දැන ගන්නා කුඩා සෝමබන්දුගේ එදා සිට වීරයා වන්නේ ඔහු ය.

ඒ දැකීම හා ඇසුර ඔහුට ජීවිතයේ විලාසිතාව හඳුනා ගන්නට පාර කැපුවේ ය. අප බොහෝ දෙනා අපේ ජීවන විලාසිතාව ගැන දන්නේ නැත. ඉතා සුළු පිරිසක් තමාගේ ජීවන විලාසිතාව හඳුනා ගත්තත්, බහුතරයක් ජීවත් වී මිය යන්නේ සිය විලාසිතාව ගැන හාන්කවිසියක් හෝ නොදැන ය. ජීවිතයේ සාර්ථකත්වය තීරණය වෙන්නේ එකී හඳුනා ගැනීම නිසා ය. රටේ වාසනාවකට දෝ සෝමබන්දු කලාකරුවා නිර්මාණය වීමේ පසුබිමට අයිති ඔහුගේ ජීවන විලාසිතාව ගැන ඔහුට ම තේරුම් ගැනීමේ පාර කැපෙන්නේ

පන්නිපිටියේ ගමේ පන්සලේ බුදු මැඳුරේ චිත්‍ර හා මූර්ති නෙළීමට ආ සාර්ලිස් මාස්ටර් නිසා ය.

සෝමබන්දු විද්‍යාපති එක් විෂයයකට කොටු වූවෙක් නොවේ. හේ නෙක විෂයයන්හි සුරුව සැරුවේ ය. චිත්‍ර ශිල්පියකු, නර්තන ශිල්පියකු, වේදිකා පසුතල නිර්මාණය කළ කලා අධ්‍යක්ෂවරයකු, වේදිකා නාට්‍ය ඇඳුම් ආයිත්තම් නිර්මාණ ශිල්පියකු හා වේදිකා නාට්‍ය වෙස් නිර්මාණ ශිල්පියකු මෙන්ම ගුරුවරයකු ලෙස ද හේ ප්‍රකට ව සිටියේය.

සෝමබන්දු විද්‍යාපති නාමය බොහෝ දන මන රැව් දෙන්නට පටන් ගත්තේ බෙල්ලන්විල රජ මහා විහාරයේ සිතුවම්කරණය නිසා ය. කලාකරුවකුගේ නමක් එකී නිර්මාණය ගැන පැවසූ සැණින් සිහියට එන්නේ නම් හේ ජනකාන්ත නිර්මාණකරුවෙකි. කැලණි විහාරය කී පමණින් අපට එහි සිතුවම්කරණයේ ප්‍රභාව හා විශේෂත්වය නිසාම සැණින් මතකයට එන්නේ එහි සිතුවම් නිර්මාණය කළ සොයිලියස් මෙන්දිස් කලාකරුවාය. ගෝතමී විහාරය කී පමණින් අප මතකයට නැඟෙන්නේ ජෝර්ජ් කිට් කලාකරුවා ය. එමෙන්ම බෙල්ලන්විල කියූ පමණින් අප මතකයට නැ‍ෙඟන නිර්මාණකරුවා වන්නේ සෝමබන්දු විද්‍යාපති ය. බෙල්ලන්විල බිතුසිතුවම් අතර දේවාරාධනය, සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, මහාමායා දේවියගේ සිහිනය, සිදුහත් කුමරුන් ශිල්ප ඉගෙනීම, සිද්ධාර්ථ කුමරු හා යසෝදරා විවාහය, සතරපෙරනිමිති, දුෂ්කර ක්‍රියාව, සුජාතාවගේ කිරිපිඬු දානය, අංගුලිමාල දමනය, පටාචාරා පුවත, සංඝමිත්තාවන්ගේ පැමිණීම, ගිලනුන්ට උවටැන් කිරීම වැනි සිතුවම් නිමැවුම් අතිශයින් කතා බහට හා විචාරයට ලක් වූ ඒවා වෙති. බෙල්ලන්විල විහාර බිතුසිතුවම්කරණය ඔස්සේ මෙරට විහාර බිතුසිතුවම් සම්ප්‍රදාය නව සෞන්දර්ය හා ප්‍රකාශන මානයක් වෙත නිරාවරණය කළ සෝමබන්දු විද්‍යාපති නම් විශාරද දෘශ්‍ය කලාවේදියා සිය දිවිසැරියෙන් වසර හැටකට අධික කාලයක් කැප කළේ ලාංකේය කලාව වෙනුවෙනි. ඒ වෙනුවෙන් ඔහු ලද බුහුමන වන්නේ අමරණීය නාමය පමණකි; එකී නිර්මාණ විඳින වාරයක් පාසා අප මුවෙන් ඔහුගේ නාමය කියැවීමත්, හදවතේ බැඳි ගෞරවයත් එකී අමරණීය බවට හේතු සාධක ය.

මහාචාර්ය ඇල්බට් ධර්මසිරි විසින් ඉංග්‍රීසියෙන් ලියන ලද ‘BELLANWILA MURALS’ නම් කෘතිය නිසා සෝමබන්දු නාමය අන්තර්ජාතික කීර්තියට පත් නාමයක් බවට පත් වන්නේ ඒ නිසා ය. 

චිත්‍ර කලාවට සේම නර්තනය, මුද්‍රා නාට්‍යය, වේදිකාවේ පසුතල සැලසුම් හා රංග වස්ත්‍ර නිර්මාණය සඳහා වූ නව දෘශ්‍යමය භාෂාවක් හා ව්‍යාකරණයක් ස්ථාපිත කිරීමේ මාර්ගය සකසන්නේ ද ඔහු ය. පසු පරම්පරාව ගමන් කරන්නේ කාපට් පාරවල්වල වුව ඔහු ඒ කාපට් දැමීමට අවැසි රළු පාර සකස් කර දුන්නේ කලාවේ නෙක ඉසව් ගැන සවිඥානිකව ය.

දිවිසැරියෙන් දශක හයකට වැඩි ප්‍රමාණයක් දෘශ්‍ය කලාව මෙන්ම ප්‍රාසංගික කලාවේ දෘශ්‍යරූපී මාන සොයා හඳුනා ගන්නටත්, ඒවා කලා මාධ්‍ය කීපයක් ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂකයා වෙත අභිනවයෙන් රැගෙන එන්නටත් ඔහු සිය දිවි මඟේ වැඩි කාලයක් කැප කළේය.

චිත්‍ර කලාව හෝ නර්තනයෙන් නොනැවතී විවිධ කලා මාධ්‍ය ගණනාවක් ඇසුරු කිරීමේ ආශාව හා අනුරාගය පරම්පරා කිහිපයකට දැල්වූයේ ඔහු ය. රිද්මය ගැනත් කලාව ගැනත් ඔහුගේ ආස්ථානය ගැන ඔහු පුතුන් දෙපළ වන ආචාර්ය රවිබන්දු සේම මනුබන්දු ද විවිධ තැන් හි දක්වා තිබේ.

සෝමබන්දු විද්‍යාපති කලාකරුවාගේ යුග මෙහෙවර කෙටි ලිපියකින් ලියා නිම කළ නොහැක්කකි. පෙරඅපර දෙදිග කලා සීමාවන්හි සිර නොවී පොදු මානවයාගේ රසවින්දනයට හා බුද්ධි වර්ධනයට ඒවා ප්‍රබල ලෙස බලපාන ආකාරය වටහා ගෙන එකී හරය භාවිතයට ගැනීම සෝමබන්දු කලාකරුවාගේ සුවිසෙස් ලකුණයි. මේ පිළිබඳ සාකච්ඡාවක් අතරතුරදී අදහස් දක්වා ඇති ආචාර්ය රවිබන්දු නර්තන නිර්මාණයකදී සාහිත්‍යමය හරයත්, නාට්‍යානුරූපී හරයත් තමා ඊට එක් කරන වග පවසයි. ඒ ආභාසය ඔහුට ලැබෙන්නට ඇත්තේ සිය පියාගෙන් බව නොරහසකි. 2019 විශ්වාභිනන්ද සම්මානයට පාත්‍ර වූ කණිටු පුත් මනුබන්දුගේ “නර්තන චින්තනයේ නොනිමි චලන” සහ “බිඳුණු අවකාශයක නර්තන මනස” කෘති ද්විත්වය කලා විචාරකයකු ලෙස ඔහුගේ අනන්‍යතාව සටහන් කරන ලද්දකි. මේ සියල්ල පිටුපස ඇති යෝධ සෙවණැල්ල මේ කලාකරුවන් දෙදෙනාගේ ආදරණීය පියා බව අවිවාදිත ය.

සෝමබන්දු විද්‍යාපති සිය ලකුණ සටහන් කිරීම අරඹන්නේ පාසල් වියේ සිට ම ය. ගමේ නාඩගම් මඩුවේ දුටු කෝලම් මෙන්ම පිරිත් පින්කම්, උඩරට පහතරට නර්තන අංග, කොහොඹා කන්කාරිය, වන්නම් ආදිය දැකීමෙන් සිය ජීවන විලාසිතාව හඳුනා ගන්නා හේ සිය ප්‍රථම කලා නිර්මාණ දායකත්වය ලබා දෙන්නේ පන්නිපිටියේ ධර්මපාලයේ උගන්නා අවදියේ ය. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ “රෝහිණී” නවකතාව ඇසුරෙන් නිෂ්පාදනය කළ නාට්‍යයේ ඔහු රඟපෑවේ එම නාට්‍යයේ වේදිකා සැලසුම් හා වෙස් සැලසුම්, ඇඳුම් ආයිත්තම් ද නිර්මාණය කරමින් වීම විශේෂත්වයකි. සිතුවම්කරණය තම ප්‍රධාන කලා දහරාව වුව ද අන් කලා දහරාවන් ද හේ සුරු ව ඇසුරු කරන්නේ ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත යන්න බොරු කරමිනි. චිත්‍රසේන කලායතනයට ඇතුළත් වෙන හේ කථකලී හා ඉන්දීය නර්තනය හදාරන්නේ සිය අභිමතාර්ථයට ය.

1945 දී ඇස්. පී. සකලසූරිය ගුරුතුමාගේ මඟ පෙන්වීමෙන් ඉන්දියාවේ ශාන්ති නිකේතනයට යන සෝමබන්දු මහා කවි රබීන්ද්‍රනාත් තාගොර්තුමාගේ මඟපෙන්වීම යටතේ කලා විශාරද නන්දලාල් බොස්ගෙන් චිත්‍ර කලාව හැදෑරුවේය. එතැනින් නොනැවතෙන ඔහු රාම් කිංකර් යටතේ ප්‍රතිමා, මූර්ති කලාවත් ප්‍රගුණ කළේය. ඔහු සමඟ ශාන්ති නිකේතනයේ උගත් සමකාලීන ශිෂ්‍යයන් ව‍ූයේ චිත්‍රසේන, මකුලොළුව, ගංගානාත්, වසන්ත කුමාර, ප්‍රේමකුමාර එපිටවල, පණීභාරත, ශේෂා පලිහක්කාර, නිමල් වෙල්ගම, බර්නාඩ් ලොකුගේ, ඇල්. ටී. කාරියවසම් ආදීහු ය‍.

ශාන්ති නිකේතනයේ අධ්‍යාපනය හමාර කර ලංකාවට එන සෝමබන්දු කලාකරුවාට නැවත කේරළයේ ‘රැවන්කෝර් විශ්වවිද්‍යාලයට ඇතුළත් වී දකුණු ඉන්දියානු චිත්‍ර කලාව හා පාරම්පරික කථකලි නැටුම් කලාවත්, බිතුසිතුවම් ඇඳීම සහ පිටපත් කිරීම ගැනත් හදාරන්නට ස්වර්ණමය අවස්ථාවක් උදා වෙන්නේ ය. ඒ සියලු දැනුමෙන් හා ප්‍රායෝගික පුහුණුවෙන් සන්නද්ධ ව ඉන්දියාවේ සිට ලංකාවට පැමිණෙන ඔහු වේදිකා පසුතල නිර්මාණය, වස්ත්‍රාභරණ නිර්මාණය හා වෙස් ගැන්වීම් කලාවට අවතීර්ණ වෙයි. ඔහු අතින් නිමැවෙන කලා කෘති ප්‍රමාණය පුදුම දනවන සුළු නිර්මාණ බවට පත්වෙන්නේ ලැබූ අධ්‍යාපනයේ හා පුහුණුවේ සුරුව නිසා ය. එකී කලා ක්ෂේත්‍රවල අත්හදා බැලීම් කරන්නට හේ දෙවරක් සිතුවේ නැත. ඒවා අතිශයින් ජනාදරයට පත් වෙන ලද්දේ එකී වෙනස්කම් නිසා ය.

ආචාර්ය සරච්චන්ද්‍රයන්ගේ පබාවතී, හස්තිකාන්ත මන්තරේ, චිත්‍රසේනයන්ගේ කරදිය, නල දමයන්ති, රාවණා, චණ්ඩාලි, හිම කුමාරිය, ගිනි හොරා, ප්‍රේමකුමාර්ගේ සැලළිහිණිය, තිත්ත බත, සාරභූමි, දියසේන, දියවන්නා, මකුලොළුවගේ දෙපානෝ, පහනින් පහනට මෙන්ම බැසිල් මිහිරිපැන්න, ශේෂා පලිහක්කාර ඇතුළු නාට්‍යකරුවන්ගේ නාට්‍යවල පසුබිම් පසුතල නිර්මාණ ශිල්පියා ව‍ූයේ සෝමබන්දුය.

සෝමබන්දු නිර්මාණකරුවාගේ සිතුවම්වලින් සැරසුණු ලංකාවේ ප්‍රමුඛතම ආයතනවල බිත්ති කිහිපයකි. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තුවේ වියන්තලය හැඩගැන්වී ඇත්තේ සෝමබන්දු කලාකරුවාගේ සිතුවමකිනි. එය අඩි 80 x 80 ප්‍රමාණයෙන් නිමවන ලද සිංහල චිත්‍ර සම්ප්‍රදායට අයත් සැරසිල්ලකි. කතරගම කිරිවෙහෙර හා සෝමාවතී යන ‍චෛත්‍ය ප්‍රතිසංස්කරණය කළ අවස්ථාවේ එහි ගර්භයේ නිධන් කිරීම සඳහා පිඟන් ගඩොල් මත සිතුවම් කළේ ද ඔහු ය. එපමණක් නොවේ, ලංකාවේ වේදිකා නාට්‍ය සම්ප්‍රදායේ නොමැකෙන ලකුණ වන ටවර් හෝල් රඟහල පදනමේ බිත්තියක අර්ධ උන්නතව නිර්මාණය කළ අඩි 7ක් උසැති සරස්වතී ප්‍රතිමා නිර්මාණය සෝමබන්දු ලිවිසැරියේ විශිෂ්ට ලකුණකි. ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය හා කර්මාන්ත නිරූපණය කෙරෙන ඕවර්සීස් ට්‍රස්ට්හි නිර්මාණය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන දේශන ශාලාවේ ඇති කැටයම හා අගමැති කාර්යාලයේ සිංහල වංශකථාව පිළිබිඹු කරන නිර්මාණය සෝමබන්දුගේ කලා කෘති අතර නොමැකෙන ලකුණු ය.

සෝමබන්දු දිවිසැරියට මනා ආලෝකයක් සැපයූ ප්‍රිය බිරිය මාලතී අල්ගම, විසිවෙනි සියවසේ සිට පරම්පරා හතක් ඈතට දිවෙන විහාර සිත්තරුන් හා උඩරට නැටුම් සහ බෙරවාදන පරපුරක් වන අල්ගම පරපුරේ කීර්තිමත් නර්තන ආචාර්යවරයකු වූ අල්ගම සිත්ත්‍රච්චාරී කිරිගණිත ගුරුතුමා ගේ දෙටු දියණියයි. සිය කුටුම්බයෙන් ලැබුණු සෙනෙහස මුසු රැකවරණය මේ කලාකරුවාගේ දිවිසැරිය සුමට කරන්නට ඇත.

සෝමබන්දු කලාකරුවාගේ ලිවිසැරියේ අග්‍රතම ඵලය ලෙස බොහෝ විචාරයකයන් හඳුන්වන්නේ බෙල්ලන්විල රජ මහා විහාර සිතුවම් ය. බෙල්ලන්විල සිතුවම් “සෝමබන්දු කලාගාරය“ ලෙස ඇතැම් කලා විචාරකයන් විසින් හඳුන්වන්නේ එබැවිනි. එහෙත් බෙල්ලන්විල සිතුවම් රීතියට තරමක් වෙනස් වූ පෙරදිග නූතනවාදී හැඩතල හා ලක්ෂණ ප්‍රකට කරන චිත්‍ර නිර්මාණ ගණනාවක් ද සෝමබන්දු ගේ දෘශ්‍ය කලා නිර්මාණ අතර හමු වේ. ඔහුගේ පෞද්ගලික චිත්‍ර එකතුවෙහි එවන් ප්‍රබල චිත්‍ර කිහිපයක් ම ඇතුළත් බව පවසන්නේ කණිටු පුතු මනුබන්දු ය.

තම දෘශ්‍ය කලා නිර්මාණකරණය ඔස්සේ මෙරට විවිධ වින්දන ධාරා නියෝජනය කරමින් රසික ජනයාට ආමන්ත්‍රණය කළ සෝමබන්දු විද්‍යාපති කලාකරුවාගේ සියවස් සමරුව යෙදුණේ පසුගිය මාර්තු 22 වැනිදා ට ය. ප්‍රබල සංස්කෘතික දායකත්වයක් ලාංකේය කලා වපසරියට තිළිණ කළ සෝමබන්දු විද්‍යාපති දිනෙන් දින සිය නාමය අමරණීය වෙන කලාකරුවන්ගේ ගොන්නට වැටෙන යුග පුරුෂයකු සේ අනලස් ව හඳුන්වා දිය හැකිය.

Comments